ප්‍රථම විපර්‍ය්‍යාසයෙහි සිටියේ ක්ලේශකාමයෙන් වස්තුකාමයන් දැඩි වැ ගනී, මෙය කාමූපාදාන යී කියනු ලැබෙයි. දෙවැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ අනාගතභවය දැඩිවැ ගනී, මේ භවූපාදාන යී කියනු ලැබෙයි. තුන්වැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ සංසාරය අභිනන්‍දනා කරන භවදෘෂ්ටිය දැඩි වැ ගනී, මේ දිට්ඨූපාදාන යී කියනු ලැබෙයි. සතරවැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ (ආත්මයක් නැතිකල්හි) මේ කර්‍මඵලය කවරක්හුගේ දැ’යි ආත්මය දැඩිවැ ගනී, මේ අත්තවාදූපාදාන යී කියනු ලැබේ.
කාමරාග සංඛ්‍යාත කාමූපාදානයෙන් වස්තුකාමයන් සමග සත්ත්‍වයා සංයෝග කරනු ලැබෙයි, මේ කාමයෝග යි කියනු ලැබෙයි. භවූපාදානයෙන් භවය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ භවයෝග යි කියනු ලැබෙයි. අහේතුකදෘෂ්ටි ආදි දිට්ඨූපාදානයෙන් ලාමක දෘෂ්ටිය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ දිට්ඨියෝග යි කියනු ලැබෙයි. අත්තවාදූපාදානයෙන් සකල වට්ටදුක්ඛය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ අවිජ්ජායෝග යී කියනු ලැබේ.
ප්‍රථම යෝගයෙහි සිටියේ (පරායත්තයෙහි දැඩි ලෝභලක්‍ෂණ වූ) අභිධ්‍යායෙන් නාමකය ග්‍රන්‍ථන කරයි (ගටයි), මේ අභිජ්ඣාකායගන්‍ථ යී කියනු ලැබෙයි. දෙවැනි යෝගයෙහි සිටියේ භවරාගවශයෙන් ව්‍යාපාදයෙන් නාමකය ගොතයි, මේ ව්‍යාපාදකායගන්‍ථ යී කියනු ලැබෙයි. තුන්වැනි යෝගයෙහි සිටියේ දෘෂ්ටිපරාමර්‍ශයෙන් නාමකය ගොතයි, මේ පරාමාසකායගන්‍ථ යී කියනු ලැබෙයි. සතරවැනි යෝගයෙහි සිටියේ ‘මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යන ඉදංසත්‍යාභිනිවේසයෙන් නාමකය ගොතයි, මේ ඉදංසච්චාභිනිවෙසකායගන්‍ථ යී කියනු ලැබේ.
ඒ අභිධ්‍යාදීන් සමන්‍වාගත පුද්ගලහට මෙසේ අභිධ්‍යාදීන් නාමකය ගෙතී සිටි ක්ලේශයෝ ආස්‍රවභාවයෙන් පවතිත්. යළි කවර හේතුවකින් ඒ කෙලෙස්හු හාත්පසින් වැගිරෙත් දැයි කියනු ලැබේ : (අප්‍රහීණ හෙයින්) අනුසය වශයෙන් හෝ පරියුට්ඨාන (සමුදාචාර) වශයෙන් හෝ හාත්පසින් වැගිරෙත්. ඒ ආස්‍රවයන් කෙරෙහි අභිධ්‍යාකාය ග්‍රන්‍ථයෙන් කාමාසවය ද ව්‍යාපාදකායග්‍රන්‍ථයෙන් භවාසවය ද පරාමාසකායග්‍රන්‍ථයෙන් දිට්ඨාසවය ද ඉදංසත්‍යාභිනිවේස කායග්‍රන්‍ථයෙන් අවිජ්ජාසවය ද උපදනේ යි.
ඒ පුද්ගලහට මේ සතර ආසවයෝ විපුලබවට ගියාහු (වට්ටයෙහි අවසීදනාර්‍ත්‍ථයෙන්) ඕඝයෝ වෙති. මෙසේ ආසවයන්ගේ විපුලභාවයෙන් ඕඝයන්ගේ විපුලබව වෙයි. ඒ ඕඝයන් කෙරෙහි කාමාසවයෙන් කාමෝඝ වෙයි, භවාසවයෙන් භවෝඝ වෙයි, දිට්ඨාසවයෙන් දිට්ඨෝඝ වෙයි, අවිද්‍යාසවයෙන් අවිජ්ජෝඝ වේ.
ඔහුට මේ සතර ඕඝයෝ අනුසයසහගත වූවාහු (අනුසයභාවය නොහැර පැවැත්තාහු) සිතට පිවිසියාහු ළෙහි හැනී සිටිත්. එහෙයින් ‘ශල්‍යයෝ’ යි කියනු ලැබෙත්. (පීඩා ජනනය ද උදුරාලියැ නොහැකිබව ද ශල්‍යාර්‍ත්‍ථ යැ.) ඒ ශල්‍යයන් කෙරෙහි කාමෝඝය හේතු කොටගෙන රාගසල්ල වෙයි, භවෝඝයෙන් දෝසසල්ල වෙයි, දෘෂ්ටිඕඝයෙන් (තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යයි දෘෂ්ටි විසින් ගන්නා හෙයින්) මානසල්ල වෙයි, අවිද්‍යොඝයෙන් මෝහසල්ල වේ.
මේ චතුර්විධ ශල්‍යයෙන් හාත්පසින් ගන්නාලද ඔහුගේ විඥානය රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි යන ආලම්බන වූ සතර ධර්‍මයන් කෙරෙහි පිහිටා සිටී. එහි රාගශල්‍යය හේතු කොටගෙන නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් උපසික්ත (තෙත්) වූ විඥානයෙන් යුත් රූපූපගවිඤ්ඤාණට්ඨිති වෙයි, ද්වේෂශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ (නන්‍දුපසේවන) විඥානයෙන් යුත් වේදනූපගවිඤ්ඤාණට්ඨිති වෙයි, මානශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ විඥානයෙන් යුත් සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති වෙයි, මෝහශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ විඥානයෙන් යුත් සඞ්ඛාරූපග විඤ්ඤාණට්ඨිති වේ.
