අභුත්අකුශලකර්‍ම යැ අභුත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ නාභුත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ අස්තිඅකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ නාස්තිඅකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ න භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ අස්තිඅකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ නාස්තිඅකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්අකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්අකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යි.
අභුත්සාවද්‍යකර්‍ම යැ ... අභුත්අනවද්‍යකර්‍ම යැ ... අභුත්කෘෂ්ණකර්‍ම යැ ... අභුත්ශුක්ලකර්‍ම යැ ... අභුත්සුඛොදයකර්‍ම යැ ... අභුත්දුඃඛොදයකර්‍ම යැ ... අභුත්සුඛවිපාකකකර්‍ම යැ ... අභූත්දුඃඛවිපාකකර්‍ම යැ අභුත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නාභුත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ අස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නාස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නභවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ අස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ නාස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ න භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, භවිෂ්‍යත් දුඃඛවිපාකකර්‍ම යැ නභවිෂ්‍යත් දුඃඛවිපාකකර්‍මවිපාක යි.
කර්‍මකථා නිමි.
8.
විපර්‍ය්‍යාසකථා
සැවැත් නිදාන යි ... මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි, කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍ය (වස්තු) යෙහි නිත්‍ය යැ යන සංඥාව සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්ත විපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, දුඃඛයෙහි සුඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අනාත්මයෙහි ආත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අශුභයෙහි ශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි.
මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්. කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍ය යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, දුඃඛයෙහි දුඃඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අශුභයෙහි අශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්.
(1) අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥා ඇති දුඃඛයෙහි දු සුඛසංඥා ඇති අනාත්මයෙහි දු ආත්ම යැ යන සංඥා ඇති අශුභයෙහි දු ශුභසංඥා ඇති මිසදිටුයෙන් මඩනාලද භ්‍රාන්ත වූ සිත් ඇති විපරීතසංඥා ඇති යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද,
(2) ඒ සත්ත්‍වයෝ යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවනට නො පැමිණියාහු මාරයාගේ යෝගයෙහි යෙදුණාහු වෙති. එ මැ සත්ත්‍වයෝ සසර සැරිසරති, (ඔහු) ජාතිමරණයට පැමිණියාහු ද එහෙයිනි.
(3) යම් කලෙක ප්‍රඥාලෝකය කරන්නා වූ සර්‍වඥ බුදුවරයෝ ලොවැ උපදිත් ද ඒ බුදුවරයෝ දුක්ඛූපසම සඞ්ඛ්‍යාත නිවනට යන මේ දහම ප්‍රකාශ කෙරෙත්.
(4) සප්‍රාඥ වූ ජනයෝ ඒ බුදුවරයන්ගේ දහම අසා ස්වචිත්තය ලැබ අනිත්‍යය අනිත්‍ය හෙයින් දුටුවාහු යැ. දුඃඛය දුක් හෙයින් දුටුවාහු යැ.
(5) අනාත්මයෙහි අනාත්ම යැ යි දුටුවාහු යැ අශුභය අශුභ හෙයින් දුටුවාහු යැ සමාදන් කළ සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සියලු වර්‍තදුඃඛය ඉක්මවූවාහු යයි.
මේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි.
(අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ සදෙනෙක් ප්‍රහීණයහ. (දුඃඛයෙහි සුඛ යැ අශුභයෙහි ශුභ යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ දෙදෙනෙක් ප්‍රහීණයහ, විපර්‍ය්‍යාසයයෝ සතර දෙනෙක් අප්‍රහීණයහ. සතර වත්හි විපර්‍ය්‍යාසයයෝ අට දෙනෙක් ප්‍රහීණයහ. විපර්‍ය්‍යාසයෝ සතර දෙනෙක් අප්‍රහීණයෝ යි.
විපර්‍ය්‍යාසකථා නිමි.
9.
