Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 201-300 න් 1341

10. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි. උච්ඡේදය ද නො කැමැති වේ.
සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍යමාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යි.
11. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණ මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනා ලද. ක්ලේශසංග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යි.
“අයං ලෝකෝ සන්තාපජාතො” යනු පටන් ‘දුක්ඛං’ යනු දක්වා මේ තණ්හාසංකිලේස යැ.
(යට කියන ලද) “යෙහි කෙචි සමණාවා බ්‍රාහ්මණා වා –පෙ– සබ්බේ තෙ අවිමුත්තා භවස්මාති වදාමි. යෙවා පන කෙචි – පෙ– සබ්බේ තෙ අනිස්සටා භවස්මාති වදාමි”, මේ දිට්ඨිසංකිලේස යි.
ඒ දිට්ඨිසංකිලේසය ද තණ්හාසංකිලෙසය ද යන දෙක මැ සංකිලෙසභාගිය යි.
(යට කියන ලද) “භවවිප්පහානාය ඛො පනිදං බ්‍රහ්මචරියං වුස්සති” යනු පටන් “සබ්බුපාදානක්ඛයා නත්‍ථි දුක්ඛස්ස සම්භවෝ” “සබ්බසො තණ්හානං ඛයා අසේස විරාගනිරෝධො නිබ්බානං” යනු දක්වා මේ නිබ්බේධභාගිය යැ.
“තස්ස නිබ්බුතස්ස භික්ඛුනෝ” යනු පටන් “උපච්චගා සබ්බභවාති තාදී” යනු දක්වා මේ අසේඛභාගිය යි.
පුද්ගලයෝ සතර දෙනෙකි : අනුසෝතකාමී වූයේ සංකිලේස යැ, ඨිතත්ත පුද්ගල හා පටිසෝතගාමී වූයේ ද නිබ්බෙධභාගී යැ, නිවන්තෙලෙහි සිටී යනු අසේඛ භූමි යි.
(8) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:
12. දන් දෙනුවහුට දානමය පින වැඩෙයි, ශීලසංයමයෙන් සංවරයෙහි සිටියහුට වෛරය නො පවතී. ඥානසම්පන්න වූයේ ලාමක වූ කාමච්ඡන්‍දාදිය (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) දුරැලයි, හේ රාග දෝස මෝහයන්ගේ ක්‍ෂය වීමෙන් පිරිනිවියේ වේ යයි.
“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න වියති” යනු වාසනා යැ, “කුසලො ච ජහාති පාපකං රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො” යනු නිබ්බේධ යි.
නවාංග පර්‍ය්‍යාප්තිධර්‍මය ප්‍රසාදශ්‍රෝත්‍රය යොමු කොට නුවණින් නිශ්චය කළ කල්හි වචනයෙන් පුහුණු කළ කල්හි සිතින් විමසූ කල්හි නුවණින් ප්‍රතිවේධ කළ කල්හි පඤ්ච ආනිසංස කෙනෙක් කැමැති විය යුත්තාහ: මේ සස්නෙහි ඇතැම් පුඟුලක්හු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති, වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. හේ යෝගයෙහි යෙදෙමින් ගැටෙමින් වෑයම් කරනුයේ දිටුදැමියෙහි මැ නිවනට පැමිණෙයි, ඉදින් දිටුදැමියෙහි විශේෂයට නො පැමිණියේ නම් ගිලන් වූයේ පැමිණෙයි, ඉදින් ගිලන් වූයේ නො පැමිණේ නම් මරණකාලයෙහි පැමිණෙයි, ඉදින් මරණකායෙහි නො පැමිණියේ නම් දෙවි වූයේ පැමිණෙයි, ඉදින් දෙවිවූයේ නො පැමිණේ නම් ඒ ධර්‍මරාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණේ.
එහි ඉහාත්මයෙහි මැ නිවනට පැමිණේ ද මේ නිබ්බේධ යැ, සම්පරායභවයෙහි පසේ බුදු බවට පැමිණේ ද මේ වාසනා යි.
මේ සොළොස් සූත්‍රයෝ සියලු ශාසනය ඇතුළත් කොට ගනිමින් සිටිත්. මේ සොළොස් සූත්‍රයෙන් නවවිධ සූත්‍රාන්තය විභාග කරන ලද්දේ වෙයි. හෙ ද නුවණැත්තහුට යැ දුෂ්ප්‍රාඥහට නො වෙයි, යෝගයෙහි යෙදුණහුට යැ අනුක්තයහට නො වෙයි. අකර්‍මවිහාරී හුට යැ.
පියවින් ලෝවැසි තෙම සංකිලේස ඇති වැ හැසිරෙයි. ඒ සංකිලේසය ත්‍රිවිධ ය තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි. ඒ සංකිලේසයෙන් නැගී සිටිනුයේ සංකිලේස ධර්‍මයන්හි පිහිටයි. ලෞකික ධර්‍මයන්හි පිහිටන හෙයිනි. එහි, අදක්‍ෂ වූයේ ඉදින් දිට්ඨි විසින් ඒ ශීලයත් දෘෂ්ටියත් පරාමර්‍ශ කෙරේ ද, ඔහුට ඒ පරාමර්‍ශය තණ්හාසංකිලේස වෙයි. ඉදින් ඔහුට මෙබඳු සිතෙක් වේ ද, “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ඒ ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි, ඒ ඔහුට මිච්ඡාදිට්ඨිසංකිලේසය වේ.
ඉදින් වැලිත් සීලයෙහි පිහිටියේ වේ ද යම්හෙයකින් දෘෂ්ටිපරාමර්‍ශ නො කළහුගේ ශීලව්‍රතය වේ ද, ඔහුට නුවණින් ගන්නා ලද ඒ ශීලව්‍රතය අවිප්‍රතිසාරය උපදවයි. (විමුක්ති ඤාණදස්සනය දක්වා විස්තර කළයුතු–දසකංගුත්තර ආනිසංසවග්ගං) එ ද ඔහුට ඉහාත්ම යෙහි මැ වෙයි, කලුරිය කළහුට හෝ ඒ අත්බැව්හි මැ හෝ අපරපරියාස වශයෙන් අන්‍ය ස්කන්‍ධයන්හි හෝ (අවිප්පටිසාරාදිය වෙයි.) ‘සුචරිතය වාසනා පිණිස පවතී’ යයි මෙසේ අසන ලද ද මේ වාසනාභාගිය සූත්‍ර යයි කියනු ලැබේ.
