Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකුසලී භාසසි තෙසං මාරපාසප්පහායිනං, කස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනන්ති.
Sinhala BJTමාරපාසයන් හැර සිටිය වූ ඔවුන්ට අනවද්‍ය කර්‍ම ඇතියහයි පසස්නෙහි ය. ඔහු කවරකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද?
Pali BJT[දෙවපුත්තො:]
Sinhala BJT[දෙව්පුත්:]
Pali BJTන අඤ්ඤත්ර භගවතා නාඤ්ඤත්ර තව සාසනා, යස්ස තෙ ධම්මමඤ්ඤාය අච්ඡිදුං භවබන්ධනං.
Sinhala BJTඔහු යමකුගේ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ද, (ඒ) භාග්‍යවතුන් වහන්සේ නො හැරයි. මුබවහන්සේගේ සසුන ද නො හැරයි.
Pali BJTයත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, තං තෙ ධම්මං ඉධඤ්ඤූය අච්ඡිදුං භවබන්ධනන්ති.
Sinhala BJTයම් තැනක නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, ඔහු මේ සසුනෙහි ඒ නිර්‍වාණ ධර්‍මය දැන භවබන්‍ධනය සින්දාහු ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTගම්භීරං වාචසි වාචං දුබ්බිජානං සුදුබ්බුධං, කස්ස ත්වං ධම්මමඤ්ඤාය වාචං භාසසි ඊදිසන්ති.
Sinhala BJTගැඹුරු වූ දැන ගැණීමට දුෂ්කර වූ අතිශයින් දුරවබෝධ වූ වචන කියහි. තෙපි කවරකුගේ ධර්‍මය දැන මෙබඳු වචන කියහු ද?
Pali BJT[දෙවපුත්තො:]
Sinhala BJT[දෙව්පුත්:]
Pali BJTකුම්භකාරො පුරෙ ආසිං වෙහලිඞ්ගෙ ඝටීකරො, මාතාපෙත්තිභරො ආසිං කස්සපස්ස උපාසකො.
Sinhala BJTපෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙකිම් වීමි. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයෙම් මවු පියන් පෝෂණය කෙළෙම් වීමි.
Pali BJTවිරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො, අහුවා තෙ සගාමෙය්යො අහුවා තෙ පුරෙ සඛා.
Sinhala BJTමෙවුන්දමින් වෙන් වූයෙම් නිරාමිෂ (=අනාගාමි) බ්‍රහ්මචාර ඇතියෙම් තොප හා එක්ගම විසූයෙම් විමි. පෙර තොපගේ යහළුවෙකිම් වීමි.
Pali BJTසොහං එතෙ පජානාමි විමුත්තෙ සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණෙ තිණ්ණෙ ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTඒ මම රාගදෝසයන් ක්‍ෂය කළ ලොව තෘෂ්ණාව තරණය කළ මිදුනු මේ භික්‍ෂූන් සත් නම දනිමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඑවමෙතං තදා ආසි යථා භාසසි භග්ගව, කුම්භකාරො පුරෙ ආසි වෙහලිඞ්ගෙ ඝටීකරො. මාතාපෙත්තිභරො ආසි කස්සපස්ස උපාසකො.
Sinhala BJTභාර්‍ගව, යම්සේ කියහි නම් එකල්හි මෙය එසේ වී ය. පෙර වේහලිඞ්ග ගම්හි ඝටීකාර නම් කුඹලෙක් විය. කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ උපාසකයෙක් වූයේ මවුපියන් පොෂණය කෙළේ විය.
Pali BJTවිරතො මෙථුනා ධම්මා බ්රහ්මචාරී නිරාමිසො, අහුවා මෙ සගාමෙය්යො අහුවා මෙ පුරෙ සඛාති.
Sinhala BJTමෙවුන්දමින් වැළකුනු නිරාමිෂ බඹසර ඇත්තෙක් වූයේ ය. මා හා එක් ගම විසූයෙක් වූයේ ය. පෙර මාගේ යහළුවෙක් විය.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTඑවමෙතං පුරාණානං සහායානං අහු සඞ්ගමො, උභින්නං භාවිතත්තානං සරීරන්තිමධාරිනන්ති.
