620. දිවාකල පවස නො ඉවසිය හැකි වූ අපි සියල්ලෝ ම රිය අදනා ගවයනට අනුකම්පා කරම්හ. දාවල එක්තැනෙක ලැගුම් ගෙන මේ වේගයෙන් ගමන් කරන්නමෝ රෑ නොකල්හි මහමඟට පිළිපන්නමෝ වම්හ.
621. ඒ නොමග ගියා වූ වැරදුණු මං ඇති (පැනැස නැති හෙයින්) අන්‍ධ වූ ඒ අපි (එහෙයින් මැ) ආකුල වූවෝ වම්හ. අතිශයින් දුර්‍ගම වූ වනයෙහි මේ මරුකතර මැද මුළා සිත් ඇතියමෝ යායුතු දිශාව නො දනුම්හ.
622. යක්‍ෂය, (දිව්‍යපුත්‍රය) පෙර නුදුටුවිරූ මේ උතුම් විමන ද ඔබ ද දැක මින් මතුයෙහි ද අපි දිවි ලබනු කැමති වැ සිටුම්හ. ඔබ දැක ප්‍රීතියෙන් ඔදවැඩුණු සිත් ඇත්තෝ ද වම්හ.
623. තෙපි (වස්තු සොයන්නෝ) මහමුහිදින් එතර ද මෙ වැනි මරු කතරවල ද වේවැල් අල්ලා යා යුතු මංවල ද කණු සිටුවා යා යුතු සංකුපථ නම් මංවලද ගංගා -පර්‍වත නිසා විෂම වූ භූමිවල ද ඒ වස්තු හේතුවෙන් නොයෙක් දිග ඇවිදිනාහු ය.
624. එසේ අන් රටවලට පැමිණ එරට වැසි මිනිසුන් දක්මින් යන්නාහු ය. එබඳු වූ තොප විසින් දුටු හෝ ඇසූ යම් අසිරිමත් කරුණෙක් ඇත් නම් එය අපට කියවු. දරුවෙනි අපි එය අසම්හ.
625. පින්වත් දෙව්කුමර, හැම අයුරින් මිනිස් ඉසුරු ඉක්මැ ගිය ඔබගේ මේ ඉසුරට වඩා අප විසින් ඇසූවිරූ හෝ දුටුවිරූ හෝ පුදුමයක් නොමැත. අපි ඔබගේ මේ උසස් වූ සිරුරු සැපත හා විමන්සැපත දැක පිණායම්හ.
626. බොහෝ වූ මලින් ගැවසුණු බොහෝ හෙළපියුම් ඇති පොකුණු අහසේ ගලා බසී. (විමන්වට) මේ රුක් ද නිතර පලබර වැ පවතී. ඉතා මනහර සුවඳ ද හමන්නේ ය.
627. (මේ පහයෙහි) වෛඩූර්‍ය්‍ය මසාරගල්ල ලෝහිතංක ශිලප්‍රවාලාදියෙන් අටැස් සොළසැස් දෙතිසැස් වූ ද සියගණන් ටැම් නැගුණාහු වෙති. මේ ටැම් රශ්මියෙන් බබලයි.
628. ඒ ටැම් මතුයෙහි දහසක්ටැම් ඇති අසමාන වූ ආනුභාවයෙන් යුත් මනහර වූ මේ විමන පිහිටා ඇත. මෙය සත් රුවනින් මනහර යැ. රන්මුවා වේදිකායේන් යුක්ත යැ. මත්තෙහි බබළන රන්පටින් මොනොවට වසන ලද්දේ යැ.
629. මේ (ඔබගේ) විමන ඔප්නැගූ දඹරනින් බබළන්නේ ය. (එහි ඒ ඒ පෙදෙස) මොනවට මට කළ ප්‍රාසාදවලින් හා හිණිපෙළින් ද පුවරුයෙන් ද යුක්ත යැ. (මේ පහය) ස්ථිර යැ. මනහර යැ. මනාමුඛ (ද්වාර) ඇත්තේ යැ. එකිනෙක ගැළපෙන අවයව ඇත්තේ යැ. අතිශයින් දර්‍ශනීය යැ. සිත්කලු යැ.
