Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 301-400 න් 1341

(17) එහි නිස්සරණ කවරෙ යත්:
22. යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස මෙන් දුරුකෙරේ ද, ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.
සංයුත්සඟියැ සූත්‍රය – පඬුවන් කොළ ඇති ගිලිහුණු කොළ ඇති පරසතුරුක (දැක්විය යුතු) මේ නිස්සරණයි.
(18) එහි ආස්සාද හා ආදීනව කවරෙ යත්:
23. පුරුෂ තෙමේ යම් පාප කෙනකුන් කෙළේ ද, ඒ පාපවිපාකයන් තමා කෙරෙහි දකී. දානාදි කල්‍යාණක්‍රියා කරනුයේ කල්‍යාණයන් දකී. යළි පාපකාරී පුරුෂ ලාමක පාපවිපාකය දකී.
එහි පාපකාරී තෙම යම්විපාකයක් විඳී ද මේ ආදීනව යැ, කල්‍යාණකාරී පුරුෂ යම් විපාකයක් විඳී ද මේ අස්සාද යි.
‘ලාභාලාභ’ අෂ්ටකයෙහි වෙය්‍යාකරණය දැක්විය යුතු: එහි ‘අලාභ අයස නින්‍දා දුක්ඛ’ යන මේ ආදීනව යැ, ‘ලාභ යස සුඛ පසංසා’ යන මේ අස්සාද යි.
(19) එහි ආස්සාද හා නිස්සරණ කවරෙ යත්:
24. පුණ්‍යයන්ගේ සුඛ විපාකය වෙයි, අධ්‍යාශය ද සමෘද්ධ වෙයි. වහා පරම ශාන්තිය, වූ නිර්‍වාණය ද අවබෝධ කෙරෙයි.
පුණ්‍යයන්ගේ යම් විපාකයෙක් ඇද්ද, යම් අධිප්‍රාය සමෘද්ධියකුත් වේ ද, මේ අස්සාද යැ යම් පරම ශාන්ති වූ නිර්‍වාණය අවබෝධකිරීමක් ඇද්ද මේ නිස්සරණ යි.
“දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගත මහාපුරුෂහට ගති දෙකක් මැ වෙති: ඉදින් ගිහිගෙයි වෙසේ නම් සක්විති රජ වෙයි. (දිනා වාසය කෙරෙයි යනු දක්වා) මේ අස්සාද යැ. ‘ඉදින් ගිහිගෙන් නික්මැ අනගාරික පැවිද්දට පැමිණේ ද (සියල්ල විස්තරයෙන් කියැ යුතු.) මේ නිස්සරණ යැ. මේ අස්සාද හා නිස්සරණ සූත්‍ර යි.
(20) එහි ආදීනව හා නිස්සරණ කවරෙ යත්:
25. (තෘෂ්ණා විසින්) ආදානයාගේ ජාතිමරණ කාරණ වූ බිය දැනැගෙන ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙන් තෘෂ්ණාග්‍රහණය නො කොට පිරිනිවෙයි.
පූර්‍වාර්ධගාථායෙහි ජාතිමරණසම්භවය ආදීනව යැ, ‘අනාදාතූන නිබ්බාති ජාතිමරණ සංඛයා’ යනු නිස්සරණ යි.
‘ඒකාන්තයෙන් මේ ලෝවැසි තෙමේ දුකට පැමිණියේ යැ, උපදනේ ද දිරන්නේ ද මියන්නේ ද වෙයි’ (යනු පටන්) ‘කවදා නම් මේ ජරාමරණ දුඃඛයාගේ නිස්සරණය පැනෙන්නේ ද’ යනු දක්වා මෙහි යම් උපපරීක්‍ෂාවක් වේ ද මේ ආදීනව යැ, පුරාණ රාජධානියෙහි ගේධය හැරපියා අභිනිෂ්ක්‍රමණය වේ ද, මේ නිස්සරණ යැ. මේ ආදීනව හා නිස්සරණ යි.
(21) එහි අස්සාද ආදීනව හා නිස්සරණ කවරෙ යත්:
26. යම් හෙයකින් වස්තුකාමයෝ විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධ ස්වරූපයෙන් සිත අලළත් ද ... මහරජ, මම එහෙයින් පැවිදි වීමි, ... අවිරුද්ධ වූ – නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ.
