Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 601-700 න් 2879

1. නිකාන්ති සහිත බැවින් සාමිෂ යැ (නිකාන්ති රහිත බැවින්) නිරාමිෂ යැ. (නිකාන්ති ප්‍රණිධියෙන් සිටි බැවින්) ප්‍රණිහිත යැ. (තදභාවයෙන්) අප්‍රණිහිත යැ. (නිකාන්ති සංයෝගයෙන්) සංයුක්ත යැ (තදභාවයෙන්) විසංයුක්ත යැ (නිකාන්තිය සිඳුනා බැවින්) ව්‍යුත්‍ථිත යැ (තදභාවයෙන්) අච්‍යුත්‍ථිත යි.
2. ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් සමාධියට ප්‍රත්‍යයෝ වෙති. දසදෙනෙක් ඥානයට ගෝචර වූවාහු වෙති. අටළොස් ගොත්‍රභූධර්‍මයෝ තුන් විමෝක්‍ෂයට ප්‍රත්‍යයෝ වෙත්.
3. මේ අටළොස් ආකාර ප්‍රඥාවෝ යමක්හු විසින් පුරැදු කරන ලද්දාහු ද ඒ විවර්‍තයෙහි හා ව්‍යුත්‍ථානයෙහි නිපුණ වූයේ නානා දෘෂ්ටීන්හි නො සැලේ යයි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගෝත්‍රභූඤාණං’ යි.
ගෝත්‍රභූඥාන නිර්දේශ යි.
11. මාර්‍ග ඥානය
කී සෙයින් උභතොව්‍යුත්‍ථානවිවර්‍තනයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:
සෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය (දෙසැට) මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟෙයි. තදනුවර්‍තක (මිථ්‍යාදෘෂ්ටිය අනුවැ පවත්නා) ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැගේ. එයින් කියනු ලැබෙයි. ‘දුභතොවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
අභිනිරෝපණස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පය කෙරෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි.
පරිග්‍රහ (සතර වාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
සමුත්‍ථාන (කාරණ) භාවයෙන් සම්‍යක්කර්‍මාන්තය (ප්‍රාණවධාදි) මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාර නිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
පරිශුද්ධභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
පරිශුද්ධභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
එළඹ සිටුනා බැවින් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් නැඟී සිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්තයන් ගෙන් ද නැඟීසිටී, එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..
සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.
අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුසහගත (සියුම්) වූ කාමරාගසංයෝජනයෙන් ද ප්‍රතිඝසංයෝජනයෙන් ද අණුසහගත වූ කාමරාගානුශයෙන් ද ප්‍රතිඝානුශයෙන් ද නැඟීසිටී. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඹෟද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..
1. ස්වසන්තානයෙහි උපන් ලෝකෝත්තරධ්‍යානයෙන් (තත්සමඞ්ගී පුද්ගල තෙමේ) නූපන් ක්ලේශය දවයි, එකරුණෙන් එය ධ්‍යාන යයි කියනු ලැබේ. ඒ ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්ත වූ ධ්‍යානයෙහි ද විමෝක්‍ෂ සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයෙහි ද කුශල බව හේතු කොටගෙන නානා දෘෂ්ටීන්හි කම්පා නො වේ.
2. ආලම්බනෝපවාරක්‍ෂණිකසමාධීන් අතුරෙන් එක්තරා සමාධියකින් චිත්තසමාධානය කොට යම්සේ විදර්‍ශනා කෙරේ ද, විදර්‍ශනා කරනුයේ එසෙයින් ම චිත්තසමාධානය ද කරන්නේ ය. එකල්හි විදර්‍ශනාව ද ශමථය ද වෙති. සමභාග වූ ශමථවිදර්‍ශනාධර්‍මයෝ යුගනන්‍ධ වූවාහු පවත්නාහ.
3. සංස්කාරයෝ දුඃඛයෝ යැ, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණ සුව යැ යි දර්‍ශන සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගඥානය ‘දුභතෝ වුට්ඨානපඤ්ඤා’ නමු. (ඒ ප්‍රඥාව මැ) අමෘතපද සඞ්ඛ්‍යාත නිවන ආලම්බනස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
4. විමෝක්‍ෂයන්ගේ නානාත්‍වයෙහි ද ඒකත්‍වයෙහි ද නිපුණ වූයේ විමොක්‍ෂප්‍රවෘත්තිය අසම්මූඪවශයෙන් දැනගනී, දර්‍ශනසඞ්ඛ්‍යාත වූ ද භාවනාසඞ්ඛ්‍යාත වූ ද ඥානද්වයයාගේ නිපුණබව හේතු කොටගෙන ශාශ්වතාදි නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.
