6-12. එහි පඤ්චස්කන්‍ධයෝ සතර ආත්මභාවවස්තු වෙති: යම් රූපස්කන්‍ධයෙක් වේ ද හේ කාය සංඛ්‍යාත ආත්මභාව වස්තු යැ, වේදනාස්කන්‍ධය වේදනා සංඛ්‍යාත ආත්ම භාවස්තු යැ, සංඥාස්කන්‍ධය ද සංස්කාරස්කන්‍ධය ද යන මොහු ධම්ම සංඛ්‍යාත ආත්ම භාවවස්තු යැ, විඥානස්කන්‍ධය චිත්ත සංඛ්‍යාත ආත්මභාව වස්තු යි. මෙසේ පඤ්ච ස්කන්‍ධයෝ සතර ආත්මභාව වස්තු වෙත්. ඔවුන් කෙරෙහි කායවස්තුයෙහි ‘අශුභයෙහි ශුභ යැ’ යන විපර්‍ය්‍යාසය වෙයි. මෙ පරිදි වේදනා – චිත්ත – ධර්‍මවස්තූන්හි ද ආත්ම විපර්‍ය්‍යාසය වේ.
එහි සතර විපර්‍ය්‍යාස වස්තූන්ගේ සමුද්ඝාතනය පිණිස බුදුහු සතර සත්පට්ඨානයන් දෙසන සේක, පනවන සේක. කයෙහි කය අනුව බලමින් වාසයකරනුයේ අශුභයෙහි ශුභ යැ යන විපර්‍ය්‍යාසය නසයි. මෙසේ වේදනා චිත්ත–ධර්‍මයන්හි දු විස්තර කළ යුතු යි.
6-13 එහි අන්‍ධකාරතමිස්‍ර වූ අවිද්‍යාව අප්‍රතිවේධය ලක්‍ෂණ කොට ඇත්තී යැ. ඒ අවිද්‍යාවට විපර්‍ය්‍යාසයෝ ආසන්නකාරණය යැ. තෘෂ්ණාව බැසගෙන (ගිලගෙන) සිටීම ලක්‍ෂණ යැ ප්‍රියස්වභාව මධුරස්වභාව ඊට පදට්ඨාන යි. ලෝභය ආත්මාසය වඤ්චා කිරීම ලක්‍ෂණ යැ ඊට අදත්තාදානය පදට්ඨාන යි. ද්වේෂය මෙහි විවාද කිරීම ලක්‍ෂණ යැ.
ඊට ප්‍රාණවධය පදට්ඨාන යි. වස්තූන්ගේ වරදවාගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ මෝහය, ඊට මිථ්‍යාප්‍රතිපත්තිය පදට්ඨාන යි. නිත්‍යසංඥාව සංඛතධර්‍මයන්ගේ අවිනාශග්‍රහණය ලක්‍ෂණ යැ, ඊට සියලු සංස්කාරයෝ පදට්ඨාන යි. සුඛසංඥාව සාස්‍රව ස්පර්‍ශයන් දැඩිව ගැනීම ලක්‍ෂණය යැ, ඊට මමංකාරය පදට්ඨාන යි. ආත්මසංඥාව ධර්‍ම විෂයෙහි දැඩිව ගැනීම ලක්‍ෂණ යැ, ඊට අහංකාරය පදට්ඨාන යි. ශුභසංඥාව පැහැසටහන මොනවට ගැනීම ලක්‍ෂණ යැ, ඊට ඉන්‍ද්‍රියාසංවරය පදට්ඨාන යි. උද්දේස කළ තෙල නවපදයන්ගෙන් සියලු අකුශල පක්‍ෂය නිර්දේශ කරන ලද්දේ වෙයි. හෙද වනාහි බහුශ්‍රුත පුඟුලක්හු විසින් දැනගන්නට හැකි වෙයි. අල්පශ්‍රැතතයක්හු විසින් නො දත හැකි වෙයි. ප්‍රාඥයකු විසින් දත හැක්ක, දුෂ්ප්‍රාඥයකු විසින් නො දතහැක්ක. (යෝගයෙහි) යෙදුණක්හු විසින් දතහැක්ක, නො යෙදුණහු විසින් නො දතහැකි වේ.
6-14. සියලු කුශලපක්‍ෂය සංග්‍රහයට එක්වීමට යන කුශල නවපද කෙනෙක් වෙති. කවර නවපද කෙනෙක යත් : සමථ විපස්සනා අලෝභ අදෝස අමොහ අනිච්චාසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා ද යන මොහු යි.
එහි සමථ කවරෙ යත් : චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙන් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙන් නැවැත්මෙක් පිහිටා සිටීමෙක් එළැඹ සිටීමෙක් සමාධියෙක් සමෝධානයෙක් අවික්‍ෂේපයෙක් අවිප්‍රතිසාරයෙක් සිතෙහි සන්හිඳීමෙක් සිතෙහි එකඟ බවෙක් වේ ද මේ සමථ යි.
එහි විපස්සනා කවර යත් : ස්කන්‍ධයන්හි හෝ ධාතූන්හි ආයතනයන්හි – නාමරූපයෙහි – පටිච්චසමුප්පාදයෙහි – පටිච්චසමුප්පන්නධර්‍මයන්හි – දුක්ඛසත්‍යයෙහි – සමුදයසත්‍යයෙහි – නිරෝධසත්‍යයෙහි – මාර්‍ගසත්‍යයෙහි – කුශලාකුශලධර්‍මයන්හි – සාවද්‍යානවද්‍යධර්‍මයන්හි කෘෂ්ණශුක්ලධර්‍මයන්හි – සේවිතව්‍යාසේවිතව්‍යයෙහි හෝ යථාභූත ව යම් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් වීමංසායෙක් පරිවීමංසායෙක් ගැනීමෙක් වෙසෙසින් ගැනීමෙක් හාත්පසින් ගැනීමෙක් සිතින් හාත්පසින් සිතීමක් තුලනයක් පරීක්‍ෂාවක්, ඥානයක් විද්‍යාවක් නුවණැසක් බුද්ධියක් මේධායෙක් ප්‍රඥාවක් අවභාසයෙක් ආලොකයෙක් ආභායෙක්, ප්‍රහායෙක් ප්‍රඥාබඞ්ගයෙක් ප්‍රඥා නමැති හීයෙක් ධම්මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් සම්මාදිට්ඨියක් මාර්‍ගාඞ්ගයෙක් වේ ද මේ විපස්සනා යි.
කවර කරුණෙකින් ‘මේ විපස්සනා’ යී කියනු ලැබේ ද යත්: (අනිත්‍යාදි විසින්) විවිධාකාරයෙන් දකී නුයි එකරුණෙන් මේ ‘විපස්සනා’ යි කියනු ලැබේ. තවද මේ විදර්‍ශනාව දෙවැදෑරුම් වන්නීය: (ධම්මවිපස්සනාති ... ?)
