266. යමෙක් (යම් පුද්ගලයකු විසින්) පෙර කරන ලද උපකාර ඇත්තේ පසු කලෙක ඒ උපකාර කළහු නපුරු ක්‍රියාවකින් පෙළා නම් (අල්ලපාණි) උපකාරකයා නසනලද ඒ පුරුෂ තෙමේ යහපත නො දකී.
267. යමෙක් තමාට ද්වේෂ නො කරන ලද (රාගාදී) කෙලෙස් නැති පිරිසිදු සිත් ඇති මිනිසකුට ද්වේෂ කරයි ද ඒ පාප කර්‍මය (තෙමේ) උඩු සුළඟට දමනලද සියුම් රජස් මෙන් ඒ නුවණ නැති ඔහු වෙත ම (විපාක වශයෙන්) ආපසු එයි.
(යක්‍ෂයා:)
268. මම දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ නො මැඩලිය හෙමි. ආධිපත්‍යයෙකින් හෝ නො මැඩලිය හෙමි. මම උතුම් ඍද්ධියට පැමිණි වහා ඉතා දුරයනු සමත් රූසපුවෙන් ද, සිරුරු බෙලෙන් ද යුතු යක්‍ෂයෙම් වෙමි.
269. තොපගේ දකුණත හැමලෙසින් රන්වනැ. මිහිරිරස වැහෙන ධාරාපසක් ඇත්තේ ය. ඉන් නොයෙක් රස වැගිරෙයි. තොප සක් දෙවිඳු යයි මම සිතමි.
(දෙවිඳු:)
270. මම ප්‍රසිද්ධ දෙවියෙක් ද නො වෙමි. ගඳඹෙක් ද පුරඳුරු නම් වූ සක්දෙවිඳු ද නො වෙමි. පින්වත් අංකුරය, “භේරුව නුවරින් මැරී අවුත් මෙහි උපන් ප්‍රේතයෙක්මි”යි මා දනුව.
(අංකුර:)
271. පෙර භේරුව නුවර දී තෙපි කෙබඳු සිල් ඇති වූහු ද? කෙබඳු දානසීලාදි කුසල පැවතුම් ඇති වූහු ද? කෙබඳු ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාවකින් තොපගේ අත්හි පින්පලය නිපයේ ද?
(දෙවිඳු:)
272. පෙර මම් භේරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවිපැවැතුම් ඇති බැගෑපත් කෙනෙක් වීමි. දන්දීම සඳහා මට කිසිවක් නැති විය.
273. සැදැහැති දන්පතියකු වූ කළපින් ඇති පවට පිළිකුල් කරන අසය්හ සිටුහුගේ ගේ සමීපයෙහි මාගේ ගෙය ද විය.
274. නොයෙක් කුලවල උපන් සිඟන්නෝ ද ගුණ කියා ඉල්ලන්නෝ ද එතැනට පැමිණෙත්. ඔහු එහි දී අසය්හ සිටුහුගේ ගෙය මාගෙන් විචාරත්.
275. තොපට යහපතක් වේවා. කොතැන්හි දන් දෙනු ලැබේ ද? අපි දන් ලැබීමට කොහි යමු ද? මෙසේ (ඔවුන් විසින්) විචාරන ලද මම අසය්හ සිටුහුගේ ගෙය ඔවුනට කියමි.
276. “අසය්හ සිටුහුගේ මේ නිවසෙහි දන්දෙනු ලැබේ. මෙතැනට යවු, තොපට යහපතක් වේවා”යි මම දකුණ’ත දිගුකොට කීවෙමි.
277. ඒ පුණ්‍ය කර්‍ම හේතුයෙන් මාගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් මාගේ අත ඉෂ්ටවස්තු ගුරුවන්නේ වෙයි. මාගේ ඒ උතුම් හැසිරීම් හේතුයෙන් මා අත්හි පින්පල පහළ වේ.
