Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 2101-2200 න් 2879

කිසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේප සමාධිය ශාන්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ශාන්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි ‘සන්තට්ඨෙනසමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
කිසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය ප්‍රණීත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ප්‍රණීත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පණීතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
කිසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවය කෙරෙන් මිදුණේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවය කෙරෙන් මිදුණි නිරෝධගෝචර වෙයි. මෙසෙයින් රාගවිරාගයෙන් චිත්තවිමුක්තිය වෙයි, අවිද්‍යාවිරාගයෙන් ප්‍රඥාවිමුක්තිය වෙයි. මෙසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විමුත්තතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
කිසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනාසවට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
කිසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය සහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘තරණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
කිසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනිමිත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
කිසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි; ‘අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
කිසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූයේ නිරෝධාලම්බන වෙයි. අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූවා නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
භාවෙති යනු භාවනා සතරෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් ශමථ–විදර්‍ශනා සඞ්ඛ්‍යාත යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍ය ස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ, ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
මේ සොළොස් අයුරින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි.
මෙසෙයින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
කිසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාවභාසය උපදියි. අවභාසය මාර්‍ගඵලධර්‍ම යැ’ යි අවභාසය ආවර්‍ජනා කෙරෙයි. ඒ අවභාසයෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍යය නම. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවනලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.
තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාඥානය උපදියි ... විදර්‍ශනා ප්‍රීතිය උපදියි ... විදර්‍ශනා ප්‍රශ්‍රබ්ධිය උපදියි ... විදර්‍ශනා සුඛය උපදියි ... අධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... විදර්‍ශනා නිකාන්තිය උපදියි ... නිකාන්තිය මාර්‍ගඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම්. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. එයින් කියනු ලැබෙයි. ‘ධම්මූද්ධච්ච විග්ගහිත මානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනා වීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ. තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදියි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... අනාත්ම හෙයින් කරනුවාහට ඕභාසය උපදියි, ... ඥානය උපදියි ... ප්‍රීතිය උපදියි ... ප්‍රශ්‍රබ්ධිය උපදියි ... සුඛය උපදියි ... අධිමෝක්‍ෂය උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනාත්ම හෙයින් වැටහීම ... අනිත්‍ය හෙයින් වැටහීම ... දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
රූපය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය අනාත්‍ම හෙයින් මෙනෙහි කරනුවාහට ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය අනාත්ම හෙයින් මෙනෙහි කරනුවාහට ඕභාසය උපදී ... විදර්‍ශනාඥානය උපදී ... ප්‍රීතිය උපදී ... ප්‍රශ්‍රබ්‍ධිය උපදී ... සුඛය උපදී ... අධිමෝක්‍ෂය උපදී ... වීර්‍ය්‍යය උපදී ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදී ... උපේක්‍ෂාව උපදී ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’ යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ ජරාමරණය අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මූද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැස සිටී) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.
තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
මෙසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවන ලද සිත වේ.
(1) විදර්‍ශනාවභාස නිමිත්තෙන් ද විදර්‍ශනාඥාන නිමිත්තෙන් ද විදර්‍ශනා ප්‍රීති නිමිත්තෙන් ද යෝගී තෙම විවිධ වැ කම්පා වෙයි, යම් ප්‍රශ්‍රබ්‍ධි ආදියෙකින් සිත සැලේ නම් ඒ විදර්‍ශනා ප්‍රශ්‍රබ්‍ධි නිමිත්තෙන් ද විදර්‍ශනා සුබ නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.
(2) අධිමෝක්‍ෂ නිමිත්තෙන් ද විර්‍ය්‍ය නිමිත්තෙන් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘති නිමිත්තෙන් ද අවර්‍ජනෝපේක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනොපෙක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනානිකාන්ති නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.
(3) මේ අවභාසාදි දශ උපක්ලේශ කාරණයෝ යමක්හු විසින් ප්‍රඥායෙන් පුරුදු කරන ලද්දාහු ද හෙතෙම අවභාසාදි ධර්‍මයෙහි ඖද්ධත්‍යය සඞ්ඛ්‍යාත වික්‍ෂේපයෙහි කුශල වූයෙ වෙයි, නො ද සම්මෝහයට යෙයි.
(4) යෝගාවචර තෙම ඔභාසාදියෙහි වික‍්ෂෙප වේ නම් තෘෂ්ණාමානදෘෂ්ටීන් කිලිටි ද වේ නම් එකල්හි චිත්ත භාවනායෙන් ච්‍යුත වෙයි, වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් භාවනායෙන් පිරිහෙයි.
