මේ අනුපාදිසේසනිබ්බානධාතු යි.
මේ අසාධාරණ සූත්‍රයෝ යැ, යම් යම් තැනෙක සිවුසස් දක්වන ලද්දාහු ද ඒ ඒ තැන්හි සත්‍ය ලක්‍ෂණයෙන් අවතරණ කොට අපරිමාණ ඛ්‍යඤ්ජනයෙන් ඒ අර්‍ත්‍ථය සෙවියැ යුතු. එහි අර්‍ත්‍ථය අනුව වැටෙන ඛ්‍යඤ්ජනයෙන් යළි ඛ්‍යඤ්ජන අනුව වැටෙන අර්‍ත්‍ථයෙන් යුත් ඒ එකෙකි අර්‍ත්‍ථයාගේ අපරිමාණ ඛ්‍යඤ්ජනයෝ වෙති. නික්‍ෂේප කළ පරිදි මේ සූත්‍රයන්ගෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දැක්විය යුත්තාහ. පස්මහසඟියෙහි පිවිසැගෙන සිටි ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, ඛ්‍යාකරණයෙන් ඛ්‍යාකරණය පමණ කළ යුතු. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
එහි මේ උද්දාන ගාථා යැ:
(1-10) (යමෙකරත්තිං පඨමං, යනාදි ජාතක (අයොඝර) ගාථායෙහි පටන් සංයුත් සඟියැ ගෝධික සූත්‍රය දක්වා ජාති ආදි ධර්‍මයනට නිදර්ශිත අසාධාරණ සූත්‍රයන්ගේ අනුපිළිවෙළ උද්දානගාථාවන්ගෙන් දක්වන ලද්දේය, එය පාළි වශයෙන් මැ දතහැකි වේ.)
ඒ අසාධාරණ සූත්‍රයන්ගේ උද්දානගාථා දසයෙකි.
එහි මේ සාධාරණ සූත්‍රයෝ යැ, යම් සූත්‍රයෙක්හි අනුලෝම ව ද, ප්‍රතිලෝම ව ද ව්‍යති මිශ්‍ර කොට ද සාධාරණ සත්‍යයෝ දෙසන ලද්දාහු ද එහි මේ ආදිය යැ:
22. (අජිත යි බුදුහු මෙසේ වදාරති) ධර්‍ම ස්වභාව ප්‍රතිච්ඡාදන ලක්‍ෂණ වූ සත්ත්‍ව ලෝකය වසන ලද විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි. ඒ ලෝවැසිහට ජාත්‍යාදි වට්ටදුක්ඛය මහත් භය හේතුව වේ.
එහි යම් අවිද්‍යාවකුත් විචිකිත්සාවකුත් වේ ද, මේ ‘සමුදය’ යැ, යම් මහත් භයෙක් වේ ද මේ ‘දුක්ඛ’ යැ, දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙක යි.
“සංයෝජන ද සංයෝජනිය ධර්‍මයෝ ද” යන සංයුත් සඟියැ චිත්ත සංයුත්තයෙහි වෙය්‍යාකරණය වෙයි.
එහි යම් සංයෝජනයෙක් ඇද්ද මේ ‘සමුදය’ යැ, සංයෝජනයන්ට හිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ‘දුක්ඛ’ යැ. දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙකෙකි.
එහි දුක්ඛයත් නිරෝධයත් කවරෙ යැ:
23. මගනුවණින් මුලුසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් නැතියෙන් සන්හුන් සිත් ඇති මහණහු විසින් ජාති සංඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරන ලද. ඔහුට පුනර්‍භවයෙක් නැති.
එයි යම් චිත්තයෙක් ඇද්ද මේ ‘දුක්ඛ’ යැ. භවතෘෂ්ණාවගේ යම් උපච්ඡේදයෙක් වේ ද, මේ ‘දුක්ඛ නිරෝධ’ යැ. ‘වික්ඛීණො ජාතිසංසාරො නත්‍ථි තස්ස පුනබ්භවෝ’ යනු නිද්දේස යි. දුක්ඛ යැ නිරෝධ යැ යි මේ සත්‍යයෝ දෙදෙනෙකි.
මහණෙනි, මේ විමුත්තීහු, දෙ දෙනෙක් වෙති: රාගවිරාග චේතෝ විමුත්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන මොහු යැ. එහි යම් චිත්තයක් වේ ද, මේ දුක යැ. යම් විමුත්තයක් වේ ද මේ නිරෝධ යි. දුඃඛ සත්‍යය ද නිරෝධ සත්‍යය දැයි මෙ සත්‍යයෝ දෙ දෙනෙකි.
