Petavatthu

Stories of Departed Spirits

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1037 segments

පෙන්වන කොටස් 501-600 න් 1037

350. රැස් නො කළ කුශලකර්‍මයන් හේතුකොට ගෙන, ප්‍රෙතයෝ ද එසේම මනුෂ්‍යයෝ ද වෙහෙසෙත්. සුව විපාක දෙන පින්කම් කොට සැපතෙහි පිහිටි දෙවි වූත් මනුෂ්‍ය වූත් ප්‍රජා තොමෝ මා විසින් දක්නා ලදු.
සුත්ත ප්‍රේතවස්තු යි.
351. ඒ පොකුණෙහි රනින් කළ හිණිපෙති හා පෝරු ද ඇත්තේ ය. රන්මුවා වැල්ලෙන් යුක්ත ය. මනහර වූ සුවඳැති සිත්කලු වූ හෙල්මැලි අත.
352. ඒ පොකුණ වටින් නොයෙක් රුක්වලින් ගැවසීගත්තේ ය. අවට නන්වැදෑරුම් සුවඳ සුළං හමන්නේ ය. නොයෙක් රතුපුල්වලින් වැසුණු දියතලා ඇත්තේ ය. හෙළපියුමින් ද මොනොවට වැසී පවතී.
353. මනහර සුළඟින් සෙලවුණු සුවඳ හමයි හංසයන් සහ කොස්ලිහිණියන් විසින් කරන ලද මනහර නාද ඇත්තේ ය. සක්වාලිහිණියන් විසින් කරන ලද ශබ්ද ඇත්තේ ය.
354. නොයෙක් පක්‍ෂිසමූහයාගෙන් ගැවසීගත්තේ ය. නානාවිධ වූ පක්‍ෂිනාද සමූහයෙන් යුක්ත ය. නොයෙක් ඵල දරනගස් අවට ඇත්තේ ය. නොයෙක් සුවඳින් යුත් මල්දරන වනයෝ ද ඇත.
355-356-357-358. මේ නුවර යම්බඳු වී නම් මෙබඳු නුවරක් මිනිසුන් කෙරෙහි නැත. තිගේ රන්රිදීමුවා බොහෝ ප්‍රාසාදයෝ අවට සිවුදික්හි ඉතාම බබළමින් හොබවත්. තිට වත්පිළිවෙත් කරන යම් මේ පන්සියයක් දාසියෝ වෙත් ද, ඔහු සක්වළලුවලින්හා අඟුපලඳනාවෙන් සැරසුණාහු ය. රන්මුවා මුදුන්මල්කඩින් සැරසුණු කෙස් ඇත්තාහු ය. සියලු කම්සැපතින් සපිරුණු තෝ යම් යහනක විසීමට යවු නම් කෙසෙල්මුව සම් හා දික් ලොම් කොඳුපිළී අතුරා සරසන ලද එබඳු වූ රන්රිදී මුවා වූ අසුන් තිට බොහෝ වෙයි.
359-360. අඩරැය පැමිණිකල තෝ ඒ පලඟින් නැගිට උයන් බිමට යවු, එසේ ගොස් හාත්පසැ නිල් වූ ළාතණ ඇති මනහර වූ ඒ පොකුණු තෙරැ තෙපි සිටිවු. එයට පසු කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කාදමයි.
361. යම් කලෙකැ සුනඛයා විසින් කන ලද්දී ඇටසැකිල්ල පමණක් ඉතිරි කරන ලද්දී තෙපි පොකුණට බස්නවූ. අසිරියෙකි! ශරීරය පෙර මෙන් ඇති වෙයි.
362. ඉන් පසු පිරිපුන් අඟපසඟ ඇති මනරම් පියකරුදැකුම් ඇති තෙපි පිළියක් පෙරවගෙන මා ළඟට එන්නවු ය.
363. කයින් වචනයෙන් සිතින් කවර පාපයක් කරන ලද ද? කිනම් පවක විපාකයෙන් කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කා ද?
