Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6301-6400 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස අනිත්‍ය ය ...
Pali BJTතස්මාතිහ අස්සජි -පෙ- එවං පස්සං -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTඅස්සජි, එහෙයින් මෙහි ලා ... මෙසේ දක්නා ... මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැනගනී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදියති සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති. අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති අනජ්ඣොසිතාති පජානාති. අනභිනන්දිතාති පජානාති.
Sinhala BJTහේ ඉඳින් සුව වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දනියි, නො පතන ලදැ යි දනියි. ඉඳින් දුක් වේදනාවක් විඳී ද, එය අනිත්‍ය යයි දනියි. නොබැසගන්නා ලදැ යි දැනගනියි, නොපතන ලදැ යි දැනගනියි, ඉඳින් නොදුක් නොසුව වේදනාවක් විඳී ද එම අනිත්‍ය ය යි දැනගනියි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො බැසගන්නා ලදැ යි දැනගනියි, නො පතන ලදැ යි දැනගනී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති, අදුක්ඛම සුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. සො කායපරියන්තිකඤ්චෙ වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකඤ්චෙ වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
Sinhala BJTඉඳින් හේ සුව වේදනාවක් විඳී නම් (තණ්හා වසයෙන්) නො යෙදී එය විඳියි. ඉඳින් දුක් වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. ඉඳින් නො දුක් නො සුව වේදනාවක් විඳී නම් නො යෙදී එය විඳියි. හේ කය හිමි කොට ඇති වේදනාවක් විඳී නම් කය හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, ඉඳින් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳී නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි, කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනී.
Pali BJTසෙය්යථාපි අස්සජි, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය. තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය. එවමෙව ඛො අස්සජි භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමී’ති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
Sinhala BJTඅස්සජි, යම් සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එම තෙලත් වැටියත් ගෙවී යෑමෙන් ප්‍රත්‍යය රහිත වැ නිවෙන්නේ ද, අස්සජි, එසෙයින් ම මහණ කය හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ කය හිමි කොට ඇති වේදනාවක් වේදනාවක් විඳිමි යි දැනගනියි, දිවි හිමි කොට ඇති වේදනාවක් විඳින්නේ නම් දිවි හිමි කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනියි. කය බිඳීමෙන් මතු දිවි කෙළවර වීමෙන් නො පතන ලද සියලු වේදනාවෝ මෙහි ම සන්හිඳෙන්නාහ යි දැනගනි යි.
Pali BJT1. 2. 4. 7.
Sinhala BJT1. 2. 4. 7.
Pali BJTඛෙමක සුත්තං
Sinhala BJTඛේමක සූත්‍රය
Pali BJT89. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඛෙමකො බදරිකාරාමෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො.
Sinhala BJT89. එක්කලෙක බොහෝ වූ ස්ථවිර භික්‍ෂූහු කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් ඛේමක තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි සේ ගිලන් වූවාහු බදරිකාරාමයෙහි වෙසෙති.
Pali BJTඅථ ඛො ථෙරා භික්ඛූ සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතා ආයස්මන්තං දාසකං ආමන්තෙසුං: “එහි ත්වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික්ඛු තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා ඛෙමකං භික්ඛුං එවං වදෙහි: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “කච්චිතෙ ආවුසො ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJTඑ කල්හි ස්ථවිර භික්‍ෂූහු සවස්කලැ විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් දාසක තෙරුන් ඇමතූහ: “ඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක තෙරුන් වෙත එළැඹෙවු. එළැඹැ ඛේමක තෙරුනට මෙසේ කියවු. ඇවැත්නි, ඛේමකයෙනි, ස්ථවිර භික්‍ෂූහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම, තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙද්ද? නො වැඩෙද්ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනේ ද? වැඩීම නො පෙනේ දැ” යි?
Pali BJT“එවමාවුසොති ඛො ආයස්මා දාසකො ථෙරානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා ඛෙමකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: කච්චි තෙ ආවුසො ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJTඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, කිම? තොපට ඉවසිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ පිරිහෙත් ද? නො වැඩෙත් ද? මේ දුක් වේදනාවන්ගේ පිරිහීම පෙනෙයි ද? වැඩීම නො පෙනේ දැ” යි?
Pali BJTන මෙ ආවුසො ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙත්, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
Pali BJTඅථ ඛො ආයස්මා දාසකො යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොච: ඛෙමකො ආවුසො, භික්ඛු එවමාහ: “න මෙ ආවුසො ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් දාසක තෙරණුවෝ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කීහ: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො පිරිහෙත්. මේ දුක් වේදනාවන්ගේ වැඩීම පෙනෙයි, පිරිහීම නො පෙනේ යි.
Pali BJTඑහි ත්වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික්ඛු තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා ඛෙමකං භික්ඛුං එවං වදෙහි “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො, ඉමෙසු ආයස්මා ඛෙමකො පඤ්චසුපාදානක්ඛන්ධෙසු කිඤ්චි අත්තානං{1} වා අත්තනියං වා සමනුපස්සතීති?
Sinhala BJTඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරෙන් කිසිවෙක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා දාසකො ථෙරානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා ඛෙමකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මා ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙසු ආයස්මා ඛෙමකො පඤ්චසුපාදානක්ඛන්ධෙසු කිඤ්චි අත්තනාං{1} වා අත්තනියං වා සමනුපස්සතීති.
Sinhala BJTඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමක තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමක තෙරුන්ට මෙය කී ය: “ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ දකී දැ”යි?
Pali BJTපඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙසු ඛොහං{2} ආවුසො පඤ්චසුපාදානක්ඛන්ධෙසු න කිඤ්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සාමීති.
Sinhala BJTඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි යි.
Pali BJTඅථ ඛො ආයස්මා දාසකො යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොච: ඛෙමකො ආවුසො භික්ඛු එවමාහ: “පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙසු ඛොහං ආවුසො පඤ්චසුපාදානක්ඛන්ධෙසු න කිඤ්චි අත්තං වා අත්තනියං වා සමනුපස්සාමීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි යි.
Pali BJTඑහි ත්වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික්ඛු තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා ඛෙමකං භික්ඛුං එවං වදෙහි: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: “පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. නො චෙ කිරායස්මා ඛෙමකො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු කිඤ්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සති. තෙන’හායස්මා ඛෙමකො අරහං ඛීණාසවොති.
Sinhala BJTඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළඹ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද? එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ යි.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා දාසකො ථෙරානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා ඛෙමකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ඛෙමකං එතදවොච: ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො, නො චෙ කිරායස්මා ඛෙමකො ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කිඤ්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සති, තෙන’හායස්මා ඛෙමකො අරහං ඛීණාසවොති.
