Pali BJTරූපං භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො, තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. යො භික්ඛවෙ, තථාගතෙන එවං ආචික්ඛියමානෙ දෙසියමානෙ පඤ්ඤාපියමානෙ පට්ඨපියමානෙ විවරියමානෙ විභජියමානෙ උත්තානීකයිරයමානෙ න ජානාති න පස්සති තමහං භික්ඛවෙ, බාලං පුථුජ්ජනං අන්ධං අචක්ඛුකං අජානන්තං අපස්සන්තං කින්ති කරොමි.
Sinhala BJTමහණෙනි, රූපය ලොව ලෝකධර්‍මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනියි. මැනවින් අවබෝධ කොට මැනවින් දැනගෙන කියයි, දෙසයි, පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනී නම් නො දකී නම්, මහණෙනි, අන්‍ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
Pali BJTවෙදනා භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො -පෙ- සඤ්ඤා භික්ඛවෙ ලොකෙ ලොකධම්මො -පෙ- සඞ්ඛාරා භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො -පෙ- විඤ්ඤාණං භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. යො භික්ඛවෙ, තථාගතෙන එවං ආචික්ඛියමානෙ දෙසියමානෙ පඤ්ඤාපියමානෙ පට්ඨපියමානෙ විවරියමානෙ විභජියමානෙ උත්තානීකයිරමානෙ න ජානාති න පස්සති. තමහං භික්ඛවෙ, බාලං පුථුජ්ජනං අන්ධං අචක්ඛුකං අජානන්තං අපස්සන්තං කින්ති කරොමි.
Sinhala BJTමහණෙනි, වේදනාව ලොවැ ලෝකධර්‍මයෙකි ... මහණෙනි, සංඥාව ලොවැ ලෝකධර්‍මයෙකි ... මහණෙනි, සංස්කාරයෝ ලොවැ ලෝකධර්‍මයෝ ය. මහණෙනි, විඥානය ලොවැ ලෝකධර්‍මයෙකි. තථාගත තෙමේ එය මැනවින් අවබෝධ කෙරෙයි, මැනවින් දැනගනී. මැනවින් අවබෝධ කොට මැනවින් දැන කියයි, දේශනා කෙරෙයි , පනවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. මහණෙනි, තථාගතයන් විසින් මෙසේ කියනු ලබන කල්හි දේශනා කරනු ලබන කල්හි පනවනු ලබන කල්හි පිහිටුවනු ලබන කල්හි විවරණ කරනු ලබන කල්හි බෙදනු ලබන කල්හි උඩුහුරු කරනු ලබන කල්හි යමෙක් නො දනීයි නම් නො දකී නම්, මහණෙනි, අන්‍ධ වූ ඇස් නැති නො දන්නා නො දක්නා ඒ බාල පුහුදුන්හට මම කුමක් කෙරෙම් ද?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකෙ ජාතං උදකෙ සංවද්ධං{2} උදකා අච්චුග්ගම්ම ඨාති. අනුපලිත්තං උදකෙන, එවමෙව ඛො භික්ඛවෙ, තථාගතො ලොකෙ ජාතො ලොකෙ සංවද්ධො ලොකං අභිභුය්ය විහරති අනුපලිත්තො ලොකෙනාති.
Sinhala BJTමහණෙනි, දියෙහි හටගත් දියෙහි වැඩුණු උපුලෙක් හෝ පියුමෙක් හෝ හෙළපියුමෙක් හෝ දියෙන් නැගී දියෙන් නො ගැටී යම්සේ සිටුනේ ද, මහණෙනි, එසෙයින් ම තථාගත තෙමේ ලොවැ උපන්නේ ලොවැ වැඩුණේ ලොව මැඩගෙන ලෝකයා හා නො ගැටී වාස කෙරේ යි.
Pali BJT1. 2. 5. 3.
Sinhala BJT1. 2. 5. 3.
Pali BJTඵෙණපිණ්ඩූපම සුත්තං
Sinhala BJTඵෙණ පිණ්ඩූපම සූත්‍රය
Pali BJT95. එකං සමයං භගවා අයුජ්ඣායං{3} විහරති ගඞ්ගාය නදියා තීරෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘භික්ඛවොති, භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT95. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නගර සමීපයෙහි ගංගා නම් ගංඉවුරෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අයං ගඞ්ගානදී මහන්තං ඵෙණපිණ්ඩං ආවහෙය්ය තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්ය නිජ්ඣායෙය්ය යොනිසො උපපරික්ඛෙය්ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්ය, තුච්ඡකඤ්ඤෙව, ඛායෙය්ය, අසාරකඤ්ඤෙව ඛායෙය්ය කිං හි සියා භික්ඛවෙ, ඵෙණපිණ්ඩෙ{1} සාරො?
Sinhala BJTමහණෙනි, යම්සේ මේ “ගංගා” නදිය මහත් පෙණපිඩක් එළවන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල පෙණපිඩ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ ය. දක්නා, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ ය. බොල් වූවක් සේ ම වැටහෙන්නේ ය. හර නැත්තක් සේ ම වැටහෙන්නේ ය. මහණෙනි, කිම, පෙණපිඩෙහි හරයක් වන්නේ ද?
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති තුච්ඡකඤ්ඤෙව ඛායති අසාරකඤ්ඤෙව ඛායති. කිං හි සියා භික්ඛවෙ, රූපෙ සාරො?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි කිම, රූපයෙහි හරයක් වන්නේ ද?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකෙ උදකබුබ්බුළං{2} උප්පජ්ජති චෙව නිරුජ්ඣති ච. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්ය නිජ්ඣායෙය්ය යොනිසො උපපරික්ඛෙය්ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්ය, අසාරකඤ්ඤෙව ඛායෙය්ය. කිං හි සියා භික්ඛවෙ, උදකබුබ්බුළෙ සාරො?
Sinhala BJTමහණෙනි, යම්සේ සරත්කල මහත් පොද ඇති වැස්ස වස්නා කල්හි දියෙහි දිය බුබුළෙක් හටගන්නේත් වේ ද, නැසෙන්නේත් වේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල දිය බුබුළ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පුනපුනා පිරික්සන්නේ ය. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ. හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, දිය බුබුළෙහි හරයක් වන්නේ ද?
