අශ්‍රද්ධායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය දතයුතු යැ. කුසීත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය දතයුතු යැ. ප්‍රමාදයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය දතයුතු යැ. උද්ධත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් සමාධිබලය දතයුතු යැ. අවිද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය දතයුතු.
අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. විමසීම් අර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. පැතිරීම් අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. සන්හිඳීම් අර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. නො විසිරීම් අර්‍ත්‍ථයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. අනිත්‍යාදි විසින් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් අර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය දතයුතු.
(සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය දතයුතු යැ. අරමුණට නැඟිම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය දතයුතු යැ. (සතර වාක්සංවර) පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය දතයුතු යැ. (ත්‍රිවිධ කායසංවර) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය දතයුතු යැ. පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය දතයුතු යැ. අරමුණෙහි බැසගැනීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය දතයුතු යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය දතයුතු.
ආධිපත්‍යාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියෝ දතයුත්තාහ. අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ දතයුත්තාහ. නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ දතයුත්තාහ. හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය දතයුතු යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ දතයුත්තාහ. උත්සාහ කිරීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ දතයුත්තාහ. නිෂ්පත්ත්‍යර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ දතයුත්තාහ. යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දතයුත්තාහ.
අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය දතයුතු යැ. (අනිත්‍යාදිවශයෙන්) පුනපුනා බැලීම් අර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව දතයුතු යැ. (විමුක්තිරසයෙන්) ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාව දතයුතු යැ. නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් (ශමථ විදර්‍ශනාවන්ගේ) යුගනන්‍ධය දතයුතු.
සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය දතයුතු යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය දතයුතු යැ. මිදීම් අර්‍ත්‍ථයෙන් (තදඞ්ග) විමෝක්‍ෂය දතයුතු යැ. ජානනාර්‍ත්‍ථයෙන් විද්‍යාව දතයුතු යැ. පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ඵලවිමුක්තිය දතයුතු යැ. සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (මාර්‍ග ඥානය) දතයුතු යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ර්-අර්‍ත්‍ථයෙන් අනුත්පාද (ඵල ඥානය) දතයුතු යැ.
(කර්තුකාම්‍යතා) ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (යෝනිසෝ) මනස්කාරය (කුසල් දහම් නඟන බැවින්) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. වේදනාව සමෝසරණ (රැස්වීම්) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. සමාධිය ප්‍රමුඛාඅර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්මෘතිය අධිපතිභාවාඅර්‍ත්‍ථයෙන් දත යුතු යැ. (මාර්‍ග) ප්‍රඥාව තදුත්තර (ශ්‍රේෂ්ඨ) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (ඵල) විමුක්තිය (ස්ථිර බැවින්) සාරාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. අමෘතයට ප්‍රතිෂ්ඨාභූත නිර්‍වාණය පර්‍ය්‍යවසාන (නිෂ්ඨා) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ.
යම් යම් ධර්‍ම කෙනෙක් අභිමුඛ කොට දන්නා ලද වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ඥාතයෝ වෙති. ඒ ධර්‍මයන් දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් (දන්නා අර්‍ත්‍ථයෙන්) ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි: ‘ඉමේ ධම්මා අභිඤ්ඤෙය්‍යාති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං’යි.
අභිඥෙය නිර්දේශ යි.
දෙවැනි බණවර යි.
(1)
කිසෙයින් ‘මේ ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ’ යන දේශනාව සෝතාවධාන (ශ්‍රැත) ය වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එක් ධර්‍මයෙක් පිරිසිඳ දතයුතු වෙයි: සාස්‍රව වූ උපාදානයන්ට හිත වූ ස්පර්‍ශය යි.
ධර්‍මයෝ දෙදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නාමරූපයෝ යි.
ධර්‍මයෝ තිදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: තුන වේදනාවෝ යි.
ධර්‍මයෝ සතර දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සතර ආහාරයෝ යි.
ධර්‍මයෝ පස්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යි.
ධර්‍මයෝ සදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අධ්‍යාත්මික ෂඩායතනයෝ යි.
ධර්‍මයෝ සත්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සප්තවිඥානස්ථීතීහු යි.
ධර්‍මයෝ අටදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අෂ්ටලෝකධර්‍මයෝ යි.
ධර්‍මයෝ නවදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නවසත්ත්‍වාවාසයෝ යි.
ධර්‍මයෝ දසදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: දස ආයතනයෝ යි.
(2)
මහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුයැ. මහණෙනි, පිරිසිඳ දතයුතු සියල්ල කවර යත්:
මහණෙනි, චක්‍ෂුස පිරිසිඳ දතයුතු යැ. රූපයෝ පිරිසිඳ දතයුත්තාහ. චක්‍ෂුර්විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද පිරිසිඳ දතයුතු යැ.