ඒ මාර්‍ගඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
මාර්‍ගඥාන නිර්දේශ යි.
12. ඵල ඥානය
ප්‍රයෝගනිෂ්ඨාවෙහි (-ආර්‍ය්‍යමාර්‍ගනිමිත්තෙන් ක්ලේශයන්ගේ සංසිඳීමෙහි) ප්‍රඥාව කිසෙයින් ඵලඥාන නම් වෙයි යත්:
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ ඍජුප්‍රතිපක්‍ෂයන් දර්‍ශනභාවයෙන් මිථ්‍යාදෘෂ්ටිය කෙරෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟීසිටී. (යථෝක්ත ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ හැම සංස්කාර නිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධා දෙකින්) වුත්‍ථානාදී ප්‍රයෝගය සන්හුන්වන බැවින් (මාර්‍ගානන්තර වැ එක් දෙ වටෙක හෝ, ඵලසමාපත්තිකාලයෙහි නො එක් වට, නිරෝධයෙන් නැඟෙනුවහුට දෙවටෙක) සම්‍යග්දෘෂ්ටිය උපදී, තෙල (විපාකසම්‍යග්දෘෂ්ටිය) ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්පය තෙමේ මිථ්‍යාසඞ්කල්පයෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාසඞ්කල්පය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනුදු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාර නිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්සඞ්කල්පය උපදී. තෙල විපාක වූ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
සම්‍යග්වචනය පරිග්‍රහභාවයෙන් මිථ්‍යාවචනයෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාවචනය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්වචනය උපදී, තෙල විපාක වූ සම්‍යග්වචනය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵලය යි.
සම්‍යක්කර්‍මාන්ත තෙමේ සමුත්‍ථානභාවයෙන් මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්ම්‍යක්කර්‍මාන්තය උපදී. තෙල විපාක වූ සම්‍යක්කර්‍මාන්තය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
සම්‍යගාජීව තෙමේ ව්‍යවදානභාවයෙන් මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යගාජීවය උපදී. තෙල විපාක වූ සම්‍යගාජීවය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
සම්‍යග්ව්‍යායාම තෙමේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්ව්‍යායාමය උපදී. තෙල විපාක වූ සම්‍යග්ව්‍යායාමය මාර්‍ගයාගේ ඵල යි.
සම්‍යක්ස්මෘති තොමෝ උපස්ථානභාවයෙන් මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්ස්මෘති තොමෝ උපදී. තෙල විපාක වූ සම්‍යක්ස්මෘතිය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
සම්‍යක්සමාධි තෙමේ අවික්‍ෂේපභාවයෙන් මිථ්‍යාසමාධිය කෙරෙන් නැඟෙයි, තදනුවර්‍තක වූ කෙලෙසුන් කෙරෙනුදු ස්කන්‍ධයන් කෙරෙනුදු නැඟෙයි. ඒ (ක්ලේශස්කන්‍ධයන්)කෙරෙන් පිටත් හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්ත-බහිද්ධා දෙකින් වුට්ඨානාදි) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්සමාධිය උපදී තෙල විපාක වූ සම්‍යක්සමාධිය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
සකෘදාගාමිමාර්‍ගය උපදනා ඇසිල්ලෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ දර්‍ශනභාවයෙන් ... සම්‍යක්සමාධි තෙමේ අවික්‍ෂේපභාවයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි. ඒ කාමරාගසංයෝජනාදිය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදි) ප්‍රයෝගය සන්හුන් වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය (සකෘදාගාමී) ආර්‍ය්‍යමාර්‍ගයා ගේ ඵල යි.
අනාගාමීමාර්‍ගය උපදනා ඇසිල්ලෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ දර්‍ශනභාවයෙන් ... අවික්‍ෂේපභාවයෙන් සම්‍යග්සමාධි තෙමේ අණුසහගත වූ කාමරාගසංයෝජනයා කෙරෙන් ප්‍රතිඝසංයොජනයා කෙරෙන් අණුසහගත කාමරාගානුශයා කෙරෙන් ප්‍රතිඝානුශයා කෙරෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟීසිටී (ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදී) ප්‍රයෝගය සන්හුන් වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය අනාගාමීමාර්‍ගයාගේ ඵල යි.
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනභාවයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ... අවික්‍ෂේපභාවයෙන් සම්‍යක්සමාධි තෙමේ රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී. (ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදි) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය අර්‍හන්මාර්‍ගයාගේ ඵල යි.
ඒ ඵලඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “පයෝගපටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං” යි.