එහි ශීලයෙහි සිටියහුට ද නීවරණචිත්තය වෙයි එහෙයින් බුදුහු සත්කායදෘෂ්ටිප්‍රහාණය පිණිස දහම් දෙසන සේක. හේ අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් අන්‍ය ශාසනයෙක්හි අත්‍යන්තනිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් එක් ආසනයෙහි හුන්නේ ෂඩභිඥ වෙයි. එහි පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යධර්‍මයන්ට පැමිණෙති; සද්ධානුසාරී ද ධම්මානුසාරී ද යන මොහු යි. එහි ධම්මානුසාරී වූයේ උද්ඝටිතඥ යැ, සද්ධානුසාරී වූයේ නෙයපුද්ගල යි. එහි උද්ඝටිතඥ ද්විවිධ යැ: කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ කිසි වෙක් මුදින්‍ද්‍රිය යි. එහි නෙයපුද්ගල ද ද්විවිධ යැ; කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ, කිසිවෙක් මුදින්‍ද්‍රිය යි. එහි යම් උග්ඝටිතඤ්ඤ මුදින්‍ද්‍රිය පුද්ගලයෙකුත් යම් නෙය්‍යතික්ඛින්‍ද්‍රිය පුද්ගලයෙකුත් වේ ද, මේ පුද්ගලයෝ අසමඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති, එහි මේ පුද්ගලයෝ සම ඉන්‍ද්‍රිය ඇත්තාහු උද්ඝටිතඥයා කෙරෙන් පිරිහෙන්නාහු ද වෙති, විපඤ්චිතඥ නෙයපුද්ගලයා කෙරෙන් පිරිහෙයි, මොහු මධ්‍යම භූමිගත වූවාහු විපඤ්චිතඥ වෙත්. මේ තුන් පුද්ගලයෝ යි.
යළි එහි සතරවැනි පස්වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ විපඤ්චිතඥ නෙය ද වෙති. එහි උද්ඝටිතඥ පුද්ගල ඉන්‍ද්‍රියයන් ප්‍රතිලාභ කොට දර්‍ශනභූමියෙහි සිටියේ සෝතාපත්ති ඵලයට ද පැමිණෙයි. ඒකබීජී ප්‍රථම ස්‍රෝතාපන්න වෙයි. එහි විපඤ්චිතඥ පුද්ගල ඉන්‍ද්‍රිය ප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ ස්‍රෝතාපත්තිඵලයට ද පැමිණෙයි. ද්විතීය ස්‍රෝතාපන්න වූ කොලංකොල ද වෙයි. එහි නෙයපුද්ගල ඉන්‍ද්‍රියප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ සෝවත්ඵලයට ද පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි ස්‍රෝතාපන්න යි. මේ තුන් පුද්ගලයෝ ඉන්‍ද්‍රියවේමත්තතායෙන් සෝවත්ඵලයෙහි සිටියාහු, උද්ඝටිතඥ ඒකබීජී වෙයි. විපඤ්චිතඥ පුද්ගල කොලංකොල වෙයි, නෙයපුද්ගල සත්තක්ඛත්තුපරම වේ.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යි.
තවද ඉදින් එයින් මතුයෙහි වෑයම් කෙරේ නම් අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ උද්ඝටිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අන්තරාපරිනිබ්බායී ද උපහච්චපරිනිබ්බායී ද වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ විපඤ්චිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අසංඛාරපරිනිබ්බායී ද සසංඛාරපරිනිබ්බායී ද වෙති. එහි නෙයපුද්ගල අනාගාමීඵලයට පැමිණෙනුයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය වූයේ අන්තරාපරිනිබ්බායී වෙයි, උද්ඝටිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් තික්ඛින්‍ද්‍රිය උද්ඝටිතඥ පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. උද්ඝටිතඥ මුදින්‍ද්‍රියපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රිය පුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ මුනින්‍ද්‍රිය පුද්ගල සසංඛාර පරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රියපුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි, විපඤ්චිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උද්ධංකසෝතඅකනිට්ඨගාමී වේ. මෙසේ පඤ්ච අනාගාමීහු යැ සවැනි සකදාගාමී යැ තුන් ස්‍රොතාපන්නයෝ යැයි මේ නව ශෛක්‍ෂයෝ වෙත්.
එහි තික්ඛින්‍ද්‍රිය වූ උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත්බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: උභතෝභාගවිමුත්ත ද පඤ්ඤාවිමුත්ත දැයි. එහි මුනින්‍ද්‍රිය උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: ඨීතකප්පී ද පටිවේධනභාව දැයි කියායි. එහි තික්ඛින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල ද රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: චේතනාභව්‍ය ද රක්‍ෂණාභව්‍ය දැයි. එහි මුදින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති : ඉදින් සිතා නම් නො පිරිනිවෙයි. ඉදින් නො රකී නම් පිරිනිවේ යයි. එහි දී නෙයපුද්ගල භාවනානුයෝගයෙහි යෙදුණේ පරිහාන ස්වභාව ඇතියේ වේ ද කර්‍මනියත වූයේ හෝ සමසීසී හෝ වෙයි. මේ නව වැදෑරුම් රහත්හු යි.
මේ සංකිලෙසභාගිය ... අසේඛභාගිය යන චතුර්විධ සූත්‍ර යි. මේ පුද්ගලයන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ දසවිධ බලය පවතී.
