එහි මේ උද්දානගාථා යැ :
(1) විතර්‍කයෙන් මඩනාලද්දේය, ‘දදං පියො හොති’ යැ, යො පාණමතිපාතේති යැ. බාලයාගේ බාලලක්‍ෂණයෝ යැ.
(මෙසේ උද්ධෘත පාඨයන්ගේ ආදි පද පාළි වශයෙන් ම දත හැකි ය. එහෙයින් සිංහල අනුවාදයෙක් අවශ්‍ය නොවේ.)
පෙටකෝපදේසයෙහි සුත්තාධිට්ඨාන නම් වූ
තෘතීය භූමි සමාප්ත යි.
4. චතුත්‍ථභූමි - සුත්තවිචය
එහි ‘සුත්තවිචය’ කවරෙ යත්:
එහි කුශලධර්‍මයන්ගෙන් ද අකුශලධර්‍මයන්ගෙන් ද පූර්‍වාපර වශයෙන් මැනැවින් පරීක්‍ෂා කරනු ලැබෙයි, කුමක් හෙයින් මේ සූත්‍රය ඇරැඹුහු ද ... ඉතා ආසන්න අර්‍ත්‍ථ ඇති ඒ සූත්‍රයන් සමග යෙදේ ද, නොහොත් නො යෙදේ දැ’යි.
ඒ මෙසේ යැ: බුදුහු එහි ආදියෙහි කෙලෙසුන් දෙසන සේක, කිමැ ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දේසිත ද, නොහොත් නො දේසිත දැයි විමැසියැයුතු යැ, ඉදින් භාග්‍යවතුන් විසින් ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය නොදෙසනලද නම්, කුශලධර්‍මයෝ සෙවිය යුත්තාහු යැ. යම් තැනෙක ඒ අකුශලයෝ ප්‍රහාණයට යෙත් ද, ඉදින් විමසනුයේ නො ලැබේ නම් එහි අකුශලධර්‍මයෝ අපකර්‍ෂණය කළ යුත්තාහු යැ විමැසියැයුත්තාහු යැ, සංකිලේස භාගිය සුත්‍රයෙකි.
ඉදින් ක්ලේශයෝ අපකර්‍ෂණය කරනු ලබන්නාහු (යෙ වා න දෙන්ති?) එහි ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෝ පරීක්‍ෂා කළයුත්තාහු ය: ඒ භූමීන්හි ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, නොහොත් නො යෙත් දැ’යි. යළි යම් පමණ ක්ලේශයෝ දෙසන ලද්දාහු ය, එපමණ ආර්‍ය්‍ය ධර්‍මයෝ නො දෙසන ලද්දාහු ද, යම් තැනෙක ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි යම් කෙලෙස් කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂයෙන් නො යෙදෙත් ද, ඒ කෙසේහු බැහැර කළ යුත්තාහු යැ, ඉදින් බැහැර කරනු ලබන්නාහු යෙදීමට යෙත් ද එහි මෙසේ විමැසියයුතු: දෙකක් තුනක් හෝ එයින් වැඩියක් හෝ ක්ලේශයෝ එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් ප්‍රහාණයට යෙත් දැ’යි, ඉදින් මෙසේ විමසනු ලබන්නාහු යෙදීමට යේ ද එහි මෙසේ විමැසිය යුතු: පරම්පරායෙන් හෝ පිටකය හා සැසැඳෙනුයෙන් හෝ සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද, අර්‍ත්‍ථ නො වූයේ ද විමැසියැයුතු. යම්හෙයකින් සූත්‍රය දක්වන්නට නො හැකි හෝ වේ ද, සූත්‍රය නොමැ සැක කළයුතු. මෙසේ ආදියෙහි යම් පරිදි කුශලධර්‍මයෝ වෙත් ද යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු ප්‍රහීණ වන්නාහ යි ඔහු පරීක්‍ෂා කළ යුත්තාහ. (පළමු කොට කුශලය හෝ ප්‍රතිපක්‍ෂ විසින් හෝ පළමුකොට දේශනාව අනූන අනධික කොට උගතයුත්තී යැ. (යථාපඨමො උත්තිලෝ?) දැන් යම් කෙලෙස් කෙනකුන්ට යම් ආර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් දෙසනලද්දාහු ද, මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද නොහොත් ප්‍රහීණ නො වෙත් දැ යි විමැසියැයුත්තාහු යැ, ඉදින් පරීක්‍ෂා කරනු ලබන්නාහු යෙදෙත් නම් ගතයුත්තාහු යැ, යළි නො යෙදෙන්නාහු නම් යම් කෙලෙස් කෙනෙක් ප්‍රතිපක්‍ෂ නො වෙත් ද ඒ කෙලෙස්හු බැහැර නො කළ යුත්තාහු යැ යම් ආර්‍ය්‍යධර්‍ම කෙනෙක් (කෙලෙසුන්ට) ප්‍රතිපක්‍ෂ වෙත් ද, ඒ ආර්‍ය්‍යධර්‍මයෝ බැහැර කළ යුත්තාහු යැ, ආර්‍ය්‍යධර්‍මයෝ නො පැමිණි කෙලෙසුන්ගේ ප්‍රහාණයට නො මැ යෙති. ආර්‍ය්‍යධර්‍මයෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස නො ද පවතිත්.
ඒ මෙසේ යැ: මෛත්‍රිය කුසල් වූ යැ, රාගය අකුසලයෙකි. මෛත්‍රිය කුසල් යැයි කොට අකුසල් වූ රාගයාගේ ප්‍රහාණය පිණිස නො මැ පවතී, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. එහෙයින් උභයක්ලේශයෝ විමැසියැයුත්තාහු යැ.
කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් යම් ධර්‍මයෙක් දක්වනු ලැබේ ද ඒ ධර්‍මය අපකර්‍ෂණය කළයුත්තේ යැ, ඉදින් ඔහු යෙදෙත් නම් අපකර්‍ෂණ කරනු ලබන්නේ පරීක්‍ෂා කළයුත්තෙක් නැති. එක් ආර්‍ය්‍ය ධර්‍මයෙකින් ක්ලේශයෝ දෙදෙනෙක් හෝ ප්‍රහීණ වෙති, ආර්‍ය්‍යධර්‍ම දෙකෙකින් එක් ක්ලේශයෙක් හෝ ප්‍රහීණෙ වේ යයි.
නොහොත් මෙසේත් විමසනුලබන්නේ යෙදේ නම්, එහි යෙදෙන පරිදි විමැසියැයුතු හෝ එහි යම්පරිදි සූත්‍රය නිර්දේශ කරන්නට නො හැකි වේ නම් විමැසියැයුතු හෝ වෙයි. සූත්‍රයෙහි විචිකිත්සා නො මැ කළයුතු යැ. (කිලේසො ච?) ආර්‍ය්‍යධර්‍මයන් දේසිත කල්හි දෙපරිද්දෙකින් විමැසියැයුතු: ගාථායෙන් හෝ වෙය්‍යාකරණයෙන් හෝ යම් මේ ක්ලේශයෝ දෙසනලද්දාහු ද යම් යම් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලද්දාහු දැ’යි කිමැ හෝ මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද, නොහොත් ප්‍රහීණ නො වෙත් ද, යළි මේ ආර්‍ය්‍යධර්‍මයෝ මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස පවතිත් දැ’යි.
තවද කුශලධර්‍මයන්ගෙන් අකුශලධර්‍මයෝ ප්‍රහාණයට යෙති, එතෙකුදුවත් සියලු කුශලයන්ගෙන් සියලු අකුශලයෝ ප්‍රහාණයට නො යෙති. මෙසේ යැ: මෛත්‍රිය කුසල් යැ, රාගය අකුසල් වෙයි, එහෙත් මෛත්‍රිය කුසල් යැ රාගය අකුසලැයි කොට මෛත්‍රියෙන් රාගය ප්‍රහාණයට නො යෙයි, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. මෙසේ ක්ලේශ යෙකැයි කොට සූත්‍රයෙන් (දැක්වූ පරිදි) ප්‍රහාණයට යෙයි. සූත්‍රය ධර්‍මයෙකැ යි කොට සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස නො පවතී. සූත්‍රයාගේ මේ ආර්‍ය්‍යධර්‍මයෙක් සංක්ලේශයට ප්‍රතිපක්‍ෂ ද, ඒ ක්ලේශය ඒ ධර්‍මයෙන් ප්‍රහාණයට යේ යයි.
