Petavatthu

Stories of Departed Spirits

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1037 segments

Showing entries 1-100 of 1037

සුත්‍රාන්තපිටකයෙහි
ප්‍රේත වස්තු පාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. උරගවර්‍ගය
1. රහත්හු කෙත වැනියහ. දායකයෝ ගොවියන් වැන්නාහ. දේයධර්‍මය (දානවස්තුව) බිජුවට වැනි ය. මේ කරුණු තුන හේතු කොට ගෙන කුසල ඵලය උපදියි.
2. (යථෝක්ත දේයධර්‍ම සංඛ්‍යාත) බීජය ද, (එහි වැපිරීම් නැමැති) ගොවිකම ද රහත් නමැති කෙත ද, යන මේ කරුණු තුන පරලොව ගියවුන්ට ද, දායකයන්ට ද උපකාර පිණිස වේ. පරලොව ගිය අය දන් දීමෙන් ලද ඒ විපාකය විඳිත්. දායකයා පිනින් වැඩෙයි.
3. (හෙ) මෙලොවැ මැ කුසල් කොට ප්‍රේතයන් ද පුදා (ප්‍රාප්තිදාන වශයෙන්) යහපත් කුසල් කොට දෙව්ලොවට පැමිණේ.
ඛෙත්තූපම ප්‍රේතවස්තු යි.
(නාරද තෙරණුවෝ මෙසේ පිළිවීසිති:)
4. තාගේ මුළුසිරුර රන්වන් ය. සියලු දික් බබුළුවයි. තාගේ මුව හූරුමුව වැන්න. තෝ පෙර කිනම් පව්කමක් කෙළෙහි ද?
(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
5. මම කයින් සංවර වූයෙමි. වචනයෙන් අසංවර වූයෙමි. නාරදයෙනි, ඔබ දක්නා පරිදි ශරීරවර්‍ණයක් මට වූයේ එහෙයිනි.
6. නාරදයෙනි, ඔබ විසින් ම මේ සිරුර දක්නාලද, එහෙයින් මම ඔබට මෙය (අවවාද වශයෙන්) කියමි: මුවින් පවක් නො කරව. හූරුමුව ඇත්තෙක් නො වව.
සූකරමුඛ ප්‍රේතවස්තු යි.
(නාරද තෙරණුවෝ මෙසේ විචාරති:)
7. තෝ දෙව්සිරුරට බඳු යහපත් සිරුරුපැහැ ඇත්තෙහි, අහසෙහි සිටින්නෙහි, එහෙත් පණුවෝ දුගඳ හමන තාගේ මුඛය සිදුරු කොට කති. පෙරදෑයෙහි (තෝ) කවර කර්‍මයක් කෙළෙහි ද?
(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
8. මම පෙර දුෂ්ටවචනයෙන් යුත් වාග්ද්වාරයෙන් අසංවර වූ ශ්‍රමණවේශධාරී පවිටුමහණෙක් වීමි. බඹසර බෙලෙන් මාගේ ශරීර වර්‍ණය ලද. පිසුනුබසින් මා මුව දුගඳ විය.
9. නාරදයෙනි, ඔබ තමන් විසින් ම මා සිරුර දක්නා ලද. කාරුණික නිපුණ වූ බුද්ධාදි උත්තමයෝ යමක් ප්‍රකාශ කළාහු නම් මම එය ම ඔබට කියමි. පිසුනුබස් නො කියන්න. මුසාවා ද නො බණින්න. එකල්හි ඔබ කැමති සැප විඳින දෙවි වන්නහු යි.
පූතිමුඛ ප්‍රේතවස්තු යි.
10. නොමසුරු තැනැත්තේ යම්කිසිවක් අරමුණු කොට දන් දෙන්නේ ය. පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෙවතු ආදියට අරක් ගත් දෙවියන් ඇරැබැ හෝ දන් දෙන්නේ ය.
11. වෛශ්‍රවණ ය, ධ්‍රතරාෂ්ට්‍ර ය, විරූපාක්‍ෂ ය, විරූඪය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙයි. ඔවුහු ද පුදන ලද්දෝ වෙත්. දායකයෝ ද නිෂ්ඵල නො වන්නෝ වෙත්.
12. මළවුන් සඳහා හැඬීමක් ශෝකයක් හෝ එයින් අන්‍ය වූ විලාප කීමක් හෝ නො කළයුතු ය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදිය ප්‍රයෝජනය පිණිස නො වෙයි. එහෙත් එසේ කරන මඳ නුවණැති නෑයෝ ද සිටිත්.