Sinhala BJTවඩන ලද සිත් ඇති අන්තිම සිරුර දරණ පැරණි යහළුවන් දෙදෙනෙකුන්ගේ මේ එක් වීම මෙසේ විය.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTජන්තුසුත්තං.
Sinhala BJTජන්තු සූත්‍රය
Pali BJT106. එවං මෙ සුතං එකං සමයං සම්බහුලා භික්ඛූ කොසලෙසු විහරන්ති හිමවන්තපස්සෙ අරඤ්ඤකුටිකායං{1} උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා.
Sinhala BJT106. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙස වනකිළියෙක උඩනු වූ නගා ගත් මාන නළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා වූ සිහි ඇති මනා නුවණ නැති නොඑකඟ සිත් ඇති නොසන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු වෙසෙත්.
Pali BJTඅථ ඛො ජන්තු දෙවපුත්තො තදහුපොසථෙ පණ්ණරසෙ යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ භික්ඛූ ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි ජන්තු දෙව්පුත් තෙමේ පුණුරැසි පොහොය වූ එදින ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථාවලින් කීය:
Pali BJTසුඛජීවිනො පුරෙ ආසුං භික්ඛූ ගොතමසාවකා, අනිච්ඡා පිණ්ඩමෙසනා අනිච්ඡා සයනාසනං, ලොකෙ අනිච්චතං ඤත්වා දුක්ඛස්සන්තං අකංසු{2} තෙ.
Sinhala BJTපෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුමු සව් වූ මහණහු සුඛජීවී වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක් කෙළවර කළහ.
Pali BJTදුප්පොසං කත්වා අත්තානං ගාමෙ ගාමණිකා විය, භුත්වා භුත්වා නිපජ්ජන්ති පරාගාරෙසු මුච්ඡිතා.
Sinhala BJTමම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි: මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම්දෙටුවන් මෙන් තමන් දුක සේ පෝෂණය කළහැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා වළඳමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔ අසරණයෝ ය. සොහොනෙහි දමන මළසිරුරු බඳු වෙත්.
Pali BJTසඞ්ඝස්ස අඤ්ජලිං කත්වා ඉධෙකච්චෙ වදාමහං, අපවිද්ධා{1} අනාථා තෙ යථා පෙතා තථෙව ච.{2}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTයෙ ඛො පමත්තා විහරන්ති තෙ මෙ සන්ධාය භාසිතං, යෙ අප්පමත්තා විහරන්ති නමො තෙසං කරොමහන්ති.
Sinhala BJTයම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් ද, මා විසින් ඔවුන් සඳහා කියන ලදි: යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙද් ද, මම ඔවුන්ට නමස්කාර කරමි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTරොහිතස්සසුත්තං.
Sinhala BJTරෝහිතස්ස සූත්‍රය
Pali BJT107. සාවත්ථියං–
Sinhala BJT107. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො රොහිතස්සො දෙවපුත්තො භගවන්තං එතදවොච.
Sinhala BJTඑකත්පසෙක සිටි රෝහිතස්ස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:
Pali BJTයත්ථ නු ඛො භන්තෙ, න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති{3} සක්කා නු ඛො සො භන්තෙ ගමනෙන ලොකස්ස අන්තො ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති.
Sinhala BJT“වහන්ස, යම්තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද. වහන්ස, ඒ ලෝකයේ කෙළවර පාගමනින් දැන ගන්නට හෝ දක්නට හෝ පැමිණෙන්නට හෝ හැක්කේ ද?” යි.
Pali BJTයත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති{3} නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.
Sinhala BJTඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා, යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති{3} නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය,
Pali BJTභූතපුබ්බාහං භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං භන්තෙ එවරූපො ජවො අහොසි: සෙය්යථාපි නාම දළ්හධම්මා{4} ධනුග්ගහො සික්ඛිතො{5} කතහත්ථො කතයොග්ගො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙනෙව තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය.
