718. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු, දේවතාවෙනි, තෙපි මට හිත කැමැතියහු, මම තොපගේ වචනය කරමි. තෙපි මාගේ ඇදුරුහු වවු.
719. මම බුදුන් සරණ යෙමි. අනුත්තර ධර්‍මය ද (සරණයෙමි) නරදේව වූ බුදුන්ගේ සංඝයා ද සරණ යෙමි.
720. වහා පණිවායෙන් වෙන් වෙමි. ලෙව්හි අයිනාදන් දුරු කරමි. මත්පැන් නො බොන්නෙක් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව හා තුටු ද වෙමි.
721. යම් හෙයෙකින් බුදුවරුන්ගේ ශාසනයෙහි මම අලුණෙම් ද, එහෙයින් මහාවාතය හමන කල්හි බොල් මෙන් ශීග්‍රගාමී සැඩපහර ඇති නදියක තණ රොඩු මෙන් පවිටු මිසදිටු පිඹ හරිමි. වමනය කෙරෙමි.
722. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ මෙය කියා පාපදෘෂ්ටියෙන් වැළකැ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පෙරදිගට අභිමුඛ වැ රියට නැඟ ගියේ යි.
නන්‍දක පේතවස්තු යි.
4. 4.
723. ඉතා පවිටුගති ඇති දන් නො දෙනසුලු වූ රේවතිය, යම් තැනක දුගතියට ගිය නිරිසත්හු දුකින් යුක්ත වූවාහු තතනත් ද, නො වැසූ දොර ඇති ඒ නිරයට තී ගෙන යන්නෙමු.
724. ලේවන් ඇස් ඇති මහත් වූ, යමයාගේ දුත වූ ඒ යකුන් දෙදෙන මෙසේ කියා රේවතිය වෙන වෙන ම අත් අල්ලාගෙන දෙව සමූහයාගේ සමීපයට පැමිණවූහ.
725. හිරුමඬල මෙන් මනහර වූ පැහැ විහිදුවන රන්දැලින් වැසුණු පිරිසිදු සත්රුවනින් විසිතුරු වූ දෙවඟනන්ගෙන් ගැවසීගත් හිරුරැස් මෙන් බබලන මේ විමන කාගේ ද?
726. සඳුන්සුවඳ ගැල්වූ දෙවඟනෝ විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරුමඬල මෙන් පැහැපත් ව පෙනේ. ඒ විමන්හි සගපත් කවර දෙවියෙක් දෙව්සැපතින් සතුටු වේ ද?
727. බරණැස නොමසුරු වූ දානපති වූ ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා වූ නන්‍දිය නම් උපාසකයෙක් විය. දෙවඟනන්ගෙන් ගැවසුණු හිරුරැස් මෙන් බබළන තෙල විමන ඔහුගේ ය.
728. සාර වූ සඳුන් සුවඳින් අලෙව් දුන් දෙවඟන සමූහයා තෙල විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරු හා සම පැහැ ඇති ව පෙනේ. ඒ නන්‍දිය සගපත් වැ ඒ විමන්හි දෙව්සැපතින් සතුටු වේ.
729. මම නන්‍දියගේ බිරිඳ වෙමි. සියලු කුලධනයට හිමි ගෘහණියක් වීමි. දැන් මම මහිමියාගේ විමන්හි ඇලෙන්නෙමි. නිරය දක්නට පවා නො පතන්නෙමි.
730. ඉතා පව් ඇති තැනැත්තිය, තෙල නිරය තිට අයත් වෙයි. මිනිස් ලොව දී තී විසින් පින් නො කරන ලද. තදමසුරු; කිපෙනසුලු, පවිටු ගති ඇති තැනැත්තේ දෙව්ලොව උපනුන්ගේ සහබව නො මැ ලබයි.
731. කිමැ අපවිත්‍ර වූ මල ද මුත්‍ර ද පැනෙයි. මෙ දුගඳ කිමැ? තෙල හමන අසුචි ගඳ කිමැ යි.
