Pali BJT512. අත්තනොහං අනත්ථාය ජීවලොකෙ අචාරිසං, පෙසුඤ්ඤාමුසාවාදෙන නිකතිවඤ්චනාය ච.
Sinhala BJT512. මම, මිනිස් ලොවැ සිටිය දී කේලාම් කීමෙන් සහ බොරු කීමෙන් ද කපටිභාවයෙන් සහ වඤ්චාවෙන් ද අවැඩ පිණිස ම හැසුරුණෙමි.
Pali BJT513. තත්ථාහං පරිසං ගන්ත්වා සච්චකාලෙ උපට්ඨිතෙ, අත්ථං ධම්මං නිරංකත්වා{1} අධම්මමනුවත්තිසං.
Sinhala BJT513. එහි දී මම පිරිස්මැදට ගොස් ඇත්ත කියන්නට සුදුසු කාලය පැමිණි විට හිතකර කාරණය හැර දමා අධර්‍මය අනුව ගියෙමි.
Pali BJT514. එවං සො ඛාදතත්තානං යො හොති පිට්ඨිමංසිකො, යථාහං අජ්ජ ඛාදාමි පිට්ඨිමංසානි අත්තනො,
Sinhala BJT514. යම්සේ අද මම මාගේ ම පිටුමස් කම් ද, එසේ ම යමෙක් අනුන් පිටුමස් කන්නේ හෙවත් අනභිමුඛයෙහි අනුනට නින්‍දා කරන්නේ වේ ද, හේ මෙසේ ම තමා කයි.
Pali BJT515. තයිදං තයා නාරද සාමං දිට්ඨං අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං, මා පෙසුනං මා ච මුසා අභාණි මා ඛොසි පිට්ඨිමංසිකො තුව’න්ති.
Sinhala BJT515. නාරද හිමියනි, තොප විසින් මාගේ රූපය තමන් ම දක්නා ලද, කුළුණැති පරවැඩෙහි සමත්, බුදු පසේ බුදු ආදී උතුමෝ යම් අවවාදයක් වදාළාහු නම් එය ම මම තොපට කියමි. පිසුනුබස් හෝ මුසවා නො කියන්න. එසේ කොට මා මෙන් පිටුමස් කන්නකු නො වන්න.
Pali BJTකූටවිනිච්ඡයිකපෙතවත්ථු නවමං.
Sinhala BJTනවවැනි කූටවිනිජයික ප්‍රේතවස්තු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(කෙබඳු පොකුණු ද යත්:)
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJT516. අන්තලික්ඛස්මිං තිට්ඨන්තො දුග්ගන්ධො පූති වායසි, මුඛඤ්ච තෙ කිමයො පුතිගන්ධංඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙ
Sinhala BJT516. අහසෙහි සිටින තෝ කුණු වූ දුගඳ හමහි. දුගඳැති තාගේ මුහුණ ද පණුවෝ කති. පෙර අත්බව්හි තෝ කිනම් පවක් කෙළෙහි ද?
Pali BJT517. තතො සත්ථං ගහෙත්වාන ඔක්කනතන්ති පුනප්පුනං, ඛරෙන පරිප්ඵොසිත්වා ඔක්කනතන්ති පුනප්පුනං.
Sinhala BJT517. එයින් මතු මුවාත් ඇති අවි ගෙන (පව්කමින් මෙහෙයවන ලද සත්ත්‍වයෝ) (තාගේ මුව) පුනපුනා කපත්. ක්‍ෂාර ජලයෙන් ඉස ඉස නැවත නැවතත් කපත්.
Pali BJT518. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡසීති.
Sinhala BJT518. කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් මේ දුකට පැමිණියෙහි ද?
Pali BJT519. අහං රාජගහෙ රම්මෙ රමණීයෙ ගිරිබ්බජෙ, ඉස්සරො ධනධඤ්ඤස්ස සුපහූතස්ස මාරිස.
Sinhala BJT519. නිදුකාණන් වහන්ස, මම රම්‍ය වූ සිත්කලු වූ ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර ඉතා බොහෝ වූ ධනධාන්‍යයට අධිපතියෙක් වීමි.
Pali BJT520. තස්සායං මෙ භරියා ච ධීතා ච සුණිසා ච මෙ, තා මාලං උප්පලඤ්චාපි පච්චග්ඝඤ්ච විලෙපනං ථූපං හරන්තියො වාරෙසිං තං පාපං පකතං මයා.
Sinhala BJT520. ඒ මාගේ (පෙර අත්බැව්හි) මෝ බිරිඳ යැ මෝ දියණි යැ මෝ මාගේ යෙහෙළි යැ. ඔවුන් මල් ද උපුල් ද අලුත් විලෙවුන් ද සෑ පුදට ගෙන යනුවන් මම වැළැක්වීමි. මා විසින් ඒ පව්කම් කරන ලද.
Pali BJT521. ඡළාසීතිසහස්සානි මයං පච්චත්තවෙදනං, ථූපපූජං විවණ්ණෙත්වා පච්චාම නිරයෙ භුසං.
Sinhala BJT521. ගණනින් සයාසූදහසක් පමණ වූ අපි මෙසේ සෑපුදෙහි නුගුණ කියා වෙන් වෙන් වැ විඳිනු ලබන මහත් දුක් ඇති වැ නිරය වැනි ප්‍රේත ලෝකයෙහි දැඩි දුක් විඳිමු.
Pali BJT522. යෙ ච ඛො ථූපපූජාය වත්තන්තෙ අරහතො මහෙ. ආදීනවං පකාසෙන්ති විවෙචයථ{1} නෙ තතො.
Sinhala BJT522. අර්‍හත් වූ සම්බුදුන්ගේ සෑපුද පිළිබඳ උළෙල පවත්නා කල්හි යම් කෙනෙක් එහි දොස් කියත්නම් ඔවුහු ඒ පිනෙන් බැහැර වෙත් යැ යි දැනගන්න.
Pali BJT523. ඉමා ච පස්ස ආයන්තියො මාලාධාරී අලඞ්කතා, මාලාවිපාකං අනුභොන්ති{2} සමිද්ධා තා යසස්සිනියො.
Sinhala BJT523. දිවමල් දරමින්, මනා ලෙස සැරසුණු, මල් පිදීමේ විපාකය විඳිමින් අහසින් එන මේ දෙවඟනන් ද බලව. පිරිවර ඇති ඔහු දෙව් සැපතින් සමෘද්ධයහ.
Pali BJT524. තඤ්ච දිස්වාන අච්ඡෙරං අබ්භුතං ලොමහංසනං, නමො කරොන්ති සප්පඤ්ඤා වන්දන්ති තං මහාමුනිං.
Sinhala BJT524. ආශ්චර්‍ය්‍ය වූ අද්භූත වූ, ලොමුදහ ගන්වන ඒ මහත් විපාක විශේෂය දැක පැනවත්හූ ඒ මහාමුනිවරයා නමස්කාර කරති, වඳිති.
Pali BJT525. සො හි නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, ථූපපූජං කරිස්සාමි අප්පමත්තො පුනප්පුනන්ති’.
Sinhala BJT525. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ නො පමා වූයෙම් පුනපුනා සෑපුද කරන්නෙමි.
Pali BJTධාතුවිවිණ්ණිකපෙතවත්ථු දසමං.
Sinhala BJTධාතුවිවණ්ණක ප්‍රේතවස්තු යි.
Pali BJTචූළවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි සුළුවග යි.
Pali BJTතස්සුද්දානං:-
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅභිජ්ජමානො කොණ්ඩඤ්ඤො රථකාරී භුසෙන ච, කුමාරො ගණිකා චෙව ද්වෙ ලුද්දා පිට්ඨපූජයො: වග්ගො තෙන පවුච්චතී’ති.
