Pali BJTතෙන ඛො පන සමයෙන පඤ්චන්නං රාජූනං පසෙනදිපමුඛානං පඤ්චහි කාමගුණෙහි සමප්පිතානං සමඞ්ගීභූතානං පරිචාරයමානානං අයමන්තරා කථා උපදපාදි: කින්නු ඛො කාමානං අග්ගන්ති?
Sinhala BJTඑකල්හි පස්කම්ගුණයෙන් පිණා ගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් පිණවන්නා වූ පසේනදි කොසොල් රජුන් ප්‍රමුඛ කොට ඇති පස් රජුන් අතර “කාමවස්තු අතුරෙන් කුමක් අග්‍ර ද?” යන මේ අතුරු කතාව පහළ විය.
Pali BJTතත්රෙකච්චෙ එවමාහංසු: රූපා කාමානං අග්ගන්ති. එකච්චෙ එවමාහංසු: සද්දා කාමානං අග්ගන්ති. එකච්චෙ එවමාහංසු: ගන්ධා කාමානං අග්ගන්ති. එකච්චෙ එවමාහංසු: රසා කාමානං අග්ගන්ති. එකච්චෙ එවමාහංසු: ඵොට්ඨබ්බා කාමානං අග්ගන්ති. යතො ඛො තෙ රාජානො{1} නාසක්ඛිංසු අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙතුං. අථ ඛො රාජා පසෙනදි කොසලො තෙ රාජානො එතදවොච: ආයාම මාරිසා යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා භගවන්තං එතමත්ථං පටිපුච්ඡිස්සාම. යථා නො භගවා ව්යාකරිස්සති තථා නං ධාරෙස්සාමාති{2}
Sinhala BJTඑහි ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ශබ්දයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ගන්‍ධයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රසයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. යම් හෙයකින් ඒ රජවරු ඔවුනොවුන් හඟවන්නට නො හැකි වූහු ද? එකල පසේනදි කොසොල් රජ තෙමේ ඒ රජවරුන්ට “නිදුකානෙනි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කරුණ විචාරන්නමෝ යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ අපට විසඳන සේක් ද, එපරිද්දෙන් එය දරන්නෙමු”යි තෙල කී ය.
Pali BJTඑවං මාරිසාති ඛො තෙ රාජානො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පච්චස්සොසුං. අථ ඛො තෙ පඤ්ච රාජානො පසෙනදිප්පමුඛා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ අම්හාකං පඤ්චන්නං රාජූනං පඤ්චහි කාමගුණෙහි සමප්පිතානං සමඞ්ගීභූතානං පරිචාරයමානානං අයමන්තරා කථා උදපාදි: කින්නු ඛො කාමානං අග්ගන්ති? එකච්චෙ එවමාහංසු: රූපා කාමානං අග්ගන්ති. එකච්චෙ එවමාහංසු: සද්දා -පෙ- ඵොට්ඨබ්බා කාමානං අග්ගන්ති. කින්නු ඛො භන්තෙ කාමානං අග්ග”න්ති?
Sinhala BJTනිදුකානෙනි, එසේ ය යි ඒ රජවරු පසේනදි කොසොල්රජහට පිළිතුරු දුන්හ. ඉක්බිති පසේනදි කොසොල්රජ ප්‍රමුඛ කොට ඇති ඒ පස් රජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි පස්කම්ගුණෙන් පිණාගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් හසුරුවන්නා වූ අප පස් රජුන් අතර කාමවතූන් අතුරෙන් කිමෙක අග්‍ර ද” යන මේ අතුරු කතාව පහළ විය. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කීහ. ඇතැම් කෙනෙක් ශබ්දයෝ … කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. වහන්ස, කාමවස්තූන් අතුරෙන් කිමෙක් අග්‍ර ද?
Pali BJTමනාපපරියන්තං ඛ්වාහං මහාරාජ පඤ්චසු කාමගුණෙසු අග්ගන්ති වදාමි. තෙ’ව{3} මහාරාජ රූපා එකච්චස්ස මනාපා හොන්ති. තෙ’ව{3} රූපා එකච්චස්ස අමනාපා හොන්ති. යෙහි ච යො රූපෙහි අත්තමනො හොති. පරිපුණ්ණසඞ්කප්පො, සො තෙහි රූපෙහි අඤ්ඤං රූපං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති. තෙ තස්ස රූපා පරමා හොන්ති. තෙ තස්ස රූපා අනුත්තරා හොන්ති.
Sinhala BJTමහරජ, මම වනාහි පඤ්චකාමගුණයන් අතුරෙන් මනාපය කෙළවර කොට ඇත්තේ අග්‍රය යි කියමි. මහරජ, ඒ රූපයෝ ම ඇතැමකුට මනාප වෙත්. ඒ රූපයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් රූපවලින් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ රූපයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් රූපයක් නො පතයි. ඔහුට ඒ රූපයෝ උතුම් වෙත්. ඔහුට ඒ රූපයෝ අනුත්තර වෙත්.
Pali BJTතෙ’ව{3} මහාරාජ සද්දා -පෙ- තෙ’ව මහාරාජ ගන්ධා -පෙ- තෙ’ව මහාරාජ රසා -පෙ- තෙ’ව මහාරාජ ඵොට්ඨබ්බා එකච්චස්ස මනාපා හොන්ති. තෙ’ව{3} ඵොට්ඨබ්බා එකච්චස්ස අමනාපා හොන්ති. යෙහි ච යො ඵොට්ඨබ්බෙහි අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො, සො තෙහි ඵොට්ඨබ්බෙහි අඤ්ඤං ඵොට්ඨබ්බං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථෙති. තෙ තස්ස ඵොට්ඨබ්බා පරමා හොන්ති. තෙ තස්ස ඵොට්ඨබ්බා අනුත්තරා හොන්තීති.
Sinhala BJTමහරජ, ඒ ශබ්දයෝ ම … මහරජ, ඒ ගන්‍ධයෝ ම … මහරජ, ඒ රසයෝ ම … මහරජ, ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතමකුට මනාප වෙත්. ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ ස්ප්‍රෂ්ටව්‍යයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් ස්ප්‍රෂ්ටව්‍යයක් නො පතයි. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ උතුම් වෙත්. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ අනුත්තර වෙත්.
Pali BJTතෙන ඛො පන සමයෙන චන්දනඞ්ගලිකො උපාසකො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො චන්දනඞ්ගලිකො උපාසකො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති.
Sinhala BJTඑකල්හි චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ පිරිස්හි හුන්නේ වේ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ ය” යි තෙල සැළ කෙළේ ය:
Pali BJT“පටිභාතු තං චන්දනඞ්ගලිකා”ති භගවා අවොච.
