Petavatthu

Stories of Departed Spirits

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1037 segments

පෙන්වන කොටස් 301-400 න් 1037

196. තෙපි දෙවියෙක් වහු ද, ගඳඹෙක් වහු ද? නැතහොත් පුරින්‍ද ද නම් වූ සක්දෙව් වහු ද? තෙපි කවරහු ද? කාගේ හෝ පුතෙක් වහු ද?
(මට්ටකුණ්ඩලී:)
197. තෙපි පුතු සොහොනෙහි දවා යම් පුතකු ඇරබ තෙමේ ම සොවිහූද, යමකු ඇරබ හඬවු ද, ඒ මම කුසල කර්‍මයක් කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
(අදින්නපුබ්බක:)
198. සිය ගෙහි දී (දන්) දෙන (තොපගේ) ස්වල්ප වූ හෝ බොහෝ වූ හූ දනක් හෝ එබඳු පොහෝකමක් හෝ මම නො දිටිමි. කවර කර්‍මයෙකින් තෙපි දෙව්ලොව ගියහු ද?
(මට්ටකුණ්ඩලී:)
199. (බමුණ:) මම සිය නිවෙස්හි පෙළිම් ඇතියෙම් දුක්ඛිත වූ යෙම් දැඩිගිලන් ඇතියෙම් ආතුර ස්වභාව ඇතියෙම් වීමි. ඒ මම පහවූ රාගාදි රජස් ඇති දුරු කළ සැක ඇති, සෝභන ගමන් ඇති, අලාමක නුවණ ඇති බුදුන් දුටුයෙමි.
200. ඒ මම සතුටුසිත් ඇතියෙම් පහන් සිත් ඇතියෙම් තථාගතයන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. මම ඒ පින්කම කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
(අදින්නපුබ්බක:)
201. ආශ්චර්‍ය්‍යයෙකි, පුදුමයෙකි, එකැතියෙන් ම අඤ්ජලිකර්‍මයේ මෙ බඳු විපාකයෙයැ. මමත් ප්‍රමුදිත සිතැති ව ප්‍රසන්න සිතැති ව අද ම බුදුන් සරණ යෙමි.
(මට්ටකුණ්ඩලී:)
202. පහන් සිතැති ව අද ම බුදුන් ද ධර්‍මය ද සංඝයා ද සරණ යව. එසේ ම ශික්‍ෂා පද පස ද නො කඩකොට සපුරා සමාදන් වෙව.
203. වහා පණිවායෙන් වෙන් වෙව. ලොවැ නුදුන්දෙය (ගැන්ම) දුරු කරව. මත්පැන් නො බොව, බොරු නො කියව, සිය අඹුවගෙන් ම තුටු වෙව.
(අදින්නපුබ්බක:)
204. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු, දෙවිය, තෙපි මට හිත කැමැතියහු. මම තාගේ වචනය පිළිපදිමි. තෙපි මාගේ ඇදුරු වවු.
205. මම අනුත්තර වූ බුදුන් ද ධර්‍මය ද සරණයෙමි. මම නර දෙවිහුගේ සංඝයා ද සරණ යෙමි.
206. පණිවායෙන් වහා වෙන් වෙමි. ලොවැ නුදුන්දැය (ගැනීම) දුරු කරමි. මද්‍යපයෙක් නො වෙමි. බොරු ද නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.
මට්ටකුණ්ඩලී ප්‍රේතවස්තු යි.
(ඇමති:)
207. කෘෂ්ණ රජතුමනි, නැගිටින්න. කුමක් හෙයින් නිදවු ද? තොපගේ නිදීමෙහි කවර අර්‍ත්‍ථයෙක් ද? තොපගේ හෘදය (වැනි) වූ ද, දකුණැස (වැනි) වූ ද සිය සොහොවුරු වූ යම් ඝතපණ්ඩිතයෙක් වී ද ඔහුගේ (උමතු) වාතයෝ බලවත් වූහ. කෙසව රජතුමනි, තොප සොහොවුරු “සාවකු දෙව”යි නන්දොඩයි.