(අංකුර:)
278. තෙපි වූ කලි සිය අතින් කිසිවකුට දනක් නුදුන්නාව. අනෙකකුගේ දානය අනුමෝදන් වෙමින් අත දිගු කොට කීවහු වනැ.
279. ඒ හේතුයෙන් තොපගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් තොප අත ඉෂ්ටවස්තු ප්‍රසව කරන්නේ වෙයි. තොපගේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යායෙන් අත්හි පුණ්‍ය ඵලය පහළ වෙයි.
280. පින්වත. යම් අසය්හ නම් සිටුවරයෙක් පහන් සිතැතිව සියතින් දන් දුන්නේ ද, හේ මිනිස් සිරුර හැර පියා කවර දෙසකට ගියේ වේ ද?
281. අන්‍යයන් විසින් ඉවසිය නොහැකි පරිත්‍යාගාදිය ඉවසන, සිරුරින් රැස් විහිදෙන අසය්හ සිටුහුගේ පරලොව ගමන හෝ යළි මෙලොවට ආගමනය මම නොදනිමි. වැළිත් අසය්හ සිටුතුමා ශක්‍රයාගේ සහභාවයට ගියේ යැ යි මා විසින් වෙසවුණු සමීපයෙහි දී අසන ලද.
(අංකුර:)
282. කිසියම් පිනක් කරන්නට සුදුසු ම ය, ශක්ති පරිදි දනක් දෙන්නට සුදුසු ම ය. කැමති සම්පත් දෙන අත දැක (මා වැනි) කවරෙක් නම් පිනක් නො කරන්නේ ද?
283. ඒ මම මේ වලිකතරින් ඉවත් වැ ගොස් ද්වාරවතී නුවරට පැමිණ යම් පිනක් මට සැප ඵලවනුයේ වේ නම් ඒ දානමය පින පවත්වන්නෙමි.
284. අහර හා පැන් ද පිළී සහ සෙනසුන් ද දෙමි. පැන්හල් හා ළිං ද දුර්‍ගයන්හි හේ දඬු ද පිහිටුවන්නෙමි.
(අංකුර වෙනත් ප්‍රේතයකු දැක මෙසේ විචාරයි:)
285. කුමක් නිසා තොපගේ ඇඟිලි කුණුව වකුටු වී ද? මුහුණ කොඬොලක් මෙන් විකාර වූයේ ද? ඇසින් කබ වැහෙන්නේ ද? තොප විසින් කිනම් පවක් කරන ලද ද?
286. සිරුරෙන් රැස් විහිදෙන, ගැහැවියෙක් වූ, සැදැහැති, ගිහිගෙයි වසන, ඒ අසය්හ සිටුහුගේ දන්දෙන තැන දන් දීමෙහි අධිකාරි වශයෙන් මම පත්කරන ලද වෙමි.
287. එහි අහර පිණිස පැමිණි යදියන් දැක මම එකත් පසෙකට ඉවත් වැ මුහුණ හැකිළවූයෙමි.
288. එහෙයින් මාගේ ඇඟිලි වකුටු විය. මුහුණ ද හැකුළුණේ විය. ඇසින් කඳුළු වැගිරේ. ඒ පව මා විසින් කරන ලද.
(අංකුර:)
289. නින්‍දිත පුරුෂය, තොපි යම් හෙයෙකින් මෙරමා ගේ දනට මුව හැකිළවීම් කළහු ද, එහෙයින් ධර්‍මය අනුව තොපගේ මුහුණ හැකිළිණි. ඇස් ද කඳුළු වගුරයි.
290. ආහාර පාන ද කෑයුතු දෑ ද පිළී හා සෙනසුන් ද දෙන පුරුෂ කෙසෙයින් මෙරමා ලවා සිදු කටයුත්තක් කරන්නේ ද.
291. ඒ මම මෙයින් ගොස් ද්වාරවතී නුවරට පැමිණ මෙලොව පරලොව සැප උපදවන මහදන් පවත්වන්නෙමි.
