443. තෙරහු එක්පටවහන් සඟළක් ලැබ සිවුදිග සඟනට දුන්හ. එය දී එහි පින තෙරහු මවුට ද පියාට ද සොහොවුරාට ද මෙසේ අනුමෝදන් කළහ.
444. “මේ පින මගේ නෑයනට වේවා, නෑයෝ සුවපත් වෙත්වා”යි පින්දීම හා සමග ම ප්‍රෙතයෝ රියෙන් පැමිණියහ.
445. වහන්ස, ඔබ වහන්සේට යහපතක් වේවා, බත් දීමෙන් හා පිළීදීමෙන් ද ගෙවල් දීමෙන් සහ පැන් දීමෙන් ද යාන දීමෙන් හා යටකී බත් ආදි සිවුපසය දීමෙන් ද (අපි) අනුකම්පා කරන ලද්දම්හ. වහන්ස, ලොවැ කුළුණැති භික්‍ෂුවරයකු වූ ඔබ වහන්සේ වඳින්නට ආම්හ.
සානුවාසී ප්‍රේතවස්තු යි.
3. 3.
446. මහත් අනුභාව ඇති දේවිය, වෙරළුමිණි මුවා ටැම් ඇති මනරම් වූ පැහැ විහිදෙන, නොයෙක් සිතියම් ඇති විමනට නැගී, ගුවන්තෙලෙහි පසළොස්වක්හි පුන් සඳ මෙන් ඒ විමනෙහි (තෝ) වෙසෙහි.
447. තිගේ සිරුරුපැහැය ද රන් බඳු වෙයි. උත්තප්ත ස්වර්‍ණයක් සෙයින් අතිශයින් දැකුම්කලු වෙයි. තෝ මහඟු පලඟෙක හුදෙකලාව හිඳිනෙහි ය. තිට සැමියෙක් නැත්තේ ද වෙයි.
448. තිගේ මේ පොකුණු හාත්පස බොහෝ මල් ඇත්තේ ය. බොහෝ හෙළපියුම් ඇත්තේ ය. රන්වැල්ලෙන් හාත්පස ගැවසී ගත්තේය. එහි මඩ හෝ දියසෙවෙල් නො පෙනේ.
449. දැකුම්කලු මනරම් මේ හංසයෝ ද හැමකල්හි දියෙහි ඔබ මොබ හැසිරෙත්. සියල්ලෝ ම එක් ව බින්‍දු ස්වරයෙන් යුතු ව මිහිඟුබෙර හඬක් මෙන් මිහිරි කොට නාද කෙරෙති.
450. යශස්විනිය, තෝ දිව්‍යර්ධියෙන් අතිශයින් දිලියෙමින් රුවන් නැවක එල්බ සිටිනෙහි. වෙළුණු නිල් වූ දික් වූ බැම ඇති සිනහ මුසු මුව ඇති ප්‍රියවචන කියන මනරම් සියලු අඟපසඟ ඇති දෙවඟන, තෝ අතිශයින් බබළහි.
451. මේ විමන ධූලි රහිත යැ, සමබිමැ පිහිටියේ යැ. ඇල්ම ද සතුට ද වඩන්නේ ය. ප්‍රියංකර උයනින් යුක්ත ය. අලාමක දැකුම් ඇති ස්ත්‍රිය, තී සමග මේ විමනෙහි හෝ සතුටු උපදවන උයනෙහි අභිරමණය කරන්නට කැමැත්තෙමි.
452. මේ දෙව්විමනෙහි සැපවිපාක විඳීමට සුදුසු වූ පින්කමක් කරව. තොපගේ සිත ද මෙහි එළවන ලද (නමනලද) වේවා. මෙසේ මෙහි සැපවිඳීමට සුදුසු කුශලකර්‍මයක් කොට “කම්සුව කැමැති මා ලබව”යි.
453. ඒ තරුණයා “මැනවැ”යි ඇයට පිළිවදන් දී එහි විපාක විඳීමට සුදුසු පින්කම් කෙළේ ය. එහි සැපවිඳීමට සුදුසු පින්කම් කොට හේ ඒ දෙවඟනගේ සහභාවයට පැමිණියේ යි.
රථකාර ප්‍රේතවස්තු යි.
දෙවන බණවර යි.
3. 4.
