මනවඩන රූපයන්හි (සන්තති වශයෙන්) රාගයාගේ ජවනය පිණිස පැවැති (චක්‍ෂූර්ද්වාරයෙහි අයෝනිසෝමනසිකාර වූ ) ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. අමනෝඥ වූ රූපයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. එ දෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා රූපාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි (විචිකිත්සා ඖද්ධත්‍ය වශයෙන්) මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජන ක්‍රියාව්‍යාකෘත මනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. (උන්නති වශයෙන්) විනිබන්‍ධ වැ සිටි මානගේ ජවනය පිණිස පැවති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ. මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. (රූපාලම්බනයෙහි) වික්‍ෂෙපබවට ගිය ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. අනුශයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්‍ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන (රූපාදි වූ හෝ ධර්‍මාලම්බන වූ හෝ) ධර්‍මයන්හි රාගයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අමනෝඥ වූ ධර්‍මයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. එදෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා ධර්‍මාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. විනිබන්‍ධ වූ මානයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. වික්‍ෂේපයට පැමිණි ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අනිෂ්ඨාවට ගිය විචිකිත්සාවගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ අනුශයයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
අඤ්ඤාණචරියා යනු: කුමක් හෙයින් අඥානචර්‍ය්‍යා වී ද යත්:
රාගසහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යාද ද්වේෂ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මෝහ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සහිත වැ හැසිරේ නුයි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ රාගසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ද්වේෂසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මොහසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ. කුශලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අකුශලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සාවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනවද්‍යකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ කෘෂ්ණකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛොදය ඇති කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛොදය ඇති කර්‍මයන් සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛවිපාක වූ කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛවිපාක වු කර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ (යථාස්වභාවයෙන්) අඥාත වූ ආලම්බනයෙහි හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ උක්තප්‍රකාර වූ අඥානයාගේ මෙබඳු වූ චර්‍ය්‍යා වේ නු යි අඥානචර්‍ය්‍යා නමු. මේ අඥානචර්‍ය්‍යා යි.
ඥානචර්‍ය්‍යා කවර යත්:
අනිත්‍යානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනිත්‍යානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. දුඃඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දුඃඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. අනාත්මානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනාත්මානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. නිර්වේදානුදර්‍ශනය පිණිස විරාගානුදර්‍ශනය පිණිස ... නිරෝධානුදර්‍ශනය පිණිස ... පටිනිස්සග්ගානුදර්‍ශනය පිණිස ... ක්‍ෂයානුදර්‍ශනය පිණිස ... ව්‍යයානුදර්‍ශනය පිණිස ... විපරිණාමානුදර්‍ශනය පිණිස … අනිමිත්තානුදර්‍ශනය පිණිස ... අප්‍රණිහිතානුදර්‍ශනය පිණිස ... ශූන්‍යතානුදර්‍ශනය පිණිස ... අධිප්‍රඥාධර්‍මානුදර්‍ශනය පිණිස … යථාභූතඥානදර්‍ශනය පිණිස ... ආදීනවානුදර්‍ශනය පිණිස ... පටිසඞ්ඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ පටිසඞ්ඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. විවට්ටානානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යැ ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි.
ඥානචර්‍ය්‍යා යනු: කවර අරුතෙකින් ඥානචර්‍ය්‍යා වෙයි යත්:
රාග රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මාන රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, රාගයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මානයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටියෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍යයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සායෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශයයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කුශලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අකුශලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සාවද්‍යකර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කෘෂ්ණකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛොදයකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛොදයකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛවිපාක වූ කර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛවිපාක වූ කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, යථාස්වභාවය වූ ඥානාලම්බනයෙහි හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, උක්තප්‍රකාර වූ ඥානයාගේ මෙබඳු වු චර්‍ය්‍යාව වේ නු යි ඥානචර්‍ය්‍යා යැ. මේ ඥානචර්‍ය්‍යා යි.