එහි දුක්ඛ ද මග්ග ද කවරෙ යත්:
24. මේ කය කුඹල්බඳුනක් වැන්නැ යි දැන මේ විදර්‍ශනාචිත්තය නගරූපම කොට තබා ප්‍රඥා නමැති අවියෙන් කෙලෙස් මරුට පහර දෙන්නේ යැ. දිනන (උපදවන) ලද තරුණ විදර්‍ශනාව රක්නේ යැ. සමවත නිවේසන කොට (එහි) නො වසන්නේ යි.
එහි යම් කුම්භූපම කයකුත් නගරුපම සිතකුත් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ප්‍රඥායුධයෙන් මාර ප්‍රහාරය යන යමක් වේ ද මේ මාර්‍ග යි. මේ (දුක්ඛ මග්ග) සත්‍ය දෙක යි.
‘මහණෙනි යමක් තොපගේ නො වේ ද, එය දුරැලවූ, (ඛන්‍ධසංයුත්ත) එහි යම් දුරැලීමෙක් වේ ද මේ ‘මග්ග’ යැ, තමා සතු නොවූ (එහෙයින්) ප්‍රහාතව්‍ය වූ රූපාදිවිඤ්ඤාණ දක්වා යම් ධර්‍ම කෙනෙක් ඇත් ද මේ ‘දුක්ඛ’ යැ. මේ ‘දුක්ඛ මග්ග’ යන දෙ සත්‍යයෝ යි.
එහි ‘දුක්ඛ, සමුදය හා නිරෝධ’ කවරෙ යැ:
25. ලොවැ නන්වැදෑරුම් වූ යම් කිසි සෝක පරිදේව දුක්ඛයෝ වෙත් ද තෙල (සෝකාදීහු) ප්‍රියවස්තු නිසා උපදිති, ප්‍රියවස්තුවක් නැති කල්හි තුලුහු (සෝකාදීහු) නො වෙත්.
එහි යම් සෝකපරිදේවයෝ වෙත් ද යම් අනේකරූප වූ දුකකුත් වේ ද, ප්‍රෙමහේතුයෙන් යම් දුකකුත් වේ ද මේ ‘දුක්ඛ’ යැ. යම් ප්‍රේමයෙක් වේ ද, මේ ‘සමුදය’ යැ යම් ඡන්‍දරාග විනයයෙක් ප්‍රිය නො කිරීමෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
තිම්බරූක පරිව්‍රාජක ‘සුවදුක් තමා විසින් කරන ලද ද, පරා විසින් කරන ලද දැ’යි පුළුවුස්සි. (අභිසමය සංයුක්ත) තෙල වීමංසාව බඳු යම් දහමක් ඇද්ද, මේ දුක්ඛ යැ. තෙල අන්තද්වයට නො පැමිණ යම් මධ්‍යම ප්‍රතිපදාවක් ඇද්ද. ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ (යනු ආදි කොට) ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි’ යනු දක්වා මෙ ද ‘දුක්ඛ’ හා ‘සමුදය’ ද වෙයි. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති ජරාමරණ යන මේ ‘දුක්ඛ’ යැ, අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ ‘සමුදය’ යැ. මෙසේ මේ ‘ස්වයං කෘතය විමසන්නේ යැ’ යනු ද පටිච්චසමුප්පාදයෙහි ‘දුක්ඛ’ ය ද තෙල දැක් වූ ‘සමුදය’ ද ‘අවිජ්ජානිරෝධයෙන් සංඛ්‍යාරනිරෝධය වෙයි.’ යනු පටන් ජරාමරණනිරෝධය තෙක් මේ ‘නිරෝධ’ යි. ‘දුක්ඛ සමුදය හා නිරෝධය’ ද යන මොහු තුන් සත්‍යයෝ යි.