එහි සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ කුසලයක් දෙසූ කල්හි සංක්ලේශයෝ හෝ ආර්‍ය්‍යධර්‍මයෝ හෝ නො යෙදෙත් ද, ඒ ධර්‍මයෝ මහාපදේසයෙහි දැක්වියැයුතු අවයවයෙකින් බැහැර කළ යුත්තාහු යැ. එහි ක්ලේශයන්ගෙන් ද ආර්‍ය්‍යධර්‍මයෙන් ද දෙසන ලද ඉදින් ඒ ආර්‍ය්‍යධර්‍මයෙන් ඒ ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි දු මත්තෙහි විමැසියැයුතු: කවර කරුණෙකින් තෙල ක්ලේශයෝ දුරුකළයුත්තාහු ද, කවර කරුණෙකින් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලදහු දැයි, යම් යම් අයුරෙකින් හෝ ආර්‍ය්‍යධර්‍මයෝ දෙසන ලද්දාහු ද, ඒ ඒ ප්‍රකාරයෙන් මේ ක්ලේශය සිටියේ යැ, ඒ එසේ මැයැ, එක් ක්ලේශයෙක් ඇත, එයින් ආර්‍ය්‍යධර්‍මය අන්පරිදි නො වෙයි. අන් පරිද්දෙකින් ප්‍රහීණ කටයුතු වේ. ඒ මෙසේ යැ: දිට්ඨිරාගය ද අවිද්‍යාව ද දර්‍ශනයෙන් ප්‍රහීණ කටයුත්තාහු යැ, ඉදින් එසේ වුව ද අවිද්‍යාව භාවනාවට භූමි වූවා භාවනායෙන් ප්‍රහීණ කටයුත්තී යැ, ඒ අවිද්‍යාව මැ උද්ධංභාගිය වෙයි. නිවන දක්නා විමුක්තියෙන් අනිමිත්තවෙතොසමාධියෙන් අමනසි කාරයෙන් ප්‍රහීණ වෙයි. මෙසේ සාර්‍ත්‍ථ වැ සව්‍යඤ්ජන වැ පරීක්‍ෂා කළ යුතු යැ, දර්‍ශන යෙන් ප්‍රහීණ කළයුතු යම් ක්ලේශ කෙනෙක් වෙත් ද දර්‍ශනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ භාවනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, පටිසේවනයෙන් (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) ප්‍රහාතව්‍ය ක්ලේශයෝ වෙත් ද එහි ප්‍රත්‍යවේක්‍ෂා කාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, මෙසේ විනෝදනයෙන් ප්‍රහාතව්‍යයෝ යැ යි සප්ත
ආසවයන් දක්වා විස්තර කළයුතු, මේ ක්ලේශධර්‍මය අන්පරිද්දෙකින් ප්‍රහීණ කළයුතු යැ, අන් අයුරෙකින් ආර්‍ය්‍යධර්‍මය දෙසනලද, යම් ආර්‍ය්‍යධර්‍මයෙක් අන්අයුරෙකින් සෙවිය යුතු ද එය යි. ඉදින් මේ ධර්‍මය පර්‍ය්‍යෙෂණ කරන්නහුට යමෙකුත් යම් යම් අයුරෙකින් දෙසා ද, ආර්‍ය්‍යධර්‍මය පර්‍ය්‍යෙෂණ කළයුතු. ඒ අයුරින් කෙලෙස් ප්‍රහීණ වෙයි. ධර්‍මය එහි විමසියැයුතු යැ, ඉක්බිති ඉදින් ඒ සූත්‍රයෙන් දක්වන ලද්ද නො යෙදේ නම්, ඒ සූත්‍රය විමැසියැයුතු යැ. යම් පරිදි යෙදේ නම් එසෙයින් ගතයුතු යැ, යම්සේ නො යෙදේ නම් එසේ නො ගතයුතු. ඒකාන්තයෙන් තෙල භාග්‍යවතුන් විසින් නො වදාරනලද, ආයුෂ්මතුන් විසින් වරදවා හෝ ගන්නා ලද, මහාපදේසයෙහි මෙන් දැක්වියැ යුතු. භාග්‍යවතුන් විසින් යථාභූත ව දෙසන ලද, කුසල් වූ ද අකුසල් වූ ද යම් දහමක් දෙසන ලද ද ඒ ධර්‍මයාගේ ප්‍රත්‍යය පර්‍ය්‍යෙෂණ කළ යුතු යැ, ප්‍රත්‍යයෙන් වෙන් වැ ධර්‍මයෙක් අප්‍රත්‍යය වැ නො මැ උපදී. එහි පර්‍ය්‍යෙෂණයාගේ ආකාරය කෙබඳු ද:
එහි එබඳු වූ සහේතු සප්‍රත්‍යය කොට මේ ධර්‍මය වදාරන ලදදැ’යි මෙය විමැසියැයුතු, ඒ ප්‍රත්‍යය ද ත්‍රිවිධ යැ: මෘදු යැ මධ්‍ය යැ අධිමාත්‍ර යි. එහි මෘදු ප්‍රත්‍යය ඇති කල්හි මෘදු ධර්‍මයෙක් ගතයුතු. මෙසේ ඇති කල්හි තෙල ප්‍රත්‍යය ද්විවිධ යැ: පරම්පර ප්‍රත්‍යය ද සමනන්තර ප්‍රත්‍යය දැයි. ඒ ප්‍රත්‍යය මෘදු වී නම් එයින් වේමත්තතාව (විශේෂයයි) සෙවියැ යුතු, කරුණු කිමයත් : අන්‍යතර ප්‍රත්‍යයෙකුදු අන්‍ය ප්‍රත්‍යයන්ගෙන් පර්‍ය්‍යාප්තියට හෝ පිරීමට හෝ යන හෙයිනි. එහි යම් දහමෙක් දේසිත ද ඒ ධර්‍මයාගේ හේතුව මෙකරුණෙන් හෝ සෙවියැයුතු. ප්‍රත්‍යය වූ පරිදි හේතුයෙන් ද ප්‍රත්‍යයෙන් ද ඒ ධර්‍මයාගේ නිස්සන්‍දය සෙවියැයුතු. අධිට්ඨාන (හාර) යෙහි දැක්වූ පරිදි ප්‍රධාන ධර්‍මය සොයා ද ඒ ප්‍රත්‍යය සෙවියැ යුතු. ඒ එසේ මැයැ: මෘදු ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දයෙක් නැත. අධිමාත්‍ර නිස්සන්‍දයාගේ හෝ මෘදු ධර්‍මයෙක් නැති. වැලි මෘදු ධර්‍මයාගේ මෘදු නිස්සන්‍දය ද මධ්‍යමධර්‍මයාගේ මධ්‍ය නිස්සන්‍දය ද අධිමාත්‍ර ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දය ද යෙදෙයි. එය ගතයුතු යැ. වැලි නො යෙදේ නම් නො ගතයුතු. තවද බුදුහු යම් දහමක් දෙසන්නට ආරම්භ කෙරෙත් ද ඒ ධර්‍මය මැ මධ්‍යය කොට එය පර්‍ය්‍යවසානය කොට දෙසන සේක. යම්සේ සුත්තාධිට්ඨානයෙහි ධර්‍මයන් ආදියෙහි නිර්දේශ කෙරෙත් ද, එය මැ මහත් වූ සූත්‍රයාගේ ද පර්‍ය්‍යවසානය වෙයි. ඒ එසේ මැ යැ, ඒ ධර්‍මයාගේ වශයෙන් ඒ සූත්‍රය වෙයි. ගාථා වේ වයි ඛ්‍යාකරණයක් වේව’යි කුඩා වූ හෝ මහත් වූ හෝ (සූත්‍රය) (යථා පන දුවිඩා ... පරියේසිතබ්බා?) යම්සේ භාග්‍යවතුන් විසින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සංවරය තෘෂ්ණානිග්‍රහය පිණිස දෙසන ලද ද, (ඉච්ඡාව හොති, දෙසෙති?) ගෝපාලකූපම සූත්‍රයෙහි යම්සේද අන්‍ය සූත්‍රයන්ගෙනුදු බුදුහු වදාරති. (එය) ඉච්ඡා පරිදි වේ. මැදුම්සඟියැ (ද්වේධා විතක්කසූත්‍රය) විතර්‍කය මෙනි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශානුරූප යි. මෙසේ ඒ ධර්‍මය අන්‍ය වෙය්‍යාකරණයන්හි ද පර්‍ය්‍යෙෂණය කළයුතු. එක් මැ සූත්‍රයෙහි, නො මැ දතයුතු යැ. යෙදෙන පරිදි එය ගත යුතු.