732. රේවතිය, යම්තැනක තෝ දහස්වසක් පැසෙන්නෙහි නම්, තෙලෙ බඹසියයක් පමණ ගැඹුරු වූ ඒ සංසවක නම් නිරය යි.
733. කයින් වචනයෙන් මනසින් මා කිනම් පවක් කරන ලද ද? කිනම් පවෙකින් බඹසියයක් පමණ ගැඹුරැති මේ සංසවක නිරය ලැබුණේ ද?
734. තෝ මහණුන් ද බමුණන් ද අන් යදියන් ද මුසාවාදයෙන් රැවටුවහු ය. තී ඒ පව කරන ලද.
735. ඒ පවින් බඹසියයක් ගැඹුරැති සංසව නරකය තිට ලැබුණි. එම්බල රේවතිය, තෝ එහි දහසක් හවුරුදු පැසෙහු ය.
736. යමපල්ලෝ තීගේ අත් ද යළි පා ද සිඳිති. කන් ද යළි නැහැය ද සිඳිත්. යළි දහස් ගණන් කවුඩෝ තී වෙත අවුත් වටකොට ගෙන තීගේ මස් සල්ව සල්වා කති.
737. මා ආපසු (මනුලොවට) ගෙන යන්නහු නම් මැනවි. මම එහි දී බොහෝ පින් කරන්නෙමි. දානයෙන් ද දහම්හි හැසිරීමෙන් ද ශීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද (කල් ගෙවමි.) යමක් කොට සුවපත් වෙත් නම් පසුතැවිලි නො වෙත් නම් මම එබඳු පින් කරමි.
738. තෝ පෙර (කුසල් නො කොට) පමා වැ දැන් හඬන්නහු ය. තමා කළ අකුසල්හි විපාකය විඳින්නහු ය.
739. දෙව්ලොවින් මිනිස් ලොවට ගිය, මා විසින් විචාරන ලද කවරෙක් මෙසේ කියා ද? බහාතැබූ දඬු ඇති සිල්වත්නට දන් දෙවු. පිළි ද සෙනසුන් ද යළි අහර පැන් ද දෙවු. තදමසුරු, කිපෙනසුලු පව්ගති ඇතියෙක් දෙව්ලොවට ගියවුන්ගේ සහවාසය නො ලබයි.
740. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ, යදියන්ගේ වදන් දන්නා සිල් ඇතියක් ව දානයෙන් ද මනා පැවැත්මෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුතු වැ බොහෝ කුසල් කරන්නෙමි.
741. පුෂ්පාරාම - ඵලාරාමයන් ද රෝපණය කරන්නෙමි. දුර්‍ග මාර්‍ගයෙහි ඒදඬු පාලම් තනන්නෙමි. පහන් සිතින් යුතුවැ ළිං සහ පැන් පොකුණු ද පැන්තාලි ද කරවන්නෙමි.
742. පක්‍ෂය පිළිබඳ තුදුස්වක්දා ද පසළොස්වකදා ද අටවක්දා ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටංගයෙන් යුක්ත වූ,
743. පෙහෙවස් සමාදන් වෙමි. පන්සිල්හි නිතර සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මේ නිරාදුක මවිසින් තමන් ම දක්නා ලද යැ.
744. මෙසේ වැලපෙන ඔබැ මොබැ වැටෙමින් වෙවුලන රේවතිය යමපල්ලෝ අල්වාගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට දරුණු වූ නිරයෙහි හෙළූහ.
745. මම පෙර තදමසුරු තැනැත්තියක් වීමි. මහණ-බමුණනට අවමන් කරන්නියක් වීමි. බොරුවෙන් සැමියා රවටා දරුණු ස්වභාව ඇති තෙල සංසවක නිරයෙහි පැසෙමි.
රේවතී ප්‍රේතවස්තු යි.