(5) වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් තියුණු නුවණැතියේ භාවනායෙන් නො පිරිහෙයි. නො ද වික්‍ෂේප වේ නම් සිත කිලිටි නො වේ නම් චිත්තභාවනායෙන් ච්‍යුත නො වෙයි.
(6) මේ සතර කරුණින් අවභාසාදි දශ විධ උපක්ලේශකාරණයෙහි චිත්තයාගේ ලීනෝද්ධත භාවයෙන් විරෝධයට පමුණුවන ලද සිත කුශල වූ යෝගී තෙම මොනොවට දැනගනී’ යයි.
යුගනද්ධකථා නිමි.
සත්‍ය කථා
පරිපූර්‍ණතිදන යි. “මහණෙනි, මොහු සතර දෙන (යථාස්වාභාව හෙයින්) තථ නම් වෙති. (විපරීතාභාවයෙන්) අවිතථ නම් වෙති, (අන්‍යස්වාභාව රහිත බැවින්) අනඤ්ඤථ නම් වෙත්. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ‘මේ දුක යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛසමුදය යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධ යැ’ යන මෙය තථ යැ. අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤථ නම් වෙත්.
කිසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථ යැ ආයූහනාර්‍ත්‍ථ යැ සන්තාපාර්‍ත්‍ථ යැ විපරිණාමාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කිසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථ යැ නිදානාර්‍ත්‍ථ යැ සංයෝගාර්‍ත්‍ථ යැ පලිබෝධාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කිසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථ යැ විවේකර්‍ත්‍ථ යැ අසඞ්ඛතාර්‍ත්‍ථ යැ අමෘතාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
කිසෙයින් මාර්‍ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: මාර්‍ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්‍ගාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථ යැ හෙත්‍ථර්‍ත්‍ථ යැ දර්‍ශනාර්‍ත්‍ථ යැ අධිපතිභාවාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන මාර්‍ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්‍ගාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් මාර්‍ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙයි යත්: සතර අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත‍්මාර්‍ත්‍ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙනි. මේ සතර අයුරින් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ගෘහීත වෙති, යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයෙකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ, යම් හෙයෙකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ. මේ සතර අයුරින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරන ලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ. සමුදයාගේ සමුදයස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ නිරෝධයාගේ නිරෝධස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කිසෙයින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: යමෙක් අනිත්‍ය වේ ද හේ දුඃඛ යැ, යමෙක් දුඃඛ වේ ද හේ අනිත්‍ය යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් වේ ද හේ අනාත්ම යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් වේ ද හේ තථ යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් වේ ද හේ සත්‍ය යැ යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් සත්‍යත් වේ ද හේ ඒකසඞ්ගෘහීත යැ, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ එක ප්‍රතිවේධ වෙත්.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්‍මාර්‍ත්‍ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන අභිඥාර්‍ත්‍ථයෙන පරිඥාර්‍ත්‍ථයෙන ප්‍රහාණාර්‍ත්‍ථයෙන භාවනාර්‍ත්‍ථයෙන සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙනි. මේ නව අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වාභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යි. මේ නව අයුරින් යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයෙකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් ... සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්; නව අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යි. මේ නව අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක්ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: දොළොස් අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්‍ත්‍ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන අභිජානනාර්‍ත්‍ථයෙන පරිජානනාර්‍ත්‍ථයෙන ධර්‍මාර්‍ත්‍ථයෙන ධාත්‍වර්‍ත්‍ථයෙන ඥාතාර්‍ත්‍ථයෙන සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන ස්‍පර්‍ශාර්‍ත්‍ථයෙන අභිසමයාර්‍ත්‍ථයෙනි. මේ දොළොස් අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
කිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සොළොස් අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරිණාමාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්‍ත්‍ථය පලිබෝධාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්‍ත්‍ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක්මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
කිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් … සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් … අභිජානනාර්‍ත්‍ථයෙන් ... පරිජානනාර්‍ත්‍ථයෙන් … ධර්‍මාර්‍ත්‍ථයෙන් … ධාත්‍වර්‍ත්‍ථයෙන් … ඥාතාර්‍ත්‍ථයෙන් … සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් … ස්‍පර්‍ශාර්‍ත්‍ථයෙන් ... අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත් ද යත්: සොළොස් අයුරෙකින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරීණාමාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ (ප්‍රත්‍යවේක්‍ෂණඥානයෙන් අවබෝධ කටයුතු) අර්‍ත්‍ථය වෙයි. සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්‍ත්‍ථය පලිබෝධාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්‍ත්‍ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
සත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණ දෙකෙකි: සඞ්ඛතලක්‍ෂණ යැ අසඞ්ඛතලක්‍ෂණ යැ යි. මොහු සත්‍යයන්ගේ දෙ ලක්‍ෂණයෝ යි.