Sinhala BJTඅභිජ්ජමාන ප්‍රේත වස්තුව ද, කුණ්ඩී නුවර විසූ සානුවාසී තෙරුන් දුටු ප්‍රේතයන්ගේ වස්තුව ද, රථකාර සහ භුස ප්‍රේත වස්තුව ද, සෙරිණි නම් ගණිකා ප්‍රේතියගේ වස්තුව ද, මිගලුද්දක ප්‍රේත වස්තු දෙක ද, පිටමස් කන කූට විනිශ්චයික ප්‍රේතයාගේ සහ චෛත්‍ය පූජාවෙහි දොස් කී ධාතුවිවණ්ණක ප්‍රේතයාගේ වස්තුව ද යන මෙයින් සමන්විත හෙයින් මෙය චූළගවග්ග යි කියනු ලැබේ.
Pali BJT4. මහාවග්ගො
Sinhala BJT4. මහා වර්‍ගය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT526. වෙසාලී නාම නගරත්ථි වජ්ජීනං තත්ථ අහු ලිච්ඡවි අම්බසක්ඛරො, දිස්වාන පෙතං නගරස්ස බාහිරං තත්ථෙව පුච්ඡිත්ථ තං කාරණත්ථිකො.
Sinhala BJT526. වැදෑරජුන්ගේ විශාලා නම් නුවරෙක් ඇත. එහි “අම්බසක්ඛර” නම් ලිච්ඡවි රජෙක් විය. හේ නුවරින් පිටත ප්‍රේතයකු දැක කරුණු දැනගනු කැමැත්තේ එතැන දී ම ඒ ප්‍රේතයාගෙන් මෙසේ ඇසී ය:
Pali BJT527. සෙය්යා නිසජ්ජා නයිමස්ස අත්ථි අභික්කමො නත්ථි පටික්කමො වා{1}, අසිතපීතඛායිතවත්ථභොගා පරිචාරිකා සාපි{2} ඉමස්ස නත්ථි
Sinhala BJT527. මොහුට ශයනය කිරීමක් ද හිඳීමක් ද නැත. ඉදිරිගමනක් හෝ ආපසු ගමනක් හෝ නැත. ආහාර පාන ඛාද්‍ය වස්ත්‍ර පරිභෝග යන යම් පරිහරණයක් වේ නම් එ ද මොහුට නැත.
Pali BJT528. යෙ ඤාතකා දිට්ඨසුතා සුහජ්ජා අනුකම්පකා යස්ස පුබ්බෙ අහෙසුං{3}, දට්ඨුම්පි තෙ දානි න තං ලභන්ති විරාධිතත්තො{4} හි ජනෙන තෙන.
Sinhala BJT528. මොහුට පෙර අනුකම්පා කළ යම් නෑකෙනෙක් ද දුටුවා වූත් ඇසුවාවූත් යම් මිතුරු කෙනෙක් ද වූහු නම් ඔහු ද දැන් මොහු දක්නටවත් නො ලබත්. ඒ සියලු ජනයා විසින් හැර දැමූ අත්බවක් ඇත්තේ ම ය.
Pali BJT529. න ඔග්ගතන්තස්ස භවන්ති මිත්තා ජහන්ති මිත්තා විකලං විදිත්වා, අත්ථඤ්ච දිස්වා පරිවාරයන්ති බහූ ච මිත්තා උග්ගතත්තස්ස හොන්ති.
Sinhala BJT529. ධනහීනයාට මිතුරෝ නැත. මිතුරෝ භෝගවිනාශ වූ පුරුෂයා ද අත්හැර යෙත්. මිතුරෝ ධනය දැක ඒ ධනවතා පිරිවරා ගනිත්. ධනයෙන් උසස්වූවහුට මිතුරෝ බොහෝ වෙත්.
Pali BJT530. නිහීනත්තො සබ්බභොගෙහි කිච්ඡො සම්මක්ඛිතො සම්පරිභින්න ගත්තො, උස්සාවබින්දූව පලිප්පමානො{5} අජ්ජ සුවෙ ජීවිතස්සූපරොධො.
Sinhala BJT530. සියලු සැපතින් පිරිහුණු ආත්මභාවයක් ඇති, දුකට පැමිණි, ලෙයින් වැකුණු සිරුරින් යුත්, හුලින් බිඳුණු ගතින් යුත්, (මොහුගේ) ජීවිතයාගේ නිරෝධය තණ අග රැඳුණු පිනි බිඳක් මෙන් අද හෝ හෙට වන්නේ ය.
Pali BJT531. එතාදිසං උත්තමකිච්ඡපත්තං උත්තාසිතං පුචිමන්දස්ස සූලෙ, අත්ථ ත්වං කෙන වණ්ණෙන වදෙසි යක්ඛ ජීව භො ජීවිතමෙව සෙය්යොති.
Sinhala BJT531. එම්බල යක්‍ෂය, මෙබඳු දැඩිදුකට පත් වැ, කොසඹහුලෙහි නංවන ලද්දහුට “පින්වත, ජිවත්වෙව, ජීවිතය ම තට ශ්‍රේෂ්ඨ යයි කුමක් නිසා තෝ කියහි ද?
Pali BJT532. සාලොහිතො එස අහොසි මය්හං අහං සරාමි පුරිමාය ජාතියා, දිස්වා ච මෙ කාරුඤ්ඤමහොසි රාජ මා පාපධම්මො නිරයං පතායං.
Sinhala BJT532. (පින්වත් රජතුමනි) මේ පුරුෂයා මාගේ සහලේනෑයෙක් වීය. මම පෙරජාතිය සිහි කරමි. මොහු දැක, “පව්ගති ඇති මේ පුරුෂයා අපායෙහි නොවැටේවා”යි මට කරුණාවක් උපන.
Pali BJT533. ඉතො චුතො ලිච්ඡවි එස පොසො සත්තුස්සදං නිරයං ඝොරරූපං, උපපජ්ජති දුක්කතකම්මකාරී මහාභිතාපං කටුකං භයානකං
Sinhala BJT533. ලිච්ඡවි රජතුමනි, පව්කම් කළ මේ පුරුෂයා මෙලොවින් චුත වැ ගොස් පාපකාරී ජනයන්ගෙන් නොහොත් සත්වැදෑරුම් වධබන්‍ධනයන්ගෙන් පිරුණු, දරුණු ස්වභාව ඇති, මහත් දුකින් යුත්, කටුක වූ, භයානක වූ මහානිරයෙහි උපදින්නේ ය.
Pali BJT534. අනෙකභාගෙන ගුණෙන සෙය්යො අයමෙව සූලො නිරයෙන තෙන, එකන්තදුක්ඛං කටුකං භයානකං එකන්තතිප්පං නිරයං පතායං.
Sinhala BJT534. මෙතෙමේ ඒකාන්තදුක් වූ කටුක වූ බිය උපදවන, නියත මහාදුක් ඇති මහානිරයෙහි වැටෙන්නේ ය. ඔහුට ඒ මහානිරයට වඩා නොයෙක් ගුණයෙන් මේ හුල ම උතුම් වෙයි.
Pali BJT535. ඉදඤ්ච සුත්වා වචනං මමෙසො දුක්ඛූපනීතො විජහෙය්ය පාණං, තස්මා අහං සන්තිකෙ න භණාමි මා මෙ කතො ජීවිතස්සූපරොධො.
Sinhala BJT535. මේ තෙමේ මාගේ මේ වදන් අසා දුකට පැමිණියේ ප්‍රාණය හරින්නේ ය. එහෙයින් මා විසින් මොහුගේ ජීවිත නිරෝධයක් නොකරන ලද්දේ වේවයි සිතා එය මම මොහු ඉදිරියෙහි නො කියමි.