364. කිම්බිලා නුවර ගැහැවියෙක් සැදැහැවත් උවසුවෙක් විය. ඔහුට මම බිරිය වීමි. හිමියා ඉක්මැ පවත්නී දුසිල් වීමි.
365. මෙසේ හිමියා ඉක්මැ හැසිරෙන මට ඒ හිමි මෙබස් කී ය. යම් හෙයෙකින් තෝ මා ඉක්මැ හැසිරෙහි නම් එය යුතු නො වේ. සුදුසු නො වේ.
366. ඒ මම දරුණු ලෙස දිවුරා මෙසේ බොරු කීවෙමි. “මම කයින් හෝ සිතින් හෝ තොප ඉක්මවා නො හැසිරෙමි.”
367. ඉදින් මම කයින් හෝ සිතින් හෝ තොප ඉකුම්වා හැසිරෙම් නම් කන් මුඩු මේ බල්ලා මා අඟ පසඟ කා දමාවා.
368. ඒ දරුණු දිවිරීම් කර්‍මයාගේ ද මෘෂාවාද කර්‍මයාගේ ද විපාකය අවුරුදු හත්සියයක් මුළුල්ලෙහි විඳින ලද. ඒ පවින් ම මගේ අඟපසඟ කන්සුන් බල්ලා කාදමයි.
369. රජතුමනි, තෙපි මට බොහෝ උපකාර වූවහු ය. මට හිත පිණිස මෙහි ආවහු ය. කන් මුඩු බලුගෙන් මම මිදුණි වෙමි. මම දැන් ශෝක නැත්තී බිය නැත්තී වෙමි.
370. දේවයිනි, මම තොප වඳිමි. බදැඳිලි ව තොපගෙන් මෙසේ යදිමි. “රජතුමනි, නොමිනිස් වූ පස්කම් සැප විඳින්න. මා හා රමණය කරන්න.”
371. සොඳුර, තී හා නොමිනිස් සැප විඳ රමණය කෙළෙම් වෙමි. දැන් මා මගේ නුවරට ම වහා පමුණුවා ලවයි මම තිගෙන් යදිමි.
කර්‍ණමුණ්ඩ ප්‍රේතවස්තු යි.
372. පඤ්චාල රට වැසියනට ඉසුරු වූ බඹදත් නම් රජෙක් විය. ඒ රජ තෙමේ බොහෝ කලක් ඇවෑමෙන් කලුරිය කෙළේ ය.
373. එකල ඒ රජුගේ උබ්බරී නම් බිසවු රජු දැවූ තැනට ගොස් හඬයි. බඹදත් රජු නො දක්නා ඕ “බඹදත් කොහි දැ”යි (කියමින්) හඬයි.
374. සරණ දහමින් හෙබි මුනිවරයකු වූ තවුසෙක් එතැනට පැමිණියේ ය. එතැන යම් මිනිස්සු රැස්වූවාහු ද, ඔවුන්ගෙන් ඒ තවුසා එහි දී මෙසේ විචාළේ ය.
375-376. නොයෙක් සුවඳ වහනය වන මේ සොහොන කවරකු ගේ ද? මේ බිරිඳ කවරකුට හඬා ද? (මිනිස්සු මෙසේ කියති:) මේ මිනිස් ලොවින් දුර වූ පරලොවට ගිය සිය හිමියා වන බඹදත් රජු නො දක්නී “බඹදත් බඹදත්”යි මෝ හඬා යයි එහි රැස්වූ යම් කෙනෙක් වූහු නම් ඔවුහු එහි දී පැවසූහ.
377. නිදුකාණන් වහන්ස, බඹදත් රජුට යහපතක් ම වේවා. මේ නොයෙක් සුවඳ හමන සොහොන ඒ බඹදත් රජුගේ වෙයි.
