60. මනා යැ, එසේ නම් තිට මගේ උතුරු සළුව දෙමි. මේ සළුව හැඳ ගනුව, සොඳුර මේ සළුව හැඳගෙන පිටතට එව, සොඳුර, පිටත සිටි තී දකිනු කැමැති වෙමි. එහෙයින් තෝ පිටතට නික්මෙව.
61. (ඔබ) අතින් (මා) අතට දුන් දෙය මට පරිභෝගයට නුසුදුසු ය. සම්මා සම්බුද්ධශ්‍රාවක වූ මේ සැදැහැවත් උපාසක තෙමේ මෙහි ඇත.
62. (මට දෙන වස්ත්‍රයෙන්) මේ උපාසකයා හඳවා (එයින් ලද) පින මට දෙව. එකල මම හැම සැපතින් සමෘද්ධ ව සුවපත් වෙමි.
63. ඒ වෙළෙඳෝ ඒ උවසුවා නහවා සුවඳ ගල්වා වස්ත්‍ර යුගළයෙකින් හඳවා ඒ ප්‍රේතියට එහි පින් (දක්‍ෂිණාව) දුන්හ.
64. ඇයට පින් දෙනු අනතුරු ව ම එහි විපාකය උපන. දිව්‍යමය ආහාරපාන වස්ත්‍ර ද උපන. මේ දානඵල වෙයි.
65. ඉක්බිති පිරිසිදු සිරුරු ඇති, හැඳගත් පවිත්‍ර වස්ත්‍ර ඇති, කසීසළු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරමින් (ඕ) සිනාසෙමින් විමනින් නික්මුණු. මේ දානඵල යි.
(ඇය දුටු වෙළෙඳෝ මෙසේ පුළුවුත්හ).
66. තොපගේ විමානය සිතුවම් කළ රූ ඇතියේ සිත්කලු වූයේ බබළයි. දේවිය, අප විසින් විචාරන ලද තෙපි කියව, මේ කවර කර්‍මයක විපාකයෙක් ද?
67. (ඕ මෙසේ කියයි) පිඬු පිණිස හැසිරෙන ඍජුගුණයුත් මහණක්හට මම පහන් සිතින් තෙල් මුසු මුරුවටක් දුනිමි.
68. මේ විමනෙහි දී ඒ කුශල කර්‍මයෙහි විපාකය දිගු කලක් මුළුල්ලෙහි විඳිමි. ඒ පිනෙහි විපාකය ද දැන් අල්පාවශිෂ්ට ව ඇත.
69. සිවුමසෙකින් මතුයෙහි මාගේ කාලක්‍රියා වෙයි. අනතුරුව මම ඒකාන්ත කටුක වූ දරුණු වූ අවීචිමහානිරයෙහි වටෙන්නෙමි.
70. එහි කොන් සතරකි. දොර සතරෙකි, ඒ කොටස් වශයෙන් මොනොවට බෙදන ලද ය. පමණ කරන ලද ය. අයෝමය පවුරෙකින් වට කරන ලද ය. යපියෙනකින් වසන ලදී.
71. ඒ අවීචිනිරයෙහි ජ්වලිත වූ තේජසින් යුක්ත වූ අයෝමයභූමිය හැම කල්හි හාත්පස සියක් යොදුන් පැතිරැ සිටියි.
72. මම ඒ මහානිරයෙහි දිගුකලක් දුක්වේදනා විඳිමි. පව්කම්හි ඵල ද විඳිමි. එහෙයින් මම බෙහෙවින් ශෝක කරමි යි.
ඛල්ලාටිය ප්‍රේතවස්තු යි.
1. 11.
(තෙරණුවෝ ප්‍රෙතයන් ගෙන් මෙසේ පිළිවිසිති.)
73. පෙරටුව සුදු ඇත්වාහනයෙන් එක් දෙව්පුතෙක් යයි. යළි මධ්‍යයෙහි වෙළඹුන් යෙදූ රියෙන් අන් දෙවියෙක් යයි. පසුපස දිව්‍ය කන්‍යාවක් හාත්පස දසදිගුන් බබළවමින් සිවිකාවකින් ගෙන යනු ලබයි.
