Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 2201-2300 න් 2879

ඉන්‍ද්‍රියයන්ගේ අධිපතිභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, බලයන්ගේ අකම්ප්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, බෝධ්‍යඞ්ගයන්ගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සතිපට්ඨානයන්ගේ උපස්ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සම්‍යක්ප්‍රධානයන්ගේ ප්‍රදහනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඍද්ධිපාදයන්ගේ සමෘද්ධ වන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යයන්ගේ යථාස්වභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මාර්‍ගයන්ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඵලයන්ගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
විතර්‍කයාගේ අභිනිරෝපණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විචාරයාගේ අනුමාර්‍ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රීතියගේ පැතිරීම් අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සුඛයාගේ අභිසන්‍දන (තෙමන) අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ඒකාග්‍රාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ආවර්‍ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සඤ්ජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකෝදයාර්‍ත්‍ථය (අග්‍ර වැ උපදනා ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අභිඥායෙහි ඥාතාර්‍ත්‍ථය (ස්වභාවජානනාර්‍ත්‍ථය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිඥායෙහි තීරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රහාණයාගේ පරිත්‍යාගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, භාවනායෙහි එකරසාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සාක්‍ෂාත්ක්‍රියාවෙහි වින්‍දනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්කන්‍ධයන්ගේ (පීඩාභාවාදි) ස්කන්‍ධාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ධාතූන්ගේ (ශූන්‍යතාදි) ධාත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සඞ්ඛතයන්ගේ සඞ්ඛතඅර්‍ත්‍ථය (ප්‍රත්‍යයන් එක් වැ කරනලද ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අසඞ්ඛතයාගේ අසඞ්ඛත අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
(අරමුණු සිතීම් ආදි) චිත්ත ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තානන්තර්‍ය්‍ය ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ව්‍යුත්‍ථාන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ විවර්‍තන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ හේතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ප්‍රත්‍යයස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ වස්තු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ (කාමාවචරාදි) භූම්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ආලම්බනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ගෝචරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ චර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ (දුරසන්තිකාලම්බනග්‍රහණවශයෙන්) ගතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ අභිනීහාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ නිස්සරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ඒකාලම්බනයෙහි ආවර්‍ජන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි විජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සඤ්ජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ඒකෝදයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි උපනිබන්‍ධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රස්කන්‍දනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පැහැදීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අව්‍යාපාරභාවයෙන් පිහිටීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි මිදීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි තෙල ශාන්තය’යි දක්නා ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි යුක්තයානයක් මෙන් කරනලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි එළඹසිටි ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි හාත්පසින් රැස් කරනලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුසමාරබ්ධ ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සමවධානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අධිෂ්ඨානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ආසේවනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි භාවනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පුනපුනා කිරීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුසමුත්‍ථිතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුවිමුක්තස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ,
ඒකාලම්බනයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) බෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (සකෘදාගාමිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අනුබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අනාගාමිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අර්‍හන්මාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) සම්බොධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි බෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අනුබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රතිබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සම්බොධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි බොධපාක්‍ෂිකාර්‍ත්‍ථය (බෝධපක්‍ෂයෙහි වු ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අනුබෝධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රතිබෝධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සම්බොධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (විදර්‍ශනාප්‍රඥා විසින්) ද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගප්‍රඥා විසින්) උද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (සකෘදාගාමිමාර්‍ගප්‍රඥා විසින්) අනුද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අනාගාමිමාර්‍ගඥාන විසින්) ප්‍රතිද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අර්‍හන්මාර්‍ගඥාන විසින්) සන්‍ද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
(ආර්‍ය්‍යමාර්‍ගයේ) ප්‍රකාශනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ප්‍රභාස්වර බැවින්) බැබැළීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ක්ලේශයන් තවන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අමලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (සම්ප්‍රයුක්ත මලාභාවයෙන්) විමලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (අරමුණු කිරීම් මල නැති බැවින්) නිර්‍මලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ක්ලේශප්‍රහාණාර්‍ත්‍ථයෙන්) සමයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විරාගස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විරාගසඞ්ඛ්‍යාත නිර්‍මාණයෙහි හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධසඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වොස්සග්ගස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වොස්සග්ගභාවයෙන් හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (සමුචේඡද විමුක්ති බැවින්) විමුක්තිස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (නිස්සරණ) විමුක්තියෙහි හැසිරීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
