Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 401-500 න් 1341

52. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද දිව්‍යවිහාරවශයෙන් ලැබිය යුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන් සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත්.
“මහණෙනි, මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙති. මේ ධම්මාධිට්ඨාන යි,
(45) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද කවරැ:
“බාලයන් විසින් ඒ චතුස්සත්‍යය දැක්ක නො හැකි ය, ප්‍රතිවේධය දුර්දශ යැ. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දන්නහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණා නැතැයි කියමි” (මෙහි) “දුද්දසං තං සච්චං, දුද්දසො පටිවේධො බාලෙහි” යනු ධම්මාධිට්ඨාන යැ, “ජානතො පස්සතෝ නත්‍ථි නන්‍දි” යනු සත්තාධිට්ඨාන යි.
“දාරුක්ඛන්‍ධොපමසූත්‍රය (වේදනාසංයුක්ත) ගංගායෙහි සරස වැටීම යැ ඔරිමතීරය පාරිමතීරය ස්ථලයෙහි නඟා නො තැබීම ය මධ්‍යයෙහි නො ගැලීමය මනුෂ්‍ය ග්‍රහණය අමනුෂ්‍යග්‍රහණය ඇතුළත දිරූබව ද යන මේ ‘ධම්මාධිට්ඨාන’ යැ. යළි මෙසෙයින් මහණ නිර්‍වාණනින්න නිර්‍වාණප්‍රවණ වන්නේ යැ යන මේ ‘සත්තාධිට්ඨාන’ යැ. මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන’ ද සූත්‍ර යි.
(46) එහි ‘ථව’ සූත්‍ර කවරෙ යත්:
53. ජංගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාංගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි. සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණ සංඛ්‍යාත විරාගය උතුම් වෙයි. දිව්‍ය මනුෂ්‍යාදි දෙපා ඇත්තවුන් අතුරෙන් පසැස් ඇති තථාගතයෝ උතුම් වෙත්.
“මහණෙනි, මේ අග්‍රයෝ තිදෙනෙක් වෙති: සත්ත්‍වයන් කෙරෙන් බුදුහු අග්‍ර වෙති. ධර්‍මයන් කෙරෙන් විරාගය (නිවන) අග්‍ර යැ, ගණයන් කෙරෙන් සංඝයා අග්‍ර යි. මේ ථව සූත්‍ර යි.
(47) එහි අනුඤ්ඤාතය කවරැ :
54. කයින් සංවරය මැනැවි, වචනයෙන් සංවරය මැනැවි, සිතින් ස්වරය මැනැවි, හැම තන්හි සංවරය මැනැවි, සියලු තැන්හි සංවෘත වූ මහණ සියලු දුකින් මිදේ.
මේ භාග්‍යවතුන් විසින් අනුඤ්ඤාත යැ.
“මහණෙනි, මේ කටයුතු තුනක් වෙති: කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිතයි. මේ අනුඤ්ඤාත සූත්‍ර යි.
(48) එහි ‘පටික්ඛිත්තය’ කවරැ :
“නත්‍ථි පුත්තසමං පෙමං” (දේවතාසංයුක්ත) විස්තරය වෙයි. මේ පටික්ඛිත්ත යැ.
“මහණෙනි, මේ නො කටයුතු තුනක් වෙති : (තමන් වහන්සේ විසින් අවබෝධ කොට දෙසන ලද්දාහු යැ.) කවර තුනෙක යත් : කායදුශ්චරිතය වචීදුශ්චරිතය මනෝදුශ්චරිත යි. මේ “පටික්ඛිත්ත” සූත්‍ර යි.
(49) එහි අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද කවරැ:
55. කයින් කුශලය කරන්නේයැ කයින් සංවෘත වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතයෙහි හැසිරෙන්නේ යි.
ප්‍රථම පාද දෙකින් ද සතරවැනි පාදයෙන් ද අනුඥා කෙරෙති, ‘කාදුච්චරිතං හිත්වා’ යන තුන් වැනි පාදයෙන් ප්‍රතික්‍ෂිප්ත යි.
මහාවීභංගො ... (?)
මේ එහි උද්දාන ගාථා යැ:
“සචෙ භායථ දුක්ඛස්ස –පෙ– දුද්දසං අමතං පදං” යී උදාහෘත දේශනා සඳහන් කරන උද්දානගාථා පාළිවශයෙන් ම දතහෙන්නේ යි.
පෙටකෝපදේසයෙහි සාසනපට්ඨාන නම් වූ
ද්විතීය භූමි සමාප්ත යි.