Sinhala BJTපෙරවූවක් කියමි. වහන්ස, මම භෝජ පුත්‍ර වූ ඍද්ධි ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි වහන්ස, ඒ මට දැඩිදුනු ඇති පුහුණු වූ කළ පුරුදු ඇති කළ තරඟ ඇති දැක්වූ ශිල්ප ඇති දුනුවායෙක් සැහැල්ලු ඊතලයෙකින් තල්සෙය සරස නිදුකින් ම යම්සේ ඉක්මවන්නේ ද, එබඳු ජවයෙක් වී ය.
Pali BJTතස්ස මය්හං භන්තෙ, එවරූපො පදවීතිහාරො අහොසි: සෙය්යථාපි{6} නාම පුරත්ථිමසමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං භන්තෙ, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති.
Sinhala BJTවහන්ස, ඒ මට පෙරදිග මුහුදින් අපරදිග මුහුද යම්සේ දුර ද, එබඳු පා තැබීමෙක් වි ය. වහන්ස, ඒ මට “මම පාගමනින් ලොව කෙළවරට පැමිණෙන්නෙමි”යි මෙබඳු ආශායෙක් උපන.
Pali BJTසො ඛ්වාහං භන්තෙ එවරූපෙන ජවෙන සමන්නාගතො එවරූපෙන ච පදවීතිහාරෙන අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වා ව{7} ලොකස්ස අන්තං අන්තරාව කාලකතො.{8}
Sinhala BJTවහන්ස, ඒ මම මෙබඳු ජවයෙන් යුක්ත වූයෙම් මෙබඳු පදවීතිභාරයෙන් යුක්ත වූයෙම් සියවසක් ආයු ඇත්තෙම් සියවසක් ජීවත්වන සුලු වූයෙම් කන බොන බුදින රස විඳින වෙලාවන් හැර මල මූ පහ කරණ වෙලාවන් හැර නිදන විඩා හරිණ වෙලාවන් හැර සියවසක් ගමන් කොට ලොව කෙළවරට නො පැමිණ ම අතරමගදී ම කලුරිය කෙළෙමි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා: “යත්ථ ඛො ආවුසො න ජායති, න ජීයති, න මීයති, න චවති, න උප්පජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමී”ති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නැවත නො හටගණී ද, ලෝකයේ ඒ කෙළවර පාගමනින් දතහැකි ය, දැක්කහැකි ය, පැමිණිය හැකි ය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය.
Pali BJTන ඛො පනාහං ආවුසො, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං ආවුසො ඉමස්මිඤ්ඤෙව බ්යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි, ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදන්ති.
Sinhala BJTඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.
Pali BJTගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං, න ච අප්පත්වා ලොකන්තං දුක්ඛා අත්ථි පමොචනං.
Sinhala BJTපාගමනින් කිසිකලෙක ලොව කෙළවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.
Pali BJTතස්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන්තගූ වුසිතබ්රහ්මචරියො, ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසති{1} ලොකමිමං පරඤ්චාති.
Sinhala BJTඑහෙයින් ලොව දන්නා මහානුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මේ ලොව ද පරලොව ද නො පතයි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTනන්දසුත්තං.
Sinhala BJTනන්‍ද සූත්‍රය
Pali BJT108. සාවත්ථියං–
Sinhala BJT108. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො නන්දො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි නන්‍ද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඅච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහන්ති, එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානීති.
Sinhala BJTපෙරවරු ආදී කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යෙත්. මේ ත්‍රිවිධභය ,මරණයෙහි ලා දන්නේ සැප එළවන පින් කරන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅච්චෙන්ති කාලා තරයන්ති රත්තියො වයොගුණා අනුපුබ්බං ජහන්ති, යං මරණෙ පෙක්ඛමානො ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛොති.