කවර දසවිධ බලයෙක යත්: එහි භාග්‍යවත් බුදුවරුන් දම්සක් නො පැවැත්වූ කල්හි මහායශස්ක දිව්‍යපුත්‍රයෝ අයැදීම පිණිස පැමිණියාහු වෙති: ‘සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්ව’යි. ඒ බුදුහු අනුත්තර වූ බුදුඇසින් බලන සේක් සත්ත්‍වයන්ගේ සම්මත්ත නියත යැ විච්ඡත්තනියත යැ අනියත යැ යන තුන් රාසීන් දුටුසේක.
එහි සම්මත්ත නියතරාසිය මිච්ඡාසතියට පැමිණෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. අශාස්තෘක වැ පිරිනිවෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සමවතට පැමිණේ යැ යන තෙල කරුණ වෙයි.
එහි මිච්ඡත්තනියත රාසිය ආර්‍ය්‍යසමාපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ නො වෙයි, අනාර්‍ය්‍ය වූ මිථ්‍යාප්‍රතිපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ වෙයි.
එහි අනියත රාසිය මොනොවට පිළිපදනේ සම්මත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ වෙයි. වරදවා පිළිපදනේ සම්මත්තනියතරාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සම්‍යක් ප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. මිථ්‍යාප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන මෙකරුණ වන්නේ යි.
මේ තුන් පුද්ගලයන් අනුත්තර වූ බුදුඇසින් බලන්නා වූ සම්‍යක් සම්බුද්ධ වූ මට ‘මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ’යි මෙතෙකින් කිසිවෙක් මට සකාරණ ව ප්‍රතිචෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. වීතරාග යයි පිළින කරන මට අඛිණාසවතායෙන් සකාරණ ව කිසිවෙක් චෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. තවද යම් හෙයෙකින් මේ අනියතරායියට ධර්‍මදේශනා වේ ද ඒ දේශනාව එය පිළිපදිනහුට මනාකොට දුක් ක්‍ෂය වීම පිණිස නො පැනේ යැ යන තෙල කරුණ නො වෙයි. තවද යම්හෙයෙකින් මා විසින් එසේ අවවාද කරන ලද අනියත රාසියෙහි වූ ශ්‍රාවකයෙක් පූර්‍ව විශේෂයෙන් අපර විශේෂය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේ යැ යන තෙල කරුණ නො වේ.
තථාගත මුනීහු දේව – නාග – යක්‍ෂයනට නානාප්‍රකාරයෙන් නානානිරුක්තීන් දේශනා කෙරෙති. (ඔවුන්) දමනය කෙරෙත්. විනිශ්චය විසින් දහම් දෙසා කාරණයෙන් අන්‍යකාරණයකට යන්නාහ යන තෙල කරුණ නො වේ. ධම්මපටිසම්භිදා යැ.
යම් හෙයකින් නිරුක්තිඤාණ හේතුයෙන් සප්ත සූත්‍රනිරුක්තීන් අවබෝධ නො කරන්නේ යැ යන (?) කරුණ නො වෙ යි. නිරුක්ති පටිසම්භිදා යැ.
නිරුක්තිය වැලිත් අභිසමයෙහි ඇලුණු ශ්‍රාවකයනට ඒ අර්‍ත්‍ථය නො හඟවන්නේ යැ යන තෙල කරුණ නො වේ. අත්‍ථපටිසම්භිදා යි.
මහායශස්ක වූ දිව්‍ය පුත්‍රයෝ (බුදුන් කරා) එළඹ පැන පුළුවුත්හ. කායික හෝ මානසික හෝ දුකින් පීඩිත වූවහුට අත් පා කොරවූවහුට හෝ දන්‍ධයකුට හෝ ඒ අර්‍ත්‍ථය විභාග නො කරනු ලැබෙයි යන තෙල කරුණ නො වේ. පටිහාන පටිසම්භිදා යි.
(මෙහි පාළිය සර්‍වප්‍රකාරයෙන් ව්‍යාකූලව ඇත.)
යම් සත් ස්වභාවයක් ඔවුනට වේ ද එය අසත් (අවිද්‍යමාන) වූවක් වේ යැ යන තෙල කරුණ නො වෙයි. යම් අසත් වූවක් ඔවුනට නො වේ ද ඒ අසත් ස්වභාව ඔවුනට වන්නේයැ යන තෙල කරුණ නොවේ. සමුදයයාගේ නිරෝධය පිණිස දශඅකුශලකර්‍ම පථයෝ ද මෙසේ වෙත්.
මාර වේවයි ඉන්‍ද්‍ර වේවයි බ්‍රහ්ම වේවයි තථාගත වේවයි චක්‍රවර්ති වේවයි ඒකාන්තයෙන් හේ නම් මාගමක් වන්නේ යැ යන තෙල කරුණ නො වේ. පුරුෂයෙක් සක්විති රජ වන්නේ යැ ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේ යැ යන තෙල කරුණ වන්නේ යි. මෙසේ මෙබඳු බලයක් මෙබඳු ඥානයක් වන්නේ යැ, මේ ‘ඨානාඨානඤාණ’ නම් පළමුවන තථාගතබලය යි කියනු ලැබේ. එය තුන් රාශියෙන් සතර වෛශාරද්‍යයෙන් සිවු පිළිසිඹියායෙන් ද ... පටිච්චසමුප්පාදයාගේ ප්‍රවෘත්තියෙහි ද නිවෘත්තියෙහි ද යම් ස්ත්‍රීපුරුෂයන්ගේ කුශලයක් ඒ කුශලවිපාකයන්හි උපදනේ නම් (එයින් ද) දැක්විය යුතු.
(1) මේ පළමුවන තථාගතබල යැ.