3. තෘතීය භූමි - සුත්තාධිට්ඨාන
එහි සුත්තාධිට්ඨාන කවරෙ යත් : 1. ලෝභාධිට්ඨාන යැ 2. දෝසාධිට්ඨාන යැ. 3. මෝහාධිට්ඨාන යැ 4. අලෝභාධිට්ඨාන යැ 5. අදෝසාධිට්ඨාන යැ 6. අමෝහධිට්ඨාන යැ 7. කායකම්මාධිට්ඨාන යැ 8. වාචාකම්මාධිට්ඨාන යැ. 9. මනෝකම්මා ධිට්ඨාන යැ. 10. සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යැ 11. විරියින්‍ද්‍රියාධිට්ඨාන යැ 12. සතින්‍ද්‍රියාධිට්ඨාන යැ 13. සමාධින්‍ද්‍රියාධිට්ඨාන යැ 14. පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන යි.
(1) එහි ලෝභාධිට්ඨාන කවරැ :
1. කාමාදි අකුශලවිතර්‍කයෙන් මැඩුණු දැඩි වූ කාමරාග ඇති අරමුණු ශුභවශයෙන් බලන සත්ත්‍වහට බෙහෙවින් තෘෂ්ණාව වැඩෙයි, තෙල පුද්ගල තෘෂ්ණාබන්‍ධනය දැඩි කරන්නේ යි.
‘විතක්කපමථිතස්ස’ යනු කාමරාග යැ, ‘සුභානුපස්සිනෝ’ යනු කාමවස්තු යැ. ‘භිය්‍යො තණ්හා පවඩ්ඪති’ යනු කාමතෘෂ්ණා යැ, එස දළ්හං කරෝති බන්‍ධනං’ යනු රාගය යි. මෙසේ යම් යම් ධර්‍මයෙක් මූලවශයෙන් තබන ලද ද (?) මෙහි ඒ ධර්‍මය මැ දැක්විය යුතු (?) බුදුහු එක් ධර්‍මයක් අරබයා අන් දහමක් නො දෙසනසේක. යමෙක් කාමවිතර්‍කය විතර්‍ක කෙරේ ද, ඒ විතර්‍කය මැ කාමවිතර්‍කවශයෙන් දක්වනු ලැබේ. ‘තිබ්බරාගස්ස’ යී ඒ විතර්‍කයාගේ මැ වස්තුව දක්වති. ‘සුභානුපස්සිනෝ භිය්‍යො තණ්හා පවඩ්ඪති’යි ඒ රාගය මැ ‘කාමතණ්හා’ යයි දක්වති. ‘එස දළ්හං කරෝති බන්‍ධනං’ යි ඒ තණ්හා සංයෝජනය මැ දක්වති. මෙසේ ගාථාවන්හි ද වෙය්‍යාකරණයන්හි ද ප්‍රමාණ කටයුතු.
එහි බුදුහු එක් ධර්‍මය අනුසස් හෙයින් ද හේතු හෙයින් ද ඵල හෙයින් දැයි ත්‍රිවිධ කොට දක්වන සේක.
2. නොමසුරු වූ මිනිස්තෙම දන් දෙනුයේ ප්‍රිය වූයේ වෙයි. බොහෝදෙන ඔහු ඇසුරු කෙරෙති, කීර්තියට ද පැමිණෙයි, ඔහුගේ යශස් වැඩෙයි, නො මකු වැ (තෙද ඇතිවැ) පිරිස් කරා පැමිණෙයි, විශාරද වූයේ වේ.
‘දදං’ යනු යම් යම් දානයෙකි. මේ දානමය පුණ්‍යක්‍රියා යැ. එහි ‘භජන්ති නං බහූ’ යන යමක් ඇද්ද තෙල හේතු යැ. ‘කිත්තිං’ යනු යම් කල්‍යාණ කීර්තිශබ්දයෙක් ලොවැ උස්ව නැඟේ ද, බොහෝ දෙනාට ප්‍රිය මනාප වූයේ වේ ද විපිළිසර නැතිවැ කලුරිය කෙරේ ද, මේ අනුසසි, කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදී යන මේ ඵල යි. මේ අලෝභාධිට්ඨාන යි.
(2) එහි දෝසාධිට්ඨාන කවරැ :
3.4. (මේ ගාථා දෙක 4, 5, වැනි පිටේ ව්‍යාඛ්‍යාත යැ.)
‘යෝ පාණමතිපාතේති’ යනු දුෂ්ට වූයේ ප්‍රාණවධ කෙරෙයි, ‘මුසාවාද ව භාසති’ යනු ද්වේෂයෙන් උපහත බැවින් මුසවා බෙණෙයි, ‘සුරාමේරයපානං ච යො නරෝ අනුයුඤ්ජති’ යනු දෝසනිදාන යැ, යමෙක් රහමෙර පීමෙහි යෙදේ ද හේ පරදාරවිහරණ ඇත්තකු සෙයින් සතුරන් උපදවයි.