4. 5.
746. වහන්ස, අනල්ප කුසලවිපාකයක් වූ මේ මහත් උක්වනය මට පහළ වැ ඇත. එහෙත් දැන් එය මගේ පරිභෝගයට නො පැමිණේ. මේ කිනම් පවක විපාකයෙක් දැ යි කියනු මැන.
747. ඒ මම යම්කිසි උක්ගසක් කෑමට වෑයම් කෙරෙම් ද, උත්සාහ දරම් ද එකල මම වෙහෙසට පැමිණෙමි. උක් පතින් කැපෙමි. ඒ මම සුන් වූ බල ඇතියෙම් බැගෑපත් වූයෙම් අතිශයින් වැලපෙමි. මේ කෙබඳු පවක විපාකයෙක් ද?
748. තවද මම වෙහෙසට පැමිණියෙම් බිම වැටෙමි. අව්වෙන් රත් වූ පොළොවෙහි මසෙකු මෙන් පෙරළෙමි. හඬන්නා වූ මාගේ දෙනෙතින් කඳුළු ගලයි. වහන්ස, මේ කිනම් කර්‍මයක විපාකයෙක් දැ යි කියනු මැනවි.
749. මම බඩසයින් පෙළුණෙම් ක්ලාන්ත වූයෙමි. පවස් ඇතියෙම් අධික පිපාසා ඇතියෙම් මිහිරි සුවයක් නො ලබමි. වහන්ස, කෙසේ උක්රස පරිහොගයක් ලබම් ද යන මේ කරුණ ඔබ විචාරමි.
750. තෙපි පෙර ජාතියෙහි මිනිස් වැ ඉපිද තුමූ මැ පව් කමක් කළහු. මම තොපට මෙකරුණ කියමි. තෙපි මෙකරුණ අසා දැනගනිවු.
751. තෙපි උක්දණ්ඩක් කමින් ගියාහු යැ. තොප පසුපසින් එක් පුරුෂයෙක් ද තොප අනුව ගියේ ය. හෙ ද උක්රසය කැමති වෙමින් තොපට කතා කළේ ය. තෙපි ඔහුට කිසිවක් නො කීවහු ය.
752. හෙ ද නොබණන තොප යැදී ය. “ආර්‍ය්‍යය, උක් දණ්ඩක් දෙව” යි තොපට කී ය. තෙපි පිටුපසින් ඔහුට උක් දණ්ඩක් දුන්නහු යැ. ඒ කර්‍මයාගේ මේ විපාකය වෙයි.
753. එසේ නම් තෙපි පිටුපසින් උක්දඬු ගනිවු. රැගෙන ඇති තාක් කව. එයින් ම තෙපි සතුටු වන්නහු ය. පහටු වන්නහු ය. ඔදවැඩි සිත් ඇති වන්නහු ය. ප්‍රමුදිත ද වන්නහු ය.
754. ඒ ප්‍රේතයා ද උක්කෙතට ගොස් පිටුපසින් උක්දඬු ගත්තේ ය. රැගෙන එය ඇති තාක් කෑවේ ය. එයින් ම හෙ සතුටු වූයේ ද පහටු වූයේ ද ඔදවැඩි සිතැත්තේ ද ප්‍රමුදිත වූයේ ද විය.
උච්ඡු ප්‍රේතවස්තු යි.
4. 6.
755. හිමවතැ එක් පසෙකැ සැවැත් නම් නුවරෙක් ඇත. එහි රජපුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වූහ යි මවිසින් අසන ලද.
756. සිත් ඇලවියයුතු වූ කම්සැපෙහි ප්‍රමත්ත වූ කාමාස්වාදයෙන් සතුටු වනසුලු වූ වත්මන් සුවයෙහි ම ගිජු වූ ඔහු දෙදෙන අනාගත සුවයක් නො බැලූහ.
