Petavatthu

Stories of Departed Spirits

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1037 segments

පෙන්වන කොටස් 701-800 න් 1037

එහි උද්දානය:
අභිජ්ජමාන ප්‍රේත වස්තුව ද, කුණ්ඩී නුවර විසූ සානුවාසී තෙරුන් දුටු ප්‍රේතයන්ගේ වස්තුව ද, රථකාර සහ භුස ප්‍රේත වස්තුව ද, සෙරිණි නම් ගණිකා ප්‍රේතියගේ වස්තුව ද, මිගලුද්දක ප්‍රේත වස්තු දෙක ද, පිටමස් කන කූට විනිශ්චයික ප්‍රේතයාගේ සහ චෛත්‍ය පූජාවෙහි දොස් කී ධාතුවිවණ්ණක ප්‍රේතයාගේ වස්තුව ද යන මෙයින් සමන්විත හෙයින් මෙය චූළගවග්ග යි කියනු ලැබේ.
4. මහා වර්‍ගය
526. වැදෑරජුන්ගේ විශාලා නම් නුවරෙක් ඇත. එහි “අම්බසක්ඛර” නම් ලිච්ඡවි රජෙක් විය. හේ නුවරින් පිටත ප්‍රේතයකු දැක කරුණු දැනගනු කැමැත්තේ එතැන දී ම ඒ ප්‍රේතයාගෙන් මෙසේ ඇසී ය:
527. මොහුට ශයනය කිරීමක් ද හිඳීමක් ද නැත. ඉදිරිගමනක් හෝ ආපසු ගමනක් හෝ නැත. ආහාර පාන ඛාද්‍ය වස්ත්‍ර පරිභෝග යන යම් පරිහරණයක් වේ නම් එ ද මොහුට නැත.
528. මොහුට පෙර අනුකම්පා කළ යම් නෑකෙනෙක් ද දුටුවා වූත් ඇසුවාවූත් යම් මිතුරු කෙනෙක් ද වූහු නම් ඔහු ද දැන් මොහු දක්නටවත් නො ලබත්. ඒ සියලු ජනයා විසින් හැර දැමූ අත්බවක් ඇත්තේ ම ය.
529. ධනහීනයාට මිතුරෝ නැත. මිතුරෝ භෝගවිනාශ වූ පුරුෂයා ද අත්හැර යෙත්. මිතුරෝ ධනය දැක ඒ ධනවතා පිරිවරා ගනිත්. ධනයෙන් උසස්වූවහුට මිතුරෝ බොහෝ වෙත්.
530. සියලු සැපතින් පිරිහුණු ආත්මභාවයක් ඇති, දුකට පැමිණි, ලෙයින් වැකුණු සිරුරින් යුත්, හුලින් බිඳුණු ගතින් යුත්, (මොහුගේ) ජීවිතයාගේ නිරෝධය තණ අග රැඳුණු පිනි බිඳක් මෙන් අද හෝ හෙට වන්නේ ය.
531. එම්බල යක්‍ෂය, මෙබඳු දැඩිදුකට පත් වැ, කොසඹහුලෙහි නංවන ලද්දහුට “පින්වත, ජිවත්වෙව, ජීවිතය ම තට ශ්‍රේෂ්ඨ යයි කුමක් නිසා තෝ කියහි ද?
532. (පින්වත් රජතුමනි) මේ පුරුෂයා මාගේ සහලේනෑයෙක් වීය. මම පෙරජාතිය සිහි කරමි. මොහු දැක, “පව්ගති ඇති මේ පුරුෂයා අපායෙහි නොවැටේවා”යි මට කරුණාවක් උපන.
533. ලිච්ඡවි රජතුමනි, පව්කම් කළ මේ පුරුෂයා මෙලොවින් චුත වැ ගොස් පාපකාරී ජනයන්ගෙන් නොහොත් සත්වැදෑරුම් වධබන්‍ධනයන්ගෙන් පිරුණු, දරුණු ස්වභාව ඇති, මහත් දුකින් යුත්, කටුක වූ, භයානක වූ මහානිරයෙහි උපදින්නේ ය.
534. මෙතෙමේ ඒකාන්තදුක් වූ කටුක වූ බිය උපදවන, නියත මහාදුක් ඇති මහානිරයෙහි වැටෙන්නේ ය. ඔහුට ඒ මහානිරයට වඩා නොයෙක් ගුණයෙන් මේ හුල ම උතුම් වෙයි.