74. තෙපි වනාහි මුගුරුගත් අත් ඇති ව, හඬන මුහුණු ඇති ව, බිඳුණු වෙසෙසින් බිඳුණු සිරුරු ඇති ව යන්නවු ය. යම් පව්කමෙකින් උනුන් ගේ ලේ බොන්නවූ නම් (තෙපි) මිනිස් වූවාහු කවර පව්කමක් කළහු ද?
(ප්‍රෙතයෝ පිළිතුරු දෙති.)
75. යමෙක් ඉදිරියෙහි ම සිවුපා ඇති සුදු ඇත්වාහනයෙකින් යේ ද, හේ අපගේ දෙටු පුතා වීය. දන් දී සුවපත් වැ සතුටු වෙයි.
76. යම් දෙවියෙක් මධ්‍යයෙහි සොඳුරු ගමන් ඇති වෙළඹුන් සිවුදෙනකුන් යෙදූ අස්රියෙකින් ගමන් කෙරේ ද, හේ අපගේ මැදුම් පුතා විය. නොමසුරු දානපතියෙක් වූ හේ දැන් බබළයි.
77. මුවැත්තියක මෙන් මඳලස බැලුම් ඇති පැනවත් වූ යම් දෙවඟනක් හැමට ම පසු වැ සිවි ගෙයෙකින් ගෙනයනු ලබා ද, ඕ අපගේ කනිටු දියැණි වූ. තමා ලද කොටසින් අඩක් දී සුඛිත ව සතුටු වෙයි.
78. තුලුහු පෙර පහන්සිත් ඇති වැ මහණ බමුණනට දන් දුන්හ. අපි වනාහි මහණබමුණනට පිරිහෙළා කථාකරන මසුරෝ වූම්හ. තුලුහු දන් දී දිවසිරින් ඉඳුරන් පිනවත්. අපි වැලිත් ආතපයෙහි ලූ බටගසක් මෙන් (සයින්) වියළෙම්හ.
79. තොපගේ ආහාරය කුමක් ද? තොපගේ ශයනය කෙබඳු ද? අතිශය පාපධර්‍ම ඇති තෙපි කෙසේ යැපෙහු ද? අනල්ප වූ මහත් භෝග ඇති කල්හි සැප වරදවා ගෙන අද දුකට පැමිණියහු ය.
(ප්‍රේතයෝ පිළිතුරු දෙති:)
80. අපි ඔවුනොවුනට හිංසා කොටගෙන ලෙහෙ සැරව පානය කරම්හ. බොහෝ පානය කොටත් තෘප්ත නො වම්හ. නොරුස්නමෝ වම්හ.
81. මෙපරිද්දෙන් ම නොදෙනසුලු මනුෂ්‍යයෝ පරලොව ප්‍රේතලෝකයෙහි සිටින්නාහ, වැලපෙත්. යම් මනුෂ්‍ය කෙනෙක් “භෝගයෙන් මතු සැපත් සැලසෙති”යි දැන භෝගයන් ලැබ අප මෙන් ම නොවළඳා සිටිත්, නො ද පින් කෙරෙත්.
82. ඒ ප්‍රේතයෝ දුක් එළවන කටුකඵල ඇති පව්කම් කොට පරලොව්හි සාපිපාසායෙන් මඩනා ලද්දාහු (දුකින්) දැවෙමින් බොහෝ කලක් තැවෙත්. දුක් අනුභව කෙරෙත්.
83. ධන, ධාන්‍ය ක්‍ෂණික ය. මෙලොව ජීවිතය ද ක්‍ෂණික ය. වැඩිකල් නොපවතින දේ ක්‍ෂණික යි නුවණින් දැනැත් නුවණැත්තේ තමහට ප්‍රතිෂ්ඨාව කරන්නේ ය.
