Pali BJTඑසනා විධා ආසවො භවො ච දුක්ඛතා තිස්සො ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාති තෙදසාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සාලිසෙකි.
Pali BJT13. ඔඝවග්ගො
Sinhala BJT13. ඕඝ වර්‍ගය
Pali BJT2. 13. 1-40.
Sinhala BJT2. 13. 1-40.
Pali BJTඔඝාදිසුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT797-836. චත්තාරොමෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ චත්තාරො: කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො -පෙ- භාවෙතබ්බොති.
Sinhala BJT797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
Pali BJT(මග්ගසංයුත්තස්ස ඔඝවග්ගො විය විත්ථාරෙතබ්බො)
Sinhala BJT(මග්ගසංයුත්තයෙහි ඕඝවර්‍ගය මෙන් විතර කටයුතු.)
Pali BJTඔඝවග්ගො තෙළසමො.
Sinhala BJTතෙළෙස්වැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන චකාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.
Pali BJT14. පුන ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT14. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT2. 14. 1-36.
Sinhala BJT2. 14. 1-36.
Pali BJTගඞ්ගාදිසුත්තානි
Sinhala BJTගඞ්ගාදි සූත්‍ර
Pali BJT837-872 (රාගවිනය අමතොගධ නිබ්බානනින්නාදිවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
Pali BJTපුනගඞ්ගාපෙය්යාලො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ. (සූත්‍ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්‍ග යි කියනු ලැබේ.
Pali BJT15. පුන අප්පමාදවග්ගො
Sinhala BJT15. පුන අප්පමාද වර්‍ගය
Pali BJT2. 15. 1-30.
Sinhala BJT2. 15. 1-30.
Pali BJTතථාගතාදිසුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT873-902. (රාගවිනයාදිවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
Pali BJTපුන අප්පමාදවග්ගො පණ්ණරසමො.
Sinhala BJTපසළොස්වැනි පුන අප්පමාද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිතං රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සූත්‍ර තිසෙකි.
Pali BJT16. පුනබලකරණීයවග්ගො
Sinhala BJT16. පුන බලකරණීය වර්‍ගය
Pali BJT2. 16. 1-36.
Sinhala BJT2. 16. 1-36.
Pali BJTබලාදිසුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT903-938. (රාගවිනයාදිවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)
Pali BJTපුනබලකරණීයවග්ගො සොළසමො.
Sinhala BJTසොළොස්වැනි පුන බලකරණීය වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකෙන ආකාසෙන ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්‍රික ද, මේඝ ත්‍රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්‍රික තුන දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.
Pali BJT17. පුන එසනා වග්ගො
Sinhala BJT17. පුන ඒසනා වර්‍ගය
Pali BJT2. 17. 1-120.
Sinhala BJT2. 17. 1-20.
Pali BJTඑසනාදිසුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT939-1058. (රාගවිනයාදිවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT939-1058 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
Pali BJTපුනඑසනාවග්ගො සත්තරසමො.
Sinhala BJTසතළොස්වැනි පුන ඒසනා වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො ච දුක්ඛතා තිස්සො, ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාති තෙ දසාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මළ, නීඝ, වේදනා, තණ්හා යි ද්‍වාදශක දශයෙකි. සූත්‍ර එක්සියවිස්සෙකි.
Pali BJT18. පුනඔඝවග්ගො
Sinhala BJT18. පුන ඕඝ වර්‍ගය
Pali BJT2. 18. 1-120.
Sinhala BJT2. 18. 1-120.
Pali BJTඔඝාදිසුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT1059-1178. (රාගවිනයාදිවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT1059-1178 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
Pali BJTපුනඔඝවග්ගො අට්ඨාරසමො.
Sinhala BJTඅටළොස්වෙනි පුනඕඝ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගියයි ද්‍වාදශක දශයෙකි. සූත්‍රාන්ත එක්සියවිස්සෙකි.
Pali BJTබොජ්ඣඞ්ගසංයුත්තං සමත්තං.
Sinhala BJTබොජ්ඣඞ්ගසංයුත්තය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග නාමාවලිය:
Pali BJTපබ්බතො ගිලානුදායී නීවරණො චක්කවත්ති බොජ්ඣඞ්ගො වානාපානො ච නිරොධගඞ්ගාපෙය්යාලො අප්පමාදො බලකරණීයො එසනොඝා පුනාදිහි ගඞ්ගාපෙය්යාල ආදීහි පඤ්චහට්ඨාරසෙව තෙති.
Sinhala BJTපබ්බත, ගිලාන, උදායි, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරෝධ, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන ඔහු පුන යන්න ආදි කොට ඇති (පුනගඞ්ගාපෙය්‍යාල, පුනඅප්පමාද පුන බලකරණීය පුනඒසනා පුනඕඝ යන පසත් සමග (බොජ්ඣඞ්ගසංයුත්තයෙහි වර්‍ග) අටළොසෙක් ම වේ.