757. ඔහු මේ මිනිසත් බැවින් චුත වැ පරලොවැ ප්‍රේතලෝකයට ගියහ. ඔහු තමන්ගේ පෙර අත්බැව්හි දුෂ්කෘතය (පාපකර්‍මය) දැක නොපෙනෙන සිරුරින් යුතුව මෙ නුවර සමීපයෙහි සිට මෙසේ කෑගසත්:
758. “බොහෝ දක්‍ෂිණාර්‍හයන් ඇති කල්හි දු දානවස්තු එළඹ සිටි කල්හි දු තමනට සැප එළවන පිනක් කරන්නට ඒකාන්තයෙන් නොහැකි වූම්හ.
759. “අපි යම් පව්කමෙකින් රාජකුලයෙන් චුත වැ ප්‍රෙතලොකයෙහි උපන්නමෝ සා පිපාසායෙන් මඩනා ලදුමෝ නම් එයට වඩා ලාමක වූ අන් කුමක් ඇත්තේ ද?
760. මේ මනුලොව දී පෙර යම් තැනක ස්වාමී වැ සිටියාහු ද? ඒ ප්‍රේත ලෝකයෙහි දී අස්වාමීහු වෙති. උසස්වැ සිටි ඒ මිනිස්සු පහත් වූවාහු සාපිපාසායෙන් යුතු වැ හැසිරෙත්.
761. මිනිස් තෙමේ ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැන ඉසුරු මදය දුරු කොට (කුසලයෙහි ඇලුණේ) ස්වර්‍ග ගත වෙයි. නුවණැති (ඒ) පුරුෂ කාබුන් මරණින් මතු දෙව් ලොවට පැමිණේ.
කුමාර ප්‍රේතවස්තු යි.
4. 7.
762. පෙර දැයෙහි කළ පාපකර්‍මයාගේ විපාකය (අන්‍ධබාලයන්ගේ) සිත මනරම් වූ රූප … රස … ගන්‍ධ … ස්ප්‍රෂ්ටව්‍ය හේතුයෙන් මැඩලයි.
763. බොහෝ වූ නැටුම් ගැයුම් කම්රති හා ක්‍රීඩා විඳ උයන්හි අභිරමණය කොටැ රජගහ නුවරට පිවිසෙන (රජපුත් තෙමේ)
764. දැමුණු සිත් ඇති (අර්‍හත් ඵල සමාධියෙන්) සමාහිත වූ අපිස් වූ හිරි (ලජ්ජා) යෙන් යුත් පාත්‍රගත පිඬුවායෙන් (පමණක්) සතුටු වූ සුනෙත් නම් (පසේබුදු) මහර්ෂීහු දිටී.
765. (ඒ රජපුත්) ඇතුපිටින් බැස වහන්ස, (පිණ්ඩපාතය) ලද දැ යි විචාළේ ය. ඒ රජපුත් උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඔසවා,
766. තද බිම් පෙදෙසක පාත්‍රය ගටා බිඳ සිනා සෙමින් මඳක් ඉවත් විය. (කුළුණු සිතින් බලන පසේබුදුනට මෙසේ කී). “මහණ මම කිතව රජුගේ පුත් වෙමි. මට කුමක් කරන්නෙහි දැ?”යි.
767. දරුණු වූ ඒ පාපකර්‍මයාගේ විපාකය කටුක විය. නිරයෙහි උපන් රාජපුත්‍ර යම් විපාකයක් වින්දේ ද, (එය මෙසේ ය:)
768. කළපව් ඇති (හේ) සයෙන් ගුණ කළ සුවාසූදහස් වූ නහුත ගණන් හවුරුදු මුළුල්ලෙහි නිරයෙහි බොහෝ දුකට පැමිණියේ ය.
769. (ඒ) බාලතෙමේ උඩුකුරුව ද යටිකුරුවද සිට වමැලයෙන් ද දකුණැලයෙන් ද සිට උඩුකුරුපා ඇතිව ද (කෙළින්) සිට ද බොහෝ කලක් පැසිණි.