535. මේ තෙමේ මාගේ මේ වදන් අසා දුකට පැමිණියේ ප්‍රාණය හරින්නේ ය. එහෙයින් මා විසින් මොහුගේ ජීවිත නිරෝධයක් නොකරන ලද්දේ වේවයි සිතා එය මම මොහු ඉදිරියෙහි නො කියමි.
536. මේ පුරුෂයා පිළිබඳ ඒ කාරණය මා විසින් දැනගන්නා ලද. ඉදින් තෝ අපට අවසර දෙන්නෙහි නම් අනෙක් ප්‍රශ්නයක් ද අසන්නට කැමැත්තෙමු. එය ද විචාරමි. (ඒ ගැන) අපට නො කිපිය යුතු යි.
537. එදා (අපේ ප්‍රථම දර්‍ශනයෙහි) ඒකාන්තයෙන් මාගේ ප්‍රතිඥාවක් විය. (එනම්) අප්‍රසන්නයාහට නො කිය යුතුය යනු යි. දැන් වූ කලී මම තොපගේ නො කැමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙක් වීමි. එහෙයින් තෙපි මාගෙන් කැමති සේ විචාරව. මම එය හැකි පමණින් ඔබට කියන්නෙමි.
538. යක්‍ෂය, මම යම්කිසිවක් ඇසින් දක්නෙම් ද ඒ සියල්ල ම මම අදහන්නෙමි, ඉදින් ඇසින් දැක එය නො අදහන්නෙම් නම් මට නිග්‍රහ කර්‍මය කරව.
539. ඔබතුමාගේ මේ ප්‍රතිඥාව මට සැබෑ වේවා. දැනගනු කැමති ව ප්‍රදූෂ්‍ය වූ සිතින් තොර වැ මා කියන ධර්‍මය අසා ප්‍රසාදය ලබන්න. ඔබ තුමන් විසින් අසන ලද්දා වූ ද, නො අසන ලද්දා වූ ද යම් ධර්‍මයක් වේ ද, ඒ සියල්ල දන්නා සැටියෙන් කියන්නෙමි.
540. තෙපි ශ්වේතවර්‍ණ අශ්වයානයෙකින් හුල උන්නහු සමීපයට පැමිණෙවු ය. මේ යානය අද්භූත ය. දැකුම්කලු ය. මේ කිනම් කර්‍මයක විපාකයක් ද?
541. විශාලා නම් ඒ නගරමධ්‍යයෙහි මඩසහිත මාර්‍ගයෙහි නරාවළක් විය. මම පහන් සිතැතියෙම් සුදු වූ එක් ගවහිසක් ගෙන ඒ නාරාවළෙහි බැහූයෙමි.
542. අපි දු සෙස්සෝ ද ඒ මතුයෙහි පා තබා ගමන් කෙළෙමු. මේ යානය ඇද්භූත යැ. දැකුම්කලු යැ. ඒ කර්‍මයාගේ මේ විපාක වෙයි.
543. යක්‍ෂය, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි. තාගේ ශරීර සුගන්‍ධය ද සියලු දිගුන් හමා යයි. දිව්‍ය ඍද්ධියට පැමිණි තෝ මහත් අනුභාව ඇත්තෙහි ය. යළි නිර්වස්ත්‍ර වෙහි. මේ කවර කර්‍මයක්හුගේ විපාක වේ ද?
544. (මම) ක්‍රෝධ නොකරන්නෙම් නිති පහන්සිත් ඇතියෙම් සිලුටු බසින් ජනයාට කථා කෙරෙමි. ඒ පින්කමෙහි මේ විපාක වෙයි. දිව්‍යමය වූ මාගේ ශරීරවර්‍ණය නිතර බබළයි.
545. ධර්‍මයෙහි පිහිටියවුන්ගේ යශස ද කීර්තිය ද දැක පහන් සිතැතියෙම් එය ගුණවශයෙන් කියමි. ඒ කර්‍මයාගේ මේ විපාක වෙයි. මා සිරුරින් දිව්‍යමය ගන්‍ධය නිතර හමයි.
546. තොටෙහි නහන යහළුවන්ගේ වස්ත්‍ර ගොඩ සඟවා තැබුවෙමි. එය සිනහ පිණිස ය. ප්‍රදුෂ්ට සිතින් (පැහැරගන්නා අදහසින්) නො වේ. ඒ පවින් නග්න වූයෙමි. මාගේ දිවිපැවැත්ම ද දුක් සහිත විය.
547. යමෙක් කෙළි අදහස් පෙරදැරි ව පවක් කෙරේ නම් ඔහුට මෙබඳු කර්‍මවිපාකයක් වේ ය යි පණ්ඩිතයෝ කියති. යමෙක් කෙළි අදහසක් නොමැති ව දූෂිත සිතින් පව් කෙරේ නම් ඒ පාපකර්‍මයාගේ විපාකය කොපමණ කටුක වේ දැ යි (පණ්ඩිතයෝ) කීහු ද?
