Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 1201-1300 න් 2879

‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොවැ ඇතැමෙක් අල්ප අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ ය’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණරූපය වස්තු (අරමුණු) ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත් ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘ලෝකය අන්තවත් යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙ ලොවැ ඇතැමෙක් මඳ අවකාශයෙක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාත වශයෙන් අරමුණු කෙරෙයි ... අවභාසවශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද, ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි. යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත ආත්ම ද ලෝක ද වේ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම, ... ‘ලෝකය අන්තවත් වැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මෙලොව අන්ත නැත්තේ යැ පරිච්ඡේද නැත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණ රූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණ රූපය වස්තු ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටි වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ලෝකය අන්ත නැත්තේ යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටි මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාතවශයෙන් අරමුණු කෙරෙයි ... අවභාස වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙලොව අන්තවත් නො වෙයි පරිච්ඡේද නැත්තේ යැ’යි අනන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණ කෙරේ ද ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණ කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි යැ ... ලෝකය අන්තනැත්තේ ය’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව ද හේ ශරීර යැ, යමෙක් ශරීර ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
වේදනාව ජීව ද ශරීර ද වෙයි, සංඥාව ජීව ද ශරීර ද වෙයි, සංස්කාරයෝ ජීව ද ශරීර ද වෙයි, විඥානය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව වේ ද, හේ ශරීර යැ, යමෙක් ශරීර වේ ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... ‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය ශරීර යැ ජීව නො වෙයි, ජීවය ශරීර නො වෙයි, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ශරීර යැ ජීව නො වෙයි ... සංඥාව ශරීර යැ ජීව නො වෙයි ... සංස්කාරයෝ ශරීර යැ ජීව නො වෙයි ... විඥානය ශරීර යැ ජීව නො වෙයි. ජීවය ශරීර නො වෙයි. ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම ... ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙලොව්හි මැ නැසෙන සැහැවි යැ, සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද (ශාශ්වත බැවින්) සිටුනේ ද, අණ්ඩජ ජරායුජ විසින්) උපදනේ ද (සංසේදජ ඕපපාතික විසින්) ස්කන්‍ධ පහළ වන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද සිටුනේ ද උපදනේ ද පහළවන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. … ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘සත්‍ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය මෙහි මැ නැසෙනසැහැවි යැ සත්ත්‍ව තෙමේ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශ දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමු වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙමෙ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත් රූපය මෙහි මැ නැසෙන ස්වභාව ඇත්තේ යැ, සත්ත්‍ව තෙමේ ශරීභෙදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනපියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ. සත්ත්‍ව තෙම ශරීර භේදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන් මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙන පියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන්මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ පස්වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පනස් අයුරින් අභිනිවේශය වේ.
2-8. පූර්‍වාන්තදෘෂ්ටිය
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි කවර අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
චතුර්විධ ශාශ්වතවාද යැ චතුර්විධ ඒකත්‍යශාශ්වතවාද යැ චතුර්විධ අන්තානන්තිකවාද යැ චතුර්විධ අමරාවික්‍ෂේපිකවාද යැ ද්විවිධ අධීත්‍යසමුත්පන්නිකවාද යි.
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි මේ අටළොස් අයුරින් අභිනිවේශය වේ.
2-9. අපරාන්තානුදෘෂ්ටිය
අපරාන්තානුදෘෂ්ටියෙහි කවර සියුසාලිස්අයුරින් අභිනිවේශය වෙයි යත්:
ෂෝඩශප්‍රකාර සංඥීවාද යැ අෂ්ටප්‍රකාර අසංඥීවාද යැ අෂ්ටප්‍රකාර නෛවසංඥීනාසංඥීවාද යැ සප්තප්‍රකාර උච්ඡේදවාද යැ පඤ්චප්‍රකාර දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද යි.
අපරාන්තානුදෘෂ්ටියෙහි මේ සියුසාලිස්අයුරින් අභිනිවේශය වේ.