එහි අනුඤ්ඤාතය කවරැ: යම්කිසි සූත්‍රයෙක් භාග්‍යවතුන් විසින් නො වදාරනලද ද එ ද සූත්‍රයන් අතුරෙහි මැ දක්නාලැබෙයි. තෙල මෙසේ ධැරියැයුතු යැ: ඒ මෙසේ යැ, අසුවල්හු විසින් භාෂිත යැයි ඒ සූත්‍රය විමසියැයුතු. කිමැ හෝ මේ සූත්‍රය (අනුඤ්තංඛමං ... අඤ්ඤථා නාම සවනෙන?) ඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් බමුණු අවවාද කරන ලද්දේ ය. ඒ ආයුෂ්මත්හට ඉන්‍ද්‍රිය බලවේමත්තඤාණය නැත. පුග්ගල පරොපරියඤාණය නැත. එය නොදන්නේ මාර්‍ගය දෙසන ලද්දේ ය. හේ භාග්‍යවතුන් විසින් අප සාදිත විය. එසේම ආයුෂ්මත් කාශ්‍යගෝත්‍ර ඍද්ධියෙන් ඇඟිලි දල්වා මුව වැද්දාට අවවාද කෙරෙයි. සියලු ධර්‍මයන්ගෙන් කර්‍ම සමාදානයන්ගේ හේතුවශයෙන් කාරණ වශයෙන් යථාභූතඤාණය ඒ ආයුෂ්මත්හට නැත. එහෙයින් ඔහුට අවවාද කෙරෙයි.
1. කසුබ, ඉදින් (තෙපි පහන් දසයක් දරන්නවු නමුදු (හේ) රූපයන් නො මැ දක්නේ යැ, ඔහුට (රු දක්නා) නුවණැස අවිද්‍යමාන හෙයිනි.
තවද යම්සේ රාජදූතයෙක් රජුගේ වචනයෙන් රටවැසි ජනතාවට අනුශාසනා කෙරේ ද, එසෙයින් දේශකයෙක් තමා නොදත් මෙරමා වෙතින් අසන ලද්දක් අනුනට දේශනා කෙරේ නම් බුදුරදුන් අනුදන්නා ලද දහම හා සැසැඳෙන සූත්‍රය ගතයුතු යැ. අනුඤ්ඤාතය හා නොයෙදෙන සූත්‍රය නොගත යුත්තේ යි.
එහි සූත්‍රසංකරය කවරැ: සූත්‍රය පඤ්චවිධ වෙයි, සංකිලේස භාගිය යැ වාසනා භාගිය යැ දස්සන භාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යි. අනෙකක් ආරාධනය කරන්නේ නම් අනෙකක් දෙසයි, අන් සූත්‍රයක්හුගේ අර්‍ත්‍ථය අන් සූත්‍රයෙකැ දක්වයි. ඕරම්භාගිය සංයෝජනයන්ගේ අර්‍ත්‍ථය උද්ධම්භාගිය සංයෝජනයන්හි ලා දක්වයි. මෘදු මධ්‍ය වූ ඉන්‍ද්‍රියයන් අධිමාත්‍ර ඉන්‍ද්‍රිය ඇති සූත්‍රයන් හි ලා දක්වයි. මෙසේ මේ සූත්‍රය හේතු විසින් ද නිස්සන් ද විසින් ද ඵල විසින් ද නිද්දේස විසින් ද සම්භේද වේ. මෘදු මධ්‍ය අධිමාත්‍රභාවයෙනුදු අර්‍ත්‍ථ විසින් ද ව්‍යඤ්ජන විසින් ද යම් සම්භේදයෙක් වේ ද මේ සූත්‍ර සංකර ය යි කියනු ලැබේ. යම් අසම්භේදයෙක් වේ ද මේ සූත්‍රවිචය යී කියනු ලැබේ.
එහි මේ උද්දානගාථා යැ:
පූර්‍ව වූ අශුලධර්‍මයන්ගේ අපකර්‍ෂණ යෑ යථා භූතයාගේ සහේතු සප්‍රත්‍ය යැ නිස්සන්‍ද යැ දේසනායුත්ති යැ අනුඤ්ඤාත යැ සූත්‍රසංකර යැ යන මේ මෙහි සංගෘහීත යි.
පෙටකෝපදේසයෙහි සුත්ත විචය නම්
චතුර්‍ත්‍ථභූමි සමාප්ත යි.
5. පඤ්චමභූමි - හාර විභඞ්ග
එහි හාරවිභංග කවරෙ යත්: යම් තැනෙක සොළොස් හාරයෝ අක්‍ෂර වශයෙන් ප්‍රභේදයට යෙත් ද එය යි.
1. එහි, ආදියෙහි දේසනාහාරය (කියනු ලැබේ.) එහි, මේ ගාථාව යැ
1. කුසල් හෝ අකුසල් හෝ සිව්සස් හෝ සෙත්‍යෙකදේශයෙක් හෝ දේශිත වෙයි. ‘කුමක් දෙසන ලද දැ’යි සූත්‍රයෙහි ලා විමසීම දේසනාහාර යි.
ආර්‍ය්‍යසත්‍යයන්ගේ නික්‍ෂෙපය මෙනි. සාධාරණ වූ අසාධාරණ වූ ද සත්‍යයෝ සතර දෙනෙකි. යම් අටළොස් පදකෙනෙක් වෙත් ද, දුක් හෙයින් සැකෙවින් කායික චේතසික දුකින් ද, අප්‍රිය සම්ප්‍රයෝගයෙන් හා ප්‍රියවිප්‍රයෝගයෙන් ද ත්‍රිවිධ සංඛතතායෙන් දැයි සත් පදකෙනෙක් වෙති. එහි සංඛත ලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති, දුක්ඛතා තුනක් වෙත්: උත්පාදය සංඛතලක්‍ෂණ යැ, සංස්කාර දුඃඛතායෙන් දුක්ඛතා ද වෙයි, ව්‍යාය (බිඳීම) සංඛත ලක්‍ෂණ යැ, විපරිණාම දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, අන්‍යථාත්‍වය සංඛත ලක්‍ෂණ යැ, දුක්ඛ දුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මේ තුන් සංඛත ලක්‍ෂණයන් අතුරෙන් තුන් වේදනාභූමියෙහි අදුක්ඛමසුඛවේදනාව උත්පාද සංඛ්‍යාත සංඛතලක්‍ෂණ යැ සංඛාර දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, සුඛවේදනාව ව්‍යය සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ, විපරිණාමදුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි. දුක්ඛවේදනාව අන්‍යථාත්‍ව සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ දුක්ඛදුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මෙසේ මේ නව පදයන්හි ද පළමු දැක් වූ සත්පදයන්හි ද යන සොළොස් පදයන්හි දුක්ඛයෝ සෙවිය යුත්තාහු යැ, එකොළොස් දුක්ඛතාවගේ ද ලක්‍ෂණ නිද්දේසයෙහි දක්වන ලදි. පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී ජාති නමු, ච්‍යුත වීම ලක්‍ෂණකොට ඇත්තේ චුත නම් වේ යයි පසළොස් පදයෝ විස්තර කළ යුත්තාහු ය.
මෙසේ සාධාරණ වූ ද අසාධාරණ වූ ද (චතුස්සත්‍යයෝ) සතළොස් පදයන්හි ද පනස් වැදෑරුම් සාසනපට්ඨානයෙහි ද අටළොස් වැදෑරුම් සුත්තාධිට්ඨානයෙහි ද දසවැදෑරුම් සූත්‍ර විධෙයයෙහි ද සොළොස් වැදෑරුම් හාරයන්හි ද එක් විසි වැදෑරුම් පවිචය වීමංසායෙහි ද යන මෙහි මේ දේශිතය වෙයි. යථාභූත ව දෙසන ලද්දේ වේ යයි. මේ දෙසනා හාර යයි කියනු ලැබේ.
2. එහි, විචය හාරය කවරෙ යත්:
2. පදය ද ප්‍රශ්නයෝ ද පෘච්ඡා ද පූර්‍වපදය කිමෙක පශ්චිම පදය කිමෙක යනු ද අනුගීතිය ද යන මේ විමසීම ලක්‍ෂණ කොට ඇත්තේ විචයහාර නමැයි දක්වන ලද්දේ ය.