(කර්තුකම්‍යතා සඞ්ඛ්‍යාත) ඡන්‍දාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ මූලාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ ප්‍රතිෂ්ඨාස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ ප්‍රධානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ සමෘද්ධ වන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ශ්‍රද්ධාසම්ප්‍රයෝගයෙන්) අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (වීර්‍ය්‍යසම්ප්‍රයෝගයෙන්) ප්‍රග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ස්මෘතිසම්ප්‍රයෝගයෙන්) උපස්ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (සමාධිසම්ප්‍රයෝගයෙන්) අවික්‍ෂේපාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ප්‍රඥාසම්ප්‍රයෝගයෙන්) දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
වීර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... චිත්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි මූලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රතිෂ්ඨාස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රධානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි සමෘද්ධ වන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි උපස්ථානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, … වීමංසායෙහි අවික්‍ෂේපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
දුඃඛයාගේ පීඩනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ සඞ්ඛතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ සන්තාපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ විපරිණාමස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමුදයාගේ ආයූහනස්වභාවය ... නිදානස්වභාවය ... සංයෝගස්වභාවය ... පලිබොධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. නිරෝධයාගේ නිස්සරණස්වභාවය ... විවේකස්වභාවය ... අසඞ්ඛතස්වභාවය ... අමෘතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණ ස්වභාවය ... හේතුස්වභාවය ... දර්‍ශනස්වභාවය ... ආධිපත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
(හැම ධර්‍මයන්ගේ) යථාස්වභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාත්මස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිවේධ කළයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්වභාව විසින් දතයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පිරිසිඳ දතයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ස්වභාවධාරණාදි) ධර්‍මස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ශුන්‍යතාදි) ධාතුස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඥාත (දතහැකි) ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්ප්‍රෂ්ටව්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අභිසමයස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
නෛෂ්ක්‍රම්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අව්‍යාපාදය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලෝකසංඥාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ධර්‍මනිශ්චය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රාමෝද්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ප්‍රථමධ්‍යානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අනිත්‍යතානුදර්‍ශනය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … ශ්‍රෝතාපත්තිමාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අරහන්මාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අර්‍හත්ඵලසමාපත්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රදේධන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අශ්‍රද්ධායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අවිද්‍යායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … සමවාහිතස්වභාවයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිර්‍ය්‍යාණ ස්වභාවයෙන් බෝධ්‍යඞ්ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හේතුස්වභාවයෙන් මාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, උපස්ථාන ස්වභාවයෙන් සතිපට්ඨානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රදහනස්වභාවයෙන් සම්‍යක්ප්‍රධානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යථාස්වභාවයෙන් සත්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනා අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය (ශමථවිදර්‍ශනා) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
සංවරාර්‍ත්‍ථයෙන් ශීල විශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්ත විශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ද්‍රෘෂ්ටිවිශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමුච්ඡේද ස්වභාවයෙන් ක්‍ෂයඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධි ස්වභාවයෙන් අනුත්පාද ඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
(කර්තුකම්‍යතා) ඡන්‍දය මූලස්වභාවයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මනසිකාරය සමුත්‍ථාන ස්වභාවයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක.‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
“ඇවැත්නි, මේ බෝධ්‍යඞ්ගයෝ සත් දෙනෙක් වෙති කවර සත් දෙනෙකැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ යි. ඇවැත්නි, මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ වෙත්.
ඇවැත්නි, මම මේ සප්තබෝධ්‍යඞ්ගයන් අතුරින් යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ පෙරවරු කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ පෙරවරු කල්හි වාසය කෙරෙමි. යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ මද්දහන් කල්හි ... සවස් කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි. ඇවැත්නි, ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ’ යි මෙසේ ත් මට සිත් වෙයි, (හේ) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි, ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට සිටී යැ’යි දැන ගනිමි. ඉදිනුදු මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැනගනිමි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ... ඇවැත්නි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, (එය) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත්, මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යයි දැනගනිමි. ඉදිනුදු මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි.