මේ විදර්‍ශනාඥානයෙන් දෙපරිද්දෙකින් දකී : ශුභ–අශුභ, කෘෂ්ණ–ශුක්ල, සේවිතව්‍ය–අසේවිතව්‍ය, කර්‍ම–විපාක, බන්‍ධන–විමෝක්‍ෂ, ආචය–අපචය, ප්‍රවෘත්ති–නිවෘත්ති සංක්ලේශ–ව්‍යවදාන දැයි මෙසේ දෙපරිද්දෙකින් දකී නුයි ‘විපස්සනා’ යී කියනු ලැබේ. නොහොත් ‘වි’ යනු උපසර්‍ග යැ, (විවිධාකාරයෙන්) දැකීම යැ යන අර්‍ත්‍ථ යි. එහෙයින් ‘විපස්සනා’ යී කියනු ලැබේ. මේ ‘විපස්සනා’ යි.
6-15. එහි සත්ත්‍වයන්ට රෝගයෝ දෙදෙනෙකි : අවිද්‍යාව ද භව–තෘෂ්ණාව ද යන මේ යි. මේ රෝගයන් දෙදෙනාගේ නැසීම පිණිස භාග්‍යවතුන් විසින් සමථ යැ විපස්සනා යැ යි බෙහෙත් දෙකක් වදාරන ලද යැ, මේ බෙහෙත් දෙක සේවනය කරනුයේ රාගවිරාග චේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුක්තිය ද යන ආරෝග්‍යතා දෙක ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. එහි තෘෂ්ණාරෝගයට සමථය බෙහෙතැ, රාගවිරාග චේතෝවිමුත්තිය ආරෝග්‍ය යැ. අවිද්‍යාරොගයට විදර්‍ශනාව බෙහෙතැ, අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තිය ආරෝග්‍යය වේ.
එහෙයින් මැ බුදුහු ද වදාළහ : “නාමය ද රූපය ද යන ධර්‍මයෝ දෙදෙන දතයුත්තාහු යැ, අවිජ්ජා ද භවතණ්හා ද යන ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ කළයුත්තාහ, සමථය ද විපස්සනා ද යන ධර්‍මයෝ දෙදෙන වැඩියැයුත්තාහ. විජ්ජා ද විමුත්ති ද යන ධර්‍මයෝ දෙදෙන පසක් කළයුත්තාහ” යි
එහි සමථය වඩනුයේ රූපය පිරිසිඳ දැනගනී, රූපය දැනගනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි, තෘෂ්ණාව දුරැලනුයේ රාගවිරාගචේතෝවිමුත්තිය පසක් කෙරෙයි. විදර්‍ශනාව වඩනුයේ නාමය පිරිසිඳ දැනගනී, නාමය දැනගනුයේ අවිද්‍යාව දුරු කෙරෙයි, අවිද්‍යාව දුරු කරනුයේ අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය පසක් කෙරෙයි.
යම් කලෙක භික්‍ෂුහු විසින් නාමය ද රූපය ද යන ධර්‍මයෝ දෙදෙන පරිඥාත වූවාහු වෙත් ද එකල්හි ඔහු විසින් අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ වූවාහු වෙති, සමථය ද විපස්සනාව ද යන ධර්‍මයෝ දෙදෙන වඩන ලද්දාහු වෙති. විද්‍යාව ද විමුක්තිය ද යන ධර්‍මයෝ දෙදෙන පසක් කරන ලද්දාහු වෙත්. මෙතෙකින් මහණ (සිවුමගින්) කළ කිස ඇතියේ වෙයි, මෝ සොපධිසෙසනිබ්බානධාතු යැ, ඔහුගේ ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රියයාගේ නිරෝධයෙන් මේ පඤ්චස්කන්‍ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අන්‍යත් ස්කන්‍ධදුඃඛයකුදු නූපදී. එහි මේ ස්කන්‍ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් වේ ද අන්‍ය ස්කන්‍ධ ධාතුආයතනයන්ගේ ද අප්‍රතිසන්‍ධිය නො පහළවීම වේ, මේ අනුපධිසේසනිබ්බානධාතු යි.
6-16. එහි අලොභකුශල මූලය කවරැ : යම් ස්වභාව වූ අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් ආශා රහිත බවෙක් නො පැතීමෙක් නො කැමැත්තෙක් බැසැගෙනැ නො සිටීමෙක් වේ ද, මේ අලෝභ සංඛ්‍යාත කුශලමූල යි. තෙල කවරක්හුගේ මූලය යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ අලෝභයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසිකයන්ගේ ද මූල යැ. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය කුශල යයි කියනු ලැබේ. ඒ අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්‍ගය මාර්‍ගාඞ්ග තිදෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත් : සම්මාසංකප්පය සම්මාවායාමය හා සම්මාසමාධිහුගේ ද යන මේ තිදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.
එහි අදොසකුසලමූලය කවරැ : සත්‍වයන් කෙරෙහි හෝ සංස්කාරයන් කෙරෙහි හෝ යම් නො ගැටීමෙක් අප්‍රතිඝාතයෙක් අව්‍යාපන්නබවක් අව්‍යාපාදයෙක් අද්වෙෂයෙක් මෛත්‍රියක් මෛත්‍රි කරන අයුරෙක් වැඩ කැමැති බවෙක් හිත කැමැති බවෙක් චිත්තයාගේ ප්‍රසාදයෙක් වේ ද මේ අදෝෂකුශමූල යැ, තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ අදොෂයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්‍මයන්ගේ ද මූල යැ. නොහොත් තුන් මාර්‍ගාඞ්ග කෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත්: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ තුන් මාර්‍ගාඞ්ගයන්ගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.
එහි අමෝහ කුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයන්හි යථාභූත වූ යම් ඥානදර්‍ශනයෙක් අභිසමයෙක් මනා අවබෝධයෙක් ප්‍රතිවේධයෙක් අමෝහයෙක් නොමුළාවන අයුරෙක් අසම්මෝහයෙක් විද්‍යාවක් ප්‍රකාශයෙක් ආලොකයෙක් ශෛක්‍ෂයන්ගේ කුශලධර්‍මයන් පිළිබඳ අනාවරණයෙක් වේ ද, මේ අමොහ කුශලමූල යි. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාග්කර්‍ම මනඃකර්‍ම වූ අමෝහයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්‍මයන්ගේ ද මූල යි. නොහොත් මාර්‍ගාංගයන් දෙදෙනකුන්ගේ මූල යැ; කවර දෙදෙනකුන්ගේ ද යත්: සම්මාදිට්ඨිය සම්මාසතිය යන මේ මාර්‍ගාඞ්ගයන් දෙදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ. මෙසේ තුන් කුශලමූලයන්ගේ අෂ්ටාඞ්ගිකමාර්‍ගය යෙදියැයුත්තේ යි.