378. ඒ රජුගේ මේ බිරිඳ ඔහු ගැන හඬයි. මේ මිනිස් ලොවින් දුර වූ පරලොවට ගිය සිය හිමි බඹදත් රජ නො දක්නී “බඹදත් බඹදත්”යි වැලපෙයි.
379. බඹදත් යන නම් ඇති සයාසූදහසක් දෙනා මේ සොහොනෙහි දවන ලදහ. ඔවුනතුරෙන් කවරකු සඳහා තෙපි හඬවු ද?
380. වහන්ස, චූලනී රජුගේ පුත් වූ පඤ්චාල රටට ඉසුරු වූ යම් රජෙක් වී ද, සියලු කැමති දෑ දෙන ඒ හිමියා සඳහා මම සෝක කරමි.
381. සියලු ම රජවරු බඹදත් යන නම් ඇත්තෝ වූහ. සියල්ලෝ ම චුලනීපුත්‍රයෝ වූහ. සියල්ලෝ ම පඤ්චාල රටෙහි අධිපතියෝ වූහ.
382. සියලු ම රජුන්ට තෙපි පිළිවෙළින් අගමෙහෙසි බව කළවු ය. කුමක් හෙයින් පළමු රජුන් හැර පසු ව ඇති වූ රජු සඳහා ශෝක කරවු ද?
383. නිදුකාණන් වහන්ස, තමා ස්ත්‍රියක වූ කල්හි දිගුකලක් මුළුල්ලෙහි ස්ත්‍රියක් ම වේ ද? යම්බඳු වූ ස්ත්‍රීභාවයට පැමිණි මට සසර බොහෝ ජාති වී යයි තෙපි කියන්නහු ද?
384. තෙපි ස්ත්‍රියක් ද වූවහු. පුරුෂයෙක් ද වූවහු. තිරිසන් අත් බවට ද පැමිණියහු. මෙසේ ඉකුත් අත්බව් හි කෙළවරක් නො පෙනෙයි.
385. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිළගත් සියලු සෝගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
386. යම් තවුසෙක් මා හද ඇසුරු කළ සෝහුල ඒකාන්තයෙන් උදුරා දැමී ද සොවින් පෙළුණු මාගේ හිමි පිළිබඳ සෝදුක පහ කෙළේ ද.
387. මහාමුනීන් වහන්ස, ඒ මම උපුළ සෝහුල් ඇතියෙම් සිහිල් වූවා වෙමි, නිවුණා වෙමි. තොපගේ ඔවදන් අසා මම දැන් ශෝක නො කරමි, නො හඬමි.
388. ඒ තවුසාගේ මැනැවින් දෙසූ ඒ වදන් අසා ඕ පා සිවුරු ගෙන අනගාරික වූ සස්නෙහි පැවිදිවූවා ය.
389. ඕ මෙසේ ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාත සස්නෙහි පැවිදි වූවා බඹලොව ඉපදීම පිණිස මෙත්සිත වැඩුවා ය.
390. ගමින් ගමට යෙමින් නියම්ගමක් පාසා ද රාජධානියක් පාසා ද සරිසරන්නී උරුවෙල් නම් වූ ඒ ගම යම් තැනෙක් හි ද එහි දී කලුරිය කළා ය.
391. ඕ බඹලොව ඉපදීම සඳහා මෙත්සිත් වඩා ස්ත්‍රීභාවයෙහි සිත දුරු කොට බඹලොවට පැමිණියා වූය.
උබ්බරී ප්‍රේතවස්තු යි.
දෙවැනි උබ්බරී වර්‍ග යි.
