Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 1101-1200 න් 1341

5. එහි ලක්ඛණ කවරෙ යැ: යමෙක් මිණිකොඬොල්හි ඇලුණු සිත් ඇත්තේ අහංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද මමංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද හේ අඹුදරුවන් කෙරෙහි ඇලුණේ කෙත්වත්හි ඇලුණේ වෙයි. මේ ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් නිවනෙහි රුචි ඇත්තාහු වෙත් ද, ඔහු අඹුදරුවන් කෙරෙහි තෘෂ්ණාව හරනාහු යැ. මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රායයි. මේ චතුබ්‍යුහහාර යි.
7. එහි ආවත්තහාර කවරෙ යැ: අඹුදරුවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද මේ සමුදය යැ, යම් උපාදින්නස්කන්‍ධ කෙනෙක් ඇද්ද ඔහු ද යම් බාහිර රූපයන්හි පරිග්‍රහයෙක් ඇද්ද, මේ දුක යැ, එහි යම් සිඳියැයුත්තෙක් ඇද්ද, මේ නිරෝධ යැ, යමකින් බිඳේ ද මේ මාර්‍ග යැ. මේ සතර සත්‍යයෝ යි.
8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.
9. පරිවත්තන යනු: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේය.
10. එහි වෙවචනහාර කවරෙ යැ: වේවචන දක්වනලද්දේ යි.
11. එහි ඕතරණ කවරෙ යැ: තෘෂ්ණාව ඇත, සත්‍ව තෘෂ්ණායෙන් මඩනාලදුයේ වෙයි, ඒ තෘෂ්ණාප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ජරාමරණ දක්වා (කියැයුතු). එයි යම් වේදනාවක් ඇද්ද මේ අවිද්‍යා යැ. මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා කියැයුතු.
12. එහි සෝධනහාර කවරෙ යැ: ගාථායෙහි ආරම්භය ශුද්ධ යි.
13. එහි අධිට්ඨාන කවරෙ යැ: “න තං දළ්හං බන්‍ධනමාහු ධීරා” යනු ඒකත්තතා (සාමාන්‍ය) යෙන් පනවනලදු, වේමත්තතායෙන් නොවේ. කාමරාග රූපරාග භවරාග දිට්ඨිරාග යන සතර රාගයෝ ඒකත්තතායෙන් පනවනලදහු යි.
14. එහි පරික්ඛාර කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි යම් කෙනකුන්ගේ රාගය වේ ද, ඒ රාගයට ශුභසංඥාව හේතු යැ, අනුබ්‍යඤ්ජනවශයෙන් නිමිත්තග්‍රාහය ප්‍රත්‍ය යි. යම් කරුණෙකින් ඒ මිණිකොඬොල් දිරුවාහු ද ඊට අශුභසංඥාව හේතු යි. නිමිත්තග්‍රහණ අනුව්‍යඤ්ජනග්‍රහණය දුරැලීම ප්‍රත්‍ය යි.
15. එහි සමාරෝපන කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි ඇලුණේ සම්මූඪ වූයේ වෙයි. (දුට්ඨාතිපී?) තෙල බන්‍ධනය ද සිඳපියා නික්මැයෙත් යයි. (තං පරිඤ්ඤාතත්‍ථං පරිවජ්ජිතත්‍ථං පජහිතා?) මේ සමාරොපනහාර යි.
“යම් අරමුණක් සිතා ද සිත්හි ලා පවත්වා ද අනුශය වශයෙන් පවතී ද” (අභිසමය සංයුත්ත - කළාරඛත්තියවග්ග - චේතනා සූත්‍රය) විස්තරයෙන් කියැයුතු යම් චෛතසික කර්‍මයක් හෝ වේද, එය කායිකකර්‍ම ද වාචසිකකර්‍මය ද වෙයි. කරුණු කිම යත්: ඒ එසේ මැය, සිත්හි උපදනා චේතනා මනෝකම්ම යයි කියනුලැබේ. යම් චේතනාකර්‍මයක් ඇද්ද එය චෛතසික කර්‍ම යැ, මේ කායකර්‍මය ද වාක්කර්‍මය දැයි මේ තුන් කර්‍මයෝ දක්වනලද්දාහු යැ.
ඒ කායකර්‍ම වාක්කර්‍මයෝ ද කුශල වූවාහු ද වෙති. යම් කර්‍මයක් කයිනුදු වචනයෙනුදු කෙර් නම්, දැඩිව ගනී නම්, මේ සීලබ්බතපරාමාස යයි කියනු ලැබේ.
ඒ සංකල්පනයෝ ද පුඤ්ඤමය අපුඤ්ඤමය අනෙඤ්ජමය යන ත්‍රිවිධ සංස්කාරයෝ වෙති. ඒ සංස්කාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. කර්‍මවිඥානයාගේ සිටීමට තෙල අරමුණ වේ.
යම් ශුභසංඥාවක් සුඛසංඥාවක් ආත්මසංඥාවක් ඇද්ද මේ චෛතසිකකර්‍ම යැ, රූපභවයට පමුණුවන යම් කර්‍මවිඥානයක් රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටී ද, නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වැඩීමට පිහිටීමට විපුලබවට යේ ද, මේ සංකල්පනා යැ. මෙසේ විඥානස්ථිතීන්හි සිටී ආලම්බන වශයෙන් ප්‍රථමාභිනිෂ්පත්ති වූ යම් උපාදානයක් ඇද්ද, මේ චෛතසික යයි කියනුලැබේ යි.
එහි සිටී අරූපයාගේ යම් නිකාන්තියක් බැසැගෙන සිටීමක් ඇද්ද, මේද සකම්පිත යැ. ප්‍රියස්වභාව මධුරස්වභාව වූ මනවඩන රූපයන්හි යම් අභෝගයෙක් ඇද්ද, මේ චෛතසික කර්‍ම යි.