454. “එකෙක් (ගිනිගත්) හැල්වී බොල් හිස විසුරුවා ගනී. යළි අනෙකා මුගුරෙකින් සියහිස බිඳගනී. මේ ස්ත්‍රිය ද සිය මස් ලේ අනුභව කරයි. තෝ ද අපිරිසිදු වූ පිළිකුල් කටයුතු වූ අශුචි අනුභව කරහි. මේ කවර පවක විපාකයක් වේ දැ”යි.
455. මෙතෙම පෙර අත්බැව්හි දී මවට හිංසා කෙළේ ය. මේ (දෙවැන්නා) වූ කලී හොර වෙළෙඳෙකි. මෝ තොමෝ මස් කා මුසාවායෙන් වඤ්චා කළාය.
456. “මම මිනිස්ලොවැ මනුෂ්‍යස්ත්‍රියක් වැ සියලු කුලයට අධිපති වූ ගෘහණියක් වූමු. ඉල්වූ දේ ඇති කල්හිත් සැඟවූමු. මෙයින් කිසිවකුත් නුදුන්මු.
457. ඒ මාගේ ගෙයි නැතැ යි බොරුවෙන් සැඟවූමු. “ඉදින් මම ගෙහි ඇති දේ නැතැ යි සැඟවූමු නම් මාගේ අහර අශුචි වේවා”යි සපථ කළමු.
458. ඒ කර්‍මය සහ මෘෂාවාදය යන දෙක්හි ම විපාකයෙන් සුවඳහැල් සාලේ බත මට අශුචි බවට පෙරළෙයි.
459. කර්‍මයෝ වඳ නො වෙත් (විපාක දෙත්) ම ය. සහේතුක වැ රැස්කළ කර්‍මය විපාක නො දී නො වැනසේ දුගඳ වූ පණුවන් හටගත් අශුචි මම කමි. එසේ ම බොමි.
භුස ප්‍රේතවස්තු යි.
3. 5.
460. “සමහර පුඟුලෝ උත්සන්න කුසල ඇත්තෝ වෙත්. සමහරු සුළුපින් ඇත්තෝ වෙත්”යයි ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයකු ප්‍රකාශ කළ සේක් ද, සුගතයන් වහන්සේගේ ඒ නුවණ ආශ්චර්‍ය්‍ය ජනක ය.
461. සොහොනෙහි දැමූ මේ කුමරා ඇඟිල්ලෙන් වැගුරුණු කිරෙන් රාත්‍රියෙහි යැපෙයි. කළ පින් ඇති (මේ) කුමරු යක්‍ෂයෝ හෝ සර්‍පයෝ නො පෙළන්නාහ.
462. සුනඛයෝ ද මොහුගේ දෙපා දිවින් ලෙවූහ. කවුඩෝ ද සිවල්ලු ද මොහු ඔබමොබ පෙරළත්. පක්‍ෂිගණයා ගබ්මල ඉවත්කරති. කපුටෝ වනාහි ඇස්මල දුරු කෙරෙත්.
463. කිසි මිනිස් කෙනෙක් මෙ කුමරහට රැකවරණ නො කළහ. බෙහෙත් හෝ අබදුම් දීම හෝ නො කළහ. ඔහු උපන් නකත් යෝග ද නො ගත්හ. (රකවරණය සඳහා) හැල් ආදී සියලු ධාන්‍ය ද නො විසුරූහ.
464-465. රාත්‍රියෙහි ගෙනයන ලදු ව සොහොනෙහි දැමූ අතිශයින් දුකට පත් වූ වෙඬරු පිඬක් වැනි වූ වෙව්ලන, ජිවත්වේ ද නො වේ දැයි සැක කටයුතු වූ ජීවිතය පමණක් ඉතිරි වූ මෙබඳු වූ ඒ කුමරා දෙවිමිනිසුන් විසින් පුදන ලද මහත්ප්‍රඥා ඇති බුදුහු දුටහ. ඔහු දැක ද “මේ කුමරා භොග සම්පත් වශයෙන් ද මෙනුවර උසස් කුලවතෙක් වන්නේ ය”යි පැවසූහ.
466. මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක් ද? බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කුමක් ද? මේ මොනොවට පුරුදු කළ කෙබඳු ව්‍රතයක විපාකයක් ද? මෙබඳු වූ විපතකට පැමිණ පෙරකී එබඳු දිව්‍යසම්පත් කෙසේ වළඳන්නේ ද?