එහි උද්දානය:
පඬුවන් සංසාර මොචක ප්‍රේතියගේ වස්තුව ද, සැරියුත් තෙරුන්ගේ මාතෘ ප්‍රේත වස්තුව ද, භූතගේ පියා අයත් බිරිඳක වූ මත්තා නම් ප්‍රේතියගේ වස්තුව ද, නන්දා ප්‍රේතියගේ වස්තුව ද, මට්ටකුණ්ඩටලී ප්‍රේත වස්තුව ද, ඝතපණ්ඩිත පුවත ඇතුළත් කණ්හ ප්‍රේත වස්තුව ද, ධනපාල - චූලසෙට්ඨි දෙදෙනාගේ ප්‍රේත වස්තු දෙක ද, කලින් තුනාකම් කළ අංකුර ප්‍රේත වස්තුව ද, දිවාවිහාරගත භික්ෂුහට හමු වූ උත්තර මාතෘ ප්‍රේතියගේ වස්තුව ද, සුත්ත ප්‍රේත වස්තුව ද, මනා හිණිපෙති ඇති විල අසල හුන් කර්ණමුණ්ඩ ප්‍රේතියගේ වස්තුව හා උබ්බරී ප්‍රේත වස්තුව ද යන තෙළෙස උබ්බරී වර්ගයෙහි ඇතුළත් වේ.
3. චූළ වර්‍ගය
(කෝලිය මහාමාත්‍ර:)
392. ප්‍රේතය, තෝ මෙහි ගංගානදියෙහි නො බිඳෙන ජලයෙහි යෙහි. නග්න වූ තෝ ශරීරයෙහි පූර්‍වාර්ධයෙන් ප්‍රේත නො වන්නකු හෙවත් දෙවියකු මෙන් වෙහි. මල්මාලා දරමින් ලකළ හිස් ඇත්තෙහි. තෝ කොහි යෙහි ද? තාගේ වාසය කොහි ද?
393. ඒ ප්‍රේතයා මෙසේ කියයි: වාසභ ගමට ද බරණැසට ද අතරෙහි වූ බරණැස අසල චුන්‍දත්‍ථික නම් ගමට යන්නෙමි.
394. කෝලිය යි ප්‍රසිද්ධ ඒ මහාමාත්‍රයා ඔහු දැක අත්සුණු ද, බත් ද රන්වන් පිළීසඟලක් ද ප්‍රේතයා උදෙසා දුන්නේ ය.
395. නැව නවතා තිබෙන කල්හි නැහැවි උවසුවකුහට හේ ඒවා දුන්නේ ය. කරනැවෑමියාට දුන් කල්හි එකෙණෙහි ම ප්‍රේත ශරීරයෙහි ද හඳනා පොරෝනා වස්ත්‍ර පහළ විය.
396. ඉක්බිති ඒ ප්‍රේතයා මොනවට හැඳගත් පිළී ඇතියේ මල්දම් දරනුයේ අලංකෘත විය. දක්‍ෂිණාර්‍හ ස්ථානයෙහි සිටි මේ දක්‍ෂිණාව යම් හෙයෙකින් ඒ ප්‍රේතයාට ලැබුණේ ද එහෙයින් ප්‍රෙතයන් කෙරෙහි අනුකම්පායෙන් පුන පුනා පින්පෙත් දියයුතු ය.
397. සමහර ප්‍රෙතයෝ සුන්බුන් වැරහැලි ඇඳ සිටියහ. සමහරු කෙස්වලින් විළි වසා සිටියහ. ප්‍රෙතයෝ බත් සඳහා යති. එක් දිගෙකින් අනික් දිගකට යෙත්.
398. ඇතැම්හු අහර සඳහා දුවැ ගොස් කිසි අහරක් හෝ පැනක් නො ලැබැ ම නවතිත්. ඔහු බඩසා ඇතියාහු මුසපත් වූවාහු භ්‍රාන්ත වැ බිමැ වියළී වැද හෙති.
399. සමහරු ඒ ගියතන්හි ප්‍රතිමුඛ කොට මෙහෙයන ලද්දවුන් මෙන් බිම වැටුණාහු වෙත්. ඔහු පෙර අත්බව්හි කුසල් නො කළාහු අව්වෙහි ලූ ගින්නෙන් දැවුණවුන් මෙන් බඩසයින් මහාදුක් විඳිත්.
