‘සෝතානුධතා ධම්මා’ යි කාමයන්ගේ නිස්සරණය දක්වනසේක, ‘මනසා අනුපෙක්ඛිතා’ යි රූපධාතුහුගේ නිස්සරණය දක්වති, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි ත්‍රෛධාතුකයන්ගේ නිස්සරණය දක්වනසේක. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි තුන් ඒසනා දෙසනලද්දාහු යැ. ශ්‍රැතයෙන් ධරනලද වචනයෙන් පුහුණුකළ ධර්‍මයන්ගෙන් කාමේසනාවට සමථමාර්‍ගය වෙයි, නුවණින් මැනැවින් අවබෝධ කළ ධර්‍මයන්ගෙන් බ්‍රහ්මචරියේසනාවට සමථමාර්‍ගය වේ.
2. විචය යනු: සූත්‍රය වූ පරිදි මෙනෙහි කරනුයේ විමසනුයේ සුතමයී ප්‍රඥාව ලබයි. ‘යථා ච සො මනසිකරොති’ යනු: ඇසූ දහම් ඇතියේ මෙනෙහි කෙරේ ද? එකල්හි චින්තාමයී ප්‍රඥාව ලබයි, යම්සේ ඉහාත්මයෙහි මැ මෙනෙහි කෙරේ ද එකල්හි භාවනාමයි ප්‍රඥාව ලබයි. මේ විචයහාර යි.
3. ශ්‍රැතයෙන් සුතමයි ප්‍රඥාව ලබයි, චිත්තායෙන් චින්තාමයී ප්‍රඥාව ලබයි, භාවනායෙන් භාවනාමයි ප්‍රඥාව ලබයි, තෙල යුත්ති ඇත.
4. පදට්ඨාන යනු: ‘සෝතානුධතා ධම්මා’ යනු ධර්‍මශ්‍රවණයට පදට්ඨාන යැ, ‘වචසා පරිචිතා’ යනු (යෝගයෙන්) යෙදීමට පදට්ඨාන යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු ධම්මානුධම්මවිපස්සනාවට පදට්ඨාන යැ, ‘දිට්ඨියා සුපපටීවිද්ධා’ යනු ... ප්‍රඥාවට ද පදට්ඨාන යි.
5. (ලක්ඛණහාරය ගිලිහී ගොස් ඇත.)
6. චතුබ්‍යුහ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් මේ දෙවැදෑරුම් ප්‍රඥායෙන් සමන්‍විත වූවාහු ද ඔහු ... ශාසනය නෛර්‍ය්‍යාණික යයි (නිෂ්ඨාවට?) යෙත්. මේ අධිප්‍රාය යි.
7. (ආවට්ට යනු:) අශ්‍රවණයෙන් ද අමනසිකාරයෙන් ද අප්‍රතිවේධයෙන් ද සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාරන ලදු. ශ්‍රවණයෙන් ද මනසිකාරයෙන් ද ප්‍රතිවේධයෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාරනලද්දී ය. මේ ආවට්ටහාර යි.
8. ‘විභත්ති’ යනු: (මේ සූත්‍රය) ඒකංසව්‍යාකරණීය වෙයි. එහි විභත්තිහාරයට භූමි නැති.
9. ‘පරිවත්තන’ යනු: යම් සතර අනුසස්කෙනෙක් වදාරනලද්දාහු ද, (පඤ්චාදිනා ... අපරො පරියායො?)
10. ‘වෙවචන’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යි යමක් වදාරනලද ද දිට්ඨිය ද විඤ්ඤාතය ද පඤ්ඤින්‍ද්‍රිය යැ, ප්‍රඥායෙන් මැනැවින් අවබෝධ කරනලද්ද ද (විභාවිතම්පි?)
11. ‘පඤ්ඤත්ති’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යන දේශනාව අවිජ්ජාපඤ්ඤත්තියෙන් පනවන ලද, මනසිකාරය පාමොජ්ජපඤ්ඤත්තියෙන් පනවනලද, ඉහාත්මඵලය ආනිසංසපඤ්ඤත්තියෙන් පනවනලදි.
12. ‘ඕතරණ’ යනු: තුන් ප්‍රඥායෙකි, වචනයෙන් පුහුණුකරන ලදුයෙහි සුතමයි ප්‍රඥාව යැ, සිතින් විමසන ලදුයෙහි චින්තාමයි ප්‍රඥාව යැ, නුවණින් ප්‍රතිවේධ කරනලදුයෙහි භාවනාමයි ප්‍රඥාව යි. මේ ආර්‍ය්‍ය සත්‍යයෝ ද ඉන්‍ද්‍රියයෝ ද වෙති, මාර්‍ගඥාන විද්‍යාව ඉපැදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. පටිච්චසමුප්පාද යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි තුන් ඉන්‍ද්‍රිය කෙනෙක් වෙති, ආයතනයන් කෙරෙහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතුපර්‍ය්‍යාපන්න යි.
13. ‘සෝධන’ යනු: සූත්‍රයාගේ ආරම්භය (පචෙසො?) යොදන ලදි.
14. ‘අධිට්ඨාන’ යනු: චත්තාරො ආනිසංසා’ යි අනුසස්හු වේමත්තතායෙන් පනවනලදහු යැ, ‘සෝතානුධතා’ යි වේමත්තතායෙන් ආර්‍ය්‍ය ව්‍යවහාරය පනවන ලද්දේ යැ, (ධම්මේ ච සවනන්ති?) එකත්තතායෙන් පනවනලදි.
15. ‘පරික්ඛාර’ යනු: ධර්‍මශ්‍රවණයට පයුරුපාසනය ප්‍රත්‍යය වෙයි, ශ්‍රද්ධාව හේතුයි. ‘මනසා අනුපෙක්ඛතා’ යනු: අර්‍ත්‍ථය දන්නාබව ප්‍රත්‍යය වෙයි, පාළිධර්‍මය දන්නාබව හේතු යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු සද්ධර්‍මශ්‍රවණය ද මනසිකාරය ද ප්‍රත්‍ය යැ, සුතමයි චින්තාමයි ප්‍රඥාව හේතු යි.
16. ‘සමාරෝපන’ යනු: සූත්‍රය විභාග කරනලද, (නිබ්බත්තිඵලෙ?) එහි සමාරෝපනයට භූමි නැති.
7. 17.
එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යැ:
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන (උදාන) ගාථාව යැ. ‘දදතො’ යි දානමය පුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘සංයමතො වේරං න චීයති’ යි සීලමයපුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘කුසලො ච ජහාති පාපකං’ යී ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය වදාළහ. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ඡන්‍දරාගවිනය වදාළහ යි.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි අලෝභකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි අදෝසකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි හැම කල්හි අව්‍යාපාදභාවයෙන් (පුද්ගල අකුශල) වෛර නැත්තාහු සතුරන් නැත්තාහු වෙති. ‘කුසලො ච ජහාති පාපකං’ යි ඥානෝත්පාදයෙන් අඥානනිරෝධය වෙයි.