“කාමා හි චිත්‍රා මධුරා මනෝරමා” යන යමක් ඇද්ද, මේ අස්සාද යැ. “විරූප රූපෙන මථෙන්ති චිත්තං” යන මේ ආදීනව යැ. “අහං පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤ මෙව සෙය්‍යෙ” යන මේ නිස්සරණ යි.
“බාලිසිකෝපමසූත්‍රය වෙදනාසංයුත්ත
ආශායෙන් හෝ යම් (විපාක) වින්දයුතු කර්‍මයක් කෙරේ ද, ඉදින් යම් යම් පාපකර්‍මයක් කෙරේ ද, එහි දුඃඛවේදනීය කර්‍මයෙන් ද අභාවිත කායයෙන් ද යුක්ත වූ පරිත්තචේතසො’ යනු දක්වා ආදීනවය දක්වති. සුඛවේදනීය කර්‍මයෙන් අස්සාදය දක්වති. වැඩූ සිත වැඩූ කය වැඩූ ප්‍රඥා ඇති අපරිත්ත – (නිකෙලෙස්) මහානාම වෙයි. මේ නිස්සරණයි. (මේ කොටස ද ව්‍යාකුල යි.)
(22) එහි ලෝකිය සූත්‍ර කවරෙ යත්:
27. කරන ලද පාපකර්‍මය එකෙණෙහි (දොවනලද ධාරොෂ්ණ) ක්‍ෂීරය දිහිබවට නො යන්නාසේ නො මැ විපාක දෙයි. හළුයෙන් වැසුණු සහලඟරක් සෙයින් පව්කර්‍ම කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යෙයි.
සතර අගතිගමනයෝ දැක්විය යුත්තාහ. මේ ලෝකිය සූත්‍ර යි.
(23) එහි ලෝකුත්තර සූත්‍ර කවරැ යත් :
28. යම් මහණක්හුගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ දක්‍ෂ රියැදුරක්හු විසින් මැනැවින් දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණු බවට) ගියාහු ද, ප්‍රහීණමාන ඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදී වූ ඒ ක්‍ෂීණාස්‍රවහට දෙවියෝ ද කැමැති වෙත් යයි.
“මහණෙනි, මම් තොපට ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය දෙසන්නෙමි” යන මේ ලෝකුත්තර සූත්‍ර යි.
(24) එහි ලෝකිය ද ලෝකුත්තර සූත්‍රය කවරෙ යත් :
29. අඩයටියෙකින් උඩ සිට පහර දෙනු ලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇති වැ වාසකරන්නේ යැ.
“සත්තියා විය ඔමට්ඨො ඩය්හමානෝව මත්‍ථකෙ” යනු ලෝකිය යැ, කාමරාගප්ප හානාය සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු ලෝකුත්තර යි.
“කබළිංකාරෙ ආහාරේ අත්‍ථි ඡන්‍දො” යනු ලෝකිය යැ. “නත්‍ථි, ඡන්‍දො” යනු ලෝකුත්තර යැ. මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.
(25) එහි කම්ම කවරැ යත්:
30. යමෙක් පණිවා කෙරේ නම් මුසවාත් බෙණේ නම් ලොවැ නුදුන් දෑ ගනී නම් පරඹුන් කරාත් යේ නම් යම් මිනිසෙක් රහමෙර පානයෙහිත් යෙදේ නම්–
31. හේ පඤ්ච අකුශලවෛරයන් නො පියා සිටියේ දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. (ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට පැමිණේ.)
“මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙති” මේ කර්‍ම යි.
(26) එහි විපාක කවරෙ යත්:
32. (නිරයෙහි පැසෙන අපට) සර්‍වප්‍රකාරයෙන් සැටවාදහසක් පිරුණාහුය.
“මහණෙනි, මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් නරකයෝ දක්නාලද්දාහු ය, මහණෙනි මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලද්දාහු ය. මේ විපාක යි.
(27) එහි කර්‍මය ද විපාකය ද කවරෙ යත්:
33. යකඩින් මැ නැඟුණු මලය එයින් මැ නැඟී යම්සේ ඒ යකඩය මැ කා වනසා ද, එපරිද්දෙන් සිවුපසයෙහි ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඉක්මැවූවහු (සිවුපසය නො පස්විකා වළඳන මහණහු) ඒ ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.
“අයසාව මලං සමුට්ඨිතං’ යනු පටන් “සානි කම්මානි, යනු දක්වා මේ කම්ම යැ, ‘නයන්ති දුග්ගතිං’ යනු විපාක යි.