‘පදං’ යනු ප්‍රථම පදය යැ, ඒ පදයාගේ අර්‍ත්‍ථ කවරෙ යැ: ආයුෂ්මත් අජිත විසින් බුදුහු යමක් පුළුවුස්නා ලද්දාහු ය, එය කෙතෙක් පදයෝ පුළුවුස්නාලද්දාහු දැයි ගත යුතු යැ. ඒ කෙසේ යැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ගාථාව යැ. මේ කෙතෙක් පදයෝ වෙත් ද: පද සතරක් වෙයි. යම් පමණ පදයන්ගෙන් භාග්‍යවතුන් විසින් විසඳන ලද පදයෝ වෙත් ද, ප්‍රශ්නයෙහි ද (එපමණ පදයෝ වෙති) පුච්ඡායෙහි ද පදයන්ගේ යම් සැකෙවින් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ පද’ යයි කියනු ලැබේ.
පඤ්හා යනු මේ සතර පදයෝ කෙතෙක් ප්‍රශ්නයෝ වෙත් ද: එකක් හෝ දෙකක් හෝ එයින් වැඩියක් හෝ වෙත් ද, මේ සතර පදයෝ එක් ප්‍රශ්නයෙකි. අර්‍ත්‍ථය ඛ්‍යඤ්ජනය වෙයි. බොහෝ වූ ද පදයෝ එක් මැ අර්‍ත්‍ථයක් පුළුවුස්ති. මේ සතර පදයෝ අනුව යන්නාහු වෙති. එය ඛ්‍යඤ්ජන විසින් එක් ප්‍රශ්නයෙක් වේ.
කෙනස්සු නිවුතො ලෝකෝ යී ලෝකය සඳහා විචාරයි. කෙනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රෑසි යී එය මැ විචාරයි. කිංසු තස්ස මහබ්භයං යී එය මැ විචාරයි: මෙසේ අර්‍ත්‍ථානුපරිවර්තී වූ ඛ්‍යඤ්ජනය එක් ප්‍රශ්නයෙක් වේ. ඒ ප්‍රශ්නය චතුර්විධ වෙයි. ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ විභාගකොට විසඳිය යුත්තේ යැ පිළිවිසැ විසඳියැ යුත්තේ යැ තබාලියැ යුතු (ඨපනීය) යයි. එහි ‘ඇස අනිත්‍ය ද?’ යනු ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ, ‘යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද?’ යනු විභාග කොට විසඳියැ යුත්තේ යැ, අනිත්‍ය වන්නේ යැ (එය) ඇස නො වේ ද? යම් ආයතන කෙනකුත් ඇද්ද ඇස නො වෙයි. ඔහුදු අනිත්‍ය යැ’ ඇස මතුයෙක් මැ නො වේ” මේ විභාග කොට විසඳියැයුත්තේ යැ’ ‘යමක් ඇස වේ නම් එය චක්ඛුන්‍ද්‍රිය නො වේ ද’ යනු පිළිවියැ විසඳියැ යුතු ප්‍රශ්න යැ’ ඒ චක්‍ෂුස සත්ත්‍ව වේ ද?” යනු තැබියැ යුතු යැ, ‘චක්‍ෂූසිත්, අන් තැනෙක (තථාගත) වේ ද?’ යනු ඨපනීය (තැබියැයුතු) ප්‍රශ්න යි.
මේ ප්‍රශ්නයෙන් බුදුහු කුමක් පුළුවුස්නාලද්දාහු ද යත්: ‘ලෝකයාගේ කෙලෙසීම් විමසනලද, කරුණු කිම යත්: සංකිලේශය ත්‍රිවිධ යැ: තණ්හාසංකිලේසය ද දිට්ඨිසංකිලේසය ද දුච්චරිතසංකිලේසය දැයි. එහි “අවිජ්ජාය හිවුතො” යී අවිද්‍යාව වදාරති, “ජප්පා’යි තෘෂ්ණාව වදාරති, “මහබ්භයං” යී අකුශලකර්‍මයාගේ විපාකය වදාරති. “සෝත” නම් “සුඛවේදනීය කර්‍මයාගේ දුක්ඛවෙදනීය විපාකයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ නො වෙ යයි බුදුහු සතරපදයෙන් විසඳන සේක. “අවිජ්ජාය තිවුකො ලෝකෝ” ... යී මෙසේ කියනු ලැබේ.
එයින් මතුයෙහි ද පුළුවුස්සි, “සවන්ති සබ්බයි සෝතා” යන ගාථාව යැ. (එහි) සතර පදයක් පුළුවුස්සි. බුදුහු එය දෙපදයෙකින් විසඳන සේක.
2. ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආවරණ ය ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්.
මේ සතරපදයන් දෙපදයෙකින් විසඳනසේක. මේ කෙසේ ද යත්: සංක්ලිෂ්ට වූ ඒ ලෝකයාගේ ව්‍යවදානය (ශුද්ධිය) පුළුවුස්නා ලදහ. ස්‍රෝතස් නම් සවැදෑරුම් තෘෂ්ණා සමූහය යි. බහුවචනයෙන් දක්වන ලද්දාහු වෙති, සියලු ආයතනයන්ගෙනි. ඒ ස්‍රෝතස්හු කුමකින් නිවාරණය කරනු ලැබෙත් දැ’යි පරියුට්ඨාන (තෘෂ්ණාවිචරිත) යන්නේ ප්‍රහාණය විචාරයි. “කෙන සෝතා පිථියරෙ” යි අනුශයයන්ගේ සමුද්ඝාතය විචාරයි. එහි බුදුහු සදොරහි සතිසංවරය වදාරනසේක. ඒ එසේ මැය, යමෙක් සම්‍යක්ප්‍රඥා ඇති වැ වාස කෙරේ ද, ස්මෘති නමැති ද්වාරපාලයා විසින් ඔහුගේ ඉන්‍ද්‍රියයෝ රක්නා ලද්දාහු වෙති. එහි ඉන්‍ද්‍රියයන් ගුප්ත කල්හි යම් යම් විදර්‍ශනාවක් වී ද, ඒ ඒ විදර්‍ශනාව ඒ ඒ ස්‍රෙතසුන්ගේ ද යම් අවිද්‍යාවක් විසින් ලෝකය වසන ලද ද, ඒ අවිද්‍යාවගේ ද අත්‍යන්ත ප්‍රහාණය පිණිස පවතී.
මෙසේ චක්‍ෂුරාදි ස්‍රෝතස්හු වසන ලද්දාහු ද වෙත්. එයින් මතුයෙහි පුළුවුස්සි:
3. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මාර්‍ග ප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූප ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද තෙල මා විසින් පුළුවුස්නාලද සේක් වදාළ මැනැව.
මේ සතර පදයන් බුදුහු එක් පදයෙකින් විසඳන සේක.
4. අජිතය, තෙල (කත්‍ථේතං උපරුජ්ඣතියී) යම් ප්‍රශ්නයක් විචාළෙහි ද එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, ඒ පශ්චිම විඥානයාගේ නිරෝධය සමග මැ විඥානනිරෝධයෙහි ලා තෙල නාමරූප නිරුද්ධ වේ.
මේ ප්‍රශ්නයෙන් කුමක් පුළුවුස්සි ද යත් : අනුපාදිසේස නිර්‍වාණධාතුව පුළුවුස්සි. එය බුදුහු අනුපාදිසේස නිබ්බානධාතුයෙන් විසඳනසේක. එහි පළමුවන ප්‍රශ්නයෙන් සංකි ලෙසය පුළුවුස්සි, දෙවැනි ප්‍රශ්නයෙන් ව්‍යවදානය පුළුවුස්සි, තෙවැනි ප්‍රශ්නයෙන් සෝපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි, සතරවැනි ප්‍රශ්නයෙන් අනුපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි. එයින් මතුයෙහි පුළුවුසී :
5. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මෙලොවැ අනිත්‍යාදි විසින් විමසන ලද සංස්කාර ඇති යම් රහත් කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂා’ ශෛක්‍ෂධර්‍මයෙහි) නිපුණ වූ මුබවහන්සේ ඒ ශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ ප්‍රතිපත් (මට) වදාළ මැනැව.
