Paṭisambhidāmagga

Path of Discrimination

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 2879

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ps-1-1-17:208.3
දුඃඛයාගේ පීඩනස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ කරන ලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරැළෙන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. සමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග (යොදන) ස්වභාවය වළකන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. නිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සියලු සංස්කාරයන් කෙරෙන් ශූන්‍ය ස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්‍ෂාත් කෙරෙමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන වෙයි. මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණස්වභාවය හේතු ස්වභාවය දර්‍ශනස්වභාවය සම්ප්‍රයුක්තයන් තමා වසයෙහි පවත්වන ස්වභාවය වඩමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වේ.
kn-ps-1-1-17:208.4
සංඥාවිවර්‍ත යැ චේතෝවිවර්‍ත යැ චිත්තවිවර්‍ත යැ ඥානවිවර්‍ත යැ විමෝක්‍ෂවිවර්‍ත යැ සත්‍යවිවර්‍ත යි. (නෛෂ්ක්‍රම්‍යාදිය අධිපතිභාවයෙන්) හැඳිනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සංඥාවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිය) සිතමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චේතෝවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිවශයෙන්) දැනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චිත්තවිවර්‍ත නම. (ආධ්‍යාත්මිකායතන ශුන්‍යත හෙයින්) අවබෝධ කෙරෙමින් (දෘෂ්ට්‍යභිනිවේශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි ඥානවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍ය-කාමච්ඡන්‍දාදිය) දුරලමින් කාමච්ඡන්‍දයෙන් පරාවර්‍තනය කෙරේ නු යි විමෝක්‍ෂවිවර්‍ත නම. යථාස්වභාවයෙහි (දුභතෝවුට්ඨාන වශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සත්‍යවිවර්‍ත නමි.
kn-ps-1-1-17:208.5
යම් තැනෙකැ සංඥාවිවර්‍තය වේ ද එහි චේතෝවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චේතෝවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වෙත්ද එහි චිත්තවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චිත්තවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චොතොවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍තය වෙත් ද එහි ඥානවිවර්‍තය වෙයි. යම් තැනෙකැ ඥානවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙත් ද එහි විමෝක්‍ෂවිවාර්‍තය වෙයි. යම් තැනෙකැ විමොක්‍ෂවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත් ද එහි සත්‍යවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සත්‍යවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත්.
kn-ps-1-1-17:208.6
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තථතට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං’යි.
kn-ps-1-1-17:208.7
විවර්‍තඥානෂට්ක නිර්දේශ යි.
kn-ps-1-1-17:210.1
50. ඍද්ධිවිධ ඥානය
kn-ps-1-1-17:210.2
කිසෙයින් රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨානවශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන වෙයි යත්:
kn-ps-1-1-17:210.3
මෙසස්නෙහි මහණ තෙම ඡන්‍දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි. මෘදු වූ (එහෙයින් මැ) කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදුවූවක් කර්‍මණ්‍ය වූවක් කොට (තමාගේ) කරජකය ද පාදකධ්‍යාන චිත්තයෙහි ප්‍රවේශ කෙරෙයි. පාදකධ්‍යානචිත්තය ද (තමාගේ) කරජකායයෙහි ප්‍රවේශ කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමයි. චිත්තවශයෙන් කය පිරිනමයි. කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කෙරෙයි. චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමා චිත්තවශයෙන් කය පිරිනමා කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කොට චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කොට සුඛසංඥාව ද ලඝුසංඥාව ද කරජකයෙහි ප්‍රවේශ කොට වාසය කෙරෙයි. හෙතෙම එසෙයින් වඩනලද පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ඍද්ධිවිධඥානය ලැබීම පිණිස (පරිකර්‍ම) සිත එළවයි. නැඹුරු කෙරෙයි.
kn-ps-1-1-17:210.4
හෙතෙම අනේක ප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාසය ස්පර්‍ශ කෙරේ: එකෙක් වැ බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වී එකෙක් වෙයි. ප්‍රකට බවට ප්‍රතිච්ඡන්න බවට ගෙබිතින් ඔබට පවුරින් ඔබට පව්වෙන් ඔබට අහස්හි සෙයින් නො ලැගෙමින් යෙයි පොළොව්හි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙයි. නො බිඳෙන දියෙහි දු පොළොව්හි සෙයින් යෙයි. අහස්හි දු පියා ඇති ලිහිණියකු සෙයින් පලගින් යෙයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අත්තලින් පරාමාර්‍ශ කෙරෙයි. පිරිමදියි. බඹලොව දක්වාත් වශයෙහි පවත්වයි.