තථාගතයන් වහන්සේ මෙසේ දන්නා සේක: යම් කෙනකුන්ට සම්මත්තනියතරාසිය වේ ද මේ සබ්බත්‍ථගාමිනිපටිපදා නො වේ, මේ නිබ්බාන ගාමිනී පටිපදා මැ වේ. එහි යම් මිච්ඡත්තනියතරාසියෙක් වන්නේ ද, මෙ ද සබ්බත්‍ථගාමිනී පටිපදා නො වෙයි, මේ සක්කායසමුදයගාමිනී පටිපදා මැ වේ. වේවා. මේ තෙම ඒ ඒ ප්‍රතිපත්තියෙහි සිටියේ නිවනට යෙයි, අපායට යෙයි, දිව්‍යමනුෂ්‍යගතියට යෙයි. යම් යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ සියලු ගතියට මැ යන්නේ නම් මේ සබ්බත්‍ථගාමිනීපටිපදා යි. එහි යථාභූත වූ යම් ඤාණයක් වේ ද මේ සබ්බත්‍ථගාමිනීපටිපදාඤාණ යයි කියනු ලැබේ.
(2) මෙ දෙවැනි තථාගතබල යැ.
යළි මේ සබ්බත්‍ථගාමිනීපටිපදාව නානාධ්‍යාශය ඇති වෙයි. කිසි කෙනෙක් කාමයන්හි අධිමුත්ත (ඇලුනාහු) වෙති, කිසි කෙනෙක් දුෂ්කරක්‍රියායෙහි අධිමුත්ත වෙති, කිසි කෙනෙක් අත්තකිලමථානුයෝගයෙහි යෙදුනාහු වෙති. කිසි කෙනෙක් සංසාරයෙන් ශුද්ධිය කැමැති වෙති, කිසි කෙනෙක් අනවද්‍යභාවනායෙන් ශුද්ධිය කැමැති වෙත් යයි. ඒ ඒ චරිතයෙන් බැඳුණු සත්ත්‍වයන් පිළිබඳ යථාභූත වූ යම් ඥානයක් ඇද්ද, ලෝකය පිළිබඳ නානා ස්වභාව අනේකාධිමුත්තබව යථාභූතව (තතු පරිදි) දැනගන්නා සේක.
(3) මේ තුන්වැනි තඛාගතබල යැ.
එහි සත්ත්‍වයන්ගේ අධ්‍යාශයෝ වෙති, ආසේවන කෙරෙති, වඩති, බහුල කෙරෙත්. කර්‍මයෙහි ඇලුණු එහි අධිමුක්ත වූ ඔවුනට එ මැ ස්වභාවය ද තෙල ධාතු (ස්වභාව) කවර යත්: නෙක්ඛම්මධාතු යැ බලධාතු යැ සම්‍යක්ත්‍වධාතු යැ මිථ්‍යාත්‍වධාතු යැ (යන මෙහි) අධිමුත්ත වෙත්. ඇතැම්හු මත්තෙහි නො දක්නාහු යැ ඔහු එකරුණ මැ ජාති ජරාමරණයට පිවිසැ ව්‍යවහාර කෙරෙති: ‘මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි යම්සේ භාග්‍යවතුන් විසින් සක් දෙවිඳුට වදාරන ලද ද එමෙනි.
(4) මේ සතරවැනි තථාගතබල යයි කියනු ලැබේ.
එහි යම් යම් මැ ධාතු–අධ්‍යාශයක් ශ්‍රේෂ්ඨ යයි සලකත් ද ඒ ඒ අධ්‍යාශය කයින් ද වචනයෙන් ද අරඹති, චෛතසික ආරම්භය චේතනා කර්‍ම යි. කායික වාචසික ආරම්භය චෛතසික බැවින් කර්‍මාන්තර යැ. තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ‘මෙබඳු ස්වභාව ඇති මේ සත්ත්‍ව විසින් මෙබඳු කර්‍මයක් කරනලද. එය අතීත කාලයෙහි යැ. මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් මෙකල විපාක දෙයි, අනාගත කාලයෙහි හෝ විපාක දෙන්නේ ය යි. ප්‍රත්‍යුත්පන්න කාලය මෙසේ දැනගනී: ‘මේ පුද්ගල මෙබඳු ස්වභාව ඇතියේ තෘෂ්ණායෙන් ද දෘෂ්ටියෙන් ද මේ කර්‍මය කෙරෙයි. මේ හේතුයෙන් ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි මැ නූපදනේ යැ, උපපද්‍යභවයෙහි හෝ අපරපර්‍ය්‍යායයෙහි හෝ උපදනේ යැ යි. මෙසේ දැනගනී: මේ පුද්ගල අනාගත කාලයෙහි මේ හේතුයෙන් මෙබඳු කර්‍මයක් කරන්නේ යැ, මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් උපදනේ යැ යි’. යම් සතර කර්‍මකාරණයෝ වෙත් ද, එනම් : “මේ කර්‍මය ප්‍රත්‍යුත්පන්න සුඛ යැ, මතුයෙහි ද සුඛවිපාක ඇත ... මෙසේ මේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ කර්‍ම සමාදානයන්ගේ හේතු වශයෙන් කාරණ වශයෙන් විපාකයන්ගේ නානාත්‍වය උස්පහත් බව හීන ප්‍රණීත බව දන්නාසේක.
(5) මේ ‘කම්මවිපාකඤාණ’ නම් වූ පස්වැනි තථාගතබල යැ.
එහි සත්ත්‍වයෝ යම් (කෙබඳු) හෝ කර්‍මසමාදානයක් ගන්නාහු වෙති. එහි (බුදුහු) මෙසේ දැනගන්නා සේක: කර්‍මාධිමුත්ත වූ රාගචරිත ඇති මේ පුද්ගලහට නෙක්ඛම්මධාතුව පිරීමට යෙයි, රාගානුගත කල්හි ශුන්‍ය වන ඔහුගේ ප්‍රථමධ්‍යානය කිලිටි වෙයි. ඉදින් යළි මත්තෙහි වෑයම් කරන්නහුට සිත ධ්‍යානයෙන් විශුද්ධ වූ කල්හි විසේසභාගිය ප්‍රතිපදාවට පැමිණෙයි. ප්‍රථමධ්‍යානයෙහි සිටි ඔහුට ධ්‍යාන භාගිය වූ මැ ද්විතීයධ්‍යානය ව්‍යවදානයට යෙයි. යළි තෘතීයධ්‍යානයට සමවදිනු කැමැත්තහුගේ සිත සෝමනස්සින්‍ද්‍රිය හාත්පසින් ගෙන සිටී. ඔහුගේ ඒ ප්‍රීතිය විසේසභාගිය නොවූ තාතීයධ්‍යානය ගෙන සිටී.