Pali BJT536. අඤ්ඤතො එසො පුරිසස්ස අත්ථො අඤ්ඤම්පි ඉච්ඡාමසෙ පුච්ඡිතුං තුවං, ඔකාසකම්මං සචෙ නො කරොසි පුච්ඡාමි තං න ච නො කුජ්ඣිතබ්බං.
Sinhala BJT536. මේ පුරුෂයා පිළිබඳ ඒ කාරණය මා විසින් දැනගන්නා ලද. ඉදින් තෝ අපට අවසර දෙන්නෙහි නම් අනෙක් ප්‍රශ්නයක් ද අසන්නට කැමැත්තෙමු. එය ද විචාරමි. (ඒ ගැන) අපට නො කිපිය යුතු යි.
Pali BJT537. අද්ධා පටිඤ්ඤා මෙ තදා අහු නාචික්ඛනා අප්පසන්නස්ස හොති, අකාමා සද්ධෙය්යවචොති කත්වා පුච්ඡස්සු මං කාමං යථා විසය්හං
Sinhala BJT537. එදා (අපේ ප්‍රථම දර්‍ශනයෙහි) ඒකාන්තයෙන් මාගේ ප්‍රතිඥාවක් විය. (එනම්) අප්‍රසන්නයාහට නො කිය යුතුය යනු යි. දැන් වූ කලී මම තොපගේ නො කැමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙක් වීමි. එහෙයින් තෙපි මාගෙන් කැමති සේ විචාරව. මම එය හැකි පමණින් ඔබට කියන්නෙමි.
Pali BJT538. යං කිඤ්චාහං චක්ඛුනා පස්සිස්සාමි සබ්බම්පි තාහං අභිසද්දහෙය්යං, දිස්වාන තං නොපි චෙ සද්දහෙය්යං කරෙය්යාසි මෙ යක්ඛ නියස්සකම්මං.
Sinhala BJT538. යක්‍ෂය, මම යම්කිසිවක් ඇසින් දක්නෙම් ද ඒ සියල්ල ම මම අදහන්නෙමි, ඉදින් ඇසින් දැක එය නො අදහන්නෙම් නම් මට නිග්‍රහ කර්‍මය කරව.
Pali BJT539. සච්චප්පටිඤ්ඤා තව මෙසා හොතු සුත්වාන ධම්මං ලභස්සුප්පසාදං, අඤ්ඤත්ථිකො නො ච පදුට්ඨචිත්තො යං තෙ සුතං අසුතං චාපි ධම්මං සබ්බං ආචික්ඛිස්සං යථා පජානං
Sinhala BJT539. ඔබතුමාගේ මේ ප්‍රතිඥාව මට සැබෑ වේවා. දැනගනු කැමති ව ප්‍රදූෂ්‍ය වූ සිතින් තොර වැ මා කියන ධර්‍මය අසා ප්‍රසාදය ලබන්න. ඔබ තුමන් විසින් අසන ලද්දා වූ ද, නො අසන ලද්දා වූ ද යම් ධර්‍මයක් වේ ද, ඒ සියල්ල දන්නා සැටියෙන් කියන්නෙමි.
Pali BJT540. සෙතෙන අස්සෙන අලඞ්කතෙන උපයාසි සූලාවුතකස්ස සන්තිකෙ, යානං ඉදං අබ්භුතං දස්සනෙය්යං කිස්සෙතං කම්මස්ස අයං විපාකො.
Sinhala BJT540. තෙපි ශ්වේතවර්‍ණ අශ්වයානයෙකින් හුල උන්නහු සමීපයට පැමිණෙවු ය. මේ යානය අද්භූත ය. දැකුම්කලු ය. මේ කිනම් කර්‍මයක විපාකයක් ද?
Pali BJT541. වෙසාලියා තස්ස නගරස්ස මජ්ඣෙ චික්ඛල්ලමග්ගෙ නරකං අහොසි, ගොසීසමෙකාහං පසන්නචිත්තො සෙතං ගහෙත්වා නරකස්මිං නික්ඛිපිං.
Sinhala BJT541. විශාලා නම් ඒ නගරමධ්‍යයෙහි මඩසහිත මාර්‍ගයෙහි නරාවළක් විය. මම පහන් සිතැතියෙම් සුදු වූ එක් ගවහිසක් ගෙන ඒ නාරාවළෙහි බැහූයෙමි.
Pali BJT542. එතස්මිං පාදානි පතිට්ඨපෙත්වා මයඤ්ච අඤ්ඤෙ ච අතික්කමිම්හ, යානං ඉදං අබ්භුතං දස්සනෙය්යං තස්සෙව කම්මස්ස අයං විපාකො.
Sinhala BJT542. අපි දු සෙස්සෝ ද ඒ මතුයෙහි පා තබා ගමන් කෙළෙමු. මේ යානය ඇද්භූත යැ. දැකුම්කලු යැ. ඒ කර්‍මයාගේ මේ විපාක වෙයි.
Pali BJT543. වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති ගන්ධො ච තෙ සබ්බදිසා පවායති, යක්ඛිද්ධිපත්තොසි මහානුභාවො නග්ගො චාසි කිස්ස අයං විපාකො.
Sinhala BJT543. යක්‍ෂය, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බුබුළුවයි. තාගේ ශරීර සුගන්‍ධය ද සියලු දිගුන් හමා යයි. දිව්‍ය ඍද්ධියට පැමිණි තෝ මහත් අනුභාව ඇත්තෙහි ය. යළි නිර්වස්ත්‍ර වෙහි. මේ කවර කර්‍මයක්හුගේ විපාක වේ ද?
Pali BJT544. අක්කොධනො නිච්චපසන්නචිත්තො සණ්හාහි වාචාහි ජනං ලපෙමි,{1} තස්සෙව කම්මස්ස අයං විපාකො දිබ්බො මෙ වණ්ණො සතතං පභාසති.
Sinhala BJT544. (මම) ක්‍රෝධ නොකරන්නෙම් නිති පහන්සිත් ඇතියෙම් සිලුටු බසින් ජනයාට කථා කෙරෙමි. ඒ පින්කමෙහි මේ විපාක වෙයි. දිව්‍යමය වූ මාගේ ශරීරවර්‍ණය නිතර බබළයි.
Pali BJT545. යසඤ්ච කිත්තිඤ්ච ධම්මෙ ඨිතානං දිස්වාන මන්තෙමි පසන්නචිත්තො, තස්සෙව කම්මස්ස අයං විපාකො දිබ්බො මෙ ගන්ධො සතතං පවායති.
Sinhala BJT545. ධර්‍මයෙහි පිහිටියවුන්ගේ යශස ද කීර්තිය ද දැක පහන් සිතැතියෙම් එය ගුණවශයෙන් කියමි. ඒ කර්‍මයාගේ මේ විපාක වෙයි. මා සිරුරින් දිව්‍යමය ගන්‍ධය නිතර හමයි.
Pali BJT546. සහායානං තිත්ථස්මිං නහායන්තානං{2} ථලෙ ගහෙත්වා නිදහිස්ස දුස්සං, ඛිඩ්ඩත්ථිකො නො ච පදුට්ඨචිත්තො තෙනම්හි නග්ගො කසිරා ච වුත්ති
Sinhala BJT546. තොටෙහි නහන යහළුවන්ගේ වස්ත්‍ර ගොඩ සඟවා තැබුවෙමි. එය සිනහ පිණිස ය. ප්‍රදුෂ්ට සිතින් (පැහැරගන්නා අදහසින්) නො වේ. ඒ පවින් නග්න වූයෙමි. මාගේ දිවිපැවැත්ම ද දුක් සහිත විය.