kn-ps-1-1-17:210.5
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘කායම්පි චිත්තමපි ඒකවවත්‍ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසේන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධ ඤාණං’යී.
kn-ps-1-1-17:210.6
ඍද්ධිවිධඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:212.1
51. ශ්‍රොත්‍රධාතුවිශුද්ධි ඥානය
kn-ps-1-1-17:212.2
කිසෙයින් විතර්‍කවිෂ්ඵාරවශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥාන වෙයි යත්:
kn-ps-1-1-17:212.3
මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධිය ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධිය ... චිත්තය අධිපති කොට ඇති සමාධිය ... වීමංසාව අධිපති කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි, දමනය කෙරෙයි, මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට දුරැ වූ ද ශබ්දයන් ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ළඟැ වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ඖදාරික වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. සූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. අතිසූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම්දිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැළදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම් අනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැසුම් අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරු අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුඅනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. යට දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උඩ දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරේ.
kn-ps-1-1-17:212.4
හේ එසේ භාවිත වූ පරුශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානය පිණිස සිත එළවයි නැඹුරු කෙරෙයි. හෙතෙම විශුද්ධි වූ මිනිසැස ඉක්මසිටි දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් දුරැ වූ ළඟ වූ ද දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද උභයශබ්දයන් අසයි.
kn-ps-1-1-17:212.5
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විතක්කවිපථාරවසේන නානත්තේකත්තසද්දනිමිත්තානං පරියෝගාහනෙ පඤ්ඤා සෝතධාතුවිසුද්ධි ඤාණං’යි.
kn-ps-1-1-17:212.6
ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:212.7
52. චේතෝපරිය ඥානය
kn-ps-1-1-17:212.8
කිසෙයින් (සොමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන් අනූ චිත්තයාගේ පැවැත්ම දන්නා ප්‍රඥාව චේතෝපරියඥාන වෙයි යත්:
kn-ps-1-1-17:212.9
මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිය … වීර්‍ය්‍යදසමාධිය … චිත්තදසමාධිය … වීමංසාසමාධිය … වඩා ද හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි දමනය කෙරෙයි. මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට මෙසේ දැනගනියි. මේ සිත සෝමනස්සින්‍ද්‍රියයෙන් උපන. මේ සිත දොමනස්සින්‍ද්‍රියයෙන් උපන, මේ සිත උපෙක්ඛින්‍ද්‍රියයෙන් උපනැ’යි.
kn-ps-1-1-17:214.1
හෙතෙම එපරිද්දෙන් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් චේතෝපරියඤාණය පිණිස සිත එළවයි. නැඹුරු කෙරෙයි. හෙතෙම පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගනි යි: සරාග වූ සිත ද ‘සරාග සිතැ’යි දැනගනියි, වීතරාග වූ සිත ද ‘වීතරාග සිතැ’යි දැනගනියි, සදෝස වූ සිත ද ‘සදෝස සිතැ’යි දැන ගනියි, වීතදෝස වූ සිත ද ... ‘සමෝහ වූ සිත ද ... වීතමෝහ වූ සිත ද ... (ථිනමිද්ධ වශයෙන්) හැකුළුණු සිත ද ... (උද්ධච්ච වශයෙන්) විසිරුණු සිත ද ... මහද්ගත වූ සිත ද ... මහද්ගත නො වූ සිත ද ... ස උත්තර වූ සිත ද … අනුත්තර වූ සිත ද ... සමාහිත වූ සිත ද ... අසමාහිත වූ සිත ද ... විමුක්ත වූ සිත ද … අවිමුක්ත වූ සිත ද ‘අවිමුක්ත වූ සිතැ’යි දැනගනී.
kn-ps-1-1-17:214.2
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තිණ්ණං චිත්තානං විපඵාරත්තා ඉන්‍ද්‍රියානං පසාදවසේන නානත්තේකත්තවිඤ්ඤාණචරියා පරියෝගාහනෙ පඤ්ඤා චොතොපරියඤාණං’යි.