මේ සතර විඥානස්ථිතීන් විසින් උපස්ථම්භිත වූ ඔහුගේ විඥානය ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙන් යන සතර ධර්‍මයෙන් අගතියට යෙයි. එහි රාගය හේතු කොටගෙන ඡන්‍දාගතියට පැමිණෙයි, ද්වේෂය හේතු කොට දෝසාගතියට පැමිණෙයි, භය හේතු කොට භයාගතියට පැමිණෙයි, මෝහය හේතු කොට මෝහාගතියට පැමිණේ, මෙසේ උක්තප්‍රකාරයෙන් ඒ (යට කී) චේතනා චේතසික කර්‍මය ද, මේ දශවස්තුක ක්ලේශයෝ ද වෙත්. තෙල (කර්‍ම ක්ලේශ දෙක) සංසාරයට හේතු වේ. මෙසේ සියලු ක්ලේශයෝ සතර විපල්ලාසයන්ගෙන් දැක්වියැයුත්තාහ.
එහි මේ දිසාභූත ධර්‍මයෝ යැ : කබළිඞ්කාරාහාර යැ අසුභයෙහි සුභ යැ යන විපල්ලාස යැ කාමූපාදාන යැ කාමයෝග යැ අභිජ්ඣාකායග්‍රන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාගසල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ ප්‍රථම දිශා යි.
ඵස්සාහාර යැ දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාස යැ භවූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවෝඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨිති යැ ද්වේෂයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ ද්විතීය දිශා යි.
විඤ්ඤාණාහාර යැ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාස යැ දිට්ඨිඋපාදාන ය දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨෝඝ යැ මානසල්ල යැ සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති යැ භයින් අගතිගමන යැ යන දශධර්‍මයෝ තෘතීය දිශා යි.
මනෝසඤ්චේතනාහාර යැ අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාස යැ අත්තවාදූපාදාන යැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජෝඝ යැ මෝහසල්ල යැ සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිති යැ මෝහයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ චතුර්‍ත්‍ථ දිශා යි.
ඒ දිසාභූත ධර්‍මයන් කෙරෙහි යම් කවලීකාරාහාරයෙක් ඇද්ද යම් අසුභයෙහි සුභ යැ යන විපල්ලාසයෙක් ඇද්ද කාමූපාදාන යැ කාමයෝග යැ අභිජ්ඣාකායගන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාගසල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දාගතිගමනය යන මේ දසවැදෑරුම් සූත්‍රයන්ගේ අර්‍ත්‍ථය එකෙකි. ව්‍යඤ්ජනය මැ නානා වෙයි. (මේ දශවිධ සූත්‍රපදයන්ගෙන් සවස්තුක තෘෂ්ණාව කියනලදි. ‘දසන්නං සුත්තානං’ යනු සූත්‍රයෙහි එක් පදයක් ගත්හෙයින් ඒකදේශයෙහි සමුදායව්‍යවහාරය යි, ‘පටො දඩ්ඪො, සමුද්දො දිට්ඨො’ යනු මෙනි.) මේ ප්‍රථම දිශාභාවයෙන් කියනලද කබළිඞ්කාරාහාරාදී ධර්‍මයෝ රාගචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
එහි යම් ඵස්සාහාරයෙක් ඇද්ද යම් දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාසයෙක් ඇද්ද භවූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවෝඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨිති යැ දෝසාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකි, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ දුතියදිසාභාවයෙන් කියනලද ඵස්සාහාරාදි ධර්‍මයෝ දෝසචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි:
එහි යම් විඤ්ඤාණාහාරයෙක් ඇද්ද යම් අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසයෙක් ඇද්ද දිට්ඨූපාදාන යැ දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨෝඝ යැ මානසල්ල යැ සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති යැ භයාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකි, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ විඤ්ඤාණාහාරාදි දශධර්‍මයෝ මෝහාධික (මන්‍ද) දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
එහි යම් මනෝසඤ්චේතනාහාරයෙක් ඇද්ද යම් අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාසයෙක් ඇද්ද අත්තවාදූපාදාන යැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජෝඝ යැ මෝහසල්ල යැ සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිති යැ මෝහාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙක් වෙයි ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ මනෝසඤ්චේතනාහාරාදි දශධර්‍මයෝ තියුණු ප්‍රඥා ඇති දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
එහි යම් කවලීකාරාහාරයෙකුත් යම් ඵස්සාහාරයෙකුත් ඇද්ද මොහු අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් පරිඥාවට යෙති, විඤ්ඤාණාහාරය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද මනෝසඤ්චේතනාහාරය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද පරිඥාවට යෙයි.
එහි යම් අසුභයෙහි සුභ යැ යන විපල්ලාසයෙකුත් යම් දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාසයෙකුත් ඇද්ද, මොහු අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙති, අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාසය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි.
එහි කාමූපාදානය ද භවූපාදානය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨූපාදානය ශුන්‍යත විමෝක්‍ෂමුඛයෙන් ද අත්තවාදූපාදානය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
එහි කාමයෝගය ද භවයෝගය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨියෝගය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද අවිජ්ජායෝගය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
එහි අභිධ්‍යාකායග්‍රන්‍ථය ද ව්‍යාපාදකායග්‍රන්‍ථය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, පාරාමසකායග්‍රන්‍ථය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
එහි කාමාසවය ද භවාසවය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨාසවය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, අවිජ්ජාසවය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
එහි කාමෝඝය ද භවෝඝය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි. දිට්ඨෝඝය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද අවිජ්ජෝඝය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
එහි රාගසල්ලය ද දෝසසල්ලය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, මානසල්ලය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, මෝහසල්ලය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද, ප්‍රහාණයට යේ.
එහි රූපූපගවිඤ්ඤාණට්ඨිතිය ද වේදනූපගවිඤ්ඤාණට්ඨිති ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් පරිඥාවට යෙයි, සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිතිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිතිය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද, පරිඥාවට යේ.
