Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 1101-1200 න් 2879

සොළොස් දෘෂ්ටීහු කවරහ යත්:
ආස්වාදදෘෂ්ටි යැ අත්මානුදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ සත්කායදෘෂ්ටි යැ සත්කායවස්තුක වූ ශාශ්වතදෘෂ්ටි යැ සත්කාය වස්තුක වූ උච්ඡේදදෘෂ්ටි යැ අන්තග්‍රාහික දෘෂ්ටි යැ පූර්‍වාන්තානුදෘෂ්ටි යැ අපරාන්තානුදෘෂ්ටි යැ සංයෝජනිකදෘෂ්ටි යැ ‘මම’ යයි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ‘මාගේ යැ’යි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ආත්මවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ ලෝකවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ භවදෘෂ්ටි යැ විභවදෘෂ්ටි යි.
මොහු සොළොස් දෘෂ්ටීහු වෙත්.
තුන්සියයක් දෘෂ්ට්‍යභිනිවේශයෝ කවරහ යත්:
කිහි අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය (බැසැ ගැනීම) වේ ද?
කිහි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් ලොකවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
කිහි අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
පන්තිස් අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
විසි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
දස අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
විසි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
පසළොස් අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
පස් අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
අටළොස් අයුරෙකින් පූර්‍වාන්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
සියුසාලිස් අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
අටළොස් අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
අටළොස් අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
අටළොස් අයුරෙකින් ‘මාගේ’යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
විසි අයුරෙකින් ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
අට අයුරෙකින් ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
එක් අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
එක් අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
2-1. ආස්වාදදෘෂ්ටිය
කවර පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
‘රූපස්කන්‍ධය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, ආස්වාදය අනෙකෙක; යම් දෘෂ්ටියෙකුත් යම් ආස්වාදයෙකුත් වේ ද, මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙක, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියෙක, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමෙ දෘෂ්ටිවිපන්න නම දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. එ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දිට්ඨිරාග ය’යි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම දෘෂ්ටිරාගරක්ත නම. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත්ඵල නො වෙයි, මහානෘශංස නො වේ. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට බව පිණිස අකාන්ත බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. යම්සේ කොසොඹ බිජුවටෙක් හෝ තිත්ත වැටකොළු බිජුවටෙක් හෝ තෙත් වූ පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගනු ලැබේද යම් අබ්රසයෙකුත් ගනු ලැබේ ද එ හැම තිත්ත බවට කටුක බවට නො මිහිරි බවට වැටෙයි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදියෙහි බිජුවට ලාමක ද එහෙයිනි. එපරිද්දෙන් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද එ හැම ධර්‍මයෝ අනිෂ්ට බවට අකාන්ත බවට අමනාප බවට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගතයෙක, දෘෂ්ටිගහනයෙක, දෘෂ්ටිකාන්තාරයෙක, දෘෂ්ටි නැමැති හුලෙක, දෘෂ්ටියගේ විරූප චලනයෙක, දෘෂ්ටිසංයෝජනයෙක්, දෘෂ්ටිශල්‍යයෙක, දෘෂ්ටිසම්බාධයෙක, දෘෂ්ටිපරිබෝධයෙක, දෘෂ්ටිබන්‍ධනයෙක, දෘෂ්ටිප්‍රපාතයෙක, දෘෂ්ට්‍යනුශයෙක, දෘෂ්ටිසන්තාපයෙක, දෘෂ්ටිපරිදාහයෙක, දෘෂ්ටිග්‍රන්‍ථයෙක, දෘෂ්ට්‍යුපාදානයෙක, දෘෂ්ට්‍යභිනිවේශයෙක, දෘෂ්ටිපරාමර්‍ශයෙකි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ (සසර) සංයෝගය වේ.
දෘෂ්ටි ද වූ සංයෝජනයෝ ද ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති.
දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි ද වූ සංයෝජනයෝ යි.
දෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාග සංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සා සංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යා සංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අනුනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
වේදනාව නිසා ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා ... චක්‍ෂුස නිසා ... ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වාව නිසා ... කාය නිසා ... මනස නිසා ... රූපයන් නිසා ... ශබ්දයන් නිසා ... ගන්‍ධයන් නිසා ... රසයන් නිසා ... ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා ... ධර්‍මයන් නිසා ... චක්‍ෂුර්විඥානය නිසා ... ශ්‍රෝත්‍රවිඥානය නිසා ... ඝ්‍රාණ විඥානය නිසා ... ජිහ්වාවිඥානය නිසා ... කාය විඥානය නිසා ... මනෝවිඥානය නිසා ... චක්ඛුසම්ඵස්සය නිසා ... සෝතසම්ඵස්සය නිසා ... ඝානසම්ඵස්සය නිසා ... ජිව්හාසම්ඵස්සය නිසා ... කායසම්ඵස්සය නිසා ... මනෝසම්ඵස්සය නිසා ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාවගේ ආස්වාද යි. අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, ආස්වාදය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් ආස්වාදයෙකුත් වේ ද මේ ‘ආස්වාද දෘෂ්ටි යැ’යි කියනු ලැබේ.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමේ ‘දෘෂ්ටිවිපන්න’ නම. දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක. රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දෘෂ්ටිරාග’ යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම ‘දෘෂ්ටිරාගරක්ත’ නම් වෙයි. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහ අනුසස් ඇත්තේ නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි, නිරය හෝ තිර්‍ය්‍යග්යෝනි හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙක් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. යම්සේ කොසොඹබිජුවටෙක් වේවයි තිත්ත වැටකොළු බිජුවටෙක් වේවයි තිත්තලබුබිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගන්නා ලැබේ ද, යම් අබ්රසයෙකුත් ගන්නා ලැබේ ද, එ හැම තිත්ත බවට කටුක බවට අමධුර බවට වැටෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදිහුගේ බිජුවට ලාමක ද එහෙයිනි. එසෙයින් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නාලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගත යැ දෘෂ්ටිගහන යැ ... දෘෂ්ට්‍යභිනිවෙශ යැ දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ සංයෝගය වේ.
දෘෂ්ටි ද වූ සංයෝජනයෝ ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති. දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි වූ ද සංයෝජනයෝ යි.
දෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සාසංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍යසංයොජන යැ අනූනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මේ පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.
2-2. ආත්මානුදෘෂ්ටිය
කවර විසි අයුරින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
මෙ ලොව්හි (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන් ) දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් රූපය ආත්ම වශයෙන් දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් පඨවීකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවීකසිණයෙක් වේ ද හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවීකසිණ යැ යි පඨවීකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් පඨවිකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවිකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවිකසිණ යැ යි පඨවිකසිණයත් තමාත් එකක් මැ කොටැ දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යමක් දෘෂ්ටි වේ ද යමෙකුත් වස්තු වේ ද මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටියැ දෘෂ්ටිවිපත්ති යැ ... ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
මෙ ලොව්හි ඇතැමෙක් ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් ඕදාතකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද, හේ ඔදාතකසිණ යැ’යි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද, හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද, හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් ... ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක. වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් වස්තුවකුත් වේ ද, මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී.
කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්ම මේ (ශරීරය කසිණ) රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, ඒ වෘක්‍ෂය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ. ‘මේ වෘක්‍ෂය යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක ඡායාව අනෙකක, වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් යැ’යි (මෙසේ) වෘක්‍ෂය ඡායාවක් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව-සංඥාව-සංස්කාරයන්-විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මෙ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්මය මේ රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටි යැ වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී.
කිසෙයින් ආත්මයෙහි ලා රූපය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: මේ වූකලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූප යැ’යි ආත්මයෙහි ලා රූපය දකී. යම්සේ ගන්‍ධසම්පන්න වූ පුෂ්පයෙක් වන්නේ ද, ඒ පුෂ්පය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ යයි. මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූපය වේ’යැයි ආත්මයෙහි ලා රූපය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන් වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා රූපය දකී.
කිසෙයින් රූපයෙහි ලා ආත්මය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ’ යයි රූපයෙහි ලා ආත්මය දකී. යම්සේ කරඬුවෙක බහාලන ලද මැණිකෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ය: ‘මේ මැණික යැ, මේ කරඬුව යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් ඒ මේ මැණික තෙමේ මේ කරඬුවෙහි වේ යයි මෙසේ කරඬුවෙහි ලා මැණික දකී ද, එරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ යයි රූපයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතර වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපයෙහි ලා ආත්මය දකී.
කිසෙයින් වේදනාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ යම් සිළුයෙක් වේ ද, ඒ වර්‍ණ යැ, යම් වර්‍ණයෙක් වේ ද, ඒ සිළු යැ’ යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, ඒ මනෝසම්ඵස්සජ වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවන වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. අත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනාව ආත්මයවශයෙන් දකී.
කිසෙයින් ආත්මය වේදනාවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ වේදනායෙන් වේදනාවත් යැ’යි ආත්මය වේදනාවත් කොට දකි. යම්සේ ඡායාසම්පන්න රුකෙක් වන්නේ ද එරුක ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ රුක යැ, මේ සෙවණලු යැ, රුක අනෙකෙක, සෙවණැල්ල අනෙකෙකි. වැළිත් ඒ මේ රුක මේ සෙවණලුයෙන් සෙවණලු ඇත්තේ යැ’යි (මෙසේ) රුක සෙවණලු ඇත්තක් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ වේදනායෙන් වේදනාවත් වේ’යයි ආත්මය වේදනාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ දෙවනුව වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය වේදනාවත් කොට දකී.
කිසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’යයි ආත්මයෙහි ලා වේදනාව දකී. යම්සේ ගන්‍ධසම්පන්නපුෂ්පයෙක් වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත්, ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ’ යයි මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’ යයි ආත්මයෙහි ලා වේදනාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන්වනු වූ වේදනාවස්තුකආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී.
කිසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ. වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: මේ මැණිකැ මේ කරඬු යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික කරඬුයෙහි වේ යයි (මෙසේ) කරඬුයෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතරවනු වූ වෙදනාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී.
කිසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව ... සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ඝානසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥාව ... කායසම්ඵස්සයෙන් උපන් සංඥාව ... මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥා වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යමක් සිළුව වේ ද, ඒ වර්‍ණ ය, යමෙක් වර්‍ණය වේ ද, ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ ද, හේ මම් වෙමි, යමක් මම් වේ ද මෝ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී.
කිසෙයින් ආත්මය සංඥාවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් සංඥාවත් වේ’යයි ආත්මය සංඥාවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙක; වැළිත් මේ වෘක්‍ෂය තෙමේ මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් ‘සංඥාවත් වේ’ යයි ආත්මය සංඥාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නොවෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥාවත් කොට දකී.
කිසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’ යයි ආත්මයෙහි ලා සංඥාව දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’යයි ආත්මයෙහි ලා සංඥාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. මේ තුන්වනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී.
කිසෙයින් සංඥායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’ යයි සංඥායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණික, මේ කරඬුව, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි; වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’යයි සංඥායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි; වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් යම් වස්තුවක් හා වේ ද මේ සතරවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටිය නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥායෙහි ලා ආත්මය දකී.
කිසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනාව … කායසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව … ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යම් සිළුවක් වේ ද ඒ වර්‍ණ වෙයි. යමෙක් වර්‍ණය වේ ද ඒ සිළුව වේ’යයි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව ආත්ම වශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි. යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ පළමුවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී.
කිසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’ යයි ආත්මය සංස්කාරවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’යයි ආත්මය සංස්කාරවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දෙවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී.
කිසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’යයි පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ තුන්වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී.
කිසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. යම්සේ මෑණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ මැණිකැ, මෙ කරඬුවැ. මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දාෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ සතර වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදාෂ්ටි වේ. ආත්මානුදාෂ්ටිය මිථ්‍යාදාෂ්ටි යැ … මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී.
කිසෙයින් විඥානය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය, ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද ඒ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණ වේ ද; ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝවිඥානය ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද හේ මම වෙමි. යමෙක් මම් වේ ද හේ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශයදෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානය ආත්මවශයෙන් දකී.
කිසෙයින් ආත්මය විඥානවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’යයි ආත්මය විඥානවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි, මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’ යයි ආත්මය විඥානවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ දෙවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය විඥානවත් කොට දකී.
කිසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි විඥානය ආත්මයෙහි ලා දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි, වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) ගන්‍ධය පුෂ්පයෙහි ලා දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි ආත්මයෙහි ලා විඥානය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තුව නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ තුන්වනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී.
කිසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණිකැ, මේ කරඬුවැ, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය. වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ සතරවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී.
ආත්මානුදෘෂ්ටියෙහි මේ විසි අයුරින් අභිනිවේශය වේ.
2-3. මිථ්‍යාදෘෂ්ටිය
මිථ්‍යාදෘෂ්ටියෙහි කවර දස අයුරෙකින් අභිනිවේශ වෙයි යත්:
‘දානයෙහි ඵල නැත’ යනු වස්තු යැ. මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘යාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ. ... ‘මහායාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත’ යනු වස්තු යැ ... (පෙර කළ කර්‍මයෙන්) ‘මෙලොව නැත’ යනු වස්තු යැ ... (මෙහි කළ කර්‍මයෙන්) ‘පරලොව නැත’ යනු වස්තු යැ ... ‘මවු නැත’ යනු වස්තු යැ ... ‘පියා නැත’ යනු වස්තු යැ ... ‘ඕපපාතිකසත්ත්‍වයෝ නැත’ යනු වස්තු යැ ... ‘යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොවැ නැත’ යනු වස්තු යැ මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දසවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති යැ ... මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මිථ්‍යාදෘෂ්ටියෙහි මේ දසඅයුරින් අභිනිවේශය වේ.
2-4. සත්කායදෘෂ්ටිය
සත්කායදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ, රූප ආත්මයෙහි ලා හෝ, ආත්මය රූපයෙහි ලා හෝ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි ලා හෝ, ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඔදාතකසිණ වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ ... එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... මේ පළමුවන වූ රූපවස්තුකසත්කායදෘෂ්ටි වේ. සත්කාය දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි ය ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී. සත්කායදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
2-5. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටිය
සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි කවර පසළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
මෙලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ආත්මය වේදනාවත් කොට හෝ ... ආත්මය සංඥාවත් කොට හෝ ... ආත්මය සංස්කාරවත් කොට හෝ ... ආත්මය විඥානවත් කොට හෝ ... විඥානය ආත්මයෙහි ලා හෝ .. ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ රූපයෙන් රූපවත් වේ’යයි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මොලොව ඇතැමෙක් වේදනාව ... මේ පළමුවනු වූ සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටි නම. ශාශ්වතදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී ... සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි මේ පසළොස් අයුරින් අභිනිවේශය වේ.
2-6. සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටිය
කවර පස් අයුරෙකින් සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
මෙ ලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. වේදනාව ආත්මවශයෙන් දකී, සංඥාව ආත්මවශයෙන් දකී, සංස්කාරයන් ආත්මවශයෙන් දකී, විඥානය ආත්මවශයෙන් දකී.
කිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඕදාතකසිණය වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’ යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ ... මේ පළමුවනු වු සත්කාය වස්තුක උච්ඡේදදෘෂ්ටි නම. උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ... මේ පස් අයුරින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.
2-7. අන්තග්‍රාහිකදෘෂ්ටිය
කවර පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යී අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වේ’ යයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො වේ’යයි ... සත්ත්‍වතෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි ... ‘සත්ත්‍වතෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද යත්:
ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වෙයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වේ.
‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘ලෝකය ශාශ්වත යැ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... ‘සංඥාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... සංස්කාරයෝ ලෝක ද ශාශ්වත ද වෙතී ...‘ විඥානය ලෝක ද ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පස්වනු වූ ‘ලෝකය ශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය ශාශ්වත යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
‘ලෝක අශාශ්වත යැ’ යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... මේ පළමු වනු වූ ‘ලෝකය අශාශ්වත යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
‘වේදනාව ලෝක ද අශාශ්වත ද වේ’ යයි ... සංඥාව ලෝක ද අශාශ්වත ද වේ යයි ... සංස්කාරයෝ ලෝක ද අශාශ්වත ද වෙත්’ යයි ... විඥානය ලෝක ද අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යු අන්තග්‍රාහික දෘෂ්ටි නම. ... අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය අශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.