Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 301-400 න් 2879

ධර්‍මයෝ දසදෙනෙක් වැඩියයුත්තාහු යැ: දසකසිණායතනයෝ යි.
භාවනාවෝ දෙදෙනෙකි: ලෞකිකභානාව යැ, ලෝකෝත්තරභාවනා යි.
භාවනාවෝ තිදෙනෙකි: රූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අරූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අපර්‍ය්‍යාපන්න (ලෝකෝත්තර) කුශල ධර්‍මයන්ගේ භාවනා යි. රූපාවචරකුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත. මධ්‍ය වු භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අරූපාවචර කුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත. මධ්‍ය වූ භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අපර්‍ය්‍යාපන්නකුශලධර්‍මයන්ගේ භාවනාව ප්‍රණීත යි.
භාවනා සතරෙකි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් (ආර්‍ය්‍යමාර්‍ගය) වඩයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. මොහු සතරභාවනා යි.
අනෙකුදු භාවනා සතරෙකි. එසනභාවනා යැ. පටිලාභභාවනා යැ. ඒකරසභාවනා යැ. ආසෙවනභාවනා යි.
එසනභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ ඒ පූර්‍වභාගයෙහි උපන් ධර්‍මයෝ අර්‍පණොත්පාදනයෙහි සමානකෘත්‍ය වෙත් නු යි මේ එසනභාවනා යැ.
ප්‍රතිලාභභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ එහි උපන් ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි මේ ප්‍රතිලාභභාවනා යැ.
ඒකරසභාවනා කවර යත්: අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්‍ධෙන්‍ද්‍රියය වඩන්නහුට ශ්‍රද්‍ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන්) එකකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩන්නහුට වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය වඩන්නහුට ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වඩන්නහුට සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය වඩන්නහුට ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.
අශ්‍රද්ධායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය වඩන්නහුට ශ්‍රද්ධාබලයාගේ වශයෙන් සතර බලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. කෞසීද්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය වඩන්නහුට වීර්‍ය්‍යබලයාගේ වශයෙන් සතරබලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රමාදයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය වඩන්නහුට ස්මෘතිබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් සමාධිබලය වඩන්නහුට සමාධිබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ . අවිද්‍යායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය වඩන්නහුට ප්‍රඥාබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.
අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ස්ඵරණ (පැතිරීම්) අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි .
දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය වඩන්නහුට සම්‍යග්දෘෂ්ටියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය වඩන්නහුට සම්‍යක්සංකල්පයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය වඩන්නහුට සම්‍යග්වචනයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය වඩන්නහුට සම්‍යක්කර්‍මාන්තයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යවදාන (පරිශුද්ධි) අර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය වඩන්නහුට සම්‍යගාජීවයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය වඩන්නහුට සම්‍යග්ව්‍යායාමයගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යග්ස්මෘතිය වඩන්නහුට සම්‍යක්ස්මෘතියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය වඩන්නහුට සම්‍යක්සමාධිහුගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි. මේ ඒකරස භාවනා යි.
ආසෙවනාභාවනා කවර යත්: “මෙ සස්නෙහි මහණ තෙම පෙරවරු කාලයෙහි දු (වශීප්‍රාප්තසමාධිය) ආසේවන කෙරෙයි. මධ්‍යාහ්නකාලයෙහි දු ආසේවන කෙරෙයි. සවස්කාලයෙහි දු ආසේවන කෙරෙයි. පෙරබත්හි දු ආසේවන කෙරෙයි. පසුබත්හි දු ආසේවන කෙරෙයි. පෙරයම්හි දු ආසේවන කෙරෙයි. මැදියම්හි දු ආසේවන කෙරෙයි. අලුයම්හි දු ආසේවන කෙරෙයි. රැයි දු ආසේවන කෙරෙයි. දාවල්හි දු ආසේවන කෙරෙයි. රෑදාවල්හි දු ආසේවන කෙරෙයි. කෘෂ්ණපක්‍ෂයෙහි දු ආසේවන කෙරෙයි. ශුක්ලපක්‍ෂයෙහි දු ආසේවන කෙරෙයි. වසන්හි දු ආසේවන කෙරෙයි. හිමත්හි දු ආසේවන කෙරෙයි. ගිමන්හි දු ආසේවන කෙරෙයි. පළමුවයස් හි දු ආසේවන කෙරෙයි. මැදිම්වයස් හි දු ආසේවන කෙරෙයි. පැසිම්වයස්හි දු (වශීප්‍රාප්තසමාධිය) ආසේවන කෙරෙයි. මේ ආසෙවනභාවනා යි.
