බෝධ්‍යඞ්ග භාවනාව හැර තපෝගුණය හැර ඉන්‍ද්‍රියසංවරය හැර නිවන් හැර සත්ත්‍වයන්ට සුවයක් නො දකිමි.
2. 2. 8.
කකුධ සූත්‍රය
99. සැවැත්නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි කකුධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
ශ්‍රමණයන් වහන්ස, සතුටු වහු ද? ඇවැත්නි, කුමක් ලැබ ද? එසේ නම් ශ්‍රමණයන් වහන්ස, ශෝක කරහු ද? ඇවැත්නි, කුමක් දිරා ගියේ ද? ශ්‍රමණයන් වහන්ස, එසේ නම් නො ම සතුටු වහු ද? නො ම ශෝක කරහු ද? ඇවැත්නි, එසේ ය.
ශ්‍රමණයන් වහන්ස, කිම, මුබවහන්සේ නිදුක් ද? කිම, ඇල්මෙක් නැද්ද? කිම, අරතිය හුදකලා ව හුන් මුබවහන්සේ නො මඩී ද?
[භගවත්හු:]
යක්‍ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මෙකුත් නැත. තව ද, අරතිය එකලා ව හුන් මා නො මඩියි.
[දෙව්පුත්:]
ශ්‍රමණයන් වහන්ස, මුබවහන්සේ කෙසේ නිදුක් සේක ද? ඇල්මෙක් කෙසේ නො වේ ද? අරතිය එකලා ව හුන් මුබවහන්සේ කෙසේ නො මඩී ද?
[භගවත්හු:]
හටගත් දුක් (වටදුක්) ඇත්තහුට ඒකාන්තයෙන් ඇල්ම වේ. හටගත් ඇල්ම ඇත්තහුට ඒකාන්තයෙන් දුක වේ. ඇවැත්නි, මහණ තෙමේ ඇලුම් නැත්තේ ය, දුක් නැත්තේ ය යි මෙසේ දනුව.
[දෙව්පුත්:]
ලොව තෘෂ්ණාව තරණය කළ ඇලුම් නැති දුක් නැති පිරිනිවි බාහිතපාපී වූ මහණකු ඒකාන්තයෙන් කලෙකින් දකිමි.
2. 2. 9.
උත්තර සූත්‍රය
100. රජගහනුවර –
එකත්පසෙක සිටි උත්තර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජීවිතය (මරණය කරා) පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථානයක් නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
[භගවත්හු:]
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් (මරණය කරා) පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථානයක් නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නා වූ නිවණ පතන පුද්ගල තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේ ය.
2. 2. 10.
අනාථපිණ්ඩික සූත්‍රය
101. සැවැත්නුවර–
එකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
භික්‍ෂුසමුහයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
කර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ. (සැරියුත් තෙරණුවනට) වඩා උත්තරයෙක් නැත.)
අනේපිඬු දෙව්පුත් තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ රාත්‍රියෙහි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දේවපුත්‍රයෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:
භික්‍ෂුසමුහයා විසින් නිති සෙව්නා ලද ධර්‍මරාජන් වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
කර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසිදු නො වෙත්.
එහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ: (සැරියුත් තෙරණුවනට වඩා විශිෂ්ටයෙක් නැත.)
මහණෙනි, ඒ දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කි යා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් අනාථපිණ්ඩික දෙව්පුත් වන්නේ ය. අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කෙරෙහි බෙහෙවින් පැහැදුනේ වී ය යි මෙය සැළ කළේ ය.
ආනන්‍ද, මැනවි, මැනවි, ආනන්‍ද, යම්තාක් තර්‍කයෙන් දත යුතු නම් තොප විසින් (ඒතාක්) දන්නා ලදී. ආනන්‍ද, හෙ තෙමේ අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ ම ය යි.
අනාථපිණ්ඩිකවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
චන්‍දිමස, වෙණ්හු, දීඝලට්ඨි, නන්‍දන, චන්‍දන, වසුදත්ත, සුබ්‍රහ්ම, කකුධ සූත්‍රය, නවවන උත්තර සූත්‍රය, දසවන අනාථපිණ්ඩික සූත්‍රය යි කියන ලදී.
3. නානාතිත්‍ථිය වර්‍ගය
2. 3. 1.
සිව සූත්‍රය
102. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සිව දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සිව දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධියෙක් වෙයි. පිරිහීමෙක් නො වෙයි:
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) ප්‍රඥාව ලැබෙයි. අනෙකෙකින් නො ලැබෙයි.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්‍මය දැන (සිටියේ) ශෝක කාරණයන් මැද ශෝක නො කෙරේ.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියේ) නෑයන් මැද වෙසෙසින් බබලයි.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටි) සත්ත්‍වයෝ සුගතියට යෙත්.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (ගත්) සත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක.
සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියේ) සියලු දුකින් මිදෙයි.
2. 3. 2.
ඛේම සූත්‍රය
103. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඛේම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
නුවණ නැති බාලයෝ යම් කර්‍මයක් නපුරු විපාක ඇත්තේ වේ නම් එබඳු අකුශලකර්‍ම කෙරෙමින් තමනට සතුරකු වැනි වූ පන්චස්කන්‍ධයෙන් යුක්ත ව හැසිරෙත්.