548. දූෂිත වූ චිත්තසංකල්පනා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් (ප්‍රාණඝාතාදියෙන්) කයින් හා වචනයෙන් කිලුටු වූවෝ වෙත් ද, ඔහු මරණින් මතු නිසැක ව ම නරකයට පැමිණෙත්.
549. සුගතිය පතන්නා වූ අන්‍යයෝ වූකලී, දීමෙහි ඇලුණු, සංග්‍රහ කරන ලද ආත්මභාව ඇත්තෝ වෙත් ද, ඔහු කායභේදයෙන් පරලෙව්හි නිසැකව ම සුගතියට පැමිණෙත්.
550. තා විසින් පින්පව් පිළිබඳ යම් විපාකයක් කියන ලද ද, එය මම කෙසේ දැන අදහන්නෙම් ද? මම කිනම් නිදසුනක් දැක එය ප්‍රතිඥා කරන්නෙම් ද? යළි, කවර පණ්ඩිතයෙක් එය මට විශ්වාස කරවන්නේ ද?
551. කුශලාකුශල කර්‍මයාගේ විපාකය මේ යයි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක හෝ අසා එය අදහවු. පින්පව් යන දෙවැදෑරුම් කර්‍මයන් නොමැති කල සත්ත්‍වයෝ සුගතියට හෝ ගියෝ ය. දුගතියට හෝ ගියෝ ය යි මෙය කෙසේ වන්නේ ද?
552. මේ මිනිස්ලොවැ මිනිස්සු පින්පව් නොකරන්නාහු නම්, සුගතියට හෝ දුගතියට ගිය සත්‍වයෝ නො වෙත්. මිනිස්ලොවැ උසස් පහත් අය ද නො වෙති.
553. යම් හෙයෙකින් මිනිස් ලොවැ මිනිස්සු පින්පව් කරන්නාහු ද එහෙයින් සුගතියට සහ දුගතියට ගිය සත්‍වයෝ ද වෙත්. මිනිස් ලොවැ උස්පහත් අය ද වෙත්.
554. සැප - දුක් විඳීමට සුදුසු වූ කුශලාකුශල කර්‍මයන්ගේ දෙවැදෑරුම් විපාකය දැන් කීහු. එනම්: පින්කළාහූ දෙවියෝ වැ පසිඳුරන් පිනවත්. අඥානයෝ කුශලාකුශලයන්හි ඵල නො දක්නාහු පව්කම් කොට නිරයෙහි පැසෙත්.
555. තමා විසින් පෙර කළ පින්කම් ද මට නැත. යලි, වස්ත්‍ර ද සෙනසුන් ද ආහාරපාන ද (යමෙක්) දන් දී ඒ පින මට පමුණුවන්නේ නම් එබන්දෙක් ද මට නැත. එහෙයින් මම නග්න ද දුක් සහිත පැවතුම් ඇත්තෙම් ද වෙමි.
556. ප්‍රේතය යම් හෙයෙකින් තෝ වස්ත්‍ර ලබන්නෙහි නම් එබඳු වූ කිසි කාරණයක් වන්නේ ද, ඉදින් එබඳු හේතුවක් ඇත් නම් විශ්වාස කළ හැකි වූ ඒ හේතුව මට කියව. ඒ හේතු සහිත වචනය මම ශ්‍රවණය කරමි.
557. මේ සමීපයෙහි ධ්‍යාන කරන සුලු වූ සිල්වත් වූ කප්පිනක නම් රහත් භික්‍ෂුනමක් ඇත. හේ කෙලෙසුන්ගෙන් මිදුණේ ය. සංවෘත ඉන්‍ද්‍රිය ඇත්තේ ය. සුරක්‍ෂිත ප්‍රාතිමෝක්‍ෂ ඇත්තේ ය. (ක්ලේශදරථාපගමයෙන්) සිහිල් ය. උතුම් සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත ය.
558. මොළොක් ගුණ ඇති දන් දෙනසුලු මනා වචන ඇති නොහොත් කීකරු වූ යහපත් මුහුණක් ඇති මැනැවින් දත් ආගම ධර්‍මය ඇති පමණ දැන කථා කරන පින් කෙතක් වූ මෛත්‍රීවිහරණ ඇති ඒ මහණ දෙව්මිනිසුන්ගේ දක්‍ෂිණාවට සුදුස්සෙකි.