ඉදින් ඒ ධ්‍යානයාගේ නිස්සරණය යථාභූතව දනී ද, එසේ වූවහුට චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදානයට යේ මැ යැ. චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හානභාගිය ධර්‍මයෝ වෙති. ඒ ධර්‍මයෝ යම් තැනෙක උපදිත් ද, යම් ධර්‍මයකින් චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදාන වූයේ දක්නා ලැබේ ද, මෙසේ අධ්‍යාශයසමාපත්තියෙන් යම් සතර සමාපත්ති කෙනෙක් වෙත් ද තුන් විමෝක්‍ෂමුඛයෝ වෙත් ද, අට්ඨ විමොක්ඛයෝ වෙත් ද; (මෙහි) ඣාන යනු සතර ධ්‍යානයෝ යැ. විමොක්ඛා යනු අෂ්ටවිමෝක්‍ෂයෝ යැ තුන් විමෝක්‍ෂමුඛයෝ යි. සමාධි යනු සතර සමාධීහු යැ: ඡන්‍දසමාධි යැ විරියසමාධි යැ චිත්තසමාධි යැ විමංසාසමාධි යි. සමාපත්තියො යනු සතර අධ්‍යාශයසමාපත්තී යි. මෙසේ මේ ධ්‍යානයන්ගේ විමොක්ඛසමාපත්ති යැ යන මෙබඳු සංකිලේසය රාගචරිත පුද්ගලයාහට යැ, දොසචරිතයාහට මෙසේ යැ, මෝහචරිතයාහට මෙසේ යැ, රාගචරිත පුද්ගලයාහට මෙබඳු ව්‍යවදානය වේ යයි, මෙසේ මෙහි යථාභූත වූ සියලු සත්ත්‍වයන් හා අසාධාරණ වූ යම් ඥානයක් ඇද්ද, මේ සවැනි තථාගතබලය’යී කියනු ලැබේ. (6)
එහි තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ලෞකිකධර්‍මයෝ ද ලෝකෝත්තරධර්‍මයෝ ද භාවනාභාගිය වූවාහු ආධිපතෙය්‍යභූමිය පටන් ඉන්‍ද්‍රියනාමය ලබති. ථාමගත වූ මනස මනින්‍ද්‍රිය යි, එය පටන් බලනාමය ලබති, ආරම්භධාතුව පටන් විරිය නාමය ලබත්. මෙසේ මේ ධර්‍මයන්ගෙන් මේ පුද්ගලයෝ සමන්‍වාගත වූහ’යි ද මෙබඳු ඥානය වන්නේ යැ, ආශය අධ්‍යාශයාගේ ආකාර වශයෙන් ද වෝකාර වශයෙන් ද, අධිමුත්ති සමන්‍වාගත වූවනට ධර්‍මදේශනා කළසේක. පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය–බල– වීර්‍ය්‍ය වේමත්තතාඤාණ නම් වූ මේ සත්වැනි තථාගතබලය යී කියනු ලැබේ. (7)
එහි දු කාමලෝකාදි භූමීන්හි ද සංයෝජන ඇති ශෛක්‍ෂයන්ගේ ද පූර්‍වනිවාසානුස්මෘතියෙන් අතීත සංසාරයෙහි ද දිවැසින් දැන් ප්‍රත්‍යුත්පන්නයෙහි ද මේ බල දෙකින් ගතිය දැනගන්නා සේක. මෙසේ මේ බලයෝ දෙදෙන දිව ඇසින් කරන ලද්දාහු යැ හේ අතීත කාලය දිව ඇසට ගෝචර යැ. හේ මෙකල්හි ස්මෘතිගෝචර යි. මෙසේ තමන්ගේ ද අන්‍යයන්ගේ ද පූර්‍වනිවාසඥානය ද අනේකවිධ වූ නානා ප්‍රකාර වූ ප්‍රත්‍යුත්පන්න කාලය දිව ඇසින් දක්නා නුවණ ද යන මේ අටවැනි පූර්‍වනිවාසඥානය ද නවවැනි දිව්‍යචක්‍ෂුඥානය ද දෙවැදෑරුම් තථාගතබලයෝ යි. (8-9)
නැවත තථාගතයන් වහන්සේ ආර්‍ය්‍යපුද්ගලයන්ගේ ව්‍යවදාන වූ නිබ්බේධභාගිය වූ ධ්‍යානය දැනගන්නා සේක: “මේ පුද්ගල මේ මාර්‍ගයෙන් මේ ප්‍රතිපදායෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි මැ ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ යයි මෙසේ තමන් වහන්සේගේ ද සතර භූමිය පටන් නව රහතුන් දක්වා ශෛක්‍ෂයන්ගේ අවධිවශයෙන් ද රහතුන්ගේ අනෝධිවශයෙන් ද ආස්‍රවක්‍ෂය වෙයි. ඒ දෘෂ්ටිය හා සහජාතවශයෙන් ප්‍රහාණවශයෙන් ඒකාර්‍ත්‍ථ වූ ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය වෙයි. එහි චේතෝවිමුක්තිය කාමාස්‍රවයෙන් ද භවාස්‍රවයෙන් ද ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. පඤ්ඤාවිමුක්තිය දෘෂ්ට්‍යාස්‍රවයෙන් ද අවිද්‍යාස්‍රවයෙන් ද යන ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. මේ දෙවැදෑරුම් විමුත්තීන්ගේ යම් යථාභූත ඥානයක් ඇද්ද මේ ආසවක්ඛය ඤාණ යයි කියනු ලැබේ.