“මව කෙරෙහි පියා කෙරෙහි තථාගතයන් කෙරෙහි තථාගතශ්‍රාවකයන් කෙරෙහි යන සතර තැන්හි මැනැවින් පිළිපදනේ යැ” යන තන්හි (චතුක්කංගුත්තර) යම් සම්‍යක්ප්‍රති පත්තියෙක් ඇද්ද මේ ‘කම්ම’ යැ. දෙව්ලොවැ උපදී යන මේ විපාක යැ. මේ කම්ම ද විපාක ද වෙයි.
(28) එහි නිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:
34. නිර්දෝෂ වූ ශ්වේතාවරණ ඇති (ස්මෘති සංඛ්‍යාත) එක් අර (දැවි) යක් ඇති රථයෙක් පවතී. රාගාදි ව්‍යසන නැති සිඳුනා ලද තෘෂ්ණා ස්‍රෝතස් ඇති රාගාදි බන්‍ධන නැති වැ පැමිණෙන රහත්හු බලව.
චිත්ත ගෘහපති ශ්‍රමණයන් කෙරෙහි යම් චිත්‍රයක් දකී ද, මෙසේ මේ ගාථායෙන් නිර්දිෂ්ට අර්‍ත්‍ථය වේ.
ගෝපාලකූපම සූත්‍රයෙහි එකොළොස් පදකෙනෙක් වෙති. (එකාදසකංගුත්තර) “එවං ඛො භික්ඛවේ භික්ඛු රූපඤ්ඤෑ හොති” යනු පටන් “අතිරේක පූජාය පූජේතා හොති” යනු යි. මේ එකොළොස් පදයෝ වදාළ පරිදි නිර්දිෂ්ට අර්‍ත්‍ථ ඇත්තෝ යි.
(29) එහි අනිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:
35. (සතර මාර්‍ගඥාන සන්තොෂයෙන්) සතුටු වූ ප්‍රකාශිත වූ නිර්‍වාණ ධර්‍ම ඇති විවේකය හෝ දැක්කයුතු දෑ දක්නා රහතුන් වහන්සේට නිර්‍වාණ සංඛ්‍යාත උපධිවිවේකය සුව වෙයි, නො කිපෙන බව සුව වෙයි, ලොවැ ප්‍රාණීන් කෙරෙහි සංයමය (අවිහිංසාව) සුව වේ.
36. ලොවැ කාමයන්ගේ යම් ඉක්මැවීමෙක් ඇද්ද ඒ විරාග බව සුව වෙයි. (රහත් මගින්) අස්මිමානයාගේ යම් දුරැලීමෙක් ඇද්ද තෙල රහත් බව ඒකාන්තයෙන් පරම සුවය වේ යයි.
මේ අනිද්දිට්ඨ සූත්‍ර යැ. අෂ්ට මහාපුරුෂවිතර්‍කයෝ වෙති. මේ අතිද්දිට්ට සූත්‍ර යි.
(30) එහි නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍ර කවරෙ යත්:
37. පහන් වූ නෙත් සඟළක් ඇති හොබනා මුවමඬල ඇති මහත් වූ ඍජු කය ඇති ප්‍රතාපවත් බුදුහු මහණගණ මැද හිරු මෙන් බබළන සේක.
‘පසන්නනෙත්තො’ යනු පටන් ‘ආදිච්චොව විරොවති’ යනු දක්වා නිද්දිට්ඨ යැ, ප්‍රසන්න නේත්‍ර ඇති භගවත්හු – පසන්නනෙත්තතා කෙබඳු යැ, සුමුඛතා කිසේ යැ බ්‍රහාකායතා කිසේ යැ උජුකතා කෙබඳු යැ ප්‍රතාපවත් බව කිසේ යැ කෙසේ බබළත් දැයි අනිද්දිට්ඨ යි.
‘ඵෙණපිණ්ඩූපමා වෙය්‍යාකරණය’ (ඛන්‍ධසංයුත්ත – ථේරවර්‍ගය) පෙණ පිඬ යම්සේ ද රූපය එබඳු යැ, දියබුබුළ යම් සේ ද වේදනා එබඳු යැ, විඤ්ඤාණය මායාවක් බඳු යැ, පඤ්ච ස්කන්‍ධයෝ පස් උපමායෙකින් දක්වන ලද්දාහු යැ. කවර කරුණෙකින් රූපය පෙණ පිඬක් බඳු වී ද, චක්‍ෂුර්විඥේය වූ සියලු රූපය ද? නොහොත් සතර ආයතනයන්ගෙන් ද? වේදනාව කෙසේ දියබුබුළක් බඳු වූ ද? ඒ සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ වූ කවර වේදනාවක් දැයි අනිද්දිට්ඨ යැ. නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍රය මෙසේ යි.