400. “අපි පෙර ඊර්‍ෂ්‍යාදි ලාමක ස්වභාවය ඇති ගෘහණියන් වැ කුලමවුවරු වීමු. එසේ වූ අපි දේයධර්‍මයන් ඇති කල්හි තමන්හට ප්‍රතිෂ්ඨාවක් නො කළම්හ.”
401. බොහෝ වූ ආහාරපාන ද සඟවනු ලැබීය. සුපිළිපන් පැවිද්දන්ට ද කිසි දෙයක් නුදුනුම්හ.
402. අපි කුසල් දහම් නො කටැටිවන්නමෝ අලසවූවමෝ මිහිරිදැය කැමැත්තමෝ බොහෝ අනුභව කරන්නමෝ බත් පිඬෙක් පමණ දෙන්නමෝ ප්‍රතිග්‍රාහකයනට අවමන් කෙළෙමු.
403. අපගේ ඒ ගෙවල් ද ඒ දාසීහු ද ඒ ආභරණ ද දැන් අපට නැත. ඒ ගෘහාදිය අන්හු පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූම්හ.
404. නින්දනීය වූ නළකරු වැ හෝ සොම්මර වැ හෝ උපදිත්. මිත්‍රද්‍රෝහී හෝ වෙත්. චණ්ඩාල කුල ඇති වැ හෝ ඉතා දිළිඳු වැ උපදිත්. නැහැවි වැ හෝ යළි යළි උපදිත්.
405. ඉතා දිළිඳු යම් යම් පහත් කුලයෝ වෙත් නම් ඒ ඒ කුලයන්හි මැ උපදිත්. මේ මසුරුසිතැතියහුගේ ස්වභාවයයි.
406. පූර්‍වයෙහි වූකලි කළ කුසල් ඇති දුරුකළ මසුරු මල ඇති දායකයෝ වෙත් නම් ඔහු ස්වර්‍ග ලෝකය පුරවති. නඳුනුයන ද බබුළුවත්.
407. විජයොත් පහයෙහි රමණය කොට කැමැති පරිදි කම් සැප විඳින ඔහූ ඉන් සැවැ මහසැපත් ඇති උසස් කුලයන්හි උපදිත්.
408. මෙසේ උසස් කුලයන්හි උපන්නාහු කුළුගෙහි ද, පහයෙහි ද දික්ලොම් ඇති කොඳු පලස් අතුළ පලඟෙහි ද මොනරපිළින් යුත් වල්විදුනා වෙන් පවන් සලනුලබන සිරුරින් යුතු ව යසපිරිවරින් රමණය කරත්.
409. ඔහූ මල්මාලා දරන්නාහු අලංකෘත වූවෝ ඇකයෙන් ඇකයට යත්. සැප පතන්නා වූ කිරිමවුවරු උදේ සවස ඔවුනට උවැටන් කරත්.
410. ශෝකරහිත වූ රම්‍ය වූ දෙවියන්ගේ මහවනය වූ මේ නඳුනුයන, පින් නො කළවුනට නො වේ. මෙය පින්කළවුනට ම ලැබිය හැකි ය.
411. පින් නොකළවුන්ට මෙලොව ද පරලොව ද සැපයක් නැත. පින් කළවුන්ට මෙලොවත් පරලොවත් සැප ම ලැබේ.
412. ඒ දෙවියන් හා සහභාවය කැමැතියන් විසින් බොහෝ කුසල් කළයුතුයි. කළ පින් ඇතියාහු කම්සැපතින් යුතු වැ ස්වර්‍ගයෙහි සතුටු වෙති.
අභිජ්ජමාන ප්‍රේතවස්තු යි.
413. කුණ්ඩි නගරයෙහි උපන් සානුවාසී පව්වෙහි වෙසෙන නමින් පොට්ඨපාද නම් වූ මහණ වැඩු සද්ධාදි ඉන්‍ද්‍රිය ඇති (රහත්) ශ්‍රමණ කෙනෙකි.