467. ජනසමූහයා බුදුපාමොක් මහසඟනට මහත් පූජාවක් කළහ. එහි දී මොහුගේ සිතට විපිළිසරක් ඇති විය. මේ පුද්ගල බුදුපාමොක් සඟනට නො සැබි රළුවදන් කී ය.
468. පසුව හේ ඒ විතර්‍ක සිතිවිල්ල දුරු කොට ප්‍රීතිය හා ප්‍රසාදය උපදවාගෙන දෙව්රමැ වසන බුදුනට සත්දිනක් උවැටැන් කෙළේ ය.
469. ඒ වනාහි මොහුගේ ව්‍රත සමාදානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද විය. මෙබඳු විපතකට පැමිණත් එබඳු වූ ඒ දිවසැපත් නැවත වළඳන්නේ ය යන මෙය මොනොවට සිදු කරන ලද ඒ කර්‍මයාගේ විපාක යි.
470. ඒ කුමර මේ මනුලොව අවුරුදු සියයක් කල් සියලු කම් සැපතින් යුක්ත ව සිට කය බිඳීමෙන් හෙවත් මරණින් පසු පුනර්‍භවයෙහි දී සක් දෙවිඳුගේ (පුතකු වී) සහබවට යන්නේ ය.
කුමාර ප්‍රේතවස්තු යි.
3. 6.
471. තෝ නග්න යැ. දුර්වර්‍ණ රූප ඇතියාහු කෘශ වෙහි, ඉල්පුණු නහර ඇතියාහු, උස් වැ මතු වූ ඉළ ඇති කෘශ වූ මෙහි සිටින තෝ කවරහු ද?
472. ස්වාමීනි, මම යමලොවැ උපන් දුකට පත් ප්‍රෙතියක්මු. පව්කම් කොටැ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වමු.
473. එම්බල ප්‍රෙතිය, කය වචන සිත යන තිදොරින් තී විසින් කිනම් පවක් කරන ලද ද, කිනම් පව්කමක විවායෙන් මෙලොවින් ප්‍රේත ලෝකයට ගියහු ද?
474. කිසිවකු විසින් අනාවෘත තීර්‍ත්‍ථයන්හි අඩමස්සක් පමණ සෙවීමි. (නොහොත්) කිසිවකු විසින් එළැඹීම නො වැළැක්වූ, පුණ්‍ය තීර්‍ත්‍ථ බඳු මහණ බමුණන් ඇති කල්හි, ඔවුනට කිසිවක් නොදී, අඩමස්සක් රැස් කෙළෙමි. දන්දීමට දේ ඇති කල්හිත් තමහට පිහිට වූ පිනක් නො කෙළෙමි.
475. ඒ මම පවසින් යුතු ව ගඟට එළැඹියෙම් නම් ගඟ දියෙන් හිස් ව (වාලුකමාත්‍ර බවට) පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට එළැඹියෙම් නම් අව්ව පෙරළා එයි.
476. සුළඟ ද ගිනි සෙයින් ම මා සිරුර දවමින් හමයි. වහන්ස, තෙල පිපාසාදි දුකට ද එයට වඩා දරුණු අනික් දුකකට ද මම නිස්සෙමි.
477-478. හස්ථිනීපුරයට ගොස් මාගේ මවට මෙසේ කියව: “තීගේ දියැණියෝ පව්කම් කොට මෙලොවින් (චුත වැ) ප්‍රේතලෝකයට ගියාහු දුක්පත් ව යමලොව වසන්නාහු මා විසින් දක්නා ලදහ. එහි මා විසින් සුරක්‍ෂිත කොට තබනලද වස්තුව ඇති. එය මා විසින් කිසිවකුට නො කියන ලද ද වෙයි.”
479. පලඟ යට සාරලක්‍ෂයක් ධනය ඇත. ඒ වස්තුවෙන් මා උදෙසා දන් දේවා. මගේ මවගේ ද ජීවිකාව වේවා.
480. මගේ මව දන් දී එහි පින් මට පමුණුවාවා. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධ ව සුවපත් වන්නෙමි.
481. හේ “මැනැවැ”යි පිළිවදන් දී හස්ථිනීපුරයට ගොස් ඇයගේ මවට මෙසේ කී ය. යමලොව ඉපිද දුකට පත් වූ තොපගේ දූ මා විසින් දක්නා ලදු.
