Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 301-400 න් 1311

පරිවත්තනහාරවිභඞ්ගය
එහි පරිවත්තනහාරය කවරෙ යැ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදි නිද්දේස ගාථා යැ, (පූර්‍වභාගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ) සම්‍යග්දෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාදෘෂ්ටිය (පූර්‍වනයින් විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව, පශ්චිමනයින් ශ්‍රෝතාපත්තිමාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් සමුච්ඡන්නව) ප්‍රහීණ වෙයි. ඔහුට මිථ්‍යාදෘෂ්ටිහේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් නිර්ජිර්‍ණ වූවාහු (ප්‍රහීණ කරනලද්දාහු) වෙත්. සම්‍යග්දෘෂ්ටිහේතුයෙනුදු ඔහුට නොයෙක් (ශමථ විදර්‍ශනා) කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට ඒ කුශලධර්‍මයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. සම්‍යක්සංකල්ප ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ (ප්‍රහීණ) වෙයි. ඔහුට මිථ්‍යාසංකල්ප හේතුයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහුට අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. සම්‍යක්සංකල්පහේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට කුශලයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. (මෙසේ) සම්‍යග්වචන ඇති ... සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්විමුක්ති ඇති - සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශනය ප්‍රහීණ වෙයි, ඔහුට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන හේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් ප්‍රහීණ කරනලද්දාහු වෙත්. සම්‍යග්විමුක්තිඥානදර්‍ශන හේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්. ඒ කුශලධර්‍මයෝ ද ඔහුට භාවනායෙන් පාරිපූරියට යෙත්.
තවද ඒ පණිවායෙන් වැළැකුණුහට ප්‍රාණවධය ප්‍රහීණ වෙයි, අයිනාදනින් වෙන්වූවහුට අදින්නාදානය ප්‍රහීණ වෙයි, බඹසර ඇත්තහුට අබ්‍රහ්මචරිය ප්‍රහීණ වෙයි, සත්‍යවාදීහට මෘෂාවාදය ප්‍රහීණ වෙයි, පිසුනුබස් නැතියහුට පිසුනුවාක් ප්‍රහීණ වෙයි, සිලුටුවදන් ඇතියහුට පරුෂවාක් ප්‍රහීණ වෙයි, කාලවාදීහට සම්ඵප්‍රලාප ප්‍රහීණ වෙයි, අනභිධ්‍යාලූහට අභිධ්‍යා ප්‍රහීණ වෙයි, අව්‍යාපන්න සිත් ඇතියහුට ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියහුට මිථ්‍යාදෘෂ්ටි ප්‍රහීණ වේ.
තවද යම් කෙනෙක් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගරහත් ද, ඔවුනට සාන්දෘෂ්ටික වූ සකාරණ වු ගැරැහියැ යුතු වාදානුවාදයෝ පැමිණෙත්. එ භවත්හු සම්‍යග්දෘෂ්ටි ධර්‍මය ද ගරහත්. එකරුණෙන් ම ඒ භවත්නට යම් මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් වෙත් ද, ඔහු පිදිය යුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්. (මෙසේ) සම්‍යක්සංකල්පය ... සම්‍යග්වචනය - සම්‍යක්කර්‍මාන්තය - සම්‍යගාජීවය - සම්‍යග්ව්‍යායාමය - සම්‍යක්ස්මෘතිය - සම්‍යක්සමාධිය - සම්‍යග්විමුක්තිය - ඒ භවත්හු සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ධර්‍මය ගරහත්, එ කරුණෙන් ම ඒ භවත්නට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන ඇති යම් කෙනෙක් වෙත් ද, ඔහු පිදියයුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්.
යළි තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “වස්තුකාමයෝ වැළැඳියයුත්තාහ, වස්තුකාමයෝ පරිභෝග කළයුත්තාහ, වස්තුකාමයෝ ආසේවන කළයුත්තාහ, වස්තුකාමයෝ නිරතුරු සේවන කළයුත්තාහ, ක්ලේශකාමයෝ වැඩියයුත්තාහ, ක්ලේශකාමයෝ බහුලකළයුත්තාහ” යි. ඔවුනට කාමයන් කෙරෙන් වෙන්වීම අධර්‍ම යැ. යළි යම් කෙනෙක් මෙසේ හෝ කියත් ද: “අත්තකිලමථානුයෝගය ධර්‍ම” යැයි ඔවුනට නෛර්‍ය්‍යාණික වු විදර්‍ශනාව සමග ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය අධර්‍ම යැ. තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “පව් නසම්හයි කරන ශරීරතාපන දුඃඛය ධර්‍ම” යැයි. ඔවුනට අනවද්‍ය ප්‍රත්‍යයපරිභෝගසුඛ සංඛ්‍යාත ධර්‍මය අධර්‍මය යැ. තවද (සුභසඤ්ඤාදි පරිවර්‍තන) මෙසේ යැ: සියලු ත්‍රෛභූමක සංස්කාරයන්හි අශුභානුදර්ශි ව වාසය කරන මහණහට අශුභයෙහි ශුභ යැයි ගන්නා විපරීත සංඥා ප්‍රහීණ වෙයි,
දුඃඛානුදර්ශීව වාසය කරන්නහුට දුඃඛයෙහි සුඛ යැයි ගන්නා සංඥා ප්‍රහීණ වෙයි, අනිත්‍යානුදර්ශීව වාසය කරන්නහුට අනිත්‍යයෙහි නිත්‍ය යයි ගන්නා විපරීතසංඥා ප්‍රහීණ වෙයි, අනාත්මානුදර්ශීව වාසය කරන්නහුට ආත්මසංඥා ප්‍රහීණ වෙයි. තවද යම් යම් ධර්‍මයක් රුචි කෙරෙයි හෝ පැමිණෙයි හෝ වේ ද ඒ ඒ ධර්‍මයට ප්‍රතිපක්‍ෂ වූ යම් ධර්‍මයෙක් ඇද්ද ඒ ධර්‍මයට ඊට අනිෂ්ට හෙයින් අභ්‍යුපගත වූයේ - දන්නාලද්දේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදිය.
පරිවත්තනහාරය යොදන ලද්දේ යි.
3. 1. 10.
වේවචනහාරවිභඞ්ගය
එහි වේවචනහාරය කවරෙ යැ: “වෙවචනාති බහුනි” යනාදි නිද්දේසගාථා යි. ඒ මෙසේ යැ. භාග්‍යවතුන් වහන්සේ එක් ධර්‍මයක් අන්‍යෝන්‍ය පර්‍ය්‍යායවචනයන්ගෙන් දක්වන සේක. මෙසේ වදාළහ, බුදුහු:
1. අනාගතාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන ආශාව ද අනාගත ප්‍රත්‍යුත්පන්නාර්‍ත්‍ථවිෂය වු තෘෂ්ණා සංඛ්‍යාත පිහාව ද නිෂ්පන්නාර්‍ත්‍ථ ප්‍රතිපාලන කරන අභිනන්‍දනාව ද චක්ඛුධාතු ආදි අනේක ධාතුවිෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණා සංඛ්‍යාත සියලු ප්‍රජපිල්තයෝ මා විසින් මූලසහිතව විගතාන්ත කරන ලද්දාහු යයි.
අනාගත වූ ඊප්සිතාර්‍ත්‍ථයාගේ යම් ආශංසනයක් වේ ද එය ‘ආසා’ නමැයි කියනු ලැබේ. ‘අවශ්‍යයෙන් ඊප්සිතාර්‍ත්‍ථය ලැබෙන්නේය’ යි ඔහුට ආශාව උපදී. වර්‍තමාන අර්‍ත්‍ථයාගේ යම් ප්‍රාර්‍ත්‍ථනාවක් වේ ද එය ‘පිහා’ නම,ශ්‍රේෂ්ඨතරයකු හෝ දැක ‘මෙබඳු වෙම්ව’ යි ඔහුට පිහා (කැමැත්ත) උපදී. අර්‍ත්‍ථනිෂ්පත්තිප්‍රතිපාලනය (නිපන් අර්‍ත්‍ථය රැකීම) ‘අභිනන්‍දනා’ නම, (සත්‍වසංස්කාරකෙලායනය අභිනන්‍දනා යි) ප්‍රිය ඥාතියකු හෝ අභිනන්‍දන කෙරෙයි (සතුටින් පිළිගනී.) ප්‍රිය වූ රූපාදි ආලම්බනධර්‍මය හෝ අභිනන්‍දන කෙරෙයි. (ප්‍රතිකූල ආලම්බනයෙහිදු විපර්‍ය්‍යාස විසින්) අප්‍රතිකූල හෙයින් අභිනන්‍දන කෙරෙයි. “අනේකධාතු” යනු: ‘චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්‍ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජීව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යන මොහු යැ. “සරා” යනු: කිසි කෙනෙක් රූපයෙහි ඇලුණාහුය, කිසි කෙනෙක් ශබ්දයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ගන්‍ධයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් රසයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් පහසෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ධර්‍මාලම්බනයෙහි ඇලුණාහු වෙත්. එහි යම් සවැදැරුම් ගෘහශ්‍රිත දොම්නස් වේදනා කෙනෙක් වෙත් ද, යම් ෂට්ගෘහශ්‍රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්‍රම්‍යශ්‍රිත දොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්‍රම්‍යශ්‍රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, මේ සූවිසි පදයෝ තෘෂ්ණාපක්‍ෂය වෙයි, තෙල තෘෂ්ණාවට වේවචනයි. යම් සවැදැරුම් ගෘහශ්‍රිත උපේක්‍ෂාවක් වේ ද මේ දෘෂ්ටිපක්‍ෂ යි, ඒ තෘෂ්ණාව ම ප්‍රාර්‍ත්‍ථනාකාරයෙන් පවත්නා හෙයින් ධම්මනන්‍දි ධම්මපෙම ධම්මජීඣොසාන යී ද වේ. තෙල තෘෂ්ණාවට වේවචන යි.