‘පඤ්ච වේරානි අප්පහාය’ යනු පඤ්ච ශික්‍ෂාපදයන් ඉක්මැවීම යැ, සියලු දෝසජ අකුශලයන්ට ඒ ප්‍රඥප්ති යැ, එහෙයින් මැ ද්වේෂජනිත කර්‍මයෙන් දුශ්ශීලයෙකැ යි කියනු ලැබේ, ඒ ධර්‍මය ද හේතුයෙන් නිස්‍යන්‍දයෙන් හා ඵලයෙන් දැක්වියැ යුතු.
‘බාලයාගේ බාලලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති : දුර්‍භාෂිත කියන්නේත්, දුශ්චින්තිත සිතන්නේත් දුෂ්කෘතකර්‍ම කරන්නේත් වෙයි. එහි කයින් ද වචනයෙන් ද යම් උත්සාහයෙක් ඇද්ද, මේ ඔහුගේ දුෂ්කෘතකර්‍මකාරී බව යැ. එහි යම්සේ යම් මුසාවාදයෙක් බෙණේ ද එය පළමු දක්වන ලද පරිදි යැ. මේ ඔහුගේ දුර්‍භාෂිතභාෂි බව යැ. යම් මනෝදුශ්චරිත වූ ව්‍යාපාදයක් සිතා ද, මේ ඔහුගේ දුශ්චින්තිත චින්තී බවයි. හේ මේ තුන් බාලලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ එයින් උපන් තුන් දුක් දොම්නස් විඳී. හේ සභාමැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ තදනුරූප වූ කථා බෙණෙයි, ඒ හේතුයෙන් ප්‍රාණ වධාදි දශ අකුශලකර්‍මපථ ඇති හෙතෙම දුක් දොම්නස් විඳී යයි.
යළිදු හෙතෙම යම්කලෙක රාජාපරාධ කළ, රජු විසින් ගන්නා ලද සොරකු දිවියෙන් තොර කරන්නහු දකී ද, එකල ඔහුට මේ සිත වෙයි : ඉදින් රජ මා ද දන්නේ නම් රජ මා ද ගන්වා දිවියෙන් තොරකරන්නේය’යි. හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී.
නැවත ද බාල තෙමේ යම් කලෙක අසුනක හුන්නේ වේ ද, එ කල්හි මෙයින් මියැ මරණින් මතු මට යම්බඳු ගතියක් වන්නේ දැයි සිතාද, හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී. මෙසේ බාලලක්‍ෂණය හේතු යැ, එයින් උපන් තුන්වැදෑරුම් දුක නිස්‍යන්‍ද යැ, කය බිඳීමෙන් මරණින් මතු නිරයෙහි උපදී. මේ ඵල යි. මේ දෝසාධිට්ඨාන යි.
(3) එහි මෝහාධිට්ඨාන කවරැ :
5. කල්ප සියදහසක් සසර සැරිසරන්නේ යැ, නොහොත් එයින් වැඩියක් කල් ගර්‍භයෙන් ගර්‍භයට (මවුකුසින් මවුකුසට) යන්නේ ය.
6. බුදුවදන් නොගෙන සංස්කාරයන් ආත්මවශයෙන් ගෙන දුක් කෙළවරකරන්නේය යන තෙල කරුණ නො වේ.
අනවරාග්‍ර සංසාරයට සමාපන්නවූ මේ පුද්ගල උපදයෙන් ද මියන්නේ ද වෙයි. මේ අවිද්‍යා හේතුක යැ, සංස්කාරයන්ගේ යම් යෙදීම් කෙනෙක් ඇද්ද ඔහුදු අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහුය, බුද්ධවචනයාගේ යම් නො දැනීමෙක් ඇද්ද මේ අවිජ්ජාසූත්‍රයෙහි මැ දක්වනලද. යමෙකුත් සංස්කාරයන් ආත්මවශයෙන් ගනී ද හේ පඤ්චස්කන්‍ධයෙහි ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි තෙලෙ මාගේ ආත්ම වේ’ යයි පඤ්ච දෘෂ්ටීන්ට පැමිණේ. මේ සූත්‍රය අවිද්‍යායෙහි ලා වදාරනලද, මෙසේ බුදුහු සූත්‍රයෙහි අසාධාරණ වූ දහම් නයින් දක්වන සේක. එය මැ එහි දැක්විය යුතු යැ, අනෙකක් නොදැක්විය යුතු.