මාර්‍ගකථා
මග්ගෝ යනු: කවර අර්‍ත්‍ථයෙකින් මාර්‍ග වේ ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණයට මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිය විශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ අධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ වෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිරෝධයෙහි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අභිනිරෝපණ ස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තපාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
වාක්සංවර සඞ්ඛ්‍යාත පරිග්‍රහ ස්වභාවයෙන් සම්‍යග් වචනය මිථ්‍යාවචන ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්ත පාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
සමුත්‍ථාන ස්වභාවයෙන් සම්‍යක් කර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... පරිශුද්ධභාව ස්වභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාජීවයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... ප්‍රග්‍රහ ස්වභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... උපස්ථානස්වභාවයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ ඖදාරික වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුහගත වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ අණුසහගත වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේප ස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයාගේ අරූපරාගයාගේ මානයාගේ ඖද්ධත්‍යයාගේ අවිද්‍යාවගේ මානානුශයාගේ භවරාගානුශයාගේ අවිද්‍යානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
දර්‍ශනමාර්‍ගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ (අරමුණට නැගීම්) මාර්‍ගය සම්‍යක්සංකල්ප යැ, පරිග්‍රහමාර්‍ගය සම්‍යග්වචනය යැ, සමුත්‍ථානමාර්‍ගය සම්‍යක්කර්‍මාන්ත යැ, ව්‍යවදානමාර්‍ගය සම්‍යගාජීව යැ, ප්‍රග්‍රහමාර්‍ගය සම්‍යග්ව්‍යායාම යැ, උපස්ථාන (අරමුණට එළඹසිටීම්) මාර්‍ගය සම්‍යක්ස්මෘති යැ, අවික්‍ෂේපමාර්‍ගය සම්‍යක්සමාධි යි.
උපස්ථානමාර්‍ගය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රවිචය (විමසීම්) මාර්‍ගය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, සඵරණමාර්‍ගය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ, ව්‍යුපශමමාර්‍ගය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධිසම්බොධ්‍යඞ්ග යැ, පටිසඞ්ඛානමාර්‍ගය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමාර්‍ගය ශ්‍රද්ධාබල යැ, කුසීදබැව්හි අකම්ප්‍යමාර්‍ගය වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි අකම්ප්‍යමාර්‍ගය ස්මෘතිබල යැ, උද්ධත බැව්හි අකම්ප්‍යමාර්‍ගය සමාධිබල යැ, අවිද්‍යායෙහි අකම්ප්‍යමාර්‍ගය ප්‍රඥාබල යි.
අධිමෝක්‍ෂමාර්‍ගය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, උපස්ථානමාර්‍ගය ස්මෘතීන්‍ද්‍රිය යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධීන්‍ද්‍රිය යැ, දර්‍ශනමාර්‍ගය ප්‍රඥේන්‍ද්‍රිය යි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මාර්‍ග වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මාර්‍ග වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගය මාර්‍ග වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාඞ්ග මාර්‍ග වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානය මාර්‍ග වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානය මාර්‍ග වෙයි, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය මාර්‍ග වෙයි, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය මාර්‍ග වෙයි. අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මාර්‍ග වෙයි, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනා මාර්‍ග වෙයි, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධධර්‍ම මාර්‍ග වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මාර්‍ග වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මාර්‍ග වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මාර්‍ග වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මාර්‍ග වෙයි, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මාර්‍ග වෙයි, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මාර්‍ග වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වේ යයි.
මාර්‍ගකථා නිමි.
10.
මණ්ඩපෙය්‍යකථා
මහණෙනි, මේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මණ්ඩපෙය්‍ය (ඝෘතමණ්ඩයක් සෙයින් ප්‍රසන්න වූ හිතසුඛාවහ පානයෙක්) වෙයි. ශාස්තෲහු හමු වූහ. ශාස්තෲන් හමු වූ කල්හි ත්‍රිවිධභාවයෙන් මණ්ඩ (ප්‍රසන්න) වෙයි: දේශනාමණ්ඩ යැ ප්‍රතිග්‍රහමණ්ඩ යැ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ යි.