මේ සතර පදයන් පුළුවුස්සි, “යළි ඔහු කෙතෙක් ප්‍රශ්න වෙත් ද සංඛාතධම්ම වූ රහත්හු ද ශෛක්‍ෂයෝ ද වෙත්. එහි කවරකු පළමු විචාරා ද කවරකු පසුව විචාරා ද යත්: රහත්හු පළමු පුළුවුස්සි, ශෛක්‍ෂධර්‍ම ඇතියන් පසුව පුළුවුස්සි” එහි පළමුවන පදයෙන් ‘සඞ්ඛාතධම්මා’ යී රහත්හු ගන්නා ලදහ. ‘පුථූ’යී ශෛක්‍ෂයෝ ගන්නා ලදහ. ‘තෙසං මෙ නිපකො’ යී සාධාරණපදය භාග්‍යවතුන් පුළුවුස්සි, එහි ප්‍රශ්නයන්හි ලා සාධාරණ වූ ද අසාධාරණ වූ ද පදයෝ පිළිවිසියැයුත්තාහ. එය බුදුහු විසඳනසේක. එසේ විචාරනලද නො වෙයි (?) පළමු විචාළ යම් කරුණක් ඇද්ද එය පසුව විසඳන සේක” පසුව විචාළ කරුණ පළමු කොට විසඳන සේක. මේ පුච්ඡීතය කිමෙක් ද? විශුද්ධ වූවන්ගේ ද විශුද්ධ වන්නවුන්ගේ ද ප්‍රතිපත් කවරේ දැයි මෙය විචාළේ ය. එය “කාමෙසු නාභි ගිජ්ඣෙය්‍ය මනසා නාවිලො සියා” යී කිලේසපරියුට්ඨානයන් ද විතර්‍කයන් ද බුදුහු වළහන සේක. එයි විතර්‍කයෝ දෙදෙනෙකි, චිත්තයාගේ ආවිලතායෙන් (කැළැඹුණු බැවින්) ඔවුන්ගේ පරියුට්ඨානය (නැගීසිටීම) වෙයි. නීවරණයන් කෙරෙහි ලා දැක්වූ පරිද්දෙනි. “කුසලො සබ්බධම්මානං” යී රහත්හු දක්වන සේක.
“කථංසු තරති ඕඝං” යන ගාථාව වෙයි : මේ සතර පදයෝ ප්‍රශ්න සතරක් මැ’ වෙති. කරුණු කිම යත්: පළමු අජිතප්‍රශ්නයෙහි මෙන් මෙහි අර්‍ත්‍ථානුපරිවර්තී ඛ්‍යඤ්ජනය නො මැ වෙයි. ඒ පැනයෙහි ඒකාන්තයෙන් බොහෝ විසඳුන් නො වේ. බොහෝ ප්‍රශ්නයෝ නො වෙත්. එකෙක් මැ වෙයි. සියල්ල නො ද විචාරයි. පළමු විසඳනලද සතර වැනි අජිතප්‍රශ්නය මෙනි. මෙහි යම් යථාභූත වූ පර්‍ය්‍යෙෂණයෙක් වේ ද පද බන්‍ධයෙන් විසඳුම් වෙත් ද, එපරිදි යථාභූත ව ප්‍රර්‍ය්‍යෙෂණ කෙරෙයි. යළි යමෙක් මෙහි යම් පැනයක් මෙසේ විචාරයි ද එහි පුවජ්නා යෙහි මේ ආකාර යි. (?)
“අන්තො ජටා බහි ජටා” යන ගාථාව, පුච්ජීත විස්සජ්ජනායෙහි ලා කෙසේ විසඳන ලද්දී දැ යි ගවේෂණය කළයුත්තී යැ. භාග්‍යවතුන් වහන්සේ වනාහි (මෙසේ) විසඳන සේක : “සිලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤො” යන ගාථාව – එහි චිත්තභාවනායෙන් සමථයෝ වෙති, පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා වෙත්. එහි මෙසේ සලකනු ලැබේ: යම් ධර්‍ම කෙනෙක් ශමථයෙන් ද විදර්‍ශනායෙන් ද ප්‍රහීණ වෙත් නම් ඔහු මේ ‘අන්තො ජටා බහිජටා’ නම් වෙත්, එහි විසඳීම මෙසේ යැ: සමථයෙන් රාගය ප්‍රහීණ වෙයි, විපස්සනායෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ. අධ්‍යාත්මවස්තුක වූ රාගය අන්තො ජටා යැ, බාහිරවස්තුක රාගය බහිජටා යි. අධ්‍යාත්මවස්තුක සත්කායදෘෂ්ටියක් ඇද්ද, මේ අන්තො ජටා යැ, එක්සැට දෘෂ්ටිගතයෝ ද බාහිරවස්තුක දෘෂ්ටි ද බහි ජටා යි. යමක් වනාහි අධ්‍යාත්ම වස්තුකාදිභාවයෙන් වන්නේ ද මේ ‘ජටා නමු’ එහෙයින් සැකෙවින් යම් කිසි අධ්‍යාත්ම වස්තුක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ “අන්තො ජටා” නමු. යම් කිසි බාහිරවස්තුවක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ තොමෝ ‘බහිජටා’ නම් වූ.
මෙසේ දෙවි භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්සි: “චතුචක්කං නවද්වාරං” යන ගය එහි බුදුහු විසඳන සේක : “ඡෙත්‍වා නද්ධිං වරත්තං ච” යන ගය – බුදුහු මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදාව විසඳන සේක. මේ විසඳීමෙන් බුදුහු පළමු ගාථාවෙන් දැක්වියැ යුතු ක්ලේශයන් දක්වන සේක. ඒ වනාහි ‘චතුචක්කං’ යනු සතර ඊර්‍ය්‍යාපථයෝ හෝ යැ, ‘නවද්වාරං’ යනු නව වණමුඛයෝ යැ, එසේ මැ – ‘චතුචක්කං’ යනු සතර උපාදානයෝ යැ, උපාදානප්‍රත්‍යයෙන් කර්‍ම භවය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ.” ‘නවද්වාරං’ යනු නවවැදෑරුම් මානයෝ යැ, (මාන ජාතිකාය හි දුක්ඛං සෙය්‍යෙනම්හි පරසො තීණි තිකානි පුණ්ණං?)
පඤ්චකාමගුණික රාගය මානත්‍රිකයෙන් සංයුක්ත මැ යි. එහි ‘නද්ධි’ යී තෘෂ්ණාව කියනු ලැබේ. ‘වරත්තං’ යී මානය කියනු ලැබේ. ‘ඉච්ඡා ලෝභං ච පාපකං’ යනු පඤ්ච කාමගුණික රාගය යි. එහි විසමලෝභය ලාමක යයි දක්වනු ලැබේ. “සමූලං තණ්හං” යනු අවිද්‍යා මූලක තෘෂ්ණාව යැ, අබ්බුය්හ යනු තෘෂ්ණාවගේ ද දෘෂ්ටියගේ ද ප්‍රහාණ යයි. යළි අන්‍ය වූ ද යම් කිසි ධර්‍ම කෙනෙක් චතුෂ්කයෝගයෙන් (?) එකරුණෙන් ම යෙදෙත් ද ඒ සියලු සංසාරගාමී ධර්‍මයෝ දැක්වියැ යුත්තාහු යැ. එහි මේ ගාථා විස්සජ්ජනය පුච්ඡාව හා ද විස්සජ්ජනාව හා ද සම වෙයි. (යං යදි සන්‍දෙන?) යළි වෙය්‍යාකරණය සමග අනුගීතියෙහි දු ඒ විචය වේ. බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයන්ගෙන් අනුගායනය කරන සේක.
“මහණෙනි, අට අඟෙකින් සමන්‍වාගත මහණ දූත මෙහෙවරට යන්න සුදුසු වෙයි.” මේ අට පදයෝ නික්‍ෂේප කරන ලදහ, බුදුහු සපදයෙකින් අනුගායනය කෙරෙති:
6. උග්‍රවාදිනී වූ පිරිස කරා පැමිණ යමෙක් කම්පා නො වේ ද වදන් නො පිරිහෙළා ද, හස්න නො ද සඟවා ද,
7. සන්‍දේහ රහිත වැ බෙණේ ද, පුළුවුස්නා ලදුයේ නො ද කිපේ ද ඒකාන්තයෙන් එබඳු මහණ දූතමෙහෙවරට යන්න සුදුසු වේ යයි.
එහි වැලිත් බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයෙන් අනුගායන කෙරෙත්. “මහණෙනි සත් අඟෙකින් සමන්‍වාගත කල්‍යාණ මිත්‍ර ප්‍රිය වූයේ ගුරු වූයේ භාවනීය වූයේ” යී විස්තර කළයුතු. බුදුහු මෙය සත් පදයෙකින් අනුගායන කරන සේක. මෙසේ බහු ශ්‍රැතවත් වූයේ අල්පතර කථාව හෝ පදය හෝ අනුගායන කෙරෙයි ... ?