Pali BJT3. සතිපට්ඨානසංයුත්තං
Sinhala BJT3. සතිපට්ඨාන සංයුත්තය
Pali BJT1. අම්බපාලිවග්ගො
Sinhala BJT1. අම්බපාලි වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTඅම්බපාලිසුත්තං
Sinhala BJTඅම්බපාලි සූත්‍රය
Pali BJT1179. එවං මෙ සුතං, එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1179. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJTඑකායනො අයං{1} භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{2} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො අයං භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTමහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, සත්ත්‍වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස න්‍යාය සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එකම මාර්‍ගය වේ. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස් දුරු කොට වෙසේ. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. සිත්හි සිත් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක්දොම්නස් දුරු කරනු පිණිස න්‍යාය අවබෝධ කරනු පිණිස නිවන පසක් කරනු පිණිස මේ එකම මාර්‍ගය”යී මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTසතොසුත්තං
Sinhala BJTසතෝ සූත්‍රය
Pali BJT1180. එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සතො හොති.
Sinhala BJT1180. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති වැ මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. … වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි.
Pali BJT“කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සම්පජානකාරී හොති. සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් මනා දැනුම් ඇත්තේ වේද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි ද පෙරළා ගමන්හි ද මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරිබැලුම්හි ද අවට බැලුම්හි ද මනා දැනුම් ඇතිව කරන සුලු වෙයි. (අත්පා) හැකිළීමෙහි දිග හැරීමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. සඟළ පාසිවුරු දැරීමෙහි මනා දැනීම් ඇති ව කරනසුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳුමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. මලමූ කම්හි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිඳුම්හි නිදි වැරුම්හි බිණුම්හි නිසදබැව්හි මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනයයි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT1181. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති”. එවමෙව පනිධෙකච්චෙ මොඝපුරිසා මමෙව{1} අජ්ඣෙසන්ති ධම්මෙ ච භාසිතෙ මමෙව අනුබන්ධිතබ්බං මඤ්ඤන්තීති: “දෙසෙතු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්ති.”
Sinhala BJT1181. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා යි. මෙහි ඇතැම් හිස් පුරුෂයෝ මෙසේ ම මට ආරාධනා කෙරෙත්. දහම් දෙසූ කල්හි මා ම ලුහුබැඳිය යුතු කොට හඟිති යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අරුත දැනගන්නෙම් නම් ඉතා යෙහෙකැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳ දායාදයෙක් වන්නෙම් නම් ඉතා යෙහෙකැ යි.
Pali BJTතස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො ච ආදි කුසලානං ධම්මානං: සීලඤ්ච සුවිසුද්ධං, දිට්ඨි ච උජුකා. යතො ඛො තෙ භික්ඛු, සීලං සුවිසුද්ධං භවිස්සති, දිට්ඨි ච උජුකා, තතො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ තිවිධෙන භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං භික්ඛු, අජ්ඣත්තං{2} කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. බහිද්ධා{3} කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තබහිද්ධා{4} කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං.
Sinhala BJTමහණ, එසේ නම් තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල් දහමුන්ගේ මුල කවරේද යත්: ඉතා පිරිසිදු ශීලයත් ඍජු වූ දෘෂ්ටියත්ය. මහණ, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටියත් ඍජු වන්නී ද එකල්හි මහණ තෙපි ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සතර සීවටන් තුන් අයුරෙකින් වඩන්නහු ය. කවර සිවුදෙනෙක් ද යත්: මහණ මෙහි තෙපි සිය කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙ වු. මෙරමා කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙවු. සිය මෙරමාකයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇතිව මනා දැනු ම් ඇතිව සිහි ඇති ව කය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු.
Pali BJTඅජ්ඣත්තං වෙදනාසු -පෙ- බහිද්ධා වෙදනාසු -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරාහි -පෙ- අජ්ඣත්තං චිත්තෙ -පෙ- බහිද්ධා චිත්තෙ -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරාහි -පෙ- අජ්ඣත්තං ධම්මෙසු -පෙ- බහිද්ධා ධම්මෙසු -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං තිවිධෙන භාවෙස්සසි, තතො තුය්හං භික්ඛු, යා රත්ති වා දිවසො වා ආගමිස්සති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානීති.
Sinhala BJTසිය වේදනාවන්හි … මෙරමා වේදනාවන්හි … සිය මෙරමා වේදනාවන්හි වේදනා අනුව බලනසුලු ව වෙසෙ වු ... සිය සිත්හි … මෙරමා සිත්හි … සිය මෙරමා සිත්හි සිත් අනුව බලනසුලු ව වෙසෙවු ... සිය දහම්හි ... මෙරමා දහම්හි … සිය මෙරමා දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවු සීවටන් මෙසේ තුන් අයුරෙන් වඩන්නහු නම් මහණ එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි වැඩීමෙක් ම කැමති වියයුතු. පිරිහීමෙක් නොකැමැති වියයුතු.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමා ව කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝ කලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර වූ ඒ අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම වෙසෙස්නුවණින් පසක් කොට ඊට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වී යයි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTසාලාසුත්තං
Sinhala BJTසාලා සූත්‍රය
Pali BJT1182. එවං මෙ සුතං. එකං සමයං භගවා කොසලෙසු විහරති සාලායං{1} බ්රාහ්මණගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි{2}. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො{3} භික්ඛවෙ, භික්ඛූ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසං චතුන්නං: එථ තුම්හෙ ආවුසො, කායෙ කායානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායස්ස යථාභූතං ඤාණාය. වෙදනාසු වෙදනානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා, වෙදනානං යථාභූතං ඤාණාය. චිත්තෙ චිත්තානුපස්සිනො විහරථ ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා චිත්තස්ස යථාභූතං ඤාණාය. ධම්මෙසු ධම්මානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මානං යථාභූතං ඤාණාය.