එහි ඡන්‍දයෙන් අගතිගමනය ද ද්වේෂයෙන් අගතිගමනය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, භයින් අගතිගමනය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද මෝහයෙන් අගතිගමනය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
මෙසේ ආහාරාදි සියලු ලෝක සංඛ්‍යාත සංසාරවට්ටය අනුව යනසුලු ධර්‍මයෝ අනිත්‍යානුදර්‍ශනාදි ත්‍රිවිධවිමෝක්‍ෂමුඛයෙන් ත්‍රෛලෝකවර්‍තයෙන් නික්මැ යෙත්. එහි මේ නිර්‍ය්‍යාණය යැ සතර ප්‍රතිපදාවෝ යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ධ්‍යානයෝ යැ (දිව්‍ය බ්‍රහ්ම ආර්‍ය්‍ය ආනෙඤ්ජ යන) සතර විහාරයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ආශ්චර්‍ය්‍යඅද්භූතධර්‍මයෝ යැ සතර අධිෂ්ඨානයෝ යැ සතර සමාධිභාවනාවෝ යැ ඉන්‍ද්‍රිය සංවරාදි සතර සුඛභාගියධර්‍මයෝ යැ සතර අප්‍රමාණධර්‍මයෝ යි.
පළමුවන පටිපදාව පළමුවන සතිපට්ඨාන යැ, දෙවන පටිපදාව දෙවන සතිපට්ඨාන යැ, තෙවන පටිපදාව තෙවන සතිපට්ඨාන යැ, සිව්වන පටිපදාව සිව්වන සතිපට්ඨාන යි. ප්‍රථම සතිපට්ඨානය ප්‍රථමධ්‍යාන යැ, දෙවන සතිපට්ඨානය ද්විතීයධ්‍යාන යැ, තෙවන සතිපට්ඨානය තෘතීයධ්‍යාන යැ, සිව්වන සතිපට්ඨානය චතුර්‍ත්‍ථධ්‍යාන යි. ප්‍රථමධ්‍යානය ප්‍රථම විහාර යැ, ද්විතීයධ්‍යානය ද්විතීයවිහාර යැ, තෘතීයධ්‍යානය තෘතීය විහාර යැ, චතුර්‍ත්‍ථධ්‍යානය චතුර්‍ත්‍ථවිහාර යි. ප්‍රථම විහාරය ප්‍රථම සම්‍යක්ප්‍රධාන යැ, ද්විතීය විහාරය ද්විතීය සම්‍යක්ප්‍රධාන යැ, තෘතීය විහාරය තෘතීය සම්‍යක්ප්‍රධාන යැ, චතුර්‍ත්‍ථ විහාරය චතුර්‍ත්‍ථ සම්‍යක්ප්‍රධාන යි. ප්‍රථම සම්‍යක් ප්‍රධානය ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යැ, දෙවැන්න - දෙවැන්න යැ, තෙවැන්න - තෙවැන්න යැ, සතරවැනි සම්‍යක්ප්‍රධානය සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යි. ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය ප්‍රථම අධිට්ඨාන යැ, දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය දෙවැනි අධිට්ඨාන යැ, තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය තෙවැනි අධිට්ඨාන යැ, සිව්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය සිව්වැනි අධිට්ඨාන යි. පළමුවන අධිට්ඨානය පළමුවන සමාධිභාවනා යැ, දෙවැනි අධිට්ඨානය දෙවැනි සමාධිභාවනා යැ, තෙවැනි අධිට්ඨානය තෙවැනි සමාධිභාවනා යැ, සිව්වැනි අධිට්ඨානය සිව්වැනි සමාධිභාවනා යි. පළමුවන සමාධිභාවනාව පළමුවන සුඛභාගියධර්‍ම යැ, දෙවැනි සමාධිභාවනාව දෙවැනි සුඛභාගියධර්‍ම යැ, තෙවැනි සමාධිභාවනාව තෙවැනි සුඛභාගියධර්‍ම යැ, සිව්වැනි සමාධිභාවනාව සිව්වැනි සුඛභාගියධර්‍ම යි. පළමුවන සුඛභාගියධර්‍මය පළමුවන අප්පමාණ යැ, දෙවැනි සුඛභාගියධර්‍මය දෙවැනි අප්පමාණ යැ, තෙවැනි සුඛභාගියධර්‍මය තෙවැනි අප්පමාණ යැ, සිව්වැනි සුඛභාගියධර්‍මය සිව්වැනි අප්පමාණ යි.
පළමුවන පටිපදාව භාවිත බහුලීකෘත වූවා පළමුවන සතිපට්ඨානය පරිපූර්‍ණ කෙරෙයි, දෙවැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා දෙවැනි සතිපට්ඨානය පුරයි, තෙවැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා තෙවැනි සතිපට්ඨානය පුරයි, සිව්වැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා සිව්වැනි සතිපට්ඨානය පුරයි. පළමුවන සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ ප්‍රථමධ්‍යානය පුරයි, දෙවැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ ද්විතීයධ්‍යානය පුරයි, තෙවැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ තෘතීයධ්‍යානය පුරයි, සිව්වැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ චතුර්‍ත්‍ථධ්‍යානය පුරයි. ප්‍රථමධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ ප්‍රථම විහාරය පුරයි, ද්විතීයධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ ද්විතීය විහාරය පුරයි, තෘතීයධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ තෘතීය විහාරය පුරයි, චතුර්‍ත්‍ථධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ චතුර්‍ත්‍ථ විහාරය පුරයි.