6-17. එහි අනිත්‍යසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ’යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්‍ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි දුඃඛසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ දුක් වූහ’යි යම් සංඥාවක් දන්නා අයුරක් නිශ්චය කිරීමෙන් දැඩිව ගැනීමෙක් වේ ද, මේ දුඃඛසංඥා’යි. එහි නිෂ්‍යන්‍ද කවරැ : දුඃඛසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අලසබැව්හි ප්‍රමාදයෙහි විස්මයෙහි ද සිත නො පිහිටයි, නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ දුඃඛසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි අනාත්මසංඥා කවරැ : ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් සංඥාවක් සඤ්ජනනා කාරයක් නිශ්චය කිරීමෙක් උද්ග්‍රාහකයෙක් වේ ද, මේ අනාත්මසංඥා යැ එහි නිෂ්‍යන්‍ද කවරෙ යැ: අනාත්මසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අහඞ්කාරය (මම යැ යන දෘෂ්ටිය) සිත අනුසන්‍ධාන නො කෙරෙයි. මාගේ යැ යන තෘෂ්ණාව නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ පිහිටයි. මේ ඒ අනාත්ම සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි අශුභසංඥා කවරැ : සත්‍වසංස්කාරයෝ අශුභ වූහයි යම් සංඥාවක් සඤ්ජානනා කාරයක් නිශ්චය කිරීමක් උද්ග්‍රාහයෙක් වේ ද, මේ අශුභසංඥා යැ. එහි නිෂ්‍යන් ද කවරෙ යැ: අශුභසංඥාව භාවිත බහුලීකෘත කල්හි ශුභාලම්බනයෙහි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි, උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ බැසගෙන සිටී. මේ ඒ අශුභසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
6-18. එහි පඤ්චස්කන්‍ධයන්ගේ (ත්‍රිවිධ පරිඥායෙන්) පරිඥානය භාග්‍යවතුන් විසින් දෙසන ලද්දේ ය. එහි යම් අශුභසංඥාවක් ඇද්ද එය රූපස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, දුඃඛසංඥාව වේදනා ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, අනාත්මසංඥාව සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ ද පරිඥානය පිණිස යැ, අනිත්‍යසංඥාව විඥාන ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යි.
එහි ශමථයෙන් තෘෂ්ණාව සමුද්ඝාතනය කෙරෙයි. විදර්‍ශනායෙන් අවිද්‍යාව නසයි. අද්වෙෂයෙන් ද්වේෂය නසයි, අමෝහයෙන් මෝහය නසයි. අනිත්‍යසංඥායෙන් නිත්‍යසංඥාව සමුද්ඝාතනය කෙරෙයි. දුඃඛසංඥායෙන් සුඛසංඥාව නසයි. අනාත්ම සංඥාවෙන් ආත්මසංඥාව නසයි, අශුභසංඥායෙන් ශුභසංඥාව සමුද්ඝාතනය කෙරෙයි.
ශමථය අරමුණෙහි චිත්තයාගේ විසිරීම ප්‍රතිසංස්කරණය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ශමථයට ධ්‍යානයෝ ආසන්න කාරණ වෙයි. විදර්‍ශනාව ස්කන්‍ධාදි සියලු ධර්‍ම (අනිත්‍යාදි විසින්) යථාභූතව ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ඊට සියලු දතයුතු දැය පදට්ඨාන යි. අලෝභය ප්‍රතිසංහරණ ලක්‍ෂණ යැ, ඒ අලෝභයට අදින්නාදානයෙන් විරමණය ආසන්නකාරණ වෙයි. අදෝසය අව්‍යාපාද ලක්‍ෂණ යැ, ඊට ප්‍රාණවධයෙන් වෙන්වීම පදට්ඨාන යි. අමෝහය වස්තු විෂයෙහි නො ගැටීම ලක්‍ෂණ යැ, ඊට සම්‍යක් ප්‍රතිපත්තිය පදට්ඨාන යි. අනිත්‍යසංඥාව සංඛතධර්‍මයන්ගේ විනාශග්‍රහණය ලක්‍ෂණ යැ, ඊට උදයව්‍යය පදට්ඨාන යි. දුඃඛසංඥාව සාස්‍රවස්පර්‍ශය හැඳිනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඊට වේදනාව පදට්ඨාන යි, අනාත්මසංඥාව සියලු ධර්‍මයන් නො ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ධර්‍මසංඥාව පදට්ඨාන යි. අශුභසංඥාව විනීලක විපුබ්බක උද්ධුමාතක අශුභයන් ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට නිබ්බිදාව පදට්ඨාන යි. දක්වන ලද මේ නව පදයන් කෙරෙහි සියලු කුශලපක්‍ෂය දක්වන ලදුයේ වේ. හෙ ද බහුශ්‍රැතයක්හු විසින් දැනගන්නට හැකි වෙයි, අල්පශ්‍රැතයා විසින් නො දතහැකි වේ. ප්‍රාඥයකු විසින් දත හැකි වෙයි. දුෂ්ප්‍රාඥයා විසින් නො දත හෙයි, යෝගයෙහි යෙදුණක්හු විසින් දතහෙයි. යෝගයුක්ත නොවූවහු විසින් නො දතහැකි වේ.
එහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලෝභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි. ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි. අධිමුක්ති ඇති නානාධාතු අනේකධාතුවිනිර්භෝගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි. පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.
6-19. ශ්‍රද්ධාව නො මකුබව ලක්‍ෂණ කොට ඇත්තීය, හැදැහීම වැටහීම කොට ඇත්තී යැ, සතර සෝතාපත්තියඞ්ගයෝ ඒ ශ්‍රද්ධාවට ආසන්නකාරණ යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි දතයුතු යැ: කුශලධර්‍ම වූ සතර සොතපත්තියඞ්ගයන්හි දතයුතු” යැයි.
විරියින්‍ද්‍රිය සූරබව පිළිකෙව් නො කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, වීර්‍ය්‍යයාරම්භය වැටැහීම වෙයි. ඊට අතීත වූ සතර සම්‍යක් ප්‍රධානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : “මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සම්‍යක් ප්‍රධානයන්හි දතයුතු” යි.
සතිය සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, මුළා නො වීම වැටැහෙනු වෙයි. ඒ ස්මෘතියට අතීත වූ සතර සතිපට්ඨානයෝ ආසන්නකාරණ වෙයි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි සතින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සතිපට්ඨානයන්හි දතයුතු’යි.
සමාධිය සිතෙහි එකඟබව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, අවික්‍ෂේපය වැටැහෙනු වෙයි. ඊට සතර ධ්‍යානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, සමාධීන්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර ධ්‍යානයන්හි ලා දතයුතු’ යි.
ප්‍රඥාව විශිෂ්ට වූ දැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, භූතාර්‍ත්‍ථසන්තීරණය වැටැහෙනු වෙයි, ඒ ප්‍රඥාවට සතර ආර්‍ය්‍යසත්‍යයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දතයුතු යැ: හතර ආර්‍ය්‍යසත්‍යයන්හි ලා දතයුතු’යි.