එහි දුක්ඛ සමුදය හා මග්ග කවරෙ යැ:
26. ආරබ්ධ විදර්‍ශක වූ යමෙක් ත්‍රෛභූමික දුඃඛය දුටුයේ ද යම් හේතුයෙකින් දුක උපදී නම් ඒ නිදාන වූ තෘෂ්ණාවත් දුටුයේ ද පටිපන්නක වූ ඒ පුඟුල් සචස්තුක ක්ලේශ කාමයන්හි කිසෙයින් නැමේ ද, (නො නැමේ මැ යැ). යම් හෙයෙකින් මෙ ලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එ හෙයින්) සංගයෙකැ යි දැන ඒ කාමයන්ගේ ප්‍රහාණ විනය පිණිස ස්මෘතිමත් වැ ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
එහි ‘යො දුක්ඛමද්දක්ඛි’ යන මේ ‘දුක්ඛ’ යැ. යම් කරුණෙකින් වේ ද මේ ‘සමුදය’ යැ යමක් දක්නා ලද ද, යමකින් වේ ද, යම්තාක් එ හේතුහුගේ විනය පිණිස හික්මීමෙක් වේ ද, මේ ‘මග්ග’ යැ මොහු තුන් සත්‍යයෝ යි.
“එකාදසකංගුත්තරයෙහි ගෝපාලකූපම සූත්‍රය:”
එහි යම් රූපඤ්ඤුතායෙක් වේ ද, යම් සළායතනයෙක් වේ ද, යම්සේ චණපටිච්ඡාදනය කෙරේ ද, යම් තීර්‍ත්‍ථයෙක් වේ ද යම්සේ ධම්මූපසංහිත උළාර පීතිපාමොජ්ජ ලබා ද, ආත්මභාව හෙයින් චතුර්විධ වස්තුයෙක් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ආසාටික (කාමවිතර්‍ක) බැහැර කරනුයේ වෙයි’ යනු දක්වා මේ ‘සමුදය’ යැ, රූපඥ බව ආසාටික දුරැලීම ව්‍රණ ප්‍රතිච්ඡාදනය, වීථි දන්නා බව හා ගෝචරකුසල බව ද යන මේ ‘මග්ග’ යැ. අවශේෂ ධර්‍මයෝ: හේතූහු ඇත, ප්‍රත්‍යයෝ ඇත, නිශ්‍රයයෝ ඇත. සාවශෙෂ කොට දොවන බව හා අනේක පූජා ද කල්‍යාණ මිත්‍රතාවට ප්‍රත්‍ය වූ ධර්‍මයෝ ද වීථි දන්නා බව ද හේතු යි. මොහු තුන් සත්‍යයෝ යි.
එහි ‘දුක්ඛ මග්ග හා නිරෝධ’ කවරෙ යැ:
27. යමක්හට කායගතාසතිය එළඹැසිටියා ද යමෙක් ස්පර්‍ශයට කාරණ වූ චක්‍ෂුරාදි ෂඩායතනයෙහි සංවෘත වූයේ ද නිරතුරු විදර්‍ශනාසමාධියෙන් සමාහිත වූ ඒ මහණ තමාගේ ක්ලේශපරිනිර්‍වාණය දන්නේ යි.
එහි යම් කායගතාසතියක් ඇද්ද, යම් සළායතනයෙක් වේ ද, තෙල සියල්ල ‘දුක්ඛ’ යැ. යම් කායගතාසතියක් වූ ද යම් සීලසංවරයෙක් වේ ද යම් සමාධියෙක් වේ ද යම් අරමුණෙක යම් සතියක් වූ ද මේ ‘පඤ්ඤාක්ඛන්‍ධ’ යැ. හැම සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ (එයින් ගන්නා ලද) මේ ‘මග්ග’ යැ. මෙබඳු විහරණ ඇතියහු විසින් නිර්‍වාණය දතයුතු යැ. මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
සීලයෙහි පිහිටා සමථ යැ විපස්සනා යැ යන ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. එහි යම් චිත්තසහජාත ධර්‍මයෝ වෙත් ද, මේ ‘දුක්ඛ’ යැ, යම් සමථයෙක් වේ ද යම් විපස්සනාවක් වේ ද මේ ‘මග්ග’ යැ, රාගවිරාග – චේතෝවිමුක්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය ද යන මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
එහි ‘සමුදය ද නිරෝධය ද’ කවරෙ යත්:
28. අනාගතාර්‍ත්‍ථ ආශංසනය කරන (පතන) ආශාව ද වර්‍තමානාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන පිහාව ද නිෂ්පන්නාර්‍ත්‍ථ ප්‍රතිපාලන කරන අභිනන්‍දතාව ද චක්ඛුධාතු ආදි අනේකධාතු විෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණා සංඛ්‍යාත සියලු ප්‍රජල්පිතයෝ මා විසින් මූල සහිත ව විගතාන්ත කරන ලද්දාහු යැ.