Sinhala BJTකාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු පුරුෂයා මරණය කරා පමුණුවත්. වයෝ රාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලොකාමිසය දුරු කරන්නේ ය.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJTනන්දිවිසාලසුත්තං.
Sinhala BJTනන්‍දිවිසාල සූත්‍රය
Pali BJT109. සාවත්ථියං–
Sinhala BJT109. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො නන්දිවිසාලො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:-
Sinhala BJTඑකත්පසෙක සිටි නන්‍දිවිසාල දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් කී ය.
Pali BJTචතුචක්කං නවද්වාරං පුණ්ණං ලොභෙන සංයුතං, පඞ්කජාතං මහාවීර කථං යාත්රා භවිස්සතීති.
Sinhala BJTමහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඡෙත්වා නද්ධිං වරත්තඤ්ච ඉච්ඡා ලොභඤ්ච පාපකං, සමූලං තණ්හං අබ්බුය්හ එවං යාත්රා භවිස්සතීති.
Sinhala BJTරැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJTසුසීමසුත්තං.
Sinhala BJTසුසීම සූත්‍රය
Pali BJT110. සාවත්ථියං–
Sinhala BJT110. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: තුය්හම්පි නො ආනන්ද සාරිපුත්තො රුච්චතීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, තොපට ද ශාරිපුත්‍ර තෙමේ නුරුස්නේ දැ” යි මෙය වදාළ සේක.
Pali BJTකස්ස හි නාම භන්තෙ, අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස ආයස්මා සාරිපුත්තො න රුච්චෙය්ය. පණ්ඩිතො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. මහාපඤ්ඤො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. පුථුපඤ්ඤො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. හාසුපඤ්ඤො{1} භන්තෙ, ආයස්මා සාරිපුත්තො. ජවනපඤ්ඤො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. තික්ඛපඤ්ඤො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. නිබ්බෙධිකපඤ්ඤො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. අප්පිච්ඡො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. සන්තුට්ඨො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. පවිවිත්තො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. අසංසට්ඨො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. ආරද්ධවිරියො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. වත්තා භන්තෙ, ආයස්මා සාරිපුත්තො. වචනක්ඛමො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. චොදකො භන්තෙ, ආයස්මා සාරිපුත්තො. පාපගරහී භන්තෙ, ආයස්මා සාරිපුත්තො. කස්ස හි නාම භන්තෙ, අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස ආයස්මා සාරිපුත්තො න රුච්චෙය්යාති.
Sinhala BJTවහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මහාප්‍රාඥායහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථුප්‍රාඥාය හ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හාසබහුල ප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ජවනප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තීක්‍ෂණප්‍රාඥයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිර්වේදිකප්‍රඥා ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අලේපච්ඡයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සන්තුෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අසංශෘෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වක්තෲහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චචනක්‍ෂමයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චෝදකයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
Pali BJTඑවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද. කස්ස හි නාම ආනන්ද, අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස සාරිපුත්තො න රුච්චෙය්ය. පණ්ඩිතො ආනන්ද සාරිපුත්තො. මහාපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. පුථුපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. හාසුපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. ජවනපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. තික්ඛපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. නිබ්බෙධිකපඤ්ඤො ආනන්ද සාරිපුත්තො. අප්පිච්ඡො ආනන්ද සාරිපුත්තො. සන්තුට්ඨො ආනන්ද සාරිපුත්තො. පවිවිත්තො ආනන්ද සාරිපුත්තො. අසංසට්ඨො ආනන්ද සාරිපුත්තො. ආරද්ධවිරියො ආනන්ද සාරිපුත්තො. වත්තා ආනන්ද සාරිපුත්තො. වචනක්ඛමො ආනන්ද සාරිපුත්තො. චොදකො ආනන්ද සාරිපුත්තො. පාපගරහී ආනන්ද සාරිපුත්තො. කස්ස හි නාම ආනන්ද අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස සාරිපුත්තො න රුච්චෙය්යාති.