දසවැනි තථාගත බලයයි. (10)
මේ දසබලයන්හි සිටි ත්‍ථාගතයන් වහන්සේ පඤ්චවිධ ශාසනය දෙසනසේක: සංකිලෙසභාගිය යැ වාසනාභාගිය යැ දස්සනභාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යැ යනු යි.
එහි යම් තණ්හාසංකිලේසයෙක් ඇද්ද මොහුට අලෝභය නිස්සරණ යැ. යම් දිට්ඨි සංකිලෙසයෙක් ඇද්ද මොහුට අමෝහය නිස්සරණ යැ, යම් දුච්චරිතසංකිලේසයෙක් ඇද්ද මොහුට තුන් කුසලයෝ නිස්සරණ යි.
නිදාන කවරැ යත්: මේ මනෝදුශ්චරිතයෝ තිදෙනෙක් වෙති: අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි යැ.
එහි අභිධ්‍යාමනෝදුශ්චරිතය අදින්නාදාන කායකර්‍මය එළවයි, එය හා බැඳුණු සියලු වාක්කර්‍මය ද එළවයි, මෘෂාවාදය ද සියලු බොරුබස් ද සියලු අසද්වචන ද සියලු මකුබව ද ජලාස (ගුණසාරා දැමීම) ද අභිධ්‍යාඅකුශලමූලය යන මේ එළවයි. මුසාවාදය ද අදින්නාදානය ද අභිධ්‍යාවගේ චේතනා යි.
එහි ව්‍යාපාදමනෝදුශ්චරිතය ප්‍රාණඝාතකායකර්‍මය එළවයි. සියලු ආකර්‍ෂණය පරිකර්‍ෂණය බන්‍ධනය ද පිසුනාවාච ඵරුසාවාච වාක්කර්‍මය ද එළවයි, මිථ්‍යාදෘෂ්ටි මනෝදුශ්චරිතය ද අභිධ්‍යා ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටිය ද යොදවයි.
යමක්හුගේ මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් රාගජ වූ හෝ දෝසජ වූ හෝ යම් කිසි ත්‍යාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් උපන්නේ වේද, මෙ කරුණෙන් මිථ්‍යා දෘෂ්ටිය කාමමිථ්‍යාචාරකායකර්‍මය එළවයි. සම්ඵප්‍රලාප වාක්කර්‍මය එළවයි. මේ අකුශලමූල වූ තුන් දුශ්චරිතයෝ යි.
යම් අභිධ්‍යාවක් ඇද්ද ඒ ලෝභ යැ. යම් ව්‍යාපාදයෙක් ඇද්ද ඒ දෝස යැ, යම් මිථ්‍යා දෘෂ්ටියක් ඇද්ද ඒ මෝහ යි. යම් අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන් උපදවත් ද ඔහු යි. ඒ තුන් අකුශලමූලයන් ගත්කල්හි දසවිධ අකුසලය පිරීමට යෙයි. ඒ ත්‍රිවිධ දුශ්චරිත සංකිලේසයාගේ නිස්සරණය වාසනාභාගියසූත්‍ර යි.
එහි ලෝභ දෝස බඳු යම් බෙහෙවින් බැඳුණු නිද්දෙසයෙක් ඇද්ද, මෙහි මෝහයත් නොබැඳුණෝ වේද, ලෝභය උත්සන්න වෙයි. එකරුණෙන් ඒ ධර්‍මයන්හි හෝ ලෝභය පනවනු ලැබෙයි. එහි මේ මෝහය අකුශලයෙක් වේද, අවිජ්ජා යි. සිව් වැදෑරුම් වූ යම් අවිද්‍යාවක් රූපයෙහි අනුශය වශයෙන් සිටියා ද එය යි. අවිද්‍යාවෙන් මඩනා ලදුයේ රූපය ආත්ම වශයෙන් දකී, ආත්මය රූපවත් කොට දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී. රූපයෙහි හෝ ආත්මය ඇතැයි දකී.
එහි කවර පදයෙක් සක්කායදිට්ඨියෙන් උච්ඡේදය කියා ද යත්: එය මැ ජීව යැ එය මැ ශරීර යැ’යි ගන්නා නාස්තික දෘෂ්ටිය ද අධීත්‍යසමුත්පන්නදෘෂ්ටිය ද, අනෙකෙක් කෙරෙයි අනෙකෙක් විඳී යන සක්කායදිට්ඨිය පිළිබඳ තුන් පදයෝ ශාහ්වතදෘෂ්ටිය භජනය කෙරෙති. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක යන අක්‍රියදෘෂ්ටියට ද ... අහේතුක දෘෂ්ටියට ද වැටෙත්....
එහි ‘මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි සංසාරයෙන් ශුද්ධිය කියන ආජීවකයෝ සයාසූ ලබ්ධියක් පනවති. යම්සේ රූපයෙහි සක්කායදිට්ඨිය පිළිබඳ චතුස්වස්තුකදෘෂ්ටිය වේ ද එ පරිදි පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක සත්කායදෘෂ්ටිය ශාශ්වතය භජනය කෙරෙයි අන්‍ය ආජීවකයෝ ද ශාශ්වතවාදීහු ද ‘මෙයින් දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ශීලව්‍රතය භජනය පරාමර්‍ශනය කෙරෙත්. මේ සීලබ්බතපරාමාස යි.
එහි සක්කායදිට්ඨීයෙන් හේ රූපය ආත්මවශයෙන් දකී. ‘එ මැ ජීව යැ, එ මැ ශරිරයැ’යි. පූර්‍වාන්තයෙහි අපරාන්තයෙහි පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. විචිකිත්සා කෙරෙයි, නිශ්චයට නො යෙයි, නො පහදී .... මෙසේ වාසනාභාගියෙහි සිටියහුට මේ උපක්කිලේස යි.