kn-ps-1-1-17:214.3
චේතෝපරියඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:214.4
53. පූර්‍වනිවාසානුස්මෘති ඥානය
kn-ps-1-1-17:214.5
කිසෙයින් ප්‍රත්‍යයොත්පන්නධර්‍මයන්ගේ නානාත්‍ව ඒකත්‍ව කර්‍මවේගවශයෙන් දැනගැනීමෙහි ප්‍රඥාව පූර්‍වනිවාසානුස්මෘතිඥානය වෙයි යත්:
kn-ps-1-1-17:214.6
මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිය ... මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට මෙසේ දැනැනියි: මේ ප්‍රත්‍යය ඇති කල්හි මේ ප්‍රත්‍යයොත්පන්නය වෙයි, මේ ප්‍රත්‍යයාගේ උත්පාදය හේතු කොට ගෙන මේ ප්‍රත්‍යයොත්පන්නය උපදී. ඒ මෙසේ යැ: අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ උපදිති. සංස්කාරප්‍රත්‍යයෙන් ප්‍රතිසන්‍ධිවිඥානය උපදියි. විපාකවිඥානප්‍රත්‍යයෙන් නාමරූපය උපදියි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය උපදියි. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය උපදියි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව උපදියි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව උපදියි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය උපදියි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය උපදියි. කර්‍මභවප්‍රත්‍යයෙන් ජාතිය උපදියි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය උපදියි. ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ උපදිත්. මෙසේ තෙල අසම්මිශ්‍ර වූ දුඃඛරාශිහුගේ සමුදය වේ. හෙතෙම එසේ භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි.
kn-ps-1-1-17:214.7
හෙතෙම අනේක ප්‍රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලු වූයෙම් මෙබඳු ආයුපරිච්ඡේද ඇතියෙම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී. මෙසේ (නම්ගොත් විසින්) උද්දේශ සහිත වූ (පැහැසටහන් විසින්) ආකාර සහිත වූ නානාප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
kn-ps-1-1-17:214.8
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පච්චයපවත්තානං ධම්මානං නානත්තේකත්තකම්මවිප්ඵාරවසේන පරියෝගාහනෙ පඤ්ඤා පුබ්බේනිවාසානුස්සති ඤාණං’යි.
kn-ps-1-1-17:214.9
පූර්‍වනිවාසානුස්මෘතිඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:216.1
54. දිව්‍යචක්‍ෂුර් ඥානය
kn-ps-1-1-17:216.2
කිසෙයින් කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂූර්ඥාන වෙයි යත්:
kn-ps-1-1-17:216.3
මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. ‘දවාලැ’යි යන සංඥාව ඉටයි. යම්සේ දහවල්හි ආලොකය දක්නාලද ද එසේ මැ රාත්‍රියෙහි දු මෙනෙහි කෙරෙයි. යම්සේ රාත්‍රියෙහි දිබ්බචක්ඛුආලෝකයෙන් දක්නාලද ද එසේ මැ දහවල් හි දු මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො වැසුණු සිතින් අවභාස සහිත වූ සිත වඩයි.
kn-ps-1-1-17:216.4
හේ එසෙයින් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා ඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුන්‍දරවර්‍ණ වූ දුර්වර්‍ණ වු සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යොපවාදක වූවාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු ය. තවද මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාග්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති සුවයෙන් අග්‍ර වූ දෙව්ලොවට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු’ යයි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී.
kn-ps-1-1-17:216.5
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘ඕභාසවසේන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං’යි.
kn-ps-1-1-17:216.6
දිව්‍යචක්‍ෂුර්ඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:218.1
55. ආස්‍රවක්‍ෂය ඥානය
kn-ps-1-1-17:218.2
කිසෙයින් සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්‍ද්‍රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන වෙයි යත්:
kn-ps-1-1-17:218.3
කවර තුන් ඉන්‍ද්‍රියයන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාගේ යැ අඤ්ඤින්‍ද්‍රියාගේ යැ අඤ්ඤාතාවින්‍ද්‍රියාගේ යි.