එහි ‘අඤ්ඤාණමූලප්පහවා’ යී පූර්‍වපදයන්ගෙන් ‘සමුදය’ කියන ලද ‘සබ්බා මයා ඛ්‍යන්තිකතා සමූලකා’ යී නිරෝධය කියන ලදි. මේ දෙ සත්‍යයෝ යි.
“සතර ධර්‍ම කෙනකුන්ගේ අනවබෝධයෙන් අප්‍රතිවේධයෙන්” විස්තර කළයුතු යැ. ආර්‍ය්‍ය ශීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය (නො පිළිවිදිමෙනැයි චතුක්කංගුත්තර භණ්ඩගාමවග්ග විස්තර කළයුතු) එහි සතර ධර්‍මයන්ගේ යම් අනනුබෝධයෙක් අපටිවේධයෙක් වේ ද මේ “සමුදය” යැ. පටිවෙධය භවනෙත්ති සංඛ්‍යාත තෘෂ්ණාව දුරැලීම යැ, මේ ‘නිරෝධ’ යි. මේ සමුදය හා නිරෝධ යි.
එහි ‘සමුදයත් මග්ගයත්’ කවරෙ යැ:
29. (අජිතයෙනි’යි බුදුහු වදාරති) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම් ස්මෘතිය ඔවුන්ගේ නිවාරණ යැ. (ඒ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගඥානයෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.
“යානි සෝතානි” යන මේ ‘සමුදය’ යැ. යම් ප්‍රඥාවකුත් යම් ස්මෘතියකුත් වේ ද, නිවාරණය හා විධානය ද මේ ‘මග්ග’ යැ. මේ දෙ සත්‍යයෝ යි.
‘සඤ්චේතනිය සූත්‍රය (දසකංගුත්තරයෙහි) ද, දළ්භනෙමියානකාර සමසකින් දක්වන ලද රියසක ද වේ. එහි යම් සවංක වූ සදෝස වූ කසට සහිත වු කාය කර්‍මයක් වේ ද යම් සවංකබවක් සදෝසබවක් සකසාවබවක් වේ ද මේ ‘සමුදය’ යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යි. අවංක අදෝස අකසාව වූ යම් කායකර්‍මයක් වේ ද යම් අවංකබවක් අදෝස බවක් අකසාව බවක් වේ ද මේ “මග්ග” යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යැ. මේ සමුදය ද මග්ග ද යන දෙ සත්‍යයෝ යි.)
එහි ‘සමුදය නිරෝධ හා මග්ග’ කවරෙ යත්:
‘(තණ්හාදිට්ඨීන්) නිඃශ්‍රය ඇතියහුට (චිත්තසන්තානයාගේ) කම්පනය වෙයි. අනිස්සිතයහට චලිතයෙක් නැති, චලිතය නැති කල්හි පස්සද්ධි (කාය චිත්ත දරථයන්ගේ සන්හිඳීම) වෙයි. පස්සද්ධිය ඇති කල්හි කාමාදිභවයෙහි නතිය (නැමීම) නො වෙයි. නතිය නැති කල්හි භවයෙන් භවයට පැමිණීමෙක් යෑමෙක් නො වෙයි. ආගති ගති නැති කල්හි ච්‍යුති උත්පත්ති නො වෙයි. චුතූපපාත නැති කල්හි මෙ ලොවැ නො මැ වෙයි. පරලොවැ නො වෙයි. එ දෙලොවැ මැ නො වෙයි, තෙල උභය ලෝකයාගේ නො පැවැත්ම මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි. (උදාන–පාටලිගාමියවග්ග, වේදනා සංයුක්ත–ඡන්නවග්ග)
එහි (තණ්හා, දිට්ඨි, විසින්) නිස්සය දෙකෙකි. මේ ‘සමුදය’ යැ. යම් අනිඃශ්‍රයෙක් යම් අනතියක් වේ ද මේ ‘මග්ග’ යැ, යම් ආගති ගති නො වීමෙක් චුතූපපාත නො වීමෙක් වේ ද, යම් වට්ටදුක්ඛයාගේ අන්තයෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
නො එළැඹැ සිටි කාගියා සී ඇතියේ ... යම් විමුක්ති ඥාන දර්‍ශනයක් ඇද්ද මේ නිරෝධ යැ, සමුදය යැ (?) (ඒකාදස උපනිස්සයා ... සොසනියො හොති ?)
යම් විමුක්ති ඥාන දර්‍ශන යක් ඇද්ද මේ මාර්‍ග යැ, යම් විමුක්තියක් ඇද්ද මේ නිරෝධ යැ, මොහු සමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන තුන් සත්‍යයෝ යි.