414. උන්වහන්සේගේ මව ද පියා ද සොහොවුරා ද අගතියට ගියාහු යමලොව උපන්නාහු වෙත්. ඔහු පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියාහු වෙත්.
415. දුගතියට ගිය, හිදිකටුවැනි රළු වස්ත්‍රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ කෘශ සිරුරු ඇති බියෙන් තැති ගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්‍රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
416. උන්වහන්සේගේ සොහොවුරු තෙමේ බිය දුරු කොට නග්න වැ එකපදික මාර්‍ගයෙහි හුදෙකලා වැ චතුකුණ්ඩික වැ (දෙදණ දෙඅත යන සිවු අඟින් යන්නෙක් වැ) තෙරුන්ට තමා දැක්වී.
417. තෙරහු ද ඒ නො මෙනෙහි කොට මෙන් තුෂ්ණිම්භූත ව වැඩියහ. ඒ ප්‍රේතයා ද “මම ඔබ වහන්සේගේ සොහොයුරා වෙමි”යි තෙරුනට තමා දැන්වීය.
418. වහන්ස, ඔබ වහන්සේගේ මව ද පියා ද දුකට පත්වූවාහු යමලොවට ගියාහු ය. ඔහු පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියාහු ය.
419. දුගතියට ගිය, හිදිකටු වැනි රළු වස්ත්‍රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ, කෘශ ශරීර ඇති බියෙන් තැතිගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්‍රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
420. කාරුණික වූ ඔබ වහන්සේ අනුකම්පා කරන සේක්වා. දන් දී අපට පින් පමුණුවන සේක්වා, ක්‍රෑරකර්‍ම ඇති ඔහු ඔබ වහන්සේ දුන් දනින් යැපෙන්නාහු ය.
421. තෙරහු ද අනෙක් භික්‍ෂූහු දොළොස් නමක් ද පිඬු පිණිස හැසිර බත්කිස සඳහා එක් තැනකට රැස්වූහ.
422. සානුවාසී තෙරහු අන් තෙරුනට මෙසේ කීහ: ඔබ වහන්සේ ලැබූ යම් දැයක් වේ නම් එය මට දෙන්න. නෑයන්ට අනුකම්පා පිණිස සඟබතක් කරන්නෙමි.
423. (උන්වහන්සේ ද තමන් ලද දැය) තෙරුන්ට පවරා දුන්හ. තෙරහු සංඝයා නිමන්ත්‍රණය කළහ. දන් දී මවට ද පියාට ද සොහොවුරාට ද මෙසේ පින්පෙත් දුන්හ.
424-425. “මේ පින මාගේ නෑයනට වේවා, (ඒ පිනෙන්) නෑයෝ සුවපත් වෙත්වා”යි පින් දීමට අනතුරුව ම නෑයනට පිරිසිදු වූ, ප්‍රණීත වූ, මිහිරි වූ නොයෙක් රසමසවුළෙන් යුත් දිව බොජුන් පහළ විය. ඉක්බිති ඔබගේ සොහොවුරා වර්‍ණවත් වැ බලවත් වැ සුවපත් වැ තමා දැක්වී ය.
426. “වහන්ස, බලන සේක්වා බොහෝ දිවබොජුන් ලදුම්හ. එහෙත් අපි නග්න වම්හ. වහන්ස, අපි වස්ත්‍ර ලබමෝ නම් එබඳු උත්සාහයක් කරනසේක්වා.”
427. තෙරහු කසළගොඩින් ඉවත ලූ රෙදි කැබලි අවුළාගෙන රෙදි කැබලිවලින් සිව්රක් කොට සිව්දිගින් වැඩි සඟනට දුන්හ.