‘මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ‘මේ දුකැ’යි නොදනිත් ද, (සිවුසස් විස්තරයෙන්) එහි යම් නො දැනීමක් ඇද්ද, මේ දුක යැ, මේ හේතු යි. නොදන්නේ විවිධ සංස්කාරයන් රැස්කෙරෙයි. මේ නිස්සන්‍ද’ යැ. මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි යම් දෘෂ්ටියක් පරාමර්‍ශ කෙරේ ද මේ නිස්සන්‍ද යැ, යම් පුනර්‍භවයක් උපදවා ද, මේ ඵල යි. මේ ධර්‍මය ද හේතුවශයෙනුදු නිස්සන්‍දවශයෙනුදු ඵලවශයෙනුදු දක්වන ලද.
මෙහි වැලිත් කිසි ධර්‍මකෙනෙක් සාධාරණ වෙති, හේතුව වනාහි ආදියෙහි ම සූත්‍රයෙහි නික්‍ෂේප කෙරෙති, කුමක් මෙන් ද යත් : “මහණෙනි, මේ අගති ගමනයෝ සතර දෙනෙක් වෙති”. එහි යම් ඡන්‍දයෙන් අගතියට යෑමෙක් ඇද්ද භයින් අගතියට යෑමෙක් ඇද්ද, මේ ලෝභඅකුශලමූල යැ. යම් ද්වේෂයෙන් අගතිගමනෙක් ඇද්ද මේ දෝස අකුසල මූල යැ, යම් මෝහයෙන් අගතිගමනෙක් ඇද්ද මේ මෝහඅකුසලමූලය මැය. මෙසේ මේ තුන් අකුශලමූලයෝ ආදියෙහි මැ විමසියැ යුත්තාහ. යම් තැනෙක එකක් දැක්විය යුතු ද, එහි එකෙක් දක්වනු ලැබේ. දෙකක් තුනක් දැක්විය යුතු තැන ද එසේ යැ. ආදියෙහි නො දැක්වූ කල්හි හේතුව හෝ නිස්සන්‍දය හෝ ඵලය හෝ නො මැ දැක්වියයුතු. මේ මෙහි ගාථා යැ.
7. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැයේ නම් ඔහුගේ කීර්ති-පරිවාරයශස් අවපස සඳ මෙන් පිරිහේ.
එහි ඡන්‍දහේතුයෙනුදු ... මේ ලෝභ යැ. පෙර දැක්වූ පරිදි යැ. මේ මෝහාධිට්ඨාන යි.
(4) එහි අලෝභාධිට්ඨාන කවරැ :
8. උද්ධුමාතකාදි අශුභයක් අනුව බලමින් වසන ඉඳුරන් කෙරෙහි මැනැවින් සංවර වූ භෝජනයෙහි පමණ දන්නා ශුද්ධා ඇති සතර ඉරියව්වෙහි වඩන ලද වීර්‍ය්‍ය ඇති ඒ පුද්ගලයා වාතය හුදු සෙල්පව්වක් සෙයින් ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩලියැ නොහේ යයි.
එහි අශුභය පිළිබඳ යම් උපපරීක්‍ෂායෙක් වේ ද මේ කාමයන්හි ආදීනව දැකීමෙන් හැරැපීම යැ, ඉන්‍ද්‍රියයන්හි සුසංවෘත වූයේ ඒ අලෝභයාගේ මැ පිරීමෙහි ලා මාගේ ආයතනයෝ හොබනාහ’ යි නොගෙන, භෝජනම්හි ච මත්තඤ්ඤුං’ යනු රසතෘශ්ණාප්‍රහාණය යැ. මෙසේ මේ අලෝභය අශුභානුදර්ශීභාවයෙන් වස්තුවශයෙන් ධරයි, ඒ අලෝභය හේතු යැ : ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බැවින් ගෝවරගෙයින් ධරයි, භෝජනයෙහි පමණ දන්නා බැවින් පරභාවයෙන් ධරයි, මේ නිස්සන්‍ද යැ, “තං චෙ නප්පසහති මාරො වාතො සෙලංව පබ්බත” යන මේ ඵල යි. මෙසේ යම් මැ ධර්‍මයෙක් ආදියෙහි නික්‍ෂේප කරන ලද ද ඒ ධර්‍මය මැ මධ්‍යයෙහි ද අවසානයෙහි ද නික්‍ෂේප කරන ලදි.
“මහණෙනි, මම නූපන් කාමච්ඡන්‍දයාගේ නො ඉපදීම පිණිස හෝ උපන් කාමච්ඡනයාගේ ප්‍රහාණය පිණිස හෝ මේ අශුභ නිමිත්ත යම් බඳු ද එබඳු වූ අන් එක දහමකුදු නො දක්මි.” එහි අශුභනිමිත්ත (හේතුයෙන්) නූපන් කාමච්ඡන්‍දයත් නූපදී, උපන් කාමච්ඡන්‍දයත් ප්‍රහීණ වෙයි. මේ අලෝභයට වස්තු යැ. යළි යම් හෙයකින් නූපන් කාමරාග තෙමේ රූපරාගය අරූපරාගය මැඩගනී’ යනු ඵල යි. මෙසේ මේ ධර්‍මය ද හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලදි. මේ අලෝභාධිට්ඨාන යි.
