Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 1301-1341 න් 1341

එහි අවිද්‍යා යැ අහිරික යැ අසති යැ නීවරණ යැ අධ්‍යවසාන යැ අහංකාර යැ අස්සද්ධිය යැ කෞෂීද්‍ය යැ විචිකිත්සා යැ අසද්ධර්‍මශ්‍රවණ යැ යන මේ එක් දිශායෙකි.
තෘෂ්ණා යැ අනොත්තප්ප යැ අසම්පජ්ඤ්ඤ යැ සංයෝජන යැ අභිනිවේශ යැ මමංකාර යැ දුර්වචතා යැ අයෝනිසෝමනසිකාර යැ අභිධ්‍යා යැ අසමාපත්ති යැ යන මේ දෙවැනි දිසාව යි.
දසවිධ දුකයන් අතුරෙහි පළමුවන දසපදයෝ කියැයුත්තාහ, (සංඛිත්තෙන අත්‍ථං ඤාපෙන්ති පටිපක්ඛෙ කණ්හපක්ඛස්ස ?) සියලු දුකයන්ගේ යම් දෙවැනි දසපදයෝ වෙත් ද, මේ දෙවැනි දිසාව යි.
මෙසේ අකුශලධර්‍මයන්ගේ දුඃඛනිර්දේශය වෙයි. මේ සමුදය යැ. නාමයත් රූපයත් යම් ධර්‍මයෙක්හි පිවිසැගෙන සිටී ද, මේ දුක යැ. මෙසේ මේ සමුදය ද, මේ දුක ද වෙයි. මොහු දුක්ඛ යැ සමුදය යැ යන සත්‍යයෝ දෙදෙන වෙත්. නන්‍දියාවට්ටනයයාගේ ප්‍රථම නිර්දේශ යි.
එහි කුශලපක්‍ෂය කවරෙ යත් : සමථ යැ විදර්‍ශනා යැ විද්‍යා යැ චරණ යැ ස්මෘතී යැ සම්ප්‍රජන්‍ය යැ හිරි යැ ඔත්තප්ප යැ අහංකාරප්‍රහාණ යැ මමංකාරප්‍රහාණ යැ සම්මා වායාම යැ යෝනිසෝමනසිකාර යැ සම්මාසති යැ සම්මාසමාධි යැ ප්‍රඥා යැ නිබ්බිදා යැ සමාපත්ති යැ සද්ධර්‍මශ්‍රවණ යැ සෞමනස්‍ය යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ද වේ.
එහි සමථ යැ විද්‍යා යැ සති යැ හිරි යැ අහංකාරප්‍රහාණ යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ ප්‍රඥා යැ සමාපත්ති යැ සෞමනස්‍ය යැ යන මේ ධර්‍මයෝ එක් දිසායෙකි.
විදර්‍ශනා යැ චරණ යැ සම්ප්‍රජන්‍ය යැ ඔත්තප්ප යැ මමංකාරප්‍රහාණ යැ යෝනිසෝමනසිකාර යැ සම්‍යක්සමාධි යැ නිබ්බිදා යැ සද්ධර්‍මශ්‍රවණ යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යන මේ දෙවැනි දිසාව යැ. මෙසේ කුශලපක්‍ෂයෙහි ද අකුශලපක්‍ෂයෙහිද නන්‍දියාවට්ටනයයාගේ සතර දිසාවෝ වෙත්.
ඔවුන් කෙරෙහි අකුශලපක්‍ෂයාගේ යම් පළමුවැනි අකුශලපදකෙනෙක් කුශලයන්ගෙන් ප්‍රහාණයට යෙත් ද, ඔහු කුශලපක්‍ෂයෙහි දෙවැනි දෙවැනි පදයන්ගෙන් ප්‍රහාණයට යෙති, ඔවුන්ගේ ප්‍රහාණයෙන් රාගවිරාගචේතෝවිමුත්තිය වේ. අකුශලපක්‍ෂයාගේ යම් දෙවැනි අකුශල පදකෙනෙක් ප්‍රහාණයට යෙත් ද, ඔවුන්ගේ ප්‍රහාණයෙන් අවිද්‍යාවිරාගපඤ්ඤාවිමුත්තිය පර්‍ය්‍යවසානය වේ. මේ තුන් නය සීහවික්කීළිත නම් පළමුවැනි නය යි.