‘ස නිබ්බුතො’ යි මාර්‍ගඵලය ද අනුපාදිසේසනිබ්බානධාතුව ද ප්‍රකාශ කෙරෙයි. දානයෙන් ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාරයි, ශීලයෙන් මධ්‍යම ක්ලේශයන්ගේ ද ප්‍රඥායෙන් සියුම් ක්ලේශයන්ගේ ද ප්‍රහාණය වදාරති. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි (කතා ච භූමි?) තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්‍වභූමිය වදාරනසේක.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති, කුසලො ච ජහාති පාපකං’ යි මාර්‍ගය වදාරන ලද්දේ ය, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි මාර්‍ගඵල වදාළහ.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො’ යන තුන් පදයෙන් ලෞකික කුශලමූලය වදාරනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’යි ලෝකෝත්තර කුශලමූලය වදාරනලදී.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි පෘථග්ජනභූමිය පවසති, ‘කුසලො ච ජහාති පාපකං’ යි ශෛක්‍ෂභූමිය පවසති, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අශෛක්‍ෂභූමිය වදාරනලද්දීය.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි (මග්ගනියා?) මාර්‍ගයට හේතු වූ ප්‍රතිපත් වදාරන ලද්දීය. ‘කුසලො ච ජහාති පාපකං’ යි සේඛවිමුත්ති ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අසෙඛවිමුත්ති ද වදාරනලදී.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද යන ලෞකික ධර්‍මදේශනාව වදාළහ. ‘කුසලො ච ජහාති පාපකං’ යි ලෝකයෙහි ආදීනවදර්‍ශනය ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි සාමුක්කංසික ධර්‍මදේශනාප්‍රතිවේධය ද වදාළහ.
‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි ප්‍රාණීන්ට අභයදානයෙන් ප්‍රාණවධයෙන් වෙන්වීමෙන් සත්‍වයන්ට අභයදානය කෙරෙයි, මෙසේ සියලු ශික්‍ෂාපද දැක්වියැයුතු. ‘සංයමතො වේරං න චීයති’ යි සීලයෙහි පිහිටා සිත සංයම කෙරෙයි, සංවර වූ ඔහුට (ශික්‍ෂාපද) පිරීමට යෙයි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි රාගවිරාග චේතෝවිමුත්තිය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්තීහු වදාරනලද්දාහු වෙති. මේ සූත්‍රනිර්දේශ යි.
1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසනලද ද යත්: දිව්‍ය මනුෂ්‍ය යන දෙවැදෑරුම් සුගතීහු ද දිව්‍යපඤ්චකාමගුණයෝ ද මනුෂ්‍යපඤ්චකාමගුණයෝ ද දේශිත දෙපදයෙන් නිර්‍දෙශය වේ (?) ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංසමතෝ වේරං න චීයති, කුසලො ච ජහාති ස නිබ්බුතො’ යි සෝපාදිසේස අනුපාදිසේස යන නිර්‍වාණධාතු දෙක දෙසනලදහ. මේ දේසනා යි.
2. ‘විචය’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන මේ පළමුවන පදයෙන් දානමය පුණ්‍යක්‍රියාවස්තුව වදාරනලද, එයින් ඔහුට ආනන්තරිය කුශලධර්‍මයන්ගේ (උත්පාදය වදාරන ලද,) දෙවැනි පදයෙන් ... සතරවැනි පදයෙන් රාගදෝසමෝහක්‍ෂයෙන් රාග විරාග චේතෝවිමුත්තිය ද මෝහක්‍ෂයෙන් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද වදාරනලද වෙයි. මේ විචයහාර යි.
3. ‘යුත්ති’ යනු: දානයෙහි සිටියේ දෙකරුණ මැ සපුරාල යි: මසුරුබව ද දුරලයි. පින ද වඩයි. තෙල යුත්ති ඇති.
4. ‘පදට්ඨාන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු: ත්‍යාගාධිෂ්ඨානයට පදට්ඨාන යැ. ‘සංයමතො වේරං න චීයති’ යනු ප්‍රඥාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘කුසලො ච ජහාති පාපකං’ යනු සත්‍යාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු උපශමාධිෂ්ඨානයට පදට්ඨාන යැ, මේ පදට්ඨාන යි.
5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංයමතො වේරං න චීයති’ දෙන්නහුට ද වෛර නො කරනුලැබෙයි, ‘කුසලො ච ජහාති පාපකං, රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යම් රූපයකින් දක්නාලද ද ඒ රූපක්‍ෂයෙන් ද වේදනාක්‍ෂයෙන් ද එයින් සත්ත්‍ව පනවනුයේ නම් ඒ රූපයාගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙනැයි මෙසේ පඤ්චස්කන්‍ධයෝ දැක්විය යුත්තාහ. (?)
6. ‘චතුබ්‍යුහ’ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ අධිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් මහාභෝගයන් ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ද ඔහු දන් දෙන්නාහු යැ, උපද්‍රව ප්‍රහාණය පිණිස යි. යම් කෙනෙක් අවෛර කැමැති වන්නාහු ද ඔහු පඤ්ච අකුශල වෛරයන් දුරලන්නාහු යැ, යම් කෙනෙක් කුශලච්ඡන්‍ද ඇත්තාහු ද ඔහු අෂ්ටමිච්ඡත්තයන් ප්‍රහාණය පිණිස අෂ්ටාංගික මාර්‍ගය වඩන්නාහු යැ, යම් කෙනෙක් පිරිනිවෙනු කැමැත්තාහු ද ඔහු රාග දෝස මෝහ දුරලන්නාහු යැ යන මේ භාග්‍යවතුන් වහන්සේ අදහසයි.
7. ‘ආවට්ට’ යනු: නො දෙන්නහුට යම් මාත්සර්‍ය්‍යයක් ඇද්ද, සංයම නැත්තහුට යම් වෛරයක් ඇද්ද, අකුශල වූ පාපයාගේ යම් අප්‍රහාණයක් ඇද්ද, මේ දුඃඛනිර්දේශ යැ, සමුදය නොවේ. අලෝභ අදෝස අමෝහකුසලයෙන් මේ තුන් කුශලමූලයෝ වෙති. අට්ඨසම්මත්තයෝ ඒ කුශලමූලයන්ට ප්‍රත්‍ය යැ. අට්ඨ සම්මත්තයෝ මාර්‍ග යැ, ඒ රාගදෝසමෝහයන්ගේ ක්‍ෂය වීම නිරෝධ යි.
8. ‘විභත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඒකාන්තයෙන් නො වෙයි, යමෙක් රාජදණ්ඩභයින් දේද, යමෙකුත් අකප්පියපරිභෝගයෙන් සිල්වතුන් කෙරෙහි දේද ඔහුට පින් නො වැඩේ යයි. හෙ ද තෙල දානය අකුශල සිතින් දෙයි. දණ්ඩදානය ශස්ත්‍රදානය අකුශලය වඩයි. පින් නො වැඩෙයි, ‘සංයමතො වේරං න චීයති’ යනු ඒකාන්තයෙන් නොවෙයි, කරුණු කිම යත්: යමෙක් ඉහාත්මයෙහි යම් වධයක් දකී ද, ඉදින් රජවරුන් (සොරෙකැයි) ගෙන මාගේ අත හෝ සිඳුවන්නාහු යැ ... ඒ සංයමය හේතු කොට අකුශලවෛරය නො කරන්නේ නොවෙයි. යමෙක් වනාහි මෙසේ සමාදානය කෙරේ ද, ඉහාත්මයෙහි ද පරලොව දී ද, ප්‍රාණඝාතයාගේ ලාමක වූ විපාකය වන්නේයැ යි මෙසේ සියලු අකුශලයාගේ හේතුයෙන් වෙන්වෙයි. මේ සංයමය හේතුකොට වෛරය රැස් නොකෙරේය යි.