Pali BJT547. යො කීළමානො පකරොති පාපං තස්සීදිසං{3} කම්මවිපාකමාහු අකීළමානො පන යො කරොති කිං තස්ස කම්මස්ස විපාකමාහු.
Sinhala BJT547. යමෙක් කෙළි අදහස් පෙරදැරි ව පවක් කෙරේ නම් ඔහුට මෙබඳු කර්‍මවිපාකයක් වේ ය යි පණ්ඩිතයෝ කියති. යමෙක් කෙළි අදහසක් නොමැති ව දූෂිත සිතින් පව් කෙරේ නම් ඒ පාපකර්‍මයාගේ විපාකය කොපමණ කටුක වේ දැ යි (පණ්ඩිතයෝ) කීහු ද?
Pali BJT548. යෙ දුට්ඨසඞ්කප්පමානා මනුස්සා කායෙන වාචාය ච සඞ්කිලිට්ඨා, කායස්ස භෙදා අභිසම්පරායං අසංසයං තෙ නිරයං උපෙන්ති.
Sinhala BJT548. දූෂිත වූ චිත්තසංකල්පනා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් (ප්‍රාණඝාතාදියෙන්) කයින් හා වචනයෙන් කිලුටු වූවෝ වෙත් ද, ඔහු මරණින් මතු නිසැක ව ම නරකයට පැමිණෙත්.
Pali BJT549. අපරෙ පන සුගතිං ආසමානා දානෙ රතා සංගහිතත්තභාවා, කායස්ස භෙදා අභිසම්පරායං අසංසයං තෙ සුගතිං උපෙන්ති.
Sinhala BJT549. සුගතිය පතන්නා වූ අන්‍යයෝ වූකලී, දීමෙහි ඇලුණු, සංග්‍රහ කරන ලද ආත්මභාව ඇත්තෝ වෙත් ද, ඔහු කායභේදයෙන් පරලෙව්හි නිසැකව ම සුගතියට පැමිණෙත්.
Pali BJT550. තං කින්ති ජානෙය්යං අහං අවෙච්ච කල්යාණපාපස්ස අයං විපාකො, කිං වාහං දිස්වා අභිසද්දභෙය්යං කො වාපි මං සද්දහාපෙය්ය එතං
Sinhala BJT550. තා විසින් පින්පව් පිළිබඳ යම් විපාකයක් කියන ලද ද, එය මම කෙසේ දැන අදහන්නෙම් ද? මම කිනම් නිදසුනක් දැක එය ප්‍රතිඥා කරන්නෙම් ද? යළි, කවර පණ්ඩිතයෙක් එය මට විශ්වාස කරවන්නේ ද?
Pali BJT551. දිස්වා ච සුත්වා වා{1} අභිසද්දහස්සු කල්යාණපාපෙ උභයෙ අසන්තෙ කල්යාණපාපස්ස අයං විපාකො, සියා නු සත්තා සුගතා දුග්ගතා වා.
Sinhala BJT551. කුශලාකුශල කර්‍මයාගේ විපාකය මේ යයි ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැක හෝ අසා එය අදහවු. පින්පව් යන දෙවැදෑරුම් කර්‍මයන් නොමැති කල සත්ත්‍වයෝ සුගතියට හෝ ගියෝ ය. දුගතියට හෝ ගියෝ ය යි මෙය කෙසේ වන්නේ ද?
Pali BJT552. නො චෙත්ථ කම්මානි කරෙය්යුං මච්චා කල්යාණපාපානි මනුස්සලොකෙ, නාහෙසුං සත්තා සුගතා දුග්ගතා වා හීනප්පණීතා ච මනුස්සලොකෙ.
Sinhala BJT552. මේ මිනිස්ලොවැ මිනිස්සු පින්පව් නොකරන්නාහු නම්, සුගතියට හෝ දුගතියට ගිය සත්‍වයෝ නො වෙත්. මිනිස්ලොවැ උසස් පහත් අය ද නො වෙති.
Pali BJT553. යස්මා ච කම්මානි කරොන්ති මච්චා කල්යාණපාපානි මනුස්සලොකෙ, තස්මා හි සත්තා සුගතා දුග්ගතාවා හීනප්පණීතා ච මනුස්සලොකෙ
Sinhala BJT553. යම් හෙයෙකින් මිනිස් ලොවැ මිනිස්සු පින්පව් කරන්නාහු ද එහෙයින් සුගතියට සහ දුගතියට ගිය සත්‍වයෝ ද වෙත්. මිනිස් ලොවැ උස්පහත් අය ද වෙත්.
Pali BJT554. ද්වයජ්ජ කම්මානං විපාකමාහු සුඛස්ස දුක්ඛස්ස ච වෙදනීයං, තා දෙවතායො පරිචාරයන්ති පච්චෙන්ති{2} බාලා ද්වයතං අපස්සිනො.
Sinhala BJT554. සැප - දුක් විඳීමට සුදුසු වූ කුශලාකුශල කර්‍මයන්ගේ දෙවැදෑරුම් විපාකය දැන් කීහු. එනම්: පින්කළාහූ දෙවියෝ වැ පසිඳුරන් පිනවත්. අඥානයෝ කුශලාකුශලයන්හි ඵල නො දක්නාහු පව්කම් කොට නිරයෙහි පැසෙත්.
Pali BJT555. නමත්ථි කම්මානි සයං කතානි දත්වාපි මෙ නත්ථි සො ආදිසෙය්ය, අච්ඡාදනං සයනමථන්නපානං තෙනම්හි නග්ගො කසිරා ච වුත්ති.
Sinhala BJT555. තමා විසින් පෙර කළ පින්කම් ද මට නැත. යලි, වස්ත්‍ර ද සෙනසුන් ද ආහාරපාන ද (යමෙක්) දන් දී ඒ පින මට පමුණුවන්නේ නම් එබන්දෙක් ද මට නැත. එහෙයින් මම නග්න ද දුක් සහිත පැවතුම් ඇත්තෙම් ද වෙමි.
Pali BJT556. සියා නු ඛො කාරණං කිඤ්ච යක්ඛ අච්ඡාදනං යෙන තුවං ලභෙථ, ආචික්ඛ මෙතං යදත්ථි හෙතු සද්ධායිතං හෙතු වචො සුණොම.
Sinhala BJT556. ප්‍රේතය යම් හෙයෙකින් තෝ වස්ත්‍ර ලබන්නෙහි නම් එබඳු වූ කිසි කාරණයක් වන්නේ ද, ඉදින් එබඳු හේතුවක් ඇත් නම් විශ්වාස කළ හැකි වූ ඒ හේතුව මට කියව. ඒ හේතු සහිත වචනය මම ශ්‍රවණය කරමි.
Pali BJT557. කප්පිනකො{3} නාම ඉධත්ථි භික්ඛු ඣායී සුසීලො අරහා විමුත්තො. ගුත්තින්ද්රියො සංවුතපාතිමොක්ඛො සීතීභූතො උත්තමදිට්ඨිපත්තො.
Sinhala BJT557. මේ සමීපයෙහි ධ්‍යාන කරන සුලු වූ සිල්වත් වූ කප්පිනක නම් රහත් භික්‍ෂුනමක් ඇත. හේ කෙලෙසුන්ගෙන් මිදුණේ ය. සංවෘත ඉන්‍ද්‍රිය ඇත්තේ ය. සුරක්‍ෂිත ප්‍රාතිමෝක්‍ෂ ඇත්තේ ය. (ක්ලේශදරථාපගමයෙන්) සිහිල් ය. උතුම් සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත ය.