ඵලඥාන නිර්දේශ යි.
13. විමුක්ති ඥානය
කිසෙයින් ඒ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමුච්ඡින්න වූ උපක්ලේශයන් පසුව බැලීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන වෙයි යත්:
ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සක්කායදාෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ (සමුච්ඡේදප්‍රහාණයෙන් අනුත්පාදනිරෝධයෙන්) මැනැවින් සිඳුනා ලද්දාහු වෙති, පර්‍ය්‍යුත්‍ථාන සහිත වූ මේ පඤ්චොපක්ලේශයන් කෙරෙන් සිත විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
සකෘදාගාමිමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ ඖදාරික කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයා ගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතරඋපක්ලේශයන් කෙරෙන් චිත්තය සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතර උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඥාණං” යි.
අර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ මානානුශය යැ භවරාගානුශය යැ අවිජ්ජානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වු මේ අට උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
ඒ විමුක්තිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
විමුක්තිඥාන නිර්දේශ යි.
14. ප්‍රත්‍යවේක්‍ෂා ඥානය
කිසෙයින් ඒ මාර්‍ග-ඵලක්‍ෂණයෙහි ප්‍රතිලාභ-ප්‍රතිවේධ වශයෙන් පැමිණි මාර්‍ගඵලධර්‍මයන් ද චතුස්සත්‍යධර්‍මයන් ද දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි යත්:
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (පරිඥාභිසමයාදි ලක්‍ෂණයෙන් චතුස්සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි (හේතුයෙන්) පහළවූ යැ, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්ප තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයෙ යැ, පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, සමුත්‍ථාන (කාරණ) භාවාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත තෙමේ ඒ මඟ කෙණෙහි සමුදාගත යැ, පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව තෙමේ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයේ යැ.
උපස්ථාන (-අරමුණට පැමිණ සිටුනා) භාවයෙන් ස්මෘතිසම්සම්බොධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ස්ඵරණාර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ.
අශ්‍රද්ධායෙහි අචලාර්‍ත්‍ථයෙහි ශ්‍රද්ධාබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, කෞෂීද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රමාදයෙහි අචලාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය එකෙණෙහි සමුදාගත යැ, ඖද්ධත්‍යයෙහි අචලාර්‍ත්‍ථයෙන් සමාධිබලය එකෙණෙහි සමුදාගත යැ, අවිද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය එකෙණෙහි සමුදාගත යැ.
අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය එකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහු යැ, අචලභාවාර්‍ත්‍ථයෙන් බලයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් සම්බෝධ්‍යඞ්ගයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය තෙමේ එකෙණෙහි සමුදාගතය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගතයෝ යැ, සමෘද්ධිභාවයෙන් ඍද්ධිපාදයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවිසංවාදකාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය එකෙණෙහි සමුදාගත යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා තොමෝ එකෙණෙහි සමුදාගත යැ, ඒකකෘත්‍යභාවයෙන් ශමථවිදර්‍ශනා එකෙණෙහි සමුදාගත යැ, (ඔවුනොවුන්)නො ඉක්මැ පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය එකෙණෙහි සමුදාගත යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපභාවයෙන් චිත්තවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, විමුක්ත (-කෙලෙසුන් කෙරෙන් මිදුණු) බැවින් විමෝක්‍ෂයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, සත්‍ය ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව එකෙණෙහි සමුදාගත යැ, (ක්ලේශයන්ගේ) පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය එකෙණෙහි සමුදාගත යැ, ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) ඥානය එකෙණෙහි සමුදාගත යැ.
කුශලධර්‍මයන් ගේ කත්තුකම්‍යතා ඡන්‍ද තෙමේ (ප්‍රතිපත්තියට ද නිෂ්පත්තියට ද මූල හෙයින්) මූලාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත්‍ථාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ. ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යමාර්‍ග ප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයනට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්තිය (ස්ථිර හෙයින්) සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමෘත හෙයින් සත්නට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය (ශාසනයාගේ නිෂ්ඨාව හෙයින්) පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, (ඵලාවසානයෙහි) නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යඵලප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයන්ට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්ති තොමෝ සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලාවසානයෙහි නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්‍හත්ත්‍වමාර්‍ගක්‍ෂණයෙහි ... දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළ වූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි පහළ වූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
ඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “තදා සමුදාගතෙ ධම්මේ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණ ඤාණං”යී.
ප්‍රත්‍යවේක්‍ෂාඥානනිර්දේශ යි.