Sinhala BJTආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද? ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පණ්ඩිත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ මහාප්‍රාඥ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පෘථුප්‍රාඥා ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ හාසබහුල ප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ජවනප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ තීක්‍ෂණප්‍රඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ නිර්වේදිකප්‍රඥාවෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අලේපච්ඡ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ සන්තුෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ප්‍රකර්‍ශවිවේකයෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අසංශෘෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ වක්තෘ ය. ආනන්‍ද, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ වචනක්‍ෂම ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ චෝදක ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පාපගර්හී ය. ආනන්‍ද, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද?
Pali BJTඅථ ඛො සුසීමො දෙවපුත්තො ආයස්මතො සාරිපුත්තස්ස වණ්ණෙ භඤ්ඤමානෙ මහතියා දෙවපුත්තපරිසාය පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සුසීමො{1} දෙවපුත්තො භගවන්තං එතදවොච: එවමෙතං භගවා. එවමෙතං සුගත. කස්ස හි නාම භන්තෙ, අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස ආයස්මා සාරිපුත්තො න රුච්චෙය්ය? පණ්ඩිතො භන්තෙ, ආයස්මා සාරිපුත්තො -පෙ- පාපගරහී භන්තෙ, ආයස්මා සාරිපුත්තො. කස්ස හි නාම භන්තෙ, අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස ආයස්මා සාරිපුත්තො න රුච්චෙය්යාති.
Sinhala BJTඉක්බිති සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබනු කල්හි මහත් දෙව්පුත්පිරිස විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුසීමදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හී හ. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?
Pali BJTඅහම්පි හි භන්තෙ, යඤ්ඤදෙව දෙවපුත්තපරිසං උපසඞ්කමිං. එතදෙව බහුලං සද්දං සුණාමි: පණ්ඩිතො ආයස්මා සාරිපුත්තො. -පෙ- පාපගරහී ආයස්මා සාරිපුත්තො. කස්ස හි නාම අබාලස්ස අදුට්ඨස්ස අමූළ්හස්ස අවිපල්ලත්ථචිත්තස්ස ආයස්මා සාරිපුත්තො න රුච්චෙය්යාති.
Sinhala BJTවහන්ස, මම ද යම් යම් දෙව්පුත් පිරිසකට එළඹුනෙම් ද, “ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීහ. බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද” යන මේ ශබ්ද ය ම බහුල වශයෙන් අසමි.
Pali BJTඅථ ඛො සුසීමස්ස දෙවපුත්තස්ස දෙවපුත්තපරිසා ආයස්මතො සාරිපුත්තස්ස වණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනා පමුදිතා පීතිසොමනස්සජාතා උච්චාවචා වණ්ණනිභා උපදංසෙති.
Sinhala BJTඉක්බිත්ව සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
Pali BJTසෙය්යථාපි නාම මණිවෙළුරියො සුභො ජාතිමා{2} අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස්ස දෙවපුත්තස්ස දෙවපුත්තපරිසා ආයස්මතො සාරිපුත්තස්ස වණ්ණෙ භඤ්ඤමානෙ අත්තමනා පමුදිතා පීතිසොමනස්සජාතා උච්චාවචා වණ්ණනිභා උපදංසෙති.
Sinhala BJTශුභ වූ ජාතිමත් වූ අටැස් වෙරළුමිණෙක් මැනවින් පිරියම් කරණ ලද්දේ රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද. එපරිද්දෙන් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
Pali BJTසෙය්යථාපි නාම නෙක්ඛං{3} ජම්බොනදං දක්ඛකම්මාරපුත්තෙන උක්කාමුඛෙ සුකුසලසම්පහට්ඨං{4} පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස්ස දෙවපුත්තස්ස දෙවපුත්තපරිසා -පෙ- උච්චාවචා වණ්ණනිභා උපදංසෙති.