5. කුශලපද සතරක් ද අකුශලපද සතරක් දැයි පද අටක් වෙති. මේ අට පදයෝ මූලපද වෙත්. අර්‍ත්‍ථනය විසින් දෙවැනි වූයේ තිපුක්ඛල නය යැ, එය ධර්‍ම සයකින් කුශලමූලයන් ද අකුශලමූලයන් ද පමුණුවයි. මෙසේ මේ ෂට්පදයෝ ද පළමු කී අෂ්ටමූල පදයෝ ද යන මේ තුදුස් පදයෝ අටළොස් මූලපදයන් අතුරෙහි වෙති. එහි පශ්චිම වූ යම් නන්‍දිවට්ටනයෙක් වේද එය අවිද්‍යා තෘෂ්ණා සමථ විදර්‍ශනා යන සතර ධර්‍මයෙන් නයනය කෙරෙයි. මේ සතර ධර්‍මයෝ යැ, මේ අටළොස් මූලපදයෝ තුන් නයෙහි දක්වන ලද්දාහු යි.
එහි යම් කුශල නවපදකෙනෙක් වෙත් ද එහි සියලු කුශලය බැසගනී. ඒ නවපදයන් අතුරෙහිදු සතර පදයෙක් සීහවික්කීළිතනයෙහි යැ, තිපුක්ඛලයෙහි පද තුනෙකි, නන්‍දියාවට්ටයෙහි පද දෙකෙකි. මේ කුශල නව පදයෝ දක්වන ලද්දාහුය.
එහි නන්‍දියාවට්ටනයෙහි යම් සතර පදකෙනෙක් වෙත් ද, එහි අටළොස් මූලපදයෝ මුළු වෙති, කිසෙයැ යත්: සමථ යැ අලෝභ යැ අදෝස යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ යන මේ කුශලපක්‍ෂයෙහි පඤ්චපදයෝ සමථය භජනය කෙරෙති. විපස්සනා යැ අමෝහ යැ අනිව්වසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ යන මේ සතරපදයෝ විදර්‍ශනාව බෙජෙති. මේ කුසල නවපදයෝ (සමථ විපස්සනා යන) දෙපදයෙහි යොදන ලද්දාහුය.
එහි අකුශලපක්‍ෂයෙහි නව අකුශලපදයන් අතුරෙන් තණ්හා යැ ලෝභ යැ දෝස යැ සුහසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ යන මේ පස් පදයෝ තෘෂ්ණාව බෙජෙති. අවිජ්ජා යැ මෝහ යැ නිව්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ යන මේ සතර පදයෝ අවිද්‍යාව බෙජෙති. තෙල අකුශල නවපදයෝ ඉතා සංක්‍ෂිප්ත කරනලද්දාහු යැ. මෙසේ තුන් නය එක් නයකට පිවිසියාහු යි. මෙසේ අටළොස් මූලපදයෝ නන්‍දියාවට්ටනයෙහි ලා දක්වාලියැ යුත්තාහු යි.
6. අටළොස් මූලපදයෝ නිපුක්ඛලනයෙහි කිසෙයින් යෙදෙති යත් : කුශල නවපදයන් අතුරෙහි විපස්සනා යැ අමෝහ යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ යන මේ සතර පදයෝ ද, අමෝහ යැ (?) සමථ යැ අලෝභ යැ අසුභසඤ්ඤා යැ යන මේ සතර (?) පදයෝ ද ලෝභය ද දෝසය දැයි මෙසේ මේ නවපදයෝ කුශලත්‍රයෙහි යෙදියැයුත්තාහු යැ.
එහි අකුශල නවපදයන් අතුරෙන් තණ්හා යැ ලෝභ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ යන මේ සතර පදයෝ ලෝභඅකුශලමූල යැ,
අවිජ්ජා යැ මෝහ යැ නිච්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ යන මේ මෝහ අකුශලමූල යැ, දෝස යැ යන මෙය දෝසඅකුශලමූල යි. යම් මේ නව පදකෙනෙක් වෙත්ද, ඔහු තුන් අකුශලයන්හි යොදනලද්දාහු යැ, මෙසේ අටළොස් මූලපදයෝ කුශලයන්හි ද යොදා තිපුක්ඛලනයෙන් දැක්වියැයුත්තාහුයි.