Sinhala BJT1182. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මෙසස්නට පැමිණි යම් ඒ නවක භික්‍ෂූහු වෙත් නම් මහණෙනි, ඒ භික්‍ෂූහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සතරක් ද යත්: ඇවැත්නි, එව තෙපි කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව කය තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව වේදනාවන් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. සිත්හි සිත් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සිත තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙ වු. දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව දහම් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු.
Pali BJTයෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙ’පි කායෙ කායානුපස්සිනො විහරන්ති, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායස්ස පරිඤ්ඤාය. වෙදනාසු වෙදනානුපස්සිනො විහරන්ති -පෙ- වෙදනානං{1} පරිඤ්ඤාය. චිත්තෙ චිත්තානුපස්සිනො විහරන්ති -පෙ- චිත්තස්ස පරිඤ්ඤාය; ධම්මෙසු ධම්මානුපස්සිනො විහරන්ති ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මානං පරිඤ්ඤාය.
Sinhala BJTමහණෙනි, යම් ඒ භික්‍ෂු කෙනෙක් ශෛක්‍ෂ වූවාහු නොපැමිණි රහත්බව ඇත්තාහු අනුත්තරයෝගක්‍ෂේමය (නිවන) පතමින් වෙසෙත් ද, ඔහුත් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇතිව වෙසෙසින් පහන්සිත් ඇති ව කය පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුම් පිරිසිඳ දැනීම පිණිස වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිත් පිරිසිඳ දැනුම පිණිස වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව දහම් පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්.
Pali BJTයෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙ’පි කායෙ කායානුපස්සිනො විහරන්ති, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායෙන විසංයුත්තා. වෙදනාසු වෙදනානුපස්සිනො විහරන්ති -පෙ- වෙදනාහි විසංයුත්තා. චිත්තෙ චිත්තානුපස්සිනො විහරන්ති -පෙ- චිත්තෙන විසංයුත්තා. ධම්මෙසු ධම්මානුපස්සිනො විහරන්ති ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මෙහි විසංයුත්තා. යෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො භික්ඛවෙ, භික්ඛූ ඉමෙසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, රහත් වූ ක්‍ෂීණ වූ ආශ්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණිස්වාත්‍ථි සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ මහණ කෙනෙකුත් වෙත් නම් ඔහුත් කයෙහි කය අනු ව දක්නා සුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ වූ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව කයින් වෙන් ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුමින් වෙන් ව වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිතින් වෙන් ව වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව දහමින් වෙන් ව වෙසෙත්. මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් නවක ද, අලුත පැවිදි වූවාහු ද, මෙසස්නට ළඟ දී පැමිණියාහු ද මහණෙනි, ඔහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTකුසලරාසිසුත්තං
Sinhala BJTකුසලරාසි සූත්‍රය
Pali BJT1183. අකුසලරාසීති භික්ඛවෙ, වදමානො{2} පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, අකුසලරාසි යදිදං පඤ්ච නීවරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං. අකුසලරාසීති භික්ඛවෙ, වදමානො ඉමෙ පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, අකුසලරාසි, යදිදං පඤ්ච නීවරණා.
Sinhala BJT1183. මහණෙනි, අකුසලරැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මහණෙනි, මේ හුදු අකුසල්රැසෙකි. කවර පසෙක්ද යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මහණෙනි, අකුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මේ හුදු අකුසල්රැස යි.
Pali BJTකුසලරාසීති භික්ඛවෙ, වදමානො චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, කුසලරාසි. යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. කුසලරාසීති භික්ඛවෙ, වදමානො ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, කුසලරාසි යදිදං චත්තාරො සතිපට්ඨානාති.
Sinhala BJTමහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල් රැසෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි … සිත්හි… දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසේ. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල්රැස යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTසකුණග්ඝිසුත්තං
Sinhala BJTසකුණග්ඝි සූත්‍රය
Pali BJT1184. භූතපුබ්බං භික්ඛවෙ, සකුණග්ඝි ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා අග්ගහෙසි. අථ ඛො භික්ඛවෙ, ලාපො සකුණො සකුණග්ඝියා හරියමානො එවං හි පරිදෙවෙසි: “මයමෙවම්හා{1} අලක්ඛිකා. මයං අප්පපුඤ්ඤා, යෙ මයං අගොචරෙ චරිම්හා{2} පරවිසයෙ. සචජ්ජ මයං ගොචරෙ චරෙය්යාම සකෙ පෙත්තිකෙ විසයෙ, නචායං{3} සකුණග්ඝි අලං අභවිස්ස යදිදං යුද්ධායා”ති. කො පන තෙ ලාප ගොචරො සකො පෙත්තිකො විසයොති. යදිදං නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨානන්ති. අථ ඛො භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අවචමානා{4} අමුඤ්චි, ගච්ඡ ඛො ත්වං ලාප, තත්ථාපි මෙ ගන්ත්වා න මොක්ඛසීති.