2-10. සංයෝජනිකදෘෂ්ටි
සංයෝජනිකදෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් ... දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,
සංයෝජනිකදෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
2-11. අහන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මම වෙමි’ අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මම වෙමි’ ... නැහැය මම වෙමි’ ... ‘දිව මම වෙමි’ ... ‘කය මම වෙමි’ ... ‘මනස මම වෙමි’ ... ‘රූපයෝ මම වෙමි’ ... ‘ධර්‍මයෝ මම වෙමි’ ... ‘චක්‍ෂුර්විඥානය මම වෙමි’ ... ‘මනෝවිඥානය මම වෙමි’ ... ‘අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
2-12. මමන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
‘ඇස මාගේ යැ’යි අභිනිවේශපරාමර්‍ශය ‘මාගේ යැ’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘කන මාගේ යැ’ යි ... ‘නැහැය මාගේ යැ’ යි ... ‘දිව මාගේ යැ’ යි ... ‘කය මාගේ යැ’ යි ... ‘මනස මාගේ යැ’ යි ... ‘රූපයෝ මාගේ යැ’ යි ... ‘ධර්‍මයෝ මාගේ යැ’ යි ... ‘චක්‍ෂුර්විඥානය මාගේ යැ’ යි ... ‘මනෝවිඥානය මාගේ යැ’ යි අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් වස්තුවකුත් වේ ද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරෙකින් අභිනිවේශය වේ.
2-13. ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය
ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නා සුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නා සුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ... වේදනාව සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ ...
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්:
මෙලොව ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. “යමෙක් ඔදාතකසිණ වේ ද, හේ මම වෙමි. යමෙක් මම වේ ද හේ ඕදාතසකසිණ වේ”යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ වෙයි, යමෙක් වර්‍ණ වේ ද හෝ සිළුව වේ” යයි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දක්නේ ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් ඕදාතකසිණය ආත්ම වශයෙන් දකී ... මේ පළමුවනු වූ රූපවස්තුකආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි වේ. ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ...
ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
2-14. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය
ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර අටඅයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
“ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ”යි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
“ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ”යි ... “ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වේ” යයි … “ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ අශාශ්වත නො වේ” යයි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ ද අන්ත නැත්තේ ද වේ” යයි ... ආත්මයත් ලෝකයත් නො මැ අන්ත ඇත්තේ අන්ත නැත්තේ නො වේ” යයි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ අටවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ අටඅයුරින් අභිනිවේශය වේ.
2-15, 2-16. භව - විභව දෘෂ්ටි
(ශාශ්වතසංඥා හෙයින් නිර්‍වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවේශය භවදෘෂ්ටි නම. (උච්ඡේදසංඥා හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවේශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:
ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්‍යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡේදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.
“ලෝකය ශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලෝකය අශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලෝකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටි හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලෝකය අන්ත නැත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයෝජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.
එහැම දෘෂ්ටිහු ආස්වාද දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මානුදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු මිථ්‍යාදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සත්කායදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු අන්තග්‍රාහිකදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සංයොජනික දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වෙත්.
“තාර්කිකයෝ තුමූ භවදෘෂ්ටිය ද, විභවදෘෂ්ටිය ද යන මෙ දෙක ඇසුරු කළාහු වෙති. යම් කරුණෙකින් මේ ලෝවැසි තෙම යම් නිරෝධ සුඛයෙක්හි විපරීතසංඥා ඇත්තේ ද, ඔවුනට ඒ නිරෝධයෙහි ඥානයෙක් නැද්ද එහෙයිනි.”
“මහණෙනි, ද්විවිධ දෘෂ්ටිගතයන් විසින් සමුදාචාරයට පත් දෙවිමිනිස්සු ඇතැම් කෙනෙක් ඔලීයන (ශාශ්වත සංඥා හෙයින් නිර්‍වාණයෙන් හැකිළීම) කෙරෙති. ඇතැම් කෙනෙක් (උච්ඡේද හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවන කෙරෙත්. නුවණැස් ඇත්තාහු මැ දකිත්.
මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙති යත් මහණෙනි, දෙවිමිනිස්සු භවය අභිරමණස්ථානය කොට ඇත්තාහු යැ. භවයෙහි ඇලුණාහු යැ, භවයෙන් සතුටු වූවාහු යැ. භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි ඔවුන්ගේ සිත (ධර්‍මදේශනාවට හෝ භව නිරෝධයට) නො පිවිසෙයි. නො පහදී. නො පිහිටයි. අධිමුක්ත නො වේ. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙත්.
මහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙති යත්: තවද අතැම් කෙනෙක් භවයෙන් මැ පෙළෙනු ලබන්නාහු ලජ්ජාවට පැමිණෙන්නාහු ජුගුප්සාවට පැමිණෙන්නාහු උච්ඡේදයට සතුටු වෙත්. භවත්නි, යම් තැනක පටන් මේ ආත්මය කාබුන් මරණින් මත්තෙහි සිඳේ ද වැනැසේ ද මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ ද තෙල (සිඳීම) ශාන්ත යැ තෙල ප්‍රණීත යැ තෙල යථාස්වාභාවය ල’යි. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙත්.
මහණෙනි, කිසෙයින් ඇස් අත්තාහු මැ දකිති යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම භූතය (හේතුයෙන් උපන් ස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත දුඃඛය) භූත (දුඃඛ) වශයෙන් දකී. භූතය භූතවශයෙන් දැක භූතයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසෙයින් ඇස් ඇත්තාහු මැ දකිත්.
“යමෙක් භූතය භූතවශයෙන් දැක භූතයාගේ ඉක්මවීම (නිරෝධය) ද දැක භවතෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙන් යථාස්වභාව වූ නිරෝධයෙහි අධිමුක්ත වේ ද, (1)
ඒ අර්‍හත් තෙමේ ඒකාන්තයෙන් භූත සඞ්ඛ්‍යාත දුඃඛය පිරිසිඳ දත්තේ කුදුමහත් භවයෙහි පහවූ තෘෂ්ණා ඇත්තේ භූත සඞ්ඛ්‍යාත වර්‍තත දුඃඛයාගේ සිඳීමෙන් පුනර්‍භවයට නො පැමිණේ’ යයි. (2)
පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ.
කවර පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තීර්‍ත්‍ථක යැ තීර්‍ත්‍ථකශ්‍රාවක යැ යමෙකුත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු විරූපභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.
කවර පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තථාගත යැ තථාගතශ්‍රාවක යැ යමෙකුත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.
යම් මිනිසෙක් කිපෙනසුලු ද බද්ධවෛර ඇත්තේ ද ලාමක වූ මකුගුණ ඇත්තේ ද විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද කළ වරද වසනසුලු ද ඔහු ‘වසල’ යයි දන්නේ යැ. (1)
(යමෙක්) නො කිපෙනසුලු ද බද්ධවෛර නැත්තේ ද (ඥානදර්‍ශනවිශුද්ධියෙන්) විශුද්ධ වූයේ ද, (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශුද්ධභාවයට ගියේ ද සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද ප්‍රඥා ඇත්තේ ද ඔහු ‘ආර්‍ය්‍ය’ යයි දන්නේ ය’යි. (2)
විපන්නදෘෂ්ටීහු තිදෙනෙක, සම්පන්නදෘෂ්ටීහු තිදෙනෙකි.
තුන් විපන්නදෘෂ්ටීහු කවරහ යත්: ‘තෙල මාගේ යැ’ යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මම වෙමි” යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මාගේ ආත්ම යැ” යනු විපන්නදෘෂ්ටි යි. මොහු තුන් විපන්නදෘෂ්ටීහු වෙත්.
තුන් සම්පන්නදෘෂ්ටීහු කවරහ යත්: “තෙල මාගේ නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යැ, “තෙල මම නො වෙමි” යනු සම්පන්නදෘෂ්ටි යැ. “තෙල මාගේ ආත්මය නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යි. මොහු තුන් සම්පන්නදෘෂ්ටීහු වෙත්.
“තෙල මාගේ යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මම වෙමි” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මාගේ ආත්ම යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද යත්:
“තෙල මාගේ යැ” යනු පූර්‍වාන්තානුදෘෂ්ටි යැ දෘෂ්ටි අටළොසෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මම වෙමි” යනු අපරාන්තානුදෘෂ්ටි යැ. දෘෂ්ටි සියුසාලිසෙකි. ඒ දෘෂ්ටීහු අපරාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මාගේ ආත්ම යැ” යනු විංශද්වස්තුක ආත්මානුදෘෂ්ටි යැ. විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, සත්කායදෘෂ්ටිය ප්‍රමුඛ කොට ඇති දෘෂ්ටිගත දෙසැටෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තාපරාන්තයෙන් අනුගෘහීත වෙත්.
මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි (‘භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ’යි) මාර්‍ගඥානවශයෙන් නිෂ්ඨාවට ගියාහු ද ඒ සියල්ලෝ දෘෂ්ටිසම්පන්නයෝ යි. එ දෘෂ්ටිසම්පන්නයන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා (පරිනිර්‍වාණය) වෙයි. පස්දෙනෙකුන්හට මේ කාමභවය හැරපියා නිෂ්ඨා වෙයි.
කවර පස්දෙනෙකුන්හට මෙහි නිෂ්ඨා වේ ද යත්: සත්තක්ඛත්තුපරමහට යැ කොලංකොලහට යැ ඒකබීජහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මේ පස්දෙනාහට මෙහි නිෂ්ඨා වේ.
කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ ද යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝත අකනිට්ඨාගාමීහට යැ යන මේ පස්දෙනාහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.
මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨාවට ගියාහු ද එහැම දෙන දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියාහු යැ. ඒ දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියවුන් අතුරින් මොවුන් පස්දෙනහට ඉධනිෂ්ඨා යැ මොවුන් පස්දෙනහට ඉධවිහාය නිත්මා යි.
මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද, එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු යැ. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියවුන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. පස් දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි.
කවර පස් දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි යත්: සත්තක්ඛත්තුපරමහට යැ. කොලංකොලහට යැ ඒකබීජිහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වේ.
කවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝතඅකනිට්ඨගාමීහට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.
මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියාහු වෙති. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියවුන් අතුරෙන් මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ යයි.
දෘෂ්ටිකථා නිමි.
ආනාපානස්මෘති කථා
3-1. ගණනවාරය
ෂෝඩශවස්තුක ආනාපානස්මෘති සමාධිය වඩන්නහුට සාතිරෙක දෙසියක් ඥානයෝ උපදිති. උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අට දෙනෙක, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙනෙක, උපක්ලේශ අරමුණු කොට පැවැති ඥානයෝ අටළොසෙක, වෝදානඥාන තුදුසෙක, සිහි ඇති වැ කරන්නහුගේ ඥාන දෙතිසෙක, සමාධිවශයෙන් පැවැති ඥානයෝ සූවිස්සෙක, විදර්‍ශනාවශයෙන් පැවැති ඥානයෝ දෙසැත්තෑවෙක, නිර්වේදඥානයෝ අටදෙනෙක, නිර්වේදයට අනුලොම් වූ ඥානයෝ අටදෙනෙක, නිර්වේදයාගේ සන්හිඳීමෙහි ඥානයෝ අටදෙනෙක, විමුක්තිසුඛසම්ප්‍රයුක්තඥානයෝ එක්විස්සෙකි.
ගණනවාරය නිමි.
3-2. පරිපන්‍ථ උපකාර ෂොඩශඥානයෝ
උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන කවරහ යත්:
කාමච්ඡන්‍දය සමාධියට උවදුරු යැ, නෛෂ්ක්‍රම්‍යය සමාධියට උපකාර යැ. ව්‍යාපාදය සමාධියට උවදුරු යැ, අව්‍යාපදාය සමාධියට උපකාර යැ. ථිනමිද්ධය සමාධියට උවදුරු යැ, ආලෝකසංඥාව සමාධියට උපකාර යැ. ඖද්ධත්‍යය සමාධියට උවදුරු යැ, අවික්‍ෂේපය සමාධියට උපකාර යැ. විචිකිත්සාව සමාධියට උවදුරු යැ, ධර්‍මවිනිශ්චය සමාධියට උපකාර යැ. අවිද්‍යාව සමාධියට උවදුරු යැ, ඥානය සමාධියට උපකාර යැ. අරතිය සමාධියට උවදුරු යැ, ප්‍රාමෝද්‍යය සමාධියට උපකාර යැ. හැම අකුශලධර්‍මයෝ සමාධියට උවදුරු වෙති. හැම කුශලධර්‍මයෝ සමාධියට උපකාර වෙත්. මොහු උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද වෙත්.
මේ සොළොස් අයුරින් මතුමත්තෙහි කළ පරිචය ඇති මොනොවට මතුමත්තෙහි කළ පරිචය ඇති සිත ඒකත්‍වයෙහි පිහිටයි, නීවරණයන් කෙරෙන් විශුද්ධ වෙයි.