208. කේසව රජ රෝහිණෙය්‍ය ඇමතිගේ එබස් අසා සෝවුරු සොවින් පෙළුණේ වෙළෙවි සැහැවි ඇතියේ නැගිට්ටේය.
209. කිමෙක් ද? උමතු ගති ඇතියකු සේ මේ මුළු ද්වාරවතී නුවර (ඇවිදිමින්) “සාවෙක්”, “සාවෙක්”යි කියමින් නන්දොඩවු. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
210. රන්මුවා වූ ද, මිණිමුවා වූ ද, ලෝමුවා වූද, යළි රිදීමුවා වූ ද, සක්-සිලා-පබළුමුවා වූ ද සාවකු තොපට කරවන්නෙමි.
211. වනය ගොදුරුබිම් කොට වෙසෙන වෙනත් සාවෝ ද වල්හි ඇත්තාහ. තොපට ඔවුනුදු ගෙනෙමි. තෙපි කෙබඳු සාවකු කැමැතියහු ද?
(ඝතපණ්ඩිත:)
212. කේසව, පොළොව ඇසුරු කරන යම් සාවෝ වෙත් නම් මම ඒ සාවුන් නො කැමැත්තෙමි. සඳමඬලින් සාවා කැමැත්තෙමි. මට ඒ සාවා ගෙන දෙව.
(කෙසව:)
213. මලණුවෙනි, ඒ තෙපි සඳින් සාවකු කැමැත්තහු නම් ඒකාන්තයෙන් නො පැතියයුත්තක් පතහු තෙපි මිහිරි දිවිය හරනහු ය.
(ඝතපණ්ඩිත:)
214. කෘෂ්ණය, තෙපි යම්සේ අන්‍යයක්හට අනුසාසනය කරවු ද ඒ අනුශාසනය එසේ ම දනිවු නම් කුමක් නිසා පෙර මළ පුතු වෙනුවෙන් අදත් ශෝක කරවු ද?
215. මිනිසකු විසින් හෝ දෙවියකු විසින් හෝ යමක් නො ලැබිය හැකි වේ නම්, මාගේ උපන් පුතා නො මැරේවා යන නො ලැබිය හැකි වූ එය කෙසේ ලැබිය හැකි ද?
216. කෘෂ්ණය, පරලොව ගිය යම් පුතකු අනුව ශෝක කරවු නම් ඒ පුතු ගෙන ඊමට මන්ත්‍රයෙකින් හෝ මුල් බෙහෙදෙකින් හෝ නන් වැදෑරුම් වූ ඔසුවලින් හෝ ධනයෙන් හෝ නො හැකි වේ.
217. මහත් ධන ඇති, මහත් සම්පත් ඇති, රට ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් රජවරු වෙත් නම් ඔහු ද අජරාමර නො වෙත්.
218. ක්‍ෂත්‍රියයෝ ය බ්‍රාහ්මණයෝ ය වෛශ්‍යයෝ ය ශුද්‍රයෝ ය සැඩොල් පුප්සඬුවෝ ය යන මොහු ද මෙයින් අන්‍යයෝ වෙත් නම් ඔහු ද තම ජාතිය නිමිත්තෙන් අජරාමර නො වෙත්.
219. යම් කෙනෙක් බ්‍රහ්මයා විසින් (බමුණන්ට) කියන ලද සඅඟින් යුත් වේදය පිරිවහත් ද වේදඥානයෙන් යුත් මොහු ද අන්‍යයෝ ද යන සියල්ලෝ ම අජරාමර නො වෙත්.
220. කයවචන දෙකින් සන්සුන් වූ සංයතසිත් ඇති තපෝගුණ යුත් යම් මුනිවරයෝ වෙත් ද රාගාදි පව් තවන ඔහු ද සුදුසු කල්හි සිරුර හැර දමත්.
221. භාවිතසිත් ඇති කොට නිමවූ සිවුමග කිස ඇති ආස්‍රව රහිත මහරහත්හු පින්පව් ගෙවීමෙන් මේ සිරුර බහා තබති.
(කෙසව:)
222. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිලගත් සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
223. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් දුරුකෙළේ ද ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුළහු ය.