Sinhala BJT1184. මහණෙනි, පෙර ගිජුලිහිණියක් සැහැසිකමින් පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හි කැට කුරුලු තෙමේ ගිජුලිහිණිය විසින් හැර ගෙන යනු ලබන්නේ මෙසේ හැඬී ය: යම්බඳු අපි අගෝචර වූ අනුන් අයත් විෂයෙහි හැසුරුණමෝ නම් (ඒ) අපි ම කාලකන්නි වම්හ. අපි ම පින් නැත්තම්හ. ඉදින් අපි ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසුරුණමෝ නම් මේ ගිජුලිහිණි මේ යුද්ධයට නො ද සමත් වන්නී ය යි. එම්බල කැටකුරුල්ල තාගේ ගොදුරු වූ සියපියසතු විෂය කිමෙක් දැ”යි. නඟුලෙන් සාන ලද කෙතෙහි කැට නැඟි තැනයි. මහණෙනි, එකල්හි ගිජුලිහිණි සිය බලයෙහි තද ව සිට සියබලය වනමින් එම්බල කැටකුරුල්ල, තෝ යා, එහි ද ගොස් මාගෙන් නො මිදෙන්නේ යැ යි මිදුවා ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, ලාපො සකුණො නඞ්ගලකට්ඨකරණං ලෙඩ්ඩුට්ඨානං ගන්ත්වා මහන්තං ලෙඩ්ඩුං අභිරූහිත්වා සකුණග්ඝිං අවචමානො{5} අට්ඨාසි, එහි ඛොදානි{6} සකුණග්ඝි, එහි ඛො{6}දානි සකුණග්ඝීති. අථ ඛො සා භික්ඛවෙ, සකුණග්ඝි සකෙ බලෙ අපත්ථද්ධා සකෙ බලෙ අවචමානා උභො පක්ඛෙ සන්ධාය{7} ලාපං සකුණං සහසා අජ්ඣප්පත්තා. යදා ඛො භික්ඛවෙ, අඤ්ඤාසි ලාපො සකුණො බහුආගතා{8} ඛො ම්යා’යං සකුණග්ඝීති, අථ තස්සෙව ලෙඩ්ඩුස්ස අන්තරං පච්චුපාදි. අථ ඛො භික්ඛවෙ, සකුණග්ඝි තත්ථෙව උරං පච්චතාළෙසි. එවං හෙ’තං{9} භික්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.
Sinhala BJTමහණෙනි, ඉක්බිති කැටකුරුලු තෙමේ නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් මහත් කැටකට නැඟ “ගිජුලිහිණිය, දැන් එව, ගිජුලිහිණිය, දැන් එව” යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. මහණෙනි, එකල්හි ඒ ගිජුලිහිණි සියබලයෙහි තද කොට සිටගෙන සියබලය වනමින් දෙපියාපත් නඟා කැටකුරුල්ලා වෙත සැහැසි කමින් පැමිණියා ය. මහණෙනි, යම් කලෙක කැටකුරුලු තෙමේ ගිජුලිහිණි මා පිණිස බොහෝ දුර ආවා යි දැන ගත්තේ නම් එකල්හි ඒ කැටෙහි ම ඇතුළට පිවිසියේ ය. මහණෙනි, එකල ගිජුලිහිණිය එහි ම ළය තළාගත්තා ය. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරේ නම් එය මෙසේ ම වේ.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ. අගොචරෙ භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො: යදිදං පඤ්ච කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා අයත් විෂයයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශ ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය කිමෙක්ද යත්: මේ පඤ්චකාමගුණයෝ යි. කවර පසෙක් ද යත්: ඉටුකැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ යැ… කනින් දතයුතු ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ … දිවෙන් දත යුතු රසයෝ යැ. ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය යි.
Pali BJTගොචරෙ භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ භික්ඛවෙ, චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං අයං භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයොති.