9. ‘පරිවත්තන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු නො දෙන්නහුට යම් දානමය පිනක් ඇද්ද ඒ පින නො වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු සංයම නැතියහුට වෛරය කෙරෙයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු: ප්‍රඥා රහිත වූයේ (පව්කම්) නො හරී. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු: නිවියේ වෙයි. (අසේඛස්ස නත්‍ථි නිබ්බුති?)
අප විසින් බුදුහු සමීපයට ගොස් නො පවරනලද්දාහු වෙති. දූතයකු යවාත් නො කැඳවන ලද්දාහු වෙති, යළි තමන් වහන්සේ මැ මහාභික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද්දාහු අප වාසය කරන තැනට වැඩියාහු වෙත්. අප විසිනුදු සන්‍ථාගාරශාලාව කරවන ලදු. අපි මෙහි දසබලයන් වහන්සේ වැඩමවා මංගල දෙසවම්හ’ යි සිතා බුදුරදුන් වෙත එළැඹියාහු යැ. ‘යෙන සන්‍ථාගාරං තෙනුපසංකමිංසු’ යනු එදවස වැලිත් සන්‍ථාගාරයෙහි සිත්තම් නිමවා අටලු මුදාහළමතු වෙත්. බුදුවරයෝ නම් අරණෙහි වසන සිත් ඇත්තාහු අරණෙහි ඇලුණාහු වෙති, ඇතුළුගමැ වසන්නාහු හෝ නො වසන්නාහු හෝ යයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනැගෙන මැ පිළිදැගුම් කරම්හ යි සිතා ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණාහ. දැන් වූ කලී සිත් ලබාගෙනැ පිළිදැගුම් කරනු කැමැත්තාහු සන්‍ථාගාරය වෙත එළැඹියාහු යැ.
‘සබ්බසන්‍ථරිං’ යනු: යම්සේ අතුරන ලද වේද එසෙයින් අතුරා ‘යෙන භගවා තෙනුපසඞ්කමිංසු’ යනු: මෙහි වනාහි ඒ මල්ලරජදරුවෝ සන්‍ථාගාරය පිළිජැගැ නුවර විථී න් ද හමදවා දද නඟවා ගෙදොරෙහි පුන්කලස ද කෙහෙල් ද තබවා සියලු නුවර පහන් පෙළින් විසුරුණු තරු ඇතිකලක් මෙන් කරවා ‘කිරි බොන ළදරුවන් කිරි පොවවු, දහර කුමරුන් වහවහා වළඳවා නිදිගන්වවු. උස්හඬ නහමක් කරවු. ශාස්තෲන් වහන්සේ අද එක් රැයක් ඇතුළුගමැ වසන්නාහ. බුදුවරු නම් නිහඬ රිසි වන්නාහ’ යි බෙර හසුරුවා තුමූ දඬුවැටපහන් ගෙන බුදුන් කරා එළැඹියහ.
‘භගවන්තං යෙව පුරක්ඛත්‍වා’ යනු: බුදුන් පෙරටු කොට, එහි භාග්‍යවත්හු භික්‍ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මධ්‍යයෙහි වැඩහුන්නාහු හාත්පසින් ප්‍රසාද එළවන්නාහු රන්වන්ව අභිරූපව දර්‍ශනීය වූවාහු අතිශයින් බබළන සේක. පූර්‍වශරීරයෙන් රන්වන් රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. පශ්චිමශරීරයෙන් දක්‍ෂිණහස්තයෙන් වාමහස්තයෙන් රන්වන් රස් නැඟී අසූරියන් තැන් ගනී. මතු කේශාන්තයෙහි පටන් සියලු කේශාවර්‍තයන්ගෙන් මොණරගෙල පැහැති රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. යට පාදතලයෙන් පබළුවන් රස් නැඟී බොල්පොළොව අසූරියන් තැන් ගනී, මෙසේ හාත්පසින් අසූරියන් පමණ තැන් සවනක් බුදුරස්හු දිලෙමින් ලෙලෙමින් දිවෙත්. සියලු දික්හු රන්සපුමල් විසුරුවන කලක් මෙන් රන්කලසින් නික්මුණු රන්රසධාරා ඉසින කලක් මෙන් විදහාලූ රන්පිළියෙන් පිරිකෙව්කළ කලක් මෙන් වේරම්බවාතයෙන් නගන ලද කෑල කිණිහිරි මල්රොන් ගැවැසුණු කලක් මෙන් දිලියෙත්.
භාග්‍යවතුන් වහන්සේගේ ද අසූ අනූව්‍යඤ්ජනයෙන් ව්‍යාමප්‍රභායෙන් දෙතිස් වරපුරුෂලක්‍ෂණයෙන් සමුජ්වලිත වූ ශරීරය සමුද්ගත තාරකා ඇති ආකාශතලය සෙයින් විකසිත වූ පියුම්වනයක් සෙයින් මුල සිට අග දක්වා පිපුණු සියක්යොදුන් පරසතුරුක සෙයින් පිළිවෙළින් තබන ලද දෙතිස් චන්‍ද්‍රකෙනකුන්ගේ දෙතිස් සූර්‍ය්‍යකෙනකුන්ගේ දෙතිස් සක්විතිකෙනකුන්ගේ දෙතිස් දිව්‍යරාජකෙනකුන්ගේ දෙතිස් මහාබ්‍රහ්මකෙනකුන්ගේ සෝභාව තමන් වහන්සේගේ සොභායෙන් අභිභවනය කරන කලක් මෙන් බබළා. පිරිවරා වැඩහුන් වහන්දැ ද සියල්ලෝ මැ අල්පේච්ඡ වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු (කුලයා කෙරෙහි ගණයා කෙරෙහි) අසංසෘෂ්ට වූවාහු ආරබ්ධවීර්‍ය්‍ය වූවාහු වක්තෘ වූවාහු වචනක්‍ෂම වූවාහු චෝදක වූවාහු පාපගර්හී වූවාහු ශීලසම්පන්න සමාධිසම්පන්න වූවාහු වෙති ... සංගිති සූත්‍රවර්‍ණනා යි.
__[missing trans]__
10. ‘වෙවචන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ අනුමෝදන් වන්නහුට ද පින් වැඩෙයි, සිත පිහිටුවන්නහුට ද වතාවත් කිරීමෙනුදු පින් වැඩේ යයි.
11. ‘පඤ්ඤත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු අලෝභයට විරුද්ධ නිශ්‍රයඝාත ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘සංයමතො වේරං න චීයති’ යනු අදෝසයට විරුද්ධ හේතුඝාතප්‍රඥප්තියෙන් පනවනලද, ‘කුසලො ච ජහාති පාපකං’ යනු අමෝහයට විරුද්ධ හේතුන්ගේ විඝාතප්‍රඥප්තියෙන් පනවන ලදි.
12. ‘ඕතරණ’ යනු: පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙහි දෙන්නහුට පින් වැඩෙයි, සංයමයෙන් වෛරය නො කෙරෙයි, සංයමයෙන් ශීලස්කන්‍ධය අවතීර්‍ණ යැ, (චක්‍ෂුරාදි) ෂඩ්ඉන්‍ද්‍රියන්හි සංවරය වෙයි, මේ සමාධිස්කන්‍ධ යැ, දක්‍ෂ වූයේ පව් දුරලයි යන යමක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු විමුක්තිස්කන්‍ධ යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි.
13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දෙන ලද ද, ඒ ආරම්භය ශුද්ධ යි.