770. කළපව් ඇති හේ නොයෙක් අවුරුදු දහස් ගණන් ද, හවුරුදු සමූහයන් ද, නහූතගණන් ද මුළුල්ලෙහි ඒ නිරයෙහි අතිශය දුඃඛයට පැමිණියේ ය.
771. කිපෙන්නවුන් කෙරෙහි නො කිපෙන මනා පැවතුම් ඇති මුනිවරයකුට ගැහැට කොට පව්කම් කරන්නෝ මෙබඳු කටුක දුක් (විඳිමින්) පැසෙත්.
772. ඒ රජපුත් ඒ නිරයෙහි බොහෝ හවුරුදු ගණන් බොහෝ දුක් විඳ එයින් ච්‍යුත වූයේ සාපිපාසා දෙකින් මඩනා ලද ප්‍රේතයෙක් විය.
773. යමෙක් ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැක ඉසුරු මදය හැර නිහතමානී වැ දිවි පවත්වා ද,
774. බුදුවරුන් කෙරෙහි ගෞරව සහිත වේ ද, ඒ පැනැති මිනිස් තෙමේ මේ අත්බැව්හි ම පැසසියයුතු වෙයි. කාබුන් මරණින් මතු දෙව්ලොවට පැමිණෙයි.
රාජපුත්‍ර ප්‍රේතවස්තු යි.
4. 8.
775. අශුචි වළෙන් උඩට නැඟී බැගෑපත් වැ සිටුනා තෙපි කවරහු ද? පව්කම් ඇති තෙපි කවරහු දැ යි මම් කෙසේ නිසැක ව අදහම් ද?
776. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගිය යමලොවට අයත් දුගී ප්‍රේතයෙක්මි.
777. කයින් වචනයෙන් මනසින් තොප කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් (තෙපි) මේ දුකට පැමිණියහු ද?
778. ඊර්‍ෂ්‍යා කරනසුලු වූ, කුලයන් කෙරෙහි මසුරු වූ, තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ, ආවාසික භික්‍ෂු නමක් මා කළ විහාරයෙහි විසී ය.
779. ඒ භික්‍ෂූහුගේ කීම් අසා මම සිල්වත් භික්‍ෂූන්ට නින්‍දා කෙළෙමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් මම මෙලොවින් ච්‍යුත ව ප්‍රේතලෝකයට ගියෙමි.
780. තොපගේ මිත්‍රස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්‍රයෙක් වී ද ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
781. කළ පව්කම් ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනෙහි මම දැන් සිටිමි. හෙ ද ප්‍රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙ කරුවෙක් විය.
782. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස් කිසක් කෙරෙම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
ගුථඛාදක ප්‍රේතවස්තු යි.
4. 9.
783. අශූචිවළෙන් නැඟී බැගෑපත් වැ සිටුනා තෝ කවරහු ද? පව්කම් ඇති තී කවරක් දැ යි මම් කෙසේ නිසැක වැ අදහම් ද?
784. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගිය යමලොවට අයත් ප්‍රේතියක්මු,
785. කයින් වචනයෙන් මනසින් තී කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් තෝ මේ දුකට පැමිණියහු ද?
786. ඊර්‍ෂ්‍යා කරනසුලු වූ කුලයන් කෙරෙහි මසුරු වූ තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ ආවාසික භික්‍ෂුනමක් මා කළ විහාරයෙහි විසී.
787. මම ඒ භික්‍ෂුහුගේ බස් අසා සිල්වත් භික්‍ෂූන්හට නින්‍දා කළමු. ඒ කර්‍මයාගේ විපාකයෙන් මම මෙලොවින් චුත වැ ප්‍රේත ලෝකයට ගියමු.
788. තීගේ මිත්‍ර ස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්‍රයෙක් වී ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
789. කළ පව්කම් ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මතුයෙහි මම දැන් සිටිමි. හෙ ද ප්‍රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙකරුවෙක් වී.
790. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මාගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස්කිසක් කරම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
ගුථඛාදක ප්‍රේතීවස්තු යි.
4. 10.
791. නිදුකාණෙනි, තෙපි නග්නහු යැ, කෘශ යැ, ඉල්පුණු නහර සහ උස් වැ නැඟුණු ඉල ඇට ඇත්තහු යැ දුර්වර්‍ණ වූ රූප ඇති ඉතා කෙට්ටු වූ තෙපි කවරහු ද?
792. ස්වාමීනි, අපි යමලොවැ උපන් දුගී වූ ප්‍රෙතයෝ වෙමු. පව් කම් කොට මෙලොවින් චුත වැ ප්‍රේතලෝකයට ගියෝ වෙමු.
793. කයින් වචනයෙන් සිතින් කිනම් පව්කමක් (තොප විසින්) කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මෙලොවින් ප්‍රේතලෝකයට ගියහු ද?
794. (කිසිවකු විසින්) නො නවත්වන ලද ගං-තළා ඈ දිය නඟන තොටුපළවල (මිනිසුන්ට අමතක වැ ගිය දෑ ලැබීමේ ලෝභයෙන් පෙළුණු සිතින්) අඩමසක් පමණ කල් අහර සොයා ඇවිද්දෙමු. (නොහොත් කිසිවකු විසින් නො වැළැක්වූ මහණ බමුණන් එළැඹ සිටිකල්හි මසුරු මලින් යුතු වැ අඩමස්සක් පමණවත් කිසිවකුට නො දෙමින් ධන රැස් කළම්හ) දියයුතු දානවස්තුව ඇති කල්හිත් තමනට පරලොව දී පිහිටවන පිනක් නො කළම්හ.
795. පවසින් පෙළුණු අපි නදියකට පැමිණෙමු නම් ඒ නදී තොමෝ දියෙන් හිස් බවට පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට පැමිණෙමු නම් එතැනට අව්ව පෙරළේ.
796. ගිනිවත් වූ වාතය ද අප (සිරුරු) දවමින් හමයි. වහන්ස, මේ දුකට ද මෙයින් අන්‍ය වූ මෙයට වඩා දරුණු දුකකට ද (අපි) සුදුසු වම්හ.
797. (අපි) සාදුකින් පෙළෙන්නමෝ අහරෙහි ගිජු වැ නොයෙක් යොදුන් ගණන් අහර සොයා යම්හ. අහරක් නො ලබා මැ නවතිමු. අපගේ පින් නැති බව ආශ්චර්‍ය්‍ය යි.
798. වෙසෙසින් පෙළුණු, මුසපත් වූ, අපි භ්‍රාන්ත වූවාහු බිම ඇදවැටෙන්නෙමු. උඩුකුරු වැ වැටුණාහු විසුරුණු අවයව ඇත්තෙමු. එහෙයින් යටිකුරු වැ වැටෙමු.
799. ඒ ගිය ගිය තැන ම වැටුණා වූ ද, නැගී සිටීමට නොහැකි වැ බිමැ වැටුණා වූ ද ඒ අපි ළයට ද හිසට ද ගසා ගනිමු. අපේ පින් නැති බව අඳෝම යි,
800. වහන්ස, මේ දුකට ද මෙයට වඩා ලාමක වූ අනෙක් දුකකට ද අපි සුදුස්සම්හ. දේයධර්‍මය ඇති කල්හිත් තමහට පිහිට වන පිනක් නො කෙළෙමු.
801. ඒ අපි මෙලොවින් ච්‍යුත වැ ගොස් මිනිස් ලොවැ උපතක් ලැබ යදියන්ගේ වදන් දන්නාසුලු වැ සීල සම්පන්න වැ ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමු.
ගණ ප්‍රේතවස්තු යි.
4. 11.