kn-ps-1-1-17:218.4
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්‍ද්‍රියය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්‍ද්‍රියය කිහි තැනෙක උපදී ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය එක් තැනෙක උපදියි: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි යැ. අඤ්ඤින්‍ද්‍රියය සතැනෙකැ උපදියි: ස්‍රෝතාපත්තිඵලයෙහි යැ. සකෘදාගාමීමාර්‍ගයෙහි යැ සකෘදාගාමීඵලයෙහි යැ අනාගාමීමාර්‍ගයෙහි යැ අනාගාමීඵලයෙහි යැ අර්‍හන්මාර්‍ගයෙහි යි. අඤ්ඤාතාවින්‍ද්‍රියය එක් තැනෙකැ උපදියි: අර්‍හත්ඵලයෙහි යි.
kn-ps-1-1-17:218.5
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියට ශ්‍රද්ධෙන‍්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි. මනින්‍ද්‍රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතින්‍ද්‍රියය වර්‍තමානසන්තතිතයට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකුත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලම්බන වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට මේ අට ඉන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. එ‍් අෂ්ටඉන්‍ද්‍රියයෝ මැ එ‍් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
kn-ps-1-1-17:218.6
ස්‍රෝතාපත්තිලක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි, මනින්‍ද්‍රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලබ්මන වෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ට ඉන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
kn-ps-1-1-17:220.1
සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි ... ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ.
kn-ps-1-1-17:220.2
අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙති, අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
kn-ps-1-1-17:220.3
අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ... ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙත්. අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤතාවින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්. මෙසේ මේ අෂ්ටාෂ්කය සූසැටෙක් වේ.
kn-ps-1-1-17:220.4
ආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
kn-ps-1-1-17:220.5
තෙල ආස්‍රවයෝ කොහි ක්‍ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගාමී වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගාමී වූ භවාස්‍රය ක්‍ෂය වෙයි, අපායගාමී වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
kn-ps-1-1-17:220.6
සෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
kn-ps-1-1-17:220.7
අනගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
kn-ps-1-1-17:220.8
අර්‍හන්මාර්‍ගයෙන් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
kn-ps-1-1-17:220.9
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුස්ට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්‍ද්‍රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’යි.
kn-ps-1-1-17:220.10
ආස්‍රවක්‍ෂයඥාන නිර්දේශ යි.
kn-ps-1-1-17:222.1
56-63. සත්‍යඥානචතුෂ්කද්වය
kn-ps-1-1-17:222.2
කිසෙයින් (දුඃඛයාගේ පීඩනාදි චතුර්විධ අර්‍ත්‍ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්‍රඥාව දුඃඛඥාන වෙයි, ප්‍රහාතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව සමුදයඥාන වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙහි ප්‍රඥාව නිරෝධඥාන වෙයි, භාවිතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:
kn-ps-1-1-17:222.3
දුඃඛයාගේ පීඩනස්වභාවය ප්‍රත්‍යයෙන් විසින් රැස් වැ කරනලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරළෙන ස්වභාවය පරිඥේයස්වභාවය වෙයි.
kn-ps-1-1-17:222.4
සමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග ස්වභාවය වළහන ප්‍රහාතව්‍ය ස්වභාව වෙයි.
kn-ps-1-1-17:222.5
නිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සංස්කාරයන් කෙරෙන් ශූන්‍ය ස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්‍ෂාත්කර්‍තව්‍ය ස්වභාව වෙයි.
kn-ps-1-1-17:222.6
මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණස්වභාවය හෙතුස්වභාවය දර්‍ශනස්වභාවය ආධිපත්‍යස්වභාවය භාවිතව්‍යස්වභාව වේ.
kn-ps-1-1-17:222.7
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං පහානට්ඨෙ පඤ්ඤා සමුදයේ ඤාණං සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි
kn-ps-1-1-17:222.8
කිසෙයින් දුඃඛඥාන, දුඃඛසමුදයඥාන, දුඃඛනිරෝධඥාන, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාඥාන වෙයි යත්:
kn-ps-1-1-17:222.9
මාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල දුඃඛඥාන නමුදු වෙයි තෙල දුඃඛසමුදයඥාන නමුදු වෙයි, තෙල දුඃඛනිරෝධඥාන නමුදු වෙයි, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාඥාන නමුදු වේ.