428-429. එසේ දී තෙරහු එහි පින මවට ද පියාට ද සොහොවුරාට ද මෙසේ අනුමෝදන් කළහ: “මේ පින මාගේ නෑයනට වේවා එයින් නෑයෝ සුවපත් වෙත්වා”යි. පින් දීමට අනතුරුවැ ම නෑයනට වස්ත්‍ර උපන. ඉක්බිති පිරිසිදු වස්ත්‍රයෙන් සැරසුණු ප්‍රේතයා තෙරුනට තමා දැක්වී ය.
430. වහන්ස, නන්‍දරජහුගේ රටෙහි යම්තාක් වස්ත්‍රයෝ වෙත් ද, අප හඳනා පිළී එයටත් වඩා බොහෝ වේ.
431. කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද කොමුපිළී හා කපුපිළී ද යන මහත් වූ ද මාහැඟි වූ ද ඒ වස්ත්‍රයෝ අහසෙහි ම එල්බෙති.
432. යම් යම් වතක් (අපගේ) සිතට ප්‍රියවී නම් අපි ඒ වස්ත්‍ර ම හඳිම්හ. යම් හෙයකින් අපට ගෙයක් ලැබේ නම් එවැනි උත්සාහයක් කරන සේක්වා.
433. තෙරහු කොළ සෙවිලිකළ කුටියක් කොට සිව්දිගින් වැඩි සඟනට දුන්හ. (එසේ) දන් දී (එහි පින) තෙරහු මවුට ද පියාට ද සොහොයුරාට ද මෙසේ අනුමෝදන් කළහ.
434. “මාගේ මේ පින නෑයනට වේවා, නෑයෝ සුවපත් වෙත්වා”යි පින් දීමට අනතුරුව ම ඔවුනට නිවෙස් උපන.
435. මේ ප්‍රෙතලොකයෙහි අපට යම්බඳු ආයත චතුරස්‍රාදීන් විභාග කරන ලද, කොටස් විසින් පිරිසිඳුනා ලද, කූටාගාර වූ ද තදන්‍ය වූ ද නිවේසන සංඛ්‍යාත ගෘහයෝ ඇද්ද මෙබඳු ගෘහයෝ මිනිස් ලොවෙහි නැත.
436. දෙව්ලෝහි යම්බඳු පහයෝ වෙත් නම්, මේ ප්‍රේත ලෝකයෙහි අපගේ එබඳු ගෘහයෝ ඉතා දිලිසෙමින් අවට සිව්දිගුන් බබුළුවත්.
437. වහන්ස, යම්සේ අපට පැන් ලැබේ නම් එබඳු උත්සාහයක් කරන්න. තෙරහු ඩබරාව පුරවා පැන් ගෙන සිවුදිගින් වැඩි සඟනට දුන්හ.
438. තෙරහු දන් දී එහි පින් මව්පියනට ද සොහොයුරාට ද, මෙසේ දුන්හ. “මේ පින මාගේ නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා”යි.
439. පින් දෙනු සමග ම (ප්‍රේතයනට) පැන් උපන. ගම්භීර වූ, චතුරස්‍ර වූ පුෂ්කරණීහු ද මොනොවට මැවුණාහ.
(කෙබඳු පොකුණු ද යත්:)
440. පහන් දිය ඇති, මනා තොට ඇති, සිහිල් වූ, සුවඳැති පියුමුපුලෙන් ගැවසීගත්, මල්රේණු යුත් දියෙන් පිරුණු පොකුණු ය.
441. එහි නහා පැන් බී තෙරුනට තමන් දැක්වූහ. (මෙසේ ද කීහ:) වහන්ස, බොහෝ වූ දිව පැන් ලැබිණ. අපගේ පාදයෝ දුකින් පැළෙත්.
442. වහන්ස, කුසකටු ඇති බොරළුකැට පොළොවෙහි ඇවිදින අපි කොරගසමින් යම්හ. යම් සේ අපි යානයක් ලබමු නම් එබඳු උත්සාහයක් කරන්න.