482. පව් කම් කොට මෙලොවින් සැව ප්‍රේත ලෝකයට ගියා වූ ඕ තොමෝ “මාගේ මවට කියව”යි, එකරුණෙහි මා සමාදන් කරවූ ය.
483. දුකට පත්වූ, යමලොව උපන්; තොපගේ දූ මා විසින් දක්නා ලදු. ඕ (තොමෝ) පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා ය.
484. “මා මෙහි තැන්පත් කළ ධනය අත. එය මවිසින් කිසිවකුට ද නො කියන ලද පලඟ යට සාරලක්‍ෂයක් වස්තුව ඇත. එයින් මා උදෙසා දන් දේවා. මෑණියන්ගේ ජීවිකාව ද වේවා.”
485. මගේ මව දන් දී එහි පින මට අනුමෝදන් කෙරේවා. එකල මම සියලු කම්සැපතින් දියුණු වැ සුවපත් වන්නෙමි.
486. ඉක්බිති ඇගේ මව දන් දුන්නා ය. දන් දී එහි පින ඒ ප්‍රේතියට අනුමෝදන් කළා ය. ඒ ප්‍රෙතිය ද සුවපත් වූවා ය. ඇගේ සිරුර දැකුම්කලු විය.
සෙරණි ප්‍රේතවස්තු යි.
3. 7.
487. දෙව්පුත් දෙව්දූන් විසින් පිරිවරන ලද තරුණ වූ තෙපි සිත්කලු වූ පස්කම් සැපතින් යුතු වැ (රාත්‍රියෙහි) බබළන්නහු ය. එහෙත් දවල් කාලයෙහි නොයෙක් කම්කටොලු විඳින්නහු ය. තෙපි පෙරදෑහි කිනම් පවක් කළහු ද?
488. මම අතීතජාතියෙහි රම්‍ය වූ සිත් පිනවන ගිරිවුජ නම් වූ රජගහ නුවර ලෙයින් තෙත් අත් ඇති දරුණු වූ මුවවැද්දෙක් වීමි.
489. එකල ඉතා දරුණු වූ පරහිංසාවෙහි ඇලුණු නො දැමුණු මම කිසිවකුට හිංසාවක් නැති ප්‍රාණීසංක්‍යාත වූ බොහෝ සාමුව ආදී සතුන් කෙරෙහි දුෂ්ට සිතින් යුක්ත වැ හැසුරුණෙමි.
490. ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උවසුවෙක් යහළු ව සිටියේ ය. හේ මට අනුකම්පා කෙරෙමින් පුන පුනා මා පවින් වැළැක්වී ය.
491. දරුව, පව්කම් නො කරව, දුගතියට නො යව, පරලොවෙහි දී සුව කැමැත්තෙහි නම් දුශ්ශීල්‍ය වූ ප්‍රාණවධයෙන් වෙන් වෙව.
492. බොහෝ කල් පවෙහි ඇලුණු බුද්ධි නැති මම සුව කැමැති හිතානුකම්පා ඇති ඔහුගේ වචනය අසා ඒ සියලු අනුශාසනය නො කෙළෙමි.
493. පුළුල් නුවණ ඇති ඒ උවසු තෙම යලිත් අනුකම්පායෙන් මා සුචරිතයෙහි පිහිටුවීය. “ඉදින් තෙපි දහවල්හි සතුන් මරන්නහු නම් වැළි රාත්‍රියෙහි තොපගේ සංවරය වේ වා”යි.
494. ඒ මම දහවල්හි සතුන් නසා රැයෙහි පණිවායෙන් වෙන් ව සංයත වීමි. එහෙයින් මම රැයෙහි දිවසැප විඳිමි. දහවල්හි දුකට පත් වැ දුකින් පෙළෙමි.
495. ඒ කුශලකර්‍මයෙහි විපාකයෙන් රාත්‍රියෙහි දිවසැප වළඳමි. දහවල්හි සුනඛයෝ බද්ධ වෛර ඇත්තවුන් මෙන් මා සපා කෑමට හාත්පසින් දිවැ එත්.