14. ‘අධිට්ඨාන’ යනු: ‘දාන’ යනු ඒකත්තතායෙන් පනවන ලද, චාග පරිච්චාග ධම්මදාන ආමිසදාන යැ, අටවැදෑරුම් දානයෝ විස්තර කළයුත්තාහු යැ, මේ වේමත්තතා යි. ‘දදතො’ යනු ඒකත්‍වප්‍රඥප්තියෙන් නො ද පනවනලද, ඛන්තිය අනවද්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රෝධ (?) විරියපඤ්ඤත්තියෙන් පනවන ලදහු යි.
15. ‘පරික්ඛාර’ යනු: දානයට ප්‍රාමෝද්‍යය ප්‍රත්‍ය යැ, අලෝභය හේතු යි. සංයමයට යෝනිසෝමනස්කාර හේතු යැ, පරිත්‍යාගය ප්‍රත්‍යයයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍ය යැ, ඥානප්‍රතිලාභය හේතු යි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ද ප්‍රත්‍යය ද වේ.
16. ‘සමාරෝපන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඔහුට සීලය ද වැඩෙයි, සංයමය ද වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු අන්‍ය ක්ලේශයෝ ද නූපදිති, ඒ හේතුයෙන් ඔහුට උපද්‍රව උපදවන යම් ආස්‍රව කෙනෙකුත් උපදනාහු නම් ඒ ආස්‍රවයෝ ද ඔහුට නූපදිත්. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රාගදෝසයන්ගේ ක්‍ෂය වීමෙන් ද රාගානුසයාගේ ක්‍ෂය වීමෙන් ද දෝසයාගේ හා මෝහයාගේ ක්‍ෂය වීමෙන් ද, ‘ස නිබ්බුතො’ යනු සෝපාදිසේසනිබ්බානධාතුව ද අනුපාදිසේසනිබ්බානධාතුව ද වේ. මේ සමාරෝපන යි.
මහාකච්චායන ස්ථවිරයන් වහන්සේගේ පෙටකෝපදේසයෙහි
හාරසම්පාත භූමිය සමාප්තයි.
8. අෂ්ටම භූමි - සූත්‍රවිභඞ්ගය
අවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වාන්තය නො පැනෙයි. එහි අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාසංයෝජන ඇති සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පැනෙයි, එහි යම් සත්‍වකෙනෙක් තෘෂ්ණසංයෝජන ඇත්තාහු ද ඔහු ගැලීසිටීම බහුල කොට ඇත්තාහු මද වූ විදර්‍ශනා ඇත්තාහු යැ. යළි උත්සන්න වූ දෘෂ්ටි ඇති යම් සත්‍වකෙනෙක් ඇද්ද ඔහු විදර්‍ශනා බහුල කොට ඇත්තාහු අල්ප වූ ගැලීසිටීම ඇත්තාහු වෙත්.
1. එහි තෘෂ්ණචරිත ඇති සත්‍වසංඥායෙහි බැසගත්තාහු උත්පාදව්‍යය නො දක්නාහු වෙති, ඔහු පඤ්චස්කන්‍ධයෙහි ආත්මය ඇතැයි දකිති, ආත්මය රූපවත් යයි හෝ, ආත්ම යෙහි රූපය ඇතැයි හෝ, රූපයෙහි ආත්මය ඇතැයි හෝ යි. මෙසේ පඤ්චස්කන්‍ධයෝ (කියැයුත්තාහ.) අන්‍යස්කන්‍ධයන්ගෙන් ආත්මය දකිත්. එහි උත්සන්න වූ දෘෂ්ටි ඇති සත්‍වයෝ විමසන්නාහු ස්කන්‍ධයන් ඍජුව ආත්මවශයෙන් දකිත්. ඔහු රූපය ආත්ම විසින් දකිත්. ‘යම් රූපයක් ඇද්ද හේ ආත්ම යැ, යමෙක් මම වෙම් ද ඒ රූප යැ, හෙතෙම රූපයාගේ විනාශය දකී. මේ උච්ජේදවාදී යැ. මෙසේ පඤ්චස්කන්‍ධයන්ගේ ප්‍රථමාභි නිපාතයෙන් සත්කායදෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡේදය භජනය කෙරෙත්.
එය ජීව යැ එය ශරීරයැ’ යි එක් එක් ස්කන්‍ධයෙහි පශ්චිම වූ තුන් පදයෙන් ශාස්වතය භජනය කෙරෙයි. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි. මේ ශාසනයෙන් බැහැර වූ ඒ පැවිද්දෝ තෂ්ණාචරිත ඇත්තාහු ඒ හේතුයෙන් ම කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදී වෙසෙත්. දෘෂ්ටිචරිත ඇත්තාහු ඒ දෘෂ්ටිසුඛයෙන් ම අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්. මෙතෙකින් බාහිර වූ ප්‍රයෝගය වේ.
එහි යම් දෘෂ්ටීචරිත ඇති සත්‍වකෙනෙක් ආර්‍ය්‍යධර්‍මවිනයට බැසගනිත් ද ඔහු ධම්මානුසාරී වෙති, යම් තෘෂ්ණචරිත ඇති සත්‍වකෙනෙක් ආර්‍ය්‍යශාසනයට බැසගනිත් ද ඔහු සද්ධානුසාරී වෙත්.
එහි යම් දිට්ඨිචරිත සත්‍වකෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි දෝස දක්නාහුයැ, යම් කෙනෙක් කාමයන්හි අනුශය නො ද නසනලද්දාහු ද ඔහු අත්තකිලමථානුයෝගයෙහි යෙදී වෙසෙති. ඔවුන්ට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය ශ්‍රාවකයෙක් හෝ ‘කාමයන්ගෙන් අර්‍ත්‍ථයෙක් නැතැ’ යි දහම් දෙසති, ඔහුදු පෙර මැ කාමයන් නොරිසි වූවාහු යැ, එහෙයින් නිදුකින් කාමයන් දුරු කෙරෙති, ඔහු චෛතසික දුකින් නො මඩනාලද්දාහු යැ. එහෙයින් ‘සුඛා පටිපදා’ යී කියනුලැබේ. වැලි යම් තණ්හාචරිත සත්‍ව කෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි බැසගත්තාහු යැ. ඔවුනට ශාස්තෲන් වහන්සේ හෝ අන් පැවිදිකෙනෙක් හෝ ‘කාමයන් ගෙන් අර්‍ත්‍ථ නැතැ’ යි දහම් දෙසති. ඔහු ප්‍රියස්වභාව වස්තුව දුකසේ දුරලති, එයින් ‘දුක්ඛා පටිපදා’ යි කියනු ලැබේ. මෙසේ මේ සියලු සත්‍වයෝ දුඃඛ වූ සුඛ වූ දෙවැදෑරුම් ප්‍රතිපදාවන්හි සමෝසරණයට යෙත්.