292. ආහාර පාන ද පිළී හා සෙනසුන් ද පැන්සල් සහ දිය පොකුණු ද දුර්‍ගමස්ථානයෙහි හේ දඬු පාලම් ද කරවා දෙන්නෙමි.
293. ඒ අංකුර තෙමේ ඒ මරුකතරින් පෙරළා නික්මැ ද්වාරවතී නුවරට පැමිණ යම් දනක් තමහට සැප එළවා නම් ඒ මහදන් පැවැත්වී ය.
294. පහන් සිතින් යුතු වැ අහර හා පැන් ද, පිළී සහ සෙනසුන් ද පැන්හල් සහ දියපොකුණු ද දුන්නේ ය.
295. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පවස් ඇත්තේ ද කවරෙක් පිළී වැළඳගන්නේ වේ ද කවරෙකු ගේ රියෙහි ගොන්නු විඩාවට පැමිණියාහු ද මේ වාහන සමූහයෙන් කැමැති වාහනයක් යොදා ගනිත්වා.
296. කවරෙක් කුඩ කැමැත්තේ ද කවරෙක් ගඳ - මල් කැමැත්තේ ද කවරෙක් වහන් කැමැත්තේ දෑ යි මෙසේ කියමින් ඒ අංකුරගේ නිවසෙහි කපුවෝ ද අරක්කැමියෝ ද සුවඳ දෙන්නෝ ද හැම දා උදයසවස ඝෝෂා කෙරෙති.
(අංකුර සින්‍ධකට කියයි)
297. අංකුර සැපසේ නිදති යි මහජන තෙමේ මා (ගැන) දනියි. සින්‍ධකය, යම් හෙයෙකින් මම යදියන් නො දක්නෙම් ද, එහෙයින් (මම) දුකසේ නිදමි.
298. අංකුර සැපසේ නිදති යි ජන තෙමේ මා දනියි. ගුණ කියමින් යදිනවුන් (දන්සැලෙහි) මද වූකල්හි සින්‍ධකය මම දුකසේ නිදමි.
(සින්‍ධක:)
299. තව්තිසා වැසි දෙවියන්ට ද සියලු ලෝකයාට ද ප්‍රධාන වූ ශක්‍ර තෙමේ තොපට වරයක් දෙන්නේ නම් වර කැමැති වූ තෙපි කිනම් වරයක් අයදිනහු ද?
300-301. ඉඳින් තව්තිසා වැසියනට ඉසුරුවූ සක්දෙවිඳු මට වරයක් දෙන්නේ නම් මෙබඳු වරයක් සක්දෙවිඳුගෙන් පතමි. එනම්: අලුයම නගී සිටි මට හිරු උදාවන වේලෙහි ම දිව්‍යමය ආහාරයෝ පහළ වෙත්වා. යදියෝ සිල්වත් වෙත්වා. දන්දෙන මාගේ දානවස්තුව නො ගෙවේවා. දන් දී මම පසුතැවිලි නො වෙම්වා. දන්දෙමින් සිත පහදවම්වා යනු යි.
(නීති ශාස්ත්‍රයෙහි නිපුණ සෝණක:)
302. සියලු වස්තූපකරණයෙන් අන්හට නො දෙන්නේය. දන් ද දෙන්නේ ය, ධනය ද රක්නේ ය. එහෙයින් දන් දීමට වඩා ධනය ම උතුම් වෙයි. අධික දානයෙන් කුලයෝ නො පවතිත්.
303. නුවණැත්තෝ අදානයත් අතිදානයත් නො පසසත්, එහෙයින් දානයට වඩා ධනය ම උතුම් වෙයි. දීම් නො දීම් දෙක්හි සම ලෙස පවත්නේ ය, එය වූ කලි නැණැතියන් ගිය මග යි.