ශ්‍රෝත්‍රය පිරිසිඳ දතයුතු යැ. ශබ්දයෝ පිරිසිඳ දතයුත්තාහ ... ඝ්‍රාණය පිරිසිඳ දතයුතු යැ. ගන්‍ධයෝ පිරිසිඳ දත්යුත්තාහ ... ජිහ්වාව පිරිසිඳ දතයුතු යැ. රසයෝ පිරිසිඳ දතයුත්තාහ ... කය පිරිසිඳ දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍ය පිරිසිඳ දතයුතු යැ. ... මනස පිරිසිඳ දතයුතු යැ. ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ. මනෝවිඥානය පිරිසිඳ දතයුතු යැ. මනෝසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. මනෝසම්ඵස්සය ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම්, එ ද පිරිසිඳ දතයුතු.
රූපය පිරිසිඳ දතයුතු යැ. වේදනාව පිරිසිඳ දතයුතු යැ. සංඥාව පිරිසිඳ දතයුතු යැ. සංස්කාරයෝ පිරිසිඳ දතයුත්තාහ. විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්‍ෂුස ... ජරාමරණය ... අමෘතයට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් පිරිසිඳ දතයුතු යැ.
යම් යම් ධර්‍ම කෙනකුන් ප්‍රතිලාභය සඳහා වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලබන ලද්දාහු වෙත් ද, මෙසේ ඒ ධර්‍මයෝ පිරිසිඳ දත්තාහු ද තීරණය කරන ලද්දාහු ද වෙත්.
නෛෂ්ක්‍රම්‍යය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් නෛෂ්ක්‍රම්‍යය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
අව්‍යාපාදය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අව්‍යාපාදය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
ආලෝකසංඥාව ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආලෝක සංඥාව ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
අවික්‍ෂේපය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අවික්‍ෂේපය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
ධම්මවවත්‍ථාන (විචිකිත්සා ප්‍රතිපක්‍ෂඥාන) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ධම්මවවත්‍ථානය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
(අවිද්‍යා ප්‍රතිපක්‍ෂ) ඥානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ඥානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ප්‍රාමෝද්‍ය (අරතිප්‍රතිපක්‍ෂප්‍රීති) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රාමෝද්‍යය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ප්‍රථමධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රථමධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් චතුර්‍ත්‍ථධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
ආකාසානඤ්චායතනසමාපත්තිය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආකාසානඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අනිච්චානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිච්චානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
දුක්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් දුක්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අනත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
නිබ්බිදානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිබ්බිදානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
විරාගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විරාගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
නිරෝධානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිරෝධානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
පටිනිස්සග්ගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිනිස්සග්ගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ඛයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඛයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
වයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් වයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
විපරිණාමානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විපරිණාමානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අනිමිත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිමිත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අප්පණිහිතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අපප්ණිහිතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
සුඤ්ඤතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සුඤ්ඤතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
යථාභූතඥානදර්‍ශනය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් යථාභූතඥානදර්‍ශනය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ආදීනවානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආදීනවානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
පටිසඞ්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිසඞ්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
විවට්ටානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විවට්ටානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
සකෘදගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සකෘදගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අනාගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනාගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
අර්‍හන්මාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අර්‍හන්මාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
යම් යම් ධර්‍මයන් ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලද්දාහු වෙති, මෙසේ ඒ ධර්‍මයෝ පරිඥාත ද තීරණය කරන ලද්දාහු ද වෙත්. ඒ දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් දන්නා අර්‍ත්‍ථයෙන් ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’ති සෝතාවධානං, තං පජානනාපඤ්ඤා සුතමයෙ ඤාණං”යී
පරිඥේය නිර්දේශ යි.
(3)
කිසෙයින් මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ යන දේශනාව සෝතාවධාන වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන වේ ද යත්:
එක් ධර්‍මයෙක් ප්‍රහාතව්‍ය වෙයි: අස්මිමාන යි.
ධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අවිද්‍යා ද භවතෘෂ්ණාව ද යන දෙක යි.
ධර්‍මයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ත්‍රිවිධ තෘෂ්ණාව යි.
ධර්‍මයෝ සතරදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: චතුරෝඝයෝ යි .
ධර්‍මයෝ පස්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: පඤ්චනීවරණයෝ යි.
ධර්‍මයෝ සදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ෂට්තෘෂ්ණාකායයෝ යි.
ධර්‍මයෝ සත්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: සප්තඅනුශයධර්‍මයෝ යි.
ධර්‍මයෝ අටදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අෂ්ටමිථ්‍යාත්‍වයෝ යි.
ධර්‍මයෝ නවදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: නව තෘෂ්ණාමූලකයෝ යි.
ධර්‍මයෝ දසදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: දශමිථ්‍යාත්‍වයෝ යි.
ප්‍රහාණයෝ දෙදෙනෙකි: සමුච්ඡේදප්‍රහාණ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යි. ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද වේ.