6-20. සතර චක්‍ර කෙනෙක් වෙති: ප්‍රතිරූපදෙශයෙහි වාසය චක්‍රයෙක, සත්පුරුෂයන්ගේ උපනිශ්‍රය චක්‍රයෙක, ආත්මසම්‍යක්ප්‍රණිධානය චක්‍රයෙක, පූර්‍වකෘතපුණ්‍යතාව චක්‍රයෙකි. එහි ප්‍රතිරූපදේශවාසය ආර්‍ය්‍යයන්ගේ ආශ්‍රය ලක්‍ෂණ කොට ඇත්තේ යැ හේ සත්පුරුෂයන්ගේ උපනිශ්‍රයට පදට්ඨාන යි. සත්පුරුෂෝපනිශ්‍රය ආර්‍ය්‍යයන් හා එක්වැ විසීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ හේ ආත්මසම්‍යක්ප්‍රණීධානයට පදට්ඨාන යි. ආත්මසම්‍යක්ප්‍රණිධානය සම්‍යක්ප්‍රතිපත්ති ලක්‍ෂණ කොට ඇත්තේ යැ එය පුණ්‍යයන්ට පදට්ඨාන යි. පුණ්‍යය කුසල් දහම් රැස්කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ එය සියලු සම්පත්තීන්ට පදට්ඨාන යි.
6-21. ශීලය මුල් කොට ඇති ධර්‍මයෝ එකොළොසෙකැ : සිල්වත්හට අවිප්‍රතිසාරය (නො මකුබව) වෙයි. ... ඉත්‍ථම්භාවය පිණිස කළ යුතු අනෙකෙක් නැතැයි දැනීම විමුත්තිඤාණදස්සන යි.
එහි සීලය (ප්‍රාණවධාදියෙන්) විරමණය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය අවිප්පටිසාරයට පදට්ඨාන යි.
අවිප්‍රතිසාරය අනාත්මානුවාදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යි.
ප්‍රාමෝද්‍යය (ඵරණප්‍රීතිය) අධික වූ ප්‍රමෝදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රීතියට පදට්ඨාන යි.
ප්‍රීතිය අත්තමන (සතුටු සිත් ඇති බව) ලක්‍ෂණ කොට අත්තී යැ, ඒ ප්‍රීතිය පස්සද්ධියට (කාය–චිත්තයන්ගේ සැහැල්ලුබවට) පදට්ඨාන යි.
පස්සද්ධිය කර්‍මක්‍ෂම බව ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය අර්‍පණ පූර්‍වභාග වූ සුඛයට පදට්ඨාන යි.
සුඛය අව්‍යාපාදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය සමාධියට පදට්ඨාන යි.
සමාධිය අවික්‍ෂේපය (සිත නො විසුරුණු බව) ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය යථාභූත ඥානදර්‍ශනයට (තරුණ විදර්‍ශනාවට) පදට්ඨාන යි.
විදර්‍ශනාප්‍රඥාව අවිපරීතසන්තීරණය ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය නිර්වේදයට (බලව විපස්සනාවට) පදට්ඨාන යි.
නිර්වේදය ආලය නො කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය විරාගයට පදට්ඨාන යි.
විරාගය අසංක්ලේශ ලක්‍ෂණ යැ, එය විමුක්තියට පදට්ඨාන යි.
විමුක්තිය අකුශලධර්‍මයෙන් වෙන් වීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය විමුක්ත වූවහුගේ ව්‍යවදානයට පදට්ඨාන යි.
6-22. ආර්‍ය්‍යභූමි සතරෙකි, ශ්‍රාමණ්‍යඵලයෝ සතරදෙනෙකි. එහි යමෙක් යථාභූත වැ දැනැගනී ද මෝ දර්‍ශනභූමි යැ, සෝතාපත්ති ඵලය ද වෙයි. හේ යථාභූත වැ අවබෝධ කොට නිර්වේදයට පැමිණෙයි, මෙය තනු වූ කාමරාගයට ද ව්‍යාපාදයට ද පදට්ඨාන යි. සකදාගාමිඵලය ද වෙයි. සිලුටු වැ විරාගයට පැමිණෙයි. මේ රාගවිරාග චේතෝවිමුත්ති යැ. අනාගාමී ඵලය ද වෙයි. යම් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තියක් වේ ද මේ කෘතභූමි යැ රහත් බව ද වේ.
සාමඤ්ඤඵලානි යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ශ්‍රාමණ්‍ය යැ, ඒ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ තෙල ඵලයෝ නුයි ශ්‍රාමණ්‍යඵලයෝ යයි කියනු ලැබෙත්. කුමක් හෙයින්, බ්‍රහ්මඤ්ඤඵලයෝයයි කියනු ලැබෙත් ද යත්: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය බ්‍රහ්මඤ්ඤ යැ, ඒ බ්‍රහ්මඤ්ඤයාගේ තෙල ඵලයෝ නුයි බ්‍රහ්මඤ්ඤඵලයෝ යයි කියනු ලැබෙත්.
එහි කිසෙයින් සෝතාපන්න වෙයි යත්: සත්‍යාවබෝධය සමග ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති. මේ තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ක්‍ෂය වීමෙන් දුක් කෙළවර කිරීම දක්වා අවිනිපාත ස්වභාව වූ ආර්‍ය්‍යශ්‍රාවක වේ.
එහි සක්කායදිට්ඨි කවර යත් : අශ්‍රැතවත් බාල පුහුදුන් තෙමේ (යම්තාක්) ... ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වේ ද, හේ රූපය ආත්ම විසින් දකී ... විඥානයෙහි ආත්මය ඇතැයි දකී. හේ මේ පඤ්ච ස්කන්‍ධයෙහි ආත්මග්‍රාහය ඇත්තේ හෝ ආත්මනියග්‍රාහය (ඇත්තේ) හෝ වෙයි. ‘තෙලෙ මම් වෙමි’ එක් (දෘෂ්ටියෙක) වශයෙහි පවත්නේ ප්‍රක්‍ෂිප්ත වූයේ ග්‍රාහ ඇත්තේ අනුශය වශයෙන් පවත්නේ අංගමංග ? යයි ගනී. එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ප්‍රේක්‍ෂණයෙක් ආකාර පරිවිතර්‍කයෙක් දෘෂ්ටිය ගෙන සිතීමෙක් ප්‍රසන්න බවක් වේ ද, මේ සක්කාය දිට්ඨි යයි කියනු ලැබේ.