මොහු සතර භාවනා යි.
අනෙකුදු භාවනා සතරෙකි. (නෙක්ඛම්මාදි) භාවනාවිශේෂයෙහි උපන් (සමාධි පඤ්ඤා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්මැ පවත්නා බැවින් භාවනා යැ. (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ ඒකරස භාවයෙන් භාවනා යැ. තදනුච්ඡවික වීර්‍ය්‍යධූරභාවයෙන් භවානා යැ. අසේවනාභාවයෙන් භාවනා යි.
කිසෙයින් ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් (නො ඉක්මැ පවත්නා බැවින්) වූ භාවනා වෙයි යත්:
කාමච්ඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෛෂ්ක්‍රම්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යාපාදවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අව්‍යාපාදභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ථීනමිද්ධය දුරලන්නාහට අලෝකසංඥාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අලොකසංඥාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. උද්ධච්චය දුරලන්නාහට අවික්‍ෂේපවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අවික්‍ෂේපභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විචිකිච්ඡාව දුරලන්නාහට ධර්‍මනිශ්චයවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ධම්මවවත්‍ථානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අවිද්‍යාව දුරලන්නාහට ඥානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ඥානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අරතිය දුරලන්නාහට ප්‍රාමෝද්‍යවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රමෝද්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
නීවරණයන් දුරලන්නාහට ප්‍රථමධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රථමධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ විතර්‍කවිචාරයන් දුරලන්නාහට ද්වීතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ද්වීතියධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රීතිය දුරලන්නාහට තෘතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ තෘතීයධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛදුඃඛයන් දුරලන්නාහට චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ චතුර්‍ත්‍ථධ්‍යානභාවනායෙහි උපන් ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
රූපසංඥාව - ප්‍රතිඝසංඥාව - නානාත්‍වසංඥාව දුරලන්නාහට ආකාසානඤ්චායතන සමාපත්තිවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකාසානඤ්චායතන සමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකාසානඤ්චායතනසංඥාව දුරලන්නාහට විඤ්ඤාණඤ්චායතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරලන්නාහට ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති භාවනායෙහි උපන් ගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරලන්නාහට නේවසඤ්ඤානාඤ්ඤායතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෙවසඤ්ඤානාඤ්ඤායතන භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
නිත්‍යසංඥාව දුරලන්නාහට අනිත්‍යානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිත්‍යානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛසංඥාව දුරලන්නාහට දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මසංඥාව දුරලන්නාහට අනාත්මානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාත්මානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නන්‍දිය (සප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට නිර්වේදානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිර්‍වෙදානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ, රාගය (නිෂ්ප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට විරාගානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි ඒ විරාගානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සමුදය දුරලන්නාහට නිරෝධානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිරොධානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආදානය (ග්‍රහණය) දුරලන්නාහට පටිනිස්සග්ගානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිනිස්සග්ගානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඝනසංඥාව දුරලන්නාහට ක්‍ෂයානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ක්‍ෂයානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. කර්‍මායූහනය දුරලන්නාහට ව්‍යානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ව්‍යානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ධ්‍රැවසංඥාව දුරලන්නාහට විපරිණාමානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක් මැ පවත්නාහු නු යි ඒ විපරිණාමානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ.
(නිත්‍ය) නිමිත්තසංඥාව දුරලන්නාහට අනිමිත්තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිමිත්තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රණිධිය (සුඛ ප්‍රාර්‍ත්‍ථනාව) දුරලන්නාහට අප්‍රණිහිතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අප්‍රණිහිතානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මාභිනිවේශය දුරලන්නාහට ශුන්‍යතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ශුන්‍යතානුදර්‍ශනා භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නිත්‍යසාරආත්මසාරාදි විසින් ග්‍රහණයාගේ අභිනිවේශය දුරලන්නාහට අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සම්මෝහාභිනිවේශය දුරලන්නාහට යථාභූතඥානදර්‍ශනවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ යථාභූතඥානදර්‍ශනභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආලයාභිනිවේශය දුරලන්නාහට ආදීනවානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආදීනවානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අනුපායග්‍රහණය දුරලන්නාහට පටිසඞ්ඛානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිසඞ්ඛානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සංයෝගාභිනිවේශය (කාමයෝගාදික්ලේශයප්‍රවෘත්තිය) දුරලන්නාහට විවර්‍තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විවර්‍තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ.