224. ඒ මම උදුළ සෝහුල් ඇතියෙමි, සිහිල් වූයෙම් වෙමි, නිවුණෙම් වෙමි, සොහොවුර, තොපගේ වදන් අසා මම ශෝක නො කරමි, නො හඬමි.
225. ඝතපණ්ඩිත යම්සේ දෙටුබෑයා පුත්‍රශෝකයෙන් මුදා ලූයේ ද, එසේ ම නැණවත් කුළුණැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ද මෙසේ කරත්.
226. ඝතපණ්ඩිත යම්සේ දෙටුබෑයා සුභාෂිතයෙන් ශෝක රහිත බවට පැමිණවූයේ ද එසේ යමෙකුට මෙබඳු නැණවත් ඇමතියෝ ද සේවකයෝ ද වෙත් නම් ඔහු ද මෙබඳු වෙත්.
කෘෂ්ණ ප්‍රේතවස්තු යි.
(වෙළෙඳෝ ධනපාල ප්‍රේතයා දැක මෙසේ විචාරති:)
227. නිදුකාණෙනි, තෙපි නග්නවූ ය. විවර්‍ණ රූ ඇතියහු ය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇතියහු ය. ඉල්පුණු ඉළ ඇති කෘශ වූ තෙපි කවරහු ද?
(ධනපාල ප්‍රේතයා:)
228. පින්වත්නි, මම ප්‍රේතලෝකයෙහි උපන් දුකට පත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙම් වෙමි.
(වෙළෙඳෝ:)
229.කාවිසිමුනි තිදොරින් තොප කිනම් පවක් කරන ලද ද? කවර කර්‍මයක විපාකයෙන් (තෙපි) මෙලොවින් ප්‍රේත ලෝකයට ගියවු ද?
(ධනපාල:)
230. දසන්න රටවැසියන්ගේ එරකච්ජ යි ප්‍රසිද්ධ නුවරෙක් ඇත. මම ඉකුත් අත්බැව්හි එහි සිටුවරයෙක් වීමි. මිනිස්සු මා “ධනපාල සිටු” යයි දත්හ.
231-232. මට අමුරන් පිරූ ගැල්බර අසූවක් විය. එසේ ම මට රන් ද විය. මුතු ද වෙරළුමිණි ද බොහෝ විය. එපමණ මහත් ධනය ඇත්තාවූ ද මට දන්දීමට කැමැත්තක් නො වීය. “යදියෝ මා නො දකිත්වා”යි දොර වසා ගෙන අහර බුදිමි.
233. මම සැදැහැ නැති, මසුරුගති ඇති, තද මසුරෙක් ද මෙරමාහට පරිභව කරන්නෙක් ද වීමි. දන් දෙන්නවුන්, පින්කරන්නවුන් බොහෝ දෙන එයින් වළකාලීමි.
234-235. දීමේ විපාකයෙක් නැත. සිල්රැකීමේ ඵලයක් කොයින් වේ දැ යි කීයෙමි. පැන් පොකුණු හා ළිං ද උයන්වතු ද පැන් හල් ද දුර්‍ගයන්හි කළ ඒ දඬු ද වනසාලීමි. ඒ මම නොකළ පින් ඇතියෙම් කළ පව් ඇතියෙම් එතැනින් ච්‍යුත වූයෙමි.
236. ප්‍රේත ලෝකයට පැමිණියෙම් සාපිපාසා දෙකින් මඩනා ලද්දේ වෙමි. යම් දිනක මම කලුරිය කෙළෙම් ද (එදින පටන්) පස් පනස් වසක් මුළුල්ලෙහි, කෑ අහරක් ගැන හෝ පූ පැනක් ගැන නො දනිමි.
237. අදාන සංඛ්‍යාත යම් සංයමයක් වී ද, එය විනාශය යි. (ප්‍රේත යෝනියෙහි ඉපදවීම් සංඛ්‍යාත) යම් විනාශයක් වී ද, එය (අදාන යයි කියනු ලබන) සංයමය යි.