එහි යම් දිට්ඨිචරිත සත්‍වකෙනෙක් වෙද්ද ඔහු මුදින්‍ද්‍රිය ද තික්ඛින්‍ද්‍රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ දිට්ඨිචරිත සත්‍වකෙනෙක් සුවසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘ඛිප්පාභිඤ්ඤා සුඛා පටිපදා’ යි කියනු ලැබේ. එහි යම් මුදින්‍ද්‍රිය වූ දිට්ඨිචරිත සත්‍වකෙනෙක් වෙත් ද පළමු තික්බින්‍ද්‍රියයා ගෙන ඉතා ලැසිවැ අභිසමය කෙරෙත් ද, ඔහු සුවසේ කාමයන් දුරැලති, ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘සුඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි තණ්හාචරිත සත්‍වයෝ තික්ඛින්‍ද්‍රිය ද මුදින්‍ද්‍රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ තණ්හාචරිත සත්‍වකෙනෙක් දුකසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි යම් මුදින්‍ද්‍රිය වූ තණ්හාචරිත සත්‍වකෙනෙක් වෙත් ද පළමු තික්ඛින්‍ද්‍රියයා ගෙන ඉතා ලැසිවැ අවබෝධ කෙරෙත් ද ඔහු දුකසේ කාමයන් දුරැලති ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා’ යී කියනු ලැබේ. මේ සතර ප්‍රතිපදා වෙති, පසක් නොවෙති, සයක් නොවෙත්. යම්කෙනෙක් නිවියාහු හෝ නිවෙන්නාහු හෝ වෙත් ද මේ සතර ප්‍රතිපදායෙනි, අනෙකකින් නොවෙත්. යම් ප්‍රතිපදාවක් චතුෂ්කමාර්‍ගයෙන් ආර්‍ය්‍යධර්‍මයන්හි දැක්වියයුත්තී ද, මෙය ප්‍රතිපදාචතුෂ්කයෙන් ක්ලේශයන් දක්වයි.
මේ සීහවික්කීළිතනය නමැයි කියනු ලැබේ.
2. එහි මේ සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෙන් යැ උපාදානයෝ යැ යෝගයෝ ගන්‍ථයෝ යැ. ආසවයෝ යැ ඕඝයෝ යැ සල්ලයෝ යැ විඤ්ඤාණට්තීහු යැ (සතර) අගතිගමනයෝ යි මෙසේ මේ සියලු දසපදයෝ වෙත්. මේ සූත්‍රයාගේ සංසන්‍දනා යි.
සතර ආහාරයෝ වෙති : එහි යම් කබළිංකාරාහාරයෙකුත් යම් ඵස්සාහාරයෙකුත් වෙත් ද මොහු තණ්හාචරිතයා විසින් ප්‍රහාතව්‍ය යැ, එහි යම් මනෝසඤ්චේතනාහාර යෙකුත් යම් විඤ්ඤාණාහාරයෙකුත් වෙත් ද මොහු දිට්ඨිචරිතයා විසින් ප්‍රහාතව්‍ය යි.
ප්‍රථම ආහාරය ප්‍රථම විපල්ලාස යැ, දෙවැනි ආහාරය දෙවැනි විපල්ලාස යැ, තෙවැනි ආහාරය තෙවැනි විපල්ලාසය යැ, සතරවැනි ආහාරය සතරවැනි විපල්ලාස යි. මේ සතර විපල්ලාසයෝ යැ. පස්වැන්නක් නැත, සවැන්නක් නැති. මෙ ද සතර ආහාරයෝ ප්‍රමාණ කොට ඇත්තාහ.
එහි ප්‍රථම විපල්ලාසයෙහි සිටියේ කාමයන් දැඩිව ගනී. මේ කාමූපාදාන යැ, දෙවැනි විපල්ලාසයෙහි සිටියේ අනාගත භවය දැඩිවැ ගනී, මේ සීලබ්බතූපාදාන යැ, තෙවැනි විපල්ලාසයෙහි සිටියේ විපරීත දෘෂ්ටිය දැඩිවගනී, මේ දිට්ඨූපාදාන යැ. සතර වැනි විපල්ලාසයෙහි සිටියේ ස්කන්‍ධයන් ආත්මවශයෙන් දැඩිවැ ගනී, මේ අත්තවාදූපාදාන යි.
එහි කාමූපාදානයෙහි සිටියේ වස්තුකාම ක්ලේශකාමයන් අභිධ්‍යා කෙරෙයි, (නාමකය හා) ග්‍රන්‍ථනය කෙරෙයි. මේ අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, සීලබ්බතූපාදානයෙහි සිටියේ ව්‍යාපාදය ග්‍රන්‍ථනය කෙරෙයි, මේ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, දිට්ඨුපාදානයෙහි සිටියේ දෘෂ්ටි පරාමර්‍ශය ග්‍රන්‍ථනය කෙරෙයි, මේ පරාමාසකායග්‍රන්‍ථ යැ, ආත්මවාදූපාදානයෙහි සිටියේ අනුප්‍රබන්‍ධ වශයෙන් සසර සිටුනේ (නාමකය) ග්‍රන්‍ථනය කෙරෙයි. මේ ඉදංසත්‍යාභිනිවේසකායග්‍රන්‍ථ යි.
ඔහුට ග්‍රන්‍ථිත වූ ක්ලේශයෝ ආස්‍රවභාවයෙන් පවතිත්. (කිඤ්වී පන ?) විප්‍රතිසාර යයි කියනු ලැබේ. යම් විප්‍රතිසාරකෙනෙක් වෙත් ද ඔහු අනුසය වෙති. එහි අභිධ්‍යාකාය ග්‍රන්‍ථයෙන් කාමාස්‍රවය වෙයි. ව්‍යාපාදකායග්‍රන්‍ථයෙන් භවාස්‍රවය වෙයි. පරාමාසකායග්‍රන්‍ථයෙන් දෘෂ්ටි - ආස්‍රවය වෙයි. ඉදංසත්‍යාභිනිවේසකායග්‍රන්‍ථයෙන් අවිද්‍යාස්‍රවය වේ.
ඒ සතර ආස්‍රවයෝ විපුලබවට ගියාහු ඕඝයෝ වෙති : එයින් ‘ඕඝයෝ’ යයි කියනු ලැබෙත්. එහි කාමාසවය කාමෝඝ යැ, භවාසවය භවෝඝ යැ. අවිජ්ජාසවය අවිද්‍යෝඝ යැ, දිට්ඨාසවය දෘෂ්ටි - ඕඝ යි.
ඒ සතර ඕඝයෝ ආසයට පැමිණියාහු අණුසහගත වූවාහු ළෙහි ගැටී සිටුනාහු ශල්‍යයෝ යයි කියනු ලැබෙත්. එහි කාමෝඝය රාගශල්‍ය යැ, භවෝඝය දෝසශල්‍ය යැ, අවිද්‍යෝඝය මෝහශල්‍ය යැ, දෘෂ්ටි - ඕඝය දෘෂ්ටිශල්‍ය යි.
මේ සතර ශල්‍යයන්ගෙන් මැඩගන්නාලද විඥානය රූප වේදනා සඤ්ඤා සංඛාර යන සතර ධර්‍මයන්හි සිටිත්. මොහු සතර විඤ්ඤාණට්ඨීතීහු යි. එහි රාගශල්‍යයෙන් නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත්කළ රූපයට පමුණුවන විඥානය සිටී. දෝසශල්‍යයෙන් වේදනූපග වූ ද, මෝහශල්‍යයෙන් සඤ්ඤුපග වූ ද, දෘෂ්ටීශල්‍යයෙන් තෘෂ්ණායෙන් තෙත් කළ සංඛාරූපග වූ විඥානය සිටී.
සතර විඥානස්ථිතීන් හේතු කොට ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙන් චතුර්විධ අගතියට යෙති, රාගය හේතු කොට ඡන්‍දයෙන් අගතියට යෙයි, දෝසය හේතු කොට ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහය හේතු කොට මෝහයෙන් අගතියට යෙයි, දෘෂ්ටිය හේතු කොට භයින් අගතියට යෙයි. මෙසේ මේ කර්‍මය ද මේ ක්ලේශයෝ ද වෙත්. මේ සංසාරයට හේතු යි.