යම් චේතනාවක් කෙරේ ද එය මනවඩන සත්ත්‍වයන් කෙරෙහි අභිධ්‍යාකායග්‍රන්‍ථ වෙයි, ප්‍රතිඝානුශයෙහි ව්‍යාපාදකායග්‍රන්‍ථ වෙයි, සියලු සතර ග්‍රන්‍ථයෝ වෙත්. මේ පඤ්චකාමගුණයන්හි චිත්තයාගේ ප්‍රථමාභිතිපාතය යි. යමක්හුගේ යම් චේතනාවක් ඇද්ද, එහි ආස්වාද වශයෙන් දක්නහුට නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත්. (චිත්තං අරූපවත්තියො හොන්ති?) රාගයෙන් බැඳුණු පුද්ගල ඒ ක්ලේශකාමයන් විසින් රිසිසේ කළහැකි වෙයි. මේ කාමයන්හි ප්‍රකල්පනා යයි කියනු ලැබේ. සියලු සතර ඕඝයෝ මෙසේ යි.
යමෙක් ඒ කාමයන් විසින් සංයුක්ත වූයේ භාවිත වූයේ බැසගන්නාලදුයේ වාස කෙරේ ද, මේ චේතනා යැ. එසේ මැ යමකුට මේ කාමචේතනා වේ ද අවීතරාග වූ අවිගත වූ ප්‍රේම ඇති ඔහුට ඒ කාමයන්ගේ විපරිනාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදිත්. දුක අනුව පවත්නා විඥානය වෙයි, (සරිතස්ස?) ව්‍යයධර්‍මයන්ගේ ඉපදීම සිත හාත්පසින් මැඩගනී. මේ ප්‍රකල්පිත යයි කියනු ලැබේ.
(එවමෙකස්ස චේතෙති ච පකප්පේති ච?) විඥානයාගේ යම් සිටීමක් වේ ද, ඒ ස්ථිතිය අරම්මණට්ඨිති යැ ආහාරට්ඨිති යැයි දෙපරිදි වෙයි: එහි යම් ආලම්බනස්ථිතියක් වේ ද මේ නාමරූපයට ප්‍රත්‍යය වෙයි. යම් ආහාර ස්ථියක් වේ ද, පුනර්‍භවයෙහි උපත ඇතිකරන පුනර්‍භවයට හිත වූ යම් ස්ථිතියකුත් වේද, මේ ආලම්බන යයි කියනු ලැබේ. එය කර්‍ම විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ඒ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. ජරාමරණ දක්වා චේතනා කෙරෙයි.
යලි යම්හෙයකින් අනාගත වස්තු විෂයෙහි පුනර්‍භවය ඇති කරන ප්‍රාර්‍ත්‍ථනා නොවේද, මේ ප්‍රතිපක්‍ෂභාවය දක්වන ලදී. චේතනා නො කෙරෙයි, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, එකෙකුදුවත් දූෂණ කෙරේ නුයි දෙවැදෑරුම් නිර්‍දෙශය වේ. (අස්ස පුබ්බේ ... අසමූහිතං තප්පච්චයා?) කර්‍මවිඥානයාගේ මේ ස්ථිතිය වේ.
නොහොත් ඔහුට අනුසයයෝ පහළවෙති, ඒ හේතුයෙන් ඔහුට පුනර්‍භවය උපදී, නොහොත් (නංසංකීයතෙ ... ආරම්මණභූතා හොන්ති?) යම් චේතනාවකුත් යම් ප්‍රකල්පනයකුත් වේද, උපන් යම් වස්තුවකුත් ඇද්ද මේ දෙක මැ විඥානයට අරමුණු වෙයි. එසේ මැ චේතනාවට ද සංකල්පනාවට ද ප්‍රාර්‍ත්‍ථනාවට ද අරමුණු වේ. භූත (උපන්) සත්ත්‍වයෝ චේතනා ද සංකල්පනා ද කෙරෙයි, සම්භවය සොයන සත්ත්‍ව නො ද සිතයි නො ද සංකල්පන කෙරෙයි. උපන් සත්‍වයෝ කවරහ: යම් තනුබවට ගිය අණ්ඩජයෝ ද අණ්ඩකෝෂයෙන් නික්මුණාහු ද සම්භේදයට නොගිය සංසේදජයෝ ද යන මොහු භූතයෝ යි. සම්භවේසීහු කවරහ: ගර්‍භගත වැ අණ්ඩකෝෂගත වැ හැසිරෙන යම් සත්ත්‍ව කෙනෙක් ඇද්ද මොහු චේතනා නො කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, සංකල්පනා නො කෙරෙත්. අනුසය හේතුකොට (ඔවුන්ට) පුනර්‍භවය උපදී යයි.
යම් උපන් සත්‍ව කෙනෙක් ඇද්ද යම් සම්භවේසීහු වෙත් ද ඔහු ථාවරයෝ යැ, යම් සත්‍ව කෙනෙක් සිතත් ද පතත් ද යම් ථාවර සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු නො ද සිතති, නො ද පතති, නො ද සංකල්පනා කෙරෙත්. අනුසයහේතුයෙන් සංසරණය කෙරෙත්.
අන්‍යත් පරියායයෙකි: යම් ශෛක්‍ෂ ආර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, නො ද සංකල්පන කෙරෙති, අනුසය වශයෙන් යළි උපදිත්.
අන්‍යත් පරියායයෙකි: භූමිගත වූ උදකගත වූ යම් සියුම් ප්‍රාණීහු ඇස්හමුවට නො පැමිණෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, සංකල්පනා නො ද කෙරෙති, අනුසය වශයෙන් සැරිසරත්.
අනිකුදු පරියායයෙකි: (බාහිකා?) සියලු භික්‍ෂූහු අධිගතාභිමාන ඇත්තාහු වෙති, ඔහු නො ද චේතනා කෙරෙහි නො ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, අනුසය හේතුයෙන් සැරිසරත්. නො ද චේතනා කෙරෙත් ද නො ද සංකල්පන කෙරෙත් ද, අනුසය නො වෙත් ද, තෙල අරමුණ ද විඥානයාගේ ස්ථිතිය පිණිස නො වේ.