304. (අංකුර:) භවත, සෝනකය, මම දන් දෙන්නෙම් ම යැ. සන්හුන් තිදොර ඇති සත්පුරුෂයෝ මා ඇසුරු කෙරෙත්වා. පහත්බිම් මනා ලෙස පුරවමින් වසින මහාමේඝයක් මෙන් සියලු යදිදනන්ගේ මන දොළ සන්තර්‍පණය කෙරෙම්වා.
305. යදියන් දැක යමෙකුගේ මුඛවර්‍ණය පැහැපත් වේ ද, යමෙක් දන් දී සතුටු සිතැති වේ ද, ඒ ගෙය (එහි) වසන්නහුට සැප වේ.
306. යදියන් දැක යමකුගේ මුඛවර්‍ණය පහදී ද, දන් දී යමෙක් තුටු සිත් ඇති වේ ද, මෝ දානය පිළිබඳ සම්පත්තියි.
307. දන් දීමෙන් පෙර ම සතුටු සිත් ඇත්තේ වේ ද, දන් දෙන විටත් සිත පහදවන්නේ වේ ද, දන් දී අවසන්හිත් සතුටු සිත් ඇත්තේ වේ ද, මෝ දානයාගේ සම්පත් වේ.
308. දන් දීමෙහි ම අදහස් ඇති අංකුර රජුගේ නිවෙසෙහි ගැල් සැටදහසක අහර නිතර සත්ත්‍වවර්‍ගයාට දෙනුලැබේ.
309. මහායාග යැ යි නම් කරනු ලැබූ මේ දානයෙහි යෙදී සිටි නොයෙක් මිණිකොඬොල් පැළඳි තුන්දහසක් පමණ අරක්කැමියෝ අංකුර රජු නිසා ජීවත් වෙත්.
310. පළන් මිණි කොඬොල් ඇති සැට දහසක් තරුණ පුරුෂයෝ ඒ අංකුර රජුගේ මහාදානයෙහි දර පළත්.
311. අංකුර රජුගේ මහාදානයෙහි සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ කුළුබඩු අඹරා පිඬු කරත්.
312. අංකුර රජුගේ මහදනගැ සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ හැඳිගත් අත් ඇතිව එළඹ සිටියෝ වෙත්.
313. ඒ රජ නන් දනහට බොහෝ කලක් බොහෝ දන් දුන්නේ ය. සකස් කොට ද සියතින් ද ගරුබුහුමන් පෙරදැරි කොට පුනපුනා දුන්නේය.
314. අංකුර තෙමේ බොහෝ මාසගණනක් මුළුල්ලෙහි ද බොහෝ පක්‍ෂ ගණනක් මුළුල්ලෙහි ද බොහෝ ඍතු මුළුල්ලෙහි ද බොහෝ අවුරුදු මුළුල්ලෙහි ද දිගුකලක් මහදන් දුන්නේ ය.
315. මෙසේ අංකුර දිගුකලක් දන් දී මහායාග කොට මිනිස් සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.
316. ඒ ඉන්‍දක තරුණයා අනුරුත් තෙරුන්හට සැන්දක් පමණ බත් දී මිනිසත් බව හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.
317-318. ඉන්‍දක දෙවිඳු අංකුර දෙව්පුතුට වඩා දස කරුණෙකින් අධික වැ බබළයි. මනහර වූ රූපයෙන් ද ශබ්දයෙන් ද රසයෙන් ද සුවඳින් ද පහසින් ද ආයුෂයෙන් ද පරිවාර සම්පත්තියෙන් ද සිරුරු පැහැයෙන් ද සැපයෙන් ද ඉසුරෙන් ද ඉන්‍දක අංකුර පසුබා බබළයි.
(බුදුහු:)
319. අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි දැන් ඉතා දුර සිටිනහු, මා වෙත එවු.
320. යම් කලෙක පුරුෂෝත්තම වූ බුදුහු තව්තිසා දෙව්ලොවැ පරසතුරුක්මුලැ පඬු ඇඹුල් සලස්නේහි වුසූහු ද,
321. දසදහසක් ලෝධාහි දෙවියෝ රැස් වැ මෙර මුදුනෙහි වසන සම්බුදුන් ඇසුරු කෙරෙත්.