630. රුවන්මුවා මේ විමන තුළ ආහාරපාන බොහෝ වෙයි. අප්සරස් සමූහයා විසින් තෙපි පිරිවරන ලද්දහු යැ. නිතර වැයෙන මිහිඟුබෙර ඈ පසඟතුරු ගොසින් ඒකනින්නාද වෙයි. නොයෙක් දෙවියන් විසින් තුතිගී කියා නමස්කාර කරන ලදහු යැ.
631. යම්සේ වෙසවුණු රජ නළිනී නම් පොකුණෙහි රමණය කෙරේ ද, එසේ මැ ඒ තෙපි ද නන්දෙවඟනන් විසින් පිරිවරන ලදු වැ ඔවුන් විසින් පුබුදුවමින් මනහර වූ උතුම් වූ මේ පහයෙහි නො සිතිය හැකි සියලු දෙව්සැපතින් යුතු වැ සතුටු වහු.
632. ඔබ දෙවියෙක් ද නො එසේ නම් යක්‍ෂයෙක් ද නොහොත් සක්දෙවිඳු ද එසේත් නො වේ නම් මනුෂ්‍යයෙක් දැ යි කියමින් ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ ‘යක්‍ෂය ඔබ කවරෙක් දැ යි අපට කියව’යි ඔහුගෙන් ප්‍රශ්න කරති.
633. වෙළදුනි, මම වූ කලි මෙ මරුකතර බිම් පෙදෙසැ සැඟවී සිටින සේරිස්සක නම් දිව්‍ය පුත්‍රයෙක්මි. වෙසවුණු රජුගේ අවවාදය පිළිපදින මම මේ පෙදෙස පාලනය කරමි.
634. පින්වත් දෙව්කුමර, තොපගේ මේ දෙව්ඉසුරු සැප ඉබේ පහළ වූවක් ද, නැතහොත් කිසි කෙනෙකුන් විසින් කලකට පමණක් දුන් දෙයක් ද, නො එසේ නම් තමන් විසින් මැ පහළ කර ගත් දෙයක් ද, එසේත් නැත් නම් දෙවියන් දෙන ලද ද. තොප විසින් මේ මනෝඥ සැපත කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
635. මාගේ මේ ඉසුරු ඉබේ ලැබුණේ ද නොවේ. යම් කෙනකුන් විසින් දුන් දෙයක් ද නො වේ. මා විසින් උපදවන ලද්දක් ද නොවේ. දෙවියන් දෙන ලද්දකුත් නො වේ. පෙර මා කළ පින්බෙලෙන් මනහර වූ මේ පහය මට ලැබිණි.
636. ඔබගේ ව්‍රත සමාදානය කිමෙක් ද, ඔබගේ බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කිමෙක් ද, මැනැවින් පුරුදු කළ කිනම් කර්‍මයක මේ විපාකයෙක් වේ ද, මේ විමන කෙසේ ලද දැ යි ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
637. මම පෙර ‘පායාසි’ යන නමින් යුත් රාජන්‍යයෙක් වීමි. යම් කලෙක මම කොසොල්රට රාජ්‍යය කෙළෙම් ද, එකලැ මම නාස්තික දෘෂ්ටියෙන් යුත් මසුරු වූ ලාමක ස්වභාව ඇති උච්ඡේදවාදියෙක් විමි.
638. එකලැ කුමාරකාශ්‍යප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ බොහෝ ඇසූ පිරූතැන් ඇති විසිතුරු ලෙස කථාකරන උසස් නැණවත් කෙනෙකි. උන් වහන්සේ එකලැ මට ධර්‍ම කථාවක් කළහ. මගේ සියලු මිසදුටු ද පහකළහ.
639. මම උන්වහන්සේගේ ඒ දහම් අසා උපාසකත්‍වය ප්‍රකාශ කෙළෙමි. පණිවායෙන් වෙන් වූයෙක් වීමි. ලොවැ නුදුන් දෙය ගැනීම දුරු කෙළෙමි. මත්පැන් නොබොන්නෙක් වීමි. බොරු නො කීයෙමි. සිය බිරිඳගෙන් පමණක් සතුටු වීමි.