84. ධර්‍මයෙහි දක්‍ෂ වූ යම් මනුෂ්‍ය කෙනෙක් මේ මෙසේ දනිත් ද, ඔහු රහතුන්ගේ වචන අසා දන් දීමෙහි නො පමා වෙත්.
නාග ප්‍රේතවස්තු යි.
1. 12.
(බමුණා මළපුතු වෙනුවෙන් ශෝක නො කිරීමේ හේතු දක්වයි:)
85. යම්සේ සර්‍පයා දිරූ සැව සියසිරුරින් හැර පියා යේ ද, එසේ ම ශරීරය නිෂ්ප්‍රයෝජන ව ආයුෂාදිය පහ වැ කලුරිය කළ කල්හි සත්ත්‍වයා සිය සිරුර හැරපියා යෙයි.
86. දවනු ලබන සිරුර නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මළ පුතු නිමිති කොට නො හඬමි. ඔහුගේ යම් ගමනෙක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
(බැමිණි ද මළපුතු වෙනුවෙන් නො හඬන කරුණ කියයි:)
87. හේ නො කැඳවන ලද්දේ පරලොවින් මෙහි ආයේ යැ. නො අනුදන්නා ලද්දේ මෙලොවින් ගියේ ය. යම්සේ ආයේ ද එසේ ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
88. දැවෙන මළසිරුර නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් තෙල පුතු ගැන නො හඬමි. ඔහුට කර්‍මානුරූප යම් ගතියක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
(මළහුගේ නැගෙණියෝ ද මෙසේ කියති:)
89. ඉදින් මම හඬනෙම් නම් කෘශ වෙමි. ඒ හැඬීමෙහි මට කවර ඵලයක් වේ ද, අපගේ ඥාති මිත්‍රසුහෘදයනට බෙහෙවින් නො ඇල්ම වන්නේ ය.
90. දැවෙන සිරුර නෑයන්ගේ හැඬීම නො දනි. එහෙයින් මම මොහු ගැන නො හඬමි. ඔහුගේ කර්‍මය පරිදි යම් ගතියක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
(ඔහුගේ බිරිඳ ද මෙසේ කියයි:)
91. යම්සේ බාල දරුවෙක් අහස්හි ගමන් කරන සඳට අඬා ද යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණ මෙබඳු ම ය.
92. දැවෙන්නේ නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේය.
(දාසිය ද මෙසේ කියයි:)
93. පින්වත් බමුණ, යම්සේ බිඳුණු දිය කළය නැවත සන්‍ධි කළ නො හැකි වේ ද, යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණත් මෙබඳු ම යැ.
94. දැවෙන්නේ නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
උරග ප්‍රේතවස්තු යි.
උරගවර්‍ගය නිමි.
එහි උද්දානය:
ඛෙත්තූපම ප්‍රේතවස්තු යැ, සූකරමුඛ ප්‍රේතවස්තු යැ, පූතිමුඛ ප්‍රේතවස්තු යැ, පිට්ඨධීතලික ප්‍රේතවස්තු යැ, තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යැ, පඤ්චපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, සත්තපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, ගෝණ ප්‍රේතවස්තු යැ, මහාපෙසකාර ප්‍රේතවස්තු යැ, ඛල්ලාටිය ප්‍රේතවස්තු යැ, නාග ප්‍රේතවස්තු යැ, උරග ප්‍රේතවස්තු යැ යි උරගවර්‍ගයෙහි ප්‍රේතවස්තු දොළසෙකි.
2. උබ්බරී වර්‍ගය
2. 1.
(සැරියුත් තෙරහු සංසාර මෝචක ප්‍රේතියගෙන් මෙසේ පුළුවුස්ති:)
95. තෝ නග්න වෙහි, දුර්වර්‍ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇත්තෙහි යැ. ඉල්පුණු ඉළ ඇටින් සහ සිහින් සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි?