එහි නිරෝධය ද මාර්‍ගය ද කවරෙ යැ:
30. (ස යං කතෙන ... ?)
‘කම්මෙන’ යන මේ මාර්‍ග යැ, ‘ඛිණපුනබ්භවෝ’ යන මේ නිරෝධ යැ. මේ සත්‍ය දෙකයි.
“විමුක්ති කාරණයෝ පස් දෙනෙකි – ශාස්තෲන් වහන්සේ හෝ විඥ වූ අන්‍යතර සබ්‍රම්සර කෙනෙක් හෝ දහම් දෙසන සේක” යන (පඤ්චකංගුත්තර–පඤ්චංගිකවග්ග) මේ සූත්‍රය විස්තරයෙන් දැක්විය යුතු. අර්‍ත්‍ථප්‍රතිසංවේදී වූ ඔහුට ප්‍රාමෝද්‍යය (තරුණප්‍රීතිය) උපදී. ප්‍රමුදිත වූවහුට බලවත් ප්‍රීතිය උපදී. “නිබ්බින්‍දන්තො විරජ්ජති” යනු දක්වා විස්තර කළ යුතු ය, මේ ‘මග්ග’ යැ, (එහි) යම් විමුක්තියක් ඇද්ද මේ ‘නිරෝධ’ යි. මෙසේ පඤ්ච විමුත්තායතනයෝ විස්තරයෙන් දැක්වියැ යුතු. මේ නිරෝධය ද මග්ගය ද යන දෙ සතයයෝ යි.
මේ සාධාරණ සූත්‍රයෝ යැ. නිර්දේශ කළ පරිදි මේ සාධාරණ සූත්‍රයන්ගෙන් ප්‍රතිවේධ හෙයින් ද ලක්‍ෂණ හෙයින් ද අවතරණය කොට නො පිරිහෙළනු වහු විසින් අන්‍ය සූත්‍රයෝ දැක්විය යුත්තාහු යැ. ගාථායෙන් ගාථා වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය ප්‍රමාණ කළ යුත්තාහ.
(ඉමෙ ච සාධාරණා .... පරියේසිත්‍වා නිද්දිසිතබ්බා?)
එහි මේ සංක්‍ෂේපය යැ: සියලු දුක්ඛය සත් පදයකින් සමෝසරණයට (සංග්‍රහයට) යෙයි. කවර සත් පදයකින යත්: අප්‍රියසම්ප්‍රයෝගය ද ප්‍රියවිප්‍රයෝගය ද යන මේ දෙ පදයෙන් සියලු දුක්ඛය දැක්විය යුතු. ඒ දුකට නිශ්‍රය දෙකෙකි: කය ද සිත ද යන දෙක යි. එයින් ‘කායික දුක්ඛය ද චෙතසිකදුක්ඛය දැ’යි කියනු ලැබේ. කායික නො වූ හෝ චේතසික නො වූ හෝ දුක්ඛයෙක් නැති. එහෙයින් සියලු දුක්ඛය කායික දුකින් ද චේතසික දුකින් ද යන දෙකින් දැක්විය යුතු. දුක්ඛදුක්ඛතායෙන් සංඛ්‍යාරදුක්ඛතායෙන් විපරිණාම දුක්ඛතායෙන් යන තුන් දුක්ඛතායෙන් සංගෘහීත යැ. මෙසේ ඒ සියලු දුක්ඛය තුන් දුක්ඛතායෙන් සංගෘහිත යි. මෙසේ මේ ත්‍රිවිධ දුක්ඛය ද, කායික චේතසික යන ද්විවිධ දුක්ඛය ද අප්පියසම්පයෝග පියවිප්පයෝග යන ද්විවිධ දුක්ඛය දැයි මේ සත්වැදෑරුම් දුක්ඛය වේ.
එහි සමුදය ත්‍රිවිධ වෙයි. සතරවැන්නෙක් නැත. පස්වැන්නෙක් නැති.
කවර ත්‍රිවිධයෙකැ යත්: තණ්හා යැ දිට්ඨි යැ, කම්ම යැ.