kn-ps-1-1-17:222.10
එහි දුඃඛඥානය කවරෙ යත්: දුඃඛසත්‍යය අරමුණු කොට යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිව්සස්දහම් විමසීමෙක් (අනිත්‍යාදිය ලක්‍ෂණ විසින්) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කුශලභාවයෙක් නිපුණභාවයෙක් (අනිත්‍යාදිය) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් (යථාස්වභාව ප්‍රතිවේධයෙහි නැමෙන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් (අනිත්‍යාදිය ප්‍රකාරයෙන් දන්නා) සම්‍යග්ඥානයෙක් පතෝදප්‍රඥායෙක් ප්‍රඥාසඞ්ඛ්‍යාත ඉන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥා ප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යොතයෙක් ප්‍රඥා රත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් උපදී ද මේ දුඃඛඥාන යැ යි කියනු ලැබේ. දුඃඛසමුදයසත්‍යය අරමුණු කොට ... දුඃඛ නිරෝධසත්‍යය අරමුණු කොට ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යය අරමුණු කොට යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දුඃඛ නිරොධගාමිනීප්‍රතිපදාඥාන යැ යි කියනු ලැබේ.
kn-ps-1-1-17:222.11
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබේ: ‘දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරෝධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං’යි.
kn-ps-1-1-17:222.12
සත්‍යඥානචතුෂ්කද්වය නිර්දේශ යි.
kn-ps-1-1-17:224.1
64-67. ශුද්ධිකප්‍රතිසංවිද්ඥානය
kn-ps-1-1-17:224.2
කිසෙයින් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන, ධර්‍මප්‍රතිසංවිද්ඥාන, නිරුක්තිප්‍රතිසංවිද්ඥාන, ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
kn-ps-1-1-17:224.3
හේතුඵල (අර්‍ත්‍ථ) යන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් යැ ප්‍රත්‍යය (ධර්‍ම) යන්හි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද් යැ නිරුක්තශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිද් යැ ඥානයන්හි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් යැ.
kn-ps-1-1-17:224.4
අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:224.5
අර්‍ත්‍ථනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:224.6
අර්‍ත්‍ථය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:224.7
අර්‍ත්‍ථය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:224.8
අර්‍ත්‍ථප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මයප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රභෙදයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:224.9
අර්‍ත්‍ථය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් ඥාන යි.
kn-ps-1-1-17:224.10
අර්‍ත්‍ථය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:226.1
අර්‍ත්‍ථය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් ඥාන යැ ධර්‍මය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:226.2
අර්‍ත්‍ථප්‍රකාශනයෙහිප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
kn-ps-1-1-17:226.3
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
kn-ps-1-1-17:226.4
සුද්ධිකපටිසම්භිදා ඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:226.5
68. ඉන්‍ද්‍රියපරාවරතාඥානය
kn-ps-1-1-17:226.6
තථාගතයන් වහන්සේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥානය කවරෙ යත්:
kn-ps-1-1-17:226.7
මෙහි තථාගත තෙම අල්ප වූ කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස් රජස් ඇති තියුණු වු (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන් ඇති මෘදු වූ ඉන්‍ද්‍රියයන් ඇති සුන්‍දර වූ ආකාර ඇති කුත්සිත වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් නො දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් (ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙන්) දකී.
kn-ps-1-1-17:226.8
අප්පරජක්ඛෙ මහරජක්ඛෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීද පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹ සිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත පුද්ගල තෙම අල්පරජස්ක යැ අසමාහිත පුද්ගල තෙම මහාරජස්ක යැ (උදයව්‍යගාමිනී) ප්‍රඥාව ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම මහාරජස්ක යි.
kn-ps-1-1-17:226.9
තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ රුකුළු වැර ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ කුසීත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥාව ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වු පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.
kn-ps-1-1-17:228.1
ස්වාකාරෙ ද්වාකාරෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ කුත්සිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ එළඹසිටිසිහි ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ප්‍රඥා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යි.
kn-ps-1-1-17:228.2
සුවිපඤඤාපයෙ දුවිපඤඤාපයෙ යනු: සැදැහැති පුද්ගල තෙම සුවිඥාප්‍ය (සුවසේ හැඟැවිය හැකි) යැ සැදැහැ නැති පුද්ගල තෙම දුර්විඥාප්‍ය (දුකසේ හැඟැවිය හැකි) යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ කුසීද වූ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ මුළාසිහි ඇති පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ සමාහිත පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ අසමාහිත පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ ප්‍රාඥ පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ දුස්ප්‍රාඥ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යි.