එහි මේ සතර දිසාවෝ යැ : කබළිංකාරාහාර යැ අශුභයෙහි ශුභ යැ යන විපල්ලාස යැ කාමූපාදාන යැ කාමයෝග යැ අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාග සල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දයෙන් අගතිගමනයැ. මේ පළමුවන දිසාව යැ.
ඵස්සාහාර යැ දුකෙහි සුව යැ යන විපල්ලාස යැ සීලබ්බතූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවඕඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨති යැ දෝසයෙන් අගතිගමන යැ. මේ දෙවැනි දිසාව යැ.
මනෝසඤ්චේතනාහාර යැ අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාස යැ දිට්ඨිඋපාදාන යැ දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨි-ඕඝ යැ දිට්ඨිසල්ල යැ සඤ්ඤුපග විඤ්ඤාණට්ඨිති යැ භයින් අගතියට යෑම යැ. මේ තෙවැනි දිසාව යැ.
විඤ්ඤාණාහාර යැ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසයැ අත්තවාදූපාදානයැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේස කායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජා - ඕඝ යැ මෝහ සල්ල යැ සංඛාරූපග විඤ්ඤාණට්ඨිති යැ මෝහයෙන් අගතිගමන යැ. මේ සතරවැනි දිසාව යි. මෙසේ මේ දස සූත්‍රයන්ගේ පළමුවන පදයෙන් ප්‍රථම දිශාව බැලීම වේ. මේ දිසාලෝකනා යි කියනුලැබේ.
සතර විපල්ලාසයන්ගෙන් අකුශල පක්‍ෂයෙහි ක්ලේශ සංයෝග කොට දිසා විලෝකනය වේ. මේ අකුශල පක්‍ෂයෙහි දිසාවිලෝකනයාගේ භූම් වේ.
පඤ්ච සූත්‍රයන්ගේ ද දස සූත්‍රයන්ගේ ද යම් පළමුවන පදකෙනෙක් වෙත් ද, මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ කවරෙ යැ : අර්‍ත්‍ථය එකෙකි, ඛ්‍යඤ්ජනය මැ නානා වෙයි. දෙවන දිසාව ද තෙවන දිසාව ද දසතරවන දිසාව ද මෙසේ යි. මේ පළමුවන සංසන්‍දනා යි. මේ පෙය්‍යාලයෙන් සියලු ක්ලේශයෝ සතර පදයන්හි බහාලියැයුත්තාහු යි.
ඉක්බිති කුශලපක්‍ෂයෙහි සතර පටිපදා යැ සතර ධ්‍යානයෙන් යැ සතර සතිපට්ඨානයෝ යැ. දිව්‍ය බ්‍රහ්ම ආර්‍ය්‍ය ආනෙඤ්ජ යන සතර විහරණයෝ යැ සතර සමාධ්‍යක්ප්‍රධානයෝ යැ සතර අච්ඡරිය අබ්භූත ධර්‍මයෝ යැ සතර අධිෂ්ඨානයෝ යැ ඡන්‍දසමාධි විරියසමාධි චිත්තසමාධි වීමංසාසමාධි යන සතර සමාධීහු යැ බෝධ්‍යඞ්ගයන්ගෙන් බැහැර තපසින් බැහැර ඉන්‍ද්‍රියසංවරයෙන් බැහැර සර්‍වනිස්සජනයෙන් බැහැර නො ලැබෙන සතර සුඛභාගිය ධර්‍මයෝ යැ. සතර අප්‍රාමාණ්‍යයෝ යි.
එහි දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඤ්ඤාව වඩනුලබන්නී බහුල කරනුලබන්නී ප්‍රථමධ්‍යානය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථමධ්‍යානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම සතිපට්ඨානය පුරයි, පළමුවන සතිපට්ඨානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම විහරණය පුරයි. ප්‍රථම විහරණය පරිපූර්‍ණ වූයේ ප්‍රථම සම්‍යක්ප්‍රධානය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථම සම්‍යක්ප්‍රධානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය පරිපූර්‍ණ වූයේ ප්‍රථම අධිෂ්ඨානය පුරයි,
ප්‍රථම අධිෂ්ඨානය පරිපූර්‍ණ වූයේ ඡන්‍දසමාධිය පුරයි. ඡන්‍දසමාධිය පිරුණේ ඉන්‍ද්‍රියසංවරය පුරයි, ඉන්‍ද්‍රියසංවරය පිරුණේ ප්‍රථම මෛත්‍රී අප්‍රාමාණ්‍යය පරිපූර්‍ණ කෙරෙයි. මෙසේ සබ්බනිස්සග්ගය දක්වා සතරවැනි අප්‍රාමාණ්‍යය පරිපූර්‍ණ කෙරේ.
එහි ප්‍රථම ප්‍රතිපදා යැ ප්‍රථමධ්‍යාන යැ පළමුවන සතිපට්ඨාන යැ ප්‍රථම විහාර යැ ප්‍රථම අප්‍රාමාණ්‍ය යැ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ සත්‍යාධිෂ්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රිය සංවර යැ මෛත්‍රිඅප්‍රාමාණ්‍ය යැ යන මේ පළමුවන දිසාව යැ.
ද්විතීය ප්‍රතිපදා යැ ද්විතීයධ්‍යාන යැ දෙවැනි සතිපට්ඨාන යැ ද්විතීය විහාර යැ දෙවැනි සම්‍යක්ප්‍රධාන යැ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ ත්‍යාගාධිෂ්ඨාන යැ චිත්තසමාධි යැ (ඉද්ධිපාදසංඛ්‍යාත) තපස යැ කරුණා අප්‍රාමාණ්‍ය යැ යන මේ දෙවැනි දිසාව යැ.
තෘතීය ප්‍රතිපදාව යැ තෘතීයධ්‍යාන යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි විහාර යැ තෙවැනි සම්‍යක්ප්‍රධාන යැ තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ ප්‍රඥාධිෂ්ඨාන යැ විර්‍ය්‍යසමාධි යැ බෝධ්‍යඞ්ගයෝ යැ මුදිතා අප්‍රාමාණ්‍ය යැ යන මේ තෙවැනි දිසාව යැ.
චතුර්‍ත්‍ථ ප්‍රතිපදාව යැ චතුර්‍ත්‍ථධ්‍යාන යැ සතරවැනි සතිපට්ඨාන යැ සතරවැනි විහරණ යැ සතරවැනි සම්‍යක්ප්‍රධාන යැ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ උපසමාධිෂ්ඨාන යැ වීමංසාසමාධි යැ සබ්බනිස්සග්ග යැ උපේක්‍ෂා - අප්‍රාමාණ්‍ය යැ යන මේ සතරවැනි දිසාව යි, මේ සතර දිසාවන්ගේ අවලෝකනය යි. මේ දිසාලෝචනනය නමැයි කියනු ලැබේ.
එහි මේ යෝජනා යැ : සතර ආහාරයෝ යැ. සතර පටිපදා යැ, සතර විපල්ලාසයෝ යැ. සතර සතිපට්ඨානයෝ යැ. සතර උපාදානයෝ යැ. සතර ධ්‍යානයෝ යැ, සතර යෝගයෝ යැ සතර විහරණයෝ යැ, ග්‍රන්‍ථයෝ යැ. සම්‍යක් ප්‍රධානයෝ යැ, ආස්‍රවයෝ යැ. ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ යැ, ඕඝයෝ යැ. අධිෂ්ඨානයෝ යැ. ශල්‍යයෝ යැ, සමාධීහු යැ, විඤ්ඤාණට්ඨිතීහු යැ, සතර සුඛභාගිය ධර්‍මයෝ යැ, සතර අගතිගමනයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැයි මෙසේ කුශලාකුශලයන්ට ප්‍රතිපක්‍ෂවශයෙන් යෝජනා යි. මේ දිසාලෝචනනය යි කියනුලැබේ.