(ප්‍රෙතිය මෙසේ කියයි:)
96. ස්වාමීනි මම දුකට පත්, යමලොව උපන් ප්‍රේතියක්මු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
(තෙරහු විචාරති:)
97. කය, වචන, සිත යන තිදොරින් තී විසින් කුමන පවක් කරන ලද ද? කිනම් කර්‍මයක විපාකයෙන් හෝ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙහි ද?
(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
98. ස්වාමීනි යම් කෙනෙක් පහන්සිතින් යුතු ව මහණබමුණනට “දන් දෙව”යි කියා මා මෙහෙයවත් නම් එබඳු වූ මට හිතැති පියෙක් හෝ මවක් හෝ අනෙක් නෑ කෙනෙක් හෝ මට නො වූහ.
99. එසේ පින් නො කළ හෙයින් මෙබඳු වූ ප්‍රෙතියක් වැ එතැන් පටන් නග්න වැ සාපිපාසායෙන් පෙළෙමින් අවුරුදු පන්සියයක් හැසිරෙමි. මාගේ පාපකර්‍මයෙහි මේ විපාකය වෙයි.
100. ආර්‍ය්‍යයන් වහන්ස, මම පහන්සිත් ඇති වැ ඔබ වඳිමි. මහත් අනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම් කිසිවක් දන් දී එහි පින් මට දෙන සේක්වා, වහන්ස, මා මේ දුගතියෙන් මුදන සේක්වා.
101. කාරුණික වූ ඒ සැරියුත් තෙරහු ‘මැනවැ’යි කියා ඇයට පිළිවදන් දී බත්පිඬක් ද රියනක පමණ පිළීකඩක් ද, එක පැන්තලියක් ද මහණක්හට දන්දී ඇයට ප්‍රාප්තිදානය කළහ.
102. ඒ පින්දීමට අනතුරු ව ම ඒ දානයෙහි විපාක උපන. එනම්: පිණිබොජුන් ද මනහරපිළී ද නන්වැදෑරුම් පානවර්‍ග ද ලැබිණි. මේ ප්‍රාප්තිදානයෙහි විපාක යි.
103. ඉක්බිති ස්නානයෙන් පිරිසිදු සිරුරු ඇති හන් සුදුපිළී ඇති කසීසළුවලට ද වඩා උතුම් වස්ත්‍ර ධරන විසිතුරු වස්ත්‍රාභරණ ඇති ඕ තොමෝ සැරියුත්තෙරුන් කරා එළැඹියා ය.
104. දෙව්දුව, යම්බඳු තෝ මනහර වූ ශරීරවර්‍ණයෙන් දවහත් තරුව මෙන් දසදිගුන් බබුළුවමින් මෙහි සිටිහි ද?
105. කවර හේතුවකින් තීගේ එවැනි වර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිත ඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තිට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?
106. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළවු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
(ඕ මෙසේ පිළිතුරු දෙයි)
107. ලොවැ කුළුණුගුණයුත් සැරියුත්තෙරහු පඬුවන් වූ කෘශ වූ බඩසයින් පෙළුණු, නග්න වූ, සුන්බුන්සිරුරුසිවි ඇති, දුගතියැ උපන් මා දුටහ.
108. පිඬක් පමණ අහර ද, රියනක් පමණ පිළී ද, තලියක් පමණ පැන් ද මහණුන්ට දන් දී (ඒ තෙරහු) එහි පින මට දුන්හ.
109. බත්පිඬුයෙහි විපාකය බලව, අනුන් විසින් පවා කැමති විය යුතු වූ කම්සැපතින් යුතු වැ දහසක් හවුරුදු මුළුල්ලෙහි නොයෙක් රසමසවුළෙන් යුත් බත් වළඳමි.
110. රියනක් පමණ පිළීයෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලනු මැන. නන්‍දරජුගේ විජිතයෙහි යම් පමණ පිළී වේ නම්,
111. වහන්ස,මට කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද, කොමුපිළී හා කපුපිළී ද යන හඳනා පොරෝනා පිළී එයට වඩා බොහෝ අධික ය.