496. යම් පුරුෂ කෙනෙක් බුදු සස්නෙහි ස්ථිරවශයෙන් අධිශීලාදියෙහි යෙදී නිරතුරු භාවනාදියෙහි යුක්ත වෙත් ද, ඔහු හුදෙක් අසංස්කෘත පද නම් වූ නිවනට පැමිණෙති මම සිතමි.
මිගලුද්දක ප්‍රේතවස්තු යි.
3. 8.
497. දෙව්මුවා කුළුගෙහි හා පහයෙහි දික්ලොම් ඇති කොඳු පලස් අතුළ පලඟෙහි පසඟතුරුයෙන් මැනැවින් වැයෙද්දී තෝ රමණය කෙරෙහි.
498. ඉන්පසු රැය අවසන්හි හිරු උදා වූ කල්හි සොහොනෙහි දමන ලදුවැ බොහෝ දුකට පැමිණෙහි .
499. කා විසි මුනි තිදොරින් තා විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විවායෙන් (තෝ) මේ දුකට පැමිණියෙහි ද?
500. මම පෙරදෑයෙහි රම්‍ය වූ සිත්කලු වූ ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර දරුණු වූ අසංවර ඇති මුවවැද්දෙක් වීමි.
501. ඒ මට හිතවත් වූ සැදැහැති උවසුවෙක් මිතුරු විය. ගෞතම ශ්‍රාවක වූ භික්‍ෂුනමක් ඒ උවසුවාගේ කුලුපගයෙක් වීය.
502. ඒ භික්‍ෂුනම ද මට අනුකම්පා කරන්නේ දරුව පව්කම් නො කරව, දුගතියට නො යවයි පුනපුනා මා පවින් වැළකී ය.
503. “ඉදින් පරලොවැ සැප කැමැත්තෙහි නම් අසංයම වූ ප්‍රාණවධයෙන් වෙන් වෙව.” මාගේ සැපය කැමැති වූ මට හිතවත් වැ අනුකම්පා කරන ඒ භික්‍ෂුහුගේ වහනය අසා.
504. බොහෝ කලක් පව්කම්හි ඇලුණු අනුවණ වූ මම ඒ භික්‍ෂූහුගේ සියලු ම අනුශාසනය නො කෙළෙමි. පුළුල් නුවණ ඇති ඒ භික්‍ෂු මට අනුකම්පායෙන් යළිත් මා සංවරයෙහි පිහිටුවී ය.
505. “ඉදින් දහවල්හි සතුන් නසන්නෙහි නම් ඉක්බිති රාත්‍රියෙහි තාගේ සංවරය වේවා,” ඒ මම දහවල් සතුන් නසා රාත්‍රියෙහි පවින් වැළැකුණෙම් සංවර වීමි.
506. රැයෙහි මම සැප විඳිමි. දහවල්හි දුකට පත් වැ ජරදුක් විඳිමි. ඒ කුශලකර්‍මයාගේ විපාකය නිසා රැයෙහි දෙව් සැප විඳිමි. දහවල්හි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ මා කෑමට හාත්පසින් දිවැ එත්.
507. යම් කෙනෙක් වනාහි බුදුසස්නෙහි අධිශීලාදියෙහි නිතර දැඩි සේ යෙදෙත් ද ඔහු හුදෙක් ලොවි සැප හා මුසු නොවූ අසංස්කෘත පද නම් වූ නිවනට පැමිණෙත් යයි සිතමි.
දෙවැනි මිගලුද්දක ප්‍රේතවස්තු යි.
3. 9.
508. තෙපි දිවමල් දරන හිස්වෙළුමින් යුත්, අඟුපලඳනා ඇතියහු ශරීරාවයවයෝ ගැල්වූ සඳුන් විලෙවුන් ඇත්තාහු ය. තෙපි ප්‍රසන්න වූ මුඛවර්‍ණ ඇතියවු. ලහිරු මෙන් පැහැයෙන් බබළන්නහු ය.
509. (තොපගේ) යම් මේ උපස්ථායක කෙනෙක් වෙත් ද, ඔවුහු දිව්‍යපර්ෂද්හි වූවෝ වෙති. තොපගේ යම් මේ උපස්ථායිකා කෙනෙක් වෙත් ද ඔවුහු දිව්‍ය කන්‍යාවෝ දසදහසෙකි.