ප්‍රථම විහාරය භාවිත බහුලීකෘත වූයේ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ අනුත්පාදය පරිපූර්‍ණ කෙරෙයි, ද්විතීය විහාරය භාවිත බහුලීකෘත වූයේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පුරයි, තෘතීය විහාරය භාවිත බහුලීකෘත වූයේ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පුරයි, චතුර්‍ත්‍ථ විහාරය භාවිත බහුලීකෘත වූයේ උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය අසම්මෝසය (නො නැසීම) බහුලබව පරිපූර්‍ණ කෙරේ. ප්‍රථම සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ මානප්‍රහාණය පුරයි, දෙවැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ ආලයසමුද්ඝාතය පුරයි, තෙවැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ අවිද්‍යාප්‍රහාණය පුරයි, සිව්වැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ භවයාගේ උපසමය පුරයි. මානප්‍රහාණය භාවිත බහුලීකෘත වූයේ සත්‍යාධිෂ්ඨානය පුරයි, ආලයසමුද්ඝාතය භාවිත බහුලීකෘත වූයේ ත්‍යාගාධිෂ්ඨානය පුරයි, අවිද්‍යාප්‍රහාණය භාවිත බහුලීකෘත වූයේ ප්‍රඥාධිෂ්ඨානය පුරයි, භවෝපශමය භාවිත බහුලීකෘත වූයේ (ක්ලේශ) උපශමාධිෂ්ඨානය පුරයි, සත්‍යාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ ඡන්‍දසමාධිය පුරයි, ත්‍යාගාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ වීර්‍ය්‍යසමාධිය පුරයි, ප්‍රඥාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ චිත්තසමාධිය පුරයි, උපශමාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ විමංසාසමාධිය පුරයි. ඡන්‍දසමාධිය භාවිත බහුලීකෘත වූයේ ඉන්‍ද්‍රිය සංවරය පුරයි, වීර්‍ය්‍යසමාධිය භාවිත බහුලීකෘත වූයේ (පුණ්‍යධර්‍ම සංඛ්‍යාත) තපස පුරයි, චිත්තසමාධිය භාවිත බහුලීකෘත වූයේ (බොජ්ඣඞ්ගභාවනා සංඛ්‍යාත) බුද්ධිය පුරයි, විමංසා සමාධිය භාවිත බහුලීකෘත වූයේ සබ්බූපධිපටිනිස්සග්ගය පුරයි. ඉන්‍ද්‍රිය සංවරය භාවිත බහුලීකෘත වූයේ මෙත්තාව පුරයි, තපස භාවිත බහුලීකෘත වූයේ කරුණාව පුරයි, බුද්ධිය භාවිත බහුලීකෘත වූවා මුදිතාව පුරයි, සබ්බූපධිපටිනිස්සග්ගය (නිවන) භාවිත බහුලීකෘත වූයේ උපේක්‍ෂාව පරිපූර්‍ණ කෙරේ.
ඒ වෝදානපක්‍ෂයෙහි මේ සතර දිශාවෝ යැ : ප්‍රථම පටිපදා යැ ප්‍රථම සතිපට්ඨාන යැ ප්‍රථම ධ්‍යාන යැ ප්‍රථම (දිබ්බ) විහාරය යැ ප්‍රථම සම්‍යක්ප්‍රධාන යැ ප්‍රථම අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ සච්චාධිට්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රියසංවර යැ මෙත්තා යැ යනු ප්‍රථම දිශාභූත ධර්‍ම යි.
දෙවැනි පටිපදා යැ දෙවැනි සතිපට්ඨාන යැ දෙවැනි ධ්‍යාන යැ දෙවැනි (බ්‍රහ්ම) විහාර යැ දෙවැනි සම්‍යක්ප්‍රධාන යැ දෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ චාගාධිට්ඨාන යැ විරියසමාධි යැ තපස යැ කරුණා (අප්‍රාමාණ්‍ය) යැ යනු ද්විතීය දිශාභූත ධර්‍ම යි.
තෘතීය ප්‍රතිපදා යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි ධ්‍යාන යැ තෙවැනි (අරිය) විහාර යැ තෙවැනි සම්‍යක්ප්‍රධාන යැ තෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ පඤ්ඤාධිට්ඨාන යැ චිත්තසමාධි යැ (බොජ්ඣඞ්ගභාවනා) බුද්ධි යැ මුදිතා (අප්‍රාමාණ්‍ය) යැ යනු තෘතීය දිශාභූත ධර්‍ම යි.
සතරවැනි පටිපදා යැ සිව්වැනි සතිපට්ඨාන යැ සිව්වැනි ධ්‍යාන යැ සිව්වැනි (ආනෙඤ්ජ) විහාර යැ සිව්වැනි සම්‍යක්ප්‍රධාන යැ සිව්වැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ උපසමාධිට්ඨාන යැ විමංසාසමාධි යැ සබ්බූපධිපටිනිස්සග්ග යැ උපෙක්ඛා (අප්‍රාමාණ්‍ය) යැ යනු චතුර්‍ත්‍ථ දිශාභූත ධර්‍ම යි.
ඒ දිශාභූත ධර්‍මයන් කෙරෙහි පඨම ප්‍රතිපදා යැ පඨම සතිපට්ඨාන යැ පඨම ඣාන යැ පඨම විහාර යැ පඨම සම්මප්පධාන යැ පඨම අච්ඡරිය අබ්භූතධම්ම යැ සච්චාධිට්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රියසංවර යැ මෙත්තා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ රාගචරිත පුද්ගලහට බෙහෙති.
දෙවැනි පටිපදා යැ දෙවැනි සතිපට්ඨාන යැ දෙවැනි ධ්‍යානය දෙවැනි විහාර යැ දෙවැනි සම්මප්පධාන යැ දෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ චාගාධිට්ඨාන යැ විරියසමාධි යැ (පුණ්‍යධර්‍ම) තපස යැ කරුණා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ දෝසචරිත පුද්ගලහට බෙහෙති.
තෙවැනි පටිපදා යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි ධ්‍යාන යැ තෙවැනි විහාර යැ තෙවැනි සම්මප්පධාන යැ තෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ පඤ්ඤාධිට්ඨාන යැ චිත්තසමාධි යැ (බොජ්ඣඞ්ගභාවනා) බුද්ධි යැ මුදිතා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ මන්‍ද වූ (මෝහාධික) දිට්ඨිචරිත පුද්ගලහට බෙහෙති.
සිව්වැනි පටිපදා යැ සිව්වැනි සතිපට්ඨාන යැ සිව්වැනි ධ්‍යාන යැ සිව්වැනි විහාර යැ සිව්වැනි සම්මප්පධාන යැ සිව්වැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ උපසමාධිට්ඨාන යැ විමංසාසමාධි යැ සබ්බූපධිපටිනිස්සග්ග යැ උපෙක්ඛා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ උදත්‍ථ (උදාර ප්‍රඥා ඇති) දිට්ඨිචරිත පුද්ගලහට බෙහෙති.