322. කිසි දෙවිකෙනෙක් සිරුරු පැහැයෙන් බුදුනට වඩා නො බබළති. බුදුහු ම සියලු දෙවියන් අබිබවා බබළති.
323. මේ අංකුර එකලැ දොළොස් යොදනක් පමණ දුරැ විය. ඉන්‍දක වූකලි බුදුන්හට නුදුරු තැන ම අධික වැ බබළයි.
324-325. බුදුහු අංකුර ද ඉන්‍දක ද බලා දන් පිළිගැනීමට සුදුස්සා පැහැදිලි කෙරෙමින් මේ වචන කීහු: අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි ඉතා දුරැ සිටිනහු. මා වෙත ඒවු.
326. භාවිත සිත් ඇති බුදුන් විසින් මෙහෙයුම් ලද අංකුර මේ වචනය කී ය: දක්‍ෂිණාර්‍හයන්ගෙන් හිස් වූ මාගේ දානයෙන් කවර ප්‍රයෝජන ද?
327. ඒ මේ ඉන්‍දක දෙව්පිත් සුලු දනක් දී තරුගණ මැද සඳ මෙන් අප අබිබවා බබළයි.
328. යම් සේ ඉතා තදබිම ඇති කෙතෙහි වපුළ බිජුවට බොහෝ වුව ද මහත්ඵල නො වේ ද, එය කස්සකයා නො ම සතුටු කෙරේ ද,
329. එසේ ම දුශ්ශීලයන් කෙරෙහි පිහිටුවන ලද මහාදානය මහඟු ඵල දෙන්නේ නො වේ. එය කස්සකයා නො ම සතුටු කෙරේ.
330. යම්සේ යහපත් කෙතෙකැ වපුළ බිජුවට අල්ප වුව ද වැසි දහර මොනොවට පවත්නා කලැ ඵලය (අස්වැන්න) ගොවියා සතුටු කෙරේ ද?
331. එසේ ම ධ්‍යානාදි ගුණවත් තාදී (නොසෙල්වෙන) ලක්‍ෂණයෙන් යුත් සිල්වතුන් කෙරෙහි කරන ලද පුණ්‍යෝපකාරය ස්වල්ප වුව ද මහත් ඵල ඇත්තේ වෙයි.
332. යමකු විෂයෙහි දෙන දන මහත්ඵල වේ නම් එබඳු පින්කෙත නුවණින් පිරික්සා දියයුතු ය. දායකයෝ නුවණින් පිරික්සා දන් දී සුගතියට යෙති.
333. මේ මිනිස් ලොවැ දන් පිළිගැනීමට සුදුසු යම් පුද්ගලයෝ වෙත් ද ඔවුන් නුවණින් පිරික්සා දන් දීම බුදුන් විසින් පසස්නා ලද. යහපත් කෙතෙහි වපුළ බිජුවට යම්සේ ද, එසේ ම මේ දක්‍ෂිණාර්‍හයන් විෂයෙහි දුන් දන ද මහත්ඵල වේ.
අංකුර ප්‍රේතවස්තු යි.
2. 10.
334.විවරණ වූ බියකරු දැකුම් ඇති ප්‍රෙති දිවාවිහරණයේ යෙදී ගංතෙර හුන් ඒ භික්‍ෂූහු වෙත එළඹියා.
335. ඇගේ කෙස් වැටිය ද ඉතා දිග ය. බිම දක්වා එල්බෙයි. කෙහෙයෙන් පිළිසන් වූ ඕ මහණහට මේ වචනය කීවා.
336. වහන්ස, මම යම්දවසක කලුරිය කළා වෙම් නම් එතැන් සිට පස්පනස් වසරක් මුළුල්ලෙහි අනුභව කළ අහරක් හෝ පූ පැනක් නො දනිමි. පවසින් පෙළුණෙමි. පැන් පිණිස (ඇවිදිනා) මට තෙපි පැනක් දෙවු.