සතර ශ්‍රාමණ්‍යඵලයෝ ඒ නයයාගේ පර්‍ය්‍යවසානය වෙයි. යම් ධර්‍මයෙක් කුශලාකුශල නිර්දේශයෙහි ප්‍රථම දිසානිර්දේශය වේ ද ස්‍රෝතාපත්තිඵලය මේ නිර්‍දෙශයාගේ පර්‍ය්‍යවසානය වෙයි, දෙවැන්න සකaදාගාමිඵල යැ, තෙවැන්න අනාගාමිඵල යැ. සතරවැන්න අර්‍හත්ඵල යි.
3. එහි තිපුක්ඛලනය කවරෙ යැ : යම් කෙනෙක් දුඃඛප්‍රතිපත්ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් සුඛප්‍රතිපත්ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි.
මේ සතර පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෙක් සුඛ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද යම් පුද්ගලයෙකුත් දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද මොහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එහි යමෙක් සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නික්මැයේ ද මේ තෙම උද්ඝටිතඥ යැ, සාධාරණ වූ යම් පශ්චිම පුද්ගලයෙක් වේ ද මේ විපඤ්චිතඥ යැ. යම් පුද්ගලයෙක් දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් නික්මැයේ ද මේතෙම නෙය්‍ය යැ. මොහු සතරදෙනෙක් වැ තිදෙනෙක් වෙති. එහි උද්ඝටිතඥයාට සමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනාව වෙයි, නෙය්‍යපුද්ගලයාහට විදර්‍ශනාපූර්‍වඞ්ගම සමථය වෙයි. විපඤ්විතඥයාහට සමථ විදර්‍ශනා දෙක යුගනද්ධ වූවාහු වෙත්.
උද්ඝටිතඥ පුද්ගලහට මෘදු වූ දේශනාව වෙයි, නෙය්‍යපුද්ගලහට තියුණු දේශනාව වෙයි, විපඤ්විතඥයාහට තියුණු මෘදු දේශනාව වේ.
උද්ඝටිතඥයාහට අධිප්‍රඥාශික්‍ෂා යැ, නෙය්‍යපුද්ගලහට අධිචිත්තශික්‍ෂා යැ, විපඤ්චිතඥ පුද්ගලහට අධිශීලශික්‍ෂා යි. මෙසේ සතර ප්‍රතිපදායෙන් මේ පුද්ගලයන්ගේ නිර්‍ය්‍යාණය වේ.
එහි මේ සංකිලේස යැ : තුන් අකුශලමූලයෝ යැ. තුන් ස්පර්‍ශයෝ යැ තුන් වේදනා යැ තුන් උපවිචාරයෝ යැ තුන් සංක්ලේශයෝ යැ තුන් විතර්‍කයෝ යැ තුන් පරිදාහයෝ යැ තුන් සංඛත ලක්‍ෂණයෝ යැ තුන් දුඃඛතා යි.
තුන් අකුශලමූල යනු : ලෝභඅකුශලමූල යැ ද්වේෂඅකුශලමූල යැ මෝහඅකුශල මූල යි. තුන් ස්පර්‍ශ යනු : සුඛවේදනීය ස්පර්‍ශ යැ දුඃඛවේදනීය ස්පර්‍ශ යැ අදුක්ඛම සුඛවේදනීය ස්පර්‍ශ යි. තුන් වේදනා යනු : සුඛවේදනා යැ දුක්ඛවේදනා යැ අදුක්ඛම සුඛවේදනා යි. තුන් උපවිචාර යනු : සෝමනස්ස - උපවිචාර යැ දෙමනස්ස - උපවිචාර යැ උපෙක්ඛා - උපවිචාර යි. තුන් සංකිලේස යනු : රාග යැ දෝස යැ මෝහ යි. තුන් විතර්‍ක යනු : කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යි. තුන් පරිදාහ යනු : රාගජ ද්වේෂජ මෝහජ - පරිදාහ යි. තුන් සංඛත ලක්‍ෂණ යනු : උත්පාද යැ ස්ථිති යැ ව්‍යය යයි. තුන් දුඃඛතා යනු : දුක්ඛදුක්ඛතා යැ විපරිණාමදුක්ඛතා යැ සංඛාර දුක්ඛතා යි.
එහි ලෝභඅකුසලමූලය කොයින් උපන්නේ ද යත් : ආලම්බනය ත්‍රිවිධ යැ : මනාපික යැ අමනාපික යැ උපේක්‍ෂාස්ථානීය දැයි. එහි මනාපික ආලම්බනයෙන් ලෝභ අකුශලමූලය උපදී, මෙසේ මනාපික වූ ආලම්බනයෙන් සුඛවේදනීය ස්පර්‍ශය වෙයි, සුඛවේදනීය පහස නිසා සුඛවේදනාව උපදී, සුඛවේදනාව නිසා සොමනස්සූපවිචාරය උපදී. සොමනස්සූපවිචාරය නිසා රාගය උපදී. රාගය නිසා කාමවිතර්‍කය උපදී. කාම විතර්‍කය නිසා රාගජපරිදාහය උපදී. රාගජපරිදාහය නිසා උත්පාද සංඛතලක්‍ෂණය උපදී. උත්පාදසංඛතලක්‍ෂණය නිසා විපරිණාමදුක්ඛතාව උපදී.
ද්වේෂඅකුශලමූලය කොයින් උපන යත් : අමනාපික වූ ආලම්බනයෙන් දෝසඅකුසල මූලය උපන, මෙසේ අමනාපික වූ ආලම්බනයෙන් දුක්ඛවේදනීය පහස වෙයි, දුක්ඛ වේදනීය ඵස්සය නිසා දුක්ඛවේදනාව උපදී, දුක්ඛවේදනාව නිසා දෝමනස්සුපවිචාරය උපදී, දෝමනස්සූපවිචාරය නිසා ද්වේෂය උපදී, ද්වේෂය නිසා ව්‍යාපාදවිතර්‍කය උපදී. ව්‍යාපාදවිතර්‍කය නිසා ද්වේෂජ පරිදාහය උපදී, ද්වේෂජ පරිදාහය නිසා සිටියහුගේ අන්‍යථාත්‍ව සංඛත ලක්‍ෂණය උපදී, සිටියහුගේ අන්‍යථාත්‍ව සංඛත ලක්‍ෂණය නිසා දුක්ඛදුක්ඛතාව උපදී.
මෝහඅකුශලමූලය කොයින් උපන යත් : උපේක්‍ෂාස්ථානීය වූ ආලම්බනයෙන් මෝහඅකුශලමූලය උපන, මෙසේ උපේක්‍ෂාවට කාරණ වූ ආලම්බනයෙන් අදුක්ඛමසුඛ වේදනීය වූ ඵස්සය වෙයි, අදුක්ඛමසුඛවේදනීය ඵස්සය නිසා අදුක්ඛමසුඛවේදනාව උපදී. අදුක්ඛමසුඛවේදනාව නිසා උපෙක්ඛා - උපවිචාරය උපදී, උපෙක්ඛා - උපවිචාරය නිසා මෝහය උපදී, මෝහය නිසා විහිංසාවිතර්‍කය උපදී, විහිංසාවිතර්‍කය නිසා මෝහජ පරිදාහය උපදී, මෝහජ පරිදාහය නිසා වයසංඛත ලක්‍ෂණය උපදී, වයසංඛත ලක්‍ෂණය නිසා සංඛාරදුක්ඛතාව උපදී. මෙසේ මේ තුන් ක්ලේශයන්ගේ නිර්දේශ යි. මේ අකුශලපක්‍ෂයෙහි තිපුක්ඛල නය යී කියනු ලැබේ.