13. දායකයා විසින් දුන් මේ දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේ ය. මේ ප්‍රේතයාහට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස (දානවිපාකය) එකෙණෙහි ම පැමිණේ.
පිට්ඨධීතලික ප්‍රේතවස්තු යි.
14. (ප්‍රේතයෝ) සිය මුල් ගෙවලට පැමිණ ගෘහප්‍රාකාර භිත්තීන්හි පිටත ද තුන්මං සතරමං සන්‍ධිවල ද ගෘහවල දොරබායෙහි ද සිටිති.
15. බොහෝ ආහාරපානවර්‍ග හා කෑ යුතු බිදියයුතු දේ දානය සඳහා පිළියෙළ කළ ද ඒ ප්‍රේතයන්ගේ අකුශල කර්‍ම හේතුවෙන් කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.
16. නෑයන් අතුරෙන් ඒ ප්‍රේතයනට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු පිරිසිදු ව ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කලැ පිරිනමත්. “මේ පින ඥාතිප්‍රේතයනට පැමිණේවා. ඒ ඥාති ප්‍රෙතයෝ සුවපත් වෙත්වා”යි පින් දෙත්.
17. ඒ ඥාතිප්‍රේතයෝ ද ඒ ඒ තැන් වලින් අවුත් රැස් වූවාහු වෙති. බොහෝ වූ ආහාරපාන දානවිෂයෙහි පිදූ කල්හි එහි පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්.
18. “යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා.” අපට ද පූජා පවත්වන ලද. දායකයෝ ද යහපත් විපාක ඇත්තෝ වෙත්.
19. ඒ ප්‍රේතලෝකයෙහි ගොවිකමෙක් නැත. ගවයන් රැකීමෙක් ද නැත. (ඔවුනට සම්පත් ලැබෙන) එවැනි වෙළඳාමෙක් ද නැත. ගැනීම් විකිනීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනු දෙනුවක් ද නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙලොවින් දුන් පිනින් එහි යැපෙති.
20. උස්තැන වැටුණු වැසිදිය යම්සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන් ම මේ මිනිස්ලොවින් දුන් පින ඒ ප්‍රේතයන්ට පැමිණේ.
21. යම්සේ පිරුණු මහානදීහු සාගරය පුරවත් ද, එසේ ම මෙයින් දෙනලද පින ප්‍රේතයනට පැමිණේ.
22. “මට මේ දෙය දුන්නේ ය, මාගේ මෙනම් කටයුත්ත කෙළේ ය, අසවල් අය මාගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ” යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්‍රේතයනට පින් දෙන්නේ ය.
23. හැඬීම හෝ ශෝක කිරීම හෝ යම් අනික් විලාප කීමෙක් හෝ වේ ද, ඒ හැඞීම් ආදිය ප්‍රේතයනට හිත පිණිස නො වේ. (එහෙත්) එබඳු අවිඥ වූ නෑයෝ ද සිටිත්.
24. සංඝයා විෂයෙහි දෙන ලද මේ දක්‍ෂිණාව මැනැවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලෙහි ඒ ප්‍රේතයාට හිත පිණිස එකෙණෙහි ම එය පැමිණේ.
25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්‍මය යි. ප්‍රේතයනට මහත් වූ පූජාවක් ද කරන ලද ඒ භික්‍ෂුනට බලය ද දෙන ලද තොප විසිනුදු මහත් පිනක් රැස් කරන ලදී.
තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යි.
(සඟ තෙරහු පුළුවුස්ති:)
26. තෝ නග්න යැ. විරූප වූ පිළිකුල්කටයුතු රූපයෙන් යුක්ත යැ. තීගේ දුගඳ සිරුරෙන් කුණු ගඳ හමයි. හාත්පස මැස්සන් ගෙන් ගැවසීගත් සිරුරු ඇතියා ව, මෙහි සිටින තෝ කවරහු ද?
(ප්‍රෙතිය පිළිතුරු දෙයි.)
27. වහන්ස, දුකට පැමිණියා වූ මම යමලෝකයෙහි උපන් ප්‍රේතියක් මි. පවුකම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
28. උදයකාලයෙහි පුතුන් පස් දෙනකුන් ද නැවත සවස අනෙක් පස් දෙනකුන් ද වදා කමි. ඒ දසදරුවෝ පවා මට බඩසායට නො සෑහෙත්.
29. මා හද සයින් දැවෙයි, දුමයි. බොන්නට පැන් නො ලැබේ. විපතට පැමිණි මා බලව.