Sinhala BJTදක්‍ෂරන්කරු පුතකු විසින් කෝවාමුවෙහි මොනවට පිස ශුද්ධ කරණ ලද දඹරන්මුවා නිකෙක් රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
Pali BJTසෙය්යථාපි නාම [සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ]{4} රත්තියා පච්චූසසමයං ඔසධිතාරකා භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස්ස දෙවපුත්තස්ස දෙවපුත්තපරිසා -පෙ- උච්චාවචා වණ්ණනිභා උපදංසෙති.
Sinhala BJTශරත් කල රෑ අලුයම පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි පහන්තරුව යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
Pali BJTසෙය්යථාපි නාම සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුස්සුක්කමානො{5} සබ්බං ආකාසගතං තමං{6} අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස්ස දෙවපුත්තස්ස දෙවපුත්තපරිසා -පෙ- උච්චාවචා වණ්ණනිභා උපදංසෙති.
Sinhala BJTශරත් කල පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි හිරු අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර නසා යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීම දෙව්පුත්හුගේ දෙව්පුත් පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.
Pali BJTඅථ ඛො සුසීමො දෙවපුත්තො ආයස්මන්තං සාරිපුත්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTසුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
Pali BJTපණ්ඩිතොති සමඤ්ඤාතො සාරිපුත්තො අකොධනො, අප්පිච්ඡො සොරතො දන්තො සත්ථුවණ්ණාභතො{1} ඉසීති.
Sinhala BJTපණ්ඩිත යයි ප්‍රකට වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නො කිපෙන සුල්ලහ. අපිස්හ. මොළොක්හ. දමුනහ යි ශාස්තෲන් වහන්සේ විසින් වණනලද ගුණ ඇති ඍෂිවරයෙකි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආරබ්භ සුසීමං දෙවපුත්තං ගාථාය අජ්ඣභාසි:{2}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් ඇරබ සුසීම දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක,
Pali BJTපණ්ඩිතොති සමඤ්ඤාතො සාරිපුත්තො අකොධනො, අප්පිච්ඡො සොරතො දන්තො කාලං කඞ්ඛති සුදන්තොති{3}.
Sinhala BJTපණ්ඩිත යයි ප්‍රසිද්ධ වූ නො කිපෙන සුලු අපිස් මොළොක් දැමුණු ඉතා දැමුණු සැරියුත් තෙමේ කාලය අපේක්‍ෂා කරයි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.
Pali BJTනානාතිත්ථියසාවකසුත්තං
Sinhala BJTනානාතිත්‍ථියසාවක සූත්‍රය
Pali BJT111. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
Sinhala BJT111. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.
Pali BJTඅථ ඛො සම්බහුලා නානාතිත්ථියසාවකා දෙවපුත්තා අසමොසහලී{4} ච නිඞ්කො{5}ච ආකොටකොවෙටම්බරී ච{6} මාණවගාමියො ච අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතො ඛො අසමො දෙවපුත්තො පූරණං කස්සපං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි නොයෙක් නොයෙක් තීර්‍ත්‍ථකයන් ගේ ශ්‍රාවක වූ මනා ඡවිවර්‍ණ ඇති අසමසහලිනිඞ්කආකොටකවෙටම්බරිමානවගාමිය ද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පූරණකාශ්‍යප ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඉධ ඡින්දිතමාරිතෙ හතජානීසු කස්සපො, පාපං{7} න සමනුපස්සති පුඤ්ඤං වා පන අත්තනො, ස වෙ විස්සාසමාචික්ඛි සත්ථා අරහති මානනන්ති.
Sinhala BJTකසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහි ද මැරීමෙහි ද පෙළීමෙහි ද ධනහානියෙහි ද තමහට පවක් හෝ පිනක් හෝ නො දකියි. හෙ තෙමේ ඒකාන්තයෙන් විශ්වාසය කී ය. (එහෙයින්) බුහුමනට සුදුසු ය.