640. මාගේ ව්‍රතසමාදානය එය වේ. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය ද එය වේ. මැනැවින් පුරුදු කරන ලද ඒ කර්‍මයෙහි මේ විපාක යි. අලාමක වූ ඒ පුණ්‍යකර්‍ම හේතුකොට ගෙන මා විසින් මේ විමන ලද.
641. නුවණැති මිනිස්සු යම් සත්‍යක් කීහු නම්, ඒ පඬිවරුන්ගේ වචනය වෙනස් නො වේ. කළපින්කම් ඇත්තේ යම් යම් තැනෙකැ යේ නම් ඒ ඒ තන්හි කැමති සැප ලැබ සතුටු වෙයි.
642. යම් යම් තැනක ශෝක කිරීම් හා විලාපකීම් ද, වධ-බන්‍ධන හා විපත් ද වේ නම්, පව්කම් ඇතියේ ඒ ඒ තැනට ම යෙයි. හේ කිසිකලෙක දුගතියෙන් නො මිදේ.
643. පින්වත් දෙව්කුමර, තොපගේ පිරිවරජනයා ද මේ මොහොතෙහි සොවින් මුළා වූ ස්වරූප ඇත්තේ ය. ඔවුන්ගේ සිත වඩදිය මෙන් කැලැබුණේය. මේ ජනයාගේත් තොපගේත් දොම්නස කවර කරුණෙකින් ඇති වී ද.
644. මිතුරනි, මහරිඋපවයෙන් මේ දිව්‍ය සුගන්‍ධයෝ හාත්පස හමා යති. එසේ හමන ඒ සුගන්‍ධයෝ මේ විමන සුවඳ ගන්වමින් දිවා රෑ දෙක්හි අඳුරු දුරු කරමින් හමත්.
645. අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් මේ මහරිගස්වල එක එක මහරිගෙඩි පැසී ගිලිහී වැටේ. එයින් මිනිසුන් පිළිබඳ අවුරුදු සියයක් ඉක් මැ ගියේ යයි දැනේ. යම් දිනක මම උපන්නෙම් නම්,
646. එතැන් පටන් මම අවුරුදු පන්සියයක් මේ විමනෙහි සිට ආයු හා පින් ගෙවීමෙන් මින් ච්‍යුත වන්නෙමි යි දැක ඒ සොවින් මැ මුළාවට පත් විමි.
647. එබඳු පින්වතෙක් අසමාන දෙව්විමනක් හා දීර්‍ඝ ආයුෂයක් ලැබ කෙසේ නම් ශෝක කරන්නේ ද? යමෙක් වනාහි මන්‍දායුෂ්ක වැ උපන්නාහු නම් මඳපිනැති ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු යැ.
648. තෙපි යම් ප්‍රියවචනයක් මට කීහු නම් ඒ කීම තොපට සුදුසු වූවක් මැ යැ. මට එය අවවාදයක් ද වෙයි. ඒ අනුව මම පිළිපදිමි. යහළුවනි, තෙපි වූ කලි මවිසින් රක්නා ලද්දහු ය. යම් මගෙකින් තෙපි යන්නට කැමැත්තහු නම් ඒ මඟින් සැපසේ යවු.
649. දෙව්කුමර, ධනාර්‍ත්‍ථ වූ අපි ධනවෘද්ධිය පතමින් සින්‍ධු-සෝවීර රටවලට ගොස් දැන් ඔබ කළ පිළින අනුව පිරිපුන් පරිත්‍යාග ඇතියමෝ මහත් වූ සේරිස්සක නම් පූජාවක් කරන්නෙමු.
650. වෙළෙදුනි, සේරිස්සක නම් උත්සවපූජාවක් නො කරවු. තෙපි යමක් කියවු නම් ඒ සියල්ල ම සිදු වන්නේ ය. පව් කම් දුරු කරවු. දානාදි කුසල් දහම්හි යෙදීමට ඉටා ගනිවු.
651. මේ පිරිසෙහි උපාසකයෙක් ඇත. හේ බහුශ්‍රුත ය, ශීල-වෘතයෙන් යුක්ත ය, ශ්‍රද්ධාවත් ය, පරිත්‍යාගශීලී ය, සුපේශල ය, විචක්‍ෂණ ය, ලදදෙයින් තුටු වෙයි. කම්පල අදහන නුවණින් යුක්ත ය.