559. සන්හුන් කෙලෙස් ඇති, පහවූ මිථ්‍යාවිතර්‍ක ධූම ඇති, නිදුක් වූ, ආශා රහිත, සියලු භවදුකින් මිදුණු, පහවූ රාගාදිහුල් ඇති, මමත්‍වයෙන් තොර වූ, අවංක වූ, උපධි රහිත වූ, නැසූ සියලු ප්‍රපඤ්ච ඇති, ත්‍රිවිද්‍යාවට පිළිවෙළින් පැමිණි, ඥාන ද්‍යුතියෙන් දීප්තිමත් වූ,
560. අප්‍රකට වූ, දැක ද “මෙබඳු කෙනෙකැ” යි සුවසේ නො දත හැකි භික්‍ෂුනමකි හේ. වැදෑරජුන් අතර මුනිවරයෙකැ යි කියනු ලැබේ. ලෝකයෙහි යක්‍ෂ භූතයෝ ද තෘෂ්ණා රහිත වූ ශීලාදි යහපත් ගුණැති ඒ භික්‍ෂු නම “රහත්” යයි දනිත්. ගුණ කියමින් හැසිරෙත්.
561. තෙපි ඒ කප්පිනක මහතෙරුන්හට එක් පිළී සඟලක් හෝ දෙකක් හෝ මා උදෙසා දෙන්නේ නම් ඒ තෙරුන් විසින් ද ඒ පිළී පිළිගන්නා ලද්දේ නම් එවිට මනාව හැඳ පෙරවූ පිළී ඇති මා ද තෙපි දක්නහු ය.
562. කිනම් පෙදෙසක වසන ඒ මහණහු වෙත දැන් අපි ගොස් දක්නෙමු ද, ඒ කවරෙක් අපගේ සැකය ද විචිකිත්සාව හා මිථ්‍යාදෘෂ්ටි නැමැති හුල් ද දුරු කරන්නේ ද?
563. කපිනච්චනා නම් පෙදෙසෙහි වැඩහුන් සත්‍යනාම ඇති ස්වකීය ආචාර්‍ය්‍ය විනයෙහි නොපමා වූ ඒ කප්පිනක මහණ තෙමේ බොහෝ දෙවියන් විසින් පිරිවරන ලද්දේ දැහැමි කථා කියයි.
564. “මම එසේ කරන්නෙමි. දැන් ඒ මහණහු වෙත ගොස් උන්වහන්සේ පිළිසඟළකින් හදවන්නෙමි. ඒ පිළී ඒ මහණ විසින් පිළිගන්නා ලද නම් පිළියෙන් සැරසුණු තා ද දක්නෙමු.
565. පින්වත් ලිච්ඡවි රජතුමනි, නුසුදුසු කලැ පැවිද්දහු වෙත නො එළඹෙන්නේ මැනැවි. නො කල්හි එළැඹීම රජුන් වූ තොපගේ ධර්‍මය නො වේ. එහෙයින් සුදුසුකල්හි එලඹැ එතන්හි මැ රහෝගත වැ හුන් තෙරහු බලව.
566. ඒ ලිච්ඡවි රජතුමා “එසේය”යි කියා දාසගණයා විසින් පිරිවරන ලදුවැ එහි ගියේ ය. ඒ නුවරට පැමිණ සිය නිවසෙහි විසීමට එළැඹියේ ය.
567. ඉක්බිති ලිච්ඡවි රජ සුදුසු කාලයෙහි ගිහිකෘත්‍යයන් කොට දිය නා කා බී යහපත් මොහොතක් ලැබ පෙට්ටියෙන් පිළිසඟල අටක් තෝරා ගෙන දාසගණයා ලවා ගන්වා ගෙන ගියේ ය.
568. එරජ ඒ පෙදෙසට එළඹ සන්හුන් සිතැති පිණ්ඩපාතයෙන් පෙරළා එන, ගොදුරුගමින් නැවතුණු, සිහිල්වූ, රුක්මුල්හි හුන් ඒ මහණහු දිටී.
569. උන්වහන්සේ වෙත එළැඹ නීරෝගබව ද ඵාසුවිහරණය ද විචාළේ ය. “වහන්ස, මම විශාලා මහනුවර ලිච්ඡවි රජ වෙමි. අම්බසක්ඛර නම් වූ ලිච්ඡවි රජ යයි ජනයෝ මා දනිත්” යයි කී ය.
570. වහන්ස, මනහර වූ මේ අට පිළිසඟළ පිළිගන්න. මම මෙය ඔබවහන්සේට දෙමි. යම්සේ මම සතුටු වෙම් ද ඒ කරුණෙන් ම මම මෙහි පැමිණියෙමි.
571. ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද තොපගේ නිවෙස දුරින් ම දුරු කරත්. තොපගේ ගේ සමීපයෙහි දී පාත්‍රයෝ බිඳෙත්, සඟළ සිවුරු ද ඉරාදමත්.
572. යළි පා නැමැති කෙටේරිවලින් සමහර මහණහු හිස යටිකුරු කොට හෙළනු ලැබෙති. පැවිදි වූ මහණහු තොප කළ මෙබඳු වෙහෙසට පැමිණෙත්.
573. තෙපි තණ අගින් තෙල් බිඳකුදු නුදුන්නහු ය. මංමුළා වූවකු හට මග දු නො කීවහු ය. අන්‍ධයාගේ සැරයටිය තුමූ ම පැහැර ගත්තහු ය. මෙබඳු තදමසුරු වූ නො හික්මුණු තෙපි යළි කවර ගුණයකින් කුමක් දැක අප සමග සංවිභාග කරහු ද?
574. වහන්ස, තෙපි යමක් කීවහු නම් මම එය පිළිගනිමි. ක්‍රීඩා සිත් ඇතිව දූෂිත සිතින් තොර වැ මම මහණ බමුණනට වෙහෙස කෙළෙමි. වහන්ස, මෙ ද මා කළ නපුරෙකි.
575. කෙළිසිතින් පව් රැස් කොට එක් ප්‍රේතයෙක් අසම්පූර්‍ණ භෝග ඇත්තේ යෞවනයෙන් යුත් තරුණයෙක් වැ නග්නභාවයට හිමි වැ දුක් විඳී. එයට වඩා ඉතා දැඩිදුකක් මොහුට කෙසේ වේ ද?
576. වහන්ස, ඔහු දැක සංවේගය ලදුයෙමි. එහෙයින් මම ඔබට මේ පිළි දන්දෙමි. වහන්ස, මේ පිළීසඟළ අට පිළිගනු මැනව. මේ පින් ප්‍රේතයාට පැමිණේවා.
577. දන්දීම ඒකාන්තයෙන් (බුද්ධාදීන් විසින්) නන් අයුරින් පසස්නා ලදි. දන්දෙන තොපගේ ධනය නොගෙවෙන සැහැවි ඇති වේවා. තොපගේ පිළිසඟළ අට මම පිළිගනිමි. මේ පින් ප්‍රේතයාහට පැමිණේවා.
578. ඉක්බිති ඒ ලිච්ඡවි රජ මුවසෝදා ගෙන තෙරුන්ට ඒ පිළීසඟළ අට පිරිනමා “මේ පිළී ගනුලැබේවා, පිළී හැඳගත් ප්‍රේතයා ද දක්නට ලැබේවා” යි කී.
579. රජ සඳුන්සුණු තවරගත් සිරුරු ඇති ආජානීය අසුපිට නැගි මනහර රූසපු ඇති මොනවට හැඳගත් වස්ත්‍රයෙන් සැරසුණු පිරිවර ජනයා විසින් පිරිවරන ලද මහත් දිව්‍යර්ධියට පැමිණි ඒ ප්‍රේතයා දුටුවේ ය.
580. රජතෙම ඔහු දැක සතුටුසිත් ඇති ව, ඔදවැඩුණු සිත් ඇති ව, තුටුපහටුසිත් ඇති වැ, අතිශයින් සුන්‍දර ස්වරූප ඇති ව සාන්දෘෂ්ටික කර්‍මය ද කර්‍ම විපාකය ද සියැසින් පසක් කොට දැක,
581. ප්‍රේතයා වෙත පැමිණ මෙසේ කී ය: “මම මහණ බමුණනට දන් දෙන්නෙමි. මාගේ නො දියයුතු කිසි වස්තුවක් නැත. ප්‍රේතය තෝ ද මට බොහෝ උපකාර වූයෙහි” යි.
582. ලිච්ඡවි රජතුමනි තෙපි ද මට සිවුපසයෙන් එක් කොටසක් වූ පිළී දන් දුන්නහු ය. ඒ දන හිස් නොවෙයි. ඒ අමනුෂ්‍ය වූ මම මනුෂ්‍ය වූ තොප හා සමග ම සාක්‍ෂ්‍ය කරන්නෙමි.
583. යක්‍ෂය තෙපි මට යා යුතු තැන ද, නෑයා ද, පිහිට ද, මිත්‍රයා ද වවු. යළි මාගේ දේවතාවා ද වවු. මම බදැඳිලි ව අයදිමි. මම යළිත් තොප දැකීමට කැමැත්තෙමි.