එහි දෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡේදය භාජනය කෙරෙති, කවර පස්දෙනෙක යත් : රූපය ආත්ම විසින් දකී, (යනු පටන්) විඥානය ආත්ම යයි (දෘෂ්ටිවශයෙන්) දකී යන මේ පස උච්ඡේදය භජනය කෙරෙත්. සෙසු පසළොස් (ආත්ම) දෘෂ්ටීහු ශාශ්වතය භජනය කෙරෙත්. මෙසේ සත්කායදෘෂ්ටිය ප්‍රහාණයෙන් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ වෙති. ප්‍රහීණ වීමෙන් (ආර්‍ය්‍යශ්‍රාවක) උච්ඡේදයත් ශාශ්වතයත් භජනය නො කෙරෙයි. මෙසේ උච්ඡේද ශාශ්වතප්‍රහාණයෙන් ආර්‍ය්‍යශ්‍රාවකහට කිසි දෘෂ්ටිගතයෙක් නො වෙයි. මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතවත් වෙයි. සියලු ශුක්ලපක්‍ෂය විස්තර කළයුතු ... ‘ආර්‍ය්‍යධර්‍මයෙහි නිපුණ වූයේ රූපය අනාත්ම වශයෙන් දකී, (යනු පටන්) විඥානය ... (අනාත්ම වශයෙන් දකී යනු දක්වා) මෙසේ දක්නා වූ ඔහුට සත්කායදෘෂ්ටි නො වේ.
කිසෙයින් විචිකිච්ඡා නො වෙයි යත් : මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි, අතිශයින් පහදී, “ඉතිපි සො භගවා ... “සියල්ල ද, දහම්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... “තණ්හක්ඛයෝවිරාගෝ නිරොධො නිබ්බානං” යනු දක්වා සියල්ල ද (විස්තර කළයුතු යි.) මේ දෙවැනි ආකඞ්ඛීය ධර්‍මයෙන් (?) සමන්‍විත වෙයි. සඟුන් කෙරෙහි සැක නො කෙරෙයි ... දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද පූජාවට සුදුසු වෙයි (?) යනු දක්වා විස්තර යි. මේ තෙවැනි ආකඞ්ඛීය ධර්‍මයෙන් සමන්‍වාගත වේ.
“සියලු සංස්කාරයෝ දුක් වූහ” යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, ප්‍රසාදයට පැමිණේ. ‘තණ්හාව දුක්ඛසමුදය’යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... ‘තෘෂ්ණානිරෝධය දුක්ඛනිරෝධය” යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, පහදී.
බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ දුකෙහි හෝ සමුදයෙහි හෝ නිරෝධයෙහි හෝ මාර්‍ගයෙහි හෝ සැක කිරීමක් විමතියක් විචිකිත්සාවක් ද්විධාපථයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නොසිටීමෙක් නො පිහිටාසිටීමෙක් අනේකාන්ත බවෙක් අනෛකාංසිකාකාරයෙක් වේ ද, ඒ සැකයෝ ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු වෙති, බැහැර කරන ලද්දාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවයට ගියාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
එහි සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.
එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දේවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්‍තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්‍ශ යි.
එහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්‍ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්‍ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රේක්‍ෂණයෙක් ආකාරපරිවිතර්‍කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි.
තෙල පරාමාසයෝ දෙදෙන ආර්‍ය්‍යශ්‍රාවකහට ප්‍රහීණ වූවාහු වෙති. “ආයතිං අනුප්පාද ධම්මා’ (යනු දක්වා විස්තර කළයුතු යැ) ඒ ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වූයේ සිල්වත් වෙයි. “උපසමසංවත්තනිකෙහි” (යනු දක්වා විස්තර යි.) මේ තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න වූයේ අවිනිපාත ස්වභාව ඇතියේ වේ, සියල්ල (විස්තර කළ යුතු යැ)
‘සහ සච්චාහි සමයා’ යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: ‘පරිඤ්ඤාභිසමය පහානාභිසමය සව්ජිකිරියාහිසමය භාවනාභිසමය යී අභිසමයයෝ සතරදෙනෙකි.
එහි ආර්‍ය්‍යශ්‍රාවක දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත් ක්‍රියාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙයි.
කවර කරුණෙකින් දුක්ඛයාගේ පරිඤ්ඤාභිසමය (ප්‍රතිවේධය) සමුදයාගේ පහානාභිසමය, නිරෝධයාගේ සච්ඡිකිරියාභිසමය, මාර්‍ගයාගේ භාවනාභිසමය වෙයි යත්: සමථ විපස්සනා හේතුයෙනි, කිසෙයින් ප්‍රතිවේධ කෙරෙයි යත්: අරමුණෙහි සිත උපනිබන්‍ධනය කොට පඤ්චස්කන්‍ධයන් දුක් වශයෙන් දකී. එහි යම් උපනිබන්‍ධයෙක් ඇද්ද මේ සමථ යැ. යම් පරියෝගාහනයෙක් (විමසීමෙක්) ඇද්ද මේ විපස්සනා යි.
පඤ්චස්කන්‍ධයෝ දුක් වූහ’යි දක්නාහට පඤ්චස්කන්‍ධයෙහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් බැසැගෙන සිටීමෙක් ඊප්සාවක් මූර්ජාවක් ප්‍රණිධියක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇද්ද ඒ ප්‍රහීණ වෙයි. එහි පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ සත්‍ය යැ. එහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් අධ්‍යයවසානයෙක් ඉච්ඡාවක් මූර්ඡාවක් ප්‍රණිධියක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇද්ද මේ සමුදය සත්‍ය යැ, ඒ සමුදයයාගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධසත්‍ය යැ. සමථයත් විපස්සනාවත් මාර්‍ගසත්‍ය යි. මෙසේ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ සමකාලයෙහි ඒකක්‍ෂණයෙහි ඒකචිත්තයෙහි නො පෙරපසු වැ අවබෝධය වෙයි. එයින් වදාළහ බුදුහු, “සත්‍යාවබෝධය සමග ආර්‍ය්‍යශ්‍රාවකහට තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත්” යයි.
එහි සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්කලැ එක් කොණෙහි එක් සිතෙහි සතර කෘත්‍යයක් කෙරෙති : දුක පරිඥාභිසමයෙන් අවබෝධ කෙරෙයි, ... මාර්‍ගය භාවනාහි සමයෙන් අවබෝධ කෙරෙයි, (යනු දක්වා විස්තර කළයුතු.)
කවර කරුණෙකින් දුක පරිඥාභිසමය වේ ද ... මාර්‍ගය භාවනාභිසමය වේ ද යත් : මෙසේ දෘෂ්ටාන්ත වෙයි : යම්සේ නැව ජලයෙහි ගමන් කරන්නී සතර කෘත්‍යයක් කෙරේ ද: පරතෙරට පමුණුවයි, මෙතෙර හැරපියයි, බර ගෙනයයි, ස්‍රෝතස් සිඳී. එපරිදි මැ සමථවිපස්සනා දෙක යුගනද්ධ වැ පවත්නාහු එක්විට එක් ඇසිල්ලෙහි එක්සිතෙහි කෘත්‍යය සතරක් සිදු කෙරෙති. දුක්ඛසත්‍යය පරිඥාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි ... මාර්‍ගසත්‍යය භාවනාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි.