එහි සද්ධින්‍ද්‍රියයෙන් සියලු විචිකිච්ඡිත දුරු කෙරෙයි, පඤ්ඤීන්‍ද්‍රියයෙන් උදයව්‍යය දකී, සමාධින්‍ද්‍රියයෙන් සිත එකඟ කෙරෙයි, වීරියින්‍ද්‍රියයෙන් වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී වූයේ අවෙත්‍යප්‍රසාදයෙහි නිරත වූයේ ආනන්තරිය සමාධිය උපදවයි. ශුද්ධ ඉන්‍ද්‍රියයන්ගෙන් ධර්‍මමානුසාරී වූයේ ප්‍රත්‍යය රහිත බැවින් ආනන්තරිය සමාධිය උපදවයි, හේ ‘මේ දුක’ යයි ඇති සැටියෙන් දැන ගනී. (සත්‍යයෝ දැක්විය යුත්තාහු ය.) මේ දස්සනභාගිය සූත්‍ර යි. ඔහුට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් අතුරෙන් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ තුන් සංයෝජනයෝ සියල්ලෙන් සියල්ල ප්‍රහීණ වූවාහු පුද්ගලයෝ දෙදෙනෙක් වූවාහු ය. (?)
එහි උඩ කියන ලද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ තුන් අකුසලමූලයෝ භව සයක් උපදවති. එහි ඒ භවයන් කෙරෙහි අභිධ්‍යාව ද ව්‍යාපාදයන් ද තුනී කළ කල්හි ෂඩ්භවයෝ ක්‍ෂයවීමට මර්‍ය්‍යාදාවට යෙති. ඔහුට අභිධ්‍යාව ද ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල ක්‍ෂය වූවාහු වෙත්. එක් භවයෙක් අවශිෂ්ට වේ. එ ද මානවශයෙන් නිපදවයි. තවද මෙහි රූපරාගය භවරාගය අවිද්‍යාවය උද්ධච්චය යන අන්‍ය වූත් සතර ක්ලේශයෝ වෙති. ඔහු එහි මාන වූවාහු අස්මිමානය විනිවර්‍තන කරන්නට ප්‍රතිබල නො වෙති. ඔහු සියල්ලෝ මැ අස්මි මානයාගේ ප්‍රහාණය ආරම්භ කෙරෙත්. ඔවුන් ක්‍ෂය නොවූ කල්හි මතුයෙහි දර්‍ශන භූමියෙහි ද පඤ්චශෛක්‍ෂ පුද්ගලයන් කෙරෙහි ද තුන් ප්‍රතිපන්නකයන් කෙරෙහි ද ඵලස්ථයන් දෙදෙනකු කෙරෙහි ද මේ භාවනාභාගිය සූත්‍ර යැ. එයින් මත්තෙහි අසේඛභාගිය සූත්‍ර යැ,
කිසි තැනෙක ... ? මේ පස්වැනි සූත්‍රය ද පෘථග්ජන, ශෛක්‍ෂ, අශෛක්‍ෂ යන තුන් පුද්ගලයන්ට දෙසන ලද, සංකිලෙසභාගිය වාසනාභාගිය සූත්‍රය පුහුදුන් පුඟුල්හට යැ, දස්සනභාගිය භාවනාභාගිය දෙක පඤ්ච ශෛක්‍ෂයන්ට යැ, පළමු දක්වන ලද අසේඛ භාගිය සූත්‍රය සියලු රහතුන්ට යැ. පඤ්චවිධ වූ යම් සූත්‍රයක් සත්විසි ආකාරයෙහි ලා සෙවිය යුතු ද මොවුන් කෙරෙහි ... ? එ ද සැකෙවින් පනස් අයුරෙකින් සම්පතනය වේ ද, යම් පනස් ආකාර කෙනෙක් ශාසනයෙහි දක්වන ලද්දාහු ද ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු දස ආකාරයකින් සංග්‍රහ වෙති. සැකෙවින් සිටි ආර්‍ය්‍යසත්‍යයෝ සංක්‍ෂේප කරනු ලබන්නාහු අට ආකාරයෙක්හි පතිත වෙති (?) සතර සාධාරණ සූත්‍රයන්හි ද වැටෙති. භාරසම්පාතයට යම් භූමියක් ඇද්ද එහි යැ. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනාභාගිය භාවනාභාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන පඤ්චසූත්‍රයන්හි වැටෙති, ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනා භාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන සතර සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘පුථුජ්ජනභාගිය සේඛභාගිය හා අසේඛභාගිය’ ද යන තුන් සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු නිබ්බේධභාගිය පුබ්බයෝගභාගිය ද යන සූත්‍රද්වයෙහි වැටෙත්. භාග්‍යවතුන් විසින් එහෙයින් වදාරන ලද : “අත්‍ථවස – කරුණු දෙකක් දක්නා වූ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ සුත්ත ගෙය්‍ය ... යන ධර්‍මය දේශනා කෙරෙති. ශාස්තෲන් වහන්සේ පූර්‍ව යෝගසමන්‍වාගත වූවන් නිදුකින් දන්නාහු වසඟ කෙරෙති ... (?)
එහි තමන්ගේ ප්‍රඥාවිශේෂත්වය දක්නහු විසින් අටවැදෑරුම් සූත්‍රසංක්‍ෂෙපයෙහි යම් යම් තැනෙක හැකි වේ ද ඒ ඒ තැන යෙදියැ යුතු. ඒ ඒ තැන්හි යොදා සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුතු. පිරිසුදු සිහියෙන් වෙන් වැ යම් කිසිවක්හු විසින් සූත්‍රාර්‍ත්‍ථය තත්වූ පරිදි දක්වන්නට නො මැ හැකි වේ?