(තෙරහු යළි විචාරති.)
30. කයින් ද වචනයෙන් ද සිතින් ද කවර පවක් කරන ලද ද? කවර කර්‍මයක විපාකයෙන් දරුමස් කන්නහු ද?
(තෙරහු යළි විචාරති.)
31. මාගේ සපත්නී (සැමියාගේ අනෙක් බිරිඳ) ගර්‍භනී වූවා ය. ඇය කෙරෙහි මම පාපකර්‍මයක් කිරීමට සිතුවමු. ඒ මම දූෂිත වූ සිතින් ඇයගේ ගැබ හෙළුමු.
32. ඇයගේ දෙමස් වූ ගැබ ලෙය ම වී වැගුරුණේ ය. එකල ඇගේ මව මට කිපී නෑයන් රැස් කරවූ.
33. ඕ මා ලවා සපථ කරවූ ය. මා බියෙන් තැති ගැන්වූවා ය. ඒ මම ඉදින් මා ඒ ගර්‍භපාතනය කළා නම් මම පුත්‍රමාංස කන එකියක් මැ”යි දරුණු සපථ කොට බොරුබස් කීමි.
34. ඒ කර්‍මය සහ මුසාවාදය යන දෙක්හි ම විපාකයෙන් පූයාවෙන් සහ ලෙයින් වැකුණු සිරුරු ඇතිව දරුමස් කමි.
පඤ්චපුත්‍රඛාදක ප්‍රේතවස්තු යි.
(සඟතෙරහු මෙසේ විචාරති:)
35. නග්න වෙහි පිළිකුල් කටයුතු රූපයෙන් යුක්ත වෙහි. තීගේ දුගඳ සිරුරින් කුණුගඳ හමයි. මැස්සන්ගෙන් ගැවසුණු සිරුරු ඇත්තව. මෙහි සිටින තෝ කවර?
(ප්‍රෙතිය පිළිතුරු දෙයි.)
36. වහන්ස, දුකට පත් මම යමලොව උපන් ප්‍රේතියක්මු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.
37. උදයෙහි පුතුන් සත්දෙනකුන් ද නැවත සවස අනෙක් සත්දෙනකුන් ද වදා කමි. ඔවුහු ද මට නො සෑහෙත්.
38. මා හද සයින් දැවෙයි, දුමයි. අව්වෙහි ගින්නෙන් දැවෙන්නක මෙන් නිවීමක් නො ලබමි.
39. (තෙරහු:) කය - වචනය - සිත යන තිදොරින් තී කළ දුෂ්ට කර්‍මය කුමක් ද? කිනම් කර්‍මයක විපාකයෙන් පුත්‍රමාංශ කන්නවු ද?
40. (ප්‍රෙතිය:) පෙර මට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. දෙදෙන ම පිරිපුන් යොවුන් වයස් ඇති වූහ. පුත්‍රබලයෙන් යුත් මම සැමියා අභිභවා (යටත් කොට) සිතුවෙමු.
41. එහෙයින් සැමියා මට කිපී අන් සපත්නියක (දෙවන බිරිඳක) ගෙනාවේ ය. ඕ ද දරුගැබක් ලැබුවා. මම ඇයට පාපකර්‍මයක් (කිරීමට) සිතුවමු.
42. ඒ මම දුෂ්ට සිතින් ඇගේ ගැබ හෙළුමු. ඇගේ තෙමස් වූ ගැබ කුණුලෙයක් ව වැටිණි.
43. එකල ඇගේ මව මට කිපියා නෑයන් රැස්කරවූ ය. මා ලවා දිව්රීම ද කරවූ ය. මා බියෙන් තැති ගැන්වූ ය.
44. ඒ මම “මා එය කළා නම් මම පුත්‍රමාංශ කනු වෙම්වා”යි මෙසේ දරුණු සපථ කොට මුසවා කීමු.
45. ඒ පාපකර්‍මයාගේ ද මුසාවාදයේ ද විපාකයෙන් පූයාවෙන් සහ ලෙයින් තැවරුණු සිරුරු ඇත්තී මෙසේ දරුමස් කමි.
සත්තපුත්‍රඛාදක ප්‍රේතවස්තු යි.
(මළ ගොනා වෙනුවෙන් හඬන පුතුට පියා මෙසේ කියයි.)
46. කීම උමතු ගති ඇත්තකු මෙන් නිල් තණ කපා ගෙනවුත් පණ ගිය මහලු ගොනකුට “කව කව”යි කියන්නෙහි ද?