Pali BJTඅථ ඛො සහලී දෙවපුත්තො මක්ඛලිං ගොසාලං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්කලිගොසල ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTතපොජිගුච්ඡාය සුසංවුතත්තො වාචං පහාය කලහං ජනෙන, ස මොසවජ්ජා විරතො සච්චවාදී නහනූන තාදී පකරොති පාපන්ති.{8}
Sinhala BJT(කය පෙළන) තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙ තෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.
Pali BJTඅථ ඛො නිඞ්කො දෙවපුත්තො නිගණ්ඨං නාතපුත්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති නිඞ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාථපුත්‍ර ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTජෙගුච්ඡී නිපකො භික්ඛු චාතුයාමසුසංවුතො, දිට්ඨං සුතඤ්ච ආචික්ඛං නහනූන කිබ්බිසී සියාති.
Sinhala BJTපවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් (නිගණ්ඨනාථපුත්‍ර තෙමේ) දක්නා ලද්ද ද, අසන ලද්ද ද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නො ම වන්නේ ය.
Pali BJTඅථ ඛො ආකොටකො දෙවපුත්තො නානාතිත්ථියෙ ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්‍ත්‍ථකයන් ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTපකුධකො කාතියානො නිගණ්ඨා යෙ චාපිමෙ මක්ඛලිපූරණාසෙ, ගණස්ස සත්ථාරො සාමඤ්ඤප්පත්තා නහනූන{9} තෙ සප්පුරිසෙහි දූරෙති.
Sinhala BJTපකුධකාත්‍යායන තෙමේ ද නිගණ්ඨනාතපුත්‍ර තෙමේ ද යම් මේ මක්ඛලිගෝසාල පූරණකාස්සප දෙදෙනා ද යන ගණයාට ශාස්තෘ වූ මහණ කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගෙන් දුර නොවෙත්.
Pali BJTඅථ ඛො වෙටම්බරී දෙවපුත්තො ආකොටකං දෙවපුත්තං ගාථාය පච්චභාසි:
Sinhala BJTඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කී ය.
Pali BJTසහාචරිතෙන ඡවො සිගාලො න කොත්ථුකො සීහසමො කදාචි, නග්ගො මුසාවාදී ගණස්ස සත්ථා සඞ්කස්සරාචාරො න සතං සරික්ඛොති.
Sinhala BJTකොත්‍ථුක නම් වූ ලාමක කළුසිවල් තෙමේ එක ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සම නො වේ. එහෙයින් නග්න වූ බොරු කියන සුලු වූ සැක කට යුතු හැසුරුම් ඇති ගණශාස්තෘ තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නො වේ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා වෙටම්බරිං දෙවපුත්තං අන්වාවිසිත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ට ව භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTතපො ජිගුච්ඡාය ආයුත්තා පාලයං පවිවෙකියං, රූපෙ ච යෙ නිවිට්ඨාසෙ දෙවලොකාභිනන්දිනො, තෙ වෙ සම්මානුසාසන්ති පරලොකාය මාතියාති.
Sinhala BJTතපසෙහි ද පවට පිළිකුල් කිරීමෙහි ද විවේක බව රකින රූපයෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතත් ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය පච්චභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා ය යි දැන පවිටු මාරයහට ගාථායෙන් පෙරළා වදාළ සේක:
Pali BJTයෙ කෙචි රූපා ඉධ වා හුරං වා යෙ අන්තලික්ඛස්මිං පභාසවණ්ණා, සබ්බෙව තෙ තෙ නමුචිප්පසත්ථා ආමිසංව මච්ඡානං වධාය ඛිත්තාති.
Sinhala BJTමෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්‍ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ. මසුන් නැසීම පිණිස ලූ ඇමක් මෙනි.
Pali BJTඅථ ඛො මාණවගාමියො{1} දෙවපුත්තො භගවන්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
Pali BJTවිපුලො රාජගහීයානං{2} ගිරි සෙට්ඨො පවුච්චති, සෙතො හිමවතං සෙට්ඨො ආදිච්චො අඝගාමිනං.