Sinhala BJTමහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශයක් නො ලබන්නේ ය. මරු අරමුණක් නොලබන්නේ ය. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කිමෙක්ද යත්: මේ සිවු සීවටන්හු යි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි … සිත්හි ... දහම්හි දහම් අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ මහණහට ගෝචර වූ සිය පියසතු විෂය යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTමක්කටසුත්තං
Sinhala BJTමක්කට සූත්‍රය
Pali BJT1185. අත්ථි භික්ඛවෙ, හිමවතො පබ්බතරාජස්ස දුග්ගා විසමා දෙසා, යත්ථ නෙව මක්කටානං චාරී න මනුස්සානං. අත්ථි භික්ඛවෙ, හිමවතො පබ්බතරාජස්ස දුග්ගා විසමා දෙසා යත්ථ මක්කටානඤ්හි ඛො චාරී න මනුස්සානං. අත්ථි භික්ඛවෙ, හිමවතො පබ්බතරාජස්ස සම භූමිභාගා රමණීයා, යත්ථ මක්කටානං චෙව චාරී මනුස්සානඤ්ච. තත්ර භික්ඛවෙ, ලුද්දා මක්කටවීථීසු ලෙපං ඔඩ්ඩෙන්ති මක්කටානං බාධනාය. තත්ර භික්ඛවෙ, යෙ තෙ මක්කටා අබාලජාතිකා{1} අලොලජාතිකා{1} තෙ තං ලෙපං දිස්වා ආරකා පරිවජ්ජෙන්ති{2}. යො පන සො හොති මක්කටො බාලජාතිකො ලොලජාතිකො සො තං ලෙපං උපසඞ්කමිත්වා හත්ථෙන ගණ්හාති. සො තත්ථ බජ්ඣති. හත්ථං මොචෙස්සාමීති දුතියෙන හත්ථෙන ගණ්හාති, සො තත්ථ බජ්ඣති. උභො හත්ථෙ මොචෙස්සාමීති පාදෙන ගණ්හාති, සො තත්ථ බජ්ඣති. උභො හත්ථෙ මොචෙස්සාමි පාදං චාති{3} දුතියෙන පාදෙන ගණ්හාති, සො තත්ථ බජ්ඣති. උභො හත්ථෙ මොචෙස්සාමි පාදෙ චාති තුණ්ඩෙන ගණ්හාති, සො තත්ථ බජ්ඣති. එවං හි සො භික්ඛවෙ, මක්කටො පඤ්චඩ්ඩිතො ථනං{4} සෙති අනයං ආපන්නො ව්යසනං ආපන්නො යථාකාමකරණීයො ලුද්දස්ස. තමෙනං භික්ඛවෙ, ලුද්දො විජ්ඣිත්වා{5} තස්මිං යෙව මක්කටං උද්ධරිත්වා අවිස්සජ්ජෙත්වා{6} යෙන කාමං පක්කමති. එවං හි{7} තං භික්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.
Sinhala BJT1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, මා අගොචරෙ චරිත්ථ පරවිසයෙ. අගොචරෙ භික්ඛවෙ, චරතං පරවිසයෙ ලච්ඡති මාරො ඔතාරං, ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො: යදිදං පඤ්චකාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං භික්ඛවෙ, භික්ඛුනො අගොචරො පරවිසයො.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා සතු විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය කිමෙක් ද යත්: මේ පස්කම්ගුණ යි. කවර පසෙක් ද යත්; ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ යැ ... ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යැ. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය යි.
Pali BJTගොචරෙ භික්ඛවෙ, චරථ සකෙ පෙත්තිකෙ විසයෙ. ගොචරෙ භික්ඛවෙ, චරතං සකෙ පෙත්තිකෙ විසයෙ න ලච්ඡති මාරො ඔතාරං, න ලච්ඡති මාරො ආරම්මණං. කො ච භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයො: යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං භික්ඛවෙ, භික්ඛුනො ගොචරො සකො පෙත්තිකො විසයොති.
Sinhala BJTමහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු නො ලබන්නේ ය. මරු අරමුණක් නො ලබන්නේ ය. මහණෙනි, මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය කිමෙක් ද යත්: මේ සිවු සීවටනි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTසූදසුත්තං
Sinhala BJTසූද සූත්‍රය
Pali BJT1186. සෙය්යථාපි භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො සූදො රාජානං වා රාජමහාමත්තං{1} වා නානච්චයෙහි සූපෙහි පච්චුපට්ඨිතො අස්ස: අම්බිලග්ගෙහිපි තිත්තකග්ගෙහිපි කටුකග්ගෙහිපි මධුරග්ගෙහිපි ඛාරිකෙහිපි අඛාරිකෙහිපි ලොණිකෙහිපි අලොණිකෙහිපි. සඛො සො භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො සූදො සකස්ස භත්තු{2} නිමිත්තං න උග්ගණ්හාති: ඉදං වා මෙ අජ්ජ භත්තු{2} සූපෙය්යං රුච්චති, ඉමස්ස වා අභිහරති, ඉමස්ස වා බහුං ගණ්හාති, ඉමස්ස වා වණ්ණං භාසති. අම්බිලග්ගං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, අම්බිලග්ගස්ස වා අභිහරති, අම්බිලග්ගස්ස වා බහුං ගණ්හාති, අම්බිලග්ගස්ස වා වණ්ණං භාසති, තිත්තකග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- කටුකග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- මධුරග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- ඛාරිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- අඛාරිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- ලොණිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- අලොණිකං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, අලොණිකස්ස වා අභිහරති, අලොණිකස්ස වා බහුං ගණ්හාති, අලොණිකස්ස වා වණ්ණං භාසතීති. සඛො සො භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො සූදො නචෙව ලාභී හොති: අච්ඡාදනස්ස, න ලාභී වෙතනස්ස, න ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු: තථා හි සො භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං න උග්ගණ්හාති.