එහි තෘෂ්ණාව මැ සමුදය වේ. කර්‍මය නම් එසේ උපන්නහුගේ යම් හීන ප්‍රණිතතායෙක් වේ ද, මේ සමුදය යි. මෙසේ භවගතින්හි යම් හීනප්‍රණීත බවක් ඇද්ද, තුන් දුඃඛතායෙන් සංගෘහිත වූ (යම් තණ්හාවක්?) ඇද්ද, (තණ්හා අවිජ්ජා) ද්විමූලයෙන් උපදවන ලද අවිද්‍යාවෙන් නිවෘත වූ භවතෘෂ්ණායෙන් සංයුක්ත වූවහුගේ යම් සවිඤ්ඤාණක (පඤ්ච ස්කන්‍ධ)කයෙක් වේ ද එ ද තුන් දුඃඛනායෙන් සංගෘහීත යි.
එපරිදි විපල්ලාසයන්ගේ වශයෙන් දෘෂ්ටිය දතයුතු, යම් දෘෂ්ටියක් සත්වැදෑරුම් කොට දැක්වියයුත්තී ද එයයි. එක් විපල්ලාසයෙක් තුන් විපල්ලාස වස්තුවක් දක්වයි. විපල්ලාසවස්තු සතරක් වෙත්.
එහි එක් විපර්‍ය්‍යාසය කවරෙ යත්: යම් විපරීතග්‍රාහයෙක් ඇද්ද එය යි. ප්‍රතික්‍ෂේප විසින් අවතරණය මෙසේ යැ: අනිත්‍යයෙහි නිත්‍ය යයි විපරීත කොට ගනී. මෙසේ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. (විපරීත කොට ගනිත්). මේ එක් විපර්‍ය්‍යාසයෙක් සඤ්ඤා චිත්ත දිට්ඨි යන මේ විපර්‍ය්‍යස්ත කෙරෙයි.
සතර විපර්‍ය්‍යාස වස්තු කවරහ යත්: කාය වේදනා චිත්ත ධර්‍ම යන මොහු යි.
මෙසේ විපර්‍ය්‍යාසයට ගියහුට අකුශලය ද වැඩෙයි. එහි සංඥාවිපර්‍ය්‍යාසය දෝස අකුසල මූලය වඩයි. චිත්තවිපර්‍ය්‍යාසය ලෝභ අකුසලමූලය වඩයි. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය මෝහ අකුසලමූලය වඩයි. එහි දෝස අකුසලමූලයාගේ මිථ්‍යා වචන මිථ්‍යා කර්‍මාන්ත මිථ්‍යාආජීව යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ. ලෝභ අකුශල මූලයාගේ මිථ්‍යාසංකල්ප මිථ්‍යා ව්‍යායාම මිථ්‍යා සමාධි යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ.
මොහු අකුසල මූලයාගේ මිථ්‍යා දෘෂ්ටි ද මිථ්‍යාස්මෘති ද යන දෙවැදෑරුම් මිච්ඡත්තයෝ ඵල යි. මෙසේ අකුශලය සහේතු සප්‍රත්‍යය වෙයි. විපල්ලාසයෝ ද ප්‍රත්‍යය වෙයි. අකුශල මූලයෝ හේතුසහිතයෝ යැ, තෙල අකුශලයෝ මැ ප්‍රතිපක්‍ෂ විසින් අනූන අනධික වූවාහු ප්‍රත්‍යය දෙකකින් දැක්විය යුත්තාහු යි. නිරෝධයෙහි ද මාර්‍ගයෙහි ද විපර්‍ය්‍යාසය ගෙන පරභාවයෙන් ප්‍රතිපක්‍ෂ විසින් දැක්විය යුත්තාහු යි.
එහි මේ උද්දාන ගාථා යැ:
(1) අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු ද, චිත්තසංයුත්තයෙහි සංයෝජන සූත්‍රය ද, ‘උච්ඡින්නභවතණ්හස්ස’ යනාදි ගය ද, දෙවැදෑරුම් විමුත්තීහු ද–
(2) ‘කුම්භූපමං’ යනාදි ගය ද, ‘යං භික්ඛවේ න තුම්හාකං’ යනාදි දේශනාව ද ‘යෙ කෙචි සෝකා’ යනා දි ගය ද, ‘සයංකතං’ යනාදිය විචාළ තිම්බරූක පිරිවැජියා ද–
(3) දුඃඛ දෘෂ්ටි ප්‍රකාශිතයෝ ‘දුක්ඛමද්දක්ඛි’ යනාදි ගය ද, ගෝපාලකූපම සූත්‍රය ද, ‘සති කායගතා’ යනාදි ගය ද, ශමථය හා විදර්‍ශනාව ද–
(4) ‘ආසා පිහා ච’ යනාදි ගය ද ‘චතුන්නං ධම්මානං’ යනාදි දේශනාව ද, ‘යානි සෝතානි’ යනාදි ගය ද, ‘දළ්හනෙමි’ යානකාර ද–
(5) ‘නිස්සිතස්ස චලිතං’ යනාදි දේශනාව ද ‘අනුපට්ඨිත කායසති’ යනාදිය ද, ‘සයං කතෙන කම්මෙන’ යනාදි ගය ද, විමුත්තායනයන් ගෙන් ද සාධාරණ සූත්‍ර නිදර්ශිත යිං
මහාකාත්‍යායන තෙරණුවන් විසින් භාෂිත වූ පෙටකෝපදේසයෙහි
අරියසච්චප්පකාසනා නම් ප්‍රථම භූමිය සමාප්ත යි.