දෘෂ්ටීන් හා සමග එක් තැන්හි සිටි ක්ලේශයන් දුරලන්නාහට ස්‍රෝතාපත්තිමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ස්‍රොතාපත්තිමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඖදාරික (කාමරාගව්‍යාපාද) ක්ලේශයන් දුරලන්නාහට සකෘදාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ සකෘදාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අණුසහගත (කාමරාග - ව්‍යාපාද) ක්ලේශයන් දුරලන්නාහට අනාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සියලු ක්ලේශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අර්‍හන්මාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
මෙසෙයින් ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනන්‍ධ ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
කිසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ ඒකරස (කෘත්‍ය) භාවයෙන් භාවනා වෙයි යත්:
කාමච්ඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන් හෝ කෘත්‍යරසයෙන්) ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යාපාදවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ ... සියලු ක්ලේශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යි.
මෙසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා වේ.
කිසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වෙයි යත්:
කාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... සියලු ක්ලේශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යි.
මෙසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වේ.
කිසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි යත්:
කාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ... සියලු ක්ලේශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
මෙසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වේ. මොහු සතර භාවනා යි.
රූපය (අනිත්‍යාදි වශයෙන්) දක්නේ ( භාවිතව්‍යභාවනාව) වඩයි. වේදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදි වශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතෝගධනිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි.
යම් යම් ධර්‍ම කෙනෙක් වඩන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ඒකරස වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සෝතාවධානං තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි
භාවෙතබ්බ නිද්දේස යි.
සතරවැනි බණවර යි.
කිසෙයින් මේ ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යහ යන දේශනාව සෝතාවධාන (ශ්‍රැතය) වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එක් ධර්‍මයෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ: අර්‍හත්ඵල විමුක්තිය යි.
ධර්‍මයෝ දෙදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා ද අර්‍හත්‍වඵලය ද යන දෙක යි.
ධර්‍මයෝ තුන් දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා යි.
ධර්‍මයෝ සතරදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යි.
ධර්‍මයෝ පස්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: පඤ්චවිධ ධර්‍මස්කන්‍ධයෝ යි.
ධර්‍මයෝ සදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ෂට්අභිඥාවෝ යි.
ධර්‍මයෝ සත්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සප්ත ක්‍ෂීණාස්‍රව බලයෝ යි.
ධර්‍මයෝ අටදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: අෂ්ටවිමෝක්‍ෂයෝ යි.
ධර්‍මයෝ නවදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: නවඅනුපූර්‍වනිරෝධයෝ යි.
ධර්‍මයෝ දසදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: දශඅශෛක්‍ෂ ධර්‍මයෝ යි.
මහණෙනි, සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙයි යත්:
මහණෙනි, චක්‍ෂුස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රූපයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුර්විඥානසම්ප්‍රයුක්ත ස්පර්‍ශය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
ශ්‍රෝතය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ශබ්දයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ … ඝ්‍රාණය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ගන්‍ධයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... ජිහ්වාව සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රසයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. ... කය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... මනස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. මනෝවිඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පශ්‍රය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
රූපය (අනිත්‍යාදි වශයෙන්) දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. වේදනාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංඥාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංස්කාරයන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. විඥානය දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණ … අමතෝගධ නිර්‍වාණය නිෂඨාර්‍ත්‍ථයෙන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.
යම් යම් ධර්‍ම කෙනෙක් (ආලම්බන-ප්‍රතිලාභ විසින්) ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ස්පර්‍ශ කරන ලද්දාහු වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
සච්ඡිකාතබ්බ නිද්දේස යි.
කිසෙයින් ‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ, මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ, මේ ධර්‍මයෝ විශේෂය සෙවුනාහ, මේ ධර්‍මයෝ නිර්වේධය සෙවුනාහ යන දේශනාව සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
ප්‍රථමධ්‍යානලාභීහට කාමසහගත (වස්තුකාම-ක්ලේශකාමාලම්බන) සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ප්‍රථමධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. අවිතර්‍කසහගත (ද්වීතියධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
ද්විතීයධ්‍යානලාභීහට විතර්‍කසහගත (ප්‍රථමධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ද්විතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපේක්‍ෂාසහගත (තෘතීයධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
තෘතීයධ්‍යානලාභීහට ප්‍රීතිසුඛසහගත (ද්විතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ තෘතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපේක්‍ෂාසුඛසහගත (චතුර්‍ත්‍ථධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
චතුර්‍ත්‍ථධ්‍යානලාභීහට උපේක්‍ෂාසුඛසහගත (තෘතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකාසානඤ්චායතනාරම්මණ වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
ආකාසානඤ්චායතනලාභීහට රූපසහගත (රූපධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගිය ධර්‍ම වෙයි, ඒ ආකාසානඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
විඤ්ඤාණඤ්චාචායතනලාභීහට ආකාසානඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි, ඒ විඤ්ඤාණඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
ආකිඤ්චඤ්ඤායතනලාභීහට විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ආකිඤ්චඤ්ඤායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂ භාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: “ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විස්සෙභාගියා, ඉමෙ ධම්මා නිබ්බේධභාගියාති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
හානභාගියචතුක්කනිද්දේස යි.