kn-ps-1-1-17:228.3
අප්පේකච්චේ පරලෝකවජ්ජභය දස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ යනු: සැදැහැති පුද්ගල තෙම පරලොව හා (රාගාදි) වද්‍ය භය වශයෙන් දක්නේ (දක්නාසුලු) යැ සැදැහැ නැති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ කුසීද පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ සමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ අසමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යි.
kn-ps-1-1-17:228.4
ලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකම්ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භව (සුගතූපගකම්ම) ලෝක යි.
kn-ps-1-1-17:228.5
එක් ලොවකැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ. ලෝකයෝ දෙදෙනෙකැ: නාමයත් රූපයත් යැ. ලෝකයෝ තුන්දෙනෙකැ: තුන් වේදනා යැ. ලෝකයෝ සතරදෙනෙකැ: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස්දෙනෙකැ: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ. ලෝකයෝ සදෙනෙකැ: ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. ලෝකයෝ සත්දෙනෙකැ: සප්ත විඥානස්ථිතිහු යැ. ලෝකයෝ අටදෙනෙකැ: අෂ්ටලෝකධර්‍මයෝ යැ ලෝකයෝ නවදෙනෙකැ: නවසත්ත්‍වාවාසයෝ යැ. ලෝකයෝ දසදෙනෙකැ දසආයතනයෝ යැ. ලෝකයෝ දොළොස්දෙනෙකැ: දොළොස් ආයතනයෝ යැ. ලෝකයෝ අටළොස්දෙනෙකැ: අටළොස් ධාතුහු යි.
kn-ps-1-1-17:228.6
වජ්ජං යනු: හැම ක්ලේශයෝ වද්‍යයෝ යැ හැම දුශ්චරිතයෝ වද්‍යයෝ යැ හැම අභිසංස්කාරයෝ වද්‍යයෝ යැ හැම භවගාමීකර්‍මයෝ වද්‍යයෝ යි.
kn-ps-1-1-17:230.1
මෙසෙයින් මේ ලෝකයෙහි ද මේ වද්‍යයෙහි ද බලවත් භවසංඥාව නඟනලද අසිපත ඇති වධකයකු කෙරෙහි සෙයින් එළඹසිටියා වෙයි. මේ පනස් අයුරින් මේ (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් (නුවණින්) දනියි (දිවැසින්) දකියි. හාත්පසින් දනියි. ප්‍රතිවේධ කෙරේ.
kn-ps-1-1-17:230.2
මේ තථාගතයන් වහන්සේගේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥාන නමි.
kn-ps-1-1-17:230.3
ඉන්‍ද්‍රියපරාවරතාඥානනිර්දේශ යි.
kn-ps-1-1-17:230.4
69. ආශයානුශයඥානය
kn-ps-1-1-17:230.5
තථාගතයන් වහන්සේ සත්ත්‍වයන් පිළිබඳ ආශයඅනුශය දන්නා නුවණ කවරෙ යත්:
kn-ps-1-1-17:230.6
මෙහි තථාගත තෙම සත්ත්‍වයන්ගේ ආශය (සන්තානය) දැනැගනී. අනුශය (ථාමගත කාමරාගාදිය) දැනැගනී. චරිතය (පූර්‍වකෘතකර්‍ම) දැනැගනී. අධිමුක්තිය දැනැගනී. භව්‍යාභව්‍යසත්ත්‍වයන් දැනැගනී.
kn-ps-1-1-17:230.7
සත්ත්‍වයන්ගේ ආශය කවරෙ යත්: ‘ලෝකය ශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි හෝ ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි හෝ ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වේ’ යයි හො ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි හෝ මෙසෙයින් සත්ත්‍වයෝ ශාශ්වතදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙති. උච්ඡේදදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙත්.
kn-ps-1-1-17:230.8
මේ උභයාන්තයට ද නො පැමිණ ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි අනුලෝමඥානය ලබනලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද්දේ වේ.
kn-ps-1-1-17:230.9
කාමය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාමගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනියි. කාමය සෙවුණහු මැ මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශය ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශ ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාම ගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනී.
kn-ps-1-1-17:230.10
ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශ ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශය ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනී.
kn-ps-1-1-17:232.1
ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධයගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනගනියි. ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනැගනී. මේ සත්ත්‍වයන්ගේ ආශය වේ.
kn-ps-1-1-17:232.2
සත්ත්‍වයන්ගේ අනුශය කවරෙ යත්: අනුශයයෝ සත්දෙනෙකි: කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ මානානුශය යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යි.