2. ද්විතීය භූමි - සාසනපට්ඨාන
එහි සාසනපට්ඨාන කවරෙ යත්:
1. සංකිලෙසභාගිය සූත්‍ර යැ 2. වාසනාභාගිය සූත්‍ර යැ 3. නිබ්බේධභාගිය සූත්‍ර යැ 4. අයෙඛභාගිය සූත්‍ර යැ 5. සංකිලෙසභාගිය සූත්‍ර යැ 6. සංකිලෙසභාගිය ද නිබ්බේධ භාගිය ද සූත්‍ර යැ 7. සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ 8. වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ 9. ආණත්ති යැ 10. ඵල යැ 11. උපාය යැ 12. ආණත්ති හා ඵල යැ 13. ඵලය හා උපාය යැ 14. ආනන්ති හා ඵලය හා උපාය යැ 15. අස්සාද යැ 16. ආදීනව යැ 17. නිස්සරණ යැ 18. අස්සාද හා ආදීනව යැ 19. අස්සාද හා නිස්සරණ යැ 20. ආනදීව හා නිස්සරණ යැ 21. අස්සාද හා ආදීනව හා නිස්සරණ යැ 22. ලෞකික යැ 23. ලෝකෝත්තර යැ 24. ලෞකික හා ලෝකෝත්තර යැ 25. කම්ම යැ 26. විපාක යැ 27. කම්ම හා විපාක යැ 28. නිර්දිෂ්ට යැ 29. අනිර්දිෂ්ට යැ 30. නිර්දිෂ්ට හා අනිර්දිෂ්ට යැ 31. ඥාන යැ 32. ඥේය යැ 33. ඥාන හා ඥේය යැ 34. දර්‍ශන යැ 35. භාවනා යැ 36. දර්‍ශන හා භාවනා යැ 37. විපාකකර්‍ම යැ 38. නවිපාක කර්‍ම යැ 39. නේවවිපාක නවිපාක කර්‍ම යැ 40. සකවචන යැ 41. පරවචන යැ 42. සක වචන හා පරවචන යැ 43. සත්තාධිට්ඨාන යැ 44. ධම්මාධිට්ඨාන යැ 45. සත්තාධිට්ඨාන හා ධම්මාධිට්ඨාන යැ 46. ස්තව යැ 47. අනුඤ්ඤාත යැ 48. පටික්ඛිත්ත යැ 49. අනුඤ්ඤාත හා පටික්ඛිත්ත යැ 50. සකවචනාධිට්ඨාන යැ 51. පරවචනාධිට්ඨාන යැ 52. සකවචනාධිට්ඨාන හා පරවචනාධිට්ඨාන යැ 53. කිරිය යැ 54. ඵල යැ 55. කිරිය හා ඵල යි.
(එහි සකවචනාධිට්ඨාන යැ, පරවචනාධිට්ඨාන යැ, සක වචන හා පරවචනාධිට්ඨාන යැ, කිරිය යැ, ඵලයැ, කිරිය හා ඵලයැ යන මේ සය (නිදසුන් දැක්වීමෙන්) පටික්ඛිත්ත යි.)
(1) එහි සංකිලේස භාගිය සූත්‍රය කවරෙ යත්:
1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු (සත්ත්‍වයෝ) කෙමින මුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නමැති බන්‍ධනයෙන් බැඳුණාහු මවුදෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුන පුනා පැමිණෙත්.
“පඤ්චිමෙ භික්ඛවේ නීවරණා” (යනාදි සූත්‍රය දැක්විය යුතු.)
(2) එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යත්:
2. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ. ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නො පියා යන සෙවණැල්ල සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිවැ යේ යයි.