(31) එහි ඤාණ කවරෙ යත්:
38. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙකින් ජාතිමරණක්‍ෂය සංඛ්‍යාත නිවන හා අර්‍හත්ත්‍වය මැනැවින් දැනගනී ද, ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය.
‘මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය යන මේ යි. මේ ඤාණ යි.
(32) එහි ‘ඤෙය්‍ය’ කවරැ යත් :
39. වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමවස්තුන්හි රාගාදි සංගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නො දක්නා සංයෝජන සංඛ්‍යාත සංගයෙන් (ත්‍රෛභූමක ධර්‍මයන්හි) ඇලුණු සත්ත්‍වයෝ විපුල වූ මහත් වූ කාමාදි චතුරෝඝය කිසිකලෙකත් නො මැ තරණය කරන්නාහු යි.
‘සතර ධර්‍මයකින් සමන්‍විත වූවාහු කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදනාහු ය.)
උදානයෙහි කාවිය (සිප්ප?) සූත්‍රය, අපණ්ණකපසාදනීය සූත්‍රය (?) මේ ඤෙය්‍ය සූත්‍ර යි.
(33) එහි ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර කවරැ යත්:
40. සියලු සංඛතාසංඛත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශනඥානයෙන් දකී ද, එකල්හි විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට උපාය වේ.
‘යදා පස්සති’ යනු ඤාණ යැ, යමෙක් සර්‍වධර්‍මයන් අනාත්මාකාරයෙන් සිත්හි එළවා ද, මේ ඤෙය්‍ය යැ.
සතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති, එහි තිදෙනෙක් ඤෙය්‍යයෝ යැ, මාර්‍ගසත්‍යය ශීල ස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද වේ. මේ ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යි.
(34) එහි ‘දස්සන’ කවරැ යත් :
41. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස තෙල ආර්‍ය්‍ය මාර්‍ගය මැ වෙයි. අන් මඟෙක් නැත, තෙපි මේ මහ පිළිපදිවු, තෙල මාර්‍ගය පිළිපැදීම මරහුගේ ප්‍රමෝහනය යි.
‘සතර අහෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මැ තමා ප්‍රකාශ කරන්නේ යැ: ‘ක්‍ෂය කළ නිරය ඇතියෙම් වෙමි’ යනු පටන් ‘මම් විනිපාතයට නො පැමිණෙන පියවි ඇති බෝධියට නියත වූ සම්බෝධිය පරායන කොට ඇති සෝතාපන්නයෙකිම් වෙමි’යි කියා යි. මේ ‘දස්සන’ සූත්‍ර යි.
(35) එහි භාවනා කවර යත්:
42. යම් ආර්‍ය්‍යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැනැවින් වඩනලද්දාහු ද, සියලු ලොවැ අධ්‍යාත්ම බාහිර වූ (සංයෝජනයන්) ද, මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට (සිටියේ ද) භාවිත සිත් ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ.
“ධර්‍මපදයෝ සතර දෙනෙක් වෙති: අනභිජ්ඣා අව්‍යාපාද සම්මාසති සම්මාසමාධි” යනුයි. මේ භාවනා යි.
(36) එහි ‘දස්සන ද භාවනා’ ද කවරැ යත් :
43. වචසින් මනසින් ද කර්‍මයෙන් (කයින්) ද අවිරුද්ධ වූයේ සියුසස් දහම් මැනැවින් දැක නිර්‍වාණපදය (ස්කන්‍ධ පරිනිර්‍වාණය) පතන්නා වූ හේ ලොවැ (සියල්ල) මැනැවින් හැරපියා යෙයි.
‘සෝවත්පල’ පසක් කරනු රිසියහු විසින් කවර දහම්හු මෙනෙහි කළයුත්තාහු ද? බුදුහු වදාළහ : පඤ්චෝපාදානස්කන්‍ධයෝ යි. මේ දස්සන ද භාවනා ද සූත්‍ර යි.
(37) එහි විපාක ස්වභාවධර්‍මයෝ කවරහ:
“යානි කරෝති පුරිසො” (38 පිට) යන විස්තර යැ.”
‘මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙති” මේ විපාකස්වභාවධර්‍මයෝ යි.