විඥානචර්‍ය්‍යාව අනෙකක, අඥානචර්‍ය්‍යාව අනෙකක, ඥානචර්‍ය්‍යාව අනෙකකැ’යි ඒ චර්‍ය්‍යානානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “චරියාවවත්‍ථානෙ පඤ්ඤා චරියානානත්තේඤාණං’යි.
චර්‍ය්‍යානානාත්‍වඥානනිර්දේශ යි.
18. භූමිනානාත්‍ව ඥානය
කිසෙයින් සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන වෙයි යත්:
භූමි සතරෙකි: කාමාවචරභූමි යැ රූපාවචරභූමි යැ අරූපාවචරභූමි යැ අපරියාපන්නභූමි යි.
කාමාවචරභූමි කවර යත්: යටින් අවීචිනිරය පිරියත් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධධාතුආයතන කෙනෙක් වෙත් ද රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කෙනෙක් වෙත් ද මේ කාමාවචරභූමි නම.
රූපාවචරභූමි කවර යත්: යටින් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටාදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් බඹලොව) උපන්නහු ගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ රූපාවචරභූමි නම.
අරූපාවචරභූමි කවර යත්: යටින් ආකාසානඤ්චායතනූපගදෙවියන් පිරියත් කොට මතුභාගයෙන් නෛවසංඥානාසංඥායතනදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නාහු වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් අරූතලයෙහි) උපන්නහුගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ අරූපාවචරභූමි නම.
අපර්‍ය්‍යාපන්නභූමි කවර යත්: මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතුව ද අපර්‍ය්‍යාපන්නයෝ යැ. මේ අපර්‍ය්‍යාපන්නභූමි නමි. මොහු සතර භූමි නම් වෙත්.
අනෙකුදු භූමි සතරෙකි. සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක් ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ සතර ධ්‍යානයෝ යැ සතර අප්‍රාමාණ්‍යයෝ යැ සතර අරූපසමාපත්තීහු යැ සතර ප්‍රතිසංවිද්හු යැ සතර ප්‍රතිපත්හු යැ සතර ආලම්බනයෝ යැ සතර ආර්‍ය්‍යවංශයෝ යැ සතර සඞ්ග්‍රහවස්තූහු යැ චතුශ්චක්‍රයෝ යැ සතර ධර්‍මපදයෝ යි. මොහු සතරභූමි නම් වෙත්.
ඒ භූමිනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුධම්මවවත්‍ථානෙ පඤ්ඤා භූමිනානත්තේ ඤාණං’යි.
භූමිනානාත්‍වඥානනිර්දේශ යි.
19. ධර්‍මනානාත්‍ව ඥානය
කිසෙයින් නවධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන වෙයි යත්:
කිසෙයින් ධර්‍මයන් ව්‍යවස්ථා කෙරේ ද යත්: කාමාවචර ධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අරූපාවචර ධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි.
කිසෙයින් කාමාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ ද යත්: දශකුශලකර්‍මපථයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, දශ අකුශල කර්‍මපථයන් අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපය ද විපාකය ද ක්‍රියාව ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් කාමාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කිසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස්ලොවැ සිටියහුගේ සතර ධ්‍යානයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, (විපාක වශයෙන්) එ බඹලොවැ උපන්නහුගේ සතර විපාකධ්‍යානයන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, මෙසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කිසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස් ලොවැ සිටියහුගේ සතර අරූපාවචරසමාපත්තීන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, ඒ අරූතලයෙහි උපන්නහුගේ සතර විපාක අරූපාවචරසමාපත්තීන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
කිසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. සතර ශ්‍රාමණ්‍යඵලයන් ද නිර්‍වාණය ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් ධර්‍මයන් ව්‍යවස්ථා කෙරේ.