510. ඔවුහු සක්වළලු හා අඟුපලඳනා දරති. රන්මුවා මුදුන් මල් කඩින් සැරසුණෝ වෙත්. තෙපි ලොමුදහ ගන්වන පියවි ඇතියහු, මහත් අනුභාව ඇතියවු. ඒ තෙපි තමාගේ පිටුමස් තෙමේ ම කඩා කන්නහු ය.
511. “තා විසින් කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.
512. මම, මිනිස් ලොවැ සිටිය දී කේලාම් කීමෙන් සහ බොරු කීමෙන් ද කපටිභාවයෙන් සහ වඤ්චාවෙන් ද අවැඩ පිණිස ම හැසුරුණෙමි.
513. එහි දී මම පිරිස්මැදට ගොස් ඇත්ත කියන්නට සුදුසු කාලය පැමිණි විට හිතකර කාරණය හැර දමා අධර්‍මය අනුව ගියෙමි.
514. යම්සේ අද මම මාගේ ම පිටුමස් කම් ද, එසේ ම යමෙක් අනුන් පිටුමස් කන්නේ හෙවත් අනභිමුඛයෙහි අනුනට නින්‍දා කරන්නේ වේ ද, හේ මෙසේ ම තමා කයි.
515. නාරද හිමියනි, තොප විසින් මාගේ රූපය තමන් ම දක්නා ලද, කුළුණැති පරවැඩෙහි සමත්, බුදු පසේ බුදු ආදී උතුමෝ යම් අවවාදයක් වදාළාහු නම් එය ම මම තොපට කියමි. පිසුනුබස් හෝ මුසවා නො කියන්න. එසේ කොට මා මෙන් පිටුමස් කන්නකු නො වන්න.
නවවැනි කූටවිනිජයික ප්‍රේතවස්තු යි.
3. 10.
516. අහසෙහි සිටින තෝ කුණු වූ දුගඳ හමහි. දුගඳැති තාගේ මුහුණ ද පණුවෝ කති. පෙර අත්බව්හි තෝ කිනම් පවක් කෙළෙහි ද?
517. එයින් මතු මුවාත් ඇති අවි ගෙන (පව්කමින් මෙහෙයවන ලද සත්ත්‍වයෝ) (තාගේ මුව) පුනපුනා කපත්. ක්‍ෂාර ජලයෙන් ඉස ඉස නැවත නැවතත් කපත්.
518. කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් මේ දුකට පැමිණියෙහි ද?
519. නිදුකාණන් වහන්ස, මම රම්‍ය වූ සිත්කලු වූ ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර ඉතා බොහෝ වූ ධනධාන්‍යයට අධිපතියෙක් වීමි.
520. ඒ මාගේ (පෙර අත්බැව්හි) මෝ බිරිඳ යැ මෝ දියණි යැ මෝ මාගේ යෙහෙළි යැ. ඔවුන් මල් ද උපුල් ද අලුත් විලෙවුන් ද සෑ පුදට ගෙන යනුවන් මම වැළැක්වීමි. මා විසින් ඒ පව්කම් කරන ලද.
521. ගණනින් සයාසූදහසක් පමණ වූ අපි මෙසේ සෑපුදෙහි නුගුණ කියා වෙන් වෙන් වැ විඳිනු ලබන මහත් දුක් ඇති වැ නිරය වැනි ප්‍රේත ලෝකයෙහි දැඩි දුක් විඳිමු.
522. අර්‍හත් වූ සම්බුදුන්ගේ සෑපුද පිළිබඳ උළෙල පවත්නා කල්හි යම් කෙනෙක් එහි දොස් කියත්නම් ඔවුහු ඒ පිනෙන් බැහැර වෙත් යැ යි දැනගන්න.
523. දිවමල් දරමින්, මනා ලෙස සැරසුණු, මල් පිදීමේ විපාකය විඳිමින් අහසින් එන මේ දෙවඟනන් ද බලව. පිරිවර ඇති ඔහු දෙව් සැපතින් සමෘද්ධයහ.
524. ආශ්චර්‍ය්‍ය වූ අද්භූත වූ, ලොමුදහ ගන්වන ඒ මහත් විපාක විශේෂය දැක පැනවත්හූ ඒ මහාමුනිවරයා නමස්කාර කරති, වඳිති.
525. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ නො පමා වූයෙම් පුනපුනා සෑපුද කරන්නෙමි.
ධාතුවිවණ්ණක ප්‍රේතවස්තු යි.
තුන්වැනි සුළුවග යි.