මේ අනුගීති විචය යයි කියනු ලැබේ. මේ විචය නම් හාර යි.
3. එහි යුක්තිහාරය කවරෙ යත්:
8. සියලු හාරයන්ගේ ඛ්‍යඤ්ජන, සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද, සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත, යම් ගෝචරයෙකුත් ඇද්ද, ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන් මහා–අපදේසයන් හා යුක්ත අයුක්ත (යෙදෙන නොයෙදෙන) බව, දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යුක්තිහාර නමැයි දක්වන ලද්දේ ය.
සොළොස් හාරයන්ගේ දේසනාහාරය මෙන් විචයහාරය මෙන් යම් විමංසායෙක් දක්වනු ලැබේ ද, සූත්‍රයන්හි මේ නිර්‍දෙශය මේ පුච්ඡාව නො යෙදේ යයි එහි යම් විමංසායෙක් ඇද්ද මේ යුක්ති නම් වේ.
ඒ මෙසේ යැ, හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ සංක්ලේශයට පැමිණෙන්නාහු ය, සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ විශුද්ධියට පැමිණෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් ඇත, ප්‍රත්‍යයෙක් ඇති.
“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිසෙයින් මට අවිප්‍රතිසාරය උපදනේ දැ’යි චේතනා නො කටයුත්තී යැ ... වෙය්‍යාකරණය විස්තර කළ යුතු. මේ විශුද්ධියට මාර්‍ග යැ, ඒ ශීලස්කන්‍ධයට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ : හෙතූහු ද ප්‍රත්‍යයෝ ද සතර දෙනෙක් වෙති : යම් සත්පුරුෂසංසේවායෙක් ඇද්ද යම් ප්‍රතිරූප දේශවාසයෙකුත් ඇද්ද, උපාදා ප්‍රත්‍යයතායෙන් මේ ප්‍රත්‍යය වෙයි. යම් පුරාණ කර්‍මයක් ඇද්ද ඒ කර්‍මයාගේ විපාකය ප්‍රත්‍යය වෙයි, ඒ ප්‍රත්‍යයභාවයෙන් ආත්මසම්‍යක්ප්‍රණීඨිය වෙයි. මේ හේතු යි. මෙසේ ශීලස්කන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ යයි. මේ ලෞකික ශීල යි.
යළි යම් ලෝකෝත්තරශීලයෙක් ඇද්ද ඒ ශීලයට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය යන තුන් ඉන්‍ද්‍රියයෝ ප්‍රත්‍ය වෙති. මේ ප්‍රත්ත්‍යය යි. සතින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද හේතු යි. නිබ්බේධගාමිනී ප්‍රඥායෙන් යම් ශීලයක් උපදී ද, සෝවන්හුගේ ද සීලය ලෝකුත්තර යි.
යළි සමාධියට යම් පස්සද්ධියක් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ඇද්ද මේ ප්‍රත්‍ය යැ, යම් සුඛයක් ඇද්ද මේ හේතු යි. එයින් සමාධික්ඛන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ. යම්හෙයෙකින් සමාහිත වූයේ යථා භූත වැ දැනගනී ද මේ ප්‍රඥා යැ. ඒ ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය ද හේතු ද ප්‍රත්‍යය ද වේ. මෙසේ මේ තුන් ස්කන්‍ධයෝ සහේතු සප්‍රත්‍යය වෙත්. (එවං සත්ත පඤ්ඤා සත්තඛ්‍යාකරණීසු ච සුත්තෙසුන යුජ්ජති?) මේ යුක්තිහාර යි” හේ සතර මහාපදේසයෙහි දතයුත්තේ යි.
4. එහි පදට්ඨානයාරය කවරෙ යැ:
9. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසති. ඒ කුශලාදි භේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයෙක් ඇද්ද, මෙසේ සූත්‍රාගත වූ සියලු ධර්‍මයනට පදට්ඨාන (ආසන්න කාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල හාරය පදට්ඨාන නම් වේ.
එහි පඤ්චකාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, යම් කිසි කෙනකුන්ට කාමරාගය උපදී ද උපන්නේ හෝ උපදනේ හෝ වේ ද, තෙල රූපාදි පඤ්ච ආයතනයන්හි මැ උපදී. මොවුන් කෙරෙන් අන් තැනෙක කාමරාගයට පදට්ඨාන නැති, එයින් කියනු ලැබේ. “පඤ්චකාම ගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, මනඉන්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්චස්කන්‍ධයෝ සක්කාය දිට්ඨයට පදට්ඨාන යැ, එක්සැටක් දෘෂ්ටිගතයෝ දිට්ඨිරාගයට පදට්ඨාන යැ, කාමධාතුව කාමරාගයට පදට්ඨාන යැ, රූපධාතුව රූපරාගයට පදට්ඨාන යැ, අරූපධාතුව අරූපරාගයට පදට්ඨාන යැ, සුඛසංඥාව කාමරාගයට පදට්ඨාන යැ, ව්‍යාපාද සංඥාව ව්‍යාපාදයට පදට්ඨාන යැ, සම්‍යග්ඥාන රහිත බව සම්මෝහයට පදට්ඨාන යැ, නව ආඝාතවස්තු ව්‍යාපාදයට පදට්ඨාන යැ, නව විධ මානය විධා සංඛ්‍යාත මානයට පදට්ඨාන යැ, සුඛවේදනාව රාගානුශයට පදට්ඨාන යැ, දුක්ඛ වේදනාව පටිඝානුසයට පදට්ඨාන යැ, අදුක්ඛමසුඛ වේදනාව අවිද්‍යානුශයට පදට්ඨාන යැ, අත්තවාදූපාදානය ද මුසාවාදය ද ලෝභයට පදට්ඨාන යැ, ප්‍රාණඝාතය ද පිසුනවචනය ද පරුෂ වචනය ද ව්‍යාපාදයට පදට්ඨාන යැ, මිත්‍ථ්‍යාදෘෂ්ටිය ද සම්ඵප්‍රලාපය ද මෝහයට පදට්ඨාන යැ, භවය ද භොග ද ව්‍යවකාරය (සිතෙහි ව්‍යාකූලබව) ද අහංකාරයට පදට්ඨාන යැ, බාහිර වස්තූන් ගේ පරිග්‍රහය මමංකාරයට පදට්ඨාන යැ, කායසංගය (ඇලීම) දෘෂ්ටියට පදට්ඨාන යැ, කායික දෝෂය ද්වේෂයට පදට්ඨාන යැ, කායකසටය ලෝභයට පදට්ඨාන යැ, තවද යම් යම් ධර්‍මයෙක් සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් හෝ ධර්‍මවශයෙන් හෝ අනුශය වශයෙන් හෝ යම් යම් ආකාරයකින් උපදී ද, ඒ ධර්‍මය එයට පදට්ඨාන යි. ඒ ආකාරයෙන් ඒ ධර්‍මය උපදී.
යම්සේ මිනිසෙක් පළමු පාදයට පිය තබන තැනක් නො ලබනුයේ දෙවැනි පිය නඟයි, හේ පසුපිය හකුළුවයි, යළි ඉදින් යමෙක් දෙවැනි පියට පිය තබන තැනක් නො ලබා නම් අනික් පිය නගයි, ඔහුට තෙල ප්‍රත්‍යය වේ. එපරිදි කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ ධර්‍මය පදට්ඨානය නො ලබනුයේ නො පවතී. (යථා පයුත්තස්ස ධම්මස්ස යෝනිසෝ?) මේ පදට්ඨානහාර යයි කියනු ලැබේ.
5 එහි, ලක්ඛණහාර කවරෙ යත් :
10. (කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ) එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි (කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන්) එය හා සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ ලක්‍ෂණ වශයෙන් කියන ලද්දාහු වෙති, (නො දැක්වූ ධර්‍මයෝ එළවා දැක්වීම ලක්‍ෂණ කොට ඇති) ඒ හාරය ලක්ඛණහාර නම් වේ.