ප්‍රාමෝද්‍යමූලධර්‍මයෝ නව දෙනෙකි: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සන්හුන් දරථ ඇත්තේ වෙයි. නිවුණුකය ඇත්තේ චෛතසික සුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (උදයව්‍යයඥානාදි වශයෙන් සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ සංස්කාරයන්හි උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංසාකාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්‍වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. දුඃඛ වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... අනාත්ම වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ...
රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකාය සන්හුන් දරථ ඇත්තේ වෙයි. සැහැල්ලු වූ කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංස්කාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්‍වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. මොහු නවදෙන ප්‍රාමෝද්‍යමූලකධර්‍මයෝ යි.
යොනිසොමනසිකාරමූලකධර්‍මයෝ නව දෙනෙකි: අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහු ගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත අරමුණෙහි සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
දුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
අනාත්ම විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... රූපය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය දුඃඛ විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස .. ජරාමරණය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ජරාමරණය දුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... ජරාමරණය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනැගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යි යථාස්වභාවයෙන් දැනගනී. මොහු නවදෙන යොනිසොමනසිකාරමූලකධර්‍මයෝ යි.
නානාත්‍වයෝ නවදෙනෙකි: ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී. සංකල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. මොහු නව නානාත්‍වයෝ යි.
ඒ ධර්‍මනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නව ධම්මවවත්‍ථානෙ පඤ්ඤා ධම්මනානත්තේ ඤාණං’යි.
ධර්‍මනානාත්‍වඥානනිර්දේශ යි.
20-24. ඥානපඤ්චකය
කිසෙයින් අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථඥාන වෙයි, පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන වෙයි, ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන වෙයි, භාවනාප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන වෙයි, සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥාව ස්පර්‍ශනාර්‍ත්‍ථඥාන වෙයි යත්:
යම් යම් ධර්‍ම කෙනෙක් (ධර්‍මස්වභාවලක්‍ෂණ දැනීම් වශයෙන්) මොනොවට දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ දන්නාලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන්) හාත්පසින් දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ තීරණය කරනලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (භඞ්ගානුදර්‍ශනයෙහි පටන්) ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යක්ත වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් වඩනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ එකකෘත්‍ය වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ (ප්‍රතිලාභප්‍රතිවේධස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කරනලද්දාහු වෙත්.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: අභිඤ්ඤපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහාණපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනාපඤ්ඤා ඒකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං’යි
පඤ්චකඥානනිර්දේශ යි.
25-28. ප්‍රතිසංවිද් ඥානය
කිසෙයින් අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන වෙයි, ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන වෙයි, නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන වෙයි, ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ධර්‍මයෙක, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ධර්‍මයෙක, සමාධීන්‍ද්‍රිය ධර්‍මයෙක, ප්‍රඥේන්‍ද්‍රිය ධර්‍මයෙකි, ශ්‍රද්ධේන්‍ද්‍රිය අනෙකෙක, වීර්ය්‍යේන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, සමාධීන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, ප්‍රඥේන්‍ද්‍රියධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද ඒ ඥානයෙන් මැ මේ නානාධර්‍මයෝ අභිමුඛභාවයෙන් දන්නාලද්දාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යි
අධිමෝක්‍ෂකෘත්‍යය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහකෘත්‍යය අර්‍ත්‍ථයෙක, උපස්ථාන (වැටහීම්) කෘත්‍යය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපකෘත්‍යය අර්‍ත්‍ථයෙක, දර්‍ශනකෘත්‍යය අර්‍ත්‍ථයෙකි. අධිමෝක්‍ෂකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහකෘත්‍යසංඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, දර්‍ශනකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට වූවාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
සද්ධින්‍ද්‍රියාදි පඤ්චධර්‍මයන් (පරහට) දක්වනු සඳහා චතුර්විධ නාමව්‍යඤ්ජන නාමනිරුක්ති නාමාභිලාපයෝ වෙති. (අධිමෝක්‍ෂාදි) පඤ්චාර්‍ත්‍ථයන් දක්වනු සඳහා නාමව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ නිරුක්තීහු දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මයෙහි ඥානයෝ යැ, අර්‍ත්‍ථයෙහි ඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තියෙහි ඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං”යී.