Sinhala BJTඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිතුරු දී ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: “ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඉදින් ආයුෂ්මත් ඛේමක තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධය අතුරින් කිසිවක් ආත්ම යි හෝ ආත්මයට අයත් යි හෝ ඉදින් නො දකී ද, එසේ වී නම් ආයුෂ්මත් ඛේමක අරහත් ක්‍ෂීණාස්‍රවයෙකැ” යි.
Pali BJTපඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙසු ඛොහං ආවුසො, පඤ්චසුපාදානක්ඛන්ධෙසු න කිඤ්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සාමි, නචම්හි{1} අරහං ඛීණාසවො, අපි ච මෙ ආවුසො පඤ්චසුපාදානක්ඛන්ධෙසු ‘අස්මී’ති අධිගතං, “අයමහමස්මී”ති ච න සමනුපස්සාමීති.
Sinhala BJTඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද (දෘෂ්ටි විසින්) නො දකිමි යි.
Pali BJTඅථ ඛො ආයස්මා දාසකො යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොච: “ඛෙමකො ආවුසො: භික්ඛු එවමාහ “පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා වුත්තා භගවතා, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො, ඉමෙසු ඛො’හං ආවුසො පඤ්චසුපාදානක්ඛන්ධෙසු න කිඤ්චි අත්තානං වා අත්තනියං වා සමනුපස්සාමි. න චම්හි අරහං ඛීණාසවො, අපිච මෙ ආවුසො පඤ්චසුපාදානක්ඛන්ධෙසු අස්මී’ති ‘අධිගතං, අයමහමස්මීති ච න සමනුපස්සාමී’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේය. එළඹ ස්ථවිර භික්‍ෂුන්ට මෙය කී ය: ඇවැත්නි, ඛේමක භික්‍ෂූ තෙමේ මෙසේ කී ය: ඇවැත්නි, මේ පස් උපාදානස්කන්‍ධ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ. එනම්: රූපෝපාදානස්කන්‍ධ ය ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, පඤ්චෝපාදානස්කන්‍ධයන් අතුරින් කිසිවක් ආත්ම යයි හෝ ආත්මයට අයත් ය යි හෝ මම නො දකිමි. අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රවයෙක් ද නො වෙමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’යි පැවැති (තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි යි.
Pali BJTඑහි ත්වං ආවුසො දාසක, යෙන ඛෙමකො භික්ඛු තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා ඛෙමකං භික්ඛුං එවං වදෙහි: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු: ‘යමෙතං ආවුසො ඛෙමක, ‘අස්මී’ති වදෙසි, කිමෙතං ‘අස්මී’ති වදෙසි? රූපං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර රූපා ‘අස්මී’ති වදෙසි? වෙදනං ‘අස්මී’ති වදෙසි අඤ්ඤත්ර වෙදනාය ‘අස්මී’ති වදෙසි? සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර සඞ්ඛාරෙහි ‘අස්මී’ති වදෙසි? විඤ්ඤාණං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර විඤ්ඤාණා ‘අස්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, ‘අස්මී’ති වදෙසි, කිමෙතං ‘අස්මී’ති වදෙසී’ති?
Sinhala BJTඇවැත්නි, දාසකයෙනි, එවු. තෙපි ඛේමක භික්‍ෂූහු වෙත එළඹෙවු. එළැඹැ ඛේමක භික්‍ෂුහට මෙසේ කියවු: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි’යි කියවු ද, රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව මම වෙමි’යි කියවු ද? වේදනාවෙන් පිටත් අනෙකක් මම වෙමි’යි කියවු ද? සංඥාව ... සංස්කාර මම වෙමි යි කියවු ද? සංස්කාරයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? විඥානය මම වෙමි යි කියවු ද? විඥානයයෙන් පිටත් අනෙකක් මම වෙමි යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියවු නම් තෙල කුමක් මම් වෙමි යි කියවු දැ? යි.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා දාසකො ථෙරානං භික්ඛූනං පටිස්සුත්වා යෙනායස්මා ඛෙමකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ඛෙමකං එතදවොච: “ථෙරා තං ආවුසො ඛෙමක, එවමාහංසු. “යමෙතං ආවුසො ඛෙමක, ‘අස්මී’ති වදෙසි, කිමෙතං ‘අස්මී’ති වදෙසි? රූපං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර රූපා ‘අස්මී’ති වදෙසි? වෙදනං -පෙ- සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර විඤ්ඤාණා ‘අස්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, ‘අස්මී’ති වදෙසි, කිමෙතං ‘අස්මී’ති වදෙසීති?
Sinhala BJTඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් දාසක ස්ථවිර තෙමේ ස්ථවිර භික්‍ෂුන්ට පිළිවදන් අස්වා ආයුෂ්මත් ඛේමකයන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ඛේමකයන් ට මෙය කී ය: ඇවැත්නි, ඛේමකයෙනි, තෙරහු තොපට මෙසේ කීහ: ඇවැත්නි, ඛේමකයෙනි තෙල යමක් ‘වෙමි’යි කියවු නම් තෙල කුමක් වෙමි යි කියවු ද? රූපය මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් මම ‘වෙමි’ යි කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් වෙමි යි කියනු නම් තෙල කුමක් වෙමි යි කියවු දැ? යි.
Pali BJTඅලං ආවුසො දාසක, කිං ඉමාය සන්ධාවනිකාය, ආහරාවුසො දණ්ඩං අහමෙව යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමිස්සාමීති.
Sinhala BJTඇවැත්නි, දාසකයෙනි, කම් නැත. මේ පුනපුනා ගමනාගමනින් කිම? ඇවැත්නි සැරයටිය ගෙනෙව. මම ඒ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹෙන්නෙමි යි.
Pali BJTඅථ ඛො ආයස්මා ඛෙමකො දණ්ඩමොලුබ්භ යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ඛෙමකං ථෙරා භික්ඛූ එතදවොචුං: “යමෙතං ආවුසො ඛෙමක. ‘අස්මී’ති වදෙසි. කිමෙතං ‘අස්මී’ති වදෙසි? රූපං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර රූපා ‘අස්මී’ති වදෙසි? වෙදනං - සඤ්ඤං - සඞ්ඛාරෙ - විඤ්ඤාණං ‘අස්මී’ති වදෙසි? අඤ්ඤත්ර විඤ්ඤාණා ‘අස්මී’ති වදෙසි? යමෙතං ආවුසො ඛෙමක, “අස්මී”ති වදෙසි? කිමෙතං “අස්මී”ති වදෙසීති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ඛේමක ස්ථවිර තෙමේ සැරයටිය එල්බ ගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළැඹියේ යැ. එළැඹැ ස්ථවිර භික්‍ෂූන් සමග සතුටු වියැ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේමකයන්ට ස්ථවිර භික්‍ෂූහු මෙය කීහ: ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් මම වෙමි’යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු ද? රූපය ‘මම වෙමි’යි කියවු ද? රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි කියවු ද? වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ‘මම වෙමි’ යි කියවු ද? විඥානයයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි යි’ කියවු ද? ඇවැත්නි, ඛේමකයෙනි, තෙල යමක් ‘මම වෙමි’ යි කියවු නම් තෙල කුමක් ‘මම වෙමි’ යි කියවු දැ? යි.