කිසෙයින් අටළොස් මූලපදයෝ සීහවික්කීළිතනයෙහි යෙදෙති යත් : තණ්හා යැ සුභසඤ්ඤා යැ යන මේ පළමුවන විපල්ලාස යි, ලෝභ යැ සුඛසඤ්ඤා යැ යන මේ දෙවැනි විපල්ලාස යි. අවිජ්ජා යැ නිච්චසඤ්ඤා යැ යන මේ තෙවැනි විපල්ලාස යි. මෝහ යැ අත්තසඤ්ඤා යැ යන මේ සතරවැනි විපල්ලාස යි. මෙසේ අකුශලමූල වූ නව පදයෝ සතර පදයන්හි යොදනලද්දාහු යි.
එහි නව කුශලමූලපදයන් කෙරෙහි සමථ යැ අසුභසඤ්ඤා යැ යන මේ පළමුවන සතිපට්ඨාන යි. අලෝභ යැ දුක්ඛසඤ්ඤා යැ යන මේ දෙවැනි සතිපට්ඨාන යි. විපස්සනා යැ අනිච්චසඤ්ඤා යැ යන මේ තෙවැනි සතිපට්ඨාන යි. අමෝහ යැ අනත්ත සඤ්ඤා යැ යන මේ සතරවැනි සතිපට්ඨාන යි. මේ අටළොස් මූලපදයෝ සීහවික්කීළිතනයෙහි පිවිසියාහු යි.
මේ තුන් නයට යම් භූමියක් වේ ද එහි රාගය ද දෝසය ද යන දෙක එක් නයකට පිවිසෙයි. එක් නයක් පිළිබඳ වැ කුශලධර්‍මය හෝ අකුශලධර්‍මය හෝ දත් කල්හි ප්‍රතිපක්‍ෂය සෙවියැයුතු, ප්‍රතිපක්‍ෂයන් විමසා යම් නයෙක් දැක්වියැයුත්තේද ඒ නය දැක්වූකල්හි යම්සේ එක් නයෙක්හි සියලු නය පිවිසියාහු ද එපරිද්දෙන් දැක්වියැයුත්තාහ. තව ද එක් නයෙක්හි අටළොස් මූලපදයෝ පිවිසියාහු යැ, ඒ ධර්‍මය විඥාත කල්හි සියලු ධර්‍මයෝ විඥාත වෙත්.
මේ තුන් නය අතුරෙහි සීහවික්කීළිතනයෙහි සතර ඵලයෝ පර්‍ය්‍යවසානය වෙති. ප්‍රථම දිසායෙහි ප්‍රථම ඵලය වෙයි, දෙවැනි දිසායෙහි දෙවැනි ඵලය වෙයි, තුන්වැනි දිසායෙහි තුන්වැනි ඵලය වෙයි, සතරවැනි දිසායෙහි සතරවැනි ඵලය වේ.
තිපුක්ඛලනයෙහි තුන් විමෝක්‍ෂමුඛයෝ පර්‍ය්‍යවසානය වෙයි. ප්‍රථම දිසායෙහි අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, දෙවැනි දිසායෙහි ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ. තෙවැනි දිසායෙහි අනිමිත්ත විමොක්‍ෂමුඛ යි.
නන්‍දියාවට්ටනයයාගේ රාගවිරාගචේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියද පර්‍ය්‍යවසානය වෙයි. ප්‍රථම දිසායෙහි රාගවිරාගචේතෝවිමුත්ති යැ, දෙවැනි දිසායෙහි අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්ති යයි.
මේ තුන් නය වෙති, මේ තුන් නයයන්ගේ අටළොස් මූලපදයන්ගේ අවලෝකනය වේ. මේ දිසාලෝචනනය යී කියනුලැබේ.
අවලෝකනය කොට මේ ධර්‍මය මෙනම් ධර්‍මය බෙජේ යයි දැනගනී. කුශලපක්‍ෂයෙහි ද අකුශලපක්‍ෂයෙහි ද මනාකොට යෙදීම වේ. මේ නය අංකුස නම් වේ. මේ පඤ්ච නය යි.
එහි මේ උද්දානගාථා වෙති :
1. තණ්හා යැ අවිජ්ජා යැ ලෝභ යැ දෝස යැ එසේ ම මෝහය ද සතර විපල්ලාසයෝ ද යන නව පදයෝ ක්ලේශ (අකුශල) භූමි යැ.
2. සතර සතිපට්ඨානයෝ යැ සමථ යැ විපස්සනා යැ තුන් කුශලමූලයෝ යැ යන තෙල සියලු කුශලය (සංග්‍රහ වූ) නව පදයෝ ඉන්‍ද්‍රිය (කුශල) භූමි යැ.