කිසෙයින් සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ සියලු ධර්‍මයෝ අනාත්ම යැ යන දේශනාව සෝතාවධාන වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වේ ද යත්:
රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සෝතාවධාන (ශ්‍රැත) යැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සෝතාවධාන යැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: “සබ්බේ සඞ්ඛාරා අනිච්චා සබ්බේ සඞ්ඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා’ති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
ලක්ඛණතතිකනිද්දේස යි.
කිසෙයින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යැ යන දේශනාව සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එහි ‘දුඃඛාර්‍ය්‍යසත්‍යය’ කවර යත්: ජාතිය ද දුක යැ, ජරාව ද දුක යැ, මරණය ද දුක යැ, සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසයෝ ද දුඃඛයෝ යැ, අප්‍රියයන් සමග එක්වීම දුක යැ, ප්‍රියයන් කෙරෙන් වෙන්වීම දුක යැ, යම් හෙයෙකින් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ, සැකෙවින් පඤ්චෝපාදානස්ක්‍න්‍ධයෝ දුඃඛයෝ යි.
එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ඉපදීමෙක් මොනොවට ඉපදීමෙක් අවක්‍රාන්තියෙක් ප්‍රකට වැ පහළවීමෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ පහළවීමෙක් වේ ද මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
එහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්තාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් ඇඟරැළි වැටුණු බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද මේ ‘ජරා’ ය යි කියනු ලැබේ.
එහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් (ස්කන්‍ධයන්ගේ) බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සඞ්ඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ භෙදයෙක් කලෙවරයාගේ නික්‍ෂේපයෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද මේ ‘මරණ’ යයි කියනු ලැබේ.
එහි ‘ශෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශොකයෙක් චිත්තයාගේ හාත්පස දැවීමෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද මේ ‘ශෝක’ යයි කියනු ලැබේ.
එහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙක් හෝ පහස්නා ලද්දාහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හේතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬනා අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලපනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛ’ කවරෙ යත්: කායික වූ යම් නොමිහිරෙක් කායික වූ දුකෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදයිතයෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද මේ ‘දුකැ’ යි කියනු ලැබේ.
එහි ‘දොම්නස’ කවරෙ යත්: චෛතසික වූ යම් නොමිහිරෙක් චෛතසික වු දුකෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදයිතයෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද මේ ‘දොම්නසැ’යි කියනු ලැබේ.
එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හේතුවෙකින් පහස්නා ලද්දහුගේ යම් ආයාසයෙක් දැඩි ආයාසයෙක් ආයාසිත බවෙක් උපායාසිත බවෙක් වේ ද මේ ‘උපායාස’ යි කියනු ලැබේ.
එහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛ’ කවරෙ යත්: මෙලොවැ යම් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද යම් අවැඩ කැමැති වූ අහිත කැමැති වූ නොසුව කැමැති වූ අයෝගක්‍ෂේම කැමැති වූ සත්ත්‍ව කෙනෙක් හෝ වෙත් ද ඔවුන් සමග යම් සඞ්ගතියෙක් (එක් වීමෙක්) සමාගමයෙක් සමවධානයෙක් මිශ්‍රීභාවයෙක් (මුසු වීමෙක්) වේ ද මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛ’යි කියනු ලැබේ.
එහි ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ කවරෙ යත්: මෙලො වැ යම් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්පෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද මවු හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑසහලේනෑයෝ හෝ වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යම් කෙනෙක් වෙත් ද ඔවුන් සමග යම් නො එක්වීමෙක් අසමාගමයෙක් අසහභාවයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද මේ ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ යි කියනු ලැබේ.