Pali BJTන ඛො’හං ආවුසො, රූපං ‘අස්මී’ති වදාමි නපි අඤ්ඤත්ර රූපා ‘අස්මී’ති වදාමි. න වෙදනං ‘අස්මී’ති වදාමි. නපි අඤ්ඤත්ර වෙදනාය ‘අස්මී’ති වදාමි. න සඤ්ඤං - න සඞ්ඛාරෙ ‘අස්මී’ති වදාමි. නපි අඤ්ඤත්ර සඞ්ඛාරෙහි ‘අස්මී’ති වදාමි. නපි අඤ්ඤත්ර විඤ්ඤාණා අස්මීති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ්චසුපාදානක්ඛන්ධෙසු ‘අස්මී’ති අධිගතං “අයමහමස්මී”ති න ච සමනුපස්සාමි.
Sinhala BJTඇවැත්නි, මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. වේදනාව ‘මම වෙමි’යි නො කියමි. වේදනාවෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. සංඥාව ... සංස්කාර ... ‘මම වෙමි’යි නො කියමි. සංස්කාරයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. මේ ‘මම වෙමි’යි ද නො දකිමි.
Pali BJTසෙය්යථාපි ආවුසො, උප්පලස්ස වා පදුමස්ස වා පුණ්ඩරීකස්ස වා ගන්ධො. යො නු ඛො එවං වදෙය්ය: “පත්තස්ස ගන්ධොති වා වණ්ණස්ස ගන්ධොති වා කිඤ්ජක්ඛස්ස ගන්ධොති වා සම්මා නු ඛො සො වදමානො වදෙය්යා’ති?
Sinhala BJTඇවැත්නි, යම්සේ උපුලෙක හෝ පියුමෙක හෝ හෙළ පියුමෙක හෝ ගඳෙක් වේ ද, යමෙක් වනාහි පෙත්තෙහි ගඳ යයි හෝ වර්‍ණයෙහි ගඳ යයි හෝ රේණුයෙහි ගඳ යයි හෝ මෙසේ කියන්නේ නම් එසේ කියන හේ මනා කොට කියන්නේ දැ යි?
Pali BJTනො හෙතං ආවුසො.
Sinhala BJTඇවැත්නි, තෙල නො වේ ම ය.
Pali BJTයථා කථම්පනාවුසො, සම්මා බ්යාකරමානො බ්යාකරෙය්යාති?
Sinhala BJTඇවැත්නි, මැනැවින් පවසන්නෙක් ඒ කෙසේ නම් පවසන්නේ ද?
Pali BJTපුප්ඵස්ස ගන්ධොති ඛො ආවුසො, සම්මා බ්යාකරමානො බ්යාකරෙය්යාති.
Sinhala BJTඇවැත්නි, මැනවින් පවසන්නෙක් මලෙහි ගඳ යයි පවසන්නේ යි.
Pali BJTඑවමෙව ඛොහං ආවුසො, න රූපං ‘අස්මී’ති වදාමි, නපි අඤ්ඤත්ර රූපා ‘අස්මී’ති වදාමි. න වෙදනං - න සඤ්ඤං - න සඞ්ඛාරෙ - න විඤ්ඤාණං ‘අස්මී’ති වදාමි. නපි අඤ්ඤත්ර විඤ්ඤාණා ‘අස්මී’ති වදාමි. අපි ච මෙ ආවුසො, පඤ්චසුපාදානක්ඛන්ධෙසු ‘අස්මී’ති අධිගතං අයමහමස්මීති න ච සමනුපස්සාමි.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම මම රූපය ‘මම වෙමි’යි නො කියමි. රූපයෙන් පිටත අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. වේදනාව … නො කියමි. සංඥාව ... නො කියමි. සංස්කාර ... නො කියමි. විඥානය ‘මම වෙමි’යි නො කියමි. විඥානයෙන් බැහැර අනෙකක් ‘මම වෙමි’යි ද නො කියමි. ඇවැත්නි, වැලිදු මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයන්හි ‘වෙමි’ යි (පැවැති තෘෂ්ණාමාන) අවබෝධ කරණ ලදී. ‘මේ මම වෙමි’යි ද නො දකිමි.
Pali BJTකිඤ්චාපි ආවුසො, අරියසාවකස්ස පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි පහීනානි භවන්ති අථ ඛ්වස්ස හොතියෙව පඤ්චසුපාදානක්ඛන්ධෙසු අණුසහගතො ‘අස්මී’ති මානො ‘අස්මී’ති ඡන්දො ‘අස්මී’ති අනුසයො අසමූහතො. සො අපරෙන සමයෙන පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා - ඉති සඤ්ඤා - ඉති සඞ්ඛාරා - ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. තස්ස ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො යොපිස්ස හොති පඤ්චසුපාදානක්ඛන්ධෙසු අණුසහගතො ‘අස්මී’ති මානො ‘අස්මී’ති ඡන්දො ‘අස්මී’ති අනුසයො අසමූහතො, සොපි සමුග්ඝාතං ගච්ඡති.
Sinhala BJTඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවකහට ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණු සහගත වූ ‘මම වෙමි’ යන මානය, ‘මම වෙමි’ යන ඡන්‍දය, ‘මම වෙමි’ යන අනුශය නො නසන ලද වෙයි. අපරභාගයෙහි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ, විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යයි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය (හටගැනීම හා විනාශය) දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුට පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත (සියුම්) වූ ‘මම වෙමි’යි පවත්නා යම් මානයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා යම් අනුසයෙක් නො නස්නා ලද වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, වත්ථං සංකිලිට්ඨං මලග්ගහිතං. තමෙනං සාමිකා රජකස්ස අනුප්පදජ්ජුං. තමෙනං රජකො ඌසෙ වා ඛාරෙ වා ගොමයෙ වා සම්මද්දිත්වා අච්ඡෙ උදකෙ වික්ඛාලෙති. කිඤ්චා’පි තං හොති වත්ථං පරිසුද්ධං පරියොදාතං, අථ ඛ්වස්ස හොතෙව{1} අණුසහගතො ඌසගන්ධො වා ඛාරගන්ධො වා ගොමයගන්ධො වා අසමූහතො. තමෙනං රජකො සාමිකානං දෙති. තමෙනං සාමිකා ගන්ධපරිභාවිතෙ කරණ්ඩකෙ නික්ඛිපන්ති. යො’පිස්ස හොති අණුසහගතො ඌසගන්ධො වා ඛාරගන්ධො වා ගොමයගන්ධො වා අසමූහතො, සො’පි සමුග්ඝාතං ගච්ඡති.
Sinhala BJTඇවැත්නි, යම්සේ කිලිටි වූ හටගත් මල ඇති වස්ත්‍රයෙක් වේ ද, තෙල වස්ත්‍රය හිමියෝ රජකයාහට දෙන්නාහු ය. රජක තෙමේ තෙල වස්ත්‍රය අළුදියෙහි හෝ කරදියෙහි හෝ ගොමදියෙහි මැඩ පහන්දියෙහි සෝදාලයි. ඒ වත පිරිසුදු වූයේ හාත්පසින් බබළන්නේ නමුදු වැලිත් එහි අණුසහගත (සියුම්) වූ අළුගඳ හෝ කරගඳ හෝ ගොමගඳ හෝ නො නටුයේ වෙයි. රජක තෙමේ තෙල වස්ත්‍රය හිමියන්ට දෙයි. හිමියෝ තෙල වස්ත්‍රය ගඳින් පිරිබඩ කළ කරඬුවෙක බහා තබත්, එහි අණුසහගත (සියුම්) නො නට යම් අළු ගඳෙක් හෝ කර ගඳෙක් හෝ ගොම ගඳෙක් හෝ වේ නම් හෙද සහමුලින් නැසීමට යෙයි.
Pali BJTඑවමෙව ඛො ආවුසො, කිඤ්චාපි අරියසාවකස්ස පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි පහීනානි භවන්ති, අථ ඛ්වස්ස හොතියෙව පඤ්චසුපාදානක්ඛන්ධෙසු අණුසහගතො ‘අස්මී’ති, මානො ‘අස්මී’ති, ඡන්දො ‘අස්මී’ති අනුසයො අසමූහතො. සො අපරෙන සමයෙන පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති. “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. තස්ස ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො යො’පිස්ස හොති පඤ්චසුපාදානක්ඛන්ධෙසු අණුසහගතො ‘අස්මී’ති, මානො ‘අස්මී’ති, ඡන්දො ‘අස්මී’ති අනුසයො අසමූහතො, සොපි සමුග්ඝාතං ගච්ඡතීති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම කෙසේ හෝ අරිසවුහුගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ වූයේ නමුදු වැලිත් ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි අණුසහගත වූ (සියුම් වූ) සහමුලින් නො නස්නා ලද ‘මම වෙමි’යි පවත්නා මානයෙක් ‘මම වෙමි’යි පවත්නා ඡන්‍දයෙක් ‘මම වෙමි’යි පවත්නා අනුසයෙක් වේ ම ය. හේ අපරභාගයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයන්හි රූපය මෙසේ යැ, රූපයේ හටගැනීම මෙසේ යැ, රූපයේ අස්තඞ්ගමය මෙසේ යැ. වේදනාව මෙසේ යැ ... සංඥාව මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥානය මෙසේ යැ ... විඥානයේ හටගැනීම මෙසේ යැ, විඥානයේ අස්තඞ්ගමය මෙසේ යැයි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙයි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනු වැ දක්නාසුලු වැ වෙසෙන ඔහුගේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි සියුම් වූ සහමුලින් නො නස්නා ලද ‘වෙමි’ යි පවත්නා යම් මානයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් ඡන්‍දයෙකුත් ‘වෙමි’ යි පවත්නා යම් අනුසයෙකුත් නො නටුයේ ද හෙ ද සහමුලින් නැසීමට යේ.
Pali BJTඑවං වුත්තෙ ථෙරා භික්ඛූ ආයස්මන්තං ඛෙමකං එතදවොචුං: “න ඛො මයං ආයස්මන්තං ඛෙමකං විහෙසාපෙඛා ආපුච්ඡිම්හා{2} අපි චායස්මා ඛෙමකො පහොති තස්ස භගවතො සාසනං විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං{3} පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. තයිදං ආයස්මතා ඛෙමකෙන තස්ස භගවතො සාසනං විත්ථාරෙන අචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවරිතං විභජිතං උත්තානීකතන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමකයන්ට මෙය කීහු: අපි ආයුෂ්මත් ඛේමකයන් වෙහෙසෙනු කැමැත්තෝ නො විචාළම්හ. එහෙත් ආයුෂ්මත් ඛේමක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්න විස්තර වශයෙන් කියන්නට දේශනා කරන්නට පනවන්නට පිහිටු වන්නට විවරණය කරන්නට බෙදන්නට උඩුහුරු කරන්නට පොහෝනේ යැ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයුෂ්මත් ඛේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේ යැ. දේශනා කරණ ලද්දේ යැ. පනවන ලද්දේ යැ. පිහිටුවන ලද්දේ යැ. විවරණ කරන ලද්දේ යැ. බෙදන ලද්දේ යැ. උඩුහුරු කරණ ලද්දේ”යි.
Pali BJTඉදමවොච ආයස්මා ඛෙමකො. අත්තමනා ථෙරා භික්ඛූ ආයස්මතො ඛෙමකස්ස භාසිතං අභිනන්දුං.
Sinhala BJTආයුෂ්මත් ඛේමක තෙරණුවෝ මෙය වදාළහ. සතුටු සිත් ඇති ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්හ.
Pali BJTඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං ථෙරානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු ආයස්මතො ච ඛෙමකස්සාති.
Sinhala BJTමේ වෙය්‍යාකරණය (නිග්ගාථක සූත්‍රය) බණන කල්හි සැටක් පමණ ස්ථවිර භික්‍ෂුන්ගේත් ආයුෂ්මත් ඛේමක තෙරුන්ගේත් සිත් උපාදාන රහිත වැ කෙලෙසුන්ගෙන් මිදුණේ යි.
Pali BJT1. 2. 4. 8.
Sinhala BJT1. 2. 4. 8.
Pali BJTඡන්න සුත්තං
Sinhala BJTඡන්න සූත්‍රය
Pali BJT90. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා ඡන්නො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො අවාපුරණං{4} ආදාය විහාරෙන විහාරං
Sinhala BJT90. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එ කල්හි ආයුෂ්මත් ඡන්න (ස්ථවිර) සවස්කල විවේකයෙන් නැගී සිටියේ යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට
Pali BJTඋපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොච: “ඔවදන්තු මං ආයස්මන්තො{1} ථෙරා අනුසාසන්තු මං ආයස්මන්තො ථෙරා. කරොන්තු මෙ ආයස්මන්තො ථෙරා ධම්මිං කථං යථාහං ධම්මං පස්සෙය්යන්ති.
Sinhala BJTඑළඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීය: යම් සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් ආයුෂ්මත් තෙරහු මට අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මන්තං ඡන්නං ථෙරා භික්ඛූ එතදවොචුං: “රූපං ඛො ආවුසො ඡන්න, අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තා”ති.
Sinhala BJTමෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාරයෝ අනිතයහ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි.
Pali BJTඅථ ඛො ආයස්මතො ඡන්නස්ස එතදහොසි: මය්හම්පි ඛො එතං එවං හොති: “රූපං අනිච්චං, වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තාති. අථ ච පන මෙ සබ්බසඞ්ඛාර සමථෙ සබ්බූපධිපටිනිස්සග්ගෙ තණ්හක්ඛයෙ විරාගෙ නිරොධෙ නිබ්බානෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති{2} පරිතස්සනා උපාදානං උප්පජ්ජති, පච්චුදාවත්තති මානසං, අථ කො චරහි මෙ අත්තාති, න ඛො පනෙවං{3} ධම්මං පස්සතො හොති. “කො නු ඛො මෙ තථා ධම්මං දෙසෙය්ය යථාහං ධම්මං පස්සෙය්ය”න්ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ, සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි. වැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇලීම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැද ගනියි, නො පහදියි, නො සිටියි, නො බැඳෙයි, තැතිගැනුම ද දැඩි කොට ගැනුම ද උපදියි. වැලි කුමක් මාගේ ආත්මය දැ යි මා සිත පෙරළා එයි, දහම් දක්නහුට එසේ නො වෙයි, යම්සේ මම දහම් දක්නෙම් නම් එසෙයින් කවුරු නම් මට දහම් දෙසත් දැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මතො ඡන්නස්ස එතදහොසි: “අයං ඛො ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති ච මෙ ආයස්මා ආනන්දො තථා ධම්මං දෙසෙතුං යථාහං ධම්මං පස්සෙය්යං, අත්ථි ච මෙ ආයස්මන්තෙ ආනන්දෙ තාවතිකා විස්සට්ඨි, යන්නූනාහං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්ය”න්ති.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් ඡන්නහට තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසයක් ද මට ඇත්තේ ය. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ඡන්නො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන කොසම්බී ඝොසිතාරාමො, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ඡන්නො ආයස්මන්තං ආනන්දං එතදවොච: “එකමිදාහං ආවුසො ආනන්ද, සමයං බාරාණසියං විහරාමි ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො අහං ආවුසො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො අවාපුරණං ආදාය විහාරෙන විහාරං උපසඞ්කමිං. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොචං: “ඔවදන්තු මං ආයස්මන්තො ථෙරා, අනුසාසන්තු මං ආයස්මන්තො ථෙරා, කරොන්තු මෙ ආයස්මන්තො ථෙරා ධම්මිං කථං යථාහං ධම්මං පස්සෙය්ය”න්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිර සෙනසුන් සකසා තබා පා සිවුරු ගෙන කෝසබෑ නුවර ඝෝසිතාරාමරෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත් එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඡන්න ස්ථවිර ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීය: ඇවැත්නි, ආනන්‍දයෙනි, මම එක්කලෙක මේ බරණැස්නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වෙසෙමි. ඇවැත්නි, එ කල්හි මම සවස්කල විවේකයෙන් නැගීසිටියෙම් යතුර රැගෙන වෙහෙරින් වෙහෙරට එළැඹියෙමි. එළැඹැ ස්ථවිර භික්‍ෂුන්ට තෙල කීයෙමි: “යම් සේ මම දහම් දක්නෙම් නම් ආයුෂ්මත් තෙරහු මට එසේ අවවාද කෙරෙත්වා. ආයුෂ්මත් තෙරහු මට අනුශාසන කෙරෙත් වා. ආයුෂ්මත් තෙරහු මට දැහැමි කතා කෙරෙත්වා”යි.
Pali BJTඑවං වුත්තෙ මං ආවුසො, ථෙරා භික්ඛූ එතදවොචුං: රූපං ඛො ආවුසො ඡන්න, අනිච්චං. වෙදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සඞ්ඛාරා අනිච්චා, විඤ්ඤාණං අනිච්චං. රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තා’ති.
Sinhala BJTඇවැත්නි, මෙසේ කී කල්හි ස්ථවිර භික්‍ෂූහු මට ඡන්නහට තෙල කීහු: “ඇවැත්නි, ඡන්නයෙනි, රූපය අනිත්‍ය යැ, වේදනාව අනිත්‍ය යැ සංඥාව අනිත්‍ය යැ, සංස්කාර අනිත්‍ය යැ, විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාර අනාත්ම යැ, විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිතයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
Pali BJTතස්ස මය්හං ආවුසො, එතදහොසි: “මය්හම්පි ඛො එතං එවං හොති: රූපං අනිච්චං, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චං. රූපං අනත්තා, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ ධම්මා අනත්තා’ති.
Sinhala BJTඇවැත්නි, ඒ මට තෙල සිත වියැ: “මට ද තෙල මෙසේ වෙයි. රූපය අනිත්‍ය යැ, වේදනාව ... සංඥාව ... සංස්කාර … විඥානය අනිත්‍ය යි. රූපය අනාත්ම යැ, වේදනාව … සංඥාව ... සංස්කාර ... විඥානය අනාත්ම යි. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු ධර්‍මයෝ අනාත්මයහ”යි.
Pali BJTඅථ ච පන මෙ සබ්බසඞ්ඛාරසමථෙ සබ්බූපධිපටිනිස්සග්ගෙ තණ්හක්ඛයෙ විරාගෙ නිරොධෙ නිබ්බානෙ චිත්තං න පක්ඛන්දති නිප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. පරිතස්සනා උපාදානං උප්පජ්ජති. පච්චුදාවත්තති මානසං. අථ කො චරහි මෙ අත්තාති. න ඛො පනෙතං ධම්මං පස්සතො හොති. කො නු ඛො මෙ තථා ධම්මං දෙසෙය්ය යථාහං ධම්මං පස්සෙය්ය’න්ති.
Sinhala BJTවැලි දු මාගේ සිත සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම වූ සියලු උපධීන්ගේ දුරලීම වූ තෘෂ්ණායෙහි ක්‍ෂය කිරීම වූ නො ඇල්ම වූ නැවැත්ම වූ නිවනෙහි නො වැදගනියි, නො පහදියි, මැනවින් නො සිටියි, නො බැඳෙයි. තැතිගැනුමත් දැඩි කොට ගැනුමත් උපදියි. “වැලි කිමෙක් මාගේ ආත්මය දැ’ යි මා සිත පෙරළා එයි, සිවුසස් දහම් දක්නාහට තෙල නො ම වේ. යම්සේ මම දහම් දක්නෙම් නම් කවරෙක් මට එසේ දහම් දෙසන්නේ දැ”යි.