දේශනාමණ්ඩ කවරෙ යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන් නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යැ සතර සතිපට්ඨානයන් ... සතර සම්‍යක්ප්‍රදහනයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤ්චේන්‍ද්‍රියයන් ... පඤ්චබලයන් ... සප්ත බෝධ්‍යඞ්ගයන් ... ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යි. මේ දේශනාමණ්ඩ නම් වෙයි. (1)
ප්‍රතිග්‍රහමණ්ඩ කවරැ යත් : මහණහු යැ මෙහෙණහු යැ උවසුවෝ යැ උවැසියෝ යැ දෙවියෝ යැ මිනිස්සු යැ, තවද අන්‍ය වූ හෝ යම් කිසි ධර්‍මප්‍රතිවේධක කෙනෙක් වෙත් ද මේ ප්‍රතිග්‍රහමණ්ඩ නම් වෙයි. (2)
බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ කවරැ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සඞ්කල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ නම් වේ. (3)
ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ අශ්‍රද්ධාව කසට යැ අශ්‍රද්ධා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩ යැ කුසීද බව කසට යැ කෞසීද්‍ය සඞ්ඛ්‍යාත කසටය හැරපියා වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රමණ්ඩය පානය කෙරේනු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ ප්‍රමාදය කසට යැ ප්‍රමාද සඞ්ඛ්‍යාත කසටය හැරපියා ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ උද්ධතභාවය කසට යැ උද්ධතභාව සඞ්ඛ්‍යාත කසටය හැරපියා සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ අවිද්‍යාව කසට යැ අවිද්‍යා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, අශ්‍රද්ධාකසටය හැරපියා ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්‍ය්‍යබලය කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩ යැ කුසීදභාවය කසට යැ කෞසිද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යබලයාගේ කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිබලයාගේ ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යබල යැ ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යකසටය හැරපියා සමාධිබලයාගේ ඖද්ධත්‍යයෙහි අකමප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය (විමසීම්) මණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රවිච මණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, කෞසීද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, පරිදාහකසටය හැරපියා ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ සඵරණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, දුට්ඨුල්ලකසටය හැරපියා ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ ව්‍යුපශමමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යයකසටය හැරපියා සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛාන (ප්‍රත්‍යවේක්‍ෂා) මණ්ඩ යැ, අප්පටිසඞ්ඛාව කසට යැ, අප්පටිසඞ්ඛාකසටය හැරපියා උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ පටිසඞ්ඛානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, මිථ්‍යාදෘෂ්ටිකසටය හැරපියා සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ (අරමුණට නැඟීම) මණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, මිථ්‍යාසංකල්පකසටය හැරපියා සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, මිථ්‍යාවචනකසටය හැරපියා සම්‍යග්වචනයාගේ පරිග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, මිත්‍යාකර්‍මාන්තකසටය හැරපියා සම්‍යක්කර්‍මාන්තයාගේ සමුත්‍ථානමණ්ඩය, පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, මිථ්‍යාජීවකසටය හැරපියා සම්‍යගාජීවයාගේ ව්‍යවදානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩය යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, මිත්‍යාව්‍යායාමකසටය හැරපියා සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, මිථ්‍යාස්මෘතිකසටය හැරපියා සම්‍යක්ස්මෘතිහුගේ උපස්ථානමණ්ඩලය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, මිථ්‍යාසමාධිකසටය හැරපියා සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
මණ්ඩ (ප්‍රසන්න) යෙක් ඇත, පියයුත්තෙක් ඇත, කසටයෙක් ඇති.
ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරස (සම්පත්ති)යෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියුයුතු වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩය යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්ය්‍යේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, කෞසීද්‍යායකසට යැ, ඒ වීර්‍ය්‍යබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ. ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිබලයයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රගහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, ඒ ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, ඒ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාමණ්ඩ යැ, ප්‍රතිවේක්‍ෂා නො කිරීම කසට යැ, ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි.
සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, ඒ සම්‍යග්දෘෂ්ටියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, ඒ සම්‍යක්සංකල්පයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්වචනය පරිග්‍රහ (වාක්සංවර) මණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, ඒ සම්‍යග්වචනයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, ඒ සම්‍යක්කර්‍මාන්තයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, ඒ සම්‍යගාජීවයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, ඒ සම්‍යග් ව්‍යායාමයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, ඒ සම්‍යක්ස්මෘතියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, ඒ සම්‍යක්සමාධියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, සම්‍යක් ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යි.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණ (පැතිරීම්) මණ්ඩ යැ, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමණ්ඩ යැ, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛානමණ්ඩ යි.
ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යි.
ශ්‍රද්ධාබලය අධිමෝක්‍ෂමණ්ඩ යැ, වීර්‍ය්‍යබලය ප්‍රග්‍රහමණ්ඩ යැ, ස්මෘතිබලය උපස්ථානමණ්ඩ යැ, සමාධිබලය අවික්‍ෂේපමණ්ඩ යැ, ප්‍රඥාබලය දර්‍ශනමණ්ඩ යි.
අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මණ්ඩ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මණ්ඩ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග මණ්ඩ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ග මණ්ඩ යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨාන මණ්ඩ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධාන මණ්ඩ යැ, සමෘද්ධි වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාද මණ්ඩ යැ, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථ මණ්ඩ යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මණ්ඩ යැ, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථ-විදර්‍ශනා මණ්ඩ යැ, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධ මණ්ඩ යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මණ්ඩ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මණ්ඩ යැ, මුක්තාර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මණ්ඩ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මණ්ඩ යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මණ්ඩ යැ, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මණ්ඩ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාද ඥානය මණ්ඩ යි.
ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, වේදනාව සමෝසරණාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යයි,
මණ්ඩපෙය්‍යකථා නිමි.
සතරවැනි බණවර යි.
පළමුවැනි මහාවර්‍ගය යි.
ඥානකථා යැ, දෘෂ්ටිකථා යැ, අනාපානාස්මෘතිකථා යැ, ඉන්‍ද්‍රියකථා යැ, පස්වැනි වීමෝක්‍ෂකථා යැ, ගතිකථා යැ, කර්‍මකථා යැ, විපර්‍ය්‍යාසකථා යැ, මණ්ඩපෙය්‍යකථා හා සමග මාර්‍ගකථා යැ යන ඒ දශකථාවෝ ඒ මහාවර්‍ගයාගේ උද්දානය වේ.
තෙල නිකායධරයන් විසින් තබනලද අසම වූ ප්‍රවර වූ උතුම් වූ පළමුවැනි වර්‍ගය යි.
සූත්‍රාන්තපිටකයෙහි
කුදුගත්සඟිය
පටිසම්භිදාමාර්‍ගය
2. යුගනද්ධ වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1.
යුගනද්ධ කථා
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳතෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ මේ වදාළහ:
ඇවැත්නි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් සර්‍වප්‍රකාරයෙන් සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ. කවර සතර ප්‍රතිපදාමාර්‍ගයෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ තෙම ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනාව වඩයි. ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනා වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙහි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත (කෙළවර) වෙත්.
තවද අනෙකක් කියමි: ඇවැත්නි, මහණ තෙම විදර්‍ශනා පූර්‍වඞ්ගම වූ ශමථය වඩයි, විදර්‍ශනා පූර්‍වඞ්ගම ශමථය වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණ තෙම ශමථ–විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩයි, ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණට ඕභාසාදිධර්‍මයෙහි වික්‍ෂෙපසඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි, යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැසැගෙන සිටි) සිත ගෝචරජ්ඣත්ත සඞ්ඛ්‍යාත අරමුණෙහි මැ පිහිටා ද මොනොවට හිඳී ද එකඟ වේ ද මොනොවට සිටී ද, ඇවැත්නි, ඒ විදර්‍ශනාවීථීයට පිළිපන් සමය වෙයි. ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් මේ සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ යයි.
කිසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩාද යත්: නෛෂ්ක්‍රම්‍යවශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ, ඒ සමාධියෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, අනාත්‍මානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි. පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති’
භාවෙති යනු භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදුපගවිර්‍ය්‍යධුරස්වභාවයෙන් භාවනා යැ, ආසේවනස්වභාවයෙන් භාවනා යි.
මග්‍ගො සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ‍්ටිසඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචන සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. උපස්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදි.
“සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති” ආසේවති යනු: කිසෙයින් ඇසුරු කෙරෙයි යත්: ආවර්‍ජනා කෙරෙමින් ඇසුරු කෙරෙයි, දනිමින් ඇසුරු කෙරෙයි, දක්මින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ඇසුරු කෙරෙයි, සිත පිහිටුවමින් ඇසුරු කෙරෙයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් ඇසුරු කෙරෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් ඇසුරු කෙරෙයි, සිහි එළවා තබමින් ඇසුරු කෙරෙයි, සිත අරමුණෙහි සම වැ තබමින් ඇසුරු කෙරෙයි, ප්‍රඥායෙන් දැනගනිමින් ඇසුරු කෙරෙයි, ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත අභිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත පරිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, දුරු කළයුත්ත දුරුකෙරෙමින් ඇසුරු කෙරෙයි, වැඩියයුත්ත වඩමින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂකටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් ඇසුරු කෙරෙයි, මෙසෙයින් ඇසුරු කෙරේ.