“යම් කෙනකුන් විසින් නිරතුරු කාගියාසී මොනවට වඩන ලද ද” යන ගාථායෙහි කායගතාසතිය වදාළ කල්හි වේදනාගතා–චිත්තගතා–ධම්මගතාසති ද වදාරන ලද්දාහු වෙති. සතර සතිපට්ඨානයෙන් එක සතිපට්ඨානයකින් වදාළ හෙයිනි. චිත්තය එක විඤ්ඤාණට්ඨිතියෙක්හි නො මැ පවතී, නානාගතීන්හි පවතී, කායගතාසතිය වදාළ කල්හි වේදනා–චිත්ත–ධම්මගතාසති ද වදාරන ලද වෙයි. කායගතාසති වැඩූකල්හි සතර සතිපට්ඨානයෝ භාවනායෙන් පිරීමට නො මැ යෙත්. මෙසේ ඊට සමාන වූ ධර්‍මයන් වදාළ කල්හි සියලු ධර්‍මයෝ වදාරන ලද්දාහු ද වෙත්.
“සචිත්පරියොදපනං එතං බුද්ධාන සාසනං” යන ගාථාව : මෙහි චෛතසික ධර්‍මයෝ වදාරනලද්දාහුය. චිත්තයෙහි රූපය කියන ලදි. මේ නාමරූපය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, එයින් ස්වචිත්තයාගේ පවිත්‍ර කිරීම වේ. යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභිසමයෙන් පවිත්‍ර කෙරේ ද, එය දුඃඛ යැ, යමක් කෙරෙන් පවිත්‍ර කෙරේ ද ඒ සමුදය යැ, යමක් කරණකොට පවිත්‍ර කෙරේ ද, ඒ මාර්‍ගය යැ, යමක් පවිත්‍ර කරන ලද ද ඒ නිරෝධ යි.
“චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං” එහි සහජාත වූ වේදනා යැ සඤ්ඤා යැ චේතනා යැ ඵස්ස යැ මනසිකාර යැ යන තෙල ධර්‍මයෝ උත්පාද ලක්‍ෂණ යෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු යැ. යමෙක් රූපයෙහි නිර්වේදයට (කලකිරීමට) පැමිණේ ද හේ වේදනායෙහි නිර්වේදයට පැමිණෙයි. සඤ්ඤා–සංඛාර–විඤ්ඤාණයන්හිදු හේ නිර්වේදයට පැමිණෙයි, මෙසේ සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඔවුනතුරෙන් එක් ධර්‍මයක් දැක් වූ කල්හි සියලු ධර්‍මයෝ දක්වන ලද්දාහු වෙත්. මේ ලක්ඛණහාර යයි කියනු ලැබේ.
6. එහි චතුඛ්‍යුහභාරය කවරෙ යත්:
11. සූත්‍රාගත, පදනිර්වචන සංඛ්‍යාත නිරුත්තිය ද දේශකයන්ගේ අධිප්‍රාය ද දේශනාවගේ නිදානය ද සූත්‍රාර්‍ත්‍ථ වූ පූර්‍වාපරසන්‍ධිය ද යන චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය චතුබ්‍යුහ නම් වේ.
එහි නිරුත්ති කවරැ : ඒ නිරුත්ති කිසෙයින් සෙවියැයුත්තී ද යත් : භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද : “එකොළොස් අඟෙකින් සමන්‍වාගත මහණ වහා ධර්‍මයෙහි මහත්ත්‍වයට පැමිණෙයි, පාළි අර්‍ත්‍ථයෙහි දක්‍ෂවූයේත් වෙයි, පාළියෙහි දක්‍ෂ වූයේත් වෙයි. අක්‍ෂර වාක්‍ය සංඛ්‍යාත ව්‍යඤ්ජනයෙහි කුසල වූයේත් වෙයි නිර්වචනයෙහි කුසල වූයේත් වෙයි, ස්ත්‍රී ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, පුරුෂ ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, නපුසංසක ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අතීත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අනාගත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, වර්‍තමානප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, එකවචනයෙහි නිපුණ වූයේත් වෙයි, අනේක වචනයෙහි නිපුණ වූයේත් වෙයි, ප්‍රත්‍යුත් පන්නාධිවචනයෙහි කුශල වූයේත් වෙයි, ඒකාධිප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් අනේකාධි ප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් කුශල වෙයි. ඒ එසේ මැය කිම දේශිතය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ද, ස්ත්‍රිලිංගයෙන් පුරුෂලිංගයෙන් නපුංසක ලිංගයෙන් දෙසන ලද දැයි සියල්ල සූත්‍රානුරූප ව දක්වන ලද, එය ඛ්‍යඤ්ජනවශයෙන් නිරුත්තිකුසලබව හෙයින් සූත්‍රයාගේ යම් සුනිරුත්ති දුන්නිරුත්තියක් වේ ද එය “මේ පදය මෙසේ නිරූපණය කළයුතු ය, මෙය නිරූපණය නොකළයුතු යයි නුවණින් බලයි. මේ නිරුක්තිකෞශල්‍ය යයි කියනු ලැබේ. (මෙහි පෙළ ඉතා ව්‍යාකූලයි.)
එහි අධිප්පායකෝසල්ලය කවරෙ යත්: දේශනා කරන ලද සූත්‍රය පිළිබඳව භාග්‍යවතුන් විසින් මේ අදහසින් දෙසන ලදැයි දේශනායෙහි අදහස දැක්විය යුතු යැ (?) කෙබඳු ද යත්:
“ස්මෘති අවිප්‍රවාස සංඛ්‍යාත අප්‍රමාදය නිවනට කාරණ යැ, ප්‍රමාදය මරණයට කාරණ වෙයි” යන ගාථාව යැ.
මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අමෘතය (නිවන) මැ කැමැති වෙත් ද, ඔහු අප්‍රමත්ත වැ වාසකරන්නාහ” යන මේ අදහස යි.
12. (මේ ගාථාව අතිශයින් ව්‍යාකූල යැ මේ තාක් ශුද්ධ කිරීමට හසරක් නො ලැබිණ.)
මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යත්: යම් කෙනෙක් දුකින් මිදෙනු කැමැත්තාහු ද, ඔහු දුක් ක්‍ෂය කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ කරන්නාහු යැ. මේ එහි භාග්‍යවත්හුගේ අදහස යි. මෙසේ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ දේසිත කල්හි මේ සූත්‍රයෙන් දැක්වූ ධර්‍මානුධර්‍මයෙහි පිළිපදනේ යැ යනු අභිප්‍රාය යි. (?) මේ දේසනාධිප්පාය නමැයි කියනු ලැබේ.
එහි පුබ්බාපරසන්‍ධි කවරෙ යත්: (පුබ්බාපරසන්‍ධි දක්වන වාක්‍යය ද ව්‍යාකූලව ඇත.)
කොසල්ල යනු : වස්තු වශයෙන් නිදාන දැක්වීමෙහි කුශල බව ද ව්‍යඤ්ජන වශයෙන් නිරුක්ති දැක්වීමෙහි කුශලබව ද, දේශනායෙහි අදහස දැක්වීම පිළිබඳ කුශලබව ද පූර්‍වාපර වශයෙන් දේශනා සන්‍ධි දැක්වීමෙහි කුශලබව ද වේ ... ? (මෙ ද ව්‍යාකූල තැනෙකි) ... මේ චතු බ්‍යුහහාර යි.
7. එහි ආවත්හාර කවරෙ යත්:
13. ආරම්භධාතු ආදී (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනාරූඪ කල්හි ඒ ධර්‍මයට විෂභාගභාවයෙන් (ප්‍රමාදාදියට පදට්ඨාන වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණය කෙරෙයි, එය සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි. (මෙසේ සභාග විෂභාගවශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ආවට්ටහාර නම් වේ’.
කෙබඳු ද යත් : “උන්නළානං, පමත්තානං” යන ගාථා යි, මේ කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ හැරපීමට යැ, කුශලධර්‍මයන් හැරපීමට වැලිත් කුමකට පදට්ඨාන ද යත් : අකුශලධර්‍මයන්ගේ සේවනය කිරීමට යැ, (අප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ සේවනයටයැ (ප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : ක්ලේශවස්තු සේවනයට යැ මෙසේ ප්‍රමාදය හේතුකොටගෙන මෝහපක්‍ෂයෙහි වූ දෘෂ්ටිය ද ඡන්‍දරාග පක්‍ෂයෙහි වූ අවිද්‍යාව ද වෙයි. එහි තෘෂ්ණාවත් දෘෂ්ටියත් සතර ආස්‍රවයෝ වෙත්. තෘෂ්ණාව කාමා ස්‍රවය ද භවාස්‍රවය ද වෙයි. දෘෂ්ටිය දෘෂ්ටි ආස්‍රවය ද අවිද්‍යාස්‍රවය ද වේ. එහි චිත්තයෙහි (?) ඇත යන දෘෂ්ටිය චෛතසිකයන්හි නිත්‍ය යයි පඤ්චකාමගුණයන්හි බැසගෙන සිටීමෙන් කාමාස්‍රවය වෙයි, උපප්‍රාප්තියෙහි ඇලීම භවාස්‍රවය වේ. එහි රූපකාය කාමාස්‍රවයට ද භවාස්‍රවයට ද පදට්ඨාන යැ, නාමකාය දෘෂ්ටිආස්‍රවයට ද අවිද්‍යාස්‍රවයට ද පදට්ඨාන යි.