‘න ච චේතෙති’ යි (ක්ලේශ) පරියුට්ඨානයාගේ නැසීම දක්වයි. ‘න ච අනුසෙ’ති යි අනුසයයන්ගේ නැසීම දක්වයි, ‘න ච චේතෙති’ යි ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි සියුම් කෙලෙසුන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි (සේන භූමි ච?) ‘න ච පත්‍ථයති’ යි සකදාගාමී අනාගාමී භූමි ද, ‘න ච අනුසෙති’ යි රහත්භූමි ද (දක්වයි,) ‘න ච චේතෙති’ යි ශීලස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච පත්‍ථයති’ යි සමාධිස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ප්‍රඥාස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අපුණ්‍යමය සංඛාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච පත්‍ථයති’ යි පුණ්‍යමය සංස්කාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ආනෙඤ්ජමය සංස්කාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද, ‘න ච පත්‍ථයති’ යි අඤ්ඤින්‍ද්‍රිය ද, ‘න ච අනුසෙති’ යි අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දක්වයි. ‘න ච චේතෙති’ යි මෘදු වූ ඉන්‍ද්‍රියභාවනාව ද ‘න ච පත්‍ථයති’ යි මධ්‍ය වූ ඉන්‍ද්‍රියභාවනාව ද ‘න ච අනුසෙති’ යි අධිමාත්‍ර වූ ඉන්‍ද්‍රියභාවනාව ද දක්වයි. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි චතුස්සත්‍යය දේශිත යි.
2-3. යම් චේතයිතයකුත් යම් පකප්පිතයකුත් ඇද්ද, යම් තැනෙක සිත පිහිටා නම් විචිනනය කෙරේ නම් තෙල අරමුණ ඇත. (එයින් දේශනාව) යෙදෙයි. න ච චේතෙති න ච පත්‍ථයති, යි තෙල අරමුණ ඇත. අනුසය ඇති කල්හි කර්‍මවිඥානය වේ යයි විචිනනය කෙරෙයි යනු යෙදෙයි. නො ද චේතනා කෙරෙයි, නො ද පතයි, අනුශය ප්‍රහාණයෙන් විඥානස්ථිතිය ගවේෂණය නො කෙරෙත්. ඒ විචය යෙදෙයි. මේ යුත්ති හා විචය යි.
4. එහි පදට්ඨාන කවරෙ යැ: චේතනාපරියුට්ඨානය චේතනාපරියුට්ඨානයට පදට්ඨාන යැ, සංකල්පනය උපාදානයට පදට්ඨාන යැ, අනුසය පරියුට්ඨානයට පදට්ඨාන යැ, ඔවුන්ගේ ඡන්‍දරාග විනාශය පිණිස භාවනාව භවරාගයාගේ ප්‍රහාණය වේ.
5. එහි ලක්ඛණ කවරෙ යැ: ‘චේතසික’ යයි වෙදයිතයක් ප්‍රකල්‍යතයක් දැඩිව ගන්නා ලද්දක් විඥානයක් ඇද්ද ඒ විඤ්ඤාණය ආලම්බන ද ප්‍රත්‍යය ද වේ.
6. එහි චතුබ්‍යුහ කවරෙ යැ: මේ සූත්‍රයෙහි, භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පුනර්‍භවය නො කැමැති වෙත් නම් ඔහු චේතනා නො කරන්නාහු යැ, නො ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යැ යන මේ අධිප්‍රාය යි.
7. ආවත්ත යනු: යම් චේතනාවක් ප්‍රාර්‍ත්‍ථනාවක් අනුශයක් වේ ද, යම් විඥානස්ථිති ප්‍රහාණයකුත් වේ ද, මොහු සත්‍යයෝ දෙදෙනෙකි.
8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.
9. පරිවත්තනා වැළිත් ප්‍රතිපක්‍ෂ සූත්‍රය යි.
10. එහි වෙවචන කවරෙ යැ: රූපසංචේතනාව පටන් ධම්මසංචේතනා දක්වා චේතනා යැ, යම් අනුසයයෙක් ඇද්ද ඔහු සප්ත අනුශයෝ යි.
11. පඤ්ඤත්ති යනු: චේතනාව පරියුට්ඨානපඤ්ඤත්තියෙන් පනවනලදු. සංකල්පනය උපාදානපඤ්ඤප්තියෙන් පනවනලද, අනුසය හේතුපඤ්ඤත්තියෙන් පනවනලද, විඤ්ඤාණට්ඨිතිය උපප්‍රාප්තිහේතු ප්‍රඥප්තියෙන් පනවනලදු, චේතනා සංකල්පනා අනුශය සමුච්ඡේදය ඡන්‍දරාගවිනයප්‍රඥප්තියෙන් පනවන ලද, (පඨමෙ කෙචි ... මජ්ඣපඤ්ඤත්ති?)
12. ඕතරණ යනු: පරිවත්තක දෙකකින් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද, මධ්‍යම පරිවර්‍තකයන්ගෙන් මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද දක්වන ලද වේ.
13. සෝධන යනු: සූත්‍රයෙහි ලා සූත්‍රයාගේ ආරම්භය (දැනගනුකැමැති අර්‍ත්‍ථය) වේ.
14. අධිට්ඨාන යනු: යම් චේතයිතයෙක් ඇද්ද සියල්ල අධිට්ඨානහාරයෙන් ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවනලද. ‘සංකප්පිතං’ යනු උපාදාන එකත්තතායෙන් පනවනලද, කර්‍මවිඥාන ඒකත්තතායෙන් පනවන ලදි.
15. පරික්ඛාර යනු: සුඛාරම්මණය ද අයෝනිසෝමනසිකාරය චේතනා යන මේ හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. විඥානයට ප්‍රතිෂ්ඨා වූ ධර්‍මය ආලම්බන ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ඒ ධර්‍මයාගේ මනසිකාරය හේතුප්‍රත්‍යායෙන් ප්‍රත්‍යය වේ.
16. එහි සමාරොපනහාර කවරෙ යැ: මේ සූත්‍රය (සඤ්ඤිතං?) එහි චේතනා කෙරෙයි (යනු) විසඳුම යයි දැක්වියයුත්තීය (?) (තස්ස දිට්ඨයා?) විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, ජරාමරණ දක්වා විස්තර කළයුතු යැ. මේ සමාරොපනහාර යි.
