802. තොප විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද, අසුරයෝ ද, එසේ ම මිනිස්හු ද දෙවියෝ ද දක්නා ලද්දාහු යැ. තෙපි තමන්ගේ පව්කම්හි විපාකය තුමූ ම දුටුවහු ය. මම තොප කිසිවකු විසින් නො දක්නා ලදු ව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. තෙපි එහි ගොස් පින් කම් කරවු.
803. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු. දෙවියෙනි, හිත කැමැත්තහු ය. තොපගේ වචනය කෙරෙමි, තෙපි මට ආචාර්‍ය්‍ය වවු.
804. මා විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද අසුරයෝ ද මනුෂ්‍යයෝ ද දෙවියෝ ද දක්නා ලදහ. තමාගේ කර්‍ම විපාකය මම් මැ දිටිමි. බොහෝ පින් කරන්නෙමි.
පාටලිපුත්ත ප්‍රේතවස්තු යි.
4. 12.
805. තොපගේ මේ පොකුණ ඉතා රමණීය යැ, සමතල යැ, මනා තොට ඇත්තේ යැ. බොහෝ දිය ඇත්තේ යැ. මොනවට පිපි මල් ඇත්තේ යැ. බමරකැලින් ගැවසී ගත්තේ ය. මේ මනහර පොකුණ තොප විසින් කෙසේ ලබන ලද ද?
806. තොපගේ මේ අඹඋයන ද මනරම් වෙයි. හැම ඍතුයෙහි සුව එළවන්නේ යැ. පල දරයි. මොනවට පිපිමල් ඇත්තේ ය. බමර ගණයාගෙන් ගැවසුණේ ය. තොප විසින් මේ විමන කෙසේ ලබන ලද දැ යි.
807. මාගේ දුව විසින් දෙන ලද ඒ දානහේතුවෙන් ඉදුණු අඹ හා පැන් ද කැඳ සහ සිත්කලු සිහිල් සෙවණද මට ලැබේ.
808. දන්දීමෙහි ද ඉන්‍ද්‍රිය දමනයෙහි ද සීල සංවරයෙහි ද සාන්දෘෂ්ටික වූ කර්‍මයත් එහි විපාකත් මෙසේ බලවු. මම ස්වාමි කුලයෙහි දැස්සක් වැ පසු වැ ඔහුගේ යෙහෙලියක් ද වීමි. දැන් මම ගෙදර අධිපති වෙමි.
පොක්ඛරණී ප්‍රේතවස්තු යි.
4. 13.
809. දායකයා යම් දෙයක් දේ ද, පරලොවැ එය ම විපාකවශයෙන් ලැබෙන්නේ නො වේ. එයට වඩා බොහෝ සැප සම්පත් ලැබේ. එහෙයින් දන් දෙන්නේ ම මැනවි. දන් දී දෙලොවැ ම දුක ඉක්මවයි. දෙලොවැ ම සැපයට පැමිණෙයි. (එහෙයින්) දන් දීමෙහි උත්සුක වවු. පමා නො වවු.
අම්බරුක්ඛ ප්‍රේතවස්තු යි.
4. 14.
810. අපි දැහැමින් ද නොදැහැමින් ද වස්තු සම්පත් රැස් කෙළෙමු. එහෙත් ඒ වස්තුව දැන් අන්‍යයෝ පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූවෝ වෙමු.
භෝගසංහරණ ප්‍රේතවස්තු යි.
4. 15.
811. ලොහොකුඹු නිරයෙහි පැසෙන අපට හැම අයුරින් සැට දහසක් අවුරුදු පිරුණේ ය. කවදා මෙදුක කෙළවර වන්නේ ද?
812. නිදුකාණෙනි, මාගේ ද තොපගේ ද දුක් විඳීමෙහි කෙළවරක් නැත. අවසානයක් කොයින් ද? අවසානයක් නො පෙනේ. ඒ එසේ මැ යි. මා විසින් ද තොප විසින් ද දරුණු පව්කමක් කරන ලදී.
813. යම්බඳු වූ අපි දානවස්තු ඇති කල්හිත් නුදුන්මෝ ද, ඒ අපි නින්‍දිත ජීවිතයක් ගත කෙළෙමු. දානවස්තු ඇති කල්හිත් තමාට පිහිටක් නො කෙළෙමු.
814. ඒ මම් වනාහි මෙයින් සැවැ මේ නිරයෙන් ගොස් මිනිසත් බවක් ලබා ගෙන යදිවදන් දන්නෙම් ශීලයෙන් යුක්ත වූයෙම් බොහෝ කුසල් කරන්නෙමි.
සෙට්ඨිපුත්ත ප්‍රේතවස්තු යි.
4. 16.
815. උමතුගති ඇත්තකු මෙන්ද භ්‍රාන්ත වූ මුවකු මෙන් ද ඔබ මොබ දුවන්නෙහි නිසැකව ම පව්කමකි. කුමක් හෙයින් මහහඬ නඟමින් හැසිරෙහි ද?
816. ස්වාමිනී, මම යමලොව උපන් දුකටපත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමි.
817. නොඅඩු වූ සැටදහසක් යකුළු හැමපසින් ම මාගේ හිසෙහි හෙයි. ඒ යකුළු මාගේ හිස් මුදුන බිඳී.
818. කයින් වචනයෙන් සිතින් තා විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මේ දුකට පැමිණියෙහි ද?
819. පිරිපුන් සැටදහසක් යකුළු හැමපසින්ම තාගේ හිසෙහි හෙයි. ඒ යකුළු තාගේ මස්තකය බිඳියි.
820. වැඩූ ඉඳුරන් ඇති රුක්මුල වැඩහුන්, භාවනා කරන කිසි ලෙසෙකිනුත් බියක් නැති සුනෙත්‍ර නම් පසේබුදුන් දිටිමි.
821. මම අතකුරු ගැසීමෙන් උන්වහන්සේගේ හිස පැළුවෙමි. ඒ පව්කම්හි විපාකයෙන් මේ දුකට පැමිණියෙමි.
822. පිරිපුන් සැටදහසක් යකුළු මාගේ හිසෙහි හැම පසින් ම හෙයි. ඒ යකුළු මාගේ හිස්මුදුන බිඳී.
823. නින්‍දිත පුරුෂය තාගේ හිසෙහි නොඅඩු වූ සැටදහසක් යකුළු හැම පසින්ම හේ ද එසේ ම ඒ යකුළු තාගේ හිස බිඳී ද, එය තාගේ කර්‍මයට අනුරූප ලෙස සිදුවන්නෙකි.
සට්ඨිකූටසහස්ස ප්‍රේතවස්තු යි.
සතර වැනි මහාවර්‍ග යි.
එහි උද්දානය:
අම්බසක්ඛර යැ සේරිස්සක යැ පිඞ්ගල යැ රේවතී යැ උච්ඡුඛාදක යැ කුමාර වස්තු දෙක යැ ගුථඛාදක වස්තු දෙක යැ ගණප්‍රේත යැ පාටලීපුත්ත යැ පොක්ඛරණී යැ අම්බරුක්ඛ යැ භෝගසංහරණ යැ සෙට්ඨිපුත්ත යැ සට්ඨිකූට යැ යි ප්‍රේතවස්තු සොළසෙකි.
ප්‍රේතවස්තුපාළි නිමි.