(5) එහි අදෝසාධිට්ඨාන කවරැ :
9. ඉදින් ව්‍යාපාදයෙන් අදූෂිත සිත් ඇතියේ එක් ප්‍රාණියකුට පවා මෙත් වඩා ද, ඒ මෙත් වැඩීමෙන් මහත් කුසල් ඇතියේ වෙයි. සියලු ප්‍රාණීන් ට සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය (පිරිසුදු සිත් ඇති) පුද්ගල බොහෝ පින් උපදවයි.
‘ඒකම්පි චෙ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති’ යනු මේ අදෝස යැ, ද්වේෂ ප්‍රහාණයෙන් ආස්වාදය වේ. ‘කුසලො තෙන හොති’ යනු ඒ කුශලධර්‍මයෙන් යුක්ත වූයේ ධර්‍ම ප්‍රඳප්තියට යෙයි, ‘කුසලො’ යනු යම්සේ ප්‍රඥායෙන් ප්‍රාඥ වූයේ පාණ්ඩිත්‍යයෙන් පණ්ඩිත වූයේ ද එමෙනි. ‘පහූතමරියො පකරෝති පුඤ්ඤං’ යනු ඒ මෙත්තාවගේ මැ විපාක යැ. මේ ලෞකික කුශලයාගේ යැ. ලෝකෝත්තරකුශලයාගේ නොමැ වෙයි. එහි යම් මෙත් වැඩීමෙක් ඇද්ද මේ හේතු යැ. යම් කුසල්ඇතියේ වේ ද, මේ නිස්සන්‍ද යැ. යම්තාක් අව්‍යාපාද භූමියෙහි සිට බොහෝ පින් උපදවා ද, මේ ඵල යි. මෙසේ හේතු වශයෙන් ද නිස්සන්‍ද වශයෙන් ද ඵලවශයෙන් ද අදෝසය දක්වන ලදි.
‘මෙත්තාචේතෝවිමුත්තියෙහි එකොළොස් අනුසස් කෙනෙක් වෙති’. එහි යම් මෙත්තාචේතෝවිමුක්තියක් ඇද්ද මේ ආර්‍ය්‍ය ධර්‍මයන් කෙරෙහි රාගවිරාගචේතෝවිමුත්ති යැ. ලෞකිකභූමියෙහි වූවා හේතු යැ. යම් සුවයෙක් වේ ද මතුයෙහි මිනිසුන්ට මනාප වේ ද, මේ එකොළොස් ධර්‍මයෝ නිස්සන්‍ද යැ. යම් මාර්‍ගයෙන් කළ කිස නැතියේ බඹලොවැ උපදී ද, මේ ඵල යි. මේ අදෝසාධිට්ඨාන යි.
(6) එහි අමෝහාධිට්ඨාන කවරැ :
10. යම් ප්‍රඥාවක් නිර්වේදගාමිනී වේද, යම් ප්‍රඥාවකින් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීම් සංඛ්‍යාත නිවන මැනැවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, ඒ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥාව මැ ලොවැ ශ්‍රේෂ්ඨ වන්නී යැ.
“පඤ්ඤා හි සෙට්ඨා” යනු වස්තු යැ. “නිබ්බේධගාමිනි” යනු නිර්‍වාණගාමිනී මාර්‍ගය යථාභූත වැ ප්‍රතිවේධ කෙරෙයි. “සම්මා පජානාති ජාතිමරණ සංඛයං යනු අමෝහ යැ. “පඤ්ඤා” යනු හේතු යැ. යමක් දැන ගනී ද මේ නිස්සන්‍ද යැ. යම් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙක් ඇද්ද මේ ඵල යි. මෙසේ හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලද්දේයි.