Sinhala BJT1186. මහණෙනි, යම්සේ බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මේ අරක්කැමි තම ස්වාමියාගේ (භෝජන) නිමිත්ත නො උගනියි. “අද මාගේ ස්වාමිහට මේ සූපරසය රුචි වේ ය හෝ, මෙය ගැනීමට අත දිගුකරයි හෝ, මෙය බොහෝ කොට ගනියි හෝ, මෙහි ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වේ යි හෝ, ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනියි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙහි ගුණ කියා යි හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති ... හෝ … අද මාගේ සැමියාට මිහිරි කොටස් ඇති හෝ, … අද මාගේ සැමියාට කරරස ඇති හෝ, ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ ය හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණු රස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණු රස නැති සූපයේ ගුණ කියා යි හෝ” යි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ මේ අරක්කැමි වස්ත්‍ර නො ද ලබනසුලු වෙයි. වැටුප් නො ද ලබනසුලු වෙයි. පඬුරු නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත නො උගනියි ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො බාලො අව්යත්තො අකුසලො භික්ඛු කායෙ න කායානුපස්සී{1} විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ න කායානුපස්සිනො{2} විහරතො චිත්තං න සමාධියති, උපක්කිලෙසා න පහීයන්ති. සො තං නිමිත්තං න උග්ගණ්හාති. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු න ධම්මානුපස්සී{3} විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු න ධම්මානුපස්සිනො{4} විහරතො චිත්තං න සමාධියති, උපක්කිලෙසා න පහීයන්ති. සො තං නිමිත්තං න උග්ගණ්හාති. සඛො සො භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො භික්ඛු නචෙව ලාභී හොති දිට්ඨධම්මසුඛවිහාරානං,{5} න ලාභී සතිසම්පජඤ්ඤස්ස. තංකිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ, බාලො අව්යත්තො අකුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං න උග්ගණ්හාති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙහි බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වේ. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වෙයි. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ දිටුදැමියෙහි සුව විහරණ නො ද ලබනසුලු වෙයි. සිහි නුවණ නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත නො උගනී ද එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පණ්ඩිතො වියත්තො කුසලො සූදො රාජානං වා රාජමහාමත්තං වා නානච්චයෙහි සූපෙහි පච්චුපට්ඨිතො අස්ස: අම්බිලග්ගෙහිපි තිත්තකග්ගෙහිපි කටුකග්ගෙහිපි මධුරග්ගෙහිපි ඛාරිකෙහිපි අඛාරිකෙහිපි ලොණිකෙහිපි අලොණිකෙහිපි. සඛො සො භික්ඛවෙ, පණ්ඩිතො වියත්තො කුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති: “ඉදං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, ඉමස්ස වා අභිහරති, ඉමස්ස වා බහුං ගණ්හාති, ඉමස්ස වා වණ්ණං භාසති. අම්බිලග්ගං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, අම්බිලග්ගස්ස වා අභිහරති, අම්බිලග්ගස්ස වා බහුං ගණ්හාති, අම්බිලග්ගස්ස වා වණ්ණං භාසති. තිත්තකග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- කටුකග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- මධුරග්ගං වා මෙ අජ්ජ භත්තු -පෙ- ඛාරිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- අඛාරිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- ලොණිකං වා මෙ අජ්ජ භත්තු -පෙ- අලොණිකං වා මෙ අජ්ජ භත්තු සූපෙය්යං රුච්චති, අලොණිකස්ස වා අභිහරති, අලොණිකස්ස වා බහුං ගණ්හාති, අලොණිකස්ස වා වණ්ණං භාසතීති. සඛො සො භික්ඛවෙ, පණ්ඩිතො වියත්තො කුසලො සූදො ලාභී චෙව හොති අච්ඡාදනස්ස, ලාභී වෙතනස්ස, ලාභී අභිහාරානං. තං කිස්ස හෙතු: තථා හි සො භික්ඛවෙ, පණ්ඩිතො ව්යත්තො කුසලො සූදො සකස්ස භත්තු නිමිත්තං උග්ගණ්හාති.