652. හේ දැන දැන බොරු නො කියන්නේ ය, අනුන් වැනසීමට නො සිතන්නේ ය, සමගි වූවන් වෙන් කරන පිසිනු නො කියන්නේ ය, මොළොක් සිලිටි වදන් තෙපලන්නේ ය.
653. ඒ උපාසක ගෞරව සහිත වූයේ සුවච වූයේ වීනිත වූයේ ආලමක වූයේ උපාසක අධිශීලයෙන් විශුද්ධ ය. අරී පැවතුම් ඇති හේ මව ද පියා ද දැහැමින් පෝෂණය කරයි.
654. “ඒ උපාසක තමා හේතු කොට නොව මාපියන් සඳහා ම වස්තු සොයති”යි සිතමි. හේ මාපියන් ඇවෑමෙන් නිවනට නැමුණු සිතැත්තේ සසුන් බඹසර හැසිරෙන්නේ ය.
655. ඍජූ වූ අවංක වූ කපට නො වූ මායා රහිත ඒ උපාසක ලේශයෙකින් හෝ රැවටීම් වචනයක් නො කියන්නේ ය. එබඳු වූ කුශලධර්‍ම කරන සුලු හේ කෙසේ නම් දුක් ලබන්නේ ද?
656. ඒ උපාසක නිසා ම තොප හමුවෙහි මම තෙමේ ම ප්‍රකට කරන ලද වෙමි. (යම් හෙයකින් මම ධර්‍මය ගරුකරමින් තොපත් රකිම් ද,) එහෙයින් වෙළෙඳුනි, තෙපි ද ධර්‍මය ම බලවු. ඉදින් තෙපි ඒ උපාසක නැති වැ මෙහි පැමිණියහු නම් මේ මරු කතර මං මුළා වැ පිළිසරණක් නැති වැ අලු වන්නහු ය. වැනසෙන්නහු ය, කිසිවකු විසින් යම් කිසිවක් නින්‍දාවශයෙන් කියද්දී හේ නො සැලී සිටී. එහෙයින් සත්පුරුෂයකු හා එක්වීම සැප වන්නේ ය.
657. දෙව් කුමර, යම් උවසුවකුට අනුකම්පායෙන් තෙපි මෙහි පැමිණියහු නම් අපි ද ඔහු දකිනු කැමැත්තෙමු. හේ කවරෙක් ද? කිනම් කර්‍මයක් කෙරේ ද? නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය හෝ කිම? තෙපි යමකුට ප්‍රිය කරවූ නම් ඔහුට ලාභයෙක් මැ යැ.
658. සම්භව යන නමක් ඇති පණාව හා කතුර නිසා ජීවත් වන කරනැවෑමියෙක් වූ යම් උපාසකයෙක් වේ ද, හේ තොපට වතාවත් කරන්නෙකැ යි ඔහු දනිවු. හේ සුපේශලයෙකි. එහෙයින් ඔහුට අවමන් නො කරවු.
659. දෙව්කුමර, තෙපි යමකු (ගැන) කියහු නම්, අපි ඔහු දනිමු. (එහෙත්) “හේ මෙබන්දෙකැ යි” අපි ඔහු නො දත්තෙමු. දෙවිය, තොපගේ උදාර වූ වචන අසා අපි දු ඔහුට බුහුමන් කරන්නෙමු.
660. මේ ගැල් සමූහයෙහි ළදරු වූ ද මහලු වූ ද මධ්‍යම වූ ද යම් මිනිස් කෙනෙක් වෙත් ද, ඔහු හැමදෙන ම මේ විමනට නගිත්වා. තද මසුරෝ පිනෙහි විපාක දකිත්වා.
661. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යී ඒ කපුවා පෙරටු කොට ශ්‍රකයාගේ තව්තිසා භවනට මෙන් (ඔහු හැම දෙන) දෙව්විමනට නැංගාහ.
662. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යි උපාසක බව දන්වා සිටියහ. ඔහු පණිවායෙන් දුරු වූහ. ලොවැ නුදුන් දෙය දුරු කළහ. මත්පැන් නො පූහ. බොරු නො කීහ. සිය බිරිඳගෙන් ම තුටු වූහ.
663. ඒ සියලුදෙන ම එහි දී “මම පළමු කොට” “මම පළමු කොට”යී උපාසක බව නිවේදනය කොට දෙවියාගේ අනුභාවයෙන් අනුමත වූ වෙළෙඳ පිරිස නැවත නැවත සතුටු වෙමින් ගියෝ ය.
664. ධනාර්‍ත්‍ථ වූ ඔවුහු ධනවෘද්ධිය පතන්නාහු සින්‍ධු - සොවීර දේශයට ගොස් අදහස් පරිදි කළ වෙළදාම් ඇතියාහු පිරිපුන් ලාභ ඇතියාහු නිරුපද්‍රිත වැ පැළලුප් නුවරට පෙරළා ආවාහුය.
665. ඔහු සුවසේ සියගෙවලට ගොස් අඹුදරුවන් සමග එක් වූවාහු සතුටු සිත් ඇති වැ සේරිස්සක නම් වූ මහත් පූජාවක් කළහ.
666. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක් (ආවාසයක්) ද කළාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු වෙයි. දැහැමි ගුණයන් සේවනය ද මහත්ඵලදායක වෙයි. එක උපාසකයෙකු නිසා සියලු සත්ත්‍වයෝ සුවපත් වූහ යි.
සේරිස්සක ප්‍රේතවස්තු යි.
4. 3.
667. සුරට්ඨ ජනපදයට අධිපති වූ පිංගලක නම් රජෙක් විය. හේ මෞර්ය රාජයන්හට උවටැන් කිරීමට ගොස් යළි සුරට්ඨ දේශයට ආයේ ය.
668. රජ තෙමේ උණුසුම් වූ මද්දහන් වේලෙහි මටසිලුටු භූමියකට පැමිණියේ ය. හේ ප්‍රේතයා විසින් මවන ලද සිත්කලු වූ මටසිලුටු මාර්‍ගය දුටුවේ ය.
669. රජ රියැදුරු අමතා මෙසේ කීය: “රියැදුර, මේ මඟ සිත්කලු ය. නිර්‍භය ය. සුව එළවන්නේ ය. උවදුරු රහිත ය, මේ මඟින් යව. මේ මඟින් (යන අපි) සුරට්ඨජනපදය සමීපයෙහි ම වෙමු.
670. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ සිවුරඟ සෙනග සමග ඒ මඟින් ගියේ ය. තැතිගත් ස්වභාව ඇති එක් පුරුෂයෙක් සුරට්ඨ රජුට මෙය කී ය:
671. බිය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ නපුරු මඟකට අපි පිළිපන්නම්හ. ඉදිරියෙහි මාර්‍ගය පෙනෙයි. එහෙත් පසුපස මාර්‍ගය නො පෙනෙයි.
672. ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟට බැසගත්තෙමු. ප්‍රේතයන්ගේ සිරුරුගඳ හමයි. ඉතා දරුණු (විලාප) ශබ්ද ඇසේ.
673. සංවේගයට පැමිණි සුරට්ඨ රජ රියැදුරාට මෙසේ කී ය: (අපි) බියකරු වූ ලොමුදහ ගන්වන නපුරු මඟකට බැස ගත්තම්හ. ඉදිරියෙහි මඟ පෙනේ. එහෙත් පසුපස මඟ නො පෙනේ.
674. අපි ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟකට බැස ගතිමු. ප්‍රෙතයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු හඬ ද ඇසේ.
675. ඇතුපිට නැඟ සිවුදිග බලන හේ සිත්කලු සෙවණින් යුත් පැහැයෙන් නිල්වලාකුළක් බඳු වූ මේඝවර්‍ණ සටහන් ව හැඟෙන නුග රුකක් දිටි.
676. රජ තෙමේ රියැදුරු ඇමතීය: “මහත් වූ නිල්වලාකුළක් සමාන මේඝවර්‍ණ සටහන් ඇති තෙල කිමෙක් පෙනේ. දැ යි?