එහි (ඒ වෝදානධර්‍මයන් කෙරෙහි) දන්‍ධාභිඤ්ඤ වූ දුක්ඛපටිපදාව ද ඛිප්පාභිඤ්ඤ වූ දුක්ඛපටිපදාව ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ දන්‍ධාභිඤ්ඤ වූ සුඛපටිපදාව ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, ඛිප්පාභිඤ්ඤ වූ සුඛපටිපදාව අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි කයෙහි කය අනුව දක්නා සතිපට්ඨානය ද වේදනාවන්හි වේදනා අනුව දක්නා සතිපට්ඨානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, චිත්තයෙහි චිත්තානුපස්සී සතිපට්ඨානය ශුන්‍යත විමොක්‍ෂමුඛ යැ, ධර්‍මයන්හි ධම්මානුපස්සී සතිපට්ඨානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි ප්‍රථමධ්‍යානය ද ද්විතීයධ්‍යානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීයධ්‍යානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි ප්‍රථමවිහාරය ද ද්විතීය විහාරය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීය විහාරය ශුන්‍යත විමොක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථවිහාරය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි ප්‍රථම සම්‍යක්ප්‍රධානය ද ද්විතීය සම්‍යක්ප්‍රධානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීය සම්‍යක්ප්‍රධානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථ සම්‍යක්ප්‍රධානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි මානප්‍රහාණය ද ආලයසමුද්ඝාතය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, අවිද්‍යාප්‍රහාණය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, භවූපසමය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි සත්‍යාධිට්ඨානය ද චාගාධිට්ඨානය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, පඤ්ඤාධිට්ඨානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, උපසමාධිට්ඨානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි ඡන්‍දසමාධිය ද විරියසමාධිය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, චිත්තසමාධිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, විමංසාසමාධිය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි ඉන්‍ද්‍රියසංවරය ද තපස ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, බුද්ධිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, සබ්බූපධිපටිනිස්සග්ගය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
එහි මෙත්තාව ද කරුණාව ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, මුදිතාව ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, උපෙක්ඛාව අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
(අසන්තසනාදි විශේෂයෝගයෙන් සිංහසදෘශ වූ) ඒ බුද්ධාදීන්ගේ (භාවනා සච්ඡිකිරියා පහාන සංඛ්‍යාත) වික්‍රීඩිතය හෙවත් පැවැත්ම වෙයි : (සංකිලේස පක්‍ෂයෙහි) සතර ආහාරයෝ වෙති, (වෝදාන පක්‍ෂයෙහි) සතර ප්‍රතිපදාවෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ, (එසේ මැ) සතර විපල්ලාසයෝ වෙති, සතර සතිපට්ඨානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර උපාදානයෝ වෙති, සතර ධ්‍යානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර යෝගයෝ වෙති, (දිබ්බාදි) සතර විහාරයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ග්‍රන්‍ථයෝ වෙති, සතර සම්‍යක්ප්‍රධානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර කාමාදි ආසවයෝ වෙති, සතර ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ඕඝයෝ වෙති, සතර අධිට්ඨානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ශල්‍යයෝ වෙති, සතර සමාධිභාවනාවෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර විඤ්ඤාණට්ඨිතිහු වෙති, සතර සුඛභාගිය ධර්‍මයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර අගතිගමනයෝ වෙති, සතර අප්‍රාමාණ්‍යයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යි.
(සමුච්ඡේදප්‍රහාණ විසින්) නසනලද රාගද්වේෂමෝහ ඇති සම්මාසම්බුදුහු ද පසේ බුදුහු ද සව්වෝ ද (අසන්ත්‍රාස බල පරාක්‍රමාදි විශේෂයෝගයෙන්) සිංහසදෘශ වෙති, ඒ සිංහසදෘශ බුද්ධාදීන්ගේ බෝධ්‍යඞ්ගධර්‍මයන්ගේ භාවනාව ඵලනිර්‍වාණයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම දශවස්තුක ක්ලේශපුඤ්ජය ප්‍රහාණය කිරීම ද වික්‍රීඩිත යැ, (ඉන්‍ද්‍රියාධිට්ඨාන) ඉන්‍ද්‍රියයන්ගේ පැවැත්ම භාවනා සච්ඡිකිරියා ද වික්‍රීඩිත යැ, විපර්‍ය්‍යාසයන්ගේ නො පැවැත්ම ප්‍රහාණය අනුත්පාදනය ද වික්‍රීඩිත යි. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ සද්ධර්‍මයට ගෝචර වූවාහුය, විපල්ලාසයෝ සංක්ලේශපක්‍ෂයට ගෝචර යි. පැවැත්මට හේතු යි. මේ සීහවික්කීළිතනයට ද දිසාලෝචනනයට ද භූමි යයි කියනුලැබේ. “යො නෙති විපල්ලාසෙහි කිලෙසෙ” යනු ද “වෙය්‍යාකරණෙසු හි යෙ කුසලාකුසලා” යනු ද එයින් කීහ.
ඒ පුද්ගලයන් කෙරෙහි යම් කෙනෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ සතර පුද්ගලයනට මේ සංක්ලේශ යැ : සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෝ යැ සතර උපාදානයෝ යැ සතර යෝගයෝ යැ සතර ග්‍රන්‍ථයෝ යැ සතර ආසවයෝ යැ සතර ඕඝයෝ යැ සතර ශල්‍යයෝ යැ සතර විඤ්ඤාණට්ඨිති යැ සතර අගතිගමනයෝ යැ යන මොහු යි. ඒ සතර පුද්ගලයනට මේ වෝදාන යැ : සතර ප්‍රතිපදා යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ධ්‍යානයෝ යැ සතර විහාරයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ යැ සතර අධිට්ඨානයෝ යැ සතර සමාධි භාවනා යැ සතර සුඛභාගියධර්‍මයෝ යැ සතර අප්‍රාමාණ්‍යයෝ යැ යන මොහු යි.
ඒ පුද්ගලයන් කෙරෙහි දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද යම් කෙනෙක් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි. සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද යම් කෙනෙක් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ පුද්ගලයන් සතරදෙනා කෙරෙහි යමෙක් සුඛපටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද මේ පුද්ගල උද්ඝටිතඥ වෙයි. යමෙක් සාධාරණ ප්‍රතිපදායෙන් (‘දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා’ යන ප්‍රතිපදා දෙකින් නික්මැයේ ද,) මේ විපඤ්චිතඥ පුද්ගල වෙයි. යමෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් සසරදුකින් නික්මැයේ ද මේ නෙය්‍යපුද්ගල වේ.