යම් සේ ඇවැත්නි, රජක්හට වේවයි රජ මහ ඇමැත්තක්හට වේවයි නොයෙක් රඞ්ගජාතයෙන් රඳනා ලද පිළියෙන් පිරුණු පෙළායෙක් වී නම් හෙතෙම යම් යම් මැ පිළීසඟළක් පෙරවරු කල්හි පොරෝනට කැමැති වී නම් ඒ ඒ පිළීසඟළ මැ පෙරවරු කල්හි පොරෝනේ ද, යම් යම් මැ පිළීසඟළක් මද්දහන් කල්හි ... සවස් කල්හි පොරෝනට කැමැති වී නම් ඒ ඒ පිළීසඟළ මැ සවස් කල්හි පොරෝනේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි මම මේ සප්තබෝධ්‍යඞ්ගයන් අතුරින් යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ පෙරවරු කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි, යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ මද්දහන් කල්හි ... සවස් කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි. ඇවැත්නි, ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, (හේ) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යැ’යි දැන ගනිමි. ඉදිනුදු මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ... ඇවැත්නි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, හේ, ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි, ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යයි දැනගනිමි, ඉදිනුදු මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි.
කිසෙයින් ‘සතිසම්බොජ්ඣඞේගා ඉති චෙ හොති’ යි බෝධ්‍යඞ්ග වේ ද යත්: යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම. යම්සේ දැල්වෙන තෙල්පහනක්හු ගේ යම්තාක් සිළුව වී නම් ඒ තාක් පැහැය වේ ද, යම්තාක් පැහැය වී නම් ඒ තාක් සිළුව වේ ද, එපරිද්දෙන් මැ යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
කිසෙයින් ‘අප්පමාණො ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම පර්‍ය්‍යුත්‍ථාන (සමූදාචාරප්‍රාප්තක්ලේශ) යෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද ප්‍රමාණබද්ධ වෙති. නිරෝධය තෙමේ අචලස්වභාවයෙන් අසඞ්ඛතස්වභාවයෙන් අප්‍රමාණ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ අප්‍රමාණය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
කිසෙයින් ‘සුසමාරදේධා ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම පර්‍ය්‍යුත්‍ථානයෝ ද පුනර්‍භවය කරන සුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද විෂම නම් වෙති. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධය තෙමේ සමධර්‍ම ඇත්තේ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ මොනොවට පරිපූර්‍ණ ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
කිසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි ප්‍රවෘත්ති විසින්) සිටුනා ඒ බෝධ්‍යඞ්ගය (නිවන් අරමුණු කොට) සිටී’යයි දැනගනීම් ද, ඉදින් (නිර්‍වාණාලම්බනයෙන්) පහ වැ යේ නම් ‘මාගේ බෝධ්‍යඞ්ගය මෙ කරුණින් පහ වැ යේ’ යයි දැනගනිම් ද: කිහි අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය සිටුනේ ද කිහි අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පහ වැ යේ ද යත්:
අට අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය සිටී. අට අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය පහ වැ යෙයි.
කවර අට අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවත්නේ ද යත් :අනුත්පාදය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, උත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, අප්‍රවෘත්තිය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, ප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, අනිමිත්ත ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, නිමිත්ත ආවර්‍ජනා නො කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, නිරෝධය ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, සංස්කාරයන් ආවර්‍ජනා නො කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී. මේ අට අයුරින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී.
කවර අට අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ ද යත්: උත්පාදය ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අනුත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, ප්‍රවෘත්තිය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, නිමිත්ත ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අනිමිත්ත ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, සංස්කාරයන් ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, නිරෝධය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ. මේ අට අයුරින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ.
මෙසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි) පවත්නා ඒ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය (නිර්‍වාණාලම්බනයෙහි) පවතී’යයි දැනගනිමි. ඉදින් (නිර්‍වාණාලම්බනයෙහි) අපගත වේ නම් ‘මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය මෙ කරුණින් අපගත වේ’යයි දැනගනිමි. කිසෙයින් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ...