(භික්‍ෂු:)
337. සිහිල් දිය ඇති මේ ගඟ හිමවත් පව්වෙන් ගලා බසී. මේ ගඟින් දිය ගෙන පානය කරව, කුමක් හෙයින් මා (ගෙන්) පැන් යදිහි ද?
(ප්‍රේතී:)
338. වහන්ස, ඉඳින් මම ගඟෙහි පැන් තොමෝ ම ගන්නෙම් නම් එය මට ලෙයට පෙරළෙයි. එහෙයින් (තොප) පැන් යදිමි.
(භික්‍ෂු:)
339. කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් ගඟ (දිය) තිට ලේ වෙයි ද?
(ප්‍රේතී:)
340-341. මාගේ උත්තර නම් පුත් සැදැහැවත් උපාසකයෙක් විය. හේ මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු ද පිණ්ඩපාතය ද සෙනසුන් සහ ගිලන් පස ද දෙයි. මසුරුකමින් පෙළුණු මම ඔහුට මෙසේ පරිභව කෙරෙමි:
342. යම් හෙයෙකින් තෙපි මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු පිණ්ඩපාත ප්‍රත්‍යය සෙනසුන් දෙවු ද?
343. “උත්තරය, මේ සියල්ල ම තොපට පරලොව දී ලේ වේවා” යනුයි. ඒ පව්කම්හි විපාකයෙන් ගඟ දිය මට ලේ වෙයි.
උත්තරමාතෘ ප්‍රේතවස්තු යි.
2. 11.
344. පෙර මා වෙත අවුත් (නූල්) ඉල්ලූ පැවිදි වූ කෙලෙසුන් සුන් (එක් පසේ බුදුවරයකුට) මම නූල් දිනිමි. ඒ දන්හි මහත් ඵලය දැන් ලැබේ. බොහෝ වූ වස්ත්‍ර යුගළයෝ මට උපදිති.
345. මලින් ගැවසුණු මනහර, නොයෙක් චිත්‍ර ඇති, නරනාරීන් විසින් සෙවුනා ලද දෙව්විමන ඒ මම පරිභෝග කරමි. කැමැති පිළියක් පොරොවාගනිමි. බොහෝ සම්පත් ඇත්තී වෙමි. ඒ ධනය ද නො පිරිහෙයි.
346. ඒ සූත්‍රදානමය පිනෙහි හේතුවෙන් සුබ විපාක වූ මේ මිහිරි සුවය මේ විමනෙහි දී ලැබේ. නැවතත් මිනිස් ලොවට ගොස් ඒ මම පින් කරන්නෙමි. ස්වාමිපුත්‍රය, මා එහි පමුණුවන්න.
347. තෙපි සත්සියවසෙකින් මතුයෙහි මෙහි ආවවු ය. (කර්‍මානුභාවයෙන් තරුණ ලෙසින් මෙතෙක් කල් සිටි තොප මිනිස් ලොවට ගියහොත්) ජරායෙන් දැදුරු වැ එහි දී මහලු වන්නවු ය. තොපගේ සියලු ම නෑයෝ ද කලුරිය කළහ. මෙතැනින් එහි ගොස් තෙපි කුමක් කරන්න වු ද?
348. ස්වාමිපුත්‍රය, මෙහි පැමිණි දෙව් සැපත් වැළඳූ මට සත්වසක් ඉක්මියේ යයි හඟිමි. ඒ මම නැවතත් මිනිස් ලොවට ගොස් පින් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්න.
349. ඒ විමාන ප්‍රේත තෙමේ මහලු වූ ඉතා දුබල වූ ඒ ස්ත්‍රිය අතින් අල්වාගෙන බලාත්කාරයෙන් මෙන් ගමට පමුණුවා මෙසේ කී ය; “පින් කරවු සුව ලැබේ”යී මෙතැන පැමිණි අනෙක් ජනයාට ද කියව.