ඒ පුද්ගලයන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සමථය දෙසනසේක, නෙයපුද්ගලහට විදර්‍ශනාව ද විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සමථවිපස්සනා දෙක ද දෙසන සේකි. ඔවුන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට මෘදු (සැහැල්ලු) වූ ධර්‍මදේශනාව දෙසනසේක, නෙය්‍යපුද්ගලහට (අපායභය දැක්වීම් ආදියෙන්) තියුණු වූ දේශනාව ද, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට (සංවේග දැනැවීම් ආදියෙන්) මුදු තියුණු දේශනාව ද දෙසන සේකි. එහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සැකෙවින් (උද්දේසමාත්‍රයෙන්) දහම් දෙසනසේක, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සංක්‍ෂෙපවිස්තරයෙන් (උද්දේස නිද්දේස විසින්) ද, නෙය්‍ය පුද්ගලහට විස්තරයෙන්ද (උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන්) දහම් දෙසනසේකි. එහි බුදුහු උද්ඝටිතඥ පුද්ගලහට නිස්සරණය දක්වනසේක, විපඤ්චිතඥ පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක, නෙය්‍යපුද්ගලහට අස්සාදය ද ආදීනව ද නිස්සරණය ද දෙසනසේකි. එහි බුදුහු උග්ඝටිතඤ්ඤෑ පුද්ගලහට අධිප්‍රඥාශික්‍ෂාව පනවනසේක, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට අධිචිත්තශික්‍ෂාව ද, නෙය්‍යපුද්ගලහට අධිශීලශික්‍ෂාව ද පනවනසේකි.
ඒ පුද්ගලයන් කෙරෙහි යම් කෙනෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් හා ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි, යම් කෙනෙක් සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් හා ක්‍ෂිප්‍රාභිඥායෙන් හා නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙත්. මෙසේ උක්තප්‍රකාරයෙන් පුද්ගලයන් සතරදෙනකු වැ. උග්ඝටිතඤ්ඤෑ විපඤ්චිතඤ්ඤෑ නෙය්‍ය යි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්.
ඒ තුන්වැදෑරුම් පුද්ගලයනට මේ සංකිලේස යැ : අකුශලමූල තුනෙකි : ලෝභ අකුශලමූල යැ ද්වේෂ අකුශලමූල යැ මෝහ අකුශලමූල යි. දුශ්චරිත තුනෙකි : කාය දුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යි. අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි : කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යි. අකුශලසංඥා තුනෙකි : කාමසංඥා යැ ව්‍යාපාදසංඥා යැ විහිංසාසංඥා යි. විපරීතසංඥා තුනෙකි : නිත්‍යසංඥා යැ සුඛසංඥා යැ ආත්මසංඥා යි. වේදනා තුනෙකි : සුඛවේදනා යැ දුක්ඛවේදනා යැ අදුක්ඛමසුඛවෙදනා යි. දුක්ඛතා තුනෙකි : දුක්ඛදුක්ඛතා යැ සඞ්ඛාරදුක්ඛතා යැ විපරිණාම දුක්ඛතා යි. ගිනි තුනෙකි : රාගාග්නි යැ ද්වේෂාග්නි යැ මෝහාග්නි යි. ශල්‍යයෝ තිදෙනෙකි : රාගශල්‍ය යැ ද්වේෂශල්‍ය යැ මෝහශල්‍ය යි. ජටා තුනෙකි : රාගජටා යැ ද්වේෂජටා යැ මෝහජටා යි. අකුශලෝපපරීක්‍ෂා තුනෙකි : අකුශල කායකර්‍ම යැ අකුශල වාක්කර්‍ම යැ අකුශල මනඃකර්‍ම යි. විපත්ති තුනෙකි : ශීලවිපත්ති යැ දෘෂ්ටි විපත්ති යැ ආචාරවිපත්ති යැ යන මේ සතිස් ධර්‍මයෝ සංකිලේස යි.
ඒ තුන් පුද්ගලයනට මේ වෝදාන යැ : කුශලමූල තුනෙකි : අලෝභකුසලමූල යැ අදෝසකුසලමූල යැ අමෝහකුසලමූල යි. සුචරිත තුනෙකි : කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිත යි. කුශලවිතර්‍කයෝ තිදෙනෙකි : නෛෂ්ක්‍රම්‍යවිතර්‍ක යැ අව්‍යාපාදවිතර්‍ක යැ අවිහිංසාවිතර්‍ක යි. සමාධීහු තිදෙනෙකි : සවිතර්‍කසවිචාර සමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යි. කුශලසංඥා තුනෙකි : නෛෂ්ක්‍රම්‍යසංඥා යැ අව්‍යාපාදසංඥා යැ අවිහිංසාසංඥා යි. අවිපරීතසංඥා තුනෙකි : අනිත්‍යසංඥා යැ දුඃඛසංඥා යැ අනාත්මසංඥා යි. කුශලෝපපරීක්‍ෂා තුනෙකි : කුශල කායකර්‍ම යැ කුශල වාක්කර්‍ම යැ කුශලමනඃකර්‍ම යි. සුචිභාව තුනෙකි : කායසොචෙය්‍ය යැ වචීසොචෙය්‍ය යැ මනෝසොචෙය්‍ය යි. සම්පත් තුනෙකි : ශීලසම්පත්ති යැ සමාධිසම්පත්ති යැ ප්‍රඥාසම්පත්ති යි. ශික්‍ෂා තුනෙකි : අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යි. ස්කන්‍ධ තුනෙකි : ශීලස්කන්‍ධ යැ සමාධිස්කන්‍ධ යැ ප්‍රඥාස්කන්‍ධ යි. විමොක්‍ෂමුඛ තුනෙකි : ශුන්‍යත යැ අනිමිත්ත යැ අප්‍රණිහිත යැ යන මේ සතිස් ධර්‍මයෝ වෝදාන යි.
මේ උක්තප්‍රකාරයෙන් පුද්ගලයන් සතරදෙනකු වී තිදෙනෙක් වෙති. තිදෙනෙකු වී දෙදෙනෙක් වෙති: තෘෂ්ණාචරිත ඇත්තේ ද දෘෂ්ටිචරිත ඇත්තේ දැයි කියා යි. ඒ දෙවැදෑරුම් පුද්ගලයනට මේ සංකිලේස වෙයි: තෘෂ්ණා යැ අවිද්‍යා යැ අහිරික යැ අනොත්තප්ප යැ අසති යැ අසම්පජඤ්ඤ යැ අයෝනිසෝමනසිකාර යැ කුසීදබව යැ දුර්වචබව යැ අහංකාර යැ මමංකාර යැ අශ්‍රද්ධා යැ ප්‍රමාද යැ අසද්ධර්‍මශ්‍රවණ යැ අසංවර යැ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ නීවරණ යැ සංයෝජන යැ ක්‍රෝධ යැ උපනාහ යැ මක්ඛයැ පලාස යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ සාඨෙය්‍ය යැ ශාශ්වතදෘෂ්ටි යැ උච්ඡේදදෘෂ්ටි යැ ද යන මේ සංකිලේස යි.