584. ඉදින් තෙපි සැදැහැ නැති වන්නහු නම් තදමසුරුගති ඇත්තහු නම් විපිළිපන් සිත් ඇත්තහු නම් ඒ හේතුවෙන් ම මා දැක්ම නොලබන්නහු ය. මම ද තෙපි දැකත් කථා නො කරන්නෙමි.
585. ඉදින් තෙපි කුශලධර්‍මයෙහි ගෞරව ඇති වන්නහු නම් දන්දීමෙහි ඇලුණහු සියදිවියෙහි යහපත සලසා ගත්තහු මහණ බමුණනට පැන්සැළක් මෙන් වන්නහු නම් එසේ වූ කල්හි තෙපි මා දක්නට ලබන්නහු ය.
586. වහන්ස, තොප දැක ද මම කථා කරන්නෙමි. තොපට යහපතක් වේවා, යමකු කරුණු කොට අපි සාක්‍ෂ්‍ය කෙළෙමු ද, ඒ (අනෙකකු නොව) හුල සිටි පුරුෂයා වෙත පැමිණීම නිසා ය යි සිතම්හ. මේ පුරුෂයා ද වහා හුලින් මුදනු මැනව.
587. ඒ අපි දෙදෙන එකිනෙකා සාක්‍ෂ්‍ය කෙළෙමු. මේ පුරුෂයාත් වහා මිදුණේ සකසා කුසල්දම් කරමින් ඒ නිරයෙන් ද මිදෙන්නේ ය.
588. අන් තැනක වින්ද යුතු වූ අකුශලකර්‍මයක් ද ඔහුට වන්නේ ය. ඔහු සමග ම සුදුසු කලැ කප්පිනක තෙරුන් කරා එළඹ සමීපයෙහි හිඳ දන් බෙදා දී හමුවෙහි ම විචාරවු.
589. උන් වහන්සේ තොපට මෙ කරුණ කියන්නාහ. ඒ මහණ වෙත ම එළඹ එය දැනගනු කැමැති ව ප්‍රදුෂිත සිත් නැති ව විචාරවු. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඒ මහණ තොප විසින් පෙර අසන ලද්දා වූ ද නො අසන ලද්දා වූ ද සියලු කුසල දහම් තමා දත් පරිද්දෙන් කියන්නේ ය. (සුගතිගාමී වූ ධර්‍මය කියන්නේ ය)
590. ඒ රජතුමා එහි දී අමනුෂ්‍යයා සමග රහසින් කථා කොට සාක්‍ෂ්‍ය කොට ගෙන ලිච්ඡවීන්ගේ සමීපයට ගියේ ය. යළි හේ රැස්ව හුන් ලිච්ඡවි පිරිසට මෙසේ කී ය.
591. පින්වත්නි, මාගේ එක් බසක් අසත්වා. මම තොපගෙන් වරයක් ඉල්වන්නෙමි. ඉල්වන ඒ වරය ලබන්නෙමි. රුදුරුකම් ඇති කළ දඬුවම් ඇති හුලැ හිඳුවනු ලැබූ පුරුෂ තෙමේ රජු කෙරෙහි ඇලුණු ස්වභාව ඇත්තෙකි.
592. හුල්හි හිඳුවූ දා පටන් මෙතෙක් විසිරැයක් පමණ ය. හේ නොම ජීවත් වේ. මෙළේ ද නො ම වෙයි. මම දැන් කැමැති සේ ඔහු මුදන්නෙමි. සමූහයා අනුමත කෙරේවා.
593. මොහු ද රජඅණ ලද අනිකා ද වහා මුදන්න. එසේ කරන තොපට කවරෙක් නම් “එසේ නො කරව”යි කියන්නේ ද? යම් සේ තෙපි හඟි වු නම් රිසිපරිදි එසේ කරවු. (මහජන) සමූහයා (එය) අනුමත කෙරෙයි.
594. ඒ රජතෙමේ එ පෙදෙසට ගොස් හුලැ හුන් පුරුෂයා වහාම මිදැවී ය. “මිත්‍රය, බිය නොව” යි ද ඔහුට කී ය. වෙදුන් ද ඔහු ලඟට එවී ය.
595. එකරුණ දැනගනු කැමති ලිච්ඡවි රජ තෙමේ ඔහු සමග සුදුසු කාලයෙහි කප්පිනක තෙරුන් කරා එළඹ දන් බෙදා දී ඉදිරිපිට හිඳ ඔබගෙන් එසේ ම විචාළේ ය.