“මහණෙනි මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ අවබෝධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අභිසමය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යයාරම්භ කෙරෙයි, සිත දැඩිව ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. (මෙසේ සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ විස්තරය කළ යුතු.) එහි අඤ්ඤින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි යථාභූතව දැනගනී. (මෙහි පාළිය) මේ අඤ්ඤින්‍ද්‍රිය යැ, ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වෙයි. මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යී කියනු ලැබේ. මේ ප්‍රඥාව එබඳු යි. මේ හේතු යැ. යම් ඡන්‍දයක් උපදවා ද වෑයම් කෙරේ ද යමක් දැනගනී ද මේ නිස්සන්‍ද යැ. යමකින් සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ ද, මේ හේතු යි. යම් ක්‍ෂයඥානයකුත් අනුත්පාදඥානයකුත් උපදී ද, මේ නිස්සන්‍දයැ, යම් රහත් බවක් වේද මේ ඵලයි. එහි මාගේ ජාතිය ක්‍ෂය වූයැ. මහබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කළයුතු කිස කරන ලදැ’යි යන මේ ක්‍ෂයඥාන යැ. මේ බැව් සඳහා අන් කටයුත්තෙක් නැතැයි දැනගනී’ යන මෙය අනුත්පාදඥාන යි. මෙසේ මේ ඉන්‍ද්‍රියයෝ වෙති. හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලදි. මේ අසාධාරණ ඥානයෝ දක්වන ලද්දාහු යි.
එහි සාධාරණ කුශලමූලයෝ කවරහ :
“මහණෙනි, තොපට කුශලය ද කුශලමූලය ද දෙසන්නෙමි, එහි කුශලමූලය කවරැ : අලෝභය අදෝසය අමෝහ යි. එහි කුශලය කවරැ : අෂ්ට සම්‍යක්ත්‍වයෝ යැ. සම්මා දිට්ඨිය පටන් සම්මාසමාධිය දක්වා යි. එහි යම් කුශලමූලයෝ වෙත් ද මේ හේතු යැ. අලෝභය සංකප්ප වායාම සමාධි යන තුන් කර්‍මයන් උපදවයි. මේ අලෝහයාගේ නිස්සන්‍දයැ, එහි යම් අදෝසයෙක් වේ ද මේ හේතු යැ. යම් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව ද යන තුන් ධර්‍මයන් පිහිටුවා ද මේ නිස්සන්‍ද යැ. එහි යම් අමෝහ හේතුයෙක් ඇද්ද එය අවිපරීතදර්‍ශනය ද අනභිලාපය ද යන දෙ දහමුන් එළවයි. මේ නිස්සන්‍ද යැ. මේ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් ඵලයෙක් වේ ද එය රාගවිරාග චේතෝ විමුක්තිය අවිජ්ජාවිරාග පඤ්ඤවිමුක්තිය ද යන විමුක්තීහු දෙදෙන යැ මේ ඵල යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ හේතුහේයින් ද නිස්සන්‍ද හෙයින් ද එලහෙයින් ද දක්වන ලද්දාහු ය. මෙසේ සාධාරණ කුශලයෝ දතයුත්තාහු යි.
යත්‍ථ දුවෙ යත්‍ථ තීණි (?) මෙහි මේ ගාථාව ද වෙයි.
11. බුද්ධ මුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචර කර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භව සංස්කාරය ද දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා වශයෙන් අධය්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අර්‍පණා සමාධීන් සමාහිත ව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්ම සම්භව වූ සියලු ක්ලේශජාතය බිඳ ලූහ’ යි.
තුලමතුලං ච සම්භවං යනු තුල සංඛ්‍යාත ද අතුල සංඛ්‍යාත ද ධර්‍ම ය, එහි යම් සංඛත ධර්‍මයෝ තුල වෙත් ද, ඔහු ධර්‍මයෝ දෙදෙනෙකි : අස්සාදය ද ආදීනවය ද තුලිත වූවාහු වෙති. කාමයන්හි ආස්වාදය මෙතෙකැ මොහුගේ ආදීනවය මෙතෙකැයි මේ නිස්සරණ යයි මෙසේ නිවන දැනගනී.
දෙ ආකාරයෙකින් අතුල යැ, තෙල මෙතෙකැ යි තුලනය කරන්නට නො ද හැකි යැ. මෙයට අධික වූවක් නැත් නුයි එකරුණෙන් අතුල යැ, නිවන රත්න යැයි කොට ආශ්චර්‍ය්‍ය භාවයෙන් අතුල යි. එහි කුසලයාගේ ඉපැදීමෙන් දැනීමක් නුවණින් දැකීමක් ඇද්ද, මේ අමෝහ යැ. එහි භවසංස්කාරයන්ගේ දැනීමෙන් දුරැලීමෙක් ඇද්ද, මේ අලෝභ යැ. “අජ්ඣත්තරතො සමාහිතො”යී වික්‍ෂේපය දුරුකිරීමෙක් ඇද්ද මේ අදෝස යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ වෙති. ‘තුලමතුලොං සම්භවං’ යන මේ අමෝහ යැ. භවසංස්කාරයන්ගේ සමෝසරණය ඇති යම් ලෝභයෙක් ඇද්ද, සම්‍යක් සමාධීන්ගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ හේතු යැ, ආධ්‍යාත්මයෙහි ඇලුණේ අවිද්‍යා අණ්ඩකෝෂයාගේ යම් බිඳීමෙක් ඇද්ද මේ නිස්සන්‍ද යැ. ඒ ප්‍රතිපත්ති යැ. මේ තුන් කුශලමූලයෝ හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලද්දාහු යි.