238. (දේයධර්‍මාපරිත්‍යාග සංඛ්‍යාත) “යම් සංයමයෙක් වේ ද එය විනාශ ය”යි ප්‍රේතයෝ ම දනිත්. මම පෙර ධනය ඇති කල්හිත් දීමෙන් වැළකී සිටියෙමි. දන් නො දිනිමි.
239. දානවස්තු ඇති කලැ ද තමහට පිහිටක් නො කෙළෙමි. ඒ මම තම පව්කම් පලයට පැමිණියෙම් (දැන්) පසුතැවිලි වෙමි.
240. සිවුමසෙකින් මතුයෙහි (මාගේ) කාලක්‍රියාව වන්නේ ය. (එකලැ) මම එකැතියෙන් කැකුළු වූ දරුණු වූ මහානිරයට වැටෙමි.
241. (එහි) කොන් සතරෙක, දොරටු සතරෙක ප්‍රමාණ කරන ලදුව කොටස් වශයෙන් බෙදන ලද යපවුරෙකින් වට කරන ලද යපියනෙකින් වසන ලදී.
242. ඒ නිරයේ අයෝමයභූමිය ගින්නෙන් දිලියෙයි. මහගිනි දැලින් යුතු වෙයි. ඒ (ගින්න) හාත්පසැ යොදුන් සියයක් තැන පැතිර හැම කල්හි සිටියි.
243. මම ඒ නිරයෙහි දිගු කලක් දුක් විඳිමි. මේ පව්කමැ ඵලයි. එයින් මම වැඩියක් ශෝක කරමි.
244. එහෙයින් මම තොපට කියමි. තොපට යහපතක් වේවා. මෙහි යම්පමණ දෙනෙක් රැස්වූහු ද ඒ තෙපි ප්‍රකට ව හෝ නොහොත් රහසැ හෝ පව්කමක් නො කරවු.
245. ඉදින් තෙපි ඒ පව්කම් මතු කරන්නවු නම් හෝ දැන් කරවු නම් හෝ අහසට නැග පලායන්නා වූ ද ඒ තොපට දුකින් මිදීමෙක් නම් නැත.
246. මවට හිතවූවෝ පියාට හිතවූවෝ කුල දෙටුවන් පුදන්නෝ වවු. ශ්‍රමණයන් පුදන්නෝ බ්‍රාහ්මණයන් පුදන්නෝ වවු. මෙසේ කරන තෙපි සුගතියට යවයි.
ධනපාල ප්‍රේතවස්තු යි.
(අජාසත් රජ ප්‍රේතයා දැක:)
247. වහන්ස, තෙපි නග්න වූ කෘශ වූ පැවිද්දෙක් වවු. කුමක් සඳහා මේ රෑ කොහි යවු ද? ඒ කරුණ මට කියවු. මට හැකි නම් තොපට හැමදෙයින් වස්තුව සපයමි.
(ප්‍රේතයා:)
248. සියලුතන්හි පතළ බරණැස් නම් නුවරෙක් ඇත. එහි මම මහත් සම්පත් ඇති, පහත් සිත් ඇති, දන් නොදෙනසුලු කාමාමිෂයෙහි ගිජුසිත් ඇති ගැහැවියෙක් වීමි. දුසිල්බව නිසා ප්‍රේතලෝකයට පැමිණියෙමි.
249. ඒ මම ඒ පව්කම් නිසා ඉදිකටුවලින් විදින්නාක් වැනි සාගින්නෙන් පෙළුණෙම් වෙමි. එහෙයින් ම අහරක් පතා නෑයන් වෙත යමි. දන් නො දෙන සුලු අය (මා මෙන්) පරලොවැදී දානයෙහි විපාකයෙක් ඇතැ යි නො අදහත්.
250. මාගේ දියැණියෝ ද “මවුපියනට හා මුතුන් මීමුතුනට ද දන් දෙමි”යි නිතර කථා කරති. පිළියෙළ කරන ලද්ද බමුණන් වළඳවති.