15. වස්තුනානාත්‍ව ඥානය
කිසෙයින් අධ්‍යාත්මධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වයෙහි (නානාවස්තූන්හි) ඥාන නම් වෙයි යත්:
කිසෙයින් අධ්‍යාත්මධර්‍මයන් පිරිසිඳ (නියම කොට) දනී ද යත්:
(සසම්භාර ප්‍රසාද සඞ්ඛ්‍යාත) අධ්‍යාත්ම චක්‍ෂුස නිශ්චය කෙරෙයි. (පිරිසිඳ දනී.) අධ්‍යාත්ම වූ ශ්‍රෝතස නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ කාය නිශ්චය කෙරෙයි, අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි.
අධ්‍යාත්ම වු චක්‍ෂුස කිසෙයින් නිශ්චය කෙරෙයි යත්: චක්‍ෂුස (ඇස) අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. ඇස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි, ඇස සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. ඇස (අධවාවශයෙන් හෝ සන්තතිඛණවසයෙන් හෝ) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. ඇස හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි, ඇස (උදයෙන් පෙර) නොතිබී හටගත. (ව්‍යයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. ඇස අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ඇස අස්ථිර යැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. ඇස අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයවන ස්වභාව යැ නැසෙන ස්වභාව යැ විරාගස්වභාව යැ නිරුද්ධවන ස්වභාව යැයි නිශ්චය කෙරෙයි.
ඇස අනිත්‍යහෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍යහෙයින් නිශ්චය නො කෙරෙයි, දුඃඛහෙයින් නිශ්චය කෙරෙයි, සුඛහෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්මහෙයින් නිශ්චය කෙරෙයි. ආත්මහෙයින් නිශ්චය නො කෙරෙයි. නිර්වේදයට පැමිණෙයි. සතුටු නොවෙයි. විරාගයට පැමිණෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි නූපදවයි. දුරලයි ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍යහෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුක්ඛහෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි අනාත්මහෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි උකටලී වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ චක්‍ෂුස නිශ්චය කෙරේ.
කිසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරෙයි යත්: ශ්‍රෝතය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරේ.
කිසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි යත්: ඝ්‍රාණය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරේ.
කිසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි යත්: ජීහ්වාව අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. දිව (අද්ධාවශයෙන් හෝ සන්තතිඛණවශයෙන් හෝ) උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි. දිව (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. දිව අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. දිව අස්ථිරයැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. දිව අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යැයි නිශ්චය කෙරේ.
දිව අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... දුරැලයි. ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි ... දුරැලනුයේ ආදානය හැරපිය යි. මෙසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරේ.
කිසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරෙයි යත්: කය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි. කය සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. කය (අධ්වා වශයෙන් හෝ සන්තතිඛණ වශයෙන් හෝ උත්පන්න යැයි නිශ්චය කෙරෙයි. කය හේතුයෙන් සමුත්‍ථිත යැයි නිශ්චය කෙරෙයි. කය (උදයෙන් පෙර) නො තිබී හටගත (ව්‍යයයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. කය අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. කය අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය යැ ප්‍රත්‍යයෙන් උපන. ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂය වන ස්වභාව යැ නැසෙන පියවි ඇත්තේ යැ නිරුද්ධවන පියවි ඇත්තේ යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. ... දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරැලයි ... හැරපියනුයේ ආදානය දුරැලයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරේ.
කිසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි යත්: (භවාඞ්ග) මනස අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (අද්ධාසන්තති විසින්) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. මනස ප්‍රත්‍යයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. මනස අන්තවත් යයි නිශ්චය කෙරෙයි. මනස අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාම ස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය යැ සඞ්ඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි, අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි, උකටලිවෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරැලයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. නිර්වේදයට පැමිණෙනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි, මෙසේ අධ්‍යාත්මධර්‍මයන් නිශ්චය කෙරේ.
ඒ වස්තුනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අජ්ඣත්තවවත්‍ථානෙ පඤ්ඤා වත්‍ථුනානත්තේ ඤාණං’යි.
වස්තුනානාත්‍ථඥානනිර්දේශ යි.
16. ගෝචරනානාත්‍ව ඥානය
කිසෙයින් බාහිරවිෂයයන් පිරිසිඳදැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන වෙයි යත්:
කිසෙයින් බාහිරධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: අධ්‍යාත්මයෙන් බාහිර වූ රූපායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යධර්‍මයන් නිශ්චය කෙරෙයි. (භවාඞ්ගමනස්සම්ප්‍රයුක්ත) වූ බාහිර ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් බාහිරරූපයන් නිශ්චය කෙරෙයි යත්: රූපායතනධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ කර්‍මහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ ආහාරහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (අද්ධාවශයෙන් සන්තතිඛණ වශයෙන්) උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (උදයෙන් පෙර) නො තිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි, රූපයෝ අස්ථිරයහ, අශාශ්වතයහ, විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරේ.