භාවෙති යනු: කිසෙයින් වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් වඩයි, දනිමින් වඩයි, දකිමින් වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් වඩයි, සිත පිහිටුවමින් වඩයි, ශ්‍රද්ධායෙන් නිශ‍්චය කෙරෙමින් වඩයි,වීර්‍ය්‍යය දැඩි කොට ගන්මින් වඩයි, සිහි එළවා තබමින් වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් වඩයි, ප්‍රඥායෙන් දැනගනිමින් වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් වඩයි, මෙසෙයින් වඩා.
බහුලීකරෝති යනු: කිසෙයින් පුනපුනා වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් පුනපුනා වඩයි, දනිමින් පුනපුනා වඩයි, දකිමින් පුනපුනා වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් පුනපුනා වඩයි, සිත පිහිටුවමින් පුනපුනා වඩයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් පුනපුනා වඩයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් පුනපුනා වඩයි, සිහි එළවා තබමින් පුනපුනා වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් පුනපුනා වඩයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් පුනපුනා වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් පුනපුනා වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් පුනපුනා වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් පුනපුනා වඩයි, මෙසෙයින් පුනපුනා වඩා.
තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්ති අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද; අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: සෝවන්මගින් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සෙදගැමිමගින් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනගැමිමගින් අණු සහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති. අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. රහත්මගින් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශයධර්‍මයෝ විගතාන්ත වෙති, මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
අව්‍යාපාද වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... ආලෝකසංඥා වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්‍වාස කිරීම් වශයෙන්, පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ. ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි, පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති’
භාවෙති යනු: භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදූපගවිර්‍ය්‍යධූරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
මග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක් සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදී.
‘සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති’ ආසේවති යනු: කිසෙයින් ආසේවන කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් ආසේවන කෙරෙයි, දනිමින් ආසේවන කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් ආසේවන කෙරේ. මෙසෙයින් ආසේවන කෙරේ.
භාවෙති යනු කිසෙයින් භාවනා කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් භාවනා කෙරෙයි, දනිමින් භාවනා කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් භාවනා කෙරේ. මෙසෙයින් භාවනා කෙරේ.
බහුලීකරෝති යනු: කිසෙයින් බහුලකෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් බහුල කෙරෙයි, දනිමින් බහුල කෙරෙයි ... සාක්‍ෂාත් කෙරෙමින් බහුල කෙරේ. මෙසෙයින් බහුල කෙරේ.
“තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්තී අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශය ධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
මෙසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩා.
කිසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා ද යත්: අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත (උපචාරඅර්‍පණාහෙද) අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.
භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
රූපය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය දුඃඛ හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.
භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායතී යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදි ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ජරාමරණය දුඃඛ හෙයින් ... අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති”යනු.
භාවෙති යනු: භාවනා සතරෙකි: ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
මෙසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා.
කිසෙයින් ශමථ විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩා ද යත්: සොළොස් අයුරෙකින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි. ආලම්බන වශයෙන්, ගෝචර වශයෙන්, ප්‍රහාණ වශයෙන්, පරිත්‍යාග වශයෙන්, ව්‍යුත්‍ථාන වශයෙන, නිවර්‍තන වශයෙන්, ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන, විමුක්ති වශයෙන්, අනාස්‍රව වශයෙන්, අතික්‍රමණ වශයෙන්, නිමිත්තරහිතාර්‍ත්‍ථයෙන, ප්‍රණිධිරහිතාර්‍ත්‍ථයෙන, ශූන්‍යතාර්‍ත්‍ථයෙන, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන, අනතික්‍රමණාර්‍ත්‍ථයෙන, යුගනද්ධාර්‍ත්‍ථයෙනි.
කිසෙයින් ආලම්බන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපයසමාධිය නිරෝධාලම්බන වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
කිසෙයින් ගෝචර වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ගෝචරාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ගෝචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු. (භාවෙති යනු ...)
කිසෙයින් ප්‍රහාණ වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ප්‍රහාණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
කිසෙයින් පරිත්‍යාග වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පරිච්චාගට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
කිසෙයින් ව්‍යුත්‍ථාන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්. ඖද්ධත්‍යසහගත ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ව්‍යුත්‍ථානාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘වුට්ඨානට්ඨෙන සමථ–විපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
කිසෙයින් විවර්‍තන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන (වටාලා නො පෙරළෙන අයුරින් නවත්නා) යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් විවර්‍තනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විවට්ටනට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...