තෙල ආරම්මණය කර්‍මවිඥානයාගේ ස්ථිතිය පිණිස නො වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා විස්තර කළ යුතු.
එහි සංකිලෙසභාගිය නිබ්බේධභාගිය අසේඛභාගිය ද වූ සූත්‍රය කවරෙ යැ: “මේ සත්‍ව ලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝකසන්තාප ඇත්තේ” යැ යනු පටන් “යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් භවයාගේ නොහොත් භවදෘෂ්ටියෙන් භවයාගේ මිදීම (ශුද්ධිය) කියත් ද” යනු දක්වා සංකිලෙසභාගිය වෙයි. “ඛන්‍ධාදි” උපධීන් නිසා මේ සසරදුක හටගනී.” (යනු සංකිලේස යි) “භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වෙයි” යන මේ නිබ්බේධ යැ. “ඒ කෙලෙස්පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ.” “සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යැ” යනු ආසේඛභාගිය යි.
එහි “සන්තාපජාතො” යනු: රාගයෙන් උපන් සන්තාප යැ ද්වේෂයෙන් මෝහයෙන් උපන් සන්තාප යි. “ලෝකෝ සන්තාපජාතො” යී ඒ සත්‍වයන්ගේ ස්ථානය දක්වයි. ඵස්සය තෙවැදෑරුම් යැ: සුඛවේදනීය යැ දුක්ඛවේදනීය යැ අදුක්ඛමසුඛවේදනීය යි. එහි සුඛවේදනීය ඵස්සය රාගසන්තාප යැ, දුක්ඛවේදනීය ඵස්සය දෝසසන්තාප යැ, අදුක්ඛම සුඛවේදනීය ඵස්සය මෝහසන්තාප යි. ගෝමගැ වැඩහුන් බුදුහු හත්‍ථකආළවක කුමරුට මෙසේ වදාළහ: “ගැහැවිපුත් රාගයෙන් උපන් ද්වේෂයෙන් උපන් මෝහයෙන් උපන් යම් සන්තාපයකින් දුකසේ හොවී ද ඒ සන්තාපයෝ මට නො වෙති.”
“තමා විසින් පහස්නාලද දුක (මෙබන්දක් සතුරකුටත් නො වේව’ යි) වැලැපෙමින් කියයි. (‘රෝගං’ යන පාඨයෙහි පහස් හේතුයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි.) යනු: ඒ සන්තාපයන් විසින් තවනලදුයේ සඤ්ඤාවිපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස යන ත්‍රිවිධ විපර්‍ය්‍යාසයට පැමිණෙයි. එහි අශුභයෙහි ශුභ යයි සඤ්ඤාවිපල්ලාස යැ, දුඃඛයෙහි සුඛ යයි චිත්තවිපල්ලාස යැ, අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යයි දිට්ඨීවිපල්ලාස යි.
චිත්තසඤ්ඤාදිට්ඨි යම්සේ විපල්ලාස වෙත් ද, ඔහු ත්‍රිවිධ විතර්‍කයෝ වෙති, චිත්තවිතර්‍කය විපල්ලාස යැ, සංඥාවිතර්‍කය විපල්ලාස යැ, දෘෂ්ටිවිතර්‍කය විපල්ලාස යි. එහි අවිජ්ජාවිපල්ලාසය (ගෝචරා ගතිපතෙය්‍යභූමි?) යම් සේ ඒ අවිද්‍යාව හැඳිනගනී ද වෙසෙසින් දැනගනී ද යම්සේ හඳුනන්නේත් දැනගන්නේත් වේ ද යම්සේ රුචිකෙරේ ද සිතා ද මේ සතර විපල්ලාසයෝ යැ. සත්‍වයෝ යම් විපල්ලාසයකින් රෝගයක් බඳු වූ ගඬක් බඳු වූ සිව්වැදෑරුම් ආත්මභාවවස්තුව ආත්මයයි කියත් ද එබඳු විපල්ලාසයෝ යි. “රෝදං වදති අත්තතෝ” යි මේ ආවට්ට යි.
“යම් යම් පරිද්දෙකින් තමාගේ දුකට පිළියම් සිතත් ද ඒ දුකට එයින් අන්පරිද්දෙකින් පිළියම් කටයුතු වෙයි” යනු ‘ශුභ’ යයි සිතයි, එපරිදි ශුභ නො වෙයි, එසෙයින් සුඛ යැ නිත්‍ය යැ ආත්ම යයි සිතයි, (එපරිදි නො වේ.) හේ අන්පරිද්දෙකින් වන්නාවූ මැ අනාගත භවය පතයි. එයින් කියලු ලැබේ, “භවරාග” යයි. “භවමෙවාභිනන්‍දති” යනු: යමක් අභිනන්‍දනා කෙරේ ද එය දුක යයි පඤ්ච ස්කන්‍ධයන් දක්වයි. ඒ හේතුයෙන් යම් ශෝක පරිදේව දුඃඛයක් වේද ඔහුට ඒ දුක වන්නේය (තස්ස හි භාවේස්සති?) මෙතෙකින් සංකිලේසය වේ. තුන් සන්තාපයන්ගේ ප්‍රහාණය පිණිස මගබඹසර වෙසෙයි, (එයින්) ඡන්‍දරාගවිනය වේ.
“උපධී හි පටිච්ච දුක්ඛමිදං භවති” යනු: යම් කෙනෙක් භවය මැ කැමැති වෙත් ද, එය (විපරිණාමස්වභාව හෙයින්) බියෙකි. යම් (ජරාමරණාදියෙකින්) බිය වේද, එය දුකෙකි. ඒ දුඃඛයාගේ ප්‍රහාණය වදාළහ, සර්‍වප්‍රකාරයෙන් උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ’ යි.
සතර විපල්ලාසයෝ යථානිර්දිෂ්ට වූ උපාදානය කියති. එහි ප්‍රථම විපල්ලාසය කාමූපාදාන යැ, දෙවැන්න දිට්ඨූපාදාන යැ, තෙවැන්න සීලබ්බතූපාදාන යැ, සතරවැන්න අත්තවාදූපාදාන යි. ඔවුන්ගේ යම් ක්‍ෂයවීමෙක් ඇද්ද (එකල්හි) දුඃඛයාගේ සම්භවයෙක් නැත. උපධීන්ගේ ප්‍රහාණයෙන් දුක්ඛනිරෝධය වදාළහ.
මෙසේ (ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන්) තෙල භව යයි කියන ලද පඤ්චස්කන්‍ධය තත් වූ පරිදි විදර්‍ශනාසහිත මාර්‍ගඥානයෙන් දක්නහුට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, විභව සංඛ්‍යාත උච්ඡේදය ද නො කැමැති වේ’ යයි.
දර්‍ශනභූමිය පවසයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් නිර්‍වාණය වේ යයි රාගවිරාගචේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්ති වදාරති. “තස්ස භික්ඛුනෝ” යි අනුපාදිසේස නිර්‍වාණධාතුව වදාරත්. මේ සූත්‍රයාගේ අර්‍ත්‍ථනිර්දේශයි.
2-3. එහි විචය කවරෙ යැ: යම් තැනෙක යමකුට පරිදාහය වේ ද, දැවෙන්නාවූ ඔහුට (සො යථාභූතං නත්‍ථි?) නිර්වේදයට පැමිණෙන්නේ ද වෙයි. මේ විචය ද යුත්ති ද වේ.
4. පදට්ඨාන කවරෙ යැ: රාගයෙන් උපන් පරිදාහය සුඛින්‍ද්‍රියට ද සෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යැ, දෝසජපරිළානය දුක්ඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද, පදට්ඨාන යැ, මෝහයෙන් උපන් පරිළාහය උපෙකඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: ඵස්සයෙන් මඩනා ලදුයේ වේදනායෙන් - සංඥායෙන් - සංස්කාරයෙන් ද මඩනාලදුයේ යම් යම් පරිද්දෙකින් ඉදින් ශුභනිමිත්ත වශයෙන් හෝ සුඛනිමිත්ත වශයෙන් හෝ නිත්‍යනිමිත්ත වශයෙන් හෝ ආත්මනිමිත්ත වශයෙන් හෝ (තෘෂ්ණා විසින්) සිතා ද, අශුභයෙහි ශුභ යයි සිතයි, මෙසේ සියල්ල කියැයුතු. රාගජපරිළාහය කී කල්හි සතර පරිදාහයෝ කියනලද්දාහු වෙති. රාගජ යැ දෝසජ යැ මෝහජ යැ දිට්ඨජ යැ යන සතර යි. “රාගං වදාමි” යනු ආත්මවශයෙන් කියයි. සියලු පසළොස් පදයෝ වෙති. (අනිච්චං දුක්ඛන්ති?)
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පරිදාහයෙන් නො රිසි වෙත් ද, ඔහු භවය නො කැමැති වෙති, යම් කෙනෙක් භවය නො කැමැති වෙත් ද ඔහු පිරිනිවෙත්. මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
7. එහි ආවට්ටහාර කවරෙ යැ: සංකිලෙසභාගිය සූත්‍රයෙන් දුක්ඛය ද සමුදය ද දක්වයි, නිබ්බේධභාගිය සූත්‍රයෙන් මග්ගය ද නිරෝධය ද දක්වයි.
8. එහි විභත්තිහාර කවරෙ යැ: හටගත් සන්තාප ඇතියේ හටගත් රෝග ඇතියේ යැ, “රෝදං වදති අත්තනෝ” යනු: එය ඒකාන්තයෙන් නො වෙයි. නො මෙනෙහි කිරීම හේතු කොට උපන් සන්තාප ඇතියේ වැලැපෙමින් තමහට වන් දුක නො ද කියයි.
9. එහි පරිවත්තන කවරෙ යැ: පක්‍ෂ ප්‍රතිපක්‍ෂ දැක්වීම සඳහා පරිවත්තනහාරයට භූමි වෙයි.
10. එහි වෙවචනහාර කවරෙ යැ: රෝගය ආත්මහෙයින් කියයි. සල්‍යය ආත්ම හෙයින් කියයි. සියලු පසළොස් පදයෝ කියැයුත්තාහු යි.
11. එහි පඤ්ඤත්ති කවරැ: ‘සන්තාපජාතො’ යනු දොම්නසට පදට්ඨාන යැ, සියල්ල වචනපඤ්ඤත්තියෙන් (?) පනවයි, ‘රෝගං වදති අත්තතෝ’ යනු: විපල්ලාස යැ (එය) සංකිලේසපඤ්ඤත්තියෙන් පනවයි, ‘යං අභිනන්‍දති -පෙ- තං දුක්ඛං’ යනු විපල්ලාසනික්ඛේපපණ්ණත්තියෙන් පනවන ලද. (තෙ අකතසත්තා ... පඤ්ඤත්තා?)
12. එහි ඕතරණහාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: තුන් අකුශලමූලයෝ යැ, ඒ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගෙන සිටියාහු යැ, ධාතුන් කෙරෙහි ධම්ම ධාතු යැ ආයතනයන් කෙරෙහි ධම්මායතන යැ ඉන්‍ද්‍රියයන් කෙරෙහි ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ද වෙයි. මේ පදට්ඨාන යි.
13. එහි සෝධන කවරෙ යැ: සූත්‍රයාගේ ආරම්භය ශුද්ධ යි.
14. එහි අධිට්ඨානහාර කවරෙ යැ: ‘පරිළාහො’ යනු: යම් ලෝවැසි සත්‍ව කෙනෙක් ඒකත්‍ව (සාමාන්‍ය) ප්‍රඥප්තියෙන් පනවනලද්දාහු ද ඔහු (අකතසත්තා ලෝකා මජ්ඣෙන?) වේමත්තතායෙන් පනවනලද්දාහුයි.
15. එහි පරික්ඛාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: අයෝනිසෝ මනසිකාරය හේතු යැ, විපල්ලාසය ප්‍රත්‍ය යැ, එහි ධර්‍ම දෙකකින් (අත්තා අභිනිවිට්ඨා ... පරාමසතෝ?)
අන්‍ය පරියායයෙකි: චෛතසිකධර්‍මයන් හේතු කොට ආත්මසංඥාව අනාත්ම සංඥාව නසයි. අන්‍යත් පරියායයෙකි: චෛතසිකධර්‍මයන්හි අනිත්‍යසංඥාව වෙයි. ආත්මසංඥාව නොවේ. මෙය චිත්ත යැ හෝ මනෝ යැ හෝ විඤ්ඤාණ යැ හෝ යයි කියනු ලැබේ. ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යන මේ දීර්‍ඝකාලයෙහි උපන්නේ යැ, එහි චෛතසික වූ ධම්මානුපස්සනාව යැ, මෙ ද ධර්‍ම සංඥා වෙයි, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: අහංකාරය හේතු යැ, මමංකාරය ප්‍රත්‍යය යි.
16. එහි සමාරෝපන කවරෙ යැ: ‘අයං ලෝකෝ සන්තාපජාතො’ යි අකුශලය කියයි. විඤ්ඤාණය නාමරූපයට ප්‍රත්‍යය වෙයි. ‘ජරාමරණං’ යනු දක්වා කියැයුතු. මේ සමාරෝපන යි.
‘එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති’ යනු: අකුශලමූලයන්ගේ ප්‍රහාණ යැ, එහි අවිජ්ජානිරෝධය වෙයි. අවිජ්ජානිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා කියැයුතු, මේ සමාරොපනහාර යි.
“පුද්ගලයෝ සතර දෙනෙකි: අනුසෝතගාමී යැ පටිසෝතගාමී යැ ඨිතත්ත යැ ඕඝතරණය කළ පරතෙරට ගිය නිවන්තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයි.
එහි යමෙක් අනුසෝතගාමී වේ ද, මෙතෙම පස්කම් සේවනය කෙරෙයි, පව්කම් ද කෙරෙයි, යම් කාමසේවනයක් ඇද්ද මේ ලෝභඅකුශලමූල යැ, ඒ ලෝභය මැ තණ්හා යැ, හේ ඒ කාමයන් විසින් ගෙනයනුලැබෙයි. එහෙයින් අනුසෝතගාමී යයි කියනුලැබේ. යම් පුඟුලෙක් ඒ තෘෂ්ණාවන් විසින් ගෙනයනුලබන්නේ ඒ කාමහේතුයෙන් කයිනුදු බසිනුදු පව්කම් කෙරේ ද, මේ තෙමේ පව්කම් කෙරේ යයි කියනු ලැබේ. ඔහුට සක්කාය දිට්ඨි යැ, විචිකිච්ඡා යැ සීලබ්බතපරාමාස යැ යන තුන් ස්‍රෝතස්හු වෙති. මේ තුන් ස්‍රෝතසුන් කරණ කොට කාමධාතු රූපධාතු අරූපධාතු යන ත්‍රිවිධ ධාතුයෙහි උපදී.
ඒ ප්‍රතික්‍ෂේපයෙන් යමෙක් කාමයන් සේවනය නො කෙරේ ද, යමෙක් ශීලව්‍රත පරාමර්‍ෂ නො කෙරේ ද, යමෙක් සත්කායදුෂ්ටිප්‍රහාණය පිණිස කාමයන්හි යථාභූත ව ආදීනව දකී ද, හේ ඒ (අකුශල) ධර්‍මයන් නො ද සේවනය කෙරෙයි, ඒ හේතුයෙන් නිවන්තෙලෙහි සිටී. ‘බ්‍රාහ්මණ’ යනු රහත්හු යැ, එහි රහත්හු ඒ ඕඝයාගේ පාරයට ගියාහු වෙති. පාරයට ගියහුගේ ‘ථලෙ තිට්ඨති’ යනු සෝපාදිසේසනිබ්බානධාතු යි.
‘අනුසෝතගාමී’ යයි දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ සංයෝජනයන්ගේ අප්‍රහාණය කීහ. ‘පටිසෝතගාමී’ යයි දෘෂ්ටිය හා ඒකත්‍වයට ගිය ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාළහ. ඨිතත්ත පුද්ගලයාගෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය වදාළහ. එහි අනුසෝතගාමී පුද්ගලයාගෙන් (මග්ගරූපීමාහ?) පටිසෝතගාමීහුගෙන් ද සිටිපියවි ඇතියහුගෙන් ද මාර්‍ගය වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ ශ්‍රාවකයෝ ද සම්මා සම්බුදුහු ද වදාරනලද්දාහු යැ. අනුසෝතගාමීහුගෙන් සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාළහ. පටිසෝතගාමීහුගෙන් සිටිපියවි ඇතියහුගෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ වූ දස අර්‍හත්‍වධර්‍මයෝ වදාරනලද්දාහ. මේ සූත්‍රාර්‍ත්‍ථයි.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ ද ත්‍රෛධාතුක ලෝකය ඉක්මැවීම ද දෙසන ලදහ.
2. එහි විචයහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද හේ පව්කම් කරන්නේ යයි ද යමෙක් කාමයන් නො සෙවුනේ ද හේ පව්කම් නො කරන්නේ යයි ද යමෙක් මේ දෙ භූමියෙන් උත්තීර්‍ණ වූයේ පාරයට ගියේ යයි ද යම් විමංසාවක් ඇද්ද මේ විචය යි.
3. යුත්ති යනු: සූත්‍රයන්හි ලා යෙදේ ද නොයෙදේ දැයි යම් විමංසාවක් ඇද්ද, මේ යුත්තිහාර යි.
4. පදට්ඨාන යනු: අනුසෝතගාමී යනු සත් සංයෝජනයන්ට පදට්ඨාන යැ, අකුසල් කිරීම අකුශලමූලයන්ට පදට්ඨාන යැ, පටිසෝතගාමී යනු යථාභූතදර්‍ශනයට පදට්ඨාන යැ, ඨිතත්ත යනු අසංහාරි ය (පෙරළා නො එන?) මාර්‍ගයට පදට්ඨාන යැ, පාරගතො යනු ක්‍ෂීණාශ්‍රවභූමියට පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් තෘෂ්ණාවශයෙන් අනුසෝතයට යේ ද, (හේ) සියලු මැ ක්ලේශයන්ගේ වශයෙන් යෙයි. යමෙක් තණ්හායෙන් පටිසෝතයට (යෑමට) වෑයම් කෙරේ ද හේ සියලු මැ ක්ලේශයන්ගේ පටිසෝතයට වෑයම් කෙරෙයි, යමෙක් තමා සිටියේ කයිනුදු හේ සිටියේ යැ වචනයෙන් හා චිත්තයෙනුදු සිටියේ යි. මේ ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අනුසෝතගාමිනී පටිපදායෙහි නො ඇලෙන්නාහු ද, ඔහු පටිසෝතයට වෑයම් කරන්නාහු යයි (යාව කදාචි භූමියං?) මේ අදහසයි.
7. ආවට්ට යනු: මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දේශනාකරන ලද්දාහු යැ.
8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද පව්කමුදු කෙරේ ද, හේ අනුසෝතගාමී යයි ඒකාන්තයෙන් නො වේ. සෝවාන් පුඟුල් ද කාමයන් සේවනය කෙරෙයි, තද්භාගිය වූ පව්කමුදු කෙරෙයි, “කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං” යි සූත්‍රයෙහි දැක්වූ පරිදි හේ නො ද අනුසෝතගාමී වෙයි. මෙය විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. කාමයන් නො ද සෙවුනේ යැ, පව්කම් නො ද කෙරෙයි, (එහෙත්) ඒකාන්තයෙන් පටිසෝතගාමී නො ද වෙයි. කාමයන්හි වීතරාග වූ ශාසනයෙන් බැහැර වූ සියලු දෙනෙ නො ද කාමයන් සේවනය කෙරෙයි, ඔහු නො ද පව්කම් කෙරෙති. (ඔහු) අනුසෝතගාමී පටිසෝතගාමී ද වෙත්. මේ විභත්තිහාර යි.
9. එහි පරිවත්තනහාර කවරෙ යැ: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේ යි.
10. වෙවචන යනු: කාමයන් කෙරෙහි වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද වෙති, රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ පුත්‍රදාර දාස කම්කරු පුත්‍රදාර දාස කම්කරු පුරුෂයෝ ද අයැතියෝ යි.
11. පඤ්ඤත්ති යනු: සියලු පුහුදුන්හු ඒකත්තතායෙන් පනවන ලදහු යැ, ‘අනුසෝතගාමී’ යනු ක්ලේශසමුදාචාරප්‍රඥප්තියෙන් ප්‍රඥප්ත යැ, යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙද්ද ඔහු නිබ්බාන පඤ්ඤත්තියෙන් ප්‍රඥප්ත යැ, යම් අනාගාමීහු වෙද්ද ඔහු අසංහාරිය පඤ්ඤත්තියෙන් පනවනලදහුයි. මේ පඤ්ඤත්තිහාර යි.
12. ‘ඕතරණ’ යනු: යමෙක් අනුසෝතගාමී වේ ද හේ දුක්ඛ යැ, ඒ අනුසෝතගාමිහුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ ධර්‍මයෝ දුක්ඛසමුදය යැ, යම් රූපයක් ඇද්ද මේ රූපස්කන්‍ධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෝ මැ පටිච්චසමුප්පාද යැ, ඒ ක්ලේශයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගත්තාහු යැ, ධම්මායතන ධම්මධාතු ඉන්‍ද්‍රියයන්හි දු ප්‍රඥප්තයෝ යි.
13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දේශනා කරන ලද ද ඒ සියලු ආරම්භය ශුද්ධ යි.
14. ‘අධිට්ඨාන’ යනු: පටිසෝතගාමී වූ සියලු සෝවන්හු ඒකත්‍වයෙන් දක්වන ලද්දාහුය, (රාගානුසය ... සේඛො ච පුග්ගලො?) ‘ඨිතත්තො’ යි වීතරාග පුද්ගල එකත්තතායෙන් පනවනලද. ‘පාරගතො’ යි සියලු රහත් හු සියලු පසේබුදුහු ද සම්‍යක්සම්බුද්ධයෝ ද එකත්තතායෙන් පනවනලදහු යි.
15. ‘පරික්ඛාර’ යනු: අනුසෝතගාමීහට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, කාම පරියුට්ඨානය හේතු යි. පටිසෝතගාමීහට හේතු දෙකක් ද ප්‍රත්‍යය දෙකක් ද වෙති, සම්මාදිට්ඨිය ඉපදීම දක්වා (දිට්ඨි ... කොට්ඨාසො ච?)
16. ‘සමාරෝපන’ යනු: (විභත්ති?) මේ සූත්‍රයෙහි සමාරෝපනයට භූමි නැති.
“කනින් අසා ධරනලද ධර්‍මයන්ගේ සතර අනුසස් කෙනෙක් වෙති.” “දිට්ඨියා සුප්පටිවිද්ධානං” යනු දක්වා සූත්‍රය විස්තර කළයුතු. යෝගයෙහි යෙදෙන උත්සාහ කරන වෑයම් කරනුවහු මරණකාලයෙහි ගිලන් වූයේ (මරණින් මතු) දෙවි වූයේ (යළි) පසේබුදුබවට පැමිණෙයි.
‘සෝතානුධතා’ යනු: සද්ධර්‍මශ්‍රවණයෙන් කරන ලද වෙයි, අධිපඤ්ඤාධම්මවිපස්සනා නො ද කරන ලද වෙයි. ඔහුගේ සිත හටගත් තෘෂ්ණ ඇති වෙයි, නිර්වේදබවට නො ද යෙයි. මේ සූත්‍රය වැලිත් පුඟුලන් පස්දෙනකුන්ට දෙසන ලදි: සද්ධානුසාරී වූ මුදින්‍ද්‍රියහට ද තික්ඛින්‍ද්‍රියහට ද ධම්මානුසාරී වූ තික්ඛින්‍ද්‍රියහට ද මුදිඉන්‍ද්‍රියහට ද යම් මෝහචරිත පුද්ගලයෙක් ඇද්ද (හේ) යථාභූත වැ සමාධියට අනුරූප වූ විමුක්තියෙහි යෙදෙන්නට ගැටෙන්නට වෑයම් කරන්නට නො හැකි වෙයි. එකෙණෙහි ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඵලය දක්වයි, (?) (සාධු?) පිරිහෙයි. අනිකෙක් එය කෙලසයි? (නො තු ... අපරාපරියවේදනීයං?)
එයි යම් ධම්මානුසාරී පුද්ගලයෙක් වේ ද ඉදින් ඔහුට ශ්‍රැතයෙන් ධැරූ ධර්‍මයෝ වෙත් නම් හේ (යෝගයෙහි) යෙදෙනුයේ ඵලයට පැමිණෙයි, යමෙක් ධම්මානුසාරී මුදින්‍ද්‍රිය වේ ද හේ ගිලන් වූයේ පැමිණෙයි, යමෙක් සද්ධානුසාරී තික්ඛින්‍ද්‍රිය වේ ද හේ මරණ කාලයෙහි පැමිණෙයි, යමෙක් මුදින්‍ද්‍රිය වේ ද හේ දෙවිවූයේ පැමිණෙයි,
යම් කලෙක දෙවි වූයේ නො පැමිණේ ද හේ එමැ ධම්මරාගයෙන් ඒ ධම්මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණෙයි. යමෙක් ශ්‍රැතයෙන් ධැරූ දහම්හි යෙදේද ගැටේද වෑයම් කෙරේ ද, හේ පූර්‍වාපර විශේෂය අවබෝධ කෙරෙයි, අවබෝධ කරනුයේ පැමිණෙයි. ඉදින් ගිලන් වූවහුට මනසිකාරය වේද එහි යෙදෙනුයේ පැමිණෙයි, ඉදින් ඔහුට මරණකාලයෙහි සංවේගයට පැමිණියේ වේ ද, එහිදී යෙදෙනුයේ පැමිණෙයි. ඉදින් කිසිතැනකදීත් සංවේග නො වේ ද, දෙවි වූ සුවයට පැමිණි ඔහුට (ධම්මභූතා පාදා එවං අවිලපති?) දහම්පද මෙසේ වටහා ද? හේ මෙසේ දැනගනී: ‘යම් සසුනෙක පෙර මිනිස්වූ අපි බඹසර වුසූම් ද මේ ඒ ධර්‍මවිනය’ යි. එකල්හි දෙවිවූ හේ (ඵලයට) පැමිණෙයි. නොහොත් දිව්‍යමය පඤ්චකාමගුණයෙහි බැසගන්නාලදුයේ ප්‍රමාදවිහාරී වේ ද, හෙතෙම ඒ කුශල මූලය හේතු කොටගෙන පසේබුදුබවට පැමිණේ.
පරතෝ‍්ඝෝසයෙන් වචනයෙන් මනාකොට උපදවනලද යම් ප්‍රඥාවක් ඇද්ද මේ සුතමයි පඤ්ඤා නමු. යළි සිතින් විමසනලද යම් ධර්‍ම කෙනෙක් වෙත්ද මේ චින්තාමයි පඤ්ඤා නමු. නුවණින් මොනවට අවබෝධ කළ යම් ප්‍රඥාවක් වේ ද මේ භාවනාමයි පඤ්ඤා නමු. (යං සෝතානුධතා මනසා පරිචිතා හොන්ති?) යමෙක් ඉහාත්මයෙහි මැ පිරිනිවේ ද මේ රහත් පුද්ගල යි. යමෙක් (දෙවිබවට) පැමිණේ ද දෙවිවූයේ ඵලයට පැමිණේ ද එහිදී පිරිනිවේද මේ අනාගාමී යැ. යමෙක් ඒ කුශලමූලයෙන් පසේබුදුබවට පැමිණේ ද, මේ පූර්‍වයෝගසම්භාරයෙන් උපන් පුබ්බයොගාවචර පුද්ගල යි.
‘සෝතානුධතා ධම්මා’ යනු පළමුවන විමුත්තායතන යැ, ‘වචසා පරිචිතා’ යනු දෙවැනි තෙවැනි විමුත්තායතන යැ, ‘මනසානුපේක්ඛිතා’ යනු සතර වැනි විමුත්තායතන යැ. ‘දිට්ඨියා සුප්පටීවිද්ධා’ යනු පස්වැනි විමුත්තායතන යි.
ශ්‍රැතයෙන් ධරන ලද විමුක්තිය පිළිබඳ යම් වචනයක් මැනැවින් අවබෝධ කරන ලද ද අනුපූර්‍වධර්‍මය කනින් අසා ශීලස්කන්‍ධය පුරයි, සිතින් විමසනලද්දාහු සමාධිස්කන්‍ධය පුරයි, නුවණින් අවබෝධ කරනලද්දාහු ප්‍රඥාස්කන්‍ධය පුරයි.
ශ්‍රැතයෙන් ධරනලද දහම් ඇත්තාහු බහුශ්‍රුත වෙත් යයි විස්තර කළයුතු යැ. මේ පළමුවන ශ්‍රද්ධාචරිතය යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු විවේකය බහුල කොට ඇතියේ මෙසේ යයි විස්තර කළයුතු යැ. මේ දෙවැනි ශ්‍රද්ධාචරිතය යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු අනාස්‍රව චේතෝවිමුත්ති යැ, ‘නාපරං ඉත්‍ථත්තායාති පජානාති’ යනු මේ තෙවැනි ශ්‍රද්ධාචරිත යි.
‘සෝතානුධතා ධම්මා’ යි බුදුහු ශෛක්‍ෂපුද්ගලයා දක්වනසේක. ‘මනසා අනුපෙක්ඛිතා’ යි බුදුරජාණන් වහන්සේ රහත්හු දක්වන සේක, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි බුදුහු තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්වනසේක.