677. මහරජතුමනි, මනහර සෙවණින් යුතු නිල්වලා සමාන පැහැ ඇති මෙවන් සිරියෙන් හොබනා ඒ ගස නුගරුකෙකි.
678. යම් තැනෙක පැහැයෙන් නිල්වලාකුළක් බඳු මේඝවර්‍ණ සටහන් ඇති මහත් වූ ඒ ගස දක්නා ලැබේ ද, සුරට්ඨ රජ තෙමේ එතන්හි ගියේ ය.
679. රජ තෙමේ ඇත්කඳින් බැස ගස වෙත එළැඹියේ ය. ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සහිත වූ (හේ) රුක්මුලැ හුන්නේ ය.
680. පිරුණු පැන්බඳුනක් ද මිහිරි වූ කැවුම් ද (රජ) දුටුවේ ය. දෙවියකු බඳු සියලු අබරණින් සැරැසුණු පුරුෂයෙක් සුරට්ඨ රජු වෙත එළඹ මෙය කී ය:
681. මහරජ, ඔබට ස්වාගත යි. (මේ යහපත් පැමිණීමෙකි.) නපුරු පැමිණීමෙක් නො වේ. රජ තෙමේ පැන් පානය කෙරේවා, සතුරන් දමනය කරන රජතුමනි, කැවුම් බුදිනු මැන.
682. ඇමතියන් සහිත වූ පරිජනයා සහිත සුරට්ඨ රජ තෙමේ පැන් බී කැවුම් කා යළි පැන් බී මෙය කී ය:
683. (තෙපි) දෙවියෙක් හෝ වවු ද, ගඳඹෙක් හෝ වවු ද නොහොත් පුරින්‍දද නම් වූ ශක්‍ර හෝ වවු ද? තොප නොහඳුනන අපි තොප විචාරමු. අපි තොප කෙසේ දැනගනිමු ද?
684. මහරජ, දෙවියෙක් නො ම වෙමි ගඳඹෙක් ද නො වෙමි. පුරින්‍දද නම් වූ ශක්‍ර ද නො වෙමි. මම සුරට්ඨ දේශයෙන් මෙහි පැමිණි ප්‍රේතයෙක්මි.
685. පෙර අත්බැව්හි තෙපි සුරට්ඨ දේශයෙහි දී කෙබඳු සිල්වතෙක් කෙබඳු යහපත් පැවතුම් ඇතියෙක් වූහු ද? තොපගේ කවර උතුම් හැසිරීමෙකින් තොපගේ මෙ අනුභාවය වී ද?
686. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, එය අසනු මැනවි. ඇමතියෝ ද, පිරිසෙහි වූවෝ ද පෙරෙවි බමුණා ද මෙය අසත්වා.
687. දේවයන් වහන්ස, සුරට්ඨදේශයෙන් ආ මම පව්සිත් ඇති, මිසදිටු වූ දුශ්ශීල වූ මසුරු වූ මහණ බමුණනට නින්‍දා කරන පුරුෂයෙක් වීමි.
688. මම දන් දෙන්නන්හට ද උපකාර කරන්නන්ට ද අන්තරාය කරන්නෙක් ව මෙරමාහට දන් දෙන බොහෝ ජනයා (දානමය පිනින්) වැළැක්වීමි.
689. දානයේ විපාකයෙක් නැත. සීලයේ විපාකයෙක් කොයින් ද? ආචාරසමචාරයෙහි හික්මවන ආචාර්‍ය්‍යයෙක් නැත. කවරෙක් දමනය නො වූ පුද්ගලයකු දමනය කරන්නේ ද? (නැත)
690. සත්‍වයෝ ඔවුනොවුන් හා සමසමයහ. එහෙයින් කුල දෙටු වන් පිදීමේ පිනක් කොයින් ලැබේ ද? බලයක් හෝ වීර්‍ය්‍යයක් හෝ නැත. උට්ඨානවීර්‍ය්‍ය සංඛ්‍යාත පුරුෂ ධෛර්‍ය්‍යක් කොයින් ද?