කිසෙයින් ‘උපෙක්ඛාසම්බොජ්ඣඞේගා ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත් :යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි. යම්සේ දැල් වෙන තෙල් පහනක්හු ගේ යම්තාක් සිළුව වේ නම් ඒ තාක් පැහැය වේ ද, යම් තාක් පැහැය වේ නම් ඒ තාක් සිළුව වේ ද, එසෙයින් මැ මෙසේ යම් තාක් නිරෝධය වටහා නම් ඒ තාක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ගය නම් වේ.
කිසෙයින් ‘අප්පමාණො ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශය භූත) ක්ලේශයෝ ද හැම සමුදාචාර ප්‍රාප්තක්ලේශයෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද ප්‍රමාණබද්ධ වෙති. නිරෝධය තෙමේ අචල ස්වභාවයෙන් අසඞ්ඛත ස්වභාවයෙන් අප්‍රමාණ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ අප්‍රමාණය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම් වේ.
කිසෙයින් ‘සුසමාරද්ධො ඉති චෙ හොති’ යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම සමුදාචාරප්‍රාප්තක්ලේශයෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද විෂම නම් වෙති. නිරෝධය තෙමේ ශාන්තස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් සමධර්‍ම නම් වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ සුසමාරබ්ධ ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම් වේ.
කිසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි) පවත්නා ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය (නිර්‍වාණාලම්බනයෙහි) පවතී’ යයි දැනගනීම් ද, ඉදින් (නිර්‍වාණාලම්බනයෙන්) අපගත වේ නම් මෙකරුණින් අපගත වේ යයි දැනගනීම් ද, කිහි අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවත්නේ ද, කිහි අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ ද යත්:
අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවති. අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ.
කවර අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවත්නේ ද යත්: අනුත්පාදය ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, උත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, අප්‍රවෘත්තිය ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, ප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, අනිමිත්ත ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, නිමිත්ත ආවර්‍ජනා නොකරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී. නිරෝධය ආවර්‍ජනා කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, සංස්කාරයන් ආවර්‍ජනා නො කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී. මේ අට අයුරින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී.
කවර අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ ද යත්: උත්පාදය ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අනුත්පාදය ආවර්‍ජනා නොකළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, ප්‍රවෘත්තිය ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, නිමිත්ත ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අනිමිත්ත ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, සංස්කාරයන් ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, නිරෝධය ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි. මේ අට අයුරින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ.
මෙසෙයින් පවත්නා වූ ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී යයි දැනගනිමි. ඉදින් අපගත වේ නම් ‘මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය මෙ කරුණින් අපගත වේ’යයි දැනගනිමි.
බෝධ්‍යඞ්ගකථා නිමි.
මෛත්‍රී කථා
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනාලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරනලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි එකොළොස් අනුසස් කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර එකොළොස් අනුසස් කෙනෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදී, ලාමක සිහින නො දකී, මනුෂ්‍යයනට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, (මාපියෝ පුතකු සෙයින්) දෙවියෝ රකිති, ඔහුගේ සිරුරෙහි අග්නිය හෝ විෂයෙක් හෝ ශස්ත්‍රයෙක් හෝ නො වැදගනී, වහා සිත සමාහිත වෙයි, මුඛවර්‍ණය ඉතා ප්‍රසන්න වෙයි, නො මුළාසී වැ කලුරිය කෙරෙයි, මත්තෙහි අර්‍හත්ඵලය ප්‍රතිවේධ නො කරනුයේ බඹලොවැ උපදනේ වෙයි. මහණෙනි මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරන ලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි මේ එකොළොස් අනුසස්හු කැමැති වියයුත්තාහ.
මර්‍ය්‍යාදා (හිම්) රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රී චිත්තවිමුක්තියක් ඇත. මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇත, දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇති.