Sinhala BJTමහණෙනි, යම්සේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත උගනියි. “අද මාගේ ස්වාමියාට මේ සූපරසය රුචි වේ යි හෝ මෙයට අත දිගුකරයි හෝ මෙයින් බොහෝ ගනියි හෝ මෙහි ගුණ කියායි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වෙ යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනි යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයේ ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට තිත්ත කොටස් ඇති … හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට මිහිරි කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට කරරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ යි හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණුරස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණුරස නැති සූපයෙහි ගුණ කියා යි හෝ” යි. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ අරක්කැමි වස්ත්‍ර ලබනසුලු වෙයි. වැටුප් ලබනසුලු වෙයි. පඬුරු ලබනසුලු වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත උගනී එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං සමාධියති, උපක්කිලෙසා පහීයන්ති. සො තං නිමිත්තං උග්ගණ්හාති. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො චිත්තං සමාධියති, උපක්කිලෙසා පහීයන්ති. සො තං නිමිත්තං උග්ගණ්හාති. සඛො සො භික්ඛවෙ, පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු ලාභී චෙව හොති දිට්ඨධම්මසුඛවිහාරානං, ලාභී හොති සතිසම්පජඤ්ඤස්ස. තං කිස්ස හෙතු: තථා හි සො භික්ඛවෙ, පණ්ඩිතො ව්යත්තො කුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගණ්හාතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වෙයි. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ මහණ දිටුදැමියෙහි සුඛවිහරණ ලබනසුලු ද වෙයි. සිහිනුවණ ලබනසුලු ද වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත උගනී එහෙයිනි යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT1187. එකං සමයං භගවා වෙසාලියං විහරති බෙලුවගාමකෙ{1}. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “එථ තුම්හෙ භික්ඛවෙ, සාමන්තා{2} වෙසාලියා යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපෙථ. ඉධෙවාහං බෙලුවගාමකෙ වස්සං උපගච්ඡාමී”ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා සාමන්තා වෙසාලියා යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපගඤ්ඡුං. භගවා පන තත්ථෙව බෙලුවගාමකෙ{3} වස්සං උපගඤ්ඡි. අථ ඛො භගවතො වස්සූපගතස්ස ඛරො ආබාධො උප්පජ්ජි. බාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තා{4} සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො. අථ ඛො භගවතො එතදහොසි: න ඛො පන මෙතං පතිරූපං යො’හං අනාමන්තෙත්වා උපට්ඨාකෙ, අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං පරිනිබ්බායෙය්යං{5}. යන්නූනාහං ඉමං ආබාධං විරියෙන පටිප්පණාමෙත්වා{6} ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහරෙය්යන්ති. අථ ඛො භගවා තං ආබාධං විරියෙන පටිප්පණාමෙත්වා ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහාසි. අථ ඛො භගවා ගිලානා වුට්ඨිතො{7} අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා විහාරපච්ඡායායං{8} පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT1187. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි බේළුවගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි එවු. තෙපි මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹෙවු. මම මෙහි බේලුවගම්හි ම වස් එළඹෙමී” යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹුණාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි ම බේලුවගම්හි වස් එළඹුණු සේක. එකල්හි වස් එළඹුණු භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර ආබාධයක් උපන. මරණය කරා පමුණුවන දැඩි වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නොපෙළෙමින් ඒ වේදනා ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “යම්බඳු මම උවැටන් කරන්නවුන් නො අමතා බික්සඟන නො දන්වා පිරිනිවෙම් නම් මට එය සුදුසු නො වෙයි. මම මේ රෝගය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර (ජීවිතය පවතින සේ) අධිෂ්ඨාන කොට වෙසෙන්නෙම් නම් මැනැවැ”යි . එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර අධිෂ්ඨාන කොට වැඩවූසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්බවෙන් නැඟීසිටි සේක්. ගිලන්බවෙන් නැගී සිටි නොබෝකල් ඇති සේක් වෙහෙර පසුපස සෙවණැල්ලෙහි පැනැ වූ අසුන්හි වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:{*} “දිට්ඨං භන්තෙ, භගවතො ඛමනීයං, දිට්ඨං භන්තෙ, භගවතො යාපනීයං. අපි මෙ භන්තෙ, මධුරකජාතො විය කායො, දිසාපි මෙ න පක්ඛායන්ති, ධම්මාපි මං නප්පටිභන්ති, භගවතො ගෙලඤ්ඤෙන. අපි ච මෙ භන්තෙ, අහොසි: කාචිදෙව අස්සාසමත්තා{1} න තාව භගවා පරිනිබ්බායිස්සති. න තාව භගවා භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරතී”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්බව හේතු කොට ගෙන මාගේ සිරුර ද තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නො වැටහේ. වහන්ස, තව ද භාග්‍යවතුන් වහන්සේ දැන් ම නො පිරිනිවෙන සේක. භාග්‍යවි ය යි.
Pali BJTකිම්පනදානි ආනන්ද, භික්ඛුසඞ්ඝො මයි පච්චාසිංසති: දෙසිතො ආනන්ද, මයා ධම්මො අනන්තරං අබාහිරං කත්වා. නත්ථානන්ද, තථාගතස්ස ධම්මෙසු ආචරියමුට්ඨි. යස්ස{2} නූන ආනන්ද, එවමස්ස අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමීති වා. මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝොති වා සො නූන ආනන්ද, භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරෙය්ය. තථාගතස්ස ඛො ආනන්ද, න එවං හොති අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමීති වා මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝොති වා. සකිං ආනන්ද, තථාගතො භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරිස්සති: එතරහි ඛො පනානන්ද, ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. ආසීතියො මෙ වයො වත්තති. සෙය්යථාපි ආනන්ද, ජජ්ජරසකටං{3} වෙළුමිස්සකෙන{4} යාපෙති; එවමෙව ඛො ආනන්ද, වෙළුමිස්සකෙන මඤ්ඤෙ තථාගතස්ස කායො යාපෙති.