එහි ඇලීමෙන් අධ්‍යාත්මයෙහි බැසගෙන සිටීම කාමාස්‍රවයන්ගේ ලක්‍ෂණ යැ, ප්‍රාර්‍ත්‍ථනයෙන් ග්‍රන්‍ථනයෙන් අභිසංස්කාරකායයාගේ සංස්කරණය භවාස්‍රවයාගේ ලක්‍ෂණ යැ, අභිනිවේශය ද පරාමාසය ද දෘෂ්ටිආස්‍රවයාගේ ලක්‍ෂණ යැ, ධර්‍මයන්හි අප්‍රතිවේධය ද අසම්ප්‍රජන්‍යය ද අවිද්‍යාස්‍රවයාගේ ලක්‍ෂණ යි.
මේ සතර ආස්‍රවයෝ සතර උපාදානයෝ වෙති: කාමාස්‍රවය කාමොපාදාන යැ, භවාස්‍රවය භවෝපාදාන යැ, දෘෂ්ටිආස්‍රවය දෘෂ්ට්‍යුපාදාන යැ, අවිද්‍යාස්‍රවය ආත්මවාදෝපාදාන යි. මේ සතර උපාදානයන්ගෙන් පඤ්චස්කන්‍ධයෝ වෙත්.
එහි අවිද්‍යාස්‍රවය චිත්තයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය චිත්තයෙහි චිත්තානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. දෘෂ්ටිආස්‍රවය ධර්‍මවිෂයෙහි ප්‍රහාතව්‍ය යැ, එය ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. භවාස්‍රවය ආසත්තියෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය වේදනාවන්හි වේදනානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි, කාමාස්‍රවය පස්කම්ගුණයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය කයෙහි කායානුදර්ශී වූවහුට ප්‍රහීණ වේ.
එහි කායානුපස්සනාව දුඃඛාර්‍ය්‍යසත්‍යය භජනය කෙරෙයි, වේදනානුපස්සනාව සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යන පඤ්චේන්‍ද්‍රියයන්ට ප්‍රත්‍යය වෙයි, එයින් සප්ත ක්ලේශයන්ගේ උපචාරය සමුදයසත්‍යය භජනය කෙරෙයි. චිත්තයෙහි චිත්තානුපස්සනාව නිරෝධසත්‍යය භජනය කෙරෙයි. ධර්‍මයන්හි ධම්මානු පස්සනාව මාර්‍ගසත්‍යය භජනය කෙරෙයි.
එහෙයින් සතර සතිපට්ඨානයන්හි ලා චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ දර්‍ශනයෙන් ඔහුගේ සියලු ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. යම්හෙයකින් පළමු කොට “උන්නළානං පමත්තානං තෙසං වඩ්ඨන්ති ආසවා” යනු දක්වන ලද්දී ද එහෙයිනි. (යෝනිසෝමනසිකාරය) දන්නහුට දක්නහුට මැ ආස්‍රවක්‍ෂය වෙයි ... අකුශලධර්‍මයෝ මෙසේ සෙවියැ යුත්තාහ. අකුශලයාගේ ගති (පැවැත්ම) යම්තාක් වේ ද එපරිද්දෙනි. ඊට ප්‍රතිපක්‍ෂ විසින් අකුශල ධර්‍මයන් පර්‍ය්‍යෙෂණ කෙරෙයි. ඒ ක්ලේශයන් මේ භාරයෙන් ආවර්‍තන කෙරෙයි. මේ ආවට්ට භාර යී කියනු ලැබේ.
මෙසේ අකුශලධර්‍මයන් ආවර්‍තන කොට කුශලධර්‍මයෝ ද සෙවියැ යුත්තාහ. එහි ආවට්ටහාරයට මේ භූමි යැ: සතර සතිපට්ඨානයෝ ද සතර විපල්ලාසයෝ ද සතර මාර්‍ගඥානයෝ ද සක්කායසමුප්පාදගාමිනී පටිපදාව ද සක්කායනිරෝධගාමිනී පටිපදාව ද යන මේ ධර්‍මයෝ යි.
8. එහි විභක්තිහාරය කවරෙ යැ:
විභාග කොට ප්‍රකාශ කළ යුතු (කුශලාදි භේද වූ ධර්‍ම යැ විශේෂාධිගමයට කාරණ වූ පදට්ඨාන යැ පෘථග්ජනාදි භූමි යැ යන) යම් කිසි ධර්‍මයක් ඇද්ද මේ විභක්ති හාර යයි කියනු ලැබේ. කුමක් මෙන් ද යත්: (ආගන්ත්‍වා ද–?) මේ විභක්තිහාර යයි කියනු ලැබේ.
9. එහි පරිවර්‍තනහාර කවරැ:
යම් කිසි ප්‍රතිපක්‍ෂ වශයෙන් නිර්දේශයෙක් ඇද්ද, මේ පරිවර්‍තනහාර යයි කියනු ලැබේ. “සම්‍යග්දෘෂ්ටි ඇති පුඟුල් හට මිත්‍ථ්‍යාදෘෂ්ටිය (විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව මාර්‍ගසම්‍යග් දෘෂ්ටියෙන් සමුච්ඡින්නව) ප්‍රහීණ වේ” යයි විස්තරයෙන් සියලු මාර්‍ගාංගයෝ දැක්විය යුත්තාහ. මේ පරිවර්‍තනභාර යී කියනු ලැබේ.
10. එහි වෙවචනහාරය කවරැ :
14. සූත්‍ර දන්නා වූ යමෙක් සූත්‍රයෙහි නොයෙක් වෙවචනයන්ගෙන් ප්‍රකාශ කරන ලද එක් ධර්‍මයක් දැනගනී ද, ඒ හාරය තෙමේ වෙවචන නම් වේ.
ඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එක් වස්තුයෙක්හි ලා භාග්‍යවතුන් විසින් වෙවචන වූ නානාසූත්‍රයෙන් පසස්නා ලදහ. “ශාරීපුත්‍ර මහාපඤ්ඤ යැ හාසපඤ්ඤ යැ ජවන පඤ්ඤ යැ” යි මේ ප්‍රඥාවට වෙවචන යි.
තවද මාර්‍ග විභංගයෙහි නිර්‍ය්‍යාණාර්‍ත්‍ථ වූ එකෙකි මාර්‍ගංගය වෙවචනයන්ගෙන් දක්වන ලදි. අවිද්‍යාවෙවචනයෝ ද එසේ යැ. එක් අකුශලමූලයක් එය මැ වූයේ ඒ ඒ ජනපදයන්හි ඒ ඒ නාමයෙන් දැනැගනිත්. මේ නාමයෙන් මෙය මැ නො කියත්, අනෙකක් වෙයි. “සබ්බකාමජහස්ස භික්ඛුනෝ” යී කාමයෝ කියන ලද්දාහ. “යස්ස නිත්තිණ්ණො පඞ්කො” යී ඒ කාමයන් මැ “පඞ්ක” යී පවසයි. “සුණමානස්ස පුරේතරං රජං” යී ඒ කාමයන් මැ “රජං” යී පවසයි. මෙසේ සූත්‍රයෙහි ලා යම් දහමෙක් දෙසනු ලැබේ ද, “කවර දහමකට මේ නාමය වේ ද කවරකට මේ වෙවචනය වේ දැ’යි ඒ නාමයාගේ පර්‍ය්‍යෙෂණය වේ. සර්‍වඥයන් වහන්සේ වනාහි යම් යම් දහමකට යම් නිරුක්තියක් වේ ද ඒ ඒ වචනයෙන් දේශනා කරන්නසේක් නුයි ඒ ධර්‍මයාගේ මේ වචනය සෙවියැ යුත්තේ යි. මේ වෙවචනහාර යි.
11. එහි පඤ්ඤන්තිහාරය කවරැ :