(38) එහි නවිපාකස්වභාවධර්‍මයෝ කවරහ:
44. රූපයද වේදනාව ද සංඥාව ද විඥානය ද යම් සංඛතයෙක් වේ නම් එ ද තෙල පස්කඳ මම් නො වෙමි, තෙල මා ගැත්තේ නො වෙ යි, මෙසේ දක්නා ලදුයේ එහි නො ඇලේ.
“මහණෙනි, මේ පඤ්චස්කන්‍ධ කෙනෙක් වෙති. මේ නවිපාකස්වභාව ධර්‍මයෝ යි.
(39) එහි නො වැ විපාක වූ නවිපාකස්වභාවධර්‍ම කවරෙ යත්:
45. යම් කෙනෙක් බුදුරදුන් වදාළ දහම්නය මෙසේ පිළිපදනාහු ද ශාස්තෲන් වහන්සේගේ ශාසනය කරන්නාවූ ඔහු වට්ටදුක්ඛයාගේ අන්තය කරන්නාහු යි.
මෙසේ යම් සම්‍යක් ප්‍රතිපත්තියක් ඇද්ද යම් නිරෝධයෙකුත් ඇද්ද මේ දෙක නො මැ විපාක යැ, විපාකස්වභාව නො වෙයි.
“මහණෙනි, තොපට මඟබඹසර ද බඹසරඵල ද දෙසන්නෙමි. බඹසර නම් අරී අටඟි මඟ යැ, සෝවත් පල පටන් රහත් බව දක්වා බඹසරඵලයෝ යි.
(40) එහි සකවචන කවරැ:
46. සියලු අකුශලය නො ඉපදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) සිය සිත්සතන් පිවිතුරු කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
“මහණෙනි, මේ විමෝක්‍ෂමුඛයෝ, තිදෙනෙක් වෙති. මේ සකවචන යි.
(41) එහි පරවචන කවරැ :
47. පුත්‍ර ප්‍රේමය සම වවූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්‍ය්‍යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ.
“දේවේන්‍ද්‍රය, සුභාෂිතයෙන් ජය වේව’යි. “මහණෙනි ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර ස්වකීය පුණ්‍යඵලය නිසා ජීවත්වන්නේ” යයි විස්තර කළයුතු. මේ ‘පරවචනය’ යි.
(42) සකවචන ද පරවචන ද කවරැ :
48. ලබන ලද යමක් ඇද්ද ලැබියැයුතු යමකුත් ඇද්ද මේ දෙකම රජසින් ආතුල යැ– මෙසේ කියන යම් කෙනෙක් වෙත් ද ඔවුනට කාමයන්හි දෝෂයෙක් නැතැ’යි (?)
මේ පරවචන යැ.
“යම් කෙනෙක් උභයාන්තයට නො පැමිණ වෙසෙත් ද ඔවුනට පැනැවීමට වට්ටයෙක් නැති. මේ සකවචන යි.
49. පුතුන් ඇතියේ පුතුන් සමඟ හෝ පුතුන් කරණ කොටගෙන සතුටු වෙයි. එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොටගෙන සතුටු වෙයි. කාමගුණූපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි. යමෙක් උපධි රහිත ද හේ නොමැ සතුටු වේ යනු පරවචන යි.
50. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක වෙයි, එසේමැ ගවහිමි ගවයන් කරණ කොට ශෝක වෙයි. උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධි රහිත වේ ද හේ නො මැ ශෝක කෙරෙයි යනු සකවචන යි.
මේ සකවචන ද පරවචන ද වේ.
(43) එහි සත්තාධිට්ඨාන කවරැ:
51. යම් සත්ත්‍ව කෙනෙක් පෙර වූවාහු ද යම් කෙනෙකුත් මතු වෙද්ද, ඒ සියල්ලෝ කය හැරපියා පරලොව යන්නාහ, නුවණැතියේ ඒ සියලු පිරිහීම දැන කෙලෙස් තවන වැර ඇති වැ බඹසර හැසිරෙන්නේ යි.
“මහණෙනි, මේ ශාස්තෲහු තිදෙනෙක් වෙති: තථාගත යැ ක්‍ෂීණාස්‍රව යැ ශෛක්‍ෂ ප්‍රතිපදා ඇත්තේ” යි මේ සත්තාධිට්ඨාන සූත්‍ර යි.
(44) එහි ධම්මාධිට්ඨාන කවරැ :