Sinhala BJTආනන්‍ද, බික්සඟන මා කෙරෙහි කුමක් අපේක්‍ෂා කෙරේ ද? ආනන්‍ද, මා විසින් ආනන්තර-අබාහිර (-නො සඟවා) නො කොට දහම් දෙසන ලදී. ආනන්‍ද, තථාගත දහම්හි ආචාර්‍ය්‍ය මුෂ්ටි නැත. ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේ ව)” යි හෝ යමකුට ඒකාන්තයෙන් මෙබඳු අදහසක් වන්නේ ද ආනන්‍ද, හේ ඒකාන්තයෙන් බික්සඟන ඇරබ කිසිවක් ගෙන හැර පානේ (කිසියම් අවවාදයක් දෙන්නේ) නම් ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේව)” යි හෝ තථාගතයන් හට වූකලී මෙබඳු සිතෙක් නො වේ. ආනන්‍ද, ඒ තථාගත බික්සඟන ඇරබ කිසිවක් ගෙනහැර පානේ ද ආනන්‍ද, දැන් වූකලී දිරූයෙම් වෘද්ධයෙම් මහලු වූයෙම් කල්ගත වූයෙම් පිළිවෙළින් මහලුවියට පැමිණියෙම් මාගේ අසූවැනි විය පවතී. ආනන්‍ද, දිරූ ගැලක් යම්සේ හුණු මුසු පිළිසකරින් යැපේ ද ආනන්‍ද, එපරිද්දෙන් තථාගතයන්ගේ කය හුණු මුසු පිළිසකරින් මෙන් යැපේ.
Pali BJTයස්මිං ආනන්ද, සමයෙ තථාගතො සබ්බනිමිත්තානං අමනසිකාරා එකච්චානං වෙදනානං නිරොධා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. ඵාසුතරං ආනන්ද, තස්මිං සමයෙ තථාගතස්ස හොති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො: ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා තමතග්ගෙ මෙ තෙ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමාති.
Sinhala BJTආනන්‍ද, යම්කලෙක තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නො කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත වූ චිත්තසමාධියට පැමිණ වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ට ඉතා පහසු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු. ආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාව … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු ද, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, ආනන්‍ද, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTභික්ඛුනුපස්සයසුත්තං
Sinhala BJTභික්ඛුනුපස්සය සූත්‍රය
Pali BJT1188. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො{1} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “ඉධ භන්තෙ, ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තා{2} විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී”ති. “එවමෙතං භගිනියො, එවමෙතං භගිනියො, යො හි කො චි භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො{3} විහරති, තස්සෙතං පාටිකඞ්ඛං” “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති. අථ ඛො ආයස්මා ආනන්දො තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT1188. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන්හ. එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ මෙහෙණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “වහන්ස, ආනන්‍දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. නැගණියනි, එය එසේ ය. නැගණියනි, එය එසේ ය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එලඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු යි, ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දැහැමි කථාවෙන් ඒ මෙහෙණුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ, සම්බහුලා භික්ඛුනියො යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භන්තෙ, තා භික්ඛුනියො මං එතදවොචුං: “ඉධ භන්තෙ ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තා විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී”ති. එවං වුත්තාහං භන්තෙ, තා භික්ඛුනියො එතදවොචං: “එවමෙතං භගිනියො, එවමෙතං භගිනියො, යො හි කොචි භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං: “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් කරා එළඹියෙමි. එළඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, එකල්හි බොහෝ මෙහෙණහු මා වෙත එළඹියහ. එළඹ මා වැඳ එකත්පස්ව හුන්හ. වහන්ස, එකත්පස් ව හුන් ඒ මෙහෙණහු මට මෙය කීහ: “වහන්ස, ආනන්‍දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. වහන්ස, එසේ කියන ලද මම ඒ මෙහෙණට මෙය කීමි. “නැගණියනි, එය එසේය. නැගණියනි, එය එසේය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති විය යුතු” යි.
Pali BJTඑවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, යො හි කොචි ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං: “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති. කතමෙසු චතූසු: ඉධානන්ද භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො කායාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙන හානන්ද, භික්ඛුනා කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති: යස්ස ඛො’හං අත්ථාය චිත්තං පණිදහිං සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. හන්දදානි පටිසංහරාමීති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති. න ච විචාරෙති. “අවිතක්කොම්හි අවිචාරො අජ්ඣත්තං සතිමා සුඛමස්මී”ති පජානාති.
Sinhala BJTආනන්‍ද, එය එසේ ය. ආනන්‍ද , එය එසේ ය. ආනන්‍ද, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු. කවර සතරෙක ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ද කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කය අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරෙයි. ආනන්‍ද, ඒ මහණහු විසින් කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවියයුතු යි. කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳි යි. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මෙසේ නුවණින් සලකා බලයි: “මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපනි. ඒකාන්තයෙන් දැන් (පැහැදියයුතු නිමිත්තෙන් සිත) ආපසු හැර ගනිමි” යි. හෙතෙමේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. නො ද විතර්‍ක කෙරෙයි. නො ද විචාර කෙරෙයි. විතර්‍ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.