Sinhala BJTරජගහනුවර පර්‍වතයන්ට වෛපුල්‍යපර්‍වතය ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ. හිමවත් පර්‍වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ය. අහසෙහි යන්නවුන්ට සූර්‍ය්‍යයා ශ්‍රේෂ්ඨ ය.
Pali BJTසමුද්දො උදධිනං සෙට්ඨො නක්ඛත්තානඤ්ච{3} චන්දිමා, සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චතීති.
Sinhala BJTජලාසයනට මුහුද ශ්‍රේෂ්ඨ ය. නැකත්තරුවලට සඳ ශ්‍රේෂ්ඨ ය. දෙවියන් සහිත ලෝකයාහට බුදුරජානන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ යි කියනු ලැබේ.
Pali BJTනානාතිත්ථියවග්ගො තතියො.
Sinhala BJTනානාතිත්‍ථිය වර්‍ගය තුන්වැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසිවො ඛෙමො ච සෙරී ච ඝටී ජන්තු ච රොහිතො, නන්දො නන්දිවිසාලො ච සුසීමො නානාතිත්ථියෙන තෙ දසාති.
Sinhala BJTසිව, ඛේම, සේරී, ඝටීකාර, ජන්තු, රෝහිතස්ස, නන්‍ද, නන්‍දිවිසාල, සිසීම, නානාතිත්‍ථියසාවක සූත්‍ර ය යි ඔහු දශයෙකි.
Pali BJTදෙවපුත්තසංයුත්තං සමත්තං.
Sinhala BJTදේවපුත්තසංයුත්තය සමාප්ත ය.
Pali BJT3. කොසලසංයුත්තං
Sinhala BJT3. කෝසල සංයුත්තය
Pali BJT1. බන්ධනවග්ගො
Sinhala BJT1. බන්‍ධන වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTදහරසුත්තං.
Sinhala BJTදහර සූත්‍රය
Pali BJT112. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: භවම්පි නො ගොතමො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පටිජානාතී?ති.
Sinhala BJT112. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතු වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
Pali BJTයං හි තං මහාරාජ සම්මා වදමානො වදෙය්ය, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති, මමං{2} තං සම්මා වදමානො වදෙය්ය. අහං හි මහාරාජ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති.
Sinhala BJT“භවත් ගෞතමයන් වහන්සේත් නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම් ය” යි ප්‍රතිඥා කරණ සේක් ද? “මහරජ, මැනවින් කියන්නෙක් නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේ ය” යි යමකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ ඒ මා සඳහා කියන්නේ ය. මහරජ, මම වනාහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි.
Pali BJTයෙ’පි තෙ භො ගොතම සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස. සෙය්යථීදං:{3} පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, නිගණ්ඨො නාතපුත්තො, සඤ්චයො බෙලට්ඨපුත්තො,{4} පකුධො{5} කච්චායනො, අජිතො කෙසකම්බලො. තෙ’පි “මයා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති{*} පටිජානාථා”ති පුට්ඨා සමානා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති{*} න පටිජානන්ති. කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා නවො ච පබ්බජ්ජායාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ගණාචාර්‍ය වූ ප්‍රසිද්ධ වූ යසගී ඇති ලබ්ධිකර වූ (අඳබල්) බොහෝදෙනා විසින් සාධු සම්මත වූ යම් ඒ මහණබමුණෝ ඇද්ද ඔහු කවරහ: පූර්‍ණකස්සප ය, මක්ඛලිගෝසාල ය, නිගණ්ඨනාතපුත්ත ය, සඤ්ජය බෙලට්ඨපුත්ත ය, පකුධකච්චායාන ය, අජිතකේසකම්බල ය යන මොහු යි. ඔහුත් “නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළම්හ යි ප්‍රතිඥා කරහු දැයි මා විසින් විචාරණ ලද්දාහු “නිරුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළම්හ” යි ප්‍රතිඥා නො කෙරෙත්. කීම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ලදරු වන සේක. පැවිදෙනුත් නවක වන සේක.