එහි යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ යනු කවරෙ යත්: ජාතිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට මෙබඳු තෘෂ්ණාවක් උපදි: ‘ඇපි ජාතිය ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් එකැතින් අපට ජාතිය නො ද පැමිණේ නම් ඉතා යෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මෙ ද ‘යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි. ජරාව ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... මරණය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස - උපායාසයන් ස්වභාව කොට සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදී: ‘ඇපි සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාස ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් අපට සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නො ද පැමිණෙන්නාහු නම් ඉතායෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මේද යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි.
එහි ‘සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: හෙ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මොහු ‘සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ’ යැ යි කියනු ලැබෙත්. මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.
දුක්ඛසච්චනිද්දේස යි.
එහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්:
පුනර්‍භවය ඇතිකරන්නා වූ නන්‍දිරාගය හා එක් වැ යෙදුණු ඒ ඒ භවයෙහි ඇලෙනසුලු වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව උපදනී නම් කොතන්හි උපදී ද පිහිටාසිටින්නී කොතන්හි පිහිටාසිටී ද යත්: ලොවැ යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද තෙල ප්‍රියමධුරස්වභාවයෙහි උපදනා වූ, ඒ තෘෂ්ණාව උපදි. පවත්නී වූ ඒ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි පවත්නී ය.
ලෝකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල චක්‍ෂුසෙහි උපදී. පවත්නී තෙල චක්‍ෂුසෙහි පවතී. ලොවැ ශ්‍රෝත්‍රය ... ලොවැ ඝ්‍රාණය ... ලොවැ ජීහ්වාව ... ලොවැ මනස ප්‍රියරූප යැ සාතරූප යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල මනසෙහි උපදී. පවත්නී තෙල මනසෙහි පවතී.
ලෝකයෙහි රූපය ප්‍රියරූප යැ සාතරූපයි. ඒ තෘෂ්ණාව උපදනී තෙල රූපයෙහි උපදී. පවත්නී තෙල රූපයෙහි පවතී. ලොවැ ශබ්දයෝ ... ලොවැ ධර්‍මයෝ ... ලොවැ චක්‍ෂුර්විඥානය ... ලොවැ මනෝවිඥානය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශය ... ලොවැ මනඃස්පර්‍ශය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශයෙන් උපන් වේදනාව ... ලොවැ මනඃස්පර්‍ශයෙන් උපන් වේදනාව ... ලොවැ රූප සංඥාව ... ලොවැ ධර්‍මසංඥාව ... ලොවැ රූපසඤ්චේතනාව ... ලොවැ ධර්‍මසඤ්චේතනාව ... ලොවැ රූපතෘෂ්ණාව ... ලොවැ ධර්‍මතෘෂ්ණාව ... ලොවැ රූපවිතර්‍කය ... ලොවැ ධර්‍මවිතර්‍කය ... ලොවැ රූපවිචාරය ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. උපදනා වූ ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි උපදී. බැසසිටුනා ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි පවතී. මේ ‘දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’යි කියනු ලැබේ.
සමුදයසච්චනිද්දේස යි.
එහි ‘දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්:
ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද එය යි. යළි ප්‍රහීණ වන්නා වු ඒ තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්. ලොවැ යත් යම් ප්‍රිය ස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද ප්‍රහීණ වන මේ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ප්‍රියමධුරස්වභාවයෙහි නිරුද්ධ වෙයි.
ලොවැ ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියරූප යැ සාතරූප යි. මේ තෘෂ්ණාව ප්‍රහීණ වන්නී තෙල චක්‍ෂුසෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල චක්‍ෂුසෙහි නිරුද්ධ වේ ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. ප්‍රහීණ වන ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ධර්‍මවිචාරයෙහි නිරුද්ධ වේ. මේ ‘දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය’ යැ යි කියනු ලැබේ.
නිරොධසච්චනිද්දෙස යි.
එහි ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ කවරෙ යත්:
මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යග්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.
එහි ‘සම්‍යග්දෘෂ්ටි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ දුඃඛනිරෝධයෙහි ඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.
එහි ‘සම්‍යක්සංකල්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප වැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යයි කියනු ලැබේ.
එහි ‘සම්‍යග්වාචා’ කවර යත්: මෘෂාවාදයෙන් වෙන්වීම යැ පිසුනු වචනයෙන් වෙන්වීම යැ පරුෂවචනයෙන් වෙන්වීම යැ ප්‍රලාප බසින් වෙන්වීම යි. මේ ‘සම්‍යග්වචන’ යයි කියනු ලැබේ.