Sinhala BJT“චන්‍දනඞ්ගලික , තොපට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො චන්දනඞ්ගලිකො උපාසකො භගවතො සම්මුඛා තදනුරූපාය ගාථාය අභිත්ථවි:
Sinhala BJTඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ඊට සුදුසු ගාථායෙන් ස්තුති කළේ ය.
Pali BJTපදුමං යථා කොකනදං සුගන්ධං පාතො සියා ඵුල්ලමවීතගන්ධං, අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛෙති.
Sinhala BJTසුවඳ ඇති රත් පියුම අලුයම පිපුනේ යම්සේ පහ නො වූ සුවඳ ඇත්තේ වන්නේ ද, එසෙයින් අහසෙහි බබලන හිරු මෙන් විරාජමාන වූ බුදුරජානන් වහන්සේ බලව.
Pali BJTඅථ ඛො තෙ පඤ්ච රාජානො චන්දනඞ්ගලිකං උපාසකං පඤ්චහි උත්තරාසඞ්ගෙහි අච්ඡාදෙසුං. අථ ඛො චන්දනඞ්ගලිකො උපාසකො තෙහි පඤ්චහි උත්තරාසඞ්ගෙහි භගවන්තං අච්ඡාදෙසීති.
Sinhala BJTඉක්බිති ඒ පස් රජහු උතුරුසළු පසෙකින් චන්‍දනඞ්ගලික උපාසකයා හැඳවූහ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ උතුරුසළු පසින් භාග්‍යවතුන් වහන්සේ පිදී ය.
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTදොණපාකසුත්තං.
Sinhala BJTදෝණපාක සූත්‍රය
Pali BJT124. සාවත්ථියං–
Sinhala BJT124. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො දොණපාකං සුදං{1} පරිභුඤ්ජති. අථ ඛො රාජා පසෙනදි කොසලො භුත්තාවී මහස්සාසී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
Pali BJTඅථ ඛො භගවා තං රාජානං පසෙනදිං කොසලං භුත්තාවිං මහස්සාසිං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක:
Pali BJTමනුජස්ස සදා සතීමතො මත්තං ජානතො ලද්ධභොජනෙ, තනු තස්ස{2} භවන්ති වෙදනා සනිකං ජීරති ආයුපාලයන්ති.
Sinhala BJTහැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන සුදස්සනො මාණවො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පිට්ඨිතො ඨිතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො සුදස්සනං මාණවං ආමන්තෙසි: “එහි ත්වං, තාත සුදස්සන, භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා මම භත්තාභිහාරෙ භාස. අහඤ්ච තෙ දෙවසිකං කහාපණසතං නිච්චභික්ඛං{3} පවත්තයිස්සාමීති.” එවං දෙවාති ඛො සුදස්සනො මාණවො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා{4} භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා පසෙනදිස්ස කොසලස්ස භත්තාභිහාරෙ සුදං භාසති:
Sinhala BJTඑකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්‍ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි:
Pali BJT“මනුජස්ස සදා සතීමතො මත්තං ජානතො ලද්ධභොජනෙ, තනු තස්ස{2} භවන්ති වෙදනා සනිකං ජීරති ආයුපාලයන්ති.”
Sinhala BJT“හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.”
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො අනුපුබ්බෙන නාළිකොදනපරමතාය සණ්ඨාසි. අථ ඛො රාජා පසෙනදි කොසලො අපරෙන සමයෙන සල්ලිඛිතගත්තො{5} පාණිනා ගත්තානි අනුමජ්ජන්තො තායං වෙලායං ඉමං උදානං උදානෙසි: “උභයෙන වත මං සො භගවා අත්ථෙන අනුකම්පි, දිට්ඨධම්මිකෙන චෙව අත්ථෙන සම්පරායිකෙන චා”ති.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්‍ත්‍ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTපඨමසඞ්ගාමසුත්තං.
Sinhala BJTපඨමසඞ්ගාම සූත්‍රය
Pali BJT125. සාවත්ථියං–
Sinhala BJT125. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි.
Sinhala BJTඑකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරඟ සෙනග (සන්නාහ) සන්නද්ධ කොට ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා ඉදිරියට ගියේ ය.
Pali BJTඅස්සොසි ඛො රාජා පසෙනදි කොසලො “රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී”ති. අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්යාසි යෙන කාසි.
Sinhala BJTපසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ සිවුරඟ සෙනඟ සරසා ගෙන මට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා පැමිණියේ ය”යි ඇසී ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසවා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුට විරුද්ධ ව කසී ගම කරා යුධ පිණිස ඉදිරියට ගියේ ය.
Pali BJTඅථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පායාසි{1}.
Sinhala BJTමගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල්රජ තෙමේ ද යුධ කළ හ. ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල්රජු පැරදවී ය. පැරදුනු පසේනදි කොසොල්රජ තෙමේ ස්වකීය රාජධානිය වූ සැවැත්නුවර ම පෙරළා ගියේ ය.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
Pali BJTඉධ භන්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි. අස්සොසි ඛො භන්තෙ රාජා පසෙනදි කොසලො “රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී”ති. අථ ඛො භන්තෙ රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්යාසි යෙන කාසි. අථ ඛො භන්තෙ රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං.
Sinhala BJTවහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිතපුත්‍ර අජාතසත්තු තෙමේ මට විරුද්ධව යුධ පිණිස සිවුරඟ සෙනඟ සරසා ගෙණ කසීගම කරා ඉදිරියට ගියේ ය”යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුද්ධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුද කළ හ.
Pali BJTතස්මිං ඛො පන භන්තෙ, සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච භන්තෙ, රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පායාසීති.
Sinhala BJTවහන්ස, ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල් රජ පැරද වීය. වහන්ස, පැරදුන පසේනදි කොසොල් රජ තෙමේ සිය රාජධානිය වූ සැවැත්නුවරට ම පෙරළා ගියේ ය.
Pali BJTරාජා භික්ඛවෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. රාජා ච ඛො භික්ඛවෙ, පසෙනදි කොසලො කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අජ්ජතඤ්ච{2} භික්ඛවෙ රාජා පසෙනදි කොසලො ඉමං රත්තිං දුක්ඛං සෙස්සති{3} පරාජිතොති.
Sinhala BJTමහණෙනි, මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පවිටු මිතුරන් ඇත්තේ ය. පවිටු යහළුවන් ඇත්තේ ය. පවිටන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල් රජ තෙමේ කලණ මිතුරන් ඇත්තේ ය. කලණ යහළුවන් ඇත්තේ ය. කලණයන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල්රජ තෙමේ පැරදුනේ අද මේ රැයත් දුක සේ හොවින්නේ ය.
Pali BJTජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො, උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයන්ති.
Sinhala BJTදිනන්නේ වෛරී ජනයා ලබයි. පැරදුනේ දුක සේ වෙසෙයි. දිනුම් පැරදුම් දෙක හැර සන්සිදුනේ සුව සේ වෙසෙයි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTදුතියසඞ්ගාමසුත්තං.
Sinhala BJTදුතීය සඞ්ගාම සූත්‍රය
Pali BJT126. සාවත්ථියං–
Sinhala BJT126. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි.{1} අස්සොසි ඛො රාජා පසෙනදි කොසලො රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසීති.
Sinhala BJTඑකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. පසේනදි කොසොල් තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට පැමිණියේ යැ යි” ඇසීය.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්යාසි යෙන කාසි.{1} අථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පරාජෙසි, ජීවග්ගාහඤ්ච{2} නං අග්ගහෙසි.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. එකල්හි මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද පසේනදි කොසොල්රජ තෙමේ ද යුද කළහ. ඒ යුදෙහි දී පසේනදි කොසොල්රජ තෙමේ මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ජීවග්‍රාහයෙන් ද ඔහු අල්ලා ගත්තේ ය.
Pali BJTඅථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි: කිඤ්චාපි ඛො ම්යායං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො අදුබ්භන්තස්ස දුබ්භති. අථ ච පන මෙ භාගිනෙය්යො හොති. යන්නූනාහං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො{3} වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං පරියාදියිත්වා සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔස්සජ්ජෙය්යන්ති{4}.
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජහට මේ අදහස විය: මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරණ මට ද්‍රෝහ කෙරෙයි. එතකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රිය සෙනඟ පැහැර ගෙණ, සියලුපාබල සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හරණෙම් නම් මැනව යි කියා යී.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා -පෙ- ජීවන්තමෙව නං ඔස්සජ්ජි{5}.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැර ගෙණ … ඔහු ජීවත්වන්නහු ම මුදා හළේ ය.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
Pali BJTඉධ භන්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි. අස්සොසි ඛො භන්තෙ, රාජා පසෙනදි කොසලො -පෙ- කාසීති. අථ ඛො භන්තෙ, රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්යාසි යෙන කාසි. අථ ඛො භන්තෙ, රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන භන්තෙ, සඞ්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පරාජෙසි, ජීවග්ගාහඤ්ච නං අග්ගහෙසි.
Sinhala BJTවහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල්රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ … කසීගම කරා ඉදිරියට පැමිණියේ ය යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධාධිපති වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, ඉක්බිති මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුධ කළ හ. වහන්ස, ඒ යුදෙහි දි පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ඔහු ජීවග්‍රාහයෙන් ද අල්ලා ගත්තේ ය.
Pali BJTඅථ ඛො භන්තෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි: කිඤ්චාපි ඛො ම්යායං රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො අදුබ්භන්තස්ස දුබ්භති, අථ ච පන මෙ භාගිනෙය්යො හොති. යන්නූනාහං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔස්සජ්ජෙය්යන්ති. අථ ඛො භන්තෙ, රාජා පසෙනදි කොසලො රඤ්ඤො මාගධස්ස අසතජාතසත්තුනො වෙදෙහිපුත්තස්ස සබ්බං හත්ථිකායං පරියාදියිත්වා සබ්බං අස්සකායං පරියාදියිත්වා සබ්බං රථකායං පරියාදියිත්වා සබ්බං පත්තිකායං පරියාදියිත්වා ජීවන්තමෙව නං ඔස්සජ්ජි.
Sinhala BJTවහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජහට මේ අදහස විය: “මගධාධිපති වේදේහිපුත්‍ර මේ අජාතසත්තුරජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරන්නා වූ මට ද්‍රෝහ කෙරෙයි. එතෙකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රියසෙනඟ පැහැර ගෙණ, සියලු පාබළ සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත්වන්නහු ම මුදා හරණෙම් නම් මැනවැ” යි කියා යි. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුගේ සියලු ඇත්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු අස්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු රිය සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු පාබලසෙනඟ පැහැර අල්ලා ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හළේ ය.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි දී මේ ගාථා වදාළ සේක:
Pali BJTවිලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති, යදා චඤ්ඤෙ විලුම්පන්ති සො විලුත්තො විලුප්පති{1}.
Sinhala BJTයම් තාක් ඔහුට හැකි වේ ද, (ඒ තාක්) පුරුෂ තෙමේ වනසා ම ය. යම් කලෙක අන්‍යයෝ (තමා) නසද්ද, එකල්හි ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.
Pali BJTඨානං හි මඤ්ඤති බාලො යාව පාපං න පච්චති, යදා ච පච්චති පාපං අථ{2} බාලො දුක්ඛං නිගච්ඡති.
Sinhala BJTයම් තාක් පාපය විපාක නො දේ ද, (ඒ තාක්) අඥාන තෙමේ (සතුටට) කරුණකැ යි හඟී. යම් කලෙකත් පාපය විපාක දේ ද, එකල්හි අඥාන තෙමේ දුකට පැමිණේ.
Pali BJTහන්තා ලභති හන්තාරං ජෙතාරං ලභතෙ ජයං, අක්කොසකො ච අක්කොසං රොසෙතාරඤ්ච රොසකො, අථ කම්මවිවට්ටෙන සො විලුත්තො විලුප්පතීති{1}.
Sinhala BJT(මෙරමා) නසන්නා (තමා) නසන්නකු ලබයි, (මෙරමා) දිනන්නා (තමා) දිනන්නකු ලබයි. ආක්‍රෝශ කරන්නා ආක්‍රෝශ කරන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. තව ද කර්‍මය මිහි කිරීමෙන් ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTධීතුසුත්තං.
Sinhala BJTධීතු සූත්‍රය
Pali BJT127. සාවත්ථියං–
Sinhala BJT127. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උපකණ්ණකෙ ආරොචෙසි: මල්ලිකා දෙව, දෙවී ධීතරං විජාතාති. එවං වුත්තෙ රාජා පසෙනදි කොසලො අනත්තමනො අහොසි.
Sinhala BJTඑකල්හි එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි රජහට “දේවයන් වහන්ස, මල්ලිකාදේවී තොමෝ දුවක වැදුවා ය”යි කණ ලඟ සැළ කළේ ය. එසේ කී කල්හි පසේනදි කොසොල් රජ නො සතුටු සිත් ඇත්තේ විය.
Pali BJTඅථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං අනත්තමනං{3} විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නොසතුටු සිත් ඇත්තහු දැන ඒ වේලාවෙහි මේ ගාථා වදාළ සේක.
Pali BJTඉත්ථි පි හි එකච්චියා සෙය්යා පොස ජනාධිප, මෙධාවිනී සීලවතී සස්සුදෙවා පතිබ්බතා.
Sinhala BJTරජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද ශ්‍රේෂ්ඨ ය. (එහෙයින්) පොෂණය කරුණු මැන. නුවණැති සිල්වත් නැදිමයිලන් දෙවි කොට වෙසෙන පතිවත රක්නා (යම් ස්ත්‍රියක් වේ ද,)
Pali BJTතස්සා යො ජායති පොසො සූරො හොති දිසම්පති, තාදිසා සුභගියා{4} පුත්තො රජ්ජම්පි අනුසාසතීති.
Sinhala BJTදිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, (හෙ තෙමේ) දක්‍ෂයෙක් වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනා ද කෙරෙයි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTඅප්පමාදසුත්තං.
Sinhala BJTඅප්පමාද සූත්‍රය
Pali BJT128. සාවත්ථියං–
Sinhala BJT128. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ එකො ධම්මො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති, දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති.
Sinhala BJTඑකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇද්ද?
Pali BJTඅත්ථි ඛො මහාරාජ එකො ධම්මො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති, දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති.
Sinhala BJTමහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහමෙක් ඇත.
Pali BJTකතමො පන භන්තෙ එකො ධම්මො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති, දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති?
Sinhala BJTවහන්ස, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම කිමෙක් ද?
Pali BJTඅප්පමාදො ඛො මහාරාජ එකො ධම්මො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති. සෙය්යථාපි මහාරාජ යානි කානිචි ජඞ්ගමානං{2} පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො මහාරාජ අප්පමාදො එකො ධම්මො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චාති.
Sinhala BJTමහරජ, යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් එබඳු එක් දහම අප්‍රමාදය යි. මහරජ, ඇවිදින ප්‍රාණින්ගේ යම් කිසි පා සටහන්හු වෙත් නම් ඒ සියල්ලෝ යම්සේ ඇත්පියෙහි ඇතුළත වීමට යෙද්ද, යම් ඒ මහත්ත්‍වයෙන් ඇත්පිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේද, මහරජ, එසෙයින් ම යම් දහමෙක් මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් අභිවෘද්ධිය ම අත්පත් කොට ගෙණ සිටී නම් අප්‍රමාදය ඒ එක් දහම යි.
Pali BJTආයුං අරොගියං වණ්ණං සග්ගං උච්චාකුලීනතං, රතියො පත්ථයන්තෙන උළාරා අපරාපරා, අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
Sinhala BJTආයුෂ, නීරෝගබව ද, ශරීර වර්‍ණය ද, ස්වර්‍ගය ද, උසස්කුල ඇති බව ද, උදාර වූ අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි නොපමාවීම නුවණැත්තෝ පසසත්.
Pali BJTඅප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති{3} පණ්ඩිතො, දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො යො චත්ථො සම්පරායිකො, අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.
Sinhala BJTමෙලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පරලොව යම් අභිවෘද්ධියෙකුත් වේ ද, පණ්ඩිත තෙමේ නො පමා වූයේ ඒ දෙවැදෑරුම් අභිවෘද්ධිය ම ලබයි. ධෘතිසම්පන්න පුද්ගල තෙමේ අර්‍ත්‍ථප්‍රතිලාභය හේතු කොට ගෙණ පණ්ඩිත ය යි කියනු ලැබේ.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTකල්යාණමිත්තසුත්තං.{*}
Sinhala BJTකල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT129. සාවත්ථියං–
Sinhala BJT129. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ස්වාක්ඛාතො භගවතා ධම්මො. සො ච ඛො කල්යාණමිත්තස්ස කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස නො පාපමිත්තස්ස නො පාපසහායස්ස නො පාපසම්පවඞ්කස්සාති.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, ස්වාක්ඛාතො මහාරාජ මයා ධම්මො. සො ච ඛො කල්යාණමිත්තස්ස කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස. නො පාපමිත්තස්ස නො පාපසහායස්ස නො පාපසම්පවඞ්කස්සාති.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, මා විසින් ධර්‍මය ස්වාක්ඛාත ය. එ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ.
Pali BJTඑකමිදාහං මහාරාජ, සමයං සක්කෙසු විහරාමි නාගරකං{1} නාම සක්යානං නිගමො. අථ ඛො මහාරාජ ආනන්දො භික්ඛු යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහාරාජ ආනන්දො භික්ඛු මං එතදවොච: උපඩ්ඪමිදං භන්තෙ බ්රහ්මචරියස්ස යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති. එවං වුත්තාහං මහාරාජ ආනන්දං භික්ඛුං එතදවොචං: මා හෙවං ආනන්ද, මා හෙවං ආනන්ද, සකලමෙව හිදං ආනන්ද බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා. කල්යාණමිත්තස්සෙතං ආනන්ද භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති{2} අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති.
Sinhala BJTමහරජ, එක් කලෙක මම ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම්ගම්හි වෙසෙමි. මහරජ, එකල අනඳ මහණ තෙමේ මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක හුන්නේ ය. මහරජ, එකත්පසෙක හුන් අනඳ මහණ තෙමේ මට “වහන්ස, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය මගබඹසර පිළිබඳ හරි අඩෙකැ”යි මෙය සැළ කෙළේ ය. මහරජ, එසේ කියන ලද මම අනඳ මහණට මෙය කියමි. ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, එසේ නො කිය, ආනන්‍ද, යම් මේ කලණ මිතුරන් ඇතිබවෙක් කලණ යහළුවන් ඇතිබවෙක් කලණයන් කෙරෙහි නැමුනුබවෙක් වේ ද, මෙය මුළු මගබඹසර ම ය. ආනන්‍ද, “අරිඅටගිමග වඩන්නේ ය. අරිඅටගිමග බහුල කරන්නේ” ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණහු විසින් කැමති විය යුතු යි.
Pali BJTකථඤ්ච ආනන්ද භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො “අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති”{3} අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති? ඉධානන්ද භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසඞ්කප්පං භාවෙති - සම්මාවාචං භාවෙති - සම්මාකම්මන්තං භාවෙති - සම්මාආජීවං භාවෙති - සම්මාවායාමං භාවෙති - සම්මාසතිං භාවෙති - සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො ආනන්ද භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.
Sinhala BJTආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ කෙසේ නම් අරිඅටගිමග වඩා ද? අරිඅටගිමග බහුල කෙරේ ද? යත්: ආනන්‍ද, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක් දෘෂ්ටිය වඩයි … සම්‍යක්සඞ්කල්පය වඩයි … සම්‍යක්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යක් ආජීවය වඩයි … සම්‍යක් ස්මෘතිය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නමන සුලු සම්‍යක්සමාධිය වඩයි. ආනන්‍ද, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණ තෙමේ මෙසේ අරිඅටගිමග වඩයි, අරිඅටගිමග බහුල කෙරෙයි.
Pali BJTතදමිනාපෙතං ආනන්ද පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති.
Sinhala BJTආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙන් ද දත යුතු යි.
Pali BJTමමං හි ආනන්ද කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති. ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති. ව්යාධිධම්මා සත්තා ව්යාධිනා{4} පරිමුච්චන්ති. මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. ඉමිනා ඛො එතං ආනන්ද පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවහිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති.
Sinhala BJTආනන්‍ද, කල්‍යාණමිත්‍ර වූ මා නිසා ම ඉපදීම ස්වභාව කොට ඇති සත්‍වයෝ ඉපදීමෙන් මිදෙත්. දිරීම ස්වභාව කොට ඇති සත්‍වයෝ දිරීමෙන් මිදෙත්. මරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝකය වැලපීම දුක් දොම්නස් දැඩිආයාස ස්වභාව කොට ඇති සත්‍වයෝ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාසයන්ගෙන් මිදෙත්. ආනන්‍ද, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය යම්සේ මුළු බඹසර වේ ද, එය මේ ක්‍රමයෙනුදු දත යුතු යි.
Pali BJTතස්මාතිහ තෙ මහාරාජ එවං සික්ඛිතබ්බං: කල්යාණමිත්තො භවිස්සාමි කල්යාණසහායො කල්යාණසම්පවඞ්කොති. එවං හි තෙ මහාරාජ සික්ඛිතබ්බං. කල්යාණමිත්තස්ස තෙ මහාරාජ කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස අයං එකො ධම්මො උපනිස්සාය විහාතබ්බො අප්පමාදො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමහරජ, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. “කලණමිතුරන් ඇත්තෙක් කලණයහළුවන් ඇත්තෙක් කලණයන් කෙරෙහි නැමෙන්නෙක් වන්නෙමි”යි. මහරජ, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. මහරජ, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමුනු තොප විසින් කුශලධර්‍මයන්හි අප්‍රමාදය වූ මේ එක ම ධර්‍මය ඇසුරු කොට විසිය යුතු යි.
Pali BJTඅප්පමත්තස්ස තෙ මහාරාජ, විහරතො අප්පමාදං උපනිස්සාය ඉත්ථාගාරස්ස{1} එවං භවිස්සති: රාජා ඛො අප්පමත්තො විහරති අප්පමාදං උපනිස්සාය. හන්ද මයම්පි අප්පමත්තා විහරාම අප්පමාදං උපනිස්සායාති.
Sinhala BJTමහරජ, අප්‍රමත්ත ව අප්‍රමාදය ඇසුරු කොට වසන්නා වූ තොපගේ ඇතොවුරට (අන්තඃපුරස්ත්‍රීන්ට) ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
Pali BJTඅප්පමත්තස්ස තෙ මහාරාජ විහරතො අප්පමාදං උපනිස්සාය ඛත්තියානම්පි අනුයුත්තානං{2} එවං භවිස්සති: රාජා ඛො අප්පමත්තො විහරති අප්පමාදං උපනිස්සාය. හන්ද මයම්පි අප්පමත්තා විහරාම අප්පමාදං උපනිස්සායාති.
Sinhala BJTමහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ අනුයුක්ත (සහකාර) ක්‍ෂත්‍රියයන්ට ද “අපගේ රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වාසය කෙරෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
Pali BJTඅප්පමත්තස්ස තෙ මහාරාජ විහරතො අප්පමාදං උපනිස්සාය බලකායස්සපි එවං භවිස්සති: රාජා ඛො අප්පමත්තො විහරති අප්පමාදං උපනිස්සාය. හන්ද මයම්පි අප්පමත්තා විහරාම අප්පමාදං උපනිස්සායාති.
Sinhala BJTමහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්නා වූ තොපගේ බලසෙනගට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දූ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
Pali BJTඅප්පමත්තස්ස තෙ මහාරාජ විහරතො අප්පමාදං උපනිස්සාය නෙගමජානපදස්සාපි{3} එවං භවිස්සති: රාජා ඛො අප්පමත්තො විහරති, අප්පමාදං උපනිස්සාය. හන්ද මයම්පි අප්පමත්තා විහරාම අප්පමාදං උපනිස්සායාති.
Sinhala BJTමහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වාසය කරන්න වූ තොපගේ නියම්ගම්දනව්වැස්සන්ට ද “රජ තෙමේ අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත වෙසෙයි. එබැවින් අපි දු අප්‍රමාදය ඇසුරු කොට අප්‍රමත්ත ව වෙසෙමු”යි මෙසේ අදහස් වන්නේ ය.
Pali BJTඅප්පමත්තස්ස තෙ මහාරාජ විහරතො අප්පමාදං උපනිස්සාය අත්තාපි ගුත්තො රක්ඛිතො භවිස්සති, ඉත්ථාගාරම්පි ගුත්තං රක්ඛිතං භවිස්සති, කොසකොට්ඨාගාරම්පි ගුත්තං රක්ඛිතං භවිස්සතීති.
Sinhala BJTමහරජ, අප්‍රමාදය ඇසුරු අප්‍රමත්ත ව වෙසෙන තොප විසින් තෙමේත් ගෝපනය කරණ ලද්දේ වන්නේ ය. අතොවුර ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය. ධනගබඩා හා කොටුගුල් ද ගෝපනය කරණ ලද්දේ රක්නා ලද්දේ වන්නේ ය.
Pali BJTභොගෙ පත්ථයමානෙන උළාරෙ අපරාපරෙ, අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා.
Sinhala BJTමහත් වූ නන්වැදෑරුම් සැපත් පතන්නහු විසින් නොපමා වියයුතු යි. පණ්ඩිතයෝ කුශලක්‍රියාවන්හි අප්‍රමාදය පසසත්.
Pali BJTඅප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො, දිට්ඨෙ{4} ධම්මෙ ච යො අත්ථො යො චත්ථො සම්පරායිකො, අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.
Sinhala BJTඅප්‍රමත්ත වූ පණ්ඩිත තෙමේ දිටුදැමියෙහි යම් අර්‍ත්‍ථයෙක් වේ ද, පරලෙව්හි යම් අර්‍ත්‍ථයෙක් වේ ද මේ උභයාර්‍ත්‍ථය ලබයි. මේ උභයාර්‍ත්‍ථලාභයෙන් නුවණැත්තේ පණ්ඩිත යයි කියනු ලැබේ.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTපඨමං අපුත්තකසුත්තං.
Sinhala BJTපඨම අපුත්තක සූත්‍රය
Pali BJT130. සාවත්ථියං–
Sinhala BJT130. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං{5} කොසලං භගවා එතදවොච: හන්ද කුතො නු ත්වං මහාරාජ ආගච්ඡසි දිවාදිවස්සාති?
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල්හි (මධ්‍යාහ්නයෙහි) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජ, දැන් තෙපි දෙවෙන් දවහල කොට සිට එවූ දැ”යි.
Pali BJTඉධ භන්තෙ සාවත්ථියං සෙට්ඨි ගහපති කාලකතො.{1} තමහං අපුත්තකං සාපතෙය්යං රාජන්තෙපුරං අතිහරිත්වා ආගච්ඡාමි. අසීති භන්තෙ සතසහස්සානි හිරඤ්ඤස්සෙව, කො පන වාදො රූපියස්ස. තස්ස ඛො පන භන්තෙ සෙට්ඨිස්ස ගහපතිස්ස එවරූපො භත්තභොගො අහොසි: කණාජකං භුඤ්ජති බිලඞ්ගදුතියං. එවරූපො වත්ථභොගො අහොසි: සාණං ධාරෙති තිපක්ඛවසනං. එවරූපො යානභොගො අහොසි: ජජ්ජරරථකෙන යාති පණ්ණච්ඡත්තකෙන ධාරියමානෙනාති.
Sinhala BJTවහන්ස, මෙහි සැවැත්නුවර සිටුගැහැවි තෙමේ කලුරිය කළේ ය. මම අපුත්‍රක වූ ඒ ධනය ඇතුළු රජගෙට ගෙන්වා තබා එමි. වහන්ස, (එහි) රන්මිල ම අසූලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? (එහෙත්) වහන්ස, ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවැනි කොට ඇති නිවුඩුහාලේ බත් බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: කැබැලි තුනක් සැමැන්හු හණවැහැරියක් දරයි. යානපරිභෝගය මෙබඳු වි ය: දරණ ලබන පත්කුඩයෙකින් යුත් දැදුරු වූ කුඩාරියෙකින් යයි.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අසප්පුරිසො ඛො මහාරාජ උළාරෙ භොගෙ ලභිත්වා නෙව අත්තානං සුඛෙති පීණෙති. න මාතාපිතරො සුඛෙති පීණෙති. න පුත්තදාරං සුඛෙති පීණෙති. න දාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති. න මිත්තාමච්චෙ සුඛෙති පීණෙති. න සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. තස්ස තෙ භොගෙ එවං සම්මා අපරිභුඤ්ජියමානෙ{2} රාජානො වා හරන්ති. චොරා වා හරන්ති. අග්ගි වා ඩහති. උදකං වා වහති. අප්පියා වා දායාදා හරන්ති. එවං ස තෙ{3} මහාරාජ භොගා සම්මා අපරිභුඤ්ජියමානා{4} පරික්ඛයං ගච්ඡන්ති නො පරිභොගං.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, අසත් (ලාමක) පුරුෂ තෙමේ මහත් භෝග ලැබ (ද) තමා නො ම සුඛිත කෙරෙයි. නො ම පිණවයි. මවුපියන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. අඹුදරුවන් සුඛිත නො කෙරෙයි නො පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත නො කෙරෙයි. නො පිණවයි. මහණබමුණන් කෙරෙහි මතුමත්තෙහි සුව දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව නො පිහිටුවයි. (නොදෙයි). මෙසේ මැනවින් පරිභෝග නොකරණ ඔහුගේ ඒ ධනය රජහු හෝ හැර ගණිත්. සොරු හෝ පැහැර ගණිත්. ගින්න හෝ දවයි. ජලය හෝ නඟයි. අප්‍රිය වූ දායාදයෝ (දූදරු පරපුර) හෝ හැර ගණිත්. මහරජ, මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන එ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
Pali BJTසෙය්යථාපි මහාරාජ, අමනුස්සට්ඨානෙ පොක්ඛරණී අච්ඡොදකා සීතොදකා සාතොදකා සෙතකා{5} සුපතිත්ථා රමණීයා. තං ජනො නෙව හරෙය්ය, න පිවෙය්ය, න නහායෙය්ය, න යථාප්පච්චයං වා කරෙය්ය. එවං හි තං මහාරාජ උදකං සම්මා අපරිභුඤ්ජියමානං පරික්ඛයං ගච්ඡෙය්ය නො පරිභොගං.
Sinhala BJTමහරජ, යම්සේ අමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක පහන් දිය ඇති සිහිල්දිය ඇති මිහිරිදිය ඇති හෙළ රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය නො ම හරණේ ය. නො බොන්නේ ය. නො නහන්නේ ය. පසවැටෙන සෙයින් හෝ නො කරන්නේ ය. මහරජ, එසේ ඒ දිය මැනවින් පරිභෝග නොකරණු ලබන්නේ සිඳ යන්නේ ය. පරිභෝගයට නො පැමිණෙන්නේ ය.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, අසප්පුරිසො උළාරෙ භොගෙ ලභිත්වා නෙවත්තානං සුඛෙති පීණෙති -පෙ- අප්පියා වා දායාදා හරන්ති. එවං ස තෙ භොගා සම්මා අපරිභුඤ්ජියමානා පරික්ඛයං ගච්ඡන්ති නො පරිභොගං.
Sinhala BJTමහරජ, එමෙන් ම ලාමක පුරුෂ තෙමේ මහත්භෝග ලැබ තමා නොම සුඛිත කෙරෙයි නො පිණවයි. … අප්‍රිය වූ දායාදයෝ හෝ හැර ගණිත්. මෙසේ ඔහු විසින් මැනවින් පරිභෝග නොකරණු ලබන්නා වූ ඒ භෝගයෝ විනාශයට පැමිණෙත්. පරිභෝගයට නො පැමිණෙත්.
Pali BJTසප්පුරිසො ච ඛො මහාරාජ උළාරෙ භොගෙ ලභිත්වා අත්තානං සුඛෙති පීණෙති. මාතාපිතරො සුඛෙති පීණෙති. පුත්තදාරං සුඛෙති පීණෙති. දාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති. මිත්තාමච්චෙ සුඛෙති පීණෙති. සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. තස්ස තෙ භොගෙ එවං සම්මා පරිභුඤ්ජියමානෙ නෙව රාජානො හරන්ති. න චොරා හරන්ති. න අග්ගි ඩහති. න උදකං වහති. න අප්පියා දායාදා හරන්ති. එවං ස තෙ මහාරාජ භොගා සම්මා පරිභුඤ්ජියමානා පරිභොගං ගච්ඡන්ති නො පරික්ඛයං.