මේ ඒකත්‍වයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ අව්‍යාපාදය ඒකත්‍ව යැ ආලෝකසංඥාව ඒකත්‍ව යැ අවික්‍ෂේපය ඒකත්‍ව යැ ධර්‍මවිනිශ්චය ඒකත්‍ව යැ ඥානය ඒකත්‍ව යැ ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යැ හැම කුශලධර්‍මයෝ ඒකත්‍වයෝ යි.
ඒ නීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දය නීවරණ යැ ව්‍යාපාදය නීවරණ යැ ථීනමිද්ධය නීවරණ යැ උද්ධච්චකුක්කුච්චය නීවරණ යැ විචිකිච්ඡාව නීවරණ යැ අවිජ්ජාව නීවරණ යැ අරතිය නීවරණ යැ හැම අකුශලධර්‍මයෝ නීවරණයෝ යි.
නීවරණා යනු: කවර අරුතින් නීවරණ වෙයි යත්: නිර්‍ය්‍යාණාවරණාර්‍ත්‍ථයෙන් නීවරණ යැ:
ඒ නිර්‍ය්‍යාණයෝ කවරහ යත්: නෙෂ්ක්‍රම්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ නෛෂ්ක්‍රම්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (කාමයෙන්) නික්ම යෙති. කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ කාමච්ඡන්‍දයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ නෛෂ්ක්‍රම්‍යය නො දනී නු යි කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණ යැ. අව්‍යාපාදය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අව්‍යාපාදය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ව්‍යාපාදයෙන්) නික්ම යෙති. ව්‍යාපාදය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ව්‍යාපාදයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අව්‍යාපාදය නො දනී නු යි ව්‍යාපාදය නිර්‍ය්‍යාණාවරණ යැ. ආලෝකසංඥාව ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අලෝකසංඥාව හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ථීනමිද්ධයෙන්) නික්ම යෙති. ථිනමිද්ධය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ථිනමිද්ධයෙනු දු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ආලෝකසංඥාව නො ද නී නු යි. ථීනමිද්ධය නිර්‍ය්‍යාණාවරණ යැ. අවික්‍ෂේපය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අවික්‍ෂේපය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ඖද්ධත්‍යයෙන්) නික්ම යෙති. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ඖද්ධත්‍යයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අවික්‍ෂේපය නො ද නී නු යි. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණාවරණ යැ. ධර්‍මවිනිශ්චය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ධර්‍මවිනිශ්චය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (විචිකිත්සායෙන්) නික්ම යෙති. විචිකිත්සාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ විචිකිත්සායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ධර්‍මවිනිශ්චය නො ද නී නු යි විචිකිත්සාව නිර්‍ය්‍යාණාවරණ යැ. ඥානය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ඥානය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අවිද්‍යායෙන්) නික්ම යෙති. අවිද්‍යාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ අවිද්‍යායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ඥානය නො ද නී නු යි අවිද්‍යාව නිර්‍ය්‍යාණාවරණ යැ. ප්‍රාමෝද්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අරතියෙන්) නික්ම යෙති. අරතිය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ අරතියෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ප්‍රාමෝද්‍යය නො ද නී නු යි අරතිය නිර්‍ය්‍යාණාවරණ යැ. හැම කුශලධර්‍මයෝ ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ කුශලධර්‍මයන් හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (හැම අකුශලයෙන්) නික්ම යෙති. හැම අකුශල ධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ. ඒ අකුශලධර්‍මයන් විසිනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ කුශලධර්‍මයන් නො ද නී නු යි හැම අකුශලධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ.
ෂෝඩශඥානනිර්දේශය නිමි.
3-3. උපක්ලේශඥාන
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුක ආනාපානස්මෘතිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොටගෙන කවර අටළොස් උපක්ලේශයෝ උපදනාහු ද යත්:
ආශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ වාහ්‍යායතනයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ආශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමනය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ආශ්වාසයෙන් පෙළුණහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි. ප්‍රශ්වාසයෙන් පෙළුණහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි.
ආශ්වාසය අනුව යන්නා වූ අධ්‍යාත්මවික්‍ෂේපයට හේතු වූ ස්මෘතිය ද, ප්‍රශ්වාසය අනුව යන්නා වූ බාහ්‍යවික්‍ෂෙපයට හේතු වූ ස්මෘතිය ද, අධ්‍යාත්මවික්‍ෂේපය (ආශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද, බාහ්‍යවික්‍ෂෙපය (ප්‍රශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද (1)