එහි පූර්‍ව උදාහෘත සූත්‍රයන්ගේ මේ උද්දාන ගාථා යැ:
(1) “කාමන්‍ධා ජාලසඤ්ජන්නා’ යැ පඤ්ච නීවරණයෝ යැ මනෝපුබ්බංගමා ධම්මා යැ මහානාම ශාක්‍යරජ යැ යන මොහු ද–
(2) ‘උද්ධං අධෝ විප්පමුත්තො’ යැ “කිමත්‍ථියානි කුසලානි සීලානි” යනාදිය යැ ‘යස්ස සෙලූපමං චිත්තං’ යැ ‘ආයස්මා මං හන්තෙ’ යනාදි උපතිස්ස (සාරිපුත්ත) පුච්ඡා යැ–
(3) ‘යස්ස කායගතාසති’ යැ ‘ඡන්නමතිවස්සති’ යනාදිය යැ ‘තමෝතමපරායනෝ’ යනාදිය යැ ‘න තං දළ්හං’ යනාදිය යැ ‘යං චේතසිකං’ යනාදිය යැ ‘අයං ලෝකෝ යනාදියයැ
(4) ‘අනුසෝතගාමී’ ආදි සතර පුද්ගලයෝ යැ – ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනාදිය යැ ‘සෝතානුධතෙසු ධම්මේසු’ යනාදිය යැ මේ ඒ උදාහරණයන්ගේ අනුක්‍රමය යි.
(9) එහි ආණත්ති කවරැ යත් :
13. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම් හෙළියෙහි වේවයි නොහොත් රහයි වැ වේවයි පව්කම් නහමක් කරවු.
“රාධය, අතීත රූපයෙහි අනපේක්‍ෂ වෙව” යි විස්තරයෙන් කියැයුතු.
“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිමැ මට අවිප්පටිසාරය වන්නේ දැ’යි චේතනා නො කටයුතු’ යයි මේ ආණත්ති යයි කියනු ලැබේ.
(10) එහි ඵලය කවරෙ යත්:
14. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ යැ, වැසිකල මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නො යේ යයි.
මේ ඵල යි.
(11) එහි උපාය කවරෙ යත්:
15. සියලු සංඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයහ යි මෙසේ යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍ය දුඃඛයන් දුටු හෙයින්) විදර්‍ශනා ගෝචර වූ පඤ්චස්කන්‍ධ දුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය වේ යයි.
“සත් අඟෙකින් සමන්‍වාගත මහණ හිමවත් පව්රජු පවා සලන්නේ යැ, ලාමක වූ අවිද්‍යාව (සලන්නේ යැ යනු) කියනු මැ කවරේ ද” (සත්තක නිපාතයෙහි වෙය්‍යාකරණය විස්තර කළ යුතු) මේ උපාය යැ.
(12) එහි ආණත්ති ද ඵලය ද කවරෙ යත්:
16. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසැ වේවයි පව්කම් නහමක් කරවු.
17. ඉදින් පව්කම් මතු කරන්නවු නම්, දැන් කරවු නම් හෝ දැන දැන පලායන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැති.
පූර්‍ව ගාථායෙහි ආණත්ති යැ, පශ්චිමගාථායෙහි ඵල යි.
“සීලයෙහි පිහිටා චිත්තභාවනාව ද පඤ්ඤාභාවනාව ද යන ධර්‍මයෝ දෙදෙන වැඩියැ යුත්තාහු මැ යැ” මේ ආණත්ති යැ’. රාගවිරාගය ඵල යි.
(13) එහි ඵලය ද උපාය ද කවරෙ යත්:
18. පිළිසඳ නුවණින් නුවණ ඇති වීර්‍ය්‍ය ඇති පාරිහාරික ප්‍රඥා ඇති සසරබිය දක්නා වූ යම් සත්ත්‍වයෙක් ඇද්ද හේ ශීලයෙහි පිහිටා චිත්තසමාධිය ද විදර්‍ශනා ප්‍රඥාව ද වඩමින් මේ තෘෂ්ණා නමැති අවුල කපන්නේ යි.
මෙහි පූර්‍වාර්ධගාථායෙන් උපාය ද, පශ්චිමාර්‍ධගාථායෙන් ඵලය ද වේ.
කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයෙහි නන්‍දිය ශාක්‍යහට වදාළ නන්‍දිය සූත්‍රය – මුල පටන් ධර්‍ම සයෙහි ද මත්තෙහි ධර්‍ම පසෙහි ද තමා විසින් කටයුතු දැය දකිත්. මේ උපාය යැ, ආර්‍ය්‍යශ්‍රාවක ලාමක අකුශල ධර්‍මයන් දුරු කෙරේ මැ යැ, සියලු එකොළොස් ධර්‍මයන්හි මේ ඵලය ද උපාය ද වේ.
(14) එහි ආණත්ති ද ඵලය ද උපාය ද කවරෙ යත්:
19. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරුකොට ලොව ශුන්‍ය විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි යැ.”
“සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ” යනු ආණත්ති යැ. “සදා සතෝ” යනු උපාය යැ, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මව්චුතරො සියා” යනු ඵල යි.
“මහණෙනි, සමාධිය වඩවු, මහණෙනි, සමාහිත වූ මහණ ‘රූපය අනිත්‍ය’ යයි දැනගනී, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ජාතියෙන් ද ... උපායාසයන්ගෙන් ද මිදෙයි.” මෙහි ආණත්ති ආදි තුන මැ ඇත.
(15) එහි අස්සාද කවරෙ යත්:
20. වස්තුකාමය කැමැතිවන සත්ත්‍වහට ඉදින් ඒ කාමවස්තු සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතියේ වේ.
මේ අස්සාද යැ.
‘බමුණ, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා කුශලක්‍රියා හේතු කොට ගෙන මැ මෙසේ මෙලොවැ ඇතැම් සත්ත්‍ව කෙනෙක් කය බිඳීමෙන් සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙත්.” මේ අස්සාද යි.
(16) එහි ආදීනව කවරෙ යත්:
21. (ආදීනව සඳහා නිදර්‍ශන කළ පාඨය අසම්පූර්‍ණ වූයෙකි.)
පසේනදි (කෝසල) සංයුක්තයෙහි සූත්‍රාගත “පබ්බතූපමාව” වෙයි. මේ ආදීනව යි.