ශ්‍රද්ධාබලය ධර්‍මයෙක, වීර්‍ය්‍යබලය ධර්‍මයෙක, ස්මෘතිබලය ධර්‍මයෙක, සමාධිබලය ධර්‍මයෙක, ප්‍රඥාබලය ධර්‍මයෙකි. ශ්‍රද්ධාබලය අන්‍යධර්‍මයෙක, වීර්‍ය්‍යබලය අන්‍යධර්‍මයෙක, ස්මෘතිබලය අන්‍යධර්‍මයෙක, සමාධිබලය අන්‍යධර්‍මයෙක, ප්‍රඥාබලය අන්‍යධර්‍මයෙකි. යම් ඥානයෙකින් මේ විවිධ ධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි. “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙකි. අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙකි, යම් ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං”යී.
ශ්‍රද්ධාබලාදි පඤ්චධර්‍මයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙති. පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධනිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධ නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී.
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ, අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍මයෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අනෙකෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ විවිධධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධධර්‍මයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
උපස්ථාන (එළඹසිටි) ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රවිචය ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහස්වභාවය අර්‍ත්‍ථයෙක, පැතිරීම් ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපශම ස්වභාවය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේප ස්වභාවය අර්‍ත්‍ථයෙක, මධ්‍යස්ථ ස්වභාවය අර්‍ත්‍ථයෙකි. උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රවිචයස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පැතිරීම් ස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපශමස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, මධ්‍යස්ථස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ ඥානාර්‍ත්‍ථයෝ දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ අභිමුඛ කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
සතිසම්බොජ්ඣඞ්ගාදි සප්තධර්‍මයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. උපස්ථානාදි සප්තාර්‍ත්‍ථයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානා නිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානා නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
සප්තධර්‍මඥානයෝ යැ සප්ත අර්‍ත්‍ථඥානයෝ යැ. තුදුස්නිරුක්තිඥානයෝ යී. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ. අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
සම්‍යග්දෘෂ්ටිය ධර්‍මයෙක, සම්‍යක්සංකල්පය ධර්‍මයෙක, සම්‍යග්වචනය ධර්‍මයෙක, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයෙක, සම්‍යගාජීවය ධර්‍මයෙක, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයෙක, සම්‍යක්ස්මෘතිය ධර්‍මයෙක, සම්‍යක්සමාධිය ධර්‍මයෙකි. සම්‍යග්දෘෂ්ටිධර්‍මය අනෙකෙක, සම්‍යක්සංකල්පධර්‍මය අනෙකෙක, සම්‍යග්වචනධර්‍මය අනෙකෙක, සම්‍යක්කර්‍මාන්තධර්‍මය අනෙකෙක, සම්‍යගාජීවධර්‍මය අනෙකෙක, සම්‍යග්ව්‍යායාමධර්‍මය අනෙකෙක, සම්‍යක්ස්මෘතිධර්‍මය අනෙකෙක, සම්‍යක්සමාධිධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යී.
දර්‍ශනස්වභාවය අර්‍ත්‍ථයෙක, අභිනිරෝපණ (සිත අරමුණට නඟන) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිග්‍ර (චතුර්විධ වාක්සංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, සමුත්‍ථාන (ත්‍රිවිධ කායසංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිශුද්ධස්වභාවය අර්‍ත්‍ථයෙක, (වීර්‍ය්‍ය වශයෙන්) ප්‍රග්‍රහ ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපස්ථානාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙකි. දර්‍ශනස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අභිනිරෝපණස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, සමුත්‍ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිශුද්ධස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාඅර්‍ත්‍ථයෝ දන්නාහලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානා අර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අර්‍ත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
අෂ්ටධර්‍මයන් (මෙරමාහට) දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. අෂ්ටඅර්‍ත්‍ථයන් දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානානිරුක්තීහු දන්නා ලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
අෂ්ටධර්‍මඥානයෝ යැ අෂ්ටඅර්‍ත්‍ථඥානයෝ යැ සොළොස් නිරුක්තිඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ. නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ මොනොවට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථානත්තෙ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
ප්‍රතිසංවිද්ඥානනිර්දේශ යි.