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති. තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිං හි සියා භික්ඛවෙ, වෙදනාය සාරො?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ආධ්‍යාත්මිකවූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්‍ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි වේදනාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් වේදනාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, වේදනායෙහි සාරයක් ඇත්තේ ද?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ ඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ මරීචි ඵන්දති. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්ය නිජ්ඣායෙය්ය යොනිසො උපපරික්ඛෙය්ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්ය අසාරකඤ්ඤෙව ඛායෙය්ය. කිං හි සියා භික්ඛවෙ, මරීචිකාය සාරො?
Sinhala BJTමහණෙනි, යම්සේ ගිම්කල පැසුළුමස මධ්‍යාහ්නයෙහි මිරිඟු සැලේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මිරිඟුව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. බලන, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි, කිම, මිරිඟුවෙහි හරයක් වන්නේ ද?
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යා කාචි සඤ්ඤා අතීතානාගතපච්චුප්පන්නා -පෙ- යං දූරෙ සන්තිකෙ වා. තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති. තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිං හි සියා භික්ඛවෙ, සඤ්ඤාය සාරො?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න ... යම් කිසි සංඥාවක් ඇත් ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් සංඥාවකුත් ඇත් ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි. බොල් වූවක් සේ ම වැටහෙයි. හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, කිම, සංඥායෙහි හරයක් වන්නේ ද?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිණ්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ පස්සෙය්ය මහන්තං කදලික්ඛන්ධං උජුං නවං අකුක්කුකජාතං{1} තමෙනං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය, අග්ගෙ ඡෙත්වා පත්තවට්ටිං විනිබ්භුජෙය්ය. සො තත්ථ පත්තවට්ටිං විනිබ්භුජන්තො ඵෙග්ගුම්පි නාධිගච්ඡෙය්ය. කුතො සාරං? තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්ය නිජ්ඣායෙය්ය යොනිසො උපපරික්ඛෙය්ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්ය තුච්ඡකඤ්ඤෙව ඛායෙය්ය, අසාරකඤ්ඤෙව ඛායෙය්ය. කිං හි සියා භික්ඛවෙ, කදලික්ඛන්ධෙ සාරො?
Sinhala BJTයම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද, හේ එහි ඇද නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කඳක් දක්නේ යැ. තෙල කෙසෙල් කඳ මුල සිඳින්නේ යැ. මුල සිඳ අග සිඳින්නේ යැ. අග සිඳ, පත්වැටි ගලවන්නේ යැ. හේ එහි පත්වැටි ගලවනුයේ ඵලය ද නො ලබන්නේ ය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින, සිතන, නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යි. කිම, මහණෙනි, කෙසෙල් කඳෙහි හරයක් වන්නේ ද?
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන්තිකෙ වා, තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති. තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිං හි සියා භික්ඛවෙ, සඞ්ඛාරෙසු සාරො?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංස්කාර කෙනෙක් ඇද්ද, දුර වේවයි ළඟ වේවයි යම් සංස්කාර කෙනෙකුත් ඇද්ද, මහණ එය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්නේ යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. මහණෙනි සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේ ද?
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මායාකාරො වා මායාකාරන්තෙවාසී වා චාතුම්මහාපථෙ{2} මායං විදංසෙය්ය. තමෙනං චක්ඛුමා පුරිසො පස්සෙය්ය නිජ්ඣායෙය්ය යොනිසො උපපරික්ඛෙය්ය. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායෙය්ය, තුච්ඡකඤ්ඤෙව ඛායෙය්ය, අසාරකඤ්ඤෙව ඛායෙය්ය. කිං හි සියා භික්ඛවෙ, මායාය සාරො?
Sinhala BJTමහණෙනි, යම්සේ ඉඳුරුදැලියෙක් (විජ්ජාකරුවෙක්) හෝ ඉඳුරුදැලියකුගේ අතැවැස්සෙක් හෝ සිවුමංසලෙක මායාවක් (විජ්ජාවක්) දක්වන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල මායාව දක්නේ යැ, සිතන්නේ යැ, නුවණින් පිරික්සන්නේ යැ. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙන්න් යැ, බොල් වූවක් සේ ම වැටහෙන්නේ යැ, හර නැත්තක් සේ ම වැටහෙන්නේ යැ. කිමැ, මහණෙනි, මායාවෙහි හරයක් වන්නේ ද?
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, තං භික්ඛු පස්සති නිජ්ඣායති යොනිසො උපපරික්ඛති. තස්ස තං පස්සතො නිජ්ඣායතො යොනිසො උපපරික්ඛතො රිත්තකඤ්ඤෙව ඛායති. තුච්ඡකඤ්ඤෙව ඛායති, අසාරකඤ්ඤෙව ඛායති. කිං හි සියා භික්ඛවෙ, විඤ්ඤාණෙ සාරො?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-වර්‍තමාන වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සුක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, දුර වේවයි ළඟ වේවයි යම් විඥානයෙකුත් ඇත් ද, මහණ ඒ විඥානය දකියි, සිතයි, නුවණින් පිරික්සයි. දකින, සිතන, නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේ ම වැටහෙයි, බොල් වූවක් සේ ම වැටහෙයි, හර නැත්තක් සේ ම වැටහෙයි. මහණෙනි, විඥානයෙහි හරයෙක් වන්නේ ද?
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං ‘විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් (පස් කඳෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්‍රත්‍යවේක්‍ෂා ඥානය) වෙයි. ජාතික්‍ෂය විය. මහබඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතුදු තෙල ගාථා වදාළ සේක:
Pali BJT(1) ඵෙණපිණ්ඩූපමං රූපං වෙදනා බුබ්බුළූපමා මරීචිකූපමා සඤ්ඤා සඞ්ඛාරා කදලූපමා, මායූපමඤ්ච විඤ්ඤාණං දීපිතා{3}දිච්චබන්ධුනා.
Sinhala BJT(1) රූපය පෙණපිඩක් වැන්න, වේදනාව දියබුබුළක් වැන්න, සංඥාව මිරිඟුවක් වැන්න, සංස්කාර කෙසෙල් කඳක් වැන්න, විඥානය මායාවක් වැන්නැ යි ආදිච්චබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලදී.