691. දානයෙහි විපාකයෙක් නම් නැත. වෛරවශයෙන් පව්කම් කළ පුද්ගලයා දානාදි පින් කිරීමෙන් පිරිසිදු නො වේ. සත්‍ව තෙමේ ලැබිය යුතු යම් සැපක් හෝ දුකක් ලබන්නේ ද එය (කර්‍ම කළ හෙයින් නොව) ඔහුගේ නියතියේ පරිණාමයෙන් වූවක් වශයෙන් ලබයි.
692. මව (කෙරෙහි) ද පියා (කෙරෙහි) ද සහෝදරයා (කෙරෙහි) ද (මනා පිළිවෙතින් හෝ නො මනා පිළිවෙතින් විපාකයෙක් නැත. (මෙලොව සිටින්නහුට) පරලොවක් නැත. (පරලොව සිටින්නහුට) මෙලොවක් නැත. මහාදාන විපාකයෙක් ද නැත. අත්‍ථිසත්කාර ඵලයෙක් ද නැත. අනුගාමික නිධාන නම් වූ මහණ බමුණනට දෙන දාන ඵල යෙක් ද නැත.
693. යමෙක් පුරුෂයකු නසන්නේ ද මෙරමාගේ හිස සිඳින්නේ ද හේ කිසිවකු නො නසයි. (පෘතුවි ආදී) සප්තකායයන්ගේ සිදුරු අතර අවිය ඇතුළුවනු විනා සත්‍වයා නො මැරෙයි.
694. සත්ත්‍වජීවය තෙමේ සිඳිය හැක්කක් හෝ බිඳිය හැක්කක් නො වේ. ඒ ජීවය අටැස් ද පන්දුවක් මෙන් පිරිමඩුලු ද (වටද) වේ. පන්සිය යොදුනක් උස් වෙයි. කවරෙක් ඒ (නිත්‍ය) ජීවය සිඳින්නට සුදුසු ද? සිඳිය හැකි කිසිවෙක් නැත.
695. යම්සේ වෙළීමෙන් කළ නූල්පන්දුවක් දැමූ කල්හි එය වෙළුම් ලිහෙමින් ගමන් කෙරේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය තෙමේ (ආත්මභාව නැමැති නූල් පන්දුව) වෙළුම් හරිමින් ගමන් කෙරේ.
696. යම්සේ යමෙක් (තමා) වසන ගමින් නික්ම අන්ගමකට පිවිසේ ද, එසේ ම ඒ ජීවය තෙමේ අන් සිරුරකට පිවිසේ.
697. යම්සේ යමෙක් තම ගෙයින් නික්මැ අන් ගෙයකට පිවිසේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය අන් සිරුරකට පිවිසේ.
698. යම් බාල කෙනෙක් වෙත් නම්, යම් පණ්ඩිත කෙනෙක් වෙත් නම් (ඔහු හැම දෙන) මහාකල්ප සුවාසූලක්‍ෂයක් ම සසර ගෙවා දුක් කෙළවර කරන්නාහ.
699. සත්ත්‍වයන්ගේ සුවදුක් ද්‍රෝණයන්ගෙන් හෝ පැසින් (මනින ලද්දක් මෙන්, එකී කල් පිරිසිඳීමෙන්) පමණ කරන ලදී. මේ සියල්ල ජිනභූමියෙහි සිටියේ ම දනියි. සෙසු ප්‍රජා තොමෝ අතිශයින් මුළා වූවා වෙයි.
700. මම පෙර මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වීමි. අතිශයින් මුළා වූ මෝහයෙන් වැසුණු මිසදිටු වූ දුසිල් වූ තදමසුරු වූ මෙරමා පිරිහෙළන්නෙක් වීමි.
701. (මහරජ) සමසෙකින් මොබ මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මම එකැතියෙන් කටුක වූ දරුණු නිරාහි වැටෙන්නෙමි.
702. (ඒ නිරයේ) කොන් සතරෙක් ඇත. සිවුදොරක් ඇත. පමණ කොට කොටස් විසින් බෙදන ලද. ලොහො පවුරෙකින් වටකරන ලද. යපියනෙකින් වසන ලද.