යම් කර්‍මයක් කොට තැවේද? යම් කර්‍මයක්හුගේ විපාකය කඳුළෙන් තෙත් මුහුණු ඇති ව හඬමින් සෙවුනේ ද, එබඳු අකුසලකර්‍ම කරණ ලද්දේ නො මැනවි.
යම් කර්‍මයක් කොට නො තැවේද? යම් කර්‍මයක්හුගේ විපාකය පිණා ගියේ මනාසිතැතියේ සෙවුනේ ද, එබඳු කර්‍මය කරණ ලද්දේ මැනවි.
[භගවත්හු:]
යමක් තමහට හිතයයි දන්නේ නම් එය පළමු කොට ම කරන්නේ ය. නුවණැති ධෘතිසම්පන්න පුද්ගල තෙමේ සාකටිකචේතනායෙන් තැත් නො කරන්නේ ය.
ගැල්කරු තෙමේ යම්සේ සම මග වූ මහමග හැර විෂම මගට නැගී සුන් අකුරු ඇත්තේ බලවත් සිතිවිලි සිතා ද,
මඳ නුවණැති පුද්ගල තෙමේ එපරිද්දෙන් දහමින් ඉවත් ව අධර්‍මයට බැස ගෙණ මරුමුවට පැමිණියේ සුන් අකුරු ඇත්තකු මෙන් සිතිවිලි සිතයි.
2. 3. 3.
සේරී සූත්‍රය
104. සැවැත්නුවර–
එකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
දෙව්මිනිස් දෙකොටස ආහාරය ම පතත්, යම්හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර සත්ත්‍වයෙක් ද?
[භගවත්හු:]
යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.
වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අත්භුතයෙකි. වහන්ස, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය:
“යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
එහෙයින් මසුරුමල මැඬලනසුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය.
පෙර වූවක් කියමි. වහන්ස, මම දායක වූ දානපති වූ දීමෙහි ගුණ කියන සේරී නම් රජෙක් වීමි. වහන්ස, ඒ මගේ (නුවර) සිටු දොරටුවෙහු මහණ බමුණු දුගී මගී වර්‍ණබබ්බක යාචකයන්ට දන් දෙනු ලැබී ය. වහන්ස, එකල්හි අන්තඃපුරය මාවෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් ම දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනව”යි මෙය කී ය.
වහන්ස, ඒ මට “මම වනාහි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම පළමු වන දොරටුව අන්තඃපුරයට දිනිමි. එහි අතොවුරන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති සහකාර ක්‍ෂත්‍රියයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනූ ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය මට කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම දෙවන දොරටුව සහකාර ක්‍ෂත්‍රියයන්ට දිනිමි. එහි සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන්දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති බලසෙනඟ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යී මේ අදහස විය. වහන්ස, ඒ මම තෙවන දොරටුව බලසෙනඟට දිනිමි. එහි බලසෙන්හුගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති බමුණු ගැහැවියෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. බලසෙන්හුගේ දන් දෙනු ලැබේ.. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම්, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
වහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම සිව්වන දොරටුව බමුණු ගැහැවියන්ට දිනිමි. එහි බමුණු ගැහැවියන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
වහන්ස, ඉක්බිති රාජපුරුෂයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දානයක් දන් කිසි තැනෙක නොදෙනු ලැබේ ය” යි මෙය කීහ.
වහන්ස, මෙසේ මම කියනලදුයෙම් ඒ පුරුෂයන්ට “සගයෙනි, එසේ නම් පිටත දනවුවල යම් අයෙක් උපදී ද? එහෙයින් අඩක් ඇතොවුර කෙරෙහි යවවු. අඩකින් එහි ම මහණ බමුණු දුගී මගී වර්‍ණබබ්බක යාචකයන්ට දන් දෙව් ය” යි මෙය කීයෙමි.
වහන්ස, ඒ මම මෙසේ දිගුකලක් මුළුල්ලෙහි කළ පින්කම්වල මෙසේ දිගුකලක් කළ කුසල්වල පින මෙතෙකැයි කියා හෝ පුණ්‍යවිපාකය මෙතෙකැයි කියා හෝ මෙපමණ කලක් සගෙහි සිටියයුතු යයි කියා හෝ කෙළවරක් නො දනිමි. වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, අද්භූතයෙකි!! වහන්ස,
“යම් කෙනෙක් සැදැහැයෙන් පහන්සිතින් ඒ ආහාරය දෙද් ද? මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය. එහෙයින් මසුරු මල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් වදාරණ ලද්දේ ම ය.
2. 3. 4.
ඝටීකාර සූත්‍රය
105. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඝටීකාර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
භික්‍ෂුහු සත්නමක් අවිහ බඹලොවට පැමිණියාහු මිදුනාහු රාගදේවෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව ක්‍ෂය කළාහු ය.
[භගවත්හු:]
තරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් කවුරු කවුරු තරණය කළාහු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සඞ්ඛ්‍යාත ඕරම්භාගිය සංයෝජයන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජයන පස) ඉක්ම ගියාහු ද?
[දෙව්පුත්:]
උපක, පලගණ්ඬ, පුක්කුසාති යන තිදෙන ද, භද්දිය, භද්‍දදේව, බාහුදනති, පිඬගිය යන (සිවුදෙන ද) ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.
[භගවත්හු:]
මාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට අනවද්‍ය කර්‍ම ඇතියහයි පසස්නෙහි ය. ඔහු කවරකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?