මෙතෙකින් මේ ප්‍රවෘත්තිය ද නිවෘත්තිය ද වෙයි, අකුශලමූලයන්ගෙන් ප්‍රවෘත්තිය ද කුශලමූලයන්ගෙන් නිවෘත්තිය ද වේ නුයි මේ තුනෙන් සියලු අකුශලය එක්වීමට යෙයි. හෙ ද ධර්‍මයෙහි වචනයෙන් දක්වන ලද (?) තණ්හා යයි හෝ ක්‍රෝධ යැ අසම්පජඤ්ඤයැ මක්ඛ යැ පළාස යැ අසති යැ ඉස්සා යැ මච්ඡරිය යැ අඤ්ඤාණ යැයි හෝ යමක් ඒ වස්තූන් ගෙන් දැක්විය යුතු ද,ධම්මපද වූ යම් (පවත්ති - නිවුත්ති) යන වචන දෙකක් දක්වන ලද්දාහු ද, යම් ක්ලේශයෙක් තණ්හා ආදි මේ නව පදයන්හි සමෝධානයට, සමෝසරණයට නොයේ එබඳු ක්ලේශයෙක් නැත. මේ ක්ලේශ යි. ලෝභය ද දෝසය ද මෝහය ද නො වේ. (? මේ වාක්‍යය, මුළුල්ල ව්‍යාකුල යි.) අකුශලමූලයෝ යම්සේ ද එසේ කුශලයෝ ද ප්‍රතික්‍ෂේප වශයෙන් දැක්විය යුත්තාහු ය. මේ මෝහාධිට්ඨාන යි.
(7) එහි කායකම්මාධිට්ඨානය කව රැ :
12. කයින් කුසලය කරන්නේ යැ කයින් සංවර වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කයින් සුචරිතයෙහි හැසිරෙන්නේ යැ.
“මහණෙනි. මේ කාය සුචරිතයෝ තිදෙනෙකි : ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තා දානයෙන් වෙන්වීම යැ කාමයෙහි මිස හසරින් වෙන්වීම” යි. මේ කායකම්මාධිට්ඨාන යි.
(8) එහි වාචාකම්මාධිට්ඨාන කවරැ :
13. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු, ධර්‍මය මැ කියන්නේ යැ (මේ පළමුවන අංග යැ) අධර්‍මය නො කියන්නේ යැ එය දෙවන අංග යැ ප්‍රිය වචනය කියන්නේ යැ අප්‍රිය වූවක් නො කියන්නේ යැ ඒ තෙවන අංග යැ සැබවක් කියන්නේ යැ බොරු බසක් නො කියන්නේ යැ ඒ සතරවැනි අංග යි.
යළි මේ වාක් සුචරිතයෝ සතර දෙනෙක් වෙති. මේ වාචාකම්මාධිට්ඨාන යි.
(9) එහි මනෝකම්මාධිට්ඨාන කවරැ :
14. සිතින් කුසලය කරන්නේ යැ සිතින් සංවෘත වන්නේ යැ. මනෝදුශ්චරිතය හැරපියා සිතින් සුචරිතයෙහි හැසිරෙන්නේ යි.
“මේ මනෝසුචරිතයෝ තිදෙනෙක් වෙති : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්මාදිට්ඨි යි. මේ මනෝකම්මාධිට්ඨාන යි. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
එහි සාධාරණ සූත්‍රයෝ කවරහ :
15. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වාග්ද්වාරය රක්නේ යැ. සිතින් ද සංවෘත වන්නේ යැ කයිනුදු අකුසල් නො කරන්නේ යැ. මේ තුන් කර්‍මපථය පිරිසිදු කරන්නේ යැ, බුද්ධාදි ඍෂින් විසින් ප්‍රවිදිත වූ ආර්‍ය්‍ය මාර්‍ගය සිද්ධ කරන්නේ යි.
“මහණෙනි මේ ‘පාරිශුද්ධීහු තිදෙනෙක් වෙති : කායකර්‍ම පාරිශුද්ධි යැ වාක්කර්‍ම පාරිශුද්ධි යැ මනඃකර්‍මපාරිශුද්ධි යි. එහි කායකර්‍ම පාරිශුද්ධි කවර: ප්‍රාණවධයෙන් වැළැකීම යැ අදත්තාදානයෙන් වෙන් වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම යි. එහි වාක්කර්‍මපාරිශුද්ධි කවර : මෘෂාවාදයෙන් වෙන්වීම යැ ... සම්ඵප්‍රලාපයෙන් වෙන් වීම යි. එහි මනඃකර්‍මපාරිශුද්ධි කවර : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්‍යග්දෘෂ්ටි යි. මේ සාධාරණ සූත්‍ර යි.