29-31. ඥානත්‍රය
කිසෙයින් (අනිත්‍යානුදර්‍ශනාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන වෙයි, (අනිමිත්තාදි) සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථ ඥාන වෙයි, විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන වෙයි යත්:
සංස්කාරනිමිත්ත භය විසින් මොනොවට දක්නේ සංස්කාරනිමිත්ත ප්‍රතිපක්‍ෂ නිර්‍වාණයෙහි අධිමුක්ත (නිම්න) බැවින් (සංස්කාරනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය (විදර්‍ශනාඥානයෙන්) දකී නම් (ඒ) අනිමිත්තවිහාර නම් වෙයි. තෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ (තෘෂ්ණාප්‍රතිපක්‍ෂ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) අප්‍රණිහිතවිහාර නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ (ආත්මවිරහිත වූ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (අභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) ශූන්‍යතවිහාර නම් වේ.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්ත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට තෘෂ්ණාප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අද්මුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
නිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (සංස්කාරනිමිත්ත නුවණින් ස්පශී කොට කොට (එණි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, විපාක ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵල සමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිත විහාරසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ආත්මාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශුන්‍යතවිහාර සමාපත්ති නම් වේ.
රූපනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. රූපතෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශය කොට කොට භඞ්ගය දකී නම්, අප්‍රණීහිතවිහාර නම් වෙයි. රූපාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ශූන්‍යතවිහාර නම් වේ.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්ත සමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
රූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකි නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
වේදනානිමිත්ත ... සංඥානිමිත්ත ... සංස්කාරනිමිත්ත ... විඥානනිමිත්ත ... චක්ඛුනිමිත්ත ... ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණ ප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් අප්‍රණිහිතවිහාර නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ශූන්‍යතවිහාර නම් වේ.
ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අනිමිත්ත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
අනිමිත්තවිහාරය අනෙකෙක, අප්‍රණිහිතවිහාරය අනෙකෙක, ශූන්‍යතවිහාරය අනෙකෙකි. අනිමිත්තසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතසමාපත්තිය අනෙකක, ශූන්‍යතසමාපත්තිය අනෙකකි. අනිමිත්තවිහාරසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතවිහාරසමාපත්තිය අනෙකක, ශූන්‍යතවිහාරසමාපත්තිය අනෙකකි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විහාරනානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්තිනානත්තේ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණ, විහාරසමාපත්තිනානත්තේ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං’යී.
ඥානත්‍රයනිර්දේශ යි.
32. ආනන්තරිකසමාධි ඥානය
කිසෙයින් අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආශ්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන වෙයි යත්:
නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිතෙහි එකඟ බව යයි කියනලද අවික්‍ෂේප සමාධිය වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්‍ගඥානය (යථාක්‍රමයෙන්) උපදී. ඒ ඥානයෙන් ආශ්‍රවයෝ (සමුච්ඡේදවශයෙන්) ක්‍ෂය වෙත්. මෙසේ පූර්‍වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි (මාර්‍ගක්‍ෂණයෙහි) ඥානය වේ. ඒ මාර්‍ගඥානයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධතා ආසවසමුච්ඡේද පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
ආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ටාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
කොතැන්හි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා සමග එක්වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
අනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
රහත්මඟින් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
අව්‍යාපාදවශයෙන් ... ආලොකසංඥාවශයෙන් ... අවික්‍ෂේපවශයෙන් ... ධම්මවවත්‍ථානවශයෙන් ... ඥානවශයෙන් ... ප්‍රාමෝද්‍යවශයෙන් ... ප්‍රථමධ්‍යාන වශයෙන් ... ද්විතීයධ්‍යානවශයෙන් ... තෘතීයධ්‍යානවශයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන් ... ආකාසානඤ්චායතනසමාපත්තිවශයෙන් ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවශයෙන් ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... පඨවිකසිණවශයෙන් ... ආපෝකසිණ වශයෙන් … තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ඔදාතකසිණ වශයෙන් ... ආකාසකසිණ වශයෙන් ... විඤ්ඤාණකසිණ වශයෙන් ... බුද්ධානුස්සති වශයෙන් ... ධම්මානුස්සති වශයෙන් ... සඞ්ඝානුස්සති වශයෙන් ... සීලානුස්සති වශයෙන් ... චාගානුස්සති වශයෙන් ... දේවතානුස්සති වශයෙන් ... ආනාපානසති වශයෙන් ... මරණසති වශයෙන් ... කායගතාසති වශයෙන් ... උපසමානුස්සති වශයෙන් ... උද්ධුමාතක සංඥා වශයෙන් ... විනීලක සංඥා වශයෙන් ... විපුබ්බක සංඥා වශයෙන් ... විච්ඡිද්දක සංඥා වශයෙන් ... වික්ඛායිතක සංඥා වශයෙන් ...
වික්ඛිත්තක සංඥා වශයෙන් ... හතවික්ඛිත්තක සංඥා වශයෙන් ... පුළවක සංඥා වශයෙන් ... අට්ඨික සංඥා වශයෙන් ... දීර්‍ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් ... දීර්‍ඝ කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... හ්‍රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් ... හ්‍රස්ව කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාස සඞ්ඛ්‍යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (සංඥාවේදනා සඞ්ඛ්‍යාත) චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (අරමුණෙහි) සිත සම වැ තබමින් ... සිත (නීවරණාදියෙන්) මුදමින් ... අනිත්‍යනුපස්සනා වශයෙන් බලමින් ... විරාගානුපස්සනා වශයෙන් බලමින් ... නිරෝධානුපස්සනා වශයෙන් බලමින් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාව අවික්‍ෂේප සමාධි නම් වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්‍ගඥානය උපදී. ඒ ඥානයෙන් ආස්‍රවයෝ ක්‍ෂය වෙත්. මෙසේ පූර්‍වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි ඥානය වෙයි. ඒ ඥානයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
ආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
කොතැන්හි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත් ද යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනිය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
අනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
රහත්මඟින් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණ” යී.
ආනන්තරිකසමාධිඥාන නිර්දේශ යි.
33. අරණවිහාර ඥානය
කිසෙයින් දර්‍ශනාධිපතිභාවය ද ශාන්තවිහාරාධිගමය ද ප්‍රණීතාදිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥාන වෙයි යත්:
දස්සනාධිපතෙය්‍යං යනු: අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි දුක්ඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි.
සන්තෝ ච විහාරාධිගමො යනු: ශුන්‍යතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අනිමිත්තාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අප්‍රණිහිතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වේ.
පණීතාධිමුත්තතා යනු: ශුන්‍යතඵලසමාපත්තියෙහි (පූර්‍වභාගප්‍රඥා වශයෙන්) අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අනිමිත්තඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අප්‍රණිහිතඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වේ.
අරණවිහාරො යනු: (අර්‍හත්ඵලසමාපත්තියට සමවදිනු කැමැත්තහුගේ විදර්‍ශනාවට අරමුණු වූ) ප්‍රථමධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තිය අරණවිහාර නම් වෙයි ... නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිය අරණවිහාර නම් වේ.
අරණවිහාරො යනු කවර අරුතෙකින් අරණවිහාර වේ ද යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. මේ අරණවිහාර යි.
ඒ අරණවිහාරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දස්සනාධිපතෙය්‍යං සන්තෝ ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරේ ඤාණං’ යී.
අරණවිහාරඥාන නිර්දේශ යි.