කිහි අයුරෙකින් මර්‍ය්‍යාදාරහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහිඅයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහි අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද යත්:
පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි, සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි. දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම සත්හු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා. හැම ප්‍රාණයෝ ... හැම භූතයෝ .. හැම පුද්ගලයෝ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ පස් අයුරින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම ස්ත්‍රීහු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා, හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මනුෂ්‍යයෝ ... හැම විනිපාතිකයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් ව යි මේ සත් අයුරින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කවර දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: පැදුන් දිග හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම සත්හු ... උතුරු දිග හැම සත්හු … දකුණුදිග හැම සත්හු ... පැදුන් අනුදිග හැම සත්හු ... පැළඅනුදිග හැම සත්හු ... උතුරු අනුදිග හැම සත්හු ... දකුණු අනුදිග හැම සත්හු ... යටදෙස හැම සත්හු ... උඩදෙස හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පෙරදිග හැම ප්‍රාණයෝ ... භූතයෝ ... පුද්ගලයෝ ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ ... හැම ස්ත්‍රීහු ... හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මිනිස්හු හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම විනිපාතිකයෝ ... උතුරු දිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... පැදුන් අනුදිග හැම විනිපාතිකයෝ ... පැළ අනුදිග හැම විනිපාතිකයෝ ... උතුරු අනුදිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... යටදෙස හැම විනිපාතිකයෝ ... උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ දස අයුරින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
හැම සතුන් පිළිබඳ (අභ්‍යන්තර වශයෙන්) පෙළීම (තම සිතින්) හැරපියා නො පෙළෙන අයුරින්, (බාහිර වශයෙන්) ශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන් සිත් තැවුලි හැරපියා නො තැවුලි අයුරින් ජීවිතාදී වස්තුන්ගේ ක්‍ෂයවීම හැරපියා අපරියාදානාකාරයෙන් (මෙරමා කෙරෙත්) දිවිවෙහෙස හැරපියා අවිහිංසාකාරයෙන් හැම සත්හු අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් හැම සත්නට මෙත් වඩා නු’යි මෛත්‍රී නමු ඒ ධර්‍මය සිතානු’යි චිත්ත නම. (මෛත්‍රියට ප්‍රතිපක්‍ෂ වූ) හැම ව්‍යාපාදසමුදාචාරයන් කෙරෙන් මිදෙනු’යි විමුක්ති නමු. මෛත්‍රිය ද චිත්තය ද විමුක්තිය දැ’යි මෛත්‍රීචිත්තවිමුක්ති නමු.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රියෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍ර‍්‍රග්‍රහ කෙරේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යෙන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිවුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධින්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් දැනගනී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වේ.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ භාවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ බහුලීකෘතයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරන ලද වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීතෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දන (ප්‍රවේශන) යෝ වෙති, සංසීදනයෝ වෙති, සන්තිට්ඨන (මධ්‍යස්ථකාරණ) යෝ වෙති. විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම් මෛත්‍රී චිත්තවිමුක්තිය ශ්‍රද්ධායෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි කුසීදභාවයෙහි නොසැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යයබලයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ප්‍රමාදයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි උද්ධතභාවයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබලයෙන් පරිභාවිත වූවා වේ.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාරයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර (සම්භාර) යෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමූත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් විමසා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි (ක්ලේශ) පරිදාහය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි අශාන්තභාවය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි නුවණින් කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරන ලද වේ.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පිරිකර වෙති, පිරිවර වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගියෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්යනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් හාත්පසින් වඩනලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මැනැවින් අරමුණට නඟා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්පය විසින් මොනොවට වඩනා ලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් මොනොවට වඩන ලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි (ත්‍රිවිධකායසංවරය) මොනොවට නඟාතබා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක් කර්‍මාන්ත විසින් හාත්පසින් වඩනාලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිශුද්ධ කරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් හාත්පසින් වඩනා ලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් හාත්පසින් වඩනාලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට අරමුණෙහි සිත එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් හාත්පසින් වඩනාලද වෙයි.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් හාත්පසින් වඩනාලද වේ.
මේ මාර්‍ගාඞ්ගයෝ අට දෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්ති ට භාවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලඞ්කාර කරනලද වෙයි, මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිකර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය පරිෂ්කෘත වෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙනා මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රීචිත්තවිමුක්තිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානිකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති. මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
හැම ප්‍රාණයන් පිළිබඳ ... හැම භූතයන් පිළිබඳ ... හැම පුද්ගලයන් පිළිබඳ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම මාගමුන් පිළිබඳ ... හැම පිරිමින් පිළිබඳ ... හැම ආර්‍ය්‍යයන් පිළිබඳ ... හැම අනාර්‍ය්‍යයන් පිළිබඳ ... හැම දෙවියන් පිළිබඳ ... හැම මිනිසුන් පිළිබඳ ... හැම විනිපාතිකයන් පිළිබඳ (අභ්‍යන්තරශරීර) පීඩනය (තම සිතින්) හැරපියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසාව හැරපියා අහිංසාකාරයෙන් (මනස්) සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතාදිපරික්‍ෂය හැරපියා අපරියාදානාකාරයෙන්, මෙරමා කෙරෙත් ජීවිතාදිවිහිංසාව හැරපියා අවිහිංසාකාරයෙන්, හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්මයෝ වෙත්ව’යි මේ අට අයුරින් හැම විනිපාතිකයන්ට මෙත් වඩා නු’යි ‘මෙත්තා’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චේතෝ’ නම, (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් විමුක්ත වේ නු’යි ‘විමුත්ති’ නමු. මෙත්තා ද චේතෝ ද විමුත්ති දැ’යි ‘මෙත්තාචේතෝවිමුක්ති’ නමු.
හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වෙයි ... නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
පැදුන්දෙස හැම සතුන් පිළිබඳ ... පැසිම්දෙස හැම සතුන් පිළිබඳ ... උතුරුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණුදෙස හැම සතුන් පිළිබඳ ... පැදුන්අනුදෙස හැම සතුන් පිළිබඳ ... පැසිම් අනුදෙස හැම සතුන් පිළිබඳ ... උතුරු අනුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණු අනුදෙස හැම සතුන් පිළිබඳ ... යටදෙස හැම සතුන් පිළිබඳ ... උඩදෙස හැම සතුන් පිළිබඳ ... (අභ්‍යන්තර ශරීර) පීඩනය (තම සිතින්) හැර පියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන්, චිත්තසන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතපරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන් ජීවිතවිහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම සත්නට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චිත්ත’ නම. (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙන් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’ නමු.
උඩදෙස හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි නිපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
පැදුන්දෙස හැම ප්‍රාණයන් පිළිබඳ .. භූතයන් ... පුද්ගලයන් ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම ස්ත්‍රීන් ... හැම පුරුෂයන් ... හැම ආර්‍ය්‍යයන් ... හැම අනාර්‍ය්‍යයන් ... හැම දෙවියන් ... හැම මිනිසුන් ... හැම විනිපාතිකයන් පිළිබඳ ... පැදුන්දෙස හැම විනිපාතිකයන් ... පැසිම් දෙස හැම විනිපාතිකයන් ... උතුරුදෙස හැම විනිපාතිකයන් ... දතුණුදෙස හැම විනිපාතිකයන් ... පැදුන් අනුදෙස හැම විනිපාතිකයන් ... පැසිම් අනුදෙස හැම විනිපාතිකයන් ... උතුරු අනුදෙස හැම විනිපාතිකයන් ... දකුණු අනුදෙස හැම විනිපාතිකයන් ... යටදෙස හැම විනිපාතිකයන් ... උඩදෙස හැම විනිපාතිකයන් පිළිබඳ පීඩනය හැරපියා අපීඩනාකාරයෙන්, උපඝාතය හැරපියා අනුපඝාතාකාරයෙන්, සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, පරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන්, විහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා. සුඛීහු වෙත්වා, නහමක් දුඃඛීහු වෙත්වා. සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම විනිපාතිකයනට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතානු’යි ‘චිත්ත’ නමු. හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’නමු.
හැම උඩදෙස විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, ‘මෛත්‍රීචිත්තවිමුක්තිය’ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි, ප්‍රඥායෙන් දැනගනී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වේ.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධාබල විසින් පරිභාවිත වූවා වෙයි ... කෞසීද්‍යායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යබල විසින් පරිභාවිත වූවා වෙයි. ප්‍රමාදයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබල විසින් පරිභාවිත වූවා වෙයි ... ඖද්ධත්‍යයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබල විසින් පරිභාවිත වූවා වෙයි. අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබල විසින් පරිභාවිත වූවා වේ.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ප්‍රඥායෙන් විමසා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ක්ලේශපරිදාහය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... අශාන්තභාවය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, සිත සමාදහනය කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, ඥානයෙන් ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.