යළි යම්සේ හිරු උදයට පැමිණෙනුයේ එක්විට පෙරපසු නො වැ කෘත්‍යය සතරක් කෙරෙයි : අඳුර නසයි, ආලොකය පහළ කෙරෙයි, රූප දක්වයි, සීතය නසයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විට ... යම්සේ පහන දැල්වෙනුයේ එක්විට නො පෙරපසු වැ කෘත්‍යය සතරක් කෙරේ ද: අඳුර දුරු කෙරෙයි, එළිය පහළ කෙරෙයි, රූප දක්වයි. තෙල් ගෙවාලයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විටැ ...
යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ස්‍රෝතාපන්න වේ ද, විරූපයෙහි නොවැටෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ ... දුක් කෙළෙවර කෙරෙයි. මේ දර්‍ශනභූමි යැ, ස්‍රෝතාපත්තිඵලය ද වේ.
සෝවත් පෙලෙහි සිටියේ මතුයෙහි විදර්‍ශනා වඩනුයේ (ඒ සමථවිපස්සනා) යුගනද්ධ වැ පවත්නාහු කාමරාගව්‍යාපාදයන්ගේ බෙහෙවින් ප්‍රහාණය හේතු කොටගෙන සකෘදාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. පරිනිෂ්පන්න බැවින් (?) එක් මැ වරක් මෙලොවට, අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ තනු භූමි යැ, සකදාගාමී ඵලය ද වේ.
සෙදගැමිපෙලෙහි සිටියේ විදසුන් වඩනුයේ අනුශය සහිත වූ කාමරාගව්‍යාපාදයන් අනවශේෂ කොට දුරු කෙරෙයි. කාමරාගව්‍යාදයන් අනවශේෂ ප්‍රහීණ කල්හි පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු වෙති: සක්කායදිට්ඨි සීලබ්බතපරාමාස විචිකිච්ඡා කාමච්ඡන්‍ද හා ව්‍යාපාද යන මොහු යි. මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් අනාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. එහි පිරිනිවෙනුයේ එ බඹලොවින් (පිළිසඳ විසින්) නො එනසැහැවි ඇතියේ වෙයි. මේ විතරාගභූමි යැ, අනාගාමිඵලය ද වේ.
අනගැමිපෙලෙහි සිටියේ මත්තෙහි විදසුන් වඩනුයේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් දුරු කෙරෙයි: රූපරාග අරූපරාග මාන උද්ධච්ච හා අවිජ්ජා ද යන මොහු යි. මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් අර්‍හත් ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. වුසූ මහබඹසර ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ බහාතැබූ ස්කන්‍ධාදි භාරය ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇතියේ මොනොවට දැන විමුක්ත වූයේ වේ. මේ කෘත භූමි යැ, අර්‍හත්‍වඵලය ද වේ.
මේ සෝපාදිසේස නිබ්බානධාතු යැ. ඒ රහත්හුගේ ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රිය සිඳීමෙන් මේ පඤ්චස්කන්‍ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අනිත් ස්කන්‍ධදුඃඛයකුදු නූපදී. මේ පඤ්චස්කන්‍ධදුඃඛයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් වේ ද අනිත් දුකක්හුගේ ද පහළ නො වීමෙක් වේ ද මේ අනුපාදිසේස නිබ්බානධාතු යි. මේ දෙවැදෑරුම් නිර්‍වාණ ධාතු යි. මෙසේ සත්‍යයෝ කියන ලද්දාහු යැ සත්‍යප්‍රතිවේධය කියන ලද්දේ යැ, ක්ලේශ ව්‍යවස්ථානය කියන ලද, ප්‍රහාණය කියන ලද, භූමීහු කියන ලද්දාහ, ඵලයෝ කියන ලද්දාහ, නිර්‍වාණධාතු කියන ලද්දාහ. මෙසේ මේ ධර්‍මයන් කී කල්හි සියලු බෝධිය කියන ලද වේ. මෙහි යෝග කටයුත්තේ යි.
6-23. එහි අනුපූර්‍වවිහාරසමාපත්තීහු කවරහ : සතර ධ්‍යානයෝ ද සතර අරූප සමාපත්තීහු ද නිරෝධසමාපත්තිය ද යන මොහු යි.
එහි සතර ධ්‍යානයෝ කවරහ : “මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්වැ මැ” යනු විස්තර කළයුත්තාහු යැ, එහි සතර අරූපසමාපත්තීහු කවරහ: විරාගීහු ගේ (අරූපසමාපත්ති) කියැයුත්තාහු යැ, නිරෝධසමාපත්තිය දක්වා විස්තර කළ යුත්තාහ. මොහු නව අනුපූර්‍වවිහාර සමාපත්තීහු යි.
එහි ප්‍රථමධ්‍යාන කවරෙ යැ: පස්අඟෙකින් වෙන් වූයේ පස්අඟෙකින් සමන්‍විත වූයේ යැ, කවර පස්අඟෙකින් විප්‍රයුක්ත ද යත් : පඤ්ච නීවරණයන්ගෙනි, එහි පඤ්ච නීවරණයෝ කවරහ: කාමච්ඡන්‍දය යනාදිය විස්තර කටයුතු.
එහි කාමච්ඡන්‍ද කවරෙ යත් : පස්කම්ගුණයෙහි මේ ඡන්‍දරාගයෙක් ප්‍රේමයෙක් නිකාන්තියක් බැසැගෙන සිටීමෙක් ආසාවක් මුසපත්වීමෙක් පැතුමෙක් නො හැරීමෙක් අනුශයයෙක් පරියුට්ඨානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද තෙමෙ නීවරණ යැ.
එහි ව්‍යාපාද කවරෙ යැ: සත්‍වයන් කෙරෙහි ද සංස්කාරයන් කෙරෙහි ද යම් ආඝාතයෙක් වේ ද. ... දෝසයෙහි මෙන් විස්තර යි මේ ව්‍යාපාද තෙමේ නීවරණ යැ.
එහි මිද්ධ කවරෙ යැ: කයෙහි යම් තෙමරිබවක් ගුරුබවක් කර්‍මක්‍ෂම නොවන බවක් නික්‍ෂේපයෙක් නිදීමක් සලබවක් සැලීමක් සැලෙන අයුරක් වේ ද මේ මිද්ධ යැ. එහි ථීන කවරෙ යත් : චිත්තයාගේ යම් තදබවක් තෙමරියක් ගුරුබවක් බරබවක් වේ ද මේ ථීන යැ. මේ ථීනය ද පළමු කී මිද්ධය ද ඒ දෙක ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.
එහි උද්ධච්ච කවරෙ යැ: චිත්තයාගේ යම් නො සන්හිඳීමෙක් වේ ද මේ උද්ධච්ච යැ. එහි කුක්කුච්ච කවරෙ යැ : චිත්තයාගේ යම් හිරිනැසීමෙක් පැකිලීමෙක් වෙසෙසින් පැකිලීමෙක් සිත බිඳීමෙක් විපිළිසරෙක් වේ ද මේ කුක්කුච්ච යැ. මෙසේ මේ කුකුස ද පළමු කී උද්ධච්චය ද යන එ දෙක උද්ධච්චකුක්කුච්ච නීවරණ යයි කියනු ලැබේ.
එහි විචිකිච්ඡානීවරණ කවරෙ යැ : යමෙක් බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ (සැක කෙරෙයි) ... මේ විචිකිච්ඡා නමු. තවද විචිකිච්ඡා පසෙකි : සමනන්තරායිකා දෙසන්තරායිකා සමාපත්‍යන්තරායිකා මග්ගන්තරායිකා සග්ගන්තරායිකා යයි, මේ පස් විචිකිච්ඡා යි. මෙහි වූ කලි සමවතට අන්තරායකර වූ (සමාපත්තන්තරායිකා) විචිකිච්ඡාව අදහස් කරන ලදු, මේ පඤ්චනීවරණයෝ යි.
එහි ‘නීවරණානි’ යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: කොයින් වළකත් ද යත් : සර්‍වප්‍රකාරයෙන් කුශලපක්‍ෂයෙන් වළහත්. කෙසේ වළහත් ද යත්: කාමච්ඡන්‍ද තෙමේ අශුභයෙන් වළහයි, ව්‍යාපාද මෛත්‍රියෙන් වළහයි. ථීනය පස්සද්ධියෙන් වළහයි, මිද්ධය වීර්‍ය්‍යාරම්භයෙන් වළහයි, උද්ධච්චය සමථයෙන් වළහයි, කුක්කුච්චය අවිප්‍රතිසාරයෙන් වළහයි, විචිකිච්ඡාව ප්‍රඥායෙන් ප්‍රතීත්‍යසමුත්පාදයෙන් වළහයි.
අනිත් පරියායෙකි : කාමච්ඡන්‍දය අලෝභකුශලමූලයෙන් වළහයි, ව්‍යාපාදය අදෝස කුසලමූලයෙන් වළහයි, ථීනමිද්ධය සමාධියෙන් වළහයි, උද්ධච්චකුක්කුච්චය සතිපට්ඨානයන්ගෙන් වළහයි. විචිකිච්ඡාව අමොහකුසලමූලයෙන් වළහයි.
අනෙකුදු පරියායෙකි: දිව්‍යවිහාර යැ බ්‍රහ්මවිහාර යැ ආර්‍ය්‍යවිහාර යැයි විහරණයෝ තිදෙනෙකි. සතර ධ්‍යානයෝ දිව්‍යවිහාර යැ සතර අප්‍රාමාණ්‍යයෝ බ්‍රහ්මවිහාර යැ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ ආර්‍ය්‍යවිහාර යි. එහි කාමච්ඡන්‍දය ද උද්ධච්චය ද කුක්කුච්චය ද යන මොහු දිව්‍යවිහාරය වළහති, ව්‍යාපාදය බ්‍රහ්මවිහාරය වළහයි. ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු ආර්‍ය්‍යවිහාරය වළහත්.
අනෙකුදු පරියායෙකි : කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද උද්ධච්චකුක්කුච්චය ද යන මොහු සමථය වළහති, ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු විදර්‍ශනාව වළහත්. එහෙයින් නීවරණය යයි කියනු ලැබෙත්. ප්‍රථමධ්‍යානය මේ පඤ්ච අංගයන්ගෙන් විප්‍රයුක්ත වූයේ යි.
ප්‍රථමධ්‍යානය කවර පස්අඟෙකින් සම්ප්‍රයුක්ත වූයේ ද යත් : විතර්‍කවිචාරයන්ගෙන් ද ප්‍රීතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් ද යන පඤ්චාංගයෙනි. මේ පඤ්ච අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්‍විත වූ සාක්‍ෂාත්ක්‍රියායෙන් ප්‍රථමධ්‍යානය ලබන ලදැයි කියනු ලැබේ. මේ පඤ්ච අංගයන් උපදවා වාසය කෙරේනුයි එයින් කියනු ලැබේ. ‘ප්‍රථම ධ්‍යානය උපදවා දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වාසය කෙරේ යයි.
එහි ද්විතීයධ්‍යානය සතර අඟෙකින් සමන්‍විත වෙයි: ප්‍රීතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදයෙනි. මේ සතර අංගයන් උපදවා සපයා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. දෙවැනි ධ්‍යානය උපදවා වාස කෙරේ යයි.
එහි තෘතීයධ්‍යානය පස් අඟෙකින් සමන්‍විත වෙයි : ස්මෘතියෙන් සම්‍යග්ඥානයෙන් සුඛයෙන් චිත්තෛකාග්‍රතායෙන් උපේක්‍ෂායෙන් යන මෙයිනි. මේ පඤ්ච අංගයන් උපදවා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. තෙවැනි දැහැන උපදවා වාස කෙරේ යයි.
එහි චතුර්‍ත්‍ථධ්‍යානය සතර අඟෙකින් සමන්‍විත යැ: උපේක්‍ෂායෙන් ස්මෘතිපාරිශුද්ධියෙන් අදුක්ඛමසුඛවේදනායෙන් චිත්තෛකාග්‍රතායෙන් ද යන සතරෙනි. චතුර්‍ත්‍ථධ්‍යානය මේ සතර අංගයෙන් යුක්ත වූයේ යි. මෙසේ මේ සතර අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්‍විත වූ සාක්‍ෂාත්ක්‍රියායෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රතිලබ්ධ යයි කියනු ලැබේ. මේ සතර දැහැන් උපයා සපයා ඊට පැමිණ වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි, ‘දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වෙසේ යයි.
6-24. එහි අනිත්‍යාර්‍ත්‍ථ කවරෙ යත්: පීඩනස්වභාවය අනිත්‍යාර්‍ත්‍ථ යැ, ප්‍රහඞ්ගාර්‍ත්‍ථය සම්ප්‍රාපනාර්‍ත්‍ථය විවේකාර්‍ත්‍ථය අනිත්‍යාර්‍ත්‍ථ යැ. මේ අනිත්‍යාර්‍ත්‍ථ යි.
එහි දුඃඛාර්‍ත්‍ථ කවරෙ යත් : පීඩනාර්‍ත්‍ථය දුඃඛාර්‍ත්‍ථ යැ සම්පීඩනාර්‍ත්‍ථය සංවේගාර්‍ත්‍ථය ව්‍යාබාධනාර්‍ත්‍ථය දුඃඛාර්‍ත්‍ථ යි. මේ දුඃඛාර්‍ත්‍ථ යි.
එහි ශුන්‍යතාර්‍ත්‍ථ කවරෙ යත් : අනුපලිප්තාර්‍ත්‍ථය ශුන්‍යතාර්‍ත්‍ථ යැ අසම්භජනාර්‍ත්‍ථය විගතාර්‍ත්‍ථය විවර්තාර්‍ත්‍ථය ශුන්‍යතාර්‍ත්‍ථ යැ, මේ ශුන්‍යතාර්‍ත්‍ථ යි.
එහි අනාත්මාර්‍ත්‍ථ කවරෙ යත් : ඓශ්චර්‍ය්‍ය රහිතාර්‍ත්‍ථය අනාත්මාර්‍ත්‍ථ යැ වශයෙහි නො පවත්නා ස්වභාව, කැමැතිසේ නො කළහැකි බව, (පරිවිදාර්‍ත්‍ථය?) අනාත්මාර්‍ත්‍ථ යැ. මේ අනාත්මාර්‍ත්‍ථ වේ යයි.
පෙටකෝපදේසයෙහි සූත්‍රාර්‍ත්‍ථසමුච්චය නම්
ෂෂ්ඨභූමි සමාප්ත යි.
7. සප්තම භූමි - හාරසම්පාත
7. 1.
ප්‍රකීර්‍ණක නිර්‍දෙශය
1. ධ්‍යානය විරාග යැ. සතර ධ්‍යානයෝ විස්තර කළයුත්තාහු යැ. ඒ ධ්‍යානයෝ බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවාහු ද බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවාහු දැ යි දෙවැදෑරුම් වෙති. එහි බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවෝ ශාසනයෙන් බැහැර වූවාහු යැ, බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවෝ ආර්‍ය්‍ය පුද්ගලයන් පිළිබඳ වූවාහු යි.
2. එහි පුද්ගලමූලයෝ සදෙනෙක් වෙති: රාගචරිත යැ, දෝසචරිත යැ, මෝහචරිත යැ, රාගදෝසචරිත යැ, රාගමෝහචරිත යැ, දෝසමෝහචරිත යැ, සමභාගචරිත යි. මෙසේ ධ්‍යානයට සමවන් මේ පුද්ගලයන්ට පඤ්චනීවරණයෝ ප්‍රතිපක්‍ෂ වෙති. ඔවුන්ගේ නැසීම පිණිස අසමර්‍ත්‍ථ වූයේ තුන් අකුශලමූලයන් නිගන්නේ වෙයි: ලෝභඅකුශල මූලයෙන් අභිධ්‍යාවත් උද්ධච්චයත් උත්ප්ලවනය වනුයේ අලෝභ කුශලමූලයෙන් එය නිගනී. කුක්කුච්චයත් විචිකිච්ඡාවත් මෝහපක්‍ෂ යැ. එය අමෝහ කුශලමූලයෙන් නිගනී. ද්වේෂයත් ථීනමිද්ධයත් ද්වේෂපක්‍ෂයෙහි වූයේ යැ, එය අදෝසකුසලමූලයෙන් නිගනී.
එහි අලෝභයාගේ පාරිපූරිය පිණිස නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අදෝසයාගේ පාරිපූරිය පිණිස අව්‍යාපාදවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අමෝහයාගේ පාරිපූරිය පිණිස අවිහිංසා විතර්‍කය විතර්‍ක කෙරෙයි.
එහි අලෝභයාගේ පිරීම පිණිස කාමයන්ගෙන් වෙන්වූයේ වෙයි. එහි අදෝසයාගේ පිරීමට ද අමෝහයාගේ පිරීමට ද ලාමක අකුශලධර්‍මයන්ගෙන් වෙන්වූයේ වෙයි.
3. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ නීවරණයන්ගේ වෙන්වීමෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පළමුවන දැහැනට පැමිණ වාස කෙරෙයි.
විතක්ක යනු: නෙක්ඛම්මවිතක්ක අව්‍යාපාදවිතක්ක අවිහිංසාවිතක්ක යන තුන් විතර්‍කයෝ යි. එහි අරමුණෙහි සිත පළමුව නඟාලීම ‘විතක්ක’ නම් වෙයි, ලැබූ අරමුණෙහි සිත හැසිරැවීම ‘විචාර’යැ, ඒ මෙසේ යැ: පුරුෂයෙක් දුරින් එන පුරුෂයකු දකී, තෙලෙ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැයි තව නො දනී. යම් කලෙක වනාහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැ මෙබඳු වර්‍ණ ඇත්තේ හෝ මෙබඳු සටහන් ඇත්තේ හෝ යැයි දැනගනී ද, මෙසේ විතර්‍ක කරනුයේ මත්තෙහි විමසයි: කිමැ මේ තෙමේ සිල්වත් ද නොහොත් දුශ්ශීල ද ධනවත් හෝ දුප්පත් හෝ දැයි මෙසේ විචාරය විතර්‍කයෙහි පිහිටුවයි. විචාරය අරමුණෙහි හසුරුවනු ලබන්නේ ද අනුව පවත්නේ ද වේ.
යම්සේ පක්‍ෂි තෙම පළමුව වෑයම් කෙරේ ද, පසුව වෑයම් නො කෙරේ ද, ආයුහනය (වෑයම් කිරීම) යම්සේ ද විතර්‍කය එබඳු යැ, පක්‍ෂප්‍රසාරණය යම්සේ ද, විචාරය එබඳු යැ, අනුපාලන විතර්‍කන විවරණ විචාරණ විතර්‍කණ අනුවිවරණ විචාරණ කෙරේයයි.
විතර්‍කය කාමසංඥාවට ප්‍රතිපක්‍ෂ යැ, විචාරය ව්‍යාපාදසංඥාවට ද විහිංසාසංඥාවට ද ප්‍රතිපක්‍ෂ යැ, විතර්‍කයන්ගේ කර්‍මය අකුශලය නො මෙනෙහි කිරීම යැ, විචාරයන්ගේ කර්‍මය (ජෙට්ඨානං) ද සංවාරණ යැ.
යම්සේ පලික? නො බෙණෙමින් සජ්ඣායනා කෙරේ ද, විතර්‍කය එබඳු යැ, යම්සේ ඒ සජ්ඣායනය මැ නුවණින් දකී ද, විචාරය එබඳු යි. අපරිඥාව යම්සේ ද විතර්‍කය එබඳු යැ, පරිඥාව යම්සේ ද විචාරය එබඳු යි. නිරුක්තිපටිසම්භිදායෙහි ද පටිභානපටිසම්භිදායෙහි ද විතර්‍කය වෙයි. ධම්මපටිසම්භිදායෙහි ද අත්‍ථපටිසම්භිදායෙහි ද විචාරය වෙයි. චිත්තයාගේ කල්‍යතාකෞශල්‍යය (වශීභාවයෙන්, ප්‍රගුණ කළ බව) විතර්‍ක යැ, චිත්තයාගේ අභිනීහාරයෙහි කුශලබව විචාර යැ, මේ කුශල යැ මේ අකුශල යැ මේ භාවිතව්‍ය යැ මෙය ප්‍රහාතව්‍ය යැ මේ ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ යනු විතර්‍ක යැ, එපරිදි ප්‍රහාණය ද භාවනාව ද ප්‍රත්‍යක්‍ෂ කිරීම ද විචාරය යි.