Pali BJTතස්ස මය්හං ආවුසො, එතදහොසි: “අයං ඛො ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති ච මෙ ආයස්මා ආනන්දො තථා ධම්මං දෙසෙතුං, යථාහං ධම්මං පස්සෙය්යං. අත්ථි ච මෙ ආයස්මන්තෙ ආනන්දෙ තාවතිකා විස්සට්ඨි. යන්නූනාහං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමෙය්ය’න්ති. ඔවදතු මං ආයස්මා ආනන්දො, අනුසාසතු මං ආයස්මා ආනන්දො, කරොතු මෙ ආයස්මා ආනන්දො ධම්මිං කථං, යථාහං ධම්මං පස්සෙය්යන්ති.
Sinhala BJTඇවැත්නි, ඒ මට තෙල තෙල සිත විය: “ශාස්තෘන් වහන්සේ විසින් වර්‍ණනා කරණ ලද, නුවණැති සබ්‍රම්සරුන් විසින් බුහුමන් කරණ ලද මේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. යම්සේ මම දහම් දක්නෙම් නම් එ පරිද්දෙන් මට දහම් දෙසන්නට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පොහොසත් ද වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කෙරෙහි එ පමණ විශ්වාසකුදු මට ඇත. මම ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ’යි. යම්සේ මම දහම් දක්නෙම් එසේ ආයුෂ්මත් තෙරණුවෝ මට අවවාද කරන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට අනුශාසන සේක්වා, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මට දැහැමි කතා කරණ සේක්වා”යි.
Pali BJTඑත්තකෙනපි මයං ආයස්මතො ඡන්නස්ස අත්තමනා අභිරද්ධා, තං{1} ආයස්මා ඡන්නො ආවිඅකාසි. ඛීලං පභින්දි{2} ඔදහාවුසො ඡන්න සොතං. භබ්බො’සි ධම්මං විඤ්ඤාතුන්ති. අථ ඛො ආයස්මතො ඡන්නස්ස තාවතකෙනෙව{3} උළාරං පීතිපාමොජ්ජං උප්පජ්ජි භබ්බො කිරස්මි ධම්මං විඤ්ඤාතු”න්ති.
Sinhala BJTමෙ පමණෙකිනුදු අපි ආයුෂ්මත් ඡන්නහට සතුටු වම්හ, ආයුෂ්මත් ඡන්න විසින් ආරාධිතයම්හ. ආයුෂ්මත් ඡන්න එය හෙළි කළේ යැ. (මාන) හුල බින්දේ ය. ඡන්නයෙනි, කන් යොමු කර, දහම් දැනගන්නට සුදුස්සෙහි. එකල්හි ආයුෂ්මත් ඡන්නහට “දහම් දැනගන්නට සුදුස්සෙමි”යි එ පමණෙකින් ම උදාරප්‍රීති ප්‍රමෝද්‍යය උපන.
Pali BJTසම්මුඛා මෙතං ආවුසො ඡන්න, භගවතො සුතං සම්මුඛා ච පටිග්ගහිතං කච්චානගොත්තං භික්ඛුං ඔවදන්තස්ස “ද්වයනිස්සිතො ඛොයං කච්චාන, ලොකො යෙභුය්යෙන අත්ථිතඤ්චෙව නත්ථිතඤ්ච, ලොකසමුදයං ඛො කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්ථිතා, සා න හොති. ලොකනිරොධං ඛො කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ අත්ථිතා, සා න හොති. උපයුපාදානාභිනිවෙසවිනිබන්ධො ඛො’යං කච්චාන, ලොකො යෙභුය්යෙන, තඤ්චායං උපයුපාදානං චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයං න උපෙති. න උපාදියති න අධිට්ඨාති ‘අත්තා මෙ’ති. දුක්ඛමෙව උප්පජ්ජමානං උප්පජ්ජති. දුක්ඛං නිරුජ්ඣමානං නිරුජ්ඣතීති. න කඞ්ඛති න විචිකිච්ඡති. අපරපච්චයා ඤාණමෙවස්ස එත්ථ හොති. එත්තාවතා ඛො කච්චාන, සම්මාදිට්ඨි හොති.
Sinhala BJTඇවැත්නි, ඡන්නයෙනි, කච්චානගොත්ත මහණහට අවවාද කරණ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් තෙල අසන ලද වෙයි, හමුයෙහි ම පිළිගන්නා ලද ද වෙයි: කච්චානය මෙලෝ වැසි තෙමේ බෙහෙවින් ඇති බව ද නැති බව ද යන දෙක ඇසුරු කළේ ය. කච්චායනය, ලෝකයේ හටගැන්ම තතුසේ විදසුන් නුවණින් දක්නහුට ලොව යම් නැති බවෙක් වේ නම් එය නො වෙයි. කච්චානය ලොකනිරොධය තතු සේ මනා නුවණින් දක්නහුට ලොව යම් ඇති බවෙක් වේ නම් එය නො වේ. කච්චායනය, මේ ලෝවැසි තෙමේ (තණ්හාදී කාමාදි) උපය උපාදාන විනිබන්‍ධ ඇත්තේ යැ. මේ තෙමේ ඒ උපය උපාදාන දෙකට ද සිතේ පිහිටීම ඇතුළත පිවිසීම අනුසය යන මොවුන්ට ද නො පැමිණේ. මාගේ ආත්මය යි නො ගනී. නො පිහිටයි. උපදනේ දුක ම උපදී. නිරුද්ධ වන්නේ දුකම නිරුද්ධ වේ යයි සැක නො කෙරේ. විචිකිච්ඡා නො කෙරේ. පරප්‍රත්‍යය රහිත බැවින් ඔහුට මෙහි ලා දැනීම ම වෙයි. කච්චානය, මෙතෙකින් සම්මාදිට්ඨිය වෙයි.
Pali BJT“සබ්බමත්ථී”ති ඛො කච්චාන, අයමෙකො අන්තො. “සබ්බං නත්ථී”ති ඛො අයං දුතියො අන්තො. එතෙ තෙ කච්චාන, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණංසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTකච්චානය, “සියල්ල ඇතැ”යි යන මෙය අන්තයෙකැ. “සියල්ල නැතැ”යි යන මෙය දෙවෙනි අන්ත යයි. කච්චානය, තෙල අන්ත දෙකට නො පැමිණ තථාගතයෝ මැදුම් මගින් දහම් දෙසති. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙයි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වන්නාහ. මෙසේ තෙල කේවල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වෙයි.
Pali BJTඅවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණංසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTඅවිද්‍යාවේ ම නිරවශේෂ විරාග නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධ වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වෙයි, ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ නිරෝධය වේ යයි.
Pali BJTඑවමෙතං{1} ආවුසො ආනන්ද හොහි, යෙසං ආයස්මන්තානං තාදිසා සබ්රහ්මචාරයො අනුකම්පකා අත්ථකාමා ඔවාදකා අනුසාසකා. ඉදඤ්ච පන මෙ ආයස්මතො ආනන්දස්ස ධම්මදෙසනං සුත්වා ධම්මො අභිසමෙතොති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති අවවාද කරණ අනුශාසනා කරණ ආයුෂ්මතුන් වැනි සබ්‍රම්සරහු වෙත් නම් ඔහු මෙසේ වෙති. ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ දම්දෙසුන් අසා මා විසින් දහම් අවබෝධ කරණ ලද්දේ යයි.
Pali BJT1. 2. 4. 9.
Sinhala BJT1. 2. 4. 9.
Pali BJTපඨම රාහුල සුත්තං
Sinhala BJTපළමුවැනි රාහුල සූත්‍රය
Pali BJT91. සාවත්ථියං:
Sinhala BJT91. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච.
Sinhala BJTඑ කල්හි ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
Pali BJTකථංනු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{2} න හොන්තීති?
Sinhala BJT“වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිංකාර (දිට්ඨි) මමිංකාර ( තණ්හා) මාන යන අනුශය ධර්‍මයෝ නො වෙත් දැ යි”?
Pali BJTයං කිඤ්චි රාහුල, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා
Sinhala BJTරාහුලය, අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල තතු සේ දකියි. යම්කිසි වේදනාවක් ...
Pali BJT-පෙ- යා කාචි සඤ්ඤා - යෙ කෙචි සඞ්ඛාරා - යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි න මෙ’සො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති.
Sinhala BJTයම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාරකෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ සම්‍යක් ප්‍රඥායෙන් තෙල ඇති සැටි දකියි.
Pali BJTඑවං ඛො රාහුල, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තී”ති.
Sinhala BJTරාහුල, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානානුසයෝ නො වෙති යි.
Pali BJT1. 2. 4. 10.
Sinhala BJT1. 2. 4. 10.
Pali BJTදුතිය රාහුල සුත්තං
Sinhala BJTදෙවැනි රාහුල සූත්‍රය
Pali BJT92. සාවත්ථියං:
Sinhala BJT92. සැවැත්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා රාහුලො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකත්පසෙක හුන් ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
Pali BJTකථංනු ඛො භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති?
Sinhala BJT“වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිංකාර මමිංකාර මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්මවූ සන්හුන් වූ මොනොවට මිදුණු සිත වේ දැ?” යි
Pali BJTයං කිඤ්චි රාහුල, රූපං -පෙ- යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදාවිමුත්තො හොති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා - යෙ කෙචි සඞ්ඛාරා - යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුත්තො හොති.
Sinhala BJTරාහුලය, ... යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද, ඒ සියලු රූපය “තෙල මාගේ නොවේ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත වැ මිදුණේ වෙයි. යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙකුත් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ” යයි මෙසේ තෙල තතු සේ මනා නුවණින් දැක උපාදාන රහිත ව මිදුණේ වෙයි.
Pali BJTඑවං ඛො රාහුල, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිංකාරමමිංකාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තන්ති.
Sinhala BJTරාහුලය, මෙසේ දන්නා මෙසේ දක්නා පුද්ගලහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් පිටත සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර (දිට්ඨි) මමිංකාර (තණ්හා) මානයෙන් වෙන් වූ මාන කොටසුන් ඉක්ම වූ සන්හුන් වූ මැනවින් මිදුණු සිත වේ යි.
Pali BJTථෙරවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි ථේර වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උදානය:
Pali BJTආනන්දො තිස්සො යමකො අනුරාධො ච වක්කලි අස්සජි ඛෙමකො ඡන්නො රාහුලා අපරෙ දුවෙති.
Sinhala BJTආනන්‍ද, තිස්ස, යමක, අනුරාධ, වක්කලි, අස්සජි, ඛේමක, ඡන්න යන සූත්‍ර ද, අනෙක් රාහුල සූත්‍ර දෙක දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT5. පුප්ඵවග්ගො
Sinhala BJT5. පුප්ඵ වර්‍ගය
Pali BJT1. 2. 5. 1.
Sinhala BJT1. 2. 5. 1.
Pali BJTනදී සුත්තං
Sinhala BJTනදී සූත්‍රය
Pali BJT93. සාවත්ථියං:
Sinhala BJT93. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, නදී පබ්බතෙය්යා ඔහාරිනී දූරඞ්ගමා සීඝසොතා. තස්සා උභොසු තීරෙසු{1} කාසා චෙපි ජාතා අස්සු. තෙ නං අජ්ඣොලම්බෙය්යුං, කුසා චෙපි ජාතා අස්සු. තෙ නං අජ්ඣොලම්බෙය්යුං. බබ්බජා චෙපි ජාතා අස්සු. තෙ නං අජ්ඣොලම්බෙය්යුං. බීරණා චෙපි ජාතා අස්සු. තෙ නං අජ්ඣොලම්බෙය්යුං. රුක්ඛා චෙපි ජාතා අස්සු. තෙ නං අජ්ඣොලම්බෙය්යුං.
Sinhala BJTමහණෙනි, යම්සේ පර්‍වතයෙන් ගලා බස්නා, දියෙහි වැටුණු වැටුණු දෑ පහළට ගෙන යන, දුරට ගමන් කරන, වේගවත් ජලධාරා ඇති නදියක් වේ ද, ඉදින් එහි දෙතෙර හටගත් වැලුක් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් කුශ තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ. ඉදින් හටගත් බබුස් තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් සුවඳහොට තෘණයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහ, ඉදින් හටගත් (එරඬු ආදී දුබල) වෘක්‍ෂයෝ වෙත් ද, ඔහු ඒ නදිය එල්බ ගන්නාහු ය.
Pali BJTතස්සා පුරිසො සොතෙන වුය්හමානො කාසෙ චෙපි ගණ්හෙය්ය, තෙ පලුජ්ජෙය්යුං. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජෙය්ය. කුසෙ චෙපි ගණ්හෙය්ය තෙ පලුජ්ජෙය්යුං. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජෙය්ය බබ්බජෙ චෙපි ගණ්හෙය්ය තෙ පලුජ්ජෙය්යුං. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජෙය්ය. බීරණෙ චෙපි ගණ්හෙය්ය තෙ පලුජ්ජෙය්යුං. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජෙය්ය. රුක්ඛෙ චෙපි ගණ්හෙය්ය. තෙ පලුජ්ජෙය්යුං. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජෙය්ය.
Sinhala BJTඒ නදියේ සැඩ පහරින් පහතට ගෙන යනු ලබන (පාවෙන) පුරුෂයෙක් ඉදින් ඒ වැලුක් එල්බ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙන්නේ ය. ඉදින් කුසතණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් බුබුස් තණ ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් සුවඳහොට ගන්නේ ද, ඒ තෘණ සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ. ඉදින් රුක් ගන්නේ ද, ඒ රුක් සිඳෙන්නේ යැ. හේ ඒ හේතු කොට බලවත් වනසට පැමිණෙන්නේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, තස්ස තං රූපං පලුජ්ජති. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නා, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් ආත්මය හෝ, රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හි දකියි. ඔහට ඒ රූපය නැසෙයි. හෙ ඒ නිදාන කොට ඇති මහත් වනසට පැමිණෙයි.
Pali BJTවෙදනං අත්තතො සමනුපස්සති -පෙ- වෙදනාය වා අත්තානං. තස්ස සා වෙදනා පලුජ්ජති. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජති. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. සඞ්ඛාරවන්තං වා අත්තානං. අත්තනි වා සඞ්ඛාරෙ. සඞ්ඛාරෙසු වා අත්තානං. තස්ස තෙ සඞ්ඛාරා පලුජ්ජන්ති. සො තතො නිදානං අනයව්යසනං ආපජ්ජති. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං. අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්ස තං විඤ්ඤාණං පලුජ්ජති. සො තතො නිදානා අනයව්යසනං ආපජ්ජති.
Sinhala BJTවේදනාව ආත්ම යයි දකියි ... වේදනාවේ ආත්මය පවතී යයි හෝ දකියි. ඔහුගේ ඒ වේදනාව නැසෙයි. හෙ ඒ හේතු කොට ඇති මහත් වනසට පැමිණෙයි. සංඥාව ... සංස්කාර ආත්මය යි දකියි, ආත්මය සංස්කාර ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යි හෝ සංස්කාරයන්හි ආත්මය පවතී යි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ නැසෙති, හෙ ඒ හේතු කොට ඇති බලවත් වනසට පැමිණෙයි. විඥානය ආත්මය යි දකියි, ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යි හෝ විඥානයෙහි ආත්මය පවතී යි හෝ දකියි, ඔහුගේ ඒ විඥානය නැසෙයි. හේ ඒ හේතු කොට බලවත් දුකට පැමිණේ.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ ද?යි.
Pali BJTඅනිච්චං භන්තෙ,
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
Pali BJTදුක්ඛං භන්තෙ,
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තාති?”.
Sinhala BJTයෙමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සැහැවි නම් එය “තෙල මාගේ යැ. තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ?”යි.
Pali BJTනො හෙතං භන්තෙ,
Sinhala BJTවහන්ස, මෙය යුතු නො වේ ම ය.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වෙත් ද, අනිත්‍ය හෝ වෙත් දැ?යි.
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-.
Sinhala BJTවහන්ස, අනිත්‍ය ය ...
Pali BJTතස්මාතිහ භික්ඛවෙ -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ... මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 2. 5. 2.
Sinhala BJT1. 2. 5. 2.
Pali BJTපුප්ඵ සුත්තං
Sinhala BJTපුප්ඵ සූත්‍රය
Pali BJT94. සාවත්ථියං:
Sinhala BJT94. සැවැත්නුවර:
Pali BJTනාහං භික්ඛවෙ, ලොකෙන විවදාමි. ලොකො ව{1} ඛො භික්ඛවෙ, මයා විවදති. න භික්ඛවෙ, ධම්මවාදී කෙනචි ලොකස්මිං විවදති.
Sinhala BJTමහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. මහණෙනි, ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි, ධර්‍මවාදියෙක් ලොව කිසිවකු සමග විවාද නො කෙරෙයි.
Pali BJTයං භික්ඛවෙ, නත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං නත්ථීති වදාමි.{2} යං භික්ඛවෙ, අත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථීති වදාමි.
Sinhala BJTමහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැ යි සම්මත නම් මම ද එය නැතැ යි කියමි. මහණෙනි , ලොව යෙමෙක් පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත නම් මම ද එය ඇතැ යි කියමි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, නත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං යමහං නත්ථීති වදාමි.
Sinhala BJTමහණෙනි, මම යම් නැතැ යි කියම් ද, ලොව එ බඳු කිමෙක් පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං නත්ථීති වදාමි. වෙදනා නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා නත්ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං නත්ථීති වදාමි. සඤ්ඤා -පෙ- සඞ්ඛාරා නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා නත්ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං නත්ථීති වදාමි. විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මං නත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං නත්ථීති වදාමි. ඉදං ඛො භික්ඛවෙ, නත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං යමහං නත්ථීති වදාමි.{2}
Sinhala BJTමහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම රූපයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වේදනාවක් නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. සංඥාවක් ... නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම සංස්කාර ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම විඥානයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය නැතැ යි කියමි. මහණෙනි, මම යමක් නැතැ යි කියම් ද, මේ වූකලී ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත යි.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, අත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං යමහං අත්ථීති වදාමි.
Sinhala BJTමහණෙනි, මම යෙමෙක් ඇතැ යි කියම් ද, ඒ කිමෙක් ලොව පණ්ඩිතයන් විසින් ඇතැ යි සම්මත ද යත්:
Pali BJTරූපං භික්ඛවෙ, අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං අත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථීති වදාමි. වෙදනා අනිච්චා දුක්ඛා විපරිනාමධම්මං අත්ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථීති වදාමි, සඤ්ඤා -පෙ- සඞ්ඛාරා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා අත්ථිසම්මතා ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථීති වදාමි, විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිනාමධම්මං අත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පි තං අත්ථීති වදාමි.
Sinhala BJTමහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්‍ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.
Pali BJTඉදං ඛො භික්ඛවෙ, අත්ථිසම්මතං ලොකෙ පණ්ඩිතානං යමහං අත්ථීති වදාමි.
Sinhala BJTමහණෙනි, මම යමෙක් ඇතැ යි කියම් ද, මෙය වූකලී පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යි.
Pali BJTඅත්ථි භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො යං{1} තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. කිඤ්ච භික්ඛවෙ, ලොකෙ ලොකධම්මො යං තථාගතො අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති, පඤ්ඤපෙති, පට්ඨපෙති, විවරති විභජති උත්තානීකරොති?
Sinhala BJTමහණෙනි, තථාගත තෙමේ යමක් මොනොවට අවබෝධ කෙරෙයි ද, මොනොවට දැනගනියි ද, මොනොවට අවබෝධ කොට මොනොවට දැනගෙන කියයි ද, දේශනා කෙරෙයි ද, පනවයි ද, පිහිටුවයි ද, විවර්‍ණ කෙරෙයි ද, බෙදයි ද, උඩුහුරු කෙරෙයි ද, ඒ ලෝකධර්‍මය (ස්කන්‍ධ පඤ්චකය) ලොව ඇති. මහණෙනි, තථාගත තෙමේ යමක් මැනවින් අවබෝධ කෙරෙයි නම් මනාකොට දැනගනියි නම් අවබෝධ කොට දැන කියා නම් දේශනා කෙරේ නම් පනවා නම් පිහිටුවා නම් විවරණය කෙරේ නම් බෙදා නම් උඩුහුරු කෙරේ නම් ලොව ඒ ලෝකධර්‍මය කිමෙක යත්: