Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 501-600 න් 1311

මෙසේ අනේකධාතුනානාධාතුක ලෝකය පිළිබඳ යම් යම් මැ හීනාදි ස්වභාවයක් සත්ත්‍වයෝ හීනාදි ස්වභාවයෙන් අධිමුක්ත වෙත් ද (අදහස් කෙරෙත් ද) ඒ ඒ ස්වභාවය මැ අධිෂ්ඨාන කෙරෙති තෘෂ්ණාවශයෙන් පිවිසෙති. (අධිමුක්තිවිෂය විභාග කෙරෙති :) කිසි සත්ත්‍ව කෙනෙක් රූපධ්‍යාශය ඇත්තාහුය, කිසිවෙක් ශබ්දාධිමුක්ත යැ කිසිවෙක් ගන්‍ධාධිමුක්ත යැ කිසිවෙක් රසාධිමුත්ත යැ කිසිවෙක් ඵොට්ඨබ්බාධිමුත්ත යැ කිසිවෙක් ධම්මාධිමුත්ත යැ කිසිවෙක් ඉත්‍ථාධිමුත්ත යැ කිසිවෙක් පුරිසාධිමුත්ත යැ කිසිවෙක් ත්‍යාගාධිමුත්ත යැ කිසිවෙක් හීනාධිමුත්ත යැ කිසිවෙක් ප්‍රණීතාධිමුත්ත යැ කිසිවෙක් දේවාධිමුත්ත යැ කිසිවෙක් මනුෂ්‍යාධිමුත්ත යැ කිසිවෙක් නිර්‍වාණාධිමුක්ත වෙත්. මේ අධිමුත්තිවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ සත්ත්‍ව වෛනෙය යැ මේ විනයන නොකළ හැක්ක මේ ස්වර්‍ගගාමී යැ මේ දුර්‍ගතිගාමී යැ’ යි පවත්නා යම් ඥානයෙක් ඇද්ද මෙය සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාඤාණ නම් වූ සතරවැනි තථාගතබලයැ’ යි කියනුලැබේ. (4)
මෙසේ ඒ (හීන - ප්‍රණිත්‍යාධිමුක්ති ඇති) සත්ත්‍වයෝ යම් යම් පරිදි අධ්‍යාශය ඇත්තාහු වෙත් ද, අධිමුත්ති අනුරූප වූ ඒ ඒ කර්‍මසමාදානය කෙරෙත් ද, ඔවුහු සවැදෑරුම් කර්‍ම සමාදානය කෙරෙත් : කිසිවෙක් ලෝභවශයෙන් කිසිවෙක් ද්වේෂවශයෙන් කිසිවෙක් මෝහවශයෙන් කිසිවෙක් ශ්‍රද්ධාවශයෙන් කිසිවෙක් වීර්‍ය්‍යවශයෙන් කිසිවෙක් ප්‍රඥාවශයෙන් කර්‍මසමාදාන කෙරෙත්. ඒ කර්‍මය විභාග කරනුලබනුයේ සංසාරගාමී කර්‍මය ද නිර්‍වාණගාමී කර්‍මය දැ’ යි දෙවැදෑරුම් වේ.
එහි ලෝභවශයෙන් ද ද්වේෂවශයෙන් ද මෝහවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම් මේ කර්‍මය කෘෂ්ණ වූයේ කෘෂ්ණ විපාක ඇත්තේ යැ, එහි ශ්‍රද්ධාවශයෙන් ද වීර්‍ය්‍යවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම් මේ කර්‍මය ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇත්තේ යැ, එහි ලෝභවශයෙන් ද ද්වේශවශයෙන් ද මෝහවශයෙන් ද ශ්‍රද්ධාවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම්, මේ කර්‍මය කෘෂ්ණශුක්ල වූයේ කෘෂ්ණශුක්ලවිපාක ඇත්තේ යැ, එහි වීර්‍ය්‍යවශයෙන් ද ප්‍රඥාවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම්, මේ කර්‍මය (සතර මාර්‍ග චේතනාව) අකණ්හ යැ අසුක්ක යැ අකෘෂ්ණඅශුක්ල විපාක ඇත්තේ යැ මෙය කර්‍මයන් කෙරෙහි උත්තම යැ කර්‍මයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ යැ කර්‍මක්‍ෂය සංඛ්‍යාත නිවන පිණිස පවත්නේ යි.
කර්‍මසමාදානයෝ සතරදෙනෙක් වෙති : ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ මතුයෙහි සුඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ ද මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ ද මතුයෙහි සුඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇති. යම් අන්‍යවූත් මෙබඳු ප්‍රකාර ඇති කර්‍මයෙකි. (ඒ කර්‍මවිපාකයෙහි බුදුරදුන්ගේ ඥානය පවත්නා අයුරු දක්වති :) ‘මේ පුඟුල්හු විසින් අකුශලකර්‍මයෙක් විපාකදානයට සමර්‍ත්‍ථ පරිදි රැස්කරනලද, එය විපාක නොදෙනලදුවැ විපාක දීමට කළ අවකාශ ඇත, අභිනිබ්බිදා සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගය අවබෝධ කරන්නට නො ද සුදුසුවනැ’ යි, බුදුහු ඔහුට අවවාද නොකරනසේක. දේවදත්ත, කෝකාලික, සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර යන මොවුන් මෙනි. (විපාකාවරණයෙන් වැසුණු පුඟුල්හට භවවාසනා සඳහා දහම් දෙසති, අජාසත්හට මෙනි.)
තවද මිච්ඡත්තනියත වූ යම් අන්‍ය සත්ත්‍ව කෙනෙක් හෝ වෙත් ද, මේ පුද්ගලයන් විසිනුදු කරන්නට ආරබ්ධ වූ අකුශලය තවම නො ද පිරීමට ගියේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි, ඇසිල්ලෙකින් ඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්‍ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි කර්‍මය අපරිපූර්‍ණ වූ ඔවුනට බුදුහු අවවාද කරනසේක. පුණ්ණ ගෝවතිකයහට ද අචේල කුක්කුරවතිකයහට ද මෙනි. යළි මේ පුඟුල්හුගේ අකුශලකර්‍මසමාදානය පරිපූර්‍ණ වනුයේ මාර්‍ගය ආවරණ කරන්නේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි ඇසිල්ලෙකින් අකුශලඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්‍ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි බුදුහු අපරිපූර්‍ණ කර්‍මය ඇති ඔහුට අවවාද කරනසේක. ආයුෂ්මත් අඞ්ගුලිමාලයනට මෙනි.
බලනිර්දේශයෙහි කියනලද සියලු කර්‍මයන්ගේ මෘදු - මධ්‍ය - තීව්‍රභාවය වෙයි : එහි ආනෙඤ්ජාභිසඞ්ඛාරයෝ මෘදු යැ, අවසේස කුසලසඞ්ඛාරයෝ මධ්‍ය යැ, අකුසලසඞ්ඛාරයෝ තීව්‍ර යි. මේ කර්‍මවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් පැවැති “මේ කර්‍මය දෘෂ්ටධර්‍මයෙහි (මෙ අත්බවෙහි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්‍මය උපපද්‍ය භවයෙහි (අනතුරු අත්බව්හි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්‍මය අපරපරියායයෙහි (මෙයින් අන්‍ය වූ කිසි අත්බවෙක) වින්දයුතු විපාක ඇත්තේ යැ, මේ කර්‍මය නිරයෙහි විපාක වින්දයුතු යැ, මෙය තිරශ්චීනයෝනියෙහි වින්දයුතු යැ, මෙය ප්‍රේතවිෂයෙහි වින්දයුතු යැ, මෙය අසුරකායෙහි වින්දයුතු යැ, මෙය දෙව්ලොවැ වින්දයුතු යැ, මෙය මිනිස්ලොවැ වින්දයුතු යැ” යි දන්නා යම් ඥානයෙක් ඇද්ද මෙය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ හේතු විසින් ප්‍රත්‍යය විසින් අනෝධි විසින් ‘විපාක වේමත්තතාඤාණ’ නම් පස්වැනි තථාගතබලය යි කියනුලැබේ. (5)
යට කී පරිදි සමාදානය කළ කර්‍මයන්ගේ සමාදානය කළ ධ්‍යානයන්ගේ විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ගේ මේ (ප්‍රතිපක්‍ෂධර්‍ම විසින්) කිලිටිබව යැ මේ (ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් කෙරෙන්) විශුද්ධිය යැ මේ ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ගවුට්ඨාන යැ, මේ ආකාරයෙන් ධ්‍යානාදිය කිලිටි වන්නේ යැ, මෙසේ විශුද්ධ වෙයි, මෙසේ වුට්ඨානය වේ යැයි පැවැති ඥානය අනාවරණඥාන යි.
ඒ ධ්‍යානාදීන් කෙරෙහි ධ්‍යානයෝ කෙතෙක යත් : චතුක්කනය විසින් රූපාවචර ධ්‍යානයෝ සතර දෙනෙකි. විමෝක්‍ෂයෝ කෙතෙක යත් : (රූපී රූපානි පස්සති යනාදි අට යැ සුඤ්ඤතාදි තුන යැයි) විමෝක්‍ෂ එකොළොසක් ද, (ලෝකෝත්තරවිමෝක්‍ෂ හැර) අටක් ද (එහි මැ නිරෝධසමාපත්තිය හැර) සතක් ද (සූත්‍රාන්තපරියායෙන්) ශුන්‍යතාදි විමෝක්‍ෂ තුනක් ද (අභිධර්‍මපරියායෙන් අනිමිත්තවිමෝක්‍ෂය නො ලැබෙනුයෙන්) සුඤ්ඤත අප්පණිහිත යයි විමෝක්‍ෂ දෙකක් ද වෙති. සමාධි කෙතෙක යත් : සවිතර්‍ක සවිචාර සමාධි යැ අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍ක අවිචාර සමාධි යැයි සමාධි තුනෙකි. සමාපත්ති කෙතෙක යත් : සඤ්ඤාසමාපත්ති යැ අසඤ්ඤාසමාපත්ති යැ නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති යැ විභූතසඤ්ඤාසමාපත්ති යැ නිරෝධසමාපත්ති යැයි සමාපත්තීහු පස් දෙනෙක් වෙත්.
එහි සංකිලේස කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට කාමරාගව්‍යාපාදයෝ සංකිලේස යැ, කුක්කුටධ්‍යාන යයි කියනලද යම් ප්‍රථමද්විතීය ධ්‍යාන දෙක වෙත් ද යළි යම් හානභාගිය සමාධියෙක් හෝ වේ ද මේ සංකිලේස යි. එහි වෝදාන කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට නීවරණපාරිශුද්ධිය ද කුක්කුටජ්ඣායී වූ යම් පශ්චිම ධ්‍යාන දෙක වෙත් ද යළි විසේස භාගිය වූ යම් සමාධියෙක් වේ ද මේ වෝදාන යි. (ධ්‍යාන උපදවා එයින් සෑහීමට පැමිණ මතුයෙහි වෑයම් නොකරනුයේ ‘කුක්කුටජ්ඣායී’ නම් වේ.) එහි වුට්ඨාන කවරෙ යැ : යම් සමවතින් නැඟීසිටීමෙහි කුශලතායෙක් ඇද්ද, මේ වුට්ඨාන යි. මෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් පැවැති යම් ඥානයෙක් ඇද්ද, මෙය සියලු ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේසවෝදානවුට්ඨාන නම් වූ සවැනි තථාගත බලයැ යි කියනු ලැබේ. (6)
ධ්‍යානාදි පර්‍ය්‍යායයෙන් යට කියනලද ඒ සමාධිහුගේ මැ ඉන්‍ද්‍රියයෝ යැ බලයෝ යැ වීර්‍ය්‍ය යැ යි පරිවාර වූ ධර්‍මයෝ තිදෙනෙක් වෙති. (සද්ධා සති පඤ්ඤා යන) ඒ ඉන්‍ද්‍රියයෝ මැ වීර්‍ය්‍යයාගේ වශයෙන් බල නම් වෙති. අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ යි. මෙසේ ඒ ඉන්‍ද්‍රියයන්ගේ මේ පුද්ගල මෘදුඉන්‍ද්‍රිය ඇත්තේ යැ මේ මධ්‍යමඉන්‍ද්‍රිය ඇත්තේ යැ මේ තියුණුඉන්‍ද්‍රිය ඇත්තේ යැ යි මෘදුමධ්‍යමඅධිමාත්‍රභාවය වෙයි. ඒ වෛනෙයයන් කෙරෙහි බුදුහු තියුණු ඉන්‍ද්‍රිය ඇත්තහුට සංක්‍ෂිප්ත වූ උද්දේශමාත්‍ර වූ අවවාදයෙන් අවවාද කරනසේක. මධ්‍යම ඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු සංක්‍ෂිප්තය විස්තර කිරීමෙන් නොහොත් උද්දේසනිද්දේස දෙකින් අවවාද කරන සේක. මෘදුඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු විස්තරයෙන් නොහොත් උද්දේසනිද්දේසපටිනිද්දේස විසින් අවවාද කරනසේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉන්‍ද්‍රිය ඇත්තහුට සැහැල්ලු වූ (අපායභය වට්ටභයාදීන් සන්තර්‍පනවශයෙන් බර නොකොට) දහම් දෙසන සේක, මධ්‍යමඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු මෘදුතීක්‍ෂණ වූ ධර්‍මදේශනාව කරනසේක, මෘදුඉන්‍ද්‍රිය ඇත්තහුට බුදුහු තියුණු ධර්‍මදේශනාව කරන සේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉඳුරන් ඇතියහුට සමථය (අධික කොට) දක්වනසේක, මැදුම් ඉඳුරන් ඇතියහුට බුදුහු සමථවිදර්‍ශනා (සමධුර කොට) දක්වනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු සාතිශය විදර්‍ශනාව දක්වනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට නිස්සරණය දෙසනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු අස්සාද ආදීනව නිස්සරණ ද දෙසනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට අධිප්‍රඥාශික්‍ෂාව පනවනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට බුදුහු අධිචිත්තශික්‍ෂාව පනවන සේක, මුදුඉඳුරන් ඇතියහුට බුදුහු අධිශීලශික්‍ෂාව පනවනසේක. මේ ඉන්‍ද්‍රියපරෝපරතායෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ පුද්ගල මේ වෙලායෙහි මෘදුමධ්‍යතීක්‍ෂණභේද වූ මේ අනුශාසනායෙන් ද මේ භූමියට ද මේ භාවනාවට ද ගියේ යැ, යෙයි, යන්නේ යැ, මේ පුද්ගල හීනාදි මෙබඳු ස්වභාව ඇත්තේ ද මොහුගේ ශාශ්වතාදි මේ ආශය ද කාමරාගාදි මේ අනුසය ඇත්තේ ද වේ යයි පැවැති යම් ඥානයක් ඇද්ද මෙය පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරෝපරියත්තවේමත්තතාඤාණ නම් වූ සත්වැනි තථාගතබලය යි කියනුලැබේ. (7)
එහි අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහිකෙරෙති, ඒ මෙසේ යැ : එක් ජාතියකුදු ජාතිදෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සියගණන් ජාති ද නොයෙක් දහස්ගණන් ජාති ද නොයෙක් සුවහස්ගණන් ජාති ද නොයෙක් සංවර්‍තකල්පයන් ද නොයෙක් විවර්‍තකල්පයන් ද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද ‘අසුවල් තැනැ මෙසේ නම් ඇතිවීමි, මෙබඳු ගොත් ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි, එහිදු මෙ නම් ඇති වීමි, මෙබඳු ගොත්ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ මෙහි උපන්මි’ මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහිකෙරෙයි.
ඒ දසබලඤාණයන් කෙරෙහි ස්වර්‍ගයට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද මිනිස්බවට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද අපායට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද “මේ පුඟුල්හට ලෝභාදි අකුශලයෝ උත්සන්න වූහ, අලෝභාදි කුශලයෝ අල්ප වූහ. මේ පුඟුල්හට අලෝභාදීහු උත්සන්නයහ, ලෝභාදීහු අල්ප වූහ, යම් ධර්‍ම කෙනෙක් උත්සන්න හෝ වෙත් ද යම් ධර්‍ම කෙනෙක් මන්‍ද හෝ වෙත් ද,
අසුවල් කල්පකෝටියෙහි හෝ කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ කපෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ හවුරුද්දෙහි හෝ අඩවසෙහි හෝ මාසයෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේවයි මේ පුඟුල්හු විසින් මේ ඉන්‍ද්‍රියයෝ රැස්කරනලදහ, මේ පුඟුල්හු විසින් මේ ඉන්‍ද්‍රියයෝ රැස් නො කරන ලදහ” බුදුහු ඒ ඒ භවය සිහිකරමින් අශේෂ කොට දන්නාසේක.
ඒ දිට්ඨිවිසුද්ධියට හේතු හෙයින් ද උපක්ලේශ විරහිත හෙයින් ද විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිවඇසින් චුතවන්නාවූ ද උපදනා වූ ද (මෝහනිස්සන්‍දයෙන් පරිභූත ජාති කුල භෝගාදි විසින්) හීන වූ (අමෝහනිස්සන්‍දයෙන් ජාති කුල භෝගාදි විසින්) ප්‍රණීත වූ (අදෝසනිස්සන්‍දයෙන්) සුන්‍දරවර්‍ණ ඇති (දෝසනිස්සන්‍දයෙන්) දුර්වර්‍ණ වූ සුගතියට ගිය නොහොත් (අලෝභනිස්සන්‍දයෙන්) මහද්ධන ඇති දුගතියට නොහොත් (ලෝභනිස්සන්‍දයෙන්) දරිද්‍ර වූ සත්ත්‍වයන් දක්නාසේක. කම්වූ පරිදි පරලොවගිය සත්ත්‍වයන් දන්නාසේක : ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටුවූවාහු මිසදිටුහේතුයෙන් අකුශලකර්‍මාසමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියාහ. වැලි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍විතවූවාහු වචී … මනෝසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණියාහු වෙත්. එහි ස්වර්‍ගයට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද … අපායට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද මේ පුඟුල්හු විසින් මෙබඳු කර්‍මයෙක් අසුවල් කල්පකෝටියෙහි රැස්කරනලද, කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ වසරෙහි හෝ අඩවසරෙහි හෝ මසෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේව’ යි මෙබඳු කර්‍මයෙක් රැස්කරනලදැ’ යි දන්නා යම් ඥානයෙක් ඇද්ද, පුබ්බේනිවාසානුස්සති ඤාණය ද දිබ්බචක්ඛු ඤාණය ද යන භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥානයෝ දෙදෙන අටවැනි නවවැනි තථාගතබල යි. (8 . 9)
ඒ දසබලඥානයන් කෙරෙහි භාග්‍යවතුන් විසින් යම් සර්‍වඥභාවයෙක් අධිගම විසින් ප්‍රාප්ත ද සර්‍වධර්‍මයෝ අවබෝධ කරනලද්දාහු ද රාගාදි රජස්රහිත වූ විගත වූ ක්ලේශමල ඇති යම් සර්‍වඥතාඥානයෙක් උපන්නේ ද, බෝධිමූලයෙහි ක්ලේශමාර නසනලද්දේ ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ දසවැනි බලය වූ සර්‍වාස්‍රවපරික්‍ෂයඥාන යි. ඒ එසේ මැය : භාග්‍යවත් බුදුවරයෝ දසබලසමන්‍වාගත වූවාහු යි. (10)
විචයහාරසම්පාතය යොදනලද්දේ යි.
යුත්තිහාරසම්පාතය
ඒ හාරසම්පාතයන් කෙරෙහි යුක්තිහාරසම්පාතය කවරෙ යැ :
(අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශී වැ සසර මැ සිටුනේ යැ,) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත්ඇතිවන්නේ යැ නෙක්ඛම්මාදි සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ (කම්මස්සකතා යථාභූතඤාණලක්‍ෂණ) සම්මාදිට්ඨිය පෙරටුකොට ඇතියේ (සමපනස්) උදයව්‍යය දැන රහත්මඟින් ථීනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරුකරන්නේ යි.
රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු : රක්නාලද සිත් ඇතියේ සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇත්තේ වන්නේ යැ යන මේ අර්‍ත්‍ථය යෙදෙයි, සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇති පුද්ගල සම්‍යග්දෘෂ්ටි වන්නේ යැ යනු යෙදෙයි, සම්මාදිට්ඨිසංඛ්‍යාත විදර්‍ශනාඥානය පෙරටු ඇතිව වසනුයේ උදයව්‍යය ප්‍රතිවේධ කරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, උදයව්‍යය ප්‍රතිවේධ කරනුයේ දුර්‍ගති සංඛ්‍යාත සියලු භව ගති දුරුකරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, සියලු දුර්‍ගති දුරුකරනුයේ සියලු දුර්‍ගතිවිනිපාතභය (සසරභය ද) ඉක්මවන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදේ යයි.
යුත්තිහාරසම්පාතය යොදන ලද්දේ යි.
පදට්ඨානහාරසම්පාතය
එහි පදට්ඨානහාරසම්පාතය කවරෙ යත් : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා නිදර්‍ශන යැ, තස්මා රක්ඛිතචිත්තස්ස යනු මේ ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන (ආසන්නකාරණ) වචන යැ. සම්මාසඞ්කප්පගෝචරො යනු (සම්‍යක්සංකල්ප බහුලයහට නීවරණප්‍රහාණය සුකර නුයි) සමථයට ආසන්නකාරණ යැ, සම්මාදිට්ඨි පුරෙක්ඛාරො යනු ( දෙවැදෑරුම් සම්මාදිට්ඨියෙහි සිටියේ සසරදුක ඉක්මැවීමට උපාය වූ විදර්‍ශනා වඩා නුයි) විදර්‍ශනාවට පදට්ඨාන යැ, ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියට පදට්ඨාන යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු වීර්‍ය්‍යයට පදට්ඨාන යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු භාවනාවට පදට්ඨාන යි. (විශේෂකාරණ වන්නේ යි.)
පදට්ඨානහාරසම්පාතය යොදනලද්දේ යි.
ලක්ඛණහාරසම්පාතය
එහි ලක්ඛණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මාරක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යන මේ (ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙන් නෙක්ඛම්මවිතර්‍කාදිය බහුල වේ නුයි) සතින්‍ද්‍රිය යි. සතින්‍ද්‍රිය ගත්කල්හි (ඉන්‍ද්‍රියලක්‍ෂණයෙන් විමුත්තිපරිපාචනභාවයෙන් හෝ සමාන ලක්‍ෂණ හෙයින්) පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නාලද්දාහු වෙත්. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත්කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගන්නාලද වෙයි. එ කවර හෙයින : සම්මාදිට්ඨියෙන් සම්මාසඞ්කප්පය උපදී (සම්භව වෙයි.) සම්මාසඞ්කප්පයෙන් සම්මාවාචා උපදී, සම්මාවාචායෙන් සම්මාකම්මන්ත උපදී, සම්මාකම්මන්තයෙන් සම්මාආජීව උපදී, සම්මාආජීවයෙන් සම්මාවායාම උපදී, සම්මාවායාමයෙන් සම්මාසති උපදී, සම්මාසතියෙන් සම්මාසමාධි උපදී, සම්මාසමාධියෙන් සම්මාවිමුත්ති උපදී, සම්මාවිමුත්තියෙන් සම්මාවිමුත්තිඤාණදස්සන උපදී එහෙයිනි.
ලක්ඛණහාරසම්පාතය යොදන ලදී.
චතුබ්‍යූහහාරසම්පාතය
එහි චතුබ්‍යූහහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (රක්ඛීයතීති) රක්ඛිතං, (මේ පදවශයෙන් නිර්වචන යැ,) පරිපාලීයති යනාදිය (අර්‍ත්‍ථයවශයෙන් නිර්වචන යි.) මේ නිරුත්ති යැ. මේ දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ : ‘යම් කෙනෙක් දුගතියෙන් මිදෙනු කැමැති වන්නාහු ද, ඔහු ධම්මචාරී වන්නාහ’
යන මෙය රක්ඛිතචිත්තෝ අස්ස යනාදීන් ඉන්‍ද්‍රියසංවරාදිය ද දුර්‍ගතිප්‍රහාණය ද වදාරන භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථාදේශනායෙහි අදහස යැ, යම්හෙයකින් කෝකාලික මහණ සැරියුත් මුගලන් තෙරවරුන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට මහාපදුමනිරයෙහි උපන්නේ ද එහෙයිනි. භාග්‍යවතුන් වහන්සේ ද සිහියෙන් රක්නාලද සිතින් සමන්‍වාගත වූසේක. සූත්‍රයෙහි “සතියා චිත්තං රක්ඛිතබ්බං” යි වදාරනලදි. (මේ දේශනානුසන්‍ධි දැක්වීම යි.)
චතුබ්‍යූහහාරසම්පාතය යොදනලදී.
ආවට්ටහාරසම්පාතය
එහි ආවට්ටහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථාව නිදර්‍ශන යි. තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු (නෙක්ඛම්මසඞ්කප්ප බහුල කොට ඇතියේ කසිණාදි වශයෙන් ලැබූ චිත්තෛකාග්‍රතායෙන් කෙලෙසුන්ගෙන් සිත රක්නාලද වේ නුයි) මේ සමථ යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු විදර්‍ශනා යැ (විදර්‍ශනාව ප්‍රඥා ප්‍රධාන හෙයිනි.) ඤත්‍වාන උදයබ්බයං යනු දුඃඛසත්‍යයාගේ පරිඥා යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු සමුදය ප්‍රහාණ යැ, සබ්බා දුග්ගතියො ජහෙ යන මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි.
ආවට්ටහාරසම්පාතය යොදනලදී.
විභත්තිහාරසම්පාතය
එහි විභත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. කුශලපක්‍ෂය චක්ඛුසංවරාදි කුශලපක්‍ෂයෙන් දැක්වියැ යුත්තේ යැ, අකුශලපක්‍ෂය චක්ඛුඅසංවරාදි අකුශලපක්‍ෂයෙන් දැක්වියැයුත්තේ යි.
විභත්තිහාරසම්පාතය යොදනලදී.
පරිවත්තනහාරසම්පාතය
එහි පරිවත්තනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. ලෞකික ශමථවිදර්‍ශනා වැඩූ කල්හි (‘අරක්ඛිතෙන චිත්තේන’ යනාදි ගාථාවට නොහොත් විභත්තිහාරයෙහි දැක්වූ අකුශලපක්‍ෂයට) ප්‍රතිපක්‍ෂවශයෙන් නිරෝධය ඵල යැ දුක්ඛය පරිඥාත යැ සමුදය ප්‍රහීණ යැ මාර්‍ගය භාවිත යි.
පරිවත්තනහාරසම්පාතය යොදනලදී.
වෙවචනහාරසම්පාතය
එහි වෙවචනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ‘චිත්ත, මනෝ, විඤ්ඤාණ මනින්‍ද්‍රිය, මනායතන, විජානනා, විජානිතත්ත’ මේ චිත්තවෙවචන යැ, සම්මාසඞ්කප්ප ගෝචරො යනු ‘නෙක්ඛම්මසඞ්කප්ප, අව්‍යාපාදසඞ්කප්ප, අවිහිංසාසඞ්කප්ප’ මේ සම්මාසඞ්කප්පවෙවචන යැ. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨි නම් : ‘පඤ්ඤාසත්‍ථ, පඤ්ඤාඛග්ග, පඤ්ඤාරතන, පඤ්ඤාපජ්ජෝත, පඤ්ඤාපතෝද, පඤ්ඤාපසාද’ මේ සම්මාදිට්ඨියට වෙවචන යි.
වෙවචනහාරසම්පාතය යොදනලදී.
3. 2. 11.
පඤ්ඤත්තිහාරසම්පාතය
එහි පඤ්ඤත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ස්මෘතියගේ පදට්ඨාන ප්‍රඥප්ති යැ, සම්මාසඞ්කප්පගෝචරො යනු සමථයාගේ භාවනා ප්‍රඥප්ති යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ථීනමිද්ධාභිභු භික්ඛු යනු සමුදයාගේ අනවශේෂප්‍රහාණ ප්‍රඥප්ති යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යි.
පඤ්ඤත්තිහාරසම්පාතය යොදන ලදී.
3. 2. 12.
ඕතරණහාරසම්පාතය
එහි ඕතරණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි නිදර්‍ශන ගාථා යැ, තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත් කල්හි සද්ධාදි පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නා ලද්දාහු වෙති. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යැ. එ මැ ඉන්‍ද්‍රියයෝ විද්‍යාව වෙයි, විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සඞ්ඛාරනිරෝධය වෙයි, සඞ්ඛාරනිරෝධයෙන් විඤ්ඤාණනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ සීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන තුන් ස්කන්‍ධයෙන් සඞ්ගෘහීත වෙති. මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්න වෙති, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහිතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යැ. ඒ ධර්‍මධාතුව ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එහි යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
ඕතරණහාරසම්පාතය යොදන ලදී.
3. 2. 13.
සොධනහාරසම්පාතය
එහි සෝධනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. යම් දේශනායෙක දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ ද, ඒ ප්‍රශ්නය විසඳන ලද වෙයි, යළි යම් තැනෙක ආරම්භය ශුද්ධ නො වේ ද, ඒ ප්‍රශ්නය තව නො විසඳනලද්දේ වේ.
සොධනහාරසම්පාතය යොදන ලදී.
අධිට්ඨානහාරසම්පාතය
එහි අධිට්ඨානහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (සාමාන්‍යයෙන් දෙසනලද හෙයින්) ඒකත්තතා යැ, ‘චිත්තං මනෝ විඤ්ඤාණං’ මේ වේමත්තතා යි. සම්මාසඞ්කප්පගෝචරො යනු ඒකත්තතා යැ, නෙක්ඛම්මසඞ්කප්ප යැ, අව්‍යාපාදසඞ්කප්ප යැ, අවිහිංසාසඞ්කප්ප යැ යන මේ වේමත්තතා යි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු ඒකත්තතා යැ, සම්මාදිට්ඨි නම් : යම් දුක්ඛයෙහි ඥානයෙක්
දුක්ඛසමුදයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් මාර්‍ගයෙහි ඥානයෙක් හේතුයෙහි ඥානයෙක් හේතුසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ප්‍රත්‍යයෙහි ඥානයෙක් ප්‍රත්‍යසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ඇද්ද, ඒ ඒ ධර්‍මයෙහි යම් යථාභූතඥානදර්‍ශනයෙක් අභිසමයයෙක් සම්ප්‍රතිවේධයෙක් සත්‍ය හෙයින් විෂයාවබෝධයෙක් ඇද්ද, මේ වේමත්තතා යි. ඤත්‍වාන උදයබ්බයං යනු ඒකත්තතා යැ, උදයඥානයෙන් - අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, (මෙසේ සියල්ල) සමුදය වේ. ව්‍යයඥානයෙන් - අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) නිරෝධය වේ. මේ වේමත්තතා යි. ථීනමිද්ධාභිභූ භික්ඛු යනු ඒකත්තතා යැ, ‘ථීන’ නම් : චිත්තයාගේ යම් අකර්‍මණ්‍ය බවක් ඇද්ද එයයි, ‘මිද්ධ’ නම් කායයාගේ යම් හැකුළුණුබවක් ඇද්ද එයයි. මේ වේමත්තතා යි. සබ්බා දුග්ගතියො ජහෙ යනු ඒකත්තතා යැ, දෙවිමිනිසුන් පිණිස අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ පිණිස සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. මේ වේමත්තතා යි.
අධිට්ඨානහාරසම්පාතය යොදනලදී.
3. 2. 15.
පරික්ඛාරහාරසම්පාතය
එහි පරික්ඛාරහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ, මේ ගාථාධර්‍මය ශමථ විදර්‍ශනා දෙකට පරිෂ්කාර යි.
පරික්ඛාරහාරසම්පාතය යොදනලදී.
3. 2. 16.
සමාරෝපනහාරසම්පාතය
ඒ සොළොස් හාරසම්පාතයන් කෙරෙහි සමාරෝපනහාරසම්පාත කවරෙ යැ :
“තස්මා රක්ඛිතචිත්තස්ස -පෙ- සබ්බා දුග්ගතියො ජහෙ” යනු නිදර්‍ශන යි.
තස්මා රක්ඛිතචිත්තස්ස යනු ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන යි. චිත්තය රක්ඛිත කල්හි ඒ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍මය රක්නාලද වෙයි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්‍යග්දෘෂ්ටිය භාවිත කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත වෙයි. කවර කරුණින යත් : සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යක්සංකල්පය උපදී, සම්‍යක්සංකල්පයෙන් සම්‍යග්වචනය උපදී, සම්‍යග්වචනයෙන් සම්‍යක්කර්‍මාන්තය උපදී, සම්‍යක්කර්‍මාන්තයෙන් සම්‍යගාජීවය උපදී, සම්‍යගාජීවයෙන් සම්‍යග්ව්‍යායාමය උපදී, සම්‍යග්ව්‍යායාමයෙන් සම්‍යක්ස්මෘතිය උපදී, සම්‍යක්ස්මෘතියෙන් සම්‍යක්සමාධිය උපදී, සම්‍යක්සමාධියෙන් සම්‍යග්විමුත්තිය උපදී, සම්‍යග්විමුක්තියෙන් සම්‍යග්විමුක්තිඥානදර්‍ශනය උපදී, එහෙයිනි. මේ අනුපාදිශේෂපුද්ගල ද අනුපාදිශේෂනිර්‍වාණධාතු ද වේ.
සමාරෝපනහාරසම්පාතය යොදනලද වේ.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන්වහන්සේ :
“ව්‍යඤ්ජන පර්‍ය්‍යෙෂණ විසින් පළමු කොට සොළසහාරයෝ යෙදියැයුත්තාහ, දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන් නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේ ය” යි.
හාරසම්පාතය යොදනලද්දේ යි.
නයසමුට්ඨානය
එහි නයසමුට්ඨාන කවරෙ යැ : අවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වකෝටිය (මර්‍ය්‍යදාව) නො පැනෙයි. එහි අවිද්‍යාව නීවරණ යැ, තෘෂ්ණාව සංයෝජන යි. අවිද්‍යා නීවරණ ඇති සත්ත්‍වයෝ අවිද්‍යායෙන් මිශ්‍රිත වූවාහු (නොහොත් අවිද්‍යායෙන් අභිනිවේශවස්තූන්හි බැඳුනාහු) අවිද්‍යාපක්‍ෂයෙන් (අවිද්‍යාසහායයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘දිට්ඨිචරිතයෝ’ යයි කියනු ලැබෙත්. තෘෂ්ණාසංයෝජන ඇති සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් සංයුක්ත වූවාහු තෘෂ්ණාපක්‍ෂයෙන් (අට්ඨසත තණ්හාවිචරිතයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘තණ්හාචරිතයෝ’ යයි කියනු ලැබෙත්. දිට්ඨිචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ ආත්මක්ලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙති. තණ්හාචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්.
යම් හෙයෙකින් දිට්ඨිචරිත ඇති මෙසස්නෙන් බැහැර පැවිද්දෝ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, තණ්හාචරිත ඇති මෙ සස්නෙන් බැහැර පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, එහි කරුණු කීම යත් : මේ ශාසනයෙන් බැහැර චතුස්සත්‍යය ව්‍යවස්ථා කොට දැනීමෙක් නැත, චතුස්සත්‍යය දේශනායෙක් කොහි යැ, ශමථවිදර්‍ශනා භාවනා කෞශල්‍යයෙක් වේවයි ක්ලේශයන්ගේ සුඛාධිගමයෙක් වේව’ යි කොහි යැ. උපසමසුඛය නො දැන මිත්‍යාභිනිවේශයෙන් විපරීත සිත් ඇත්තාහු මෙසේ කීහු : ‘සුවයෙන් සුව ලැබීමෙක් නැත, කායඛේදන දුඃඛයෙන් ම සුව ලැබියැයුතු යැ යි ද, යමෙක් කාමයන් සේවන කෙරේ ද හේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය වඩයි, (පිනවයි,) නොහොත් පුත්‍රනප්තෘපරම්පරායෙන් සත්ත්‍වලෝකය වඩයි, යමෙක් ලෝකය වඩා ද හේ බොහෝ පින් රැස්කෙරේ යැ’ යි ද කීහු, මෙබඳු සංඥා ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඔහු දුකින් සුව පතන්නාහු කාමයන්හි පුණ්‍යසංඥා ඇත්තාහු ආත්මක්ලමථුයෙහි යෙදුණාහු ද කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු ද වාස කෙරෙත්.
ඔව්හු එබඳු සංඥා ඇත්තාහු ආත්මභාවරෝගය මැ හෝ ක්ලේශරෝගය මැ මතුමතුයෙහි වඩති, ආත්මභාව (ක්ලේශ) ගණ්ඩය මැ වඩති, ක්ලේශශල්‍යය මැ වඩත්. ඔව්හු ආත්මභාවරෝගයෙන් ව්‍යාධිත වූවාහු ගණ්ඩයෙන් පීඩිත වූවාහු ශල්‍යයෙන් විදුනාලද්දාහු නිරය තිරශ්චීනයෝනි ප්‍රේත අසුරකායයෙහි ච්‍යුති උත්පත්ති විසින් උම්මුජ්ජන නිමුජ්ජන කරන්නාහු උච්චාවචභාවය විඳුනාහු යථෝක්ත රෝගගණ්ඩශල්‍යයනට පිළියම් (භෛෂජ්‍ය) නොලබත්. එහි අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද සංක්ලේශ යැ, ශමථවිදර්‍ශනා ව්‍යවදාන යැ, අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද රෝග යැ, සමථවිපස්සනා රෝග නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ගණ්ඩ යැ, සමථවිපස්සනා ගඬු නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ශල්‍ය යැ, ශමථ විදර්‍ශනා දෙක (ස්කන්‍ධදුඃඛ සංඛ්‍යාත) හුල් උදුරන බෙහෙති.
එහි සංක්ලේශ වූ රූපාරූප කය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග වූ (ඇලෙන) තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධසත්‍ය යැ, ශමථවිදර්‍ශනා දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාසත්‍ය යැ. මේ චතුස්සත්‍යයෝ යි. දුඃඛය පරිඥේය (පිරිසිඳ දතයුතුයැ), සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
එහි (දෙවැදෑරුම් චරිතයන් කෙරෙහි) දෘෂ්ටිචරිතයෝ රූපය ආත්මවශයෙන් ගනිති වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් ගනිත්. තෘෂ්ණා චරිතයෝ ආත්මය රූපවත් යැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිති, ආත්මය වේදනාවත් යැ … ආත්මය සංඥාවත් යැ … ආත්මය සංස්කාරවත් යැ … ආත්මය විඥානවත් යැ හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි, ආත්මය ඇතැයි හෝ ගනිත්. මේ විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ. (පඤ්චස්කන්‍ධයන් කෙරෙහි එකෙකි ස්කන්‍ධයෙක සතර පරිද්දෙකින් උපදනා ග්‍රාහයාගේ වශයෙන් විසිවැදෑරුම් වූ දෘෂ්ටිය පඤ්චස්කන්‍ධය ඇති කල්හි හෝ කයෙහි විද්‍යමාන වූ දෘෂ්ටි නුයි සක්කායදිට්ඨි නමු.)
ඒ සත්කායදෘෂ්ටියට ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය ප්‍රතිපක්‍ෂ යැ. සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මොහු (ඒ පඨමමග්ගසම්මාදිට්ඨියට) අනුගාමීහු වෙති. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ. ඔහු ‘සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ පඤ්ඤාක්ඛන්‍ධ’ යන තුන් ස්කන්‍ධයෝ යැ. ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද ශමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යි, එහි සත්කාය දුඃඛසත්‍ය යැ. සත්කායසමුදය දුඃඛසමුදය යැ. සත්කාය නිරෝධය දුක්ඛනිරෝධය යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි. මොහු චතුස්සත්‍යයෝ යි. දුඃඛසත්‍යය පරිඥේය (පිරිසිඳ දතයුත්තේ) යැ. සමුදය සත්‍යය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගසත්‍යය භාවිතව්‍ය (වැඩියැයුත්තේ) යැ, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කර්‍තව්‍ය යි.
ඒ විංශද්වස්තුක සත්කායදෘෂ්ටියෙහි යම් කෙනෙක් රූපය ආත්මවශයෙන් ගනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්මවශයෙන් ගනිත් ද, මොහු උච්ඡේදවාදීහු යයි කියනු ලැබෙත්. යම් කෙනෙක් ආත්මය රූපවත් යයි ගනිත් ද, ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, යම් කෙනෙක් ආත්මය වේදනාවත් යයි … යම් කෙනෙක් ආත්මය සංඥාවත් යයි ... යම් කෙනෙක් ආත්මය සංස්කාරවත් යයි … යම් කෙනෙක් ආත්මය විඥානවත් යයි ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, මොහු ශාශ්වතවාදීහු යයි කියනු ලැබෙත්.
එහි උච්ඡේද ශාශ්වතවාදයෝ උභයාන්තයෝ යැ, මේ සංසාරප්‍රවෘත්තිය යි. ඊට ප්‍රතිපක්‍ෂ වූයේ මධ්‍යමප්‍රතිපදා සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, මේ සංසාරයාගේ නිවෘත්තිය යි. එහි සංසාරප්‍රවෘත්තිය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග (ඇලීම) වූ තෘෂ්ණාව සමුදයසත්‍යය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යි. මේ චතුස්සත්‍යයෝ යැ. දුඃඛය පරිඥේය යැ, සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
එහි උච්ඡේද ශාශ්වත දෙක සැකෙවින් විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, විස්තරහෙයින් දෙසැට දෘෂ්ටිගතයෝ යි. ඔවුනට ප්‍රතිපක්‍ෂ වූයේ තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ යැ, අෂ්ටවිමෝක්‍ෂයෝ යැ, දසකසිණායතනයෝ යි. ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ (පූර්‍වකෝටිය නො පැනෙනුයෙන්) අනාදි වූ (ප්‍රතිපක්‍ෂාධිගමයක් නැති කල්හි සන්තාන වශයෙන් නො සිඳී පවත්නා හෙයින්) අනිධනප්‍රවෘත්ත වූ මෝහජාලය යි. තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ මෝහජාලය ප්‍රදාලන කරන විදර්‍ශනාඥාන මාර්‍ගඥාන සංඛ්‍යාත ඥානවජ්‍රය (වජිරූපමඤාණ) යි. එහි මෝහය අවිජ්ජා යැ, ජාලය භවතණ්හා යි. එයින් කියනුලැබෙයි : “පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච” යි.
එහි දිට්ඨිචරිතයා මේ සස්නෙහි පැවිදිවූයේ සල්ලේඛයෙහි අනුපද්‍රැත පැවතුම් ඇතියේ (හෙවත් සල්ලේඛයෙහි සතතක්‍රියා ඇතියේ) සල්ලේඛයෙහි දැඩි ගෞරව ඇත්තේ වෙයි. තණ්හාචරිතයා මෙ සස්නෙහි පැවිදිවූයේ අච්ඡිද්‍ර වූ චතුපාරිසුද්ධිසීලයෙහි සිටියේ ශික්‍ෂායෙහි දැඩි ගෞරව ඇත්තේ වෙයි. දිට්ඨිචරිතයා සම්මත්තනියාම (ආර්‍ය්‍ය මාර්‍ග) යට බැසගන්නේ (ප්‍රඥාධික හෙයින්) ධම්මානුසාරී වෙයි. තණ්හාචරිතයා ආර්‍ය්‍ය මාර්‍ග සම්මත්තනියාමයට බැසගන්නේ (ශ්‍රද්ධාධික හෙයින්) සද්ධානුසාරී වෙයි. දිට්ඨිචරිතයා සුඛ වූ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද සසරින් නික්මැයෙයි, තණ්හාචරිතයා දුක් වූ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නික්මැයෙයි, යම් හෙයෙකින් තණ්හාචරිතයා දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේද, එහි කරුණු කිම යත් : යම් හෙයෙකින් ඔහු විසින් කාමයෝ අපරිත්‍යක්ත වූවාහු වෙත්ද, හේ කාමයන්ගෙන් මුදනු ලබනුයේ දුකසේ මිදෙයි, ලැසිවැ ධර්‍මය ද අවබෝධ කෙරෙයි එහෙයිනි. යළි යම් දිට්ඨිචරිතයෙක් වේ ද මේ තෙමේ ආදියෙහි මැ කාමයන්ගෙන් අපේක්‍ෂා රහිත වෙයි, හේ ඒ කාමයෙන් වෙන්කරනු ලබනුයේ වහා මැ මිදෙයි, වහා ධර්‍මය ද දැනගනී.
දුක්ඛපටිපදාව ද : ‘ඛිප්පාභිඤ්ඤා යැ දන්‍ධාභිඤ්ඤා යැ’ යි ද්විවිධ වෙයි. සුඛපටිපදාව ද ‘දන්‍ධාභිඤ්ඤා යැ ඛිප්පාභිඤ්ඤා යැ’ යි ද්විවිධ වේ. සත්ත්‍වයෝ ද, ‘මුදින්‍ද්‍රිය ද තික්ඛින්‍ද්‍රිය දැ’ යි ද්විවිධ වෙති. යම් කෙනෙක් මුදින්‍ද්‍රිය වෙත් ද ඔහු ලැසි වැ කෙලෙසුන්ගෙන් මිදෙති ලැසි වැ ධර්‍මය ද දැනගනිත්. යම් කෙනෙක් තික්ඛින්‍ද්‍රිය වෙත් ද ඔහු වහා කෙලෙසුන්ගෙන් මිදෙති වහා ධර්‍මය ද දැනගනිත්. මොහු සතර ප්‍රතිපදාවෝ යි. යම් කෙනෙක් පෙර නිර්‍ය්‍යාණය කළාහු හෝ දැන් නිර්‍ය්‍යාණය කෙරෙති හෝ මතු නිර්‍ය්‍යාණය කරන්නාහු හෝ වෙත් ද, ඔහු මේ සතර ප්‍රතිපදායෙන් මැ යි. මෙසේ බුද්ධාදි ආර්‍ය්‍යයෝ අපණ්ඩිත ජනයා විසින් සෙවුනාලද බාලයනට කාන්ත වූ රාගයෙන් මඬනාලදුවන් කෙරෙහි පවත්නා නන්‍දි සංඛ්‍යාත භවතෘෂ්ණාව සමුච්ඡේදය පිණිස සතර ප්‍රතිපදා සංඛ්‍යාත මාර්‍ගය පනවත්. මේ නන්‍දියාවට්ට නයභූමි යයි කියනු ලැබේ. එයින් වදාළහ, “තණ්හං ච අවිජ්ජංපි ච සමථේන” යනාදිය.
“වෙය්‍යාකරණෙසු හි යෙ කුසලාකුසලා” යනාදීන් දක්වන ලද ඒ දිසාභූත ධර්‍මයෝ දෙපරිද්දෙකින් විමසියැයුත්තාහ : ලෝක සංඛ්‍යාත වට්ටය අනුව පවත්නාහු ද ලෝකයෙන් විවට්ටය (වෙන්වීම) සංඛ්‍යාත නිවනට අනුලෝම වශයෙන් යන්නාහු දැයි කියා යි. ‘වට්ට’ නම් සංසාර යැ, ‘විවට්ට’ නම් නිර්‍වාණ යි. කර්‍මක්ලේශයෝ සංසාරයට හේතු වෙති. එහි කර්‍මය චේතනා වූයේ ද චේතසික වූයේ ද දැක්වියැයුතු යැ, එය කෙසේ දතයුතු වෙයි යත් : විපාකදානයට නිසි පරිදි රැස්කිරීමෙනි. සියලු මැ ක්ලේශයෝ සතර විපල්ලාසයන්ගෙන් දැක්වියැයුත්තාහ. ඒ විපල්ලාසයෝ කොතැන්හි දැක්ක යුත්තාහු ද යත් : දශවස්තුක ක්ලේශපුඤ්ජයෙහි යි.
කවර දශවස්තූහු යැ යත් : සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෝ යැ සතර උපාදානයෝ යැ සතර යෝගයෝ යැ සතර ග්‍රන්‍ථයෝ යැ සතර ආස්‍රවයෝ යැ සතර ඕඝයෝ යැ සතර ශල්‍යයෝ යැ සතර විඤ්ඤාණට්ඨිති යැ සතර අගතිගමනයෝ යි. ප්‍රථම ආහාරයෙහි ප්‍රථම විපල්ලාසය වෙයි, දෙවැනි ආහාරයෙහි දෙවැනි විපල්ලාස යැ තෙවැනි ආහාරයෙහි තෙවැනි විපල්ලාසය යැ සතරවැනි ආහාරයෙහි සතරවැනි විපල්ලාසය වෙයි. ප්‍රථම විපල්ලාසය අප්‍රහීණකල්හි ප්‍රථම උපාදාන යැ දෙවැනි විපල්ලාසයෙහි දෙවැනි උපාදාන යැ තෙවැනි විපල්ලාසයෙහි තෙවැනි උපාදාන යැ සතරවැනි විපල්ලාසයෙහි සතරවැනි උපාදානය වෙයි. ප්‍රථම උපාදානයෙහි ප්‍රථම යෝගය පවතී, දෙවැනි උපාදානයෙහි දෙවැනි යෝගය යැ තෙවැනි උපාදානයෙහි තෙවැනි යෝගය යැ සතරවැනි උපාදානයෙහි සතරවැනි යෝගය වෙයි. ප්‍රථම යෝගවිෂයෙහි ප්‍රථම ග්‍රන්‍ථය යැ දෙවැනි යෝගයෙහි දෙවැනි ග්‍රන්‍ථය යැ
තෙවැනි යෝගයෙහි තෙවැනි ග්‍රන්‍ථය යැ සිව්වැනි යෝගයෙහි සිව්වැනි ග්‍රන්‍ථය වෙයි. ප්‍රථම ග්‍රන්‍ථයෙහි ප්‍රථම ආස්‍රවය පවතී, දෙවැනි ග්‍රන්‍ථයෙහි දෙවැනි ආස්‍රව යැ තෙවැනි ග්‍රන්‍ථයෙහි තෙවැනි ආස්‍රව යැ සතරවැනි ග්‍රන්‍ථයෙහි සතරවැනි ආස්‍රවය පවතී. ප්‍රථම ආස්‍රවයෙහි ප්‍රථම ඕඝය යැ දෙවැනි ආස්‍රවයෙහි දෙවැනි ඕඝය යැ තෙවැනි ආස්‍රවයෙහි තෙවැනි ඕඝය යැ සතරවැනි ආස්‍රවයෙහි සතරවැනි ඕඝය වෙයි. ප්‍රථම ඕඝයෙහි ප්‍රථම ශල්‍ය යැ දෙවැනි ඕඝයෙහි දෙවැනි සල්ල යැ තෙවැනි ඕඝයෙහි තෙවැනි සල්ල යැ සතරවැනි ඕඝයෙහි සතරවැනි සල්ලය වෙයි. ප්‍රථම සල්ලයෙහි ප්‍රථම විඤ්ඤාණට්ඨිතිය පවතී, දෙවැනි සල්ලයෙහි දෙවැනි විඤ්ඤාණට්ඨිතිය යැ තෙවැනි සල්ලයෙහි තෙවැනි විඤ්ඤාණට්ඨිතිය යැ සතරවැනි සල්ලයෙහි සතරවැනි විඤ්ඤාණට්ඨිතිය පවතී. ප්‍රථම විඤ්ඤාණට්ඨිතියෙහි ප්‍රථම අගතිගමනය වෙයි, දෙවැනි විඤ්ඤාණට්ඨිතියෙහි දෙවැනි අගතිගමනය යැ තෙවැනි විඤ්ඤාණට්ඨිතියෙහි තෙවැනි අගතිගමනය යැ සතරවැනිවිඤ්ඤාණට්ඨිතියෙහි සතරවැනි අගතිගමනය පවතී.
එහි යම් කවලීකාරාහාරයෙක් ඇද්ද යම් ඵස්සාහාරයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුද්ගලහට උපක්ලේශ යැ, යම් මනෝසඤ්චේතනාහාරයෙකුත් යම් විඤ්ඤාණාහාරයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයි. එහි යම් අසුභයෙහි සුභ යැයි විපල්ලාසයෙක් ඇද්ද යම් දුක්ඛයෙහි සුඛ යැයි විපල්ලාසයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුද්ගලහට උපක්ලේශයැ, යම් අනිත්‍යයෙහි නිත්‍ය යැයි විපල්ලාසයෙකුත් අනාත්මයෙහි ආත්ම යැයි විපල්ලාසයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුල්හට උපක්ලේශ යි. එහි යම් කාමූපාදානයෙකුත් යම් භවූපාදානයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශයැ, යම් දිට්ඨූපාදානයෙකුත් යම් අත්තවාදූපාදානයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමයෝගයෙකුත් යම් භවයෝගයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ යම් දිට්ඨියෝගයෙකුත් යම් අවිජ්ජායෝගයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් අභිජ්ඣාකායගන්‍ථයෙකුත් ව්‍යාපාදකායගන්‍ථයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් පරාමාසකායගන්‍ථයෙකුත් යම් ඉදංසච්චාභිනිවේසකායගන්‍ථයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමාසවයෙකුත් යම් භවාසවයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් දිට්ඨාසවයෙකුත් යම් අවිජ්ජාසවයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමෝඝයෙකුත් යම් භාවෝඝයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් දිට්ඨෝඝයෙකුත් යම් අවිජ්ජෝඝයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් රාගසල්ලයෙකුත් යම් දෝසසල්ලයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් මානසල්ලයෙකුත් යම් මෝහසල්ලයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් රූපූපගවිඤ්ඤාණට්ඨිතියකුත් යම් වේදනූපගවිඤ්ඤාණට්ඨිතියකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිතියකුත් යම් සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිතියකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් ඡන්‍දයෙන් අගතිගමනයෙකුත් යම් දෝසයෙන් අගතිගමනයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් භයින් අගතිගමනයෙකුත් මෝහයෙන් අගතිගමනයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
එහි කබලීකාරාහාරයෙහි ‘අසුභයෙහි සුභ යැ’ යන විපල්ලාසය වෙයි, ඵස්සාහාරයෙහි ‘දුක්ඛයෙහි සුඛ යැ’ යන විපල්ලාසය වෙයි, විඤ්ඤාණාහාරයෙහි ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ’ යන විපල්ලාසය වෙයි, ‘මනෝසඤ්චේතනාහාරයෙහි අනාත්මයෙහි ආත්ම යැ’ යන විපල්ලාසය වේ.