703. ඒ මහානිරයේ ලොහොමුවා බිම (වෙයි.) ඇවිළගත් ගින්නෙන් යුතු වෙයි. හැම කල්හි (ඒ ගින්න) හාත්පසැ යොදුන් සියයක් පැතිර සිටී.
704. හවුරුදු ලක්‍ෂයක් ඉක්මැ ගියකලැ එකෙණෙහි හඬෙක් ඇසෙයි. මහරජතුමනි, එහි ආයුප්‍රමාණය හවුරුදු කෙළ ලක්‍ෂයයක් වෙයි. මේ එහි ආයුකාලය යි.
705. යම් සත්ත්‍ව කෙනෙක් කෝටි ලක්‍ෂයක් හවුරුදු නිරයෙහි පැසෙත් නම් ඔහු මිසදිටුවෝ ද දුසිල්හු ද ආර්‍ය්‍යෝපවාද කොළෝ ද වෙති.
706. මම ඒ මහානිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. පාපකර්‍මයාගේ මෙබඳු විපාකයෙක් ඇත. එහෙයින් මම බොහෝ සේ ශෝක කරමි.
707. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, එය අසනුමැන. ඔබට යහපතක් වේවා මහරජ මාගේ උත්තරා නම් දුවක් ඇත.
708. ඕ පින්කම් කරයි. නිති සිල්හි හා පෙහෙවස්හි ද නිරත වෙයි. කායවාක් සංවරයෙන් යුක්ත ය. දන් බෙදා දෙන්නී ය. මිහිරි තෙපුල් ඇත්තී ය, පහවූ මසුරුමල ඇත්තී ය.
709. ඕ ශික්‍ෂා කඩ නො කරන්නී ය. අන්කුලයන් කෙරෙහි මෘදු වෙයි. සිරිමත් ශාක්‍යමුනි වූ සම්බුදුන්ගේ උපාසිකාවකි.
710. යට හෙළු ඇස් ඇති සිහියෙන් යුත් රක්නා ලද සදොර ඇති මනා සංවරයෙන් යුත් සිල්වත් භික්‍ෂුනමක් පිඬු පිණිස වැඩියේ ය.
711. හේ ගෙපිළිවෙළින් පිඬුවාහි හැසිරෙන්නේ ඒ ගෙට ගියේ ය. මහරජ, ඔබට යහපතක් වේවා, උත්තරා තොමෝ ඒ මහණ දුටුවා ය.
712. ඕ පැන් පිරුණු බඳුනක් ද, මිහිරි කැවුම් ද දුන්නා ය. “වහන්ස, මාගේ පියා මළේ ය. ඔහුට මේ පින පැමිණේවා”යි (ද කී.)
713. පින්දීමට අනතුරුව ම (එහි) විපාකය (මට) ලැබිණි. වෙසවුණු රජු පරිද්දෙන් කම්සැප කැමති මම සැප වළඳමි.
714. සතුරන් දමනය කරන රටට වැඩ වඩන මහරජතුමනි, (එහෙයින්) මෙය අසන්න. සදේවකලෝකයාට බුදුහු අග්‍ර වෙතී කියනු ලැබේ. අරීන් දමනය කරන රජතුමනි, (තෙපි) ඒ බුදුහු සරණ යවු.
715. අරින්‍දම වූ රජතුමනි, අරී අටඟිමඟින් අමෘතපදය (නිවන) ස්පර්‍ශ කෙරෙති. අරින්‍දම වූ රජතුමනි, පුත්‍රදාරාවන් සහිත (තෙපි) ඒ (අෂ්ටාංගිකමාර්‍ග) ධර්‍මය සරණ යවු.
716. මාර්‍ගප්‍රතිපන්න සිවුදෙන යැ ඵලයෙහි සිටි සිවුදෙන යැ යන මේ ආර්‍ය සංඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීල දෙකින් යුක්ත යැ. අරින්‍දම රජතුමනි, (තෙපි) පුත්‍රදාරාවන් සමග ඒ සංඝයා සරණ යවු.
717. වහා පරපණ නැසීමෙන් වළකින්න. ලෙව්හි අයිනාදන් දුරු කරන්න. මත්පැන් නො බොන්නෙක් වන්න. බොරු නො මැ කියන්න. සිය අඹුව හා සතුටු වන්න.