Pali BJT(2) යථා යථා නං{1} නිජ්ඣායති{2} යොනිසො උපපරික්ඛති, රිත්තකං තුච්ඡකං හොති යො නං පස්සති යොනිසො.
Sinhala BJT(2) යමෙක් එය නුවණින් දකී ද, යම් යම් පරිද්දෙන් එය සිතා ද, නුවණින් පිරික්සා ද, එපරිද්දෙන් හිස් වූවක් බොල් වූවක් වෙයි.
Pali BJT(3) යො ඉමං කායං ගාරය්හං{3} භූරිපඤ්ඤෙන දෙසිතං, පහානං තිණ්ණං ධම්මානං රූපං පස්සෙථ{4} ඡඩ්ඩිතං.
Sinhala BJT(3) පතළ නුවණැති බුදුරජාණන් වහන්සේ විසින් ගැරහිය යුතු කොට දේශිත, (ආයු ආදී) දහම් තුනෙක ප්‍රහාණය ඇති, සොහොනෙහි දමන ලද රූපස්කන්‍ධ සංඛ්‍යාත මේ කාය යමෙක් දක්නේ ද,
Pali BJT(4) ආයු උස්මා ච විඤ්ඤාණං යදා කායං ජහන්තිමං අපවිද්ධො තදා සෙති පරභත්තං අචෙතනං.
Sinhala BJT(4) ආයුෂත් (ජිවිතේන්‍ද්‍රියත්) උණුසුමත් (කර්‍මජතේජෝධාතුවත්) විඥානයත් යම් කලෙක මේ කය හර දමා ද, එ කල්හි බැහැර කරණ ලද්දේ (කෘමිගණාදි) මෙරමා හට බත් ව අචේතන ව හොවී යි (දකියි)
Pali BJT(5) එතාදිසායං සන්තානො මායායං බාලලාපිනී, වධකො එස අක්ඛාතො සාරො එත්ථ න විජ්ජති.
Sinhala BJT(5) (මළහු පිළිබඳ) මේ ප්‍රවේණිය (ක්‍රියාවලිය) මෙ බඳු ය. මේ විඥානය බාලයන් ලවා මැනැවැ යි කියවන මායවෙකි. තෙල ස්කන්‍ධ (ඔවුනොවුන් නසාලන අර්‍ත්‍ථයෙන්) වධයෙකැ යි පවසන ලදී. මෙහි හරයෙක් නැති.
Pali BJT(6) එවං ඛන්ධෙ අවෙක්ඛෙය්ය භික්ඛු ආරද්ධවිරියො, දිවා වා යදි වා රත්ති සම්පජානො පතිස්සතො{5}.
Sinhala BJT(6) ඇරැඹූ වෙර ඇති මහණ ඉඳින් දහවල් හෝ රැය හෝ මනා නුවණ ඇත්තේ එළඹ සිටි සිහි ඇත්තේ ස්කන්‍ධයන් මෙසේ බලන්නේ යි.
Pali BJT(7) පජහෙ{6} සබ්බසංයොගං කරෙය්ය සරණත්තනො, චරෙය්යාදිත්තසීසොව පත්ථයං අච්චුතං පදන්ති.
Sinhala BJT(7) අච්‍යුත සඞ්ඛ්‍යාත නිවන පතනුයේ සියලු සංයෝජන දුරු කරන්නේ යැ, තමහට පිහිටක් කර ගන්නේ යැ, හිස ගිනි ගත්තකු සේ හැසිරෙන්නේ යි.
Pali BJT1. 2. 5. 4.
Sinhala BJT1. 2. 5. 4.
Pali BJTගොමය පිණ්ඩූපම සුත්තං
Sinhala BJTගොමය පිණ්ඩූපම සූත්‍රය
Pali BJT96. සාවත්ථියං:
Sinhala BJT96. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ, එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
Pali BJTඅත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො භන්තෙ, කාචි වෙදනා යා වෙදනා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො භන්තෙ, කාචි සඤ්ඤා යා සඤ්ඤා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කෙචි සඞ්ඛාරා යෙ සඞ්ඛාරා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති? අත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි විඤ්ඤාණං, යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතීති?
Sinhala BJT“වහන්ස, යම් රූපයෙක් නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ නො පෙරළෙන සැහැවි ඇත්තේ ශාශ්වතවස්තු හා සම වූයේ එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස, යම් වේදනාවක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වත වස්තූන් හ සම ව එසේ ම සිටියි නම් එ බඳු කිසියම් වේදනාවක් ඇද්ද? වහන්ස, යම් සංඥාවක් ... එ බඳු කිසියම් සංඥාවක් ඇද්ද? වහන්ස, යම් සංස්කාර කෙනෙක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටිත් නම් එ බඳු කිසියම් සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද, ධ්‍රැව ද, ශාශ්වත ද, නො පෙරළෙන සැහැවි ඇත් ද, ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසියම් විඥානයක් ඇද්දැ” යි.
Pali BJTනත්ථි ඛො භික්ඛු, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. නත්ථි ඛො භික්ඛු, කාචි වෙදනා -පෙ- කාචි සඤ්ඤා -පෙ- කෙචි සඞ්ඛාරා -පෙ- නත්ථි ඛො භික්ඛු කිඤ්චි විඤ්ඤාණං, යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති.
Sinhala BJTමහණ, යම් කිසි රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි රූපයෙක් නැත් මැ යැ, මහණ, ... කිසි වේදනාවක් නැත් මැ යැ, කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං ගොමයපිණ්ඩං පාණිනා ගහෙත්වා තං භික්ඛුං එතදවොච: එත්තකොපි ඛො භික්ඛු, අත්තභාවපටිලාභො නත්ථි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, එත්තකො චෙපි භික්ඛු, අත්තභාවපටිලාභො අභවිස්ස නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො භික්ඛු, එත්තකොපි අත්තභාවපටිලාභො නත්ථි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අල්ප වූ ගොමපිඩක් අතින් ගෙන ඒ මහණහට මෙය වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද ලබන ලද අත්බවෙක් නැත. මහණ, ඉඳින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නො පෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූද පිළිලද අත්බවෙක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙ පමණ වූ ද අත් බැව් පිළිලැබීමෙක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
Pali BJT“භූතපුබ්බාහං භික්ඛු, රාජා අහොසිං ඛත්තියො මුද්ධාවසිත්තො. තස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති නගරසහස්සානි අහෙසුං කුසාවතීරාජධානිප්පමුඛානි.