47. මළ ගොනා ආහාරපානයෙන් නො ම නැගිටිනේ ය. යම්සේ අන් මෝඩයෙක් ප්‍රලාප කියයි ද එසේම තෝ ද නුවණ නැති මෝඩයෙක් වෙහි.
(පුතා මෙසේ කියයි:)
48. මේ පාදයෝ යැ, මේ හිස යැ, මේ වලග සහිත කය යැ, මේ නේත්‍රයෝ යැ. (මේ සියලු අංගයෝ) පෙර මෙන් එසේ ම පවතිත්. (එහෙයින්) මේ ගොනා නැගිටින්නේ ය.
49. මුත්තණුවන්ගේ අත්පා ද කය ද හිස ද නො පෙනේ. (උන්ගේ ඇට බහා) මැටියෙන් කළ සෑයට හඬන තෙපි ම මෝඩ නොවන්නහු ද?
(එවිට පියා මෙසේ කියයි)
50. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් සෝගින්නෙන් ඇවිලෙන්නා වූ ම මාගේ සියලු චිත්තදාහය දිය ඉසින්නකු මෙන් නිවන්නේ ය.
51. යම් කුමරෙක් සොවින් පෙළුණු මාගේ පිතෘශෝකය පහ කෙළේ ද, ඔහු විසින් මා හද ඇසුරු කළ සෝ හූල ඒකාන්තයෙන් උදුරන ලද.
52. ඒ මම උදුරා දැමූ සෝක නැමැති හුල් ඇත්තෙම් වෙමි. සිහිල් වූයෙම් වෙමි. නිවුණෙම් වෙමි. තරුණය, තොපගේ වචන අසා මම ශෝක නො කරමි, නො හඬමි.
53. යම්සේ සුජාතකුමරා පියා සොවින් මුදාලූයේ ද එසේ ම නැණවත් අනුකම්පාකාරී යම් කෙනෙක් වෙත් නම් ඔවුහු ද මෙසේ කරත්, සොවින් මුදත්.
ගෝණ ප්‍රේතවස්තු යි.
(ප්‍රෙතිය දුටු මහණ දෙවියාගෙන් මෙසේ පුළුවුසී)
54 මේ ස්ත්‍රිය අශූචි සහ මූත්‍ර ද ලේ සහ සැරව ද අනුභව කරයි. මේ කිනම් කර්‍මයක විපාකයක් ද යම් ප්‍රෙතියක් හැම කල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද මේ ස්ත්‍රිය පෙර කිනම් කර්‍මයක් කළා ද?
55. මැයට දුන් යහපත් වූ ද මොළොක් වූ ද පිරිසිදු වූ ද සුවපහස් ඇත්තා වූ ද අභිනව වස්ත්‍ර ලෝහවස්ත්‍ර සමාන ය, මේ ස්ත්‍රිය පෙර කවර කර්‍මයක් කළා ද?
(දෙවියා පිළිතුරු දෙයි)
56. වහන්ස, මෝ මාගේ බිරිඳ වූ ය, ඕ නො දෙනසුලු ය, මසුරු ය. තද මසුරු වූ ය. මහණ බමුණනට දන්දෙන මට ඕ මෙසේ අක්‍රොශ කළා ය, පරිභව ද කළා ය.
57. මේ දානය තොපට පරලොව දී අශූචි ද, මුත්‍ර ද, රුධිර ද, පූයා ද වේවා, මේ වස්ත්‍ර තොපට ලෝහවස්ත්‍ර වේවා, තෙපි සැමදා ම අශූචි අනුභව කරව, මෙබඳු වූ වාග්දුශ්චරිත කොට මේ ප්‍රේතලෝකයට පැමිණ අශූචි ආදිය කයි.
මහාපෙසකාර ප්‍රේතවස්තු යි.
(ප්‍රධාන වෙළෙඳා ප්‍රෙතියගෙන් මෙසේ විචාරයි.)
58. විමන තුළ සිටින්නී කවර ස්ත්‍රියක් ද, කවර ස්ත්‍රියක් විමනින් නො නික්මෙයි ද, සොඳුර තෝ එලියට එව, මහත් ඍද්ධි ඇති තී දැකියැටියම්හ.
(ප්‍රෙතිය:)
59. නග්න ව පිටතට එන්ට දුක් වෙමි. ලජ්ජිත වෙමි. හිසකෙස් වලින් වැසුණු සිරුරු ඇති වෙමි. මා විසින් සුළු පිනක් කරන ලද.
(වෙළෙඳා)