මෙසේ සාධාරණ සූත්‍රයෝ ද අසාධාරණසූත්‍රයෝද දතයුත්තාහු ය, දැන වචනයෙන් ද සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුත්තේ යි.
(10) එහි සද්ධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
16. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මැනැවින් පිහිටියා ද යමක්හුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද ද -
17. යමක්හට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද (කායවංකාදි අභාවයෙන්) ඍජුවූ දර්‍ශනය වේ ද ඔහු නොදිළින්දෙකැයි කියති. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.
18. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහිකරන නුවණැති පුද්ගල ශ්‍රද්ධාව යැ ශීල යැ ප්‍රසාද යැ. සිවුසස්දහම් දැකීම යැ යන මෙහි යෙදෙන්නේ යි.
මේ සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යි.
(11) එහි විරියින්‍ද්‍රියාධිට්ඨානය කවරැ :
19. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මැයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ - විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්ත ප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් මෙන් කෙලෙස් මරුහුගේ කාමාදි සේනාව විද්ධවංසන කරවු.
“මහණෙනි, මේ සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි.” මේ විරියින්‍ද්‍රියායිට්ඨාන යි.
(12) එහි සතින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
20. සිහි ඇතියහුට හැම කල්හි භද්‍රය (යහපත) වෙයි, සිහි ඇතියේ සුවය ලබයි, සිහි ඇතියේ හැමකල්හි උතුම් වෙයි, (එතෙකින්), වෛරයෙන් නො මිදෙයි.
‘සතර සතිපට්ඨානයෝ’ විස්තර කළයුත්තාහු යැ. මේ සතින්‍ද්‍රියාධිට්ඨාන යි.
(13) එහි සමාධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
21. නරදම්සැරිය, (සත්ත්‍වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹ වහන්සේ විසින් (කරුණායෙන් සිහිල්වූ) සිතින් සිතන ලද අර්‍ත්‍ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහු යැ, ශාන්ත වූ අරණසමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය - බුදුහු කුමක් කැමැති වෙත් දැ’යි අන්‍යයනයට අවිසය වේ.
“මහණෙනි, මේ සමාධීහු තිදෙනෙක් වෙති : සවිතර්‍ක සවිචාර සමාධි යැ. අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ. අවිතර්‍ක අවිචාර සමාධි යි”. මේ සමාධින්‍ද්‍රියාධිට්ඨාන යි.
(14) එහි පඤඤන්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
“ලොවැ ප්‍රඥාව ශ්‍රේෂ්ඨවන්නී යැ” යන (ඉතිවුත්තක පාළි) මේ සූත්‍රය විස්තර කළයුතු.
“මහණෙනි මේ ප්‍රඥා තුනක් වෙති : සුතමයි චින්තාමයි භාවනාමයී යැ” : මේ පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන සූත්‍ර යි. මේ ඉන්‍ද්‍රියාධිට්ඨානයෝ අසාධාරණ සූත්‍රයෝ යි.
එහි සාධාරණ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ කවරහ :
22. යමෙක් කාමයන්හි අවීතරාග වූයේ ද යමක්හුගේ සද්ධා සති විරිය සමථ විපස්සනා යන පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වෙත් ද එබඳු මහණහු කරා පැමිණ (හේ) පළමු මැ ඝටනු ලැබේ.
“මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති”, සද්ධින්‍ද්‍රියාදි ඉන්‍ද්‍රිය දතයුතු, බුද්ධාදි වස්තුයෙහි අවෙත්‍යප්‍රසාදයෙහි සූත්‍රය විස්තර කළයුතු. මේ සාධාරණ වූ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ යි.
යමක් යම් කුසලයකට හෝ අකුසලයකට හෝ සම්බන්‍ධ වේ ද ඒ ඒ අධිට්ඨානයෙන් ඒ සූත්‍රය දැක්වියැ යුතු, අන් දහමෙක් නො දැක්වියැ යුතු.
එහි කුසලය සාධාරණ යැ, කුසලය හා අකුසලය නො ද සාධාරණ යැ, සාධාරණ කුසල මූලයෝ ද සාධාරණ අකුසල මූලයෝ ද යම්සේ ද එමෙනි. (?) උපන් කාමවිතර්‍කය දුරු කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධානයෝ යි, මේ කුසල ද අකුසල ද වේ (! ?)