සංයුත් සඟියෙහි සූත්‍රය : (සාරකානිවග්ග–මහානාමසුත්ත) මේ සූත්‍රයෙහි බුදුහු ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවර දී මහානාම ශාක්‍යහට නයවිස්තරයෙන් සද්ධා සීලාදි පරිහාචිතචිත්තය වදාළහ ... (මෙහි පාඨය ආකුලය)
(3) එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යත්:
3. උඩ රූපාරූපධාතුයෙහි ද යට කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂ විමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ’ මම් වෙමි නො දක්නේ මෙසේ සෙබා සේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කෙළේ යයි.
‘වහන්ස අනවද්‍ය ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු දැයි අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විචාරති. (දසකංගුත්තර – ආනිසංසවග්ග).
(4) එහි අනෙඛභාගිය සූත්‍රය කවරෙ යත්:
4. යමක්හුගේ සිත ශෛලපර්‍වතයක් සෙයින් සිටියේ (අටලෝ දහමින්) නො සැලේ ද රාගෝත්පත්තියට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද කෝප ඉපැද්මට කාරණ වූ ආඝාතවස්තු විෂයෙහි නො කිපේ ද යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
‘වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර මා ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මුණේ ය’යි (නවකංගුත්තර – සීහනාදවග්ග) වහන්ස යමකුට එකැතින් කයෙහි කාගියාසී නො එළැඹ සිටී නම්” යනාදි සාරිපුත්ත වෙය්‍යාකරණය විස්තර කළයුතු.
(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍රය කවරෙ යත්:
5. වසන ලද ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නො තෙමයි. එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු. මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් නො තෙමා.
“ඡන්නමතිවස්සති” යනු සංකිලේස යැ, “විවටං නාතිවස්සති” යනු වාසනා යි.
“තමෝතමපරායනෝ” යනාදිය විස්තරයෙන් කියැයුතු (කෝසල සංයුත්ත). එහි යම් තම පුඟුලෙක් තමපරායන පුඟුලෙකුත් වේ ද මේ සංකිලේස යැ, යම් ජෝති පුඟුලෙක් යම් ජෝතිපරායණ පුඟුලෙකුත් වේ ද මේ වාසනා යි.
(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:
6. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වු ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණ මුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අයි ආදියෙන් සිඳලියැ හැකි හෙයිනි.) මිණි කොඬොල් අඹුදරුවන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද–
7. (සිවු අපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල් වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩි වූයෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැ යෙත්.
“න තං දළ්හං බන්‍ධනමාහු ධීරා ... පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා” මේ සංකිලේස යැ, “එතම්පි ඡෙත්‍වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය” යන මේ නිබ්බේධ යි.
අකුශලචේතනා විසින් යම් සිතීමක් කයින් වචසින් කරන ලද්දක් අනුසය වශයෙන් පැවැත්මක් වේ ද යම් නාමරූපයාගේ අවක්‍රාන්තියක් වේ ද, මේ සතර පදයෙන් සංකිලේසය වෙයි. පසුව දැක්වූ සතරපදයෙන් නිබ්බේධ යි (නෙත්ති 226 පිට)
(7) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍රය කවරෙ යත්:
8. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ දුක්පහසින් මඩනා ලදුයේ (මෙබඳු දුකක් මාගේ සතුරකුටත් නො වේවයි) වැලැපෙමින් කියයි. යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතයි ද ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.
9. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝ වැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි, එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද එය බියෙකි, යම් ජරාමරණා දියකින් බිය වේ ද එය දුකෙකි.
කාමාදි භවයාගේ ප්‍රහාණය පිණිස මැ මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව පුරයි.
යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ කාමාදි භවයෙන් භවයාගේ විමුක්තිය කීවාහු ද ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’යි කියමි.
යළි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපාරූපභවයෙන් භවයාගේ නිස්සරණය කියත් ද ඔහු සියල්ලෝ භවයෙන් නො මිදුණහ’යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මැ මේ සසරදුක හටගනී.
සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.
(බුදුහු තමන් වහන්සේගේ සිත අමතක සේක.) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනා ලද ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් මැ භවයෙන් නොමිදුණු මේ සත්ත්‍වලෝකය බල. යම් කිසි කාමාදි භවයෝ වෙත් ද උඩයට ආදි සියලු තන්හි සර්‍වභාවයෙන් එ හැම භවයෝ අනිත්‍යයහ, දුඃඛයහ. විපරිණාම ස්වභාව වූහ යි.