ඒ තණ්හාචරිත දිට්ඨිචරිත පුද්ගලයන් දෙදෙනාට මේ වෝදාන වෙයි : සමථ යැ විදර්‍ශනා යැ හිරි යැ ඔත්තප්ප යැ සති යැ සම්පජඤ්ඤ යැ යෝනිසෝමනසිකාර යැ වීර්‍ය්‍යාරම්භ යැ සුවචබව යැ ධර්‍මයෙහි ඥාන යැ අන්‍වයෙහි ඥාන යැ ක්‍ෂයඥාන යැ අනුත්පාදයෙහි ඥාන යැ ශ්‍රද්ධා යැ අප්‍රමාද යැ සද්ධර්‍මශ්‍රවණ යැ සංවර යැ අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ රාගවිරාගචේතෝවිමුත්ති යැ අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්ති යැ අභිසමය යැ අල්පේච්ඡතා යැ සන්තුෂ්ටි යැ අක්‍රෝධ යැ අනුපනාහ යැ නොමකු බව යැ අපලාස (යුගග්‍රාහ නැතිබව) යැ ඊර්‍ෂ්‍යාප්‍රහාණ යැ මාත්සර්‍ය්‍ය ප්‍රහාණ යැ විද්‍යා යැ විමුක්ති යැ සංඛතාරම්මණවිමෝක්‍ෂ යැ අසංඛතාරම්මණවිමොක්‍ෂ යැ සඋපාදිසේස නිර්‍වාණධාතු යැ අනුපාදිසේසනිර්‍වාණධාතුව ද යන මේ වෝදාන යි. මේ තිපුක්ඛල නයට ද අංකුස නයට ද භූමි යයි කියනු ලැබේ. යො අකුසලෙ සමූලෙහි නෙති යනාදිය ද “ඔලෝකයිත්‍වා දිසලොචනෙන” යනාදිය ද එයින් වදාළහ.
නයසමුට්ඨානය යොදන ලද්දේ යි.
3. 4.
ශාසනප්‍රස්ථානය
ඒ මූලපදවිභාගයෙහි අටළොස් මූලපදයෝ කොහි ලා දැක්කයුත්තාහු යැ යත් : සාසනපට්ඨානයෙහි දැක්කයුතු. එහි සාසනපට්ඨාන කවරෙ යැ : (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ, (2) වාසනාභාගිය සූත්‍ර යැ, (3) නිබ්බේධභාගිය සූත්‍ර යැ, (4) අසේඛභාගිය සූත්‍ර යැ, (5) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ, (6) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (7) සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (8) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (9) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (10) වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (11) තණ්හාසංකිලේසභාගිය සූත්‍ර යැ, (12) දිට්ඨිසංකිලේසභාගිය සූත්‍ර යැ, (13) දුච්චරිතසංකිලෙසභාගිය සූත්‍ර යැ, (14) තණ්හාවෝදානභාගිය සූත්‍ර යැ, (15) දිට්ඨිවෝදානභාගිය සූත්‍ර යැ, (16) දුච්චරිතවෝදානභාගිය සූත්‍ර යි.
එහි සංකිලේස ත්‍රිවිධ යැ : තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි කියා යි. ඒ ත්‍රිවිධ සංකිලේසයන් කෙරෙහි තණ්හාසංකිලෙසය සමථයෙන් විසුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්‍ධ යි. දිට්ඨිසංකිලේසය විදර්‍ශනායෙන් විසුද්ධ වෙයි, ඒ විදර්‍ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විසුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්‍ධ යි. ශීලයෙහි පිහිටි ඔහුට ඉදින් භවයෙහි ආසත්ති (භව ප්‍රාර්‍ත්‍ථනාව) උපදී නම්, මෙසේ ඒ පුද්ගලහට මේ ශමථ - විදර්‍ශනා (විපාකඵල උපදවන හෙයින්) භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු වෙයි. ඒ ඒ භවයෙහි උපත පිණිස පවතී.
මේ ‘සංකිලේසභාගියා’ දි සතර සූත්‍රයෝ (‘සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච’ යනාදීන්) මිශ්‍ර කරනලද්දාහු සූත්‍ර අටක් වෙති. එමැ සූත්‍ර අට (ත්‍රික වශයෙන්) මිශ්‍ර කරන ලද්දාහු සොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. පට්ඨානනයින් විභාග කරනලද මේ සොළොස් වැදෑරුම් සූත්‍රයෙන් ‘සුත්ත ගෙය්‍යාදි පර්‍ය්‍යාප්තිශාසන සංඛ්‍යාත නවවිධ සූත්‍රය සොළොස් පරිද්දෙකින් විභාග කරනලද්දේ වේ. (මේ සොළසවිධ පට්ඨානයෙන් අසංගෘහිත වූ පර්‍ය්‍යාප්තිශාසනප්‍රදේශයෙක් නැතැ’ යි සේයි.) ගාථායෙන් ගාථාව (මේ ගාථාව වැනි ගාථා සංකිලෙසභාගිය යැ යනාදීන්) අනුමාන කොට හෙවත් තර්‍කණ කොට දතයුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය අනුමිනිතව්‍ය යැ, සූත්‍රයෙන් සූත්‍රය අනුමිනිතව්‍ය යි.
3. 4. 1.
(1) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ :
1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි මසුන් මෙන් ප්‍රමාදය හේතු කොටගෙන කාමගුණ සංඛ්‍යාත බන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයෝ මවු දෙන කරා කිරි බොන වස්සකු මෙන් ජරාමරණයට පුනපුනා පැමිණෙති.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත්: ඡන්‍දහේතුයෙන් අගතියට යෙයි, (නො කටයුතු කෙරෙයි,) ද්වේෂයෙන් අගතියට යෙයි, භයින් (භයහේතුයෙන්) අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි. මහණෙනි, මේ සතර අගතිගමනයෝ යි. බුදුහු මේ වදාළහ, සුගත වූ ශාස්තෲන් වහන්සේ මේ වදාරා යළි තෙල ගාථාධර්‍මය වදාළසේක.
2. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැ යේ නම් ඔහුගේ කීර්ති - පරිවාරයශස් අවපස සඳු සෙයින් පිරිහේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
3. වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිතින් මැ නිපදවන ලද්දාහ, ඉදින් ප්‍රදුෂ්‍ය වූ සිතින් යුක්තව (මුසාවාදාදිය) බෙණේ නම් හෝ (ප්‍රාණවධාදිය) කෙරේ නම් හෝ ඒ හේතුයෙන් විය උසුලන ගොනුගේ පිය අනුව යන ගැල්සක මෙන් විපාකදුඃඛය ඒ පුද්ගලයා අනුව යෙයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට බුදින්නේත් වේ ද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළිපෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඇ ශූකර නිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු සෙයින් ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසට පැමිණේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
5. යකඩින් මැ නැඟුණු මලය ඒ යකඩයෙන් මැ නැඟී යම් සේ ඒ යකඩය මැ කා වනසා ද එපරිද්දෙන් සිවුපසය (මේ සඳහා මෙතෙක් පමණැයි) ප්‍රත්‍යවේක්‍ෂාප්‍රඥාව ඉක්මැවූවහු (සිවුපසය නොපස්විකා වළඳන මහණහු) (සිය සතන්හි උපන් හෙයින්) ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත් යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
6. ගෘහසන්‍ධිමුඛයෙහි (ගෙහිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද, (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද, එසෙයින් මේ සත්ත්‍වප්‍රජාව මියැ පරලොවැ දී සිය පව්කැමින් පෙළනු ලැබෙයි, බඳනාත් ලැබේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
7. සුව කැමැති වූ සත්ත්‍වයන් යමෙක් දඬුවමින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන හේ පරලොවැ දී සුව නොලබා යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
8. මහොඝය තරණය කරන ගවයන් අතුරෙහි ඉදින් පුංගවයා (යූථපති වූ ප්‍රධාන වෘෂභ) කුටිලව යේ ද, පරිණායක ගවයා කුටිලව ගිය කල්හි එ හැම ගාවීහු කුටිලව යෙත්.
9. එපරිදි මැ මිනිසුන් කෙරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ කායදුශ්චරිතාදි අධර්‍මයෙහි හැසිරේ ද, ඔහු අනුව යන ඉතිරි ප්‍රජාව කැල මැය, (කියනු කිමැ) ඉදින් රජ නොදැහැමි වේ නම් සියලු රටවැසි ජනයා දුකසේ වෙසේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
10. පඤ්චකාමගුණෝපධීන්හි ඇලුණා වූ එහෙයින් මැ වෙසෙසින් දුකට පැමිණි ස්වභාව ඇති මේ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පව්කම් කෙරෙති, පාපකාරී ඔවුහු (පව් කරන) බොහෝදෙනාට වාසස්ථාන වූ කටුක වූ බියදනවන අවීචි නිරයට යෙති.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
11. ඵලය ඒකාන්තයෙන් (පත්වැටි නූපදනා හෙයින්) කෙසෙල්ගස නසා ද, ඵලය (ඕසධීහු ඵලපාකාවසාන හෙයින්) මහහුණ නසා ද, ඵලය රණහුණ නසා ද, ගර්‍භය යම්සේ වෙළඹ නසා ද, එසෙයින් සත්කාරය අසත්පුරුෂයා නසා යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
12. ප්‍රත්‍යයලාභය හා සත්කාරය හේතුකොටගෙන ක්‍රෝධය ගුණමකුබව ගරුකොට වෙසෙන මහණ මනා කෙතෙහි වපුළ කුණු වූ බිජුවටක් සෙයින් ශාසනසද්ධර්‍මයෙහි ශීලාදි ගුණයෙන් නොවැඩේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
“මහණෙහි, මම මෙලොවැ ඇතැම් පුඟුලකු ප්‍රදුෂ්ට වූ සිත් ඇතියහු මාගේ සිතින් ඔහුගේ සිත මෙසේ පිරිසිඳ දනිමි : (මේ පුද්ගල යම්සේ ඉරියව් පවත්වා ද යම් පිළිවෙතකට පිළිපන්නේ ද, යම් මඟකට පිවිසියේ ද) මේ පුද්ගල මෙ සමයෙහි කලුරිය කෙරේ නම්, (හිසින් හෝ කරින්) ගෙනඑන ලද්දක් යම්සේ බහාතැබුයේ ද, එසෙයින් නිරයෙහි උපදනේ යැ. එ කවර හෙයින යත් : මහණෙනි ඔහුගේ සිත ප්‍රදුෂ්ට යැ එහෙයිනි. තවද මහණෙනි, මෙසේ මෙ ලොවැ ඇතැම් සත්ත්‍ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙත්. බුදුහු තෙල කරුණ වදාළහ, එහි ලා තෙල මෙසේ කියනුලැබේ.
13. මෙලොවැ ප්‍රදුෂ්ට සිත් ඇති ඇතැම් පුඟුලකු (සිතින් සිත) දැන බුදුහු මහණුන් හමුයෙහි තෙල කරුණ ප්‍රකාශ කළසේක.
14. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල කලුරිය කරන්නේ නම් නිරයට පැමිණෙන්නේ යැ, ඔහුගේ සිත ප්‍රදුෂ්ට හෙයිනි. චිත්තප්‍රදෝෂහේතුයෙන් සත්ත්‍වයෝ දුගතියට යෙත් මැයි.
15. ගෙන එනලද්දක් යම්සේ බහාතබන්නේ ද, එපරිදි මැ එබඳු වූ ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල කය බිඳීමෙන් මතු නිරයට පැමිණේ යයි.
භාග්‍යවතුන් විසින් මේ අර්‍ත්‍ථය ද වදාරන ලදැ’ යි මා විසින් අසනලදි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
16. ඉදින් දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසි වැ වේවයි පව්කම් නහමක් කරවු.
17. ඉදින් පව්කම් මතු කරන්නවු නම් දැන් කරවු නම් හෝ දැනැ දැනැ පලායන්නාවූ ද තොපට දුකින් මිදීමෙක් නැති.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
18. අධර්‍මයෙනුදු මුසවා බිණීමෙනුදු (සවිඥාන - අවිඥාන) උභය ධනය ලැබ බාලයෝ මේ මාගේ ධනයැයි සිතති. කිසෙයින් ඒ ධනය ඔවුන් අයත් වේ ද?