මෙසේ අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, සතරක් නොවේ පස්වැන්නෙකුත් නැති. ‘තයෝ ඵස්සා’ යනු : තුන් වේදනා පටන් ‘සඞ්ඛාර දුක්ඛතා’ යනු දක්වා යම් කිසි අකුශලපක්‍ෂයෙක් වේ ද ඒ සියල්ල තුන් අකුශලමූලයන්හි සමෝසරණය වේ.
එහි කුශලපක්‍ෂය කවරෙ යත් : කුශලමූලයෝ තිදෙනෙක් වෙති, සුතමයි පඤ්ඤා යැ චින්තාමයී පඤ්ඤා යැ භාවනාමයී පඤ්ඤා යැයි ප්‍රඥා තුනෙකි, සවිතක්කසවිචාර යැ ... සමාධි තුනෙකි, අධිසීලසික්ඛා යැ ... ශික්‍ෂා තුනෙකි, සමථනිමිත්ත යැ පග්ගහනිමිත්ත යැ උපෙක්ඛානිමිත්ත යැයි නිමිති තුනෙකි, නෙක්ඛම්මවිතක්ක යැ ... අවිහිංසාවිතක්ක යැයි විතර්‍කයෝ තිදෙනෙක් වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙකි : අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය යැයි (විස්තර වෙයි.) නෙක්ඛම්මුපවිචාර යැ අව්‍යපාදූපවිචාර යැ විහිංසූපවිචාර යැයි උපවිචාරයෝ තිදෙනෙකි, කාමේසනා භවෙයනා බ්‍රහ්මචරියේසනා යී ඒසනා තුනෙකි, සීලක්ඛන්‍ධ යැ සමාධික්ඛන්‍ධ යැ පඤ්ඤාක්ඛන්‍ධ යැයි ස්කන්‍ධයෝ තිදෙනෙක් වෙත්.
එහි යම් අලෝභකුශලමූලයෙක් වේ ද එය සුතමයී ප්‍රඥාව පුරාලයි, සුතමයී පඤ්ඤාව පරිපූර්‍ණ වූවා සවිතර්‍ක සවිචාරසමාධිය පුරයි. සවිතර්‍කසවිචාර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිචිත්ත ශික්‍ෂාව, පුරාලයි, අධිචිත්ත ශික්‍ෂාව පරිපූර්‍ණ වූවා සමථනිමිත්ත පුරයි. සමථනිමිත්ත පරිපූර්‍ණ වූයේ නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය පුරයි. නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය පරිපූර්‍ණ වූයේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පුරයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ නෙක්ඛම්මූපවිචාරය පරිපූර්‍ණ කෙරෙයි. නෙක්ඛම්මුපවිචාරය පරිපූර්‍ණ වූයේ කාමේසනාව දුරුකෙරෙයි, කාමෙෂණප්‍රහාණය සමාධිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
අදෝසකුසලමූලය චින්තාමයී ප්‍රඥාව පුරයි. චින්තාමයී ප්‍රඥාව පරිපූර්‍ණ වූවා අවිතර්‍ක විචාරමාත්‍ර වූ සමාධිය පුරයි. අවිතර්‍කවිචාරමාත්‍ර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිශීලශික්‍ෂාව පුරයි. අධිශීලශික්‍ෂාව පරිපූර්‍ණ වූවා උපේක්‍ෂානිමිත්ත පුරයි. උපේක්‍ෂානිමිත්ත පරිපූර්‍ණ වූයේ අව්‍යාපාදවිතර්‍කය පුරයි. අව්‍යාපාදවිතර්‍කය පරිපූර්‍ණ වූයේ අඤ්ඤින්‍ද්‍රිය පුරයි. අඤ්ඤින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ අව්‍යාපාදූපවිචාරය පරිපූර්‍ණ කෙරෙයි. අව්‍යාපාදූපවිචාරය පරිපූර්‍ණ වූයේ භවේසනය දුරුකෙරෙයි. හවෙෂණප්‍රහාණය ශීලස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
අමෝහකුශලමූලය භාවනාමයී ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි. භාවනාමයී ප්‍රඥාව පරිපූර්‍ණ වූවා අවිතර්‍ක අවිචාරසමාධිය පුරයි. අවිතර්‍ක අවිචාර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිප්‍රඥාශික්‍ෂාව පුරයි. අධිප්‍රඥාශික්‍ෂාව පරිපූර්‍ණ වූවා ප්‍රග්‍රහනිමිත්ත පුරයි. ප්‍රග්‍රහනිමිත්ත පිරුණේ අඤ්ඤාතාවින්‍ද්‍රිය පුරයි. අඤ්ඤාතාවින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ අවිහිංසූපවිචාරය පුරයි. අවිහිංසූපවිචාරය පිරුණේ බ්‍රහ්මචරියේසනාව පුරයි. බ්‍රහ්මචරියේසනාව පරිපූර්‍ණ වූවා ප්‍රඥාස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
මෙසේ මේ තුන් ධර්‍මයෝ කුශලපක්‍ෂයෙහි වූවාහු යැ, සියලු කුශලධර්‍මයෝ තුන් වැදෑරුම් ත්‍රිකනිර්දේශයන්ගෙන් දක්වනු ලැබෙත්. තුන් විමෝක්‍ෂමුඛයෝ ඔහුගේ පර්‍ය්‍යවසානය යි. එහි පළමුවැන්නෙන් අප්පණිහිත විමොක්‍ෂමුඛය වෙයි, දෙවැන්නෙන් සුඤ්ඤත යැ. තෙවැන්නෙන් අනිමිත්ත විමොක්‍ෂමුඛය වේ. මේ දෙවැනි තිපුක්ඛලනය නමැයි කියනු ලැබේ.
4. එහි උග්ඝටිතඤ්ඤු යැ විපඤ්විතඤ්ඤුයැ නෙය්‍ය යැ යන යම් මේ තුන් පුද්ගල කෙනෙක් වෙත් ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෝ දෙදෙනෙක් සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් ද, සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙකි, යම් පුද්ගලයෝ දෙදෙනෙක් දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් ද දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද නික්මැයෙත් ද මේ සතරදෙන එකී විශේෂය හේතු කොටගෙන දිට්ඨිචරිත ද තණ්හාචරිත දැයි දෙදෙනෙක් වෙති. මොහු සතරදෙනෙක් වී තිදෙනෙක් වෙති, තිදෙනෙක් වී දෙදෙනෙක් වෙත්, මේ පුද්ගලයන් දෙදෙනාගේ මේ සංක්ලේශ යැ : අවිජ්ජා තණ්හා ද, අහිරික අනොත්තප්ප ද, අසති අසම්පජඤ්ඤ ද, නීවරණ සංයෝජනයෝ ද, අජ්ඣොසාන අභිනිවේස ද, අහංකාර මමංකාරද, අස්සද්ධිය දෝවචස්සතා ද, කෝසජ්ජ අයෝනිසෝ මනසිකාර ද, විචිකිච්ඡා අභිජ්ඣා ද, අසද්ධම්මසවන අසමාපත්ති ද යන මොහු යි.