251. රජ තෙමේ ඒ ප්‍රේතයාට මෙසේ කීය. ඒ අහර ද වළඳා වහා එව. මම ද පූජාවක් කරමි. ඉඳින් යම් කරුණක් ඇත් නම්, ඇදහිය යුතු වූ ඒ සහේතුක වචනය මට කියව. මම එය අසමි.
252. “එසේයැ”යි කියා (හේ) දන්දෙන තැනට ගියේය. බමුණෝ බත් වැළඳූහ. නැවත හේ දෙවන වර රජගහ නුවරට පෙරළා පැමිණියේ ය. රජු ඉදිරියෙහි පහළ විය.
253. රජ තෙමේ නැවත පැමිණි ඒ ප්‍රේතයා දැක “යම් හේතුවකින් තෙපි ඉතා දිගුකලක් තෘප්ත වවු ද. ඉදින් එබඳු හේතුවක් ඇත් නම් එය මට කියවු මම ද කිසිවක් දෙමි”යි කී ය.
(ප්‍රේතයා:)
254. රජතුමනි, බුදුන් ද සඟන ද ආහාරයෙන් හා පානයෙන් ද වළඳවා සිවුරින් පුදා ඒ පින මට හිත පිණිස දුන මැනවි. එසේ කළ කලැ මම චිරකලක් තෘප්ත වෙමි.
255. එබසට අනතුරුව රජ තෙමේ එකෙණෙහි ම පහයෙන් නික්මැ මහත් දනක් සියතින් සඟනට දී ඒ සියලු පුවත බුදුන්ට කී ය. ඒ ප්‍රේතයාට ද පින් දුන්නේ ය.
256. මෙසේ පුදන ලද ඒ ප්‍රේතයා දෙව්සිරින් අතිශයින් වොරජමින් රජු ඉදිරියෙහි පහළ විය. (මෙසේද කී ය:) මම පරමිසුරට පත් දෙවියෙක්මි මගේ ඉසුරට සම ඉසුරු ඇති මිනිස්සු නැත්තාහ.
257. මාගේ මේ අපරිමිත අනුභාවය බලන්න. තොප විසින් සඟනට මහදන් දී මට පින් දෙන ලද. නරදේවය, හැම කල්හි බොහෝ දානවස්තුයෙන් නිතර තෘප්ත කරන ලද මම සුවපත් වූයෙම් යන්නෙමි.
චුල්ලසෙට්ඨි ප්‍රේතවස්තු යි.
පළමුවන බණවර නිමි.
(වෙළඳ බමුණා අංකුර වෙළෙඳහට මෙසේ කියයි:)
258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝ ද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. (එහෙයින්) අපි මොහු ගෙන යමු.
259. කැමැත්තෙන් හෝ බලාත්කාරයෙන් හෝ මේ දෙවියා අල්වා යානයක නංවාගෙන වහා ද්වාරවතී නගරයට යමු.
260. යම් ගසක සෙවණෙහි (යමෙක්) හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද (හේ) ඒ ගසේ අත්තක් නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
(බමුණා:)
261. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද, ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගසේ කඳ ද සිඳින්නේය.
(අංකුර:)
262. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් හේ ඒ ගසේ කොළයකුදු නො බිඳින්නේය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
(බමුණා:)
263. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගස සහමුලින් ම උදුරන්නේ ය.
(අංකුර:)
264. (යමෙක්) යම් පුද්ගලයකුගේ ගෙයි එක් රැයක් හෝ වෙසේ ද, යමකු සමීපයෙහි යම් පුරුෂයෙක් ආහාරපාන හෝ (යම්කිසි බොදුනක් හෝ) ලබන්නේ ද ඒ පුද්ගලයාට නපුරක් සිතිනුදු නො සිතන්නේ ය. කෘතඥභාවය වනාහි බුද්ධාදි උතුමන් විසින් වර්ණිත ද එහෙයිනි.
265. (යමෙක්) එකරැයක් හෝ යමකුගේ ගෙහි වසන්නේ වේ ද, ආහාරයෙන් පානයෙන් උපස්ථාන හෝ කරන ලද වේ ද හේ ඔහුට සිතින් හෝ නපුරක් නො සිතන්නේය. අහිංසක අත් ඇත්තේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා වනසයි.