596. හුලැ හිඳුවන ලද කළ රුදුරුකම් ඇති විඳින ලද සිරුරු දඬුවම් ඇති මිනිස් තෙමේ රජුකෙරෙහි අලුම්ගති ඇත්තෙක. යම් දිනක හේ හුලැ හිඳුවන ලද නම් එදා පටන් අද දක්වා විසිරැයක් පමණ ඉක්මැ ගියේ ය. හේ ජීවත් වන්නේත් මළේත් නො වේ.
597. වහන්ස, මා විසින් එහි ගොස් ඒ පුරුෂ තෙමේ දැන් නිදහස් කරන ලද. ප්‍රේතයාගේ කීම නිසා මෙසේ කෙළෙමි. යම් හෙයෙකින් හේ නිරයට නො යන්නේ නම්, එබඳු කිසියම් මැ කාරණයක් ඇත්තේ ද?
598. වහන්ස, ඉදින් එබඳු කරුණක් ඇත් නම් කියනු මැනැවි. ඇදහිය හැකි සකාරණ වචනය ම අසමු. මෙලොවැ කළ ඒ කර්‍මයන්ගේ විපාක නො විඳ වැනසීමෙක් ගෙවීමෙක් නැත්තේ ද?
599. ඉදින් හේ දිවාරෑ දෙක්හි නොපමා වැ (පෙර කළ පව්කම් මඩනට සමත්) කුසල්දහම් හි මොනොවට හැසිරෙන්නේ ද, හේ නිරාදුකින් මිදෙන්නේ ය. අපරාපරියවේදනීය කර්‍මය අන් භවයෙක වින්ද යුතු වන්නේ ය.
600. වහන්ස, (ඒ) මිනිසාගේ මෙකරුණ දන්නා ලද ය. මා කෙරෙහි දු දැන් අනුකම්පා කරන්න. මහනුවණැති උතුමාණෙනි, යම් හෙයෙකින් මම නිරයට නො යම් ද එසෙයින් මට අනුශාසනා කරන්න.
601. (තෝ) පහන්සිත් ඇත්තෙහි අද ම බුදුන් සරණ යව, ධර්‍මය ද සංඝයා ද සරණ යව, එසෙයින්ම සිකපද පස නො සිඳ නො කඩ කොට සමාදන් වෙව.
602. වහා පණිවායෙන් වෙන් වෙව. ලෙව්හි නුදුන් දෑ ගැන්ම දුරු කරව. රහමෙර පානය නො කර. මුසාවාද නො කිය. ස්වදාරසන්තෝෂයෙන් සතුටු වෙව. මේ උතුම් අටඟින් යුත් සුඛවිපාක දෙන පිරිසුදු අනවද්‍ය ශීලය සමාදන් වෙව.
603. සිවුරු ය, පිණ්ඩපාත ය, ගිලන්පසය, (ආවාසාදි) සෙනසුන් ය, ආහාරය, පානය, කෑයුතු දැය, වස්ත්‍ර හා මඤ්චපීඨාදී සෙනසුන් ය යන මෙය වෙසෙසින් පහන් සිතින් ඍජුප්‍රතිපන්න සඟනට දෙව.
604. වීතරාගී බහුශ්‍රුත සීලසම්පන්න භික්‍ෂූන් ද ආහාරපානයෙන් තර්‍පණය කරව. (මේ පිළිවෙත) හැම දා පින් වඩනේ ය.
605. මෙසෙයින් දිවරෑ නොපමා වැ කුසල්දහම්හි හැසිරෙන තෝ නිරා දුකින් මිදෙන්නෙහි. පාපකර්‍මය (අපරාපර්‍ය්‍ය වශයෙන්) අන් තන්හි විඳිය යුතු වන්නේ ය.
606. අද ම පහන්සිත් ඇතියෙම් බුදුන් සරණ කොට එළඹෙමි. ධර්‍මය ද සංඝයා ද (සරණ කොට එළඹෙමි.) එසෙයින් ම සිකපද පස නො කඩ කොට සපුරා සමාදන් වෙමි.
607. මෙලොවැ වහා පණිවායෙන් වළකිමි, අයිනාදන දුරු කෙරෙමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නො ද බෙණෙමි, ස්වදාරසන්තෝෂයෙන් සතුටු වෙමි. මේ ආර්‍ය්‍ය වූ උතුම් අටඟින් යුත් සුඛ විපාක දෙන නිරවද්‍ය වූ ශීලය සමාදන් වෙමි.