ප්‍රහාණයෝ තිදෙනෙකි: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිඃසරණ යැ. යම් අරූපධ්‍යානයෙක් වේ ද, තෙල රූපයන්ගේ නිඃසරණ යැ. උපන්නා වූ ප්‍රත්‍යයන් විසින් කරන ලද ප්‍රතීත්‍යසමුත්පන්න (ඒ ඒ ප්‍රත්‍යයන් නිසා උපන්) වූ යම්කිසි සංස්කාරයෙක් වේ ද, අර්‍හත්ඵල නිරෝධය ඒ සංස්කාරයාගේ නිඃසරණ යි. (අශුභධ්‍යාන-අනාගාමීමාර්‍ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍ය ලැබුවහු විසින් කාමයෝ (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (අරූපධ්‍යාන - අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත) ආරූප්‍ය නිඃසරණය ලැබූවහු විසින් රූපයෝ (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (නිර්‍වාණ - අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) නිරෝධ නිඃසරණය ලැබූවහු විසින් (නිඃසරණ - ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙන්) සංස්කාරයෝ ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙත්.
ප්‍රහාණයෝ සතර දෙනෙකි: පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ දුඃඛසත්‍යය දුරු කෙරෙයි. ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ සමුදයසත්‍යය දුරු කෙරෙයි. සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ නිරෝධසත්‍යය දුරු කෙරෙයි. භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කරන්නේ මාර්‍ගසත්‍යය දුරු කෙරේ.
ප්‍රහාණයෝ පස්දෙනෙකි: විෂ්කම්භණප්‍රහාණ යැ. තදඞ්ගප්‍රහාණ යැ. සමුච්ඡේදප්‍රහාණ යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යැ. නිඃසරණප්‍රහාණ යි. ප්‍රථමධ්‍යානය වඩන්නහුට නීවරණයන්ගේ විෂ්කම්භණප්‍රහාණය ද, විදර්‍ශනාසම්ප්‍රයුක්තසමාධිය වඩන්නහුට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගප්‍රහාණය ද, ලෝකෝත්තර වූ ක්‍ෂය (නිර්‍වාණ) ගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද, ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිඃසරණප්‍රහාණය ද වේ.
(4)
මහණෙනි, සියල්ල ප්‍රහාතව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල ප්‍රහාතව්‍ය වෙයි යත්:
“මහණෙනි, චක්‍ෂුස ප්‍රහාතව්‍ය යැ.‘රූපයෝ ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුර්විඥානයසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වු හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යැ.
ශ්‍රෝත්‍රය ප්‍රහාතව්‍ය යැ. ශබ්දයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... ඝ්‍රාණය ප්‍රහාතව්‍ය යැ. ගන්‍ධයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... ජීහ්වාව ප්‍රහාතව්‍ය යැ. රසයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... කය ප්‍රහාතව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... මනස ප්‍රහාතව්‍ය යැ. ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ. මනෝවිඥානය ප්‍රහාතව්‍ය යැ. මනෝවිඥානසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. මනඃස්පර්‍ශයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යි.
රූපය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. වේදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතෝගධ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්මින් (කෙලෙසුන්) දුරු කෙරේ.
යම් යම් කෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යාග කරන ලද්දාහු වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මෝ පහාතබ්බා’ති සෝතාවධානං, තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
ප්‍රහාතව්‍යනිර්දේශ යි.
තුන් වැනි බණවර යි.
(5)
කිසෙයින් ‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ, යන දේශනාව සෝතාවධාන වෙයි. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එක් ධර්‍මයෙක් වැඩිය යුතු යැ: (මධුරසුඛවෙදනා සඞ්ඛ්‍යාත) සාතය හා සම්ප්‍රයුක්ත කායගතාසතිය යි:
ධර්‍මයෝ දෙදෙනෙක් වැඩියයුත්තාහ: ශමථය ද විදර්‍ශනාව ද යන දෙක යි.
ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුත්තාහු යැ: (සවිතර්‍කසවිචාරාදි) තුන් සමාධීහු යැ.
ධර්‍මයෝ සතර දෙනෙක් වැඩියයුත්තාහු යැ: (කායානුපස්සනාදි) සතරසතිපට්ඨානයෝ යි.
ධර්‍මයෝ පස්දෙනෙක් වැඩියයුත්තාහු යැ: (පීතිඵරණතාදි) පඤ්චාඞ්ගික වූ චතුර්‍ත්‍ථධ්‍යානසමාධිය යි.
ධර්‍මයෝ සදෙනෙක් වැඩියයුත්තාහු යැ: (බුද්ධානුස්සති ආදි) සවැදෑරුම් අනුස්මෘතිස්ථානයෝ යි.
ධර්‍මයෝ සත්දෙනෙක් වැඩියයුත්තාහු යැ: සප්තබෝධ්‍යඞ්ගයෝ යි.
ධර්‍මයෝ අටදෙනෙක් වැඩියයුත්තාහු යැ: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි.
ධර්‍මයෝ නවදෙනෙක් වැඩියයුත්තාහු යැ: (ශීලවිශුද්ධිආදි) පරිශුද්ධභාවයට ප්‍රධාන කාරණ වූ නවධර්‍මයෝ යි.