රූපායතනධර්‍මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර රූපායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් බාහිර ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ශබ්දයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (අධ්වාවශයෙන් ඛණසන්තති වශයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දායතන ධර්‍මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අස්ථිරයහ. අශාශ්වතයහ විපරිණාමස්වභාවහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ගන්‍ධයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ගන්‍ධයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: රසයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි රසයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ස්ප්‍රෂ්ටව්‍යායතනධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ ආහාර හේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ (අද්ධාවශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
කිසෙයින් ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ධර්‍මයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ ආහාරහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ (අද්ධා වශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ, තිබී (ව්‍යයයෙන් මත්තෙහි) නොවන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ අස්ථිරයහ අශාශ්වතයහ. විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ අනිත්‍යයහ. ප්‍රත්‍යයොත්පන්නයහ. ප්‍රතීත්‍යසමුත්පන්නයහ ... ක්‍ෂයස්වභාවයහ. ව්‍යයස්වභාවයහ. විරාගස්වභාවයහ. නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි.
ධර්‍මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි. ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි. සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. ... අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. විරාගයට පැමිණෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර වු ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
ඒ ගෝචරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වවත්‍ථානෙ පඤ්ඤා ගෝචරනානත්තේ ඤාණං’යි.
ගෝචරනානාත්‍වඥාන නිර්දේශ යි.
17. චර්‍ය්‍යානානාත්‍ව ඥානය
කිසෙයින් චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි යත්:
චර්‍ය්‍යා යනු චර්‍ය්‍යා තුනෙකි: විඥානචර්‍ය්‍යා යැ අඥානචර්‍ය්‍යා යැ ඥාන චර්‍ය්‍යා යි.
විඥානචර්‍ය්‍යා කවර යත්:
රූපවිෂයෙහි රූපදර්‍ශනය සඳහා පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි දර්‍ශනය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලවිපාක වූ හෝ අකුශලවිපාක වූ හෝ) චක්‍ෂුර්විඥානය විඥානචර්‍ය්‍යා යැ, රූපවිෂයෙහි (චක්‍ෂුර්විඥානයෙන් රූපාලම්බනය) දුටු බැවින් පැවැති අරමුණට නඟන කුශලාකුශලවිපාකසම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ශ්‍රෝත්‍රවිඥානය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි (ශ්‍රොත්‍රවිඥානයෙන් ශබ්දාලම්බනය) අසනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ශබ්දාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ඝ්‍රාණවිඥානය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි (ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධාලම්බනය) ආඝ්‍රාණය කළ බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ගන්‍ධාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
රසාලම්බනයෙහි රසවිඳීම පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි රසවිඳීම මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි (ජිහ්වාවිඥානයෙන් රසාලම්බනය) විඳුනාලද බැවින් අරමුණට නඟන කුශලාකුශල විපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රසාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි (කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය) ස්පර්‍ශ කරනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ධර්‍මාලම්බනයෙහි විජානනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි ආලම්බනය දැනගැනීම මැ අර්‍ත්‍ථ කොට ඇති මනෝවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි (මනෝවිඥානයෙන් ධර්‍මාලම්බනය) දන්නා බැවින් අරමුණට නඟන විපාකමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ධර්‍මාලම්බනයෙහි අභිනිරොපිත බැවින් විපාකමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යි.
විඤ්ඤාණචරියා යනු: කවර අරුතෙකින් විඥානචර්‍ය්‍යා වී ද යත්:
රාග රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මාන රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, රාගයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මානයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටියෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍යයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සායෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශයයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අකුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සාවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කෘෂ්ණකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, (හිරිඔතප් සඞ්ඛ්‍යාත) ශුක්ලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විඥාතයෙහි (විඥානයෙන් දැනගත් අරමුණෙහි) හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, උක්තප්‍රකාර විඤ්ඤාණයාගේ මෙබඳු වූ චර්‍ය්‍යා වේ නු යි විඤ්ඤාණචරියා නමු. රාගාදි කෙලෙස් නැති බැවින් මේ සිත පියවින් පිරිසුදු නු යි විඤ්ඤාණචරියා නමු. මේ විඥානචර්‍ය්‍යා යි.
අඥානචර්‍ය්‍යා කවර යත්: