යමක් ලෝකයෙහි ප්‍රියස්වභාව සාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ කාමරාගානුශය ලැගසිටී යමෙක් ලෝකයෙහි අප්‍රියස්වභාව අසාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ ප්‍රතිඝානුශය ලැගසිටී. මෙසෙයින් මේ දෙදහම්හි අවිද්‍යාව අනුවගියා ය. ඒ අවිද්‍යාව හා සමග (සහජෙකට්ඨවශයෙන්) එක් වැ සිටි මානය ද දෘෂ්ටි ද විචිකිත්සාව ද දතයුත්තාහ. මේ සත්ත්‍වයන්ගේ අනුශය වේ.
සත්ත්‍වයන්ගේ චරිතය කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහාභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්‍වයන්ගේ චරිත යි.
සත්ත්‍වයන්ගේ අධිමුක්ති කවර යත්: හීන වූ අධිමුක්ති (අදහස්) ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ප්‍රණීත වූ අධිමුක්ති ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. හීනාධිමුක්තික සත්ත්‍වයෝ හීනාධිමුක්තික සත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කෙරෙති. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සේවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙති. අතීතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කළහ. අනාගතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහ. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහු යි. මේ සත්ත්‍වයන්ගේ අධිමුක්ති යි.
අභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගතයෝ ද ක්ලේශාවරණයෙන් සමන්‍වාගතයෝ ද විපාකාවරණයෙන් සමන්‍වාගතයෝ ද සැදැහැ නැත්තාහු ද කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද නැත්තාහු ද භවාඞ්ගප්‍රඥා රහිතයෝ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට අභව්‍යයෝ ද මේ සත්ත්‍වයෝ අභව්‍යයෝ යි.
භව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු සැදැහැ ඇත්තාහු කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද ඇත්තාහු ද භවාඞ්ගප්‍රඥා ඇත්තාහු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට භව්‍ය වෙත් ද මේ සත්ත්‍වයෝ භව්‍යයෝ යි.
මේ තථාගතයන් වහන්සේගේ සත්ත්‍වයන් පිළිබඳ ආශය අනුශය දන්නා නුවණ යි.
ආශයානුශයඥානනිර්දේශ යි.
70. යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය
තථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය කවරෙ යත්:
මෙහි තථාගත තෙම ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමකප්‍රාතිහාර්‍ය්‍යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමයෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍රභාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.
බුදුහු සක්මන් කෙරෙති, නිර්මිත බුදුහු සිටිති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු සිටිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු හිඳිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; බුදුහු ශයනය කෙරෙති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හො කෙරෙති; නිර්මිත බුදුහු සක්මන් කෙරෙති, බුදුහු සිටිති හිඳිති ශයනය හො කෙරෙති; නිර්මිත බුදුහු සිටිති, බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු හිඳිති, බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු ශයනය කෙරෙති, බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හෝ කෙරෙත් යයි.
මේ තථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යි.
යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන නිර්දේශ යි.
71. මහාකරුණාසමාපත්තිඥානය
තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තිඥානය කවරෙ යත්:
බහුප්‍රකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින් හා) බලන්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී: ‘ලෝකසන්නිවාසය තෙම (රාගාදීන් විසින්) ආදීප්ත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම මරණයට නික්මැගියේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම නො මඟට පිළිපන්නේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝවැසි තෙම අස්ථිර වූයේ ජරාවශයෙන් මරණයට ගෙනයනු ලැබේ ය’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම අස්වසාලිය හැක්කෙක් නැත්තේ අනාරක්‍ෂක වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම (අයැති යයි ගන්නාලද) සියල්ල හැරපියා යායුතු යැ (එහෙයින් මැ) තමා අයැතියක් නැත්තේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම තෘෂ්ණාවට දාස වූයේ නො තිත් වූයේ ඌන වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම අනාරක්‍ෂක යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝකසන්නිවාසය තෙම නිශ්‍රය රහිත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අසරණැ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අසරණ වූයේ යැ’යි දක්නා වූ ...
‘ලෝවැසි තෙම නො සන්හුන් වූයේ උද්ධත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම බොහෝ වූ හුලින් විදුනා ලද්දේ සශල්‍ය වූයේ යැ. මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ හුල් උදුරන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම කෙලෙස්මැඳිරියෙහි බහාලන ලද්දේ අවිද්‍යාන්‍ධකාර නැමැති ආවරණ ඇත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අලෝකය දක්වනසුලු අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යාණ්ඩකෝෂයෙහි උපන්නේ හාත්පසින් බඳනාලද්දේ හූවටක් සෙයින් ආකූල වූයේ ලිහිණිකසල්ලක් බඳු වූයේ මුදුතණබබුස්තණ බඳු වූයේ අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන සසර නො ඉක්මේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යා සඞ්ඛ්‍යාත විෂදෝෂයෙන් මොනොවට තැවැරුණේ හටගත් කෙලෙස්කලල් ඇත්තේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම රාගද්වේෂමෝහ සඞ්ඛ්‍යාත ජටායෙන් මැසුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ (කෙලෙස්) ජටා සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නැමැති සගුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාස්‍රෝතසින් අදනාලැබේ ය’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසංයෝජනයෙන් බඳනාලදැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණානුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසන්තාපයෙන් තවනු ලැබේ’ යැයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාපරිදාහයෙන් දවනු ලැබේ’ යැයි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටි නැමැති හඟුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිජාලයෙන් වෙළනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිස්‍රෝතසින් අඳනාලැබේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසංයෝජනයෙන් බඳනා ලදැ’යි දක්නා වූ ...‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ට්‍යනුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසන්තාපයෙන් තැවේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිපරිදාහයෙන් දැවේ’ යයි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම ජාතියෙන් අනුගත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරායෙන් ලුහුබඳනා ලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ව්‍යාධියෙන් මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මරණයෙන් පහරන ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දුකෙහි පිහිටියේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණායෙන් නඟනලදුයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරා නැමැති ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මරණපාශායෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහාබන්‍ධනයෙන් බැඳුණේ යැ රාගබන්‍ධනයෙන් ද්වේෂබන්‍ධනයෙන් මොහබන්‍ධනයෙන් මානබන්‍ධනයෙන් දෘෂ්ටිබන්‍ධනයෙන් ක්ලේශබන්‍ධනයෙන් දුශ්චරිතබන්‍ධනයෙන් බැඳුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ බන්‍ධනය මුදනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහත් වූ ක්ලේශසම්බාධයට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අවකාශ දක්වන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම මහාපළිබෝධයෙන් ඇවුරුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ පළිබෝධ සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගති සඞ්ඛ්‍යාත මහාප්‍රපාතයෙහි වැටුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ප්‍රපාතයෙන් නඟන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (ජාත්‍යාදි) මහකතරට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය කතර තරවන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහසසරට පිළිපන්නේ යැ, මා තබා ලෝකසන්නිවාසය සසරින් මුදන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සංසාර සඞ්ඛ්‍යාත මහාදුර්‍ගයෙහි පරිවර්‍තන වෙයි, මා තබා ඒ ලෝකසන්නිවාසයය දුර්‍ගයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මහමඩෙහි ලැගුණේ යැ, මා තබා එ ලෝකසන්නිවාසය මඬෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම (හැම උවදුරින්) මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩිආයාසයෙන් ඇවිළගත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය නිවාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (ජාතිය විසින් ජරාදි උපද්‍රවයට) ඔසවාගෙනයනලද්දේ පැමිණි දඬුවම් ඇති සොර වූයේ නිරතුරු අනාරක්‍ෂකවැ පෙළේ යැ’යි දක්නා වූ ...
ලෝකසන්නිවාසය තෙම (රාගාදි) වද්‍යබන්‍ධනයෙන් බඳනාලදුයේ දම්ගෙඩිය කරා එළඹ සිටියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය මුදාලන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අනාථ වූයේ පරම දිළිඳු බවට පැමිණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය රක්නා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දුකින් පෙළනලදුයේ දිගුකලක් පෙළුණේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම (තෘෂ්ණායෙන්) නිරතුරු ගිජු වූයේ නිරතුරු හටගත් පවස් ඇත්තේ යැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම (ප්‍රඥාවගේ අභාවයෙන්) අන්‍ධ වූයේ යැ ඇස් නැත්තේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නට ඇස් ඇත්තේ පරිනායකයකු රහිත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම විපරීතමාර්‍ගයට බටුයේ ඍජුමාර්‍ගයෙහි වැරැද්දේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ආර්‍ය්‍යමාර්‍ගයට ගෙන එන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (කාමාදි) මහාඕඝයට පිවිසියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ඕඝයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...
‘ලෝකසන්නිවාසය තෙම (ශාශ්වත - උච්ඡේද) දෘෂ්ටි දෙකින් පර්‍ය්‍යුත්‍ථිත වූයේ (හාත්පසින් ගෙන සිටියේ) යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම තුන් දුශ්චරිතයන් විසින් විප්‍රතිපන්න යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (කාමාදි) සතර යෝගයන් ගෙන් යුක්ත වූයේ සතර යෝගයන් විසින් බඳනා ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර ග්‍රන්‍ථයන් විසින් ගෙතුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර උපාදානයන් විසින් දැඩි කොට ගන්නාලැබේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගතියට සමාරූඪ වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චකාමගුණයන් විසින් රඳනා ලැබේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චනීවරණයන් විසින් වතුරුවනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් විවාදමූලයන්ගෙන් විවාද කෙරේ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් තෘෂ්ණාකායයෙන් ඇලේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ෂඩ්දෘෂ්ටීන් විසින් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්ත අනුශයයන් විසින් ලුහුබඳනාලද යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සත් සංයෝජනයන් විසින් සංයුක්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්තවිධ මානයන් විසින් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටලෝකධර්‍මයෙන් පෙරැළේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටමිථ්‍යාත්‍ථයෙන් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අටවැදෑරුම් පුරුෂදෝෂයෙන් දූෂ්‍ය වේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම නවවිධ ආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නවවිධ මානයෙන් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම නව තෘෂ්ණාමූලකධර්‍මයන්ගෙන් ඇලේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දශ ක්ලේශවස්තුයෙන් කෙලෙසේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශඅකුශලකර්‍මපථයෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශ සංයෝජනයෙන් බැඳුනේ යැ’යි දක්නා වූ …
‘ලෝකසන්නිවාසය තෙම දශවිධමිථ්‍යාත්‍ථයන් විසින් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක වූ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ‘අටතුරාසියකැ’යි සලකනලද තෘෂ්ණාප්‍රපඤ්චසතයෙන් ප්‍රපඤ්ච කරනලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෙසැටමිසදිටුයෙන් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.
මම් වූකලි තරණය කෙළෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් තරණය නො කෙළේ යැ, මම් වූකලි මිදුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො මිදුණේ යැ; මම් වූකලි දැමුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො දැමුණේ යැ; මම් වූකලි සිහිල් වූයෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො සිහිල් වූයේ යැ, මම් වූකලි අස්වැසුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො අස්වැසුණේ යැ; මම් වූකලි පිරිනිවියෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො පිරිනිවියේ යැ; එකත්නෙන් මම් තරණය කෙළෙම් මෙරමා තරවන්නට, මිදුනෙම් මෙරමා මුදන්නට, දැමුණෙම් මෙරමා දමන්නට, සිහිල් වූයෙම් මෙරමා සිහිල් කරන්නට, අස්වැසුණෙම් මෙරමා අස්වසාලන්නට, පිරිනිවියෙම් මෙරමා පිරිනිවාලන්නට සමර්‍ත්‍ථයෙමි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ කරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.
මේ තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තියෙහි ඥාන යි.
මහාකරුණාසමාපත්තිඥානනිර්දේශ යි.
72-73. සර්‍වඥතා - අනාවරණඥානයෝ
තථාගතයන් වහන්සේගේ සර්‍වතාඥානය කවරෙ යත්:
හැම සඞ්ඛතය අසඞ්ඛතය නිරවශේෂ කොට දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
අතීත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
අනාගත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
ප්‍රත්‍යුත්පන්න වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
ඇස ද රූපයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥානයැ. කන ද ශබ්දයෝ ද ... නැහැය ද ගන්‍ධයෝ ද ... දිව ද රසයෝ ද .. කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද ... මනස ද ධර්‍මයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥාතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ, යම්තාක් රූපයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යැ. යම්තාක් වේදනාවගේ ... යම්තාක් සංඥාවගේ ... යම්තාක් සංස්කාරයන්ගේ ... යම්තාක් විඥානයාගේ ... යම්තාක් චක්‍ෂුස්හුගේ ... යම්තාක් ජරාමරණයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.
යම්තාක් අභිඥාවගේ අභිඥාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණ ඥාන යැ. යම්තාක් පරිඥාවගේ පරිඥාස්වභාව වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණස්වභාව .. යම්තාක් භාවනාවගේ භාවනාස්වභාව ... යම්තාක් සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාස්වභාව ...
යම්තාක් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධස්වභාව ... යම්තාක් ධාතූන්ගේ ධාතුස්වභාව ... යම්තාක් ආයතනයන්ගේ ආයතනස්වභාව ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතස්වභාව ... යම්තාක් අසඞ්ඛතයාගේ අසඞ්ඛත ස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් කුශලධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි ආවරණඥාන යැ. යම්තාක් අකුශලධර්‍මය ... යම්තාක් අව්‍යාකෘතධර්‍මය ...
යම්තාක් කාමාවචරධර්‍මය ... යම්තාක් රූපාවචරධර්‍මය ... යම්තාක් අරූපාවචරධර්‍මය ... යම්තාක් අපර්‍ය්‍යාපන්නධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි ආනාවරණඥාන යි.
යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාව ... යම්තාක් සමුදයාගේ සමුදය ස්වභාව ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාව ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදා ස්වභාව ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදා ස්වභාව ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදා ස්වභාව ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.
යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානය ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානය ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි අවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවක ලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නාලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙන ලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසන ලද රූපාදියෙක් වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
1. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත, දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූහ.
සමන්තචක්ඛු යනු: කවර අර්‍ත්‍ථයෙන් සමන්තචක්ඛු වේ ද යත්:
බුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ අත්‍ථපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ධම්මපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ නිරුත්තිපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ පටිභානපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ඉන්‍ද්‍රියපරාවරාතාඥානය බුද්ධඥාන යැ ආශයානුශයඥානය බුද්ධඥාන යැ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය බුද්ධඥාන යැ මහාකරුණාසමාපත්තියෙහි ඥානය බුද්ධඥාන යැ සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරෙන් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.
යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද්දේ යැ අඥාත වූ දුඃඛස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල (ඇසින් මෙන් නුවණින්) දක්නා ලද්දේ යැ ... සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ ... සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ, නුවණින් ස්පර්‍ශ නො කරනලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැති නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් සමුදයාගේ සමුදයස්වභාවයෙක් ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාවයෙක් ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවයෙක් ... යම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදා ස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නා ලද්දේ යැ - සියල්ල නුවණින් දක්නාලද්දේ යැ - සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ - සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ - සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ - නුවණින් ස්පර්‍ශ නො කරනලද පටිභානසම්භිදාස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානයෙක් ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානයෙක් ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දන්නා ලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ … සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද මහාකරුණාසමාපත්තිඥානයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
යම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවකලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නා ලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙනලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසනලද රූපාදියෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දක්නාලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද රූපාදියෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ’යි.
සර්‍වඥතාඥානනිර්දේශ යි.
ඥානකථා නිමි.
2.
දෘෂ්ටිකථා.
දෘෂ්ටි කවර යැ, දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ, දෘෂ්ටිහු කෙතෙකැ, දෘෂ්ටිඅභිනිවෙශයෝ කෙතෙකැ, දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යත්:
1. දෘෂ්ටිය කවර යනු: අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
2. දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිකාරණයෝ අටදෙනෙකි.
3. දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ අටළොස්දෙනෙකි.
4. දෘෂ්ටීහු කෙතෙකැ යනු: දෘෂ්ටිහු සොළොස්දෙනෙකි.
5. දෘෂ්ට්‍යභිනිවේශයෝ කෙතෙකැ යනු: දෘෂ්ට්‍යභිනිවෙශ තුන් සියයෙකි.
6. දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යනු: සෝවාන්මාර්‍ගය දෘෂ්ටිකාරණසමුද්ඝාතය වේ.
කිසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි යත්:
රූපය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. වේදනාව ‘තෙල මාගේ යැ ... සංඥාව ‘තෙල මාගේ යැ ... සංස්කාර ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්‍ෂුස ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණය ‘තෙල මාගේ යැ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ ... කාය ‘තෙල මාගේ යැ ... මනස ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, රූපයන් ‘තෙල මාගේ යැ ... ශබ්දයන් ‘තෙල මාගේ යැ ... ගන්‍ධයන් ‘තෙල මාගේ යැ ... රසයන් ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ව්‍යයන් ‘තෙල මාගේ යැ ... ධර්‍මයන් ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණවිඥානය ‘තෙල මාගේ යැ ... ජිහ්වාවිඥානය ‘තෙල මාගේ යැ ... කායවිඥානය ‘තෙල මාගේ යැ ... මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්ඛුසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ඝානසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ජිව්හාසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... කායසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
රූපසංඥාව ‘තෙල මාගේ යැ ... ශබ්දසංඥාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසංඥාව ‘තෙල මාගේ යැ ... රසසංඥාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටවය්‍යසංඥාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසංඥාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
රූපසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ශබ්දසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... රසසඤ්චෙතනාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසඤ්චේතනාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
රූපතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ශබ්දතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... රසතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ධර්‍මතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
රූපවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ශබ්දවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිතර්‍කය ‘තෙල මාගේ යැ ... රසවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිතර්‍කය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
රූපවිචාරය ‘තෙල මාගේ යැ ... ශබ්දවිචාරය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිචාරය ‘තෙල මාගේ යැ ... රසවිචාරය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිචාරය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
පෘථිවීධාතුව ‘තෙල මාගේ යැ ... අබ්ධාතුව ‘තෙල මාගේ යැ ... තේජෝධාතුව ‘තෙල මාගේ යැ ... වායුධාතුව ‘තෙල මාගේ යැ ... ආකාශධාතුව ‘තෙල මාගේ යැ ... විඥානධාතුව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
පඨවීකසිණය ‘තෙල මාගේ යැ ... ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ... ආකාසකසිණය ... විඤ්ඤාණකසිණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
කෙස් ‘තෙල මාගේ යැ ... ලොම් ‘තෙල මාගේ යැ ... නිය ‘තෙල මාගේ යැ ... දත් ‘තෙල මාගේ යැ ... සම් ‘තෙල මාගේ යැ ... මස් ‘තෙල මාගේ යැ ... නහර ‘තෙල මාගේ යැ ... ඇට ‘තෙල මාගේ යැ ... ඇටමිදුළු ‘තෙල මාගේ යැ ... වකුගඩුව ‘තෙල මාගේ යැ ... හදවත ‘තෙල මාගේ යැ ... අක්මාව ‘තෙල මාගේ යැ ... දලබුව ‘තෙල මාගේ යැ ... බඩදිව ‘තෙල මාගේ යැ ... පපුමස ‘තෙල මාගේ යැ ... අතුනු ‘තෙල මාගේ යැ ... අතුනුබහන ‘තෙල මාගේ යැ ... නොපැසුණු අහර ‘තෙල මාගේ යැ ... පැසුණු අහර ‘තෙල මාගේ යැ ... පිත් ‘තෙල මාගේ යැ ... සෙම් ‘තෙල මාගේ යැ ... පූයා ‘තෙල මාගේ යැ ... ලෙහෙ ‘තෙල මාගේ යැ ... සෝදිය ‘තෙල මාගේ යැ ... මේදතෙල් ‘තෙල මාගේ යැ ... කඳුළු ‘තෙල මාගේ යැ ... වුරුණුතෙල් ‘තෙල මාගේ යැ ... කෙළ ‘තෙල මාගේ යැ ... මුකුණු ‘තෙල මාගේ යැ ... සඳමිඳුළු ‘තෙල මාගේ යැ ... සුලුදිය ‘තෙල මාගේ යැ ... හිස්මුල් ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්ඛායතනය ‘තෙල මාගේ යැ ... රූපායතනය ‘තෙල මාගේ යැ ... සෝතායතනය ‘තෙල මාගේ යැ ... සද්දායතනය ‘තෙල මාගේ යැ ... ඝානායතනය ‘තෙල මාගේ යැ ... ගන්‍ධායතනය ‘තෙල මාගේ යැ ... ජීව්හායතනය ‘තෙල මාගේ යැ ... රසායතනය ‘තෙල මාගේ යැ ... කායායතනය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ‘තෙල මාගේ යැ ... මනායතනය ‘තෙල මාගේ යැ ... ධර්‍මායතනය ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්‍ෂුර්ධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... චක්‍ෂුර්විඥානධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රධාතුව ‘තෙල මාගේ යැ ... ශබ්දධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානධාතුව ... ඝ්‍රාණධාතුව ... ගන්‍ධධාතුව ... ඝ්‍රාණවිඥානධාතුව ... ජිව්හාධාතුව ... රසධාතුව ... ජිහ්වාවිඥාන ධාතුව ... කායධාතුව ... ස්ප්‍රෂ්ටව්‍යධාතුව ... කායවිඥානධාතුව ... මනෝධාතුව ‘තෙල මාගේ යැ ... ධම්මධාතුව ‘තෙල මාගේ යැ ... මනෝවිඥානධාතුව ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
චක්‍ෂුරින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිහ්වේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... කායේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... මනඉන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිවිතේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්ත්‍රීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... පුරුෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සුඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දුඃඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... උපේක්ෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රද්ධේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... වීර්ය්‍යේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්මෘතීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සමාධීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ප්‍රඥේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
කාමධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... අරූපධාතුව ‘තෙල මාගේ යැ ... කාමභවය ‘තෙල මාගේ යැ ... රූපභවය ‘තෙල මාගේ යැ ... අරූපභවය ‘තෙල මාගේ යැ ... සංඥාභවය ‘තෙල මාගේ යැ ... අසංඥාභවය ‘තෙල මාගේ යැ ... නෛවසංඥානාසංඥාභවය ‘තෙල මාගේ යැ ... එකවෝකාරභවය ‘තෙල මාගේ යැ ... චතුවෝකාරභවය ‘තෙල මාගේ යැ ... පඤ්චවෝකාරභවය ‘තෙල මාගේ යැ: ...
ප්‍රථමධ්‍යානය ‘තෙල මාගේ යැ ... ද්විතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... තෘතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... චතුර්‍ත්‍ථධ්‍යානය ‘තෙල මාගේ යැ ... මෛත්‍රීචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... කරුණාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... මෘදුතාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... ආකාසානඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
අවිද්‍යාව ‘තෙල මාගේ යැ ... සංස්කාරයන් ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... නාමරූපය ‘තෙල මාගේ යැ ... ෂඩායතනය ‘තෙල මාගේ යැ ... ස්පර්‍ශය ‘තෙල මාගේ යැ ... වේදනාව ‘තෙල මාගේ යැ ... තෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... උපාදානය ‘තෙල මාගේ යැ ... භවය ‘තෙල මාගේ යැ ... ජාතිය ‘තෙල මාගේ යැ ... ජරාමරණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
මෙසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වේ.
දෘෂ්ටි කාරණයෝ අටදෙන කවර යත්:
ස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක, අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක, ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක, සංඥාව ද දෘෂ්ටිකාරණයෙක, විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක, අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක, පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක, පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙක.
ස්කන්‍ධයෝ (ජනක) හේතු යැ ස්කන්‍ධයෝ (උපස්ථම්භක) ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක.
අවිද්‍යාව හේතු යැ අවිද්‍යාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක.
ස්පර්‍ශය හේතු යැ ස්පර්‍ශය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක.
සංඥාව හේතු යැ සංඥාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් සංඥාව ද දෘෂ්ටිකාරණයෙක.
විතර්‍කය හේතු යැ විතර්‍කය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක.
අයෝනිසෝමනසිකාරය හේතු යැ අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක.
පාපමිත්‍ර හේතු යැ පාපමිත්‍ර ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක.
පරතෝඝෝෂය හේතු යැ පරතෝඝෝෂය ප්‍රත්‍යයැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙකි.
මොහු අටදෙන දෘෂ්ටිකාරණයෝ යි.
අටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්:
යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටි නමැති හුලෙක් දෘෂ්ටිහුගේ විරූප වූ චලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘෂ්ටිශල්‍යයෙක් දෘෂ්ටිසම්බෝධයෙක් දෘෂ්ටිපරිබොධයෙක් දෘෂ්ටිබන්‍ධනයෙක් දෘෂ්ටිප්‍රපාතයෙක් දෘෂ්ට්‍යනුශයයෙක් දෘෂ්ටිසන්තාපයෙක් දෘෂ්ටිපරිදාහයෙක් දෘෂ්ටිග්‍රන්‍ථයෙක් දෘෂ්ට්‍යුපාදානයෙක් දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,
මොහු අටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ යි.