608. සිවුරුද, පිණ්ඩපාතය ද, සෙනසුන් ද, ආහාරපානද කෑයුතුදෑ ද වස්ත්‍ර … (ආවාසාදි) සෙනසුන් ද,
609. බුදුසසුන්හි ඇලුණු මම සිල්වත් වූ බොහෝ ඇසූ පිරූතැන් ඇති වීතරාගී වූ භික්‍ෂූන්ට දන් දෙමි. ඒ සිවුපසදන් කඩ නො කරමි.
610. මෙවැනි ඒ අම්බසක්ඛර නම් ලිච්ඡවිරජ එකලැ විසල්පුර සැදැහැවත් මොළොක් සිත් ඇති එක්තරා උවසුවෙක් වැ උපකාර කරන සුලු වූයේ බික්සඟනට සකසා උවටැන් කෙළේ ය.
611. හුලැ හිඳවූ මිනිසා ද නීරෝග වැ සුව පත් වැ තමා කැමැති පරිදි හැසිරෙන්නේ උතුම් කප්පිනක තෙරුන් කරා එළඹැ පැවිදිවූයේ ය. මෙසේ ඒ දෙදෙනා ම ශ්‍රාමණ්‍ය ඵලයනට හෙවත් මගපලයනට පැමිණියහ.
612. සත්පුරුෂයන්ගේ මෙවැනි ආශ්‍රය කරුණු දන්නා සත්පුරුෂයනට මහත් ඵල ඇති වෙයි. හුලැ හුන් මිනිසා රහත්ඵලය ලබාගති. අම්බසක්ඛර රජ වනාහි සෝවාන් විය.
අම්බසක්ඛර ප්‍රේතවස්තු යි.
613. එකලැ සේරිස්සක දෙව්පුතුන්ගේ ද වෙළෙඳුන්ගේ ද මරුකතර දී යම් එක්වීමෙක් වී ද එය අසවු. එතැන්හි දී ඔවුනොවුන් අතර ඇති වූ යම් කථාප්‍රවෘත්තියක් ඇති වී නම් ඒ ද තෙපි සියල්ලෝම අසවු.
614. සේතව්‍යා නුවර යම් ඒ පායාසි නම් රජෙක් වී ද, හේ මැරී බූමාටු දෙවියන්ගේ සහභාවයට ගියේ යසපිරිවර ඇති වැ උපනි. ඒ සේරිස්සක නම් දෙව්පුත් පිරිවර දෙවියන් සමග සතුටු වෙමින් තෙමේ නොමිනිස් වූයේ ම සිය විමානයෙහි සිට වෙළඳ මිනිසුන් දැක මෙසේ කී ය.
615. සියදිවි ඇති වේ ද නැති වේ දැ යි උපන් භය ඇති, නටුවා වූ සිත් ඇති (මංමුළා වූ) මිනිසුනි, ජීවිතය ගැන සැක උපදවන, වනයක මෙන් නිතර යක්බුපිසසුන් හැසිරෙන, (මිනිසුන්ට අගෝචර වූ) සුවසේ යා නො හැකි, කනබොන දෑ කිසිත් නොමැති, අතිශයින් දුර්‍ගම වූ මේ මරුකතර මැද,
616. මේ මරුකතරෙහි (අඹ දඹ තල් ඈ) ඵල ජාතියකුදු නැත. මුල්ජාතියකුදු නැත. දර ද නැත. රත් වූ උණු වූ හා දරුණු වූ පස් ද වැලි ද හැර අහරක් කොයින් ලැබේ ද?
617. රළු බොරළු සහිත නිරුදක බිම්පෙදෙසක් වූ රත්වූ යකබලක් වැනි වූ කිසි සැපතක් නැති නරකයක් වැනි වූ දිගුකලක පටන් දරුණු වූ පිසචාදීන්ට ආවාසයක් වූ මේ භූමිප්‍රදේශය (පුරාණ තවුසන් විසින්) ශාප දුන් තැනක් මෙනි.
618. එහෙයින් තෙපි කුමන කරුණෙකින් මේ පෙදෙසට අවාහු ද? කිනම් වස්තුවක් සොයා අවාහු ද? යම්කිසි වස්තු ලෝභයෙකින් හෝ සතුරු බියෙකින් මෙහි ලාහෙලා එක් වැ ආවාහු ද? නො එසේ නම් මං මුළා වූහවූ ද?
619. අපි අඟුමගද දෙරටවැසි ගැල් සාත්තුවෝ වම්හ. බොහෝ වෙළඳ බඩු ගැල්හි පටවා ගෙන වැඩිලාබ පතමින් සින්‍ධු හා සෝවීර රටවලට වෙළදාම පිණිස යන්නෙමු.