සත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණයෝ සදෙනෙකි: සඞ්ඛත සත්‍යයන්ගේ උත්‍පාදය පැනෙයි, විනාශය පැනෙයි, ස්ථිතිප්‍රාප‍්‍තයන්ගේ අන්‍යථාභාව සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. අසඞ්ඛතසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි, නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ ස ලක්‍ෂණයෝ යි.
සත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණ දොළොසෙකි: දුඃඛසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, සමුදයසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, මාර්‍ගසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, නිරෝධසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි. නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ දොළොස් ලක්‍ෂණයෝ යි.
සතර සත්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද යත්: සමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ, නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ, දුඃඛසත්‍යය කුශල ද වන්නේ යැ, අකුශල ද වන්නේ යැ, අව්‍යාකෘත ද වන්නේ යි.
වස‍්‍තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහු ද වන්නාහ, එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලද ද වන්නේ යි.
සියා යනු; කිසෙයින් වන්නේ යැ යත්. යම් අකුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද අකුශල වූ සමුදයසත්‍යයෙක් වේ ද, මෙසෙයින් අකුශලාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ, එක් සත්‍යයෙක් සත්‍යදෙකෙකින් ගණනාලද යැ. යම් කුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද කුශල වූ මාර්‍ගසත්‍යයෙක් වේ ද, මෙසෙයින් කුශලාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනාලද යැ. යම් අව්‍යාකෘත වූ දුඃඛසත්‍යයෙක් වේ ද අව්‍යාකෘත වූ නිරෝධසත්‍යයෙක් වේ ද, මෙසෙයින් අව්‍යාකෘතාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනා ලද යැ. මෙසෙයින් වස‍්‍තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනා ලදහ. එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලදැ යි.
[සැවැත්නිදාන යි]
“මහණෙනි, සම්‍බෝධියෙන් පෙර මැ සර්‍වධර්‍මයන් ප්‍රතිවේධ නො කළ බෝධිසත්ත්‍ව වූ මැ මට මෙ බඳු පරිවිතර්‍කයෙක් විය: රූපයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ, වේදනාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංඥාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංස්කාරයන්ගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. විඥානයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරෙයැ’ යි. මහණෙනි, ඒ මට මෙ බඳු සිතෙක් විය: රූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත්තේ වේ ද මේ රූපයාගේ ආදීනව වෙයි. රූපයෙහි යම් ඡන්‍දරාග සංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණය වෙයි. වේදනාව පිණිස යම් ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් වේ ද, මේ විඥානයාගේ ආස්වා ද වෙයි, යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද, මේ විඥානයාගේ ආදීනව වෙයි. විඥානයෙහි යම් ඡන්‍දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද, මේ විඥානයාගේ නිස්සරණය වේ.
මහණෙනි, යම්තාක් මම මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ නො කෙළෙම් ද, මහණෙනි මම ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශ ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි’ නො මැ පිළින කෙළෙමි. වැළිත් මහණෙනි, යම් කලෙක මම මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය (සර්‍වඥතාඥානය) ප්‍රතිවේධ කෙළෙමි’ පිළින කෙළෙමි. දර්‍ශන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂණඥානය ද මට උපන. මාගේ අර්‍හත්ඵල විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම වූ ස්කන්‍ධප්‍රවෘත්තිය වෙයි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි.
රූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද ය’ යි ප්‍රහාණ ප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ රූපයාගේ ආදීනව ය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. රූපයෙහි යම් ඡන්‍දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණ යැයි සාක්‍ෂාත්ක්‍රියා ප්‍රතිවේධය නිරෝධසත්‍ය වේ. මේ තුන් තැන්හි යම් දෘෂ‍්‍ටියක් සඞ්කල‍්‍පයෙක් වචනයෙක් කර්‍මාන‍්‍තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්‍මෘතියක් සමාධියෙක් වේ ද (මේ මාර්‍ගභාවනා සඞ්ඛ්‍යාත) මාර්‍ගසත්‍යප්‍රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
වේදනාව පිණිස යම් (සුවයෙක්) ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ විඥානයාගේ ආස්වාදය’ යි ප්‍රහාණප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ විඥානයාගේ ආදීනවය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇද්ද මේ විඥානයාගේ නිස්සරණ යැ’යි සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධය නිරෝධසත්‍යය වේ. මේ තුන්තැන්හි යම් ද්‍රෘෂ්ටියක් සඞ්කල්පයෙක් වචනයෙක් කර්‍මාන්තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්මෘතියක් සමාධියෙක් වේ ද මේ භාවනාප්‍රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
සච්චං යනු: කිහි අයුරෙකින් සත්‍ය වෙයි යත්: ඒෂණාර්‍ත්‍ථයෙන් පරිග්‍රහාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධාර්‍ත්‍ථයෙනි.
කිසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: ජරාමරණය කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද කුමක් ජාති කොට ඇත්තේ ද කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
ජරාමරණය ජාතිය නිදාන කොට ඇත්තේ යැ, ජාතිය සමුදය කොට ඇත්තේ යැ, ජාතිය ජාති කොට ඇත්තේ යැ, ජාතිය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජරාමරණය ද දැනගනියි, ජරාමරණසමුදය ද දැනගනියි, ජරාමරණනිරෝධය ද දැනගනියි, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය භවය නිදාන කොට ඇත්තී යැ, භවය සමුදය කොට ඇත්තී යැ, භවය ජාති කොට ඇත්තී යැ, භවය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය ද දැනගනියි, ජාතිසමුදය ද දැනගනියි, ජාතිනිරෝධය ද දැනගනියි, ජාතිනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
භවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය උපාදානය නිදාන කොට ඇත්තේ යැ, උපාදානය සමුදය කොට ඇත්තේ යැ, උපාදානය ජාති කොට ඇත්තේ යැ, උපාදානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය ද දැනගනියි, භවසමුදය ද දැනගනියි, භවනිරෝධය ද දැනගනියි, භවනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
උපාදානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, උපාදානය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ යැ, තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ජාති කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. උපාදානය ද දැනගනියි, උපාදානසමුදය ද දැනගනියි, උපාදාන නිරෝධය ද දැනගනියි, උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත්තී යැ, වේදනාව සමුදය කොට ඇත්තී යැ, වේදනාව ජාති කොට ඇත්තී යැ, වේදනාව ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව ද දැනගනියි, තෘෂ්ණාසමුදය ද දැනගනියි, තෘෂ්ණානිරෝධය ද දැනගනියි, තෘෂ්ණානිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
වේදනාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ස්පර්‍ශය නිදාන කොට ඇත්තී යැ, ස්පර්‍ශය සමුදය කොට ඇත්තී යැ, ස්පර්‍ශය ජාති කොට ඇත්තී යැ, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ද දැනගනියි, වේදනාසමුදය ද දැනගනියි, වේදනානිරෝධය ද දැනගනියි, වේදනානිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්‍ශය ෂඩායතනය නිදාන කොට ඇත්තේ යැ, ෂඩායතනය සමුදය කොට ඇත්තේ යැ, ෂඩායතනය ජාති කොට ඇත්තේ යැ, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්‍ශය ද දැනගනියි, ස්පර්‍ශසමුදය ද දැනගනියි, ස්පර්‍ශනිරෝධය ද දැනගනියි, ස්පර්‍ශනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ෂඩායතනය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය නාමරූපය නිදාන කොට ඇත්තේ යැ, නාමරූපය සමුදය කොට ඇත්තේ යැ, නාමරූපය ජාති කොට ඇත්තේ යැ, නාමරූපය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය ද දැනගනියි, ෂඩායතනසමුදය ද දැනගනියි, ෂඩායතනනිරෝධය ද දැනගනියි, ෂඩායතනනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
නාමරූපය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය විඥානය නිදාන කොට ඇත්තේ යැ, විඥානය සමුදය කොට ඇත්තේ යැ, විඥානය ජාති කොට ඇත්තේ යැ, විඥානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය ද දැනගනියි, නාමරූප සමුදය ද දැනගනියි, නාමරූපනිරෝධය ද දැනගනියි, නාමරූපනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
විඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය සංස්කාරයන් නිදාන කොට ඇත්තේ යැ, සංස්කාරයන් සමුදය කොට ඇත්තේ යැ, සංස්කාරයන් ජාති කොට ඇත්තේ යැ, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය ද දැනගනියි, විඥානසමුදය ද දැනගනියි, විඥානනිරෝධය ද දැනගනියි, විඥානනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
සංස්කාරයෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇත්තාහු යැ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ජාති කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයන් ද දැනගනියි, සංස්කාරසමුදය ද දැනගනියි, සංස්කාරනිරෝධය ද දැනගනියි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
ජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, (ආලම්බනකරණයෙන්) නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. භවය දුඃඛසත්‍ය යැ, උපාදානය සමුදය සත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. උපාදානය දුඃඛසත්‍ය යැ, තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධ සත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. තෘෂ්ණාව දුඃඛසත්‍ය යැ, වේදනාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. වේදනාව දුඃඛසත්‍ය යැ, ස්පර්‍ශය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ස්පර්‍ශය දුඃඛසත්‍ය යැ, ෂඩායතනය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ෂඩායතනය දුඃඛසත්‍ය යැ, නාමරූප සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. නාමරූප දුඃඛසත්‍ය යැ, විඥානය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. විඥානය දුඃඛසත්‍ය යැ, සංස්කාරයෝ සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි.
ජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යැ ... සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යයි.
සත්‍යකථා නිමි.
බණවරෙකි.
බෝධ්‍යඞ්ග කථා
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, මේ බෝධ්‍යඞ්ගයෝ සත් දෙනෙකි: කවර සත්දෙනෙකැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මහණෙනි, මොහු සත්දෙන බෝධ්‍යඞ්ගයෝ යි.
බොජ්ඣඞ්ගා යනු කවර අරුතින් බෝධ්‍යඞ්ග වෙති යත්: අවබෝධය පිණිස පවතිත් නු’ යි බෝධ්‍යඞ්ග යැ අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මොනොවට අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අවබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
අවබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සම්බෝධය කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
අවබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
බෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බොධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
බුද්ධිලාභාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිප්‍රතිෂ්ඨාපනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිඅභිරෝපණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිපාපුණනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිසම්පාපුණනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
මූලාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මුල් වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, (නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්) මූලපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූල ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූල ප්‍රතිසංවිදාවට පැමිණවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
(ජනක බැවින්) හෙත්‍වර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
(උපස්ථම්භක බැවින්) ප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යය වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යය පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
විශුද්ධාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධ වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
අනවද්‍යාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යපරිග්‍රහායෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
නෛෂ්ක්‍රම්‍යාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙතී.
විමුක්ත්‍යර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්තිපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්තිපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
අනාස්‍රවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රව වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
විවේකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ග වෙති.
ව්‍යවසර්‍ග (හැරපීම්) අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙත්.
මූලාර්‍ත්‍ථය (මූලස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශුද්ධ්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
මූලචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හේතුචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්තිචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
මූලපරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිවාරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිපාකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිපාකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිදර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිදර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. මූලප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
පරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාග්‍රාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවිසාරාර්‍ත්‍ථය (නො විසිරෙන ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාවිලාර්‍ත්‍ථය (නො කැළැඹුණු ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (අවිකම්පිත බැවින්) අනිඤ්ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පිහිටීම් වශයෙන් චිත්තයාගේ ස්ථිතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලම්බනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ගෝචරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රහාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වීවතීන (නවත්නා) අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශාන්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රණීතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, තරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනිමිත්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අප්‍රණිහිතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශූන්‍යතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකකෘත්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනතිවර්‍තනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යුගනද්ධාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දර්‍ශනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආධිපත්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ශමථයාගේ අවික්‍ෂේපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විදර්‍ශනාවගේ අනුදර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශමථවිදර්‍ශනාවගේ ඒකකෘත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යුගනද්ධයාගේ (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ශික්‍ෂාවගේ සමාදානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලම්බනයාගේ ගෝචරස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ලීන (හැකිළුණු) චිත්තයාගේ ප්‍ර‍්‍රග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, උද්ධතචිත්තයාගේ නිග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ලීනෝද්ධත දෙකින් විශුද්ධ වූ චිත්තයන්ගේ (ප්‍රග්‍රහනිග්‍රහ දෙක්හි සව්‍යාපාරභාව සඞ්ඛ්‍යාත) අධ්‍යූපේක්‍ෂණස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශේෂාධිගමස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ආර්‍ය්‍යමාර්‍ගය පහළවීම් වශයෙන්) මත්තෙහි ප්‍රතිවේධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යප්‍රතිවේධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධයෙහි පිහිටුවන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
ශ්‍රදේධන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙහි නො සැලෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙහි නො සැලෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ පටිසඞ්ඛාන (සමවාහිතලක්‍ෂණ) ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනස්වභාවය ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේප ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.