Sinhala BJTමහරජ, සත්පුරුෂ තෙමේ මහත් භෝග ලැබ තමා සුඛිත කෙරෙයි, පිණවයි. මවුපියන් සුඛිත කෙරෙයි, පිණවයි. අඹුදරුවන් සුඛිත කෙරෙයි, පිණවයි. දස්කම්කරු පුරුෂයන් සුඛිත කෙරෙයි, පිණවයි. මිත්‍රයන් හා සහකාරයන් සුඛිත කෙරෙයි, පිණවයි. මහණබමුණන් කෙරෙහි මතු මත්තෙහි සුව ගෙණ දෙන ස්වර්‍ගයට හිත සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා දක්‍ෂිණාව පිහිටුවයි. මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඔහුගේ ඒ භෝගයන් රජහු නොම හැර ගණිත්. සොරු නො පැහැර ගණිත්. ගින්න නො දවයි. ජලය නො නඟයි. අප්‍රිය වූ දායාදයෝ නො හැර ගණිත්. මහරජ, මෙසේ මැනවින් පරිභෝග කරණු ලබන ඒ භෝගයෝ පරිභෝගයට යෙති. සිඳීමට නො යෙත්.
Pali BJTසෙය්යථාපි මහාරාජ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී අච්ඡොදකා සීතොදකා සාතොදකා සෙතකා සුපතිත්ථා රමණීයා. තං ජනො හරෙය්යපි පිවෙය්යපි නහායෙය්යපි යථාප්පච්චයම්පි කරෙය්ය. එවං හි තං මහාරාජ උදකං සම්මා පරිභුඤ්ජියමානං පරිභොගං ගච්ඡෙය්ය නො පරික්ඛයං. එවමෙව ඛො මහාරාජ ධීරො සප්පුරිසො උළාරෙ භොගෙ ලභිත්වා අත්තානං සුඛෙති පීණෙති -පෙ- එවං ස තෙ භොගා සම්මා පරිභුඤ්ජියමානා පරිභොගං ගච්ඡන්ති නො පරික්ඛයන්ති.
Sinhala BJTමහරජ, යම්සේ ගමක් හෝ නියම්ගමක් අසල පහන්දිය ඇති සිහිල් දිය ඇති මිහිරිදිය ඇති සුදු රළරැලි ඇති මනා තොට ඇති සිත්කලු පොකුණෙක් වේ නම් ජන තෙමේ ඒ දිය ගෙණ යන්නේත්, බොන්නේත්, නහන්නේත් පසවැටෙනසෙයින් හෝ කරන්නේත් වේ. මහරජ, මෙසේ පරිභෝග කරණු ලබන ඒ ජලය පරිභෝගයට යන්නේ ය. නොසිඳී යන්නේ ය. මහරජ, එපරිද්දෙන් ම නුවණැති සත්පුරුෂ තෙමේ මහත් භෝගයන් ලැබ තමා සුඛිත කෙරෙයි. පිණවයි. … මෙසේ ඒ භෝගයෝ මැනවින් පරිභෝග කරණු ලබන්නාහු පරිභෝගයට යෙති. විනාශයට නො පැමිණෙති.
Pali BJTඅමනුස්සට්ඨානෙ උදකංව සීතං තදපෙය්යමානං පරිසොසමෙති, එවං ධනං කාපුරිසො ලභිත්වා නෙවත්තනා භුඤ්ජති නො දදාති. ධීරො ච විඤ්ඤූ අධිගම්ම භොගෙ යො භුඤ්ජති කිච්චකරො ච හොති, සො ඤාතිසඞ්ඝං නිසභො භරිත්වා අනින්දිතො සග්ගමුපෙති ඨානන්ති.
Sinhala BJTඅමනුෂ්‍යයන් විසින් අධිගෘහිත වූ තැනෙක සිහිල් ජලයෙක් වේ ද, එය පානය නොකරණු ලබන්නේ වියලීමට යේ ද, එසේ ලාමක පුරුෂ තෙමේ ධනය ලැබ තෙමේත් නොම පරිභෝග කෙරෙයි. අනුන්ට ද නොදෙයි. ධෘතිසම්පන්න නුවණැති යම් පුරුෂයෙක් වේ ද, හෙ තෙමේ භෝගයන් ලැබ අනුභව කෙරෙයි. කටයුතු කරන්නේ ද වෙයි. ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ තෙමේ නෑ සමූහයා පෝෂණය කොට (ලෝකයා විසින්) පසස්නා ලද්දේ දෙව්ලොවට පැමිණෙයි.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTදුතියං අපුත්තකසුත්තං.
Sinhala BJTදුතිය අපුත්තක සූත්‍රය
Pali BJT131. සාවත්ථියං–
Sinhala BJT131. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්ද කුතො නු ත්වං මහාරාජ ආගච්ඡසි දිවාදිවස්සාති?
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දවහල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මහරජ, “දැන් තෙපි මධ්‍යාහ්නයෙහි කොහි සිට එවු දැ”යි මෙය වදාළ සේක.
Pali BJTඉධ භන්තෙ සාවත්ථියං සෙට්ඨි ගහපති කාලකතො. තමහං අපුත්තකං සාපතෙය්යං රාජන්තෙපුරං අතිහරිත්වා ආගච්ඡාමි. සතං භන්තෙ සතසහස්සානං{1} හිරඤ්ඤස්සෙව, කො පන වාදො රූපියස්ස. තස්ස ඛො පන භන්තෙ සෙට්ඨිස්ස ගහපතිස්ස එවරූපො භත්තභොගො අහොසි: කණාජකං භුඤ්ජති බිලඞ්ගදුතියං. එවරූපො වත්ථභොගො අහොසි: සාණං ධාරෙති තිපක්ඛවසනං. එවරූපො යානභොගො අහොසි: ජජ්ජරරථකෙන යාති පණ්ණඡත්තකෙන ධාරියමානෙනාති.
Sinhala BJTවහන්ස, මේ සැවැත්නුවර සිටු ගැහැවි තෙමේ කාලගත විය. මම ඒ දරුවන් නැති සැපත ඇතුළුරජගෙට නඟා යවා එමි. වහන්ස, රන්මිල ම සියක්ලක්‍ෂයෙකි. රිදී ගැණ කියනු කිම? වහන්ස,ඒ සිටුගැහැවිහුගේ බත් වැළඳීම මෙබඳු විය: කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සහලේ බත බුදියි. වස්ත්‍රපරිභෝගය මෙබඳු විය: සැමැන්නු තුන්කඩක් ඇති හණ වැහැරිවතක් දරයි. රථපරිභෝගය මෙබඳු විය: දරණ ලබන පත්කුඩයක් ඇති දැදුරු වූ කුඩා රියෙකින් ගමන් කරයි.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, භූතපුබ්බං සො මහාරාජ සෙට්ඨි ගහපති තගරසිඛිං{2} පච්චෙකසම්බුද්ධං{3} පිණ්ඩපාතෙන පටිපාදෙසි, “දෙථ සමණස්ස පිණ්ඩන්ති” වත්වා උට්ඨායාසනා පක්කාමි. දත්වා ච පන පච්ඡා විප්පටිසාරී අහොසි: “වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්යුන්ති.” භාතුච්ච පන එකපුත්තකං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසි.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. පෙර වූවක් (කියමි): මහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදු රජුහු පිණ්ඩපාතයෙන් පැවරී ය. “මහණහුට පිඬු දෙව”යි කියා හුනස්නෙන් නැගිට ගියේ ය. දී පසුව “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැ”යි විපිළිසර ඇත්තේ විය. ධනහේතුවෙන් බෑයාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ ය.
Pali BJTයං ඛො සො මහාරාජ සෙට්ඨි ගහපති තගරසිඛිං{2} පච්චෙකසම්බුද්ධං{3} පිණ්ඩපාතෙන පටිපාදෙසි, තස්ස කම්මස්ස විපාකෙන සත්තක්ඛත්තුං සුගතිං සග්ගං ලොකං උපපජ්ජි, තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමිස්සායෙව සාවත්ථියා සත්තක්ඛත්තුං සෙට්ඨිත්තං කාරෙසි.
Sinhala BJTමහරජ, ඒ සිටු ගැහැවි තෙමේ තගරසිඛී නම් පසේබුදුරජුන් පිණ්ඩපාතයෙන් පැවරී යන යමක් ඇද්ද ඒ කර්‍මවිපාකයෙන් සත්වරක් සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට (උත්පත්තිවශයෙන්) පැමිණේ ය. ඒ කර්‍මයාගේ ම විපාකාවශේෂයෙන් මේ සැවැත්නුවර ම සත්වරක් සිටුකම් කරවී ය.
Pali BJTයං ඛො සො මහාරාජ සෙට්ඨි ගහපති දත්වා පච්ඡා විප්පටිසාරී අහොසි: “වරමෙතං පිණ්ඩපාතං දාසා වා කම්මකරා වා භුඤ්ජෙය්යුන්ති,” තස්ස කම්මස්ස විපාකෙන නාස්සුළාරාය භත්තභොගාය චිත්තං නමති. නාස්සුළාරාය වත්ථභොගාය චිත්තං නමති. නාස්සුළාරාය යානභොගාය චිත්තං නමති. නාස්සුළාරානං පඤ්චන්නං කාමගුණානං භොගාය චිත්තං නමති.
Sinhala BJTමහරජ, ඒ සිටු ගැහැවි තෙමේ දී (පසුව): “මේ පිණ්ඩාහාරය දාසයෝ හෝ කම්කරුවෝ හෝ අනුභව කළාහු නම් යහපතැයි” විපිළිසර ඇති වී යන යමක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය හේතු කොට ගෙණ උදාර වූ බත් වැළඳීම පිණිස සිත නො නැමෙයි. උදාර වූ වස්ත්‍රපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ රථපරිභෝගය පිණිස සිත නො නැමෙයි. උදාර වූ පස්කම් සැප අනුභවය පිණිස සිත නො නැමෙයි.
Pali BJTයං ඛො සො මහාරාජ සෙට්ඨි ගහපති භාතුච්ච පන එකපුත්තකං සාපතෙය්යස්ස කාරණා ජීවිතා වොරොපෙසි. තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්ථ. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉදං සත්තමං අපුත්තකං සාපතෙය්යං රාජකොසං පවෙසෙති. තස්ස ඛො පන මහාරාජ සෙට්ඨිස්ස ගහපතිස්ස පුරාණඤ්ච පුඤ්ඤං පරික්ඛීණං, නවඤ්ච පුඤ්ඤං අනුපචිතං. අජ්ජ පන මහාරාජ සෙට්ඨි ගහපති මහාරොරුවනිරයෙ{1} පච්චතීති. එවං භන්තෙ සෙට්ඨි ගහපති මහාරොරුවං නිරයං උපපන්නොති? එවං මහාරාජ සෙට්ඨි ගහපති මහාරොරුවං නිරයං උපපන්නොති.
Sinhala BJTමහරජ, ඒ සිටු ගැහැවි තෙමේ ධනහේතුවෙන් සොහොයුරාගේ එක ම කුඩාපුතු ද දිවියෙන් තොර කළේ යන යමක් ඇද්ද, ඒ කර්‍මවිපාකයෙන් බොහෝ ගණන් හවුරුදු බොහෝ සිය ගණන් හවුරුදු බොහෝ දහස් ගණන් හවුරුදු බොහෝ සියදහස් ගණන් හවුරුදු නරකයෙහි පැසුනේ ය. ඒ කර්‍මයාගේ ම ඉතිරිවිපාකය වශයෙන් මේ සත්වැනි දරුවන් නැති වස්තුසමූහය රාජකෝෂ්ටාගාරයට ඇතුළු කෙරෙයි. මහරජ, ඒ සිටු ගැහැවිහුගේ පැරණි පින ගෙවී ගියේ ය. අලුත් පිනෙක් ද රැස් නො කරණ ලද්දේය. මහරජ, අද සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයෙහි පැසේ යයි. වහන්ස, එසේ ද? සිටුගැහැවි තෙමේ මහාරෞරව නරකයට (උත්පත්තිවශයෙන්) පැමිණියේ ද? මහරජ, එසේ ය, සිටු ගැහැවි තෙමේ මහාරෞරව නරකයට පැමිණියේ ය.
Pali BJTධඤ්ඤං ධනං රජතං ජාතරූපං පරිග්ගහං වාපි{2} යදත්ථි කිඤ්චි, දාසා කම්මකරා පෙස්සා යෙ චස්ස අනුජීවිනො, සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්ඛිප්පගාමිනං{3}
Sinhala BJTධාන්‍ය ද ධන ද රිදී ද රන් ද තමා සතු යම් කිසි අනෙකෙක් ඇත් නම් එ ද දාසයෝ ද කම්කරුවෝ ද මෙහෙකරුවෝද යන ඔහු අනුව ජීවත්වන යම් කෙනෙක් ඇත් නම් ඔහු ද යන සියල්ල නො ගෙණ යායුතුයි. සියල්ල (මෙහි ම) හැර දමා යන සැහැවි ඇත.
Pali BJTයඤ්ච කරොති කායෙන වාචාය උද චෙතසා, තං හි තස්ස සකං හොති තඤ්ච ආදාය ගච්ඡති, තඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී.
Sinhala BJTකයින් ද වචනයෙන් ද වැලි සිතින් ද යම් කර්‍මයකුත් කෙරේ ද එය ම ඔහුට තමා සතු වස්තුව වේ. එය ම රැගෙණ පරලොව යෙයි එය ම අත් නො හැර යන සෙවනැල්ල මෙන් ඔහු අනු ව යන්නේ වේ.