Sinhala BJTමහණ, පෙර වූවක් කියමි: මම මුදුන්හි අභිෂේක කළ කැත්රජෙක් වීමි. මහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති නගරයෝ සුවාසූ දහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති පාසාදසහස්සානි අහෙසුං ධම්මපාසාදප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට දහම්පහස ප්‍රමුඛ කොට ඇති ප්‍රාසාදයෝ සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති කූටාගාරසහස්සානි අහෙසුං මහාබ්යූහකූටාගාරප්පමුඛානි
Sinhala BJTමහණ, මුදුන්හි අබිසෙක් කළ කැත්රජකු වූ ඒ මට මහාව්‍යුහ කුළුගෙය ප්‍රමුඛ කොට ඇති කුළුගෙවල් සුවාසුදහසක් විය.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිපල්ලඞ්කසහස්සානි අහෙසුං දන්තමයානි සාරමයානි සොවණ්ණමයානි රූපියමයානි ගොනකත්ථතානි{1} පටිකත්ථතානි පටලිකත්ථතානි කදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි{2} උභතොලොහිතකූපධානානි.
Sinhala BJTමහණ, මුදුන්හි බිසෙස් කළ කැත්රජකු වූ ඒ මට දළමුවා වූ ද හරමුවා වී ද රන්මුවා වූ ද රිදීමුවා වූ ද කොඳුපලස් අතුරන ලද්දාවූ ද දෙපස එළුලොම්මුවා සුදු කම්බිලි අතුරන ලද්දාවූ ද ගනපුප් එළුලොම්මුවා අතුරුණු අතුරන ලද්දාවූ ද කෙසෙල්මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත වූ දෙපස රත් කන්වයින් ඇති පලඟහු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිනාගසහස්සානි අහෙසුං සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණද්ධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු උපෝසථ ඇත්රජ ප්‍රමුඛ කොට ඇති ඇත්හු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිඅස්සසහස්සානි අහෙසුං සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණද්ධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂේක කළ කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු වලාහක අස්රජ ප්‍රමුඛ කොට ඇති අස්හු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිරථසහස්සානි අහෙසුං සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණද්ධජානි හෙමජාලපටිච්ඡන්නානි වෙජයන්තරථප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි, අභිෂේක කරන ලද කැත්රජකු වූ ඒ මට රන් අබරණ ඇති රන් දද ඇති රන්දැලින් වැසුණු විජයොත් රිය ප්‍රමුඛ කොට ඇති රියහු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති මණිසහස්සානි අහෙසුං මණිරතනප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට මිණිරුවන් ප්‍රමුඛ කොට ඇති මාණික්‍යයෝ සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති ඉත්ථිසහස්සානි අහෙසුං සුභද්දාදෙවිප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂේක කැත්රජකු වූ ඒ මට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට ඇති ස්ත්‍රීහු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං, භික්ඛු රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීති ඛත්තියසහස්සානි අහෙසුං අනුයුත්තානි{3} පරිනායකරතනප්පමුඛානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂික්ත කැත්රජකු වූ ඒ මට අනුගත පරිණායක රත්නය ප්‍රමුඛ කොට ඇති කැත්රජහු සුවාසුදහසක් වූහ.
Pali BJTතස්ස මය්හං, භික්ඛු රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිධෙනුසහස්සානි අහෙසුං දුකූලසන්දනානි{1} කංසූපධාරණානි.
Sinhala BJTමහණ, මුදුන්හි අභිෂේක කළ කැත්රජකු වූ ඒ මට දුහුල් අතුරුණු ඇති රිදීමුවා දෝනා බඳුන් ඇති සුවාසුදහසක් දෙන්හු වූහ.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිවත්ථකොටිසහස්සානි අහෙසුං: ඛොමසුඛුමානි කොසෙය්යසුඛුමානි කම්බලසුඛුමානි කප්පාසිකසුඛුමානි.
Sinhala BJTමහණ, මුදුන්හි බිසෙස් කළ කැත්රජකු වූ ඒ මට සියුම් කොමු පිළි යැ, සියුම් කසීසළු යැ, සියුම් කම්බිලි යැ, සියුම් කපුපිළිය යි වස්ත්‍ර යුගළ සුවාසුදහසක් විය.
Pali BJTතස්ස මය්හං භික්ඛු, රඤ්ඤො සතො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස චතුරාසීතිථාලිපාකසහස්සානි අහෙසුං සායං පාතං භත්තාභිහාරො අභිහරීයිත්ථ.
Sinhala BJTමහණ, මස්තකාභිෂික්ත ක්‍ෂත්‍රියරාජන් වූ ඒ මට උදය සවස එළැවියයුතු බත එළැවනු ලැබී ද (එබඳු) සුවාසුදහසක් බත් බඳුන් වියැ.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා නගරසහස්සානං එකඤ්ඤෙව තං නගරං හොති යමහං තෙන සමයෙන අජ්ඣාවසාමි කුසාවතී රාජධානී.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් නගරයෙකැ වෙසෙම් ද, ඒ සුවාසුදහසක් නගර අතුරින් ඒ එක ම නගරය කුසාවතී රාජධානිය වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා පාසාදසහස්සානං එකොයෙව පාසාදො හොති යමහං තෙන සමයෙන අජ්ඣාවසාමි ධම්මපාසාදො.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් පහයෙකැ වෙසෙම් ද, ඒ සුවාසුදහසක් පහය අතුරින් ඒ එක ම පහය ධර්‍මප්‍රසාදය වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා කූටාගාරසහස්සානං එකඤ්ඤෙව තං කූටාගාරං හොති යමහං තෙන සමයෙන අජ්ඣාවසාමි මහාබ්යූහං කූටාගාරං.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් කූටාගාරයෙකැ වෙසෙම් ද ඒ ඒ සුවාසුදහසක් කූටාගාර අතුරින් ඒ එක ම කූටාගාරය මහාව්‍යුහ කූටාගාරය වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා පල්ලඞ්කසහස්සානං එකොයෙව සො පල්ලඞ්කො හොති යමහං තෙන සමයෙන පරිභුඤ්ජාමි දන්තමයො වා සාරමයො වා සොවණ්ණමයො වා රූපියමයො වා.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් පර්‍ය්‍යඞ්‍කයක් පරිභෝග කෙරෙම් ද, සුවාසුදහසක් පර්‍ය්‍යඞ්‍ක අතුරින් ඒ එකම පර්‍ය්‍යඞ්‍කය දළමුවා හෝ හරමුවා හෝ රන්මුවා හෝ රිදීමුවා හෝ වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා නාගසහස්සානං එකොයෙව සො නාගො හොති යමහං තෙන සමයෙන අභිරුහාමි උපොසථො නාගරාජා.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් ඇතකු නැගෙම් ද, ඒ සුවාසුදහසක් ඇතුන් අතුරින් ඒ එක ම ඇතා උපෝසථ කුලයෙහි වූ ඇත් රජ යි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා අස්සසහස්සානං එකොයෙව සො අස්සො හොති යමහං තෙන සමයෙන අභිරුහාමි වලාහකො අස්සරාජා.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් අසකු නැගෙම් ද, ඒ සුවාසුදහසක් අසුන් අතුරින් ඒ එක ම අස්රජ වලාහක අශ්වරාජ යි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා රථසහස්සානං එකොයෙව සො රථො හොති යමහං තෙන සමයෙන අභිරුහාමි වෙජයන්තො රථො.
Sinhala BJTමහණ, එ සමයෙහි මම් යම් රියක නැගෙම් ද, ඒ සුවාසුදහසක් රිය අතුරින් ඒ එක ම රිය වෛජයන්ත රථය වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා ඉත්ථිසහස්සානං එකායෙව සා ඉත්ථී හොති යා මං තෙන සමයෙන පච්චුපට්ඨාති ඛත්තියා වා වෙලාමිකා වා.
Sinhala BJTමහණ, එ සමයෙහි යම් ස්ත්‍රියක් මා උවැටන් කෙරේ ද, ඒ සුවාසුදහසක් ස්ත්‍රීන් අතුරින් ඒ එකම ස්ත්‍රිය ක්‍ෂත්‍රිය වේලාමික (ක්‍ෂත්‍රියකූට දාව බැමිණියකගේ හෝ බමුණකුට දාව ක්‍ෂත්‍රියාවකගේ හෝ කුසින් උපන් ස්ත්‍රිය) හෝ වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා වත්ථකොටිසහස්සානං එකඤ්ඤෙව තං වත්ථයුගං හොති යමහං තෙන සමයෙන පරිදහාමි ඛොමසුඛුමං වා කොසෙය්යසුඛුමං වා කම්බලසුඛුමං වා කප්පාසිකසුඛුමං වා.
Sinhala BJTමහණ, ඒ සමයෙහි මම් වස්ත්‍ර යුගළයක් හඳිම් ද, ඒ සුවාසූ දහසක් වස්ත්‍ර යුගළ අතුරින් ඒ එක ම වත් යුවළ සියුම් කොමුපිළි හෝ සියුම් කසීසළු හෝ සියුම් කම්බිලි හෝ සියුම් කපුපිළි හෝ වෙයි.
Pali BJTතෙසං ඛො පන භික්ඛු, චතුරාසීතියා ථාලිපාකසහස්සානං එකොයෙව සො ථාලිපාකො හොති යතො නාළිකොදනපරමං භුඤ්ජාමි තදුපියඤ්ච සූපෙය්යං.
Sinhala BJTමහණ, එ සමයෙහි යම් සැළියෙකින් ගෙන ඕදන හා එයට අනුරූප වූ සූප ද වළඳම් ද, ඒ සුවාසුදහසක් අහර බඳුන් අතුරින් ඒ එකම අහර බඳුන වෙයි.
Pali BJTඉති ඛො භික්ඛු, සබ්බෙ තෙ සඞ්ඛාරා අතීතා නිරුද්ධා, විපරිණතා. එවං අනිච්චා ඛො භික්ඛු, සඞ්ඛාරා. එවං අද්ධුවා ඛො භික්ඛු, සඞ්ඛාරා. එවං අනස්සාසිකා ඛො භික්ඛු සඞ්ඛාරා. යාවඤ්චිදං භික්ඛු, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති.
Sinhala BJTමහණ, මෙසේ වනාහි ඒ සියලු සංස්කාරයෝ ඉක්මැ ගියහ, නිරුද්ධයහ, පරිණාමයට (වෙනස් බවට) ගියහ. මහණ, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණ, සංස්කාරයෝ මෙසේ අධ්‍රැවයහ. (ස්ථිර ව නො පවත්නාහ), මහණ, සංස්කාරයෝ මෙසේ අස්වැසිලි රහිතයහ. මහණ, සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට සුදුසු යැ, නො ඇලෙන්නට සුදුසු යැ, මිදෙන්නට සුදුසු යි.
Pali BJT1. 2. 5. 5.
Sinhala BJT1. 2. 5. 5.
Pali BJTනඛසිඛොපම සුත්තං
Sinhala BJTනඛසිඛොපම සූත්‍රය
Pali BJT97. සාවත්ථියං:
Sinhala BJT97. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු, භගවන්තං එතදවොච:
Sinhala BJTඑකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
Pali BJT“අත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො භන්තෙ, කාචි වෙදනා -පෙ- කාචි සඤ්ඤා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කෙචි සඞ්ඛාරා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි විඤ්ඤාණං යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතීති?
Sinhala BJTවහන්ස, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් ඇද්දැ? වහන්ස ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස ... කිසි සංස්කාර කෙනෙක් ඇද්ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් ඇද්දැ” යි.
Pali BJTනත්ථි ඛො භික්ඛු, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. නත්ථි ඛො භික්ඛු, කාචි වෙදනා -පෙ- නත්ථි ඛො භික්ඛු, කාචි සඤ්ඤා -පෙ- නත්ථි ඛො භික්ඛු, කෙචි සඞ්ඛාරා -පෙ- නත්ථි ඛො භික්ඛු, කිඤ්චි විඤ්ඤාණං යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතීති.
Sinhala BJTමහණ, යම් රූපයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි රූපයෙක් නැත් ම යැ, මහණ, ... කිසි වේදනාවක් නැත්ම යැ, මහණ, ... කිසි සංඥාවක් නැත් ම යැ, මහණ, ... කිසි සංස්කාර කෙනෙක් නැත් ම යැ, මහණ, යම් විඥානයෙක් නිත්‍ය ද ධ්‍රැව ද ශාශ්වත ද නොවෙනස් වන ස්වභාව ඇත්තේ ද ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනේ ද එබඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා තං භික්ඛුං එතදවොච: “එත්තකම්පි ඛො භික්ඛු, රූපං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකම්පි චෙ භික්ඛු, රූපං අභවිස්ස නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො භික්ඛු, එත්තකම්පි රූපං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය, එත්තකාපි{1} ඛො භික්ඛු, වෙදනා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකාපි චෙ භික්ඛු, වෙදනා අභවිස්ස නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා, නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො භික්ඛු, එත්තිකාපි වෙදනා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය. එත්තිකාපි ඛො භික්ඛු, සඤ්ඤා නත්ථි -පෙ- එත්තකා පි ඛො භික්ඛු, සඞ්ඛාරා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති, එත්තකාපි භික්ඛු, සඞ්ඛාරා අභවිස්සංසු නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා, නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළෙහි නගා ඒ මහණහට තෙල වදාළ සේක: මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ පෙරළෙන සැහැවි ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද රූපයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයෙකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොපෙරළෙන සැහැවි ඇති මෙ පමණ වූ ද රූපයෙක් නැද්ද, ඒ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද වේදනාවක් නැත. මහණ, ඉදින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද වේදනාවක් නැද්ද, එ හෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. මහණ, මෙ පමණ වූ ද සංඥාවක් නැත. ... මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වත වස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද සංස්කාරකෙනෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් ඉදින් වූහු නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ
Pali BJTයස්මා ච ඛො භික්ඛු එත්තකාපි සඞ්ඛාරා නත්ථි නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය. එත්තකම්පි ඛො භික්ඛු විඤ්ඤාණං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති. එත්තකම්පි චෙ භික්ඛු, විඤ්ඤාණං අභවිස්ස නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො භික්ඛු, එත්තකම්පි විඤ්ඤාණං නත්ථි නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJTනොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද සංස්කාර කෙනෙක් නැත්තාහු ද එහෙයින් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම පැනෙයි. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති ශාශ්වතවස්තූන් හා සම ව එසේ ම සිටුනා මෙ පමණ වූ ද විඥානයෙක් නැත. මහණ, නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් ඉදින් වී නම් මොනොවට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනෙන්නේ යැ. මහණ, යම් හෙයකින් නිත්‍ය වූ ධ්‍රැව වූ ශාශ්වත වූ නොවෙනස් වන ස්වභාව ඇති මෙපමණ වූ ද විඥානයෙක් නැද්ද, එ හෙයින් මැනවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනේ.
Pali BJTතං කිං මඤ්ඤසි භික්ඛු, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණ, ඒ කිමැ යි හඟිහි ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ- .
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ- .
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය.
Pali BJTතස්මාතිහ භික්ඛු -පෙ- එවං පස්සං භික්ඛු, සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණ, එ හෙයින් මෙහිලා ... මහණ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ... මේ බැව් පිණිස අනෙකක් නැතැ”යි දැනගනී යි.
Pali BJT1. 2. 5. 6.
Sinhala BJT1. 2. 5. 6.
Pali BJTසුද්ධික සුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT98. සාවත්ථියං:
Sinhala BJT98. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
Pali BJTඅත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති? අත්ථි නු ඛො භන්තෙ, කාචි වෙදනා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කාචි සඤ්ඤා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කෙචි සඞ්ඛාරා -පෙ- අත්ථි නු ඛො භන්තෙ, කිඤ්චි විඤ්ඤාණං, යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතීති.
Sinhala BJTවහන්ස, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් ඇද්ද? වහන්ස, ... කිසි වේදනාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංඥාවක් ඇද්ද? වහන්ස, ... කිසි සංස්කාර කෙනෙක් ඇත්තාහු ද? වහන්ස, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් ඇද්දැ?” යි.
Pali BJTනත්ථි ඛො භික්ඛු, කිඤ්චි රූපං යං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සති.
Sinhala BJTමහණ, යම් රූපයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත්තේ නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි රූපයෙක් නැත් ම යැ.
Pali BJTනත්ථි ඛො භික්ඛු, කාචි වෙදනා -පෙ- කාචි සඤ්ඤා -පෙ- කෙචි සඞ්ඛාරා -පෙ- නත්ථි ඛො භික්ඛු, කිඤ්චි විඤ්ඤාණං යං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං සස්සතිසමං තථෙව ඨස්සතීති.
Sinhala BJTමහණ, ... කිසි වේදනාවක් නැත් ම ය. කිසි සංඥාවක් ... කිසි සංස්කාර කෙනෙක් ... මහණ, යම් විඥානයෙක් නිත්‍ය නම් ධ්‍රැව නම් ශාශ්වත නම් නොවෙනස් වන ස්වභාව ඇත් නම් ශාශ්වත් වස්තූන් හා සම ව එසේ ම සිටුනේ නම් එ බඳු කිසි විඥානයෙක් නැත් මැ යි.
Pali BJT1. 2. 5. 7.
Sinhala BJT1. 2. 5. 7.
Pali BJTගද්දුලබද්ධ සුත්තං
Sinhala BJTගද්දුලබද්ධ සූත්‍රය
Pali BJT99. සාවත්ථියං:
Sinhala BJT99. සැවැත්නුවර:
Pali BJTඅනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
Sinhala BJTමහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති භවයෙන් භවයට සංධාවන කරන ච්‍යුති ප්‍රතිසන්‍ධි විසින් සැරිසරන සත්ත්‍වයන්ගේ මුල් කෙළෙවර නො පෙනේ.
Pali BJTහොති ඛො සො{1} භික්ඛවෙ, සමයො යං මහාසමුද්දො උස්සුස්සති විසුස්සති න භවති, න ත්වෙවාහං භික්ඛවෙ, අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ මහමුහුද සිඳේ ද, වියළේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සංධාවන සංසරණ කරණ සත්ත්‍වයන්ගේ දුක් කෙළවර කිරීමක් මම නො ම කියමි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං සිනෙරුපබ්බතරාජා උඩ්ඩය්හති{2} විනස්සති න භවති. න ත්වෙවාහං භික්ඛවෙ, අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ සිනේරු පර්‍වතරාජයා දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ මැ යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං මහාපඨවී උඩ්ඩය්හති විනස්සති න භවති න ත්වෙවාහං භික්ඛවෙ, අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මේ මහපොළොව දැවේ ද, වැනසේ ද, නො වේ ද, එ බඳු කලෙක් වේ ම යැ. මහණෙනි, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ දුක කෙළවර කිරීමක් මම නො මැ කියමි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සා ගද්දුලබද්ධො දළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා උපනිබද්ධො තමෙව ඛීලං වා ථම්භං වා අනුපරිධාවති, අනුපරිවත්තති. එවමෙව ඛො භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති. රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං.
Sinhala BJTමහණෙනි, බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ යම්සේ ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ වටාගෙන අනුව දිවේ ද, අනුව පෙරළේ ද, මහණෙනි, එසෙයින් මැ ආර්‍ය්‍යයන් නොදක්නා ආර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ ආර්‍ය ධර්‍මයෙහි නොහික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් හෝ ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ දකියි.
Pali BJTවෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. සො රූපඤ්ඤෙව අනුපරිධාවති අනුපරිවත්තති. වෙදනඤ්ඤෙව අනුපරිධාවති අනුපරිවත්තති. සඤ්ඤඤ්ඤෙව අනුපරිධාවති අනුපරිවත්තති. සඞ්ඛාරෙයෙව අනුපරිධාවති අනුපරිවත්තති. විඤ්ඤාණඤ්ඤෙව අනුපරිධාවති අනුපරිවත්තති.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය වශයෙන් හෝ ආත්මය විඥානවත්ය යි හෝ ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ දකියි. හේ රූපය මැ අනුව දිවෙයි. රූපය මැ අනුව පෙරළෙයි. වේදනාව ම අනුව දිවෙයි. වේදනාව ම අනුව පෙරළෙයි. සංඥාව ම අනුව දිවෙයි. සංඥාව ම අනුව පෙරළෙයි. සංස්කාර මැ අනුව දිවෙයි. සංස්කාර මැ අනුව පෙරළෙයි. විඥානය මැ අනුව දිවෙයි. විඥානය මැ අනුව පෙරළේ.
Pali BJTසො රූපං අනුපරිධාවං අනුපරිවත්තං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අනුපරිධාවං අනුපරිවත්තං, න පරිමුච්චති රූපම්හා, න පරිමුච්චති වෙදනාය, න පරිමුච්චති සඤ්ඤාය, න පරිමුච්චති සඞ්ඛාරෙහි, න පරිමුච්චති විඤ්ඤාණම්හා, න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTහේ රූපය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව දිවෙන්නේ අනුව පෙරළෙන්නේ රූපයෙන් නො මිදෙයි, වේදනාවෙන් නො මිදෙයි, සංඥාවෙන් නො මිදෙයි, සංස්කාරයන් ගෙන් නො මිදෙයි, විඥානයෙන් නො මිදෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදෙයි. (පස්කඳ) දුකින් නො මිදේ යයි කියමි.
Pali BJTසුතවා ච ඛො භික්ඛවෙ, අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නා සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය රූප ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකියි. වේදනාව ... නො දකියි, සංඥාව ... නො දකියි. සංස්කාර ... නො දකියි, විඥානය ආත්මය වශයෙන් නො දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැ යි හෝ නො දකියි. විඥානයෙහි ආත්මය ඇතැ යි හෝ නො දකී.
Pali BJTසො රූපං නානුපරිධාවති නානුපරිවත්තති, වෙදනං නානුපරිධාවති නානුපරිවත්තති, සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ නානුපරිධාවති නානුපරිවත්තති, විඤ්ඤාණං නානුපරිධාවති නානුපරිවත්තති.
Sinhala BJTහේ රූපය අනුව නො දිවෙයි, නො පෙරළෙයි. වේදනාව අනුව නො දිවෙයි, නො පෙරළෙයි. සංඥාව ... සංස්කාරයන් අනුව නො දිවෙයි, නො පෙරළෙයි. විඥානය අනුව නො දිවෙයි, නො පෙරළෙයි.
Pali BJTසො රූපං අනනුපරිධාවං අනනුපරිවත්තං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අනනුපරිධාවං අනනුපරිවත්තං පරිමුච්චති රූපම්හා පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි, පරිමුච්චති විඤ්ඤාණම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
Sinhala BJTහේ රූපය අනුව නො දිවෙන්නේ නො පෙරළෙන්නේ වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අනුව නො දිවෙන්නේ අනුව නො පෙරළෙන්නේ රූපයෙන් මිදෙයි, වේදනාවෙන් මිදෙයි, සංඥාවෙන් මිදෙයි, සංස්කාරයන් ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායික දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි. (පස්කඳ) දුකින් මිදේ යයි කියමි.
Pali BJT1. 2. 5. 8.
Sinhala BJT1. 2. 5. 8.
Pali BJTදුතිය ගද්දුලබද්ධ සුත්තං
Sinhala BJTදුතිය ගද්දුලබද්ධ සූත්‍රය
Pali BJT100. සාවත්ථියං:
Sinhala BJT100. සැවැත්නුවර:
Pali BJTඅනමතග්ගො’යං භික්ඛවෙ, සංසාරො. පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. සෙය්යථාපි භික්ඛවෙ, සා ගද්දුලබද්ධො දළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා උපනිබද්ධො. සො ගච්ඡති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපගච්ඡති{1}. තිට්ඨති චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපතිට්ඨති, නිසීදති චෙ’පි තමෙව ඛීලං වා ථම්භං වා උපනිසීදති, නිපජ්ජති. චෙපි තමෙව ඛීලං වා ථම්භං වා උපනිපජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙ සසර අනවරාග්‍ර යැ. අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සතුන්ගේ මුල් කෙළවර නො පැනෙයි. මහණෙනි, යම් සේ බලුදමින් බැඳුණු ශුනකයෙක් දැඩි හුලෙක හෝ ටැඹෙක බඳනා ලද්දේ ද, ඉදින් හේ යේ නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟට යෙයි. ඉදින් සිටී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ සිටියි. ඉදින් හිඳී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ හිඳියි. ඉදින් ලගී නම් ඒ හුල මැ හෝ ටැඹ මැ හෝ ළඟ ලගියි.