112. මහත් වූ ද මාහැඟි වූ ද ඒ පිළී අහසෙහි ම එල්බෙයි. ඒ මම යම් යම් පිළී මගේ සිතට ප්‍රිය නම් එය ම හැඳ පෙරෙවැ ගනිමි.
113. පැන්තලියෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලව. ගැඹුරු සතරැස් පොකුණු (එනිසා) මැවිණි.
114. එය පහන්දියෙන් හා වැල්ලෙන් ගැවසීගත්තේ ය. යහපත් තොටින් හා සිහිල්දියෙන් යුක්ත යැ. සුවඳැති රත්පියුමින් හා හෙළ පියුමින් ගැවසී පවතී. මල් රේණුයෙන් යුත් දියෙන් පිරුණේය.
115. ඕ මම කිසිවකිනුත් බිය නැත්තී රමණය කරමි, ක්‍රීඩා කරමි, සතුටු වෙමි. ලොවැ කුළුණැති මුනිවරයකු වූ ඔබ වැඳීමට මෙහි ආමි.
සංසාරමොචක ප්‍රේතවස්තු යි.
2. 2.
(සැරියුත් තෙරහු ප්‍රේතියගෙන් මෙසේ විචාරති:)
116. තෝ නග්න යැ. දුර්වර්‍ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇතියාව, ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි ද?
(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
117-119. මම මින් පෙර ජාතිවල (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ (ස්වකීය) වැදූ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණා වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළසොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූස්ත්‍රන්ගේ ලේ ද, වණ ඇත්තවුන්ගේ, නාසය … හිස කැපූවන්ගේ යම් ලෙයක් වේ නම් එය ද ස්ත්‍රී … පුරුෂ ශරීර ආශ්‍රිත දේ ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
120. සිවුපාවුන්ගේ ද මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිහිටක් නැති ව වාසස්ථානයක් නැති ව සොහොන්යහන ම පිහිට කොට වෙසෙමි.
121. පුතණුවනි, මා සඳහා දනක් දුන මැනවි, දන් දී මට පින් දුන මැනවි. ලේ සැරව බිදීමෙන් මිදෙන්නෙම් නම් ඉතා යෙහෙක.
122. කාරුණික වූ උපතිස් තෙරහු මවගේ වචන අසා මොග්ගල්ලාන අනුරුද්ධ … කප්පින යන තෙරවරුන් ඇමතූහ. (නිමන්ත්‍රණය කළහ)
123. සිවුකිළියක් කොට සිවුදිගින් වඩනා සඟනට ඒ කිළි ද ආහාර පාන ද දුන්හ. මවට දක්‍ෂිණාව (පින්) දුන්හ.
124. පින්දීමට අනතුරු ව මැ එහි විපාකය උපන. දිව්‍යමය ආහාරපාන හා වස්ත්‍ර පහළ විය. මේ දක්‍ෂිණායෙහි ඵලය යි.
125. ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති වැ උතුම් කසීසළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළැඹියා ය.
(මුගලන් තෙරහු මෙසේ විචාරති:)
126.දෙව්දුව, යම්බඳු තෝ ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටිහි.
127. කවර හේතුවකින් තීගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිතඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ තිට උපදිත්.
128. මහත් අනුභාව ඇති දෙව්දුව, තීගෙන් විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලිසෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
129. මම මින් පෙර අනෙක් පස්වන ජාතියෙහි සැරියුත් තෙරුන්ගේ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණි වෙමි.
130. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළ - සොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූ ස්ත්‍රීන්ගේ ලෙය ද
131. වණ ඇත්තවුන්ගේ, කැපූ නාස හා හිස් ඇත්තවුන්ගේ යම් ලෙයෙක් වී නම් එය ද, ස්ත්‍රී පුරුෂ ශරීර ආශ්‍රිත දෙය ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
132. සිවුපාවුන්ගේ ද, මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිළිසරණක් නැති වැ වාසස්ථානයක් නැති වැ සොහොන් යහන ම පිහිට කොට වෙසෙමි.