3. සියලු කුශලය නව (කුශල) පදයන් සමග ද සියලු අකුශලය නව (අකුශල) පදයන් සමග ද යෙදෙයි. දෙපක්‍ෂයෙහි තෙල මූලපදයෝ අටළොසක් වෙත්.
4. යම් නයෙක් තණ්හාව හා අවිජ්ජාව ද සමථය හා විපස්සනාව ද සත්‍යයන්හි යෝගයෙන් යුක්ත වූයේ කුශලාකුශලයන්හි පමුණුවා ද මේ නය නන්‍දියාවට්ට නම් වෙයි.
5. යම් නය විශේෂයෙක් අකුශලධර්‍මයන් අකුශලමූලයන් සමග ද චාතුර්භූමක කුශලයන් කුශලමූලයන් සමග ද භූත තථ අවිතථ කොට චතුස්සත්‍යද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථය පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.
6. යම් වර්‍ණනාවිශේෂයෙක් සතර විපල්ලාසයන් සමග සංක්ලේශධර්‍මයන් ද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් සමග සද්ධර්‍ම හෙවත් චෝදානපක්‍ෂයෙහි ධර්‍මයන් ද සියුසස් සමග යොදා වර්‍ණනාවිෂය කෙරේ ද නය දන්නාහු තෙල නය සීහවික්කීළිත නමැයි කීහු.
7. වෙය්‍යාකරණයෙහි කුශලතායෙන් දඅකුශලතායෙන් ද කියනලද ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයන් ප්‍රථමදිශාදි වශයෙන් සිතින් අවලෝකනය කෙරෙයි. මේ නය දිසාලෝචන නම් වේ.
8. දිසාලෝචන නයින් ප්‍රථමාදි දිශාභාවයෙන් සිතින් අවලෝකනය කොට සූත්‍රයෙන් නගාගෙන කුශලාකුශලධර්‍මයන් ඒ ඒ නයයෝජනා වශයෙන් යම් සමානයනයෙක් වේ ද මේ නය අංකුස නම් වේ.
නයසමුට්ඨාන යි
මහාකච්චායන තෙරණුවන්ගේ පෙටකෝපදේසයෙහි
සූත්‍රවිභංගදර්‍ශනය සමාප්තයි.
කුශල වූ ද අකුශල වූ ද යම් චතුෂ්කකෙනෙක් වෙත් ද ඔහු සීහවික්කීළිත නයෙහි දක්වන ලද්දාහුය, කුශල වූ ද අකුශල වූ ද ත්‍රිකයෝ තිපුක්ඛල නයෙහි දක්වන ලද්දාහු යැ, කුශල වූ ද අකුශල වූ ද ද්විකයෝ නන්‍දියාවට්ටනයෙහි දක්වන ලද්දාහු යි. (යෙසු ද්විසු ධම්මේසු කුසලෙසු?) ඒ අර්‍ත්‍ථය ත්‍රිකයන්හි විභාග කරනුලබන්නහුගේ භවභූමි වෙයි (?) එතෙකුදු වත් සියලු අර්‍ත්‍ථ ව්‍යඤ්ජනත්‍රයෙන් දක්වනු ලැබෙයි. (යෙ අත්‍ථො ... අවිකෝසනා ?) මේ ප්‍රමාණ යි.
සියලු සමාධීහු සවිතර්‍කවිචාර යැ, අවිතර්‍කවිචාරමාත්‍ර යැ, අවිතර්‍කඅවිචාර යැ, යන තුන් සමාධියෙහි සෙවියැයුත්තාහු යැ. මේ ප්‍රමාණ යි. සතරවැනි සමාධියෙක් නැති.
එසේ මැ චින්තාමයී සුතමයී භාවනාමයී යන තුන් ප්‍රඥාවෝ සියලු ප්‍රඥාවන්හි දක්වනු ලැබෙත්. සතරවැනි ප්‍රඥාවක් නැත. (න චින්තාමයී ... ?) මේ ධර්‍මයන්ගේ යම් අවික්‍ෂේපණයක් වේ ද, එය නැති. (?) මේ ප්‍රමාණ යයි කියනු ලැබේ.
ජම්බුවනවාසී මහාකච්චායන තෙරණුවන්ගේ
පෙටකෝපදේසය සමාප්ත යි.
පෙටකෝපදේසය නිමි.