Pali BJT“එවමෙව ඛො භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති. වෙදනං “එතං මම -පෙ- සඤ්ඤං “එතං මම -පෙ- සඞ්ඛාරෙ “එතං මම -පෙ- විඤ්ඤාණං ‘එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සති. සො ගච්ඡති චෙ’පි ඉමෙව පඤ්චුපාදානක්ඛන්ධෙ උපගච්ඡති. තිට්ඨති චෙ’පි ඉමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ උපතිට්ඨති. නිසීදති චෙපි ඉමෙව පඤ්චුපාදානක්ඛන්ධෙ උපනිසීදති. නිපජ්ජති චෙපි ඉමෙව පඤ්චුපාදානක්ඛන්ධෙ උපනිපජ්ජති.
Sinhala BJTමහණෙනි, එලෙසින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය “තෙල මාගේ ය. තෙල මම වෙමි. තෙල මාගේ ආත්ම ය යි දකී. වේදනාව තෙල මාගේ යැ ... සංඥාව තෙල මාගේ යැ ... සංස්කාර තෙල මාගේ යැ ... විඥානය තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දකියි.” හේ ඉදින් යේ නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ යෙයි, ඉදින් සිටී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ සිටියි, ඉදින් හිඳී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධ වෙත මැ ඉඳියි, ඉදින් හොවී නම් මේ පඤ්චෝපාදාන ස්කන්‍ධය වෙත මැ හොවී.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, භික්ඛුනා අභික්ඛණං{1} සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං. රාගෙන දොසෙන මොහෙනාති. චිත්තසංකිලෙසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති. චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති. දිට්ඨං වො භික්ඛවෙ, චරණං නාම චිත්තන්ති?
Sinhala BJTමහණෙනි, එ හෙයින් මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි සිය සිත නිතර පස්විකිය යුතු යි. මහණෙනි, සිත සකෙලෙස් වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙති. මහණෙනි, තොප විසින් චරණ නම් චිත්‍රය දක්නා ලද ද?
Pali BJTඑවම්භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTතම්පි ඛො භික්ඛවෙ, චරණං{2} චිත්තං චිත්තෙනෙව චිත්තිතං. තෙන’පි ඛො භික්ඛවෙ, චරණෙන චිත්තෙන චිත්තඤ්ඤෙව චිත්තතරං. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුනා අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං “දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙනා”ති. චිත්තසංකිලෙසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති. චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, ඒ චරණචිත්‍රය ද සිතින් ම විසිතුරු කරණ ලද යැ. මහණෙනි, ඒ චරණ චිත්‍රයට ද වඩා සිත ම ඉතා විසිතුරු යි. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, සිත සකිලිටි වීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
Pali BJTනාහං භික්ඛවෙ, අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි, එවං චිත්තං. යථයිදං භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා. තෙ’පි ඛො භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා චිත්තෙනෙව චිත්තිතා,{3} තෙහි’පි ඛො භික්ඛවෙ, තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තඤ්ඤෙව චිත්තතරං. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුනා අභික්ඛණං{4} සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං “දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගෙන දොසෙන මොහෙනා”ති. චිත්තසංකිලෙසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති. චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මේ තිරිසන්ගත ප්‍රාණීහු යම් බඳු වෙත් ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එක ද සමූහයක් මම නො දකිමි. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීහු ද සිතින් ම විසිතුරු වූහ. මහණෙනි, ඒ තිරිසන්ගත ප්‍රාණීන්ට ද වඩා සිත ම ඉතා විසිතුරු යැ. මහණෙනි, එ හෙයින් මෙහි ලා මහණහු විසින් “මේ සිත දිගුකලක් මුළුල්ලෙහි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකිලිටි ය” යි නිතොර සිය සිත පස්විකිය යුතු යැ. මහණෙනි, කෙලෙසීමෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සිත පිරිසිදු වීමෙන් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, රජකො වා චිත්තකාරකො වා සති රජනාය වා ලාඛාය වා හලිද්දියා වා නීලාය වා{5} මඤ්ජෙට්ඨාය{6} වා සුපරිමට්ටෙ{7} වා ඵලකෙ භිත්තියා වා දුස්සපටෙ වා ඉත්ථිරූපං වා පුරිසරූපං වා අභිනිම්මිනෙය්ය සබ්බඞ්ගපච්චඞ්ගං. එවමෙව ඛො භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො රූපඤ්ඤෙව අභිනිබ්බත්තෙන්තො අභිනිබ්බත්තෙති. වෙදනඤ්ඤෙව -පෙ- සඤ්ඤඤ්ඤෙව -පෙ- සඞ්ඛාරෙයෙව -පෙ- විඤ්ඤාණංයෙව අභිනිබ්බත්තෙන්තො අභිනිබ්බත්තෙති.
Sinhala BJTමහණෙනි, යම්සේ, රජකයෙක් වේවයි, සිත්තරෙක් වේවයි, රඳන් හෝ ලතු හෝ රන්වන් පැහැය හෝ නිල්පැහැය හෝ මදට හෝ ඇති කල්හි මැනවින් මට වූ පුවරුවෙක හෝ බිතෙක හෝ රෙදිපිටෙක හෝ සියලු අඟපසඟ ඇති ඉතිරි රුවක් වේවයි පුරුෂ රුවක් වේවයි මවන්නේද? මහණෙනි, එසෙයින් මැ අශ්‍රැතවත් පෘථග්ජන නිපදවන්නේ රූපය මැ නිපදවයි. වේදනාව මැ ... සංඥාව මැ ... සංස්කාර මැ ... නිපදවන්නේ විඥානය ම නිපදවයි.
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ?යි.