Pali BJT558. සඛිලො වදඤ්ඤූ සුවචො සුමුඛො ස්වාගමො සුප්පටිමුත්තකො ච, පුඤ්ඤස්ස ඛෙත්තං අරණවිහාරී දෙවමනුස්සානඤ්ච දක්ඛිණෙය්යො.
Sinhala BJT558. මොළොක් ගුණ ඇති දන් දෙනසුලු මනා වචන ඇති නොහොත් කීකරු වූ යහපත් මුහුණක් ඇති මැනැවින් දත් ආගම ධර්‍මය ඇති පමණ දැන කථා කරන පින් කෙතක් වූ මෛත්‍රීවිහරණ ඇති ඒ මහණ දෙව්මිනිසුන්ගේ දක්‍ෂිණාවට සුදුස්සෙකි.
Pali BJT559. සන්තො විධූමො අනීඝො නිරාසො මුත්තො විසල්ලො අමමො අවඞ්කො, නිරූපධි සබ්බපපඤ්ච ඛීණො තිස්සො විජ්ජා අනුප්පත්තො ජූතීමා.
Sinhala BJT559. සන්හුන් කෙලෙස් ඇති, පහවූ මිථ්‍යාවිතර්‍ක ධූම ඇති, නිදුක් වූ, ආශා රහිත, සියලු භවදුකින් මිදුණු, පහවූ රාගාදිහුල් ඇති, මමත්‍වයෙන් තොර වූ, අවංක වූ, උපධි රහිත වූ, නැසූ සියලු ප්‍රපඤ්ච ඇති, ත්‍රිවිද්‍යාවට පිළිවෙළින් පැමිණි, ඥාන ද්‍යුතියෙන් දීප්තිමත් වූ,
Pali BJT560. අප්පඤ්ඤාතො දිස්වාපි න සුජානො මුනීති නං වජ්ජිසු වොහරන්ති, ජානන්ති තං යක්ඛභූතා අනෙජං කල්යාණධම්මං විචරන්ති{1} ලොකෙ.
Sinhala BJT560. අප්‍රකට වූ, දැක ද “මෙබඳු කෙනෙකැ” යි සුවසේ නො දත හැකි භික්‍ෂුනමකි හේ. වැදෑරජුන් අතර මුනිවරයෙකැ යි කියනු ලැබේ. ලෝකයෙහි යක්‍ෂ භූතයෝ ද තෘෂ්ණා රහිත වූ ශීලාදි යහපත් ගුණැති ඒ භික්‍ෂු නම “රහත්” යයි දනිත්. ගුණ කියමින් හැසිරෙත්.
Pali BJT561. තස්ස තුවං එකං යුගං දුවෙ වා මමුද්දිසිත්වාන සචෙ දදෙථ, පටිග්ගහීතානි ච තානි අස්සු මමඤ්ච පස්සෙථ සන්නද්ධදුස්සං.
Sinhala BJT561. තෙපි ඒ කප්පිනක මහතෙරුන්හට එක් පිළී සඟලක් හෝ දෙකක් හෝ මා උදෙසා දෙන්නේ නම් ඒ තෙරුන් විසින් ද ඒ පිළී පිළිගන්නා ලද්දේ නම් එවිට මනාව හැඳ පෙරවූ පිළී ඇති මා ද තෙපි දක්නහු ය.
Pali BJT562. කස්මිං පදෙසෙ සමණං වසන්තං ගන්ත්වාන පස්සෙමු මයං ඉදානි, සමජ්ජ{2} කඞ්ඛං විචිකිච්ඡිතඤ්ච දිට්ඨිවිසූකානි ච කො විනොදයෙ.{3}
Sinhala BJT562. කිනම් පෙදෙසක වසන ඒ මහණහු වෙත දැන් අපි ගොස් දක්නෙමු ද, ඒ කවරෙක් අපගේ සැකය ද විචිකිත්සාව හා මිථ්‍යාදෘෂ්ටි නැමැති හුල් ද දුරු කරන්නේ ද?
Pali BJT563. එසො නිසින්නො කපිනච්චනායං පරිවාරිතො දෙවතාහි බහූහි. ධම්මිං යථං භාසති සච්චනාමො සකස්මිමාචෙරකෙ අප්පමත්තො.
Sinhala BJT563. කපිනච්චනා නම් පෙදෙසෙහි වැඩහුන් සත්‍යනාම ඇති ස්වකීය ආචාර්‍ය්‍ය විනයෙහි නොපමා වූ ඒ කප්පිනක මහණ තෙමේ බොහෝ දෙවියන් විසින් පිරිවරන ලද්දේ දැහැමි කථා කියයි.
Pali BJT564. තථාහං කස්සාමි ගන්ත්වා ඉදානි අච්ඡාදයිස්සං සමණං යුගෙන, පටිග්ගහීතානි ච තානි අස්සු තුවඤ්ච පස්සෙමු සන්නද්ධ දුස්සං.
Sinhala BJT564. “මම එසේ කරන්නෙමි. දැන් ඒ මහණහු වෙත ගොස් උන්වහන්සේ පිළිසඟළකින් හදවන්නෙමි. ඒ පිළී ඒ මහණ විසින් පිළිගන්නා ලද නම් පිළියෙන් සැරසුණු තා ද දක්නෙමු.
Pali BJT565. මා අක්ඛණෙ පබ්බජිතං උපාගමි සාධු වො ලිච්ඡවි නෙස ධම්මො, තතො ච කාලෙ උපසඞ්කමිත්වා තත්ථෙව පස්සාහි රහො නිසින්නං.
Sinhala BJT565. පින්වත් ලිච්ඡවි රජතුමනි, නුසුදුසු කලැ පැවිද්දහු වෙත නො එළඹෙන්නේ මැනැවි. නො කල්හි එළැඹීම රජුන් වූ තොපගේ ධර්‍මය නො වේ. එහෙයින් සුදුසුකල්හි එලඹැ එතන්හි මැ රහෝගත වැ හුන් තෙරහු බලව.
Pali BJT566. තථාති වත්වා අගමාසි තත්ථ පරිවාරිතො දාසගණෙන ලිච්ඡවි, සො තං නගරං උපසඞ්කමිත්වා වාසූපගච්ඡිත්ථ සකෙ නිවෙසනෙ.
Sinhala BJT566. ඒ ලිච්ඡවි රජතුමා “එසේය”යි කියා දාසගණයා විසින් පිරිවරන ලදුවැ එහි ගියේ ය. ඒ නුවරට පැමිණ සිය නිවසෙහි විසීමට එළැඹියේ ය.
Pali BJT567. තතො ච කාලෙ ගිහිකිච්චානි කත්වා නහාත්වා පිවිත්වා ච ඛණං ලභිත්වා, විචෙය්ය පෙළාතො යුගානි අට්ඨ ගාහාපයී දාසගණෙන ලිච්ඡවි.
Sinhala BJT567. ඉක්බිති ලිච්ඡවි රජ සුදුසු කාලයෙහි ගිහිකෘත්‍යයන් කොට දිය නා කා බී යහපත් මොහොතක් ලැබ පෙට්ටියෙන් පිළිසඟල අටක් තෝරා ගෙන දාසගණයා ලවා ගන්වා ගෙන ගියේ ය.
Pali BJT568. සො තං පදෙසං උපසඞ්කමිත්වා තමද්දසා සමණං සන්තචිත්තං, පටික්කමන්තං ගොචරතො නිවත්තං සීතීභූතං රුක්ඛමූලෙ නිසින්නං.
Sinhala BJT568. එරජ ඒ පෙදෙසට එළඹ සන්හුන් සිතැති පිණ්ඩපාතයෙන් පෙරළා එන, ගොදුරුගමින් නැවතුණු, සිහිල්වූ, රුක්මුල්හි හුන් ඒ මහණහු දිටී.
Pali BJT569. තමෙනං අවොච උපසඞ්කමිත්වා අප්පාබාධං ඵාසුවිහාරඤ්ච පුච්ඡි. වෙසාලියං ලිච්ඡවිහං භදන්තෙ ජානන්ති මං ලිච්ඡවි අම්බසක්ඛරො.
Sinhala BJT569. උන්වහන්සේ වෙත එළැඹ නීරෝගබව ද ඵාසුවිහරණය ද විචාළේ ය. “වහන්ස, මම විශාලා මහනුවර ලිච්ඡවි රජ වෙමි. අම්බසක්ඛර නම් වූ ලිච්ඡවි රජ යයි ජනයෝ මා දනිත්” යයි කී ය.
Pali BJT570. ඉමානි මෙ අට්ඨයුගා සුභානි පතිගණ්හ භන්තෙ පදදාමි තුය්හං. තෙනෙව අත්ථෙන ඉධාගතොස්මි යථා අහං අත්තමනො භවෙය්යං.
Sinhala BJT570. වහන්ස, මනහර වූ මේ අට පිළිසඟළ පිළිගන්න. මම මෙය ඔබවහන්සේට දෙමි. යම්සේ මම සතුටු වෙම් ද ඒ කරුණෙන් ම මම මෙහි පැමිණියෙමි.
Pali BJT571. දූරතොව සමණා බ්රාහ්මණා ච නිවෙසනං තෙ පරිවජ්ජයන්ති, පත්තානි භිජ්ජන්ති ච තෙ නිවෙසනෙ සඞ්ඝාටියො චාපි විපාටයන්ති.{1}
Sinhala BJT571. ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද තොපගේ නිවෙස දුරින් ම දුරු කරත්. තොපගේ ගේ සමීපයෙහි දී පාත්‍රයෝ බිඳෙත්, සඟළ සිවුරු ද ඉරාදමත්.
Pali BJT572. අථාපරෙ පාදකුඨාරිකාභි අවංසිරා සමණා පාතයන්ති, එතාදිසං පබ්බජිතා විහෙසං තයා කතං සමණා පාපුණන්ති.
Sinhala BJT572. යළි පා නැමැති කෙටේරිවලින් සමහර මහණහු හිස යටිකුරු කොට හෙළනු ලැබෙති. පැවිදි වූ මහණහු තොප කළ මෙබඳු වෙහෙසට පැමිණෙත්.
Pali BJT573. තිණෙන තෙලම්පි නත්වං අදාසි මූළ්හස්ස මග්ගම්පි න පාවදාසි, අන්ධස්ස දණ්ඩං සයමාදියාසි එතාදිසො කදරියො අසංවුතො{2} අථ ත්වං කෙන වණ්ණෙන කිමෙව දිස්වා අම්හෙහි සහ සංවිභාගං කරොසි,
Sinhala BJT573. තෙපි තණ අගින් තෙල් බිඳකුදු නුදුන්නහු ය. මංමුළා වූවකු හට මග දු නො කීවහු ය. අන්‍ධයාගේ සැරයටිය තුමූ ම පැහැර ගත්තහු ය. මෙබඳු තදමසුරු වූ නො හික්මුණු තෙපි යළි කවර ගුණයකින් කුමක් දැක අප සමග සංවිභාග කරහු ද?
Pali BJT574. පච්චෙමි භන්තෙ යං ත්වං වදෙසි විහෙසයිං සමණෙ බ්රාහ්මණෙ ච, ඛිඩ්ඪත්ථිකො නො ච පදුට්ඨචිත්තො එතම්පි මෙ දුක්කටමෙව භන්තෙ.
Sinhala BJT574. වහන්ස, තෙපි යමක් කීවහු නම් මම එය පිළිගනිමි. ක්‍රීඩා සිත් ඇතිව දූෂිත සිතින් තොර වැ මම මහණ බමුණනට වෙහෙස කෙළෙමි. වහන්ස, මෙ ද මා කළ නපුරෙකි.
Pali BJT575. ඛිඩ්ඩාය යක්ඛො පසවිත්ව පාපං වෙදෙති දුක්ඛං අසමත්තභොගී, දහරො යුවා නග්ගනියස්ස භාගී කිංසු තතො දුක්ඛතරස්ස හොති.
Sinhala BJT575. කෙළිසිතින් පව් රැස් කොට එක් ප්‍රේතයෙක් අසම්පූර්‍ණ භෝග ඇත්තේ යෞවනයෙන් යුත් තරුණයෙක් වැ නග්නභාවයට හිමි වැ දුක් විඳී. එයට වඩා ඉතා දැඩිදුකක් මොහුට කෙසේ වේ ද?
Pali BJT576. තං දිස්වා සංවෙගමලත්ථං භන්තෙ තප්පච්චයා තාහං දදාමි දානං, පටිගණ්හ භන්තෙ වත්ථයුගානි අට්ඨ යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායො.
Sinhala BJT576. වහන්ස, ඔහු දැක සංවේගය ලදුයෙමි. එහෙයින් මම ඔබට මේ පිළි දන්දෙමි. වහන්ස, මේ පිළීසඟළ අට පිළිගනු මැනව. මේ පින් ප්‍රේතයාට පැමිණේවා.
Pali BJT577. අද්ධා හි දානං බහුධා පසත්ථං දදතො ච තෙ අක්ඛයධම්මමත්ථු, පටිගණ්හාමි තෙ වත්ථයුගානි අට්ඨ යක්ඛස්සිමා ගච්ඡන්තු දක්ඛිණායො.
Sinhala BJT577. දන්දීම ඒකාන්තයෙන් (බුද්ධාදීන් විසින්) නන් අයුරින් පසස්නා ලදි. දන්දෙන තොපගේ ධනය නොගෙවෙන සැහැවි ඇති වේවා. තොපගේ පිළිසඟළ අට මම පිළිගනිමි. මේ පින් ප්‍රේතයාහට පැමිණේවා.
Pali BJT578. තතො ච සො ආචමයිත්ව ලිච්ඡවි ථෙරස්ස දත්වාන යුගානි අට්ඨ, පටිග්ගහීතානි ච තානි චස්සු යක්ඛඤ්ච පස්සෙථ සන්නද්ධදුස්සං.
Sinhala BJT578. ඉක්බිති ඒ ලිච්ඡවි රජ මුවසෝදා ගෙන තෙරුන්ට ඒ පිළීසඟළ අට පිරිනමා “මේ පිළී ගනුලැබේවා, පිළී හැඳගත් ප්‍රේතයා ද දක්නට ලැබේවා” යි කී.
Pali BJT579. තමද්දසා චන්දනසාරලිත්තං ආජඤ්ඤමාරූළ්හමුළාරවණ්ණං, අලඞ්කතං සාධු නිවත්ථදුස්සං පරිවාරිතං යක්ඛමහිද්ධිපත්තං
Sinhala BJT579. රජ සඳුන්සුණු තවරගත් සිරුරු ඇති ආජානීය අසුපිට නැගි මනහර රූසපු ඇති මොනවට හැඳගත් වස්ත්‍රයෙන් සැරසුණු පිරිවර ජනයා විසින් පිරිවරන ලද මහත් දිව්‍යර්ධියට පැමිණි ඒ ප්‍රේතයා දුටුවේ ය.
Pali BJT580. සො තං දිස්වා අත්තමනො උදග්ගො පහට්ඨචිත්තො ච සුභග්ගරූපො, කම්මඤ්ච දිස්වාන මහාවිපාකං සන්දිට්ඨිකං චක්ඛුනා සච්ඡිකත්වා.
Sinhala BJT580. රජතෙම ඔහු දැක සතුටුසිත් ඇති ව, ඔදවැඩුණු සිත් ඇති ව, තුටුපහටුසිත් ඇති වැ, අතිශයින් සුන්‍දර ස්වරූප ඇති ව සාන්දෘෂ්ටික කර්‍මය ද කර්‍ම විපාකය ද සියැසින් පසක් කොට දැක,
Pali BJT581. තමෙනං අවොච උපසඞ්කමිත්වා දස්සාමි දානං සමණබ්රාහ්මණානං, න චාපි මෙ කිඤ්චි අදෙය්යමත්ථි තුවං ච මෙ යක්ඛ බහූපකාරොති.
Sinhala BJT581. ප්‍රේතයා වෙත පැමිණ මෙසේ කී ය: “මම මහණ බමුණනට දන් දෙන්නෙමි. මාගේ නො දියයුතු කිසි වස්තුවක් නැත. ප්‍රේතය තෝ ද මට බොහෝ උපකාර වූයෙහි” යි.
Pali BJT582. තුවං ච මෙ ලිච්ඡවී එකදෙසං අදාසි දානානි අමොඝමෙතං, ස්වාහං කරිස්සාමි තයා ච{1} සක්ඛිං අමානුසො මානුසකෙන සද්ධින්ති.
Sinhala BJT582. ලිච්ඡවි රජතුමනි තෙපි ද මට සිවුපසයෙන් එක් කොටසක් වූ පිළී දන් දුන්නහු ය. ඒ දන හිස් නොවෙයි. ඒ අමනුෂ්‍ය වූ මම මනුෂ්‍ය වූ තොප හා සමග ම සාක්‍ෂ්‍ය කරන්නෙමි.
Pali BJT583. ගතී ච බන්ධූ ච පරායණඤ්ච මිත්තො මමාසි අථ දෙවතාසි, යාචාමහං{1} පඤ්ජලිකො භවිත්වා ඉච්ඡාමි තං යක්ඛ පුනාපි දට්ඨුන්ති.
Sinhala BJT583. යක්‍ෂය තෙපි මට යා යුතු තැන ද, නෑයා ද, පිහිට ද, මිත්‍රයා ද වවු. යළි මාගේ දේවතාවා ද වවු. මම බදැඳිලි ව අයදිමි. මම යළිත් තොප දැකීමට කැමැත්තෙමි.
Pali BJT584. සචෙ තුවං අස්සද්ධො භවිස්සසි කදරියරූපො විප්පටිපන්නචිත්තො, තෙනෙව මං න ලිච්ඡසි දස්සනාය දිස්වා ච තං නොපි ච ආලපිස්සං.
Sinhala BJT584. ඉදින් තෙපි සැදැහැ නැති වන්නහු නම් තදමසුරුගති ඇත්තහු නම් විපිළිපන් සිත් ඇත්තහු නම් ඒ හේතුවෙන් ම මා දැක්ම නොලබන්නහු ය. මම ද තෙපි දැකත් කථා නො කරන්නෙමි.
Pali BJT585. සචෙ{2} තුවං භවිස්සසි ධම්මගාරවො දානෙ රතො සඞ්ගහිතත්තභාවො, ඔපානභූතො සමණබ්රාහ්මණානං එවං මමං ලච්ඡසි දස්සනාය.
Sinhala BJT585. ඉදින් තෙපි කුශලධර්‍මයෙහි ගෞරව ඇති වන්නහු නම් දන්දීමෙහි ඇලුණහු සියදිවියෙහි යහපත සලසා ගත්තහු මහණ බමුණනට පැන්සැළක් මෙන් වන්නහු නම් එසේ වූ කල්හි තෙපි මා දක්නට ලබන්නහු ය.
Pali BJT586. දිස්වා ච තං ආලපිස්සං භදන්තෙ ඉමඤ්ච සූලතො ලහුං පමුඤ්ච, යතො නිදානං අකරිම්භ සක්ඛිං මඤ්ඤාම සූලාවුතකස්ස කාරණා.
Sinhala BJT586. වහන්ස, තොප දැක ද මම කථා කරන්නෙමි. තොපට යහපතක් වේවා, යමකු කරුණු කොට අපි සාක්‍ෂ්‍ය කෙළෙමු ද, ඒ (අනෙකකු නොව) හුල සිටි පුරුෂයා වෙත පැමිණීම නිසා ය යි සිතම්හ. මේ පුරුෂයා ද වහා හුලින් මුදනු මැනව.
Pali BJT587. තෙ අඤ්ඤමඤ්ඤං අකරිම්හ සක්ඛිං අයඤ්ච සූලාවුතො{3} ලහුං පමුත්තො, සක්කච්ච ධම්මානි සමාචරන්තො මුච්චෙය්ය සො නිරයා ච තම්හා.
Sinhala BJT587. ඒ අපි දෙදෙන එකිනෙකා සාක්‍ෂ්‍ය කෙළෙමු. මේ පුරුෂයාත් වහා මිදුණේ සකසා කුසල්දම් කරමින් ඒ නිරයෙන් ද මිදෙන්නේ ය.
Pali BJT588. කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයං කප්පිනකඤ්ච උපසඞ්කමිත්වා, තෙනෙව සහ සංවිභජිත්ව කාලෙ සයම්මුඛෙනුපනිසජ්ජ පුච්ඡ.
Sinhala BJT588. අන් තැනක වින්ද යුතු වූ අකුශලකර්‍මයක් ද ඔහුට වන්නේ ය. ඔහු සමග ම සුදුසු කලැ කප්පිනක තෙරුන් කරා එළඹ සමීපයෙහි හිඳ දන් බෙදා දී හමුවෙහි ම විචාරවු.
Pali BJT589. සො තෙ අක්ඛීස්සති එතමත්ථං තමෙව භික්ඛුං උපසඞ්කමිත්වා, පුච්ඡස්සු අඤ්ඤත්ථිකො නො ච පදුට්ඨචිත්තො සො තෙ සුතං අසුතං චාපි ධම්මං, සබ්බම්පි අක්ඛිස්සති යථා පජානං.
Sinhala BJT589. උන් වහන්සේ තොපට මෙ කරුණ කියන්නාහ. ඒ මහණ වෙත ම එළඹ එය දැනගනු කැමැති ව ප්‍රදුෂිත සිත් නැති ව විචාරවු. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඒ මහණ තොප විසින් පෙර අසන ලද්දා වූ ද නො අසන ලද්දා වූ ද සියලු කුසල දහම් තමා දත් පරිද්දෙන් කියන්නේ ය. (සුගතිගාමී වූ ධර්‍මය කියන්නේ ය)
Pali BJT590. සො තත්ථ රහස්සං සමුල්ලපිත්වා සක්ඛිං කරිත්වාන අමානුසෙන, පක්කාමි සො ලිච්ඡවීනං සකාසං අථ බ්රූවි පරිසං සන්නිසින්නං.
Sinhala BJT590. ඒ රජතුමා එහි දී අමනුෂ්‍යයා සමග රහසින් කථා කොට සාක්‍ෂ්‍ය කොට ගෙන ලිච්ඡවීන්ගේ සමීපයට ගියේ ය. යළි හේ රැස්ව හුන් ලිච්ඡවි පිරිසට මෙසේ කී ය.
Pali BJT591. සුණන්තු භොන්තො මම එකවාක්යං වරං වරිස්සං ලභිස්සාමි අත්ථං, සූලාවුතො පුරිසො ලුද්දකම්මො පණිහිතදණ්ඩො අනුසත්තරූපො
Sinhala BJT591. පින්වත්නි, මාගේ එක් බසක් අසත්වා. මම තොපගෙන් වරයක් ඉල්වන්නෙමි. ඉල්වන ඒ වරය ලබන්නෙමි. රුදුරුකම් ඇති කළ දඬුවම් ඇති හුලැ හිඳුවනු ලැබූ පුරුෂ තෙමේ රජු කෙරෙහි ඇලුණු ස්වභාව ඇත්තෙකි.
Pali BJT592. එත්තාවතා වීසති රත්තිමත්තා යතො ආවුතො නෙව ජීවති න මතො, තාහං මොචයිස්සාමි දානි යථාමති අනුජානාතු සඞ්ඝොති.
Sinhala BJT592. හුල්හි හිඳුවූ දා පටන් මෙතෙක් විසිරැයක් පමණ ය. හේ නොම ජීවත් වේ. මෙළේ ද නො ම වෙයි. මම දැන් කැමැති සේ ඔහු මුදන්නෙමි. සමූහයා අනුමත කෙරේවා.
Pali BJT593. එතඤ්ච අඤ්ඤං ච ලහුං පමුඤ්ච කො තං වදෙථ තථා කරොන්තං, යථා පජානාසි තථා කරොහි යථාමති අනුජානාති සඞ්ඝොති.
Sinhala BJT593. මොහු ද රජඅණ ලද අනිකා ද වහා මුදන්න. එසේ කරන තොපට කවරෙක් නම් “එසේ නො කරව”යි කියන්නේ ද? යම් සේ තෙපි හඟි වු නම් රිසිපරිදි එසේ කරවු. (මහජන) සමූහයා (එය) අනුමත කෙරෙයි.
Pali BJT594. සො තං පදෙසං උපසඞ්කමිත්වා සූලාවුතං මොචයි ඛිප්පමෙව, මා භායි සම්මාති ච තං අවොච තිකිච්ඡකානඤ්ච උපට්ඨපෙසි.
Sinhala BJT594. ඒ රජතෙමේ එ පෙදෙසට ගොස් හුලැ හුන් පුරුෂයා වහාම මිදැවී ය. “මිත්‍රය, බිය නොව” යි ද ඔහුට කී ය. වෙදුන් ද ඔහු ලඟට එවී ය.
Pali BJT595. කප්පිනකඤ්ච උපසඞ්කමිත්වා තෙන සමං සංවිභජිත්වා කාලෙ, සයම්මුඛෙනුපනිසජ්ජ ලිච්ඡවි තථෙව පුච්ඡිත්ථ නං කාරණත්ථිකො.
Sinhala BJT595. එකරුණ දැනගනු කැමති ලිච්ඡවි රජ තෙමේ ඔහු සමග සුදුසු කාලයෙහි කප්පිනක තෙරුන් කරා එළඹ දන් බෙදා දී ඉදිරිපිට හිඳ ඔබගෙන් එසේ ම විචාළේ ය.
Pali BJT596. සූලාවුතො පුරිසො ලුද්දකම්මො පණිහිතදණ්ඩො අනුසත්තරුපො, එත්තාවතා වීසතිරත්තිමත්තා යතො ආවුතො නෙව ජීවති න මතො.
Sinhala BJT596. හුලැ හිඳුවන ලද කළ රුදුරුකම් ඇති විඳින ලද සිරුරු දඬුවම් ඇති මිනිස් තෙමේ රජුකෙරෙහි අලුම්ගති ඇත්තෙක. යම් දිනක හේ හුලැ හිඳුවන ලද නම් එදා පටන් අද දක්වා විසිරැයක් පමණ ඉක්මැ ගියේ ය. හේ ජීවත් වන්නේත් මළේත් නො වේ.
Pali BJT597. සො මොචිතො ගන්ත්වා මයා ඉදානි එතස්ස යක්ඛස්ස වචො හි භන්තෙ, සියා නු ඛො කාරණං කිඤ්චිදෙව යෙන සො නිරයං නො වජෙය්ය
Sinhala BJT597. වහන්ස, මා විසින් එහි ගොස් ඒ පුරුෂ තෙමේ දැන් නිදහස් කරන ලද. ප්‍රේතයාගේ කීම නිසා මෙසේ කෙළෙමි. යම් හෙයෙකින් හේ නිරයට නො යන්නේ නම්, එබඳු කිසියම් මැ කාරණයක් ඇත්තේ ද?
Pali BJT598. ආචික්ඛ භන්තෙ යදි අත්ථි හෙතු සද්ධායිතං හෙතු වචො සුණොම, න තෙසං කම්මානං විනාසමත්ථි අවෙදයිත්වා ඉධ බ්යන්තිභාවො.
Sinhala BJT598. වහන්ස, ඉදින් එබඳු කරුණක් ඇත් නම් කියනු මැනැවි. ඇදහිය හැකි සකාරණ වචනය ම අසමු. මෙලොවැ කළ ඒ කර්‍මයන්ගේ විපාක නො විඳ වැනසීමෙක් ගෙවීමෙක් නැත්තේ ද?
Pali BJT599. සචෙ ස ධම්මානි{1} සමාචරෙය්ය සක්කච්ච රත්තින්දිවමප්පමත්තො මුච්චෙය්ය සො නිරයා ච තම්හා කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයන්ති.
Sinhala BJT599. ඉදින් හේ දිවාරෑ දෙක්හි නොපමා වැ (පෙර කළ පව්කම් මඩනට සමත්) කුසල්දහම් හි මොනොවට හැසිරෙන්නේ ද, හේ නිරාදුකින් මිදෙන්නේ ය. අපරාපරියවේදනීය කර්‍මය අන් භවයෙක වින්ද යුතු වන්නේ ය.
Pali BJT600. අඤ්ඤතො එසො පුරිසස්ස අත්ථො මමම්පිදානි අනුකම්ප භන්තෙ, අනුසාස මං ඔවද භූරිපඤ්ඤ යථා අහං නො නිරයං වජෙය්යන්ති.
Sinhala BJT600. වහන්ස, (ඒ) මිනිසාගේ මෙකරුණ දන්නා ලද ය. මා කෙරෙහි දු දැන් අනුකම්පා කරන්න. මහනුවණැති උතුමාණෙනි, යම් හෙයෙකින් මම නිරයට නො යම් ද එසෙයින් මට අනුශාසනා කරන්න.
Pali BJT601. අජ්ජෙව බුද්ධං සරණං උපෙහි ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො, තථෙව සික්ඛාය පදානි පඤ්ච අඛණ්ඩ ඵුල්ලානි සමාදියස්සු.
Sinhala BJT601. (තෝ) පහන්සිත් ඇත්තෙහි අද ම බුදුන් සරණ යව, ධර්‍මය ද සංඝයා ද සරණ යව, එසෙයින්ම සිකපද පස නො සිඳ නො කඩ කොට සමාදන් වෙව.
Pali BJT602. පාණාතිපාතා විරමස්සු ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු අමජ්ජපො මා ච මුසා අභාණී සකෙන දාරෙන ච හොහි තුට්ඨො, ඉමඤ්ච අරියං අට්ඨඞ්ගවරෙනුපෙතා සමාදියාහි කුසලං සුඛුද්රයං
Sinhala BJT602. වහා පණිවායෙන් වෙන් වෙව. ලෙව්හි නුදුන් දෑ ගැන්ම දුරු කරව. රහමෙර පානය නො කර. මුසාවාද නො කිය. ස්වදාරසන්තෝෂයෙන් සතුටු වෙව. මේ උතුම් අටඟින් යුත් සුඛවිපාක දෙන පිරිසුදු අනවද්‍ය ශීලය සමාදන් වෙව.