චිත්ත යැ මනෝවිඤ්ඤාණ යැ යන තෙල චිත්තයට වේවචන යැ, මනින්‍ද්‍රිය යැ, මනෝධාතු යැ, මනායතන යැ, විජානනා යැ යන මේ මනසට පරියාය වචන යි.
පඤ්ඤින්‍ද්‍රිය පඤ්ඤාබල අධිපඤ්ඤාසික්ඛා පඤ්ඤා පඤ්ඤක්ඛන්‍ධ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග ඤාණ සම්මාදිට්ඨි තීරණා විපස්සනා ධම්මේඤාණ අත්‍ථේඤාණ අන්‍වයෙඤාණ ඛයෙඤාණ අනුප්පාදෙඤාණ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය චක්ඛු විජ්ජා බුද්ධි භූරි මේධා ආලෝක යැ යනු ද, යළි යම් කිසි මෙබඳු ස්වභාව ඇති පඤ්ඤා පජානනා ආදි අනිකුදු වචන හෝ ඇද්ද තෙල ප්‍රඥාවට වේවචන යි. ‘ඛයෙඤාණං’ යනාදි පඤ්චේන්‍ද්‍රියයෝ ලෝකෝත්තරප්‍රඥාවට වේවචනයෝ යැ, ඉතිරි සියලු පඤ්ඤාවේවචනයෝ ලෞකික ලෝකෝත්තරමිශ්‍රයෝ යි. තවද අධිමෝක්‍ෂ ලක්‍ෂණයෙහි අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ‘සද්ධා’ යැ ආරම්භාර්‍ත්‍ථයෙන් ‘විරිය’යැ අපිලාපනාර්‍ත්‍ථයෙන් ‘සති’යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ‘සමාධි’යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ‘පඤ්ඤා’ යි.
යළි බුද්ධානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: “ඒ භාග්‍යවත් බුදුහු මෙ කරුණෙන් ‘අරහං’ යැ ‘සම්මාසම්බුද්ධ’ යැ ‘විජ්ජාචරණසම්පන්න’ යැ ‘සුගත’ යැ ‘ලෝකවිදු’ යැ ‘අනුත්තර පුරිසදම්මසාරථි’ යැ ‘දේවමනුස්සානං සත්‍ථා’ යැ ‘භගවා’ යැ. දසබලයෙහි නිමාවට ගියහෙයින් ‘බලනිප්ඵත්තිගත’ යැ අටපිරිස්හි විසාරද වූයෙන් ‘වේසාරජ්ජප්පත්ත’ යැ පටිසම්භිදාඅධිගම කළ හෙයින් ‘අධිගතපටිසම්භිද’ යැ ප්‍රහීණ කළ කාමාදි යෝග ඇතියෙන් ‘චතුයෝගවිප්පහීන’ යැ ‘අගතිගමනවිතිවත්ත’ යැ උපුළ රාගාදි ශල්‍ය ඇතියෙන් ‘උද්ධටසල්ල’ යැ ගෝපිත ඉන්‍ද්‍රිය ඇතියෙන් ‘නිරූළ්හවණ’ යැ මැඩැපී කෙලෙස් ඇතියෙන් ‘මද්දිත කණ්ටක’ යැ නැසූ රාගාදි පරියුට්ඨාන ඇතියෙන් ‘නිබ්බාපිතපරියුට්ඨාන’ යැ නැසූ සංයෝජන ඇතියෙන් ‘බන්‍ධනාතීත’ යැ පියු අභිධ්‍යාදි කායග්‍රන්‍ථ ඇතියෙන් ‘ගන්‍ථවිනිවෙඨන’ යැ ඉක්මවූ භවතෘෂ්ණාදිය ඇතියෙන් ‘අජ්ඣාසයවීතිවත්ත’ යැ බුන් අවිද්‍යා ඇතියෙන් ‘භින්නන්‍ධකාර’ යැ පසැස් ඇතියෙන් ‘චක්ඛුම’ යැ ඉක්මවූ අටලෝදහම් ඇතියෙන් ‘ලෝකධම්මසමතික්කන්ත’ යැ අනුනය ප්‍රතිඝ රහිත හෙයින් ‘අනුරෝධවිරෝධවිප්පයුත්ත’ යැ ඉටුඅනිටු දහම්හි නොහැකිළෙනුයෙන් ‘ඉටිඨානිට්ඨෙසු ධම්මේසු අසඞ්ඛේපගත’ යැ ඉක්මවූ බන්‍ධන ඇතියෙන් ‘බන්‍ධනාතිවත්ත’ යැ හළ විවාද ඇතියෙන් ‘ඨපිතසඞ්ගාම’ යැ ‘අභික්කන්තර’ යැ නැණපහන් දරනුයෙන් ‘උක්කාධාර’ යැ ‘ආලෝකකර’ යැ ‘පජ්ජෝතකර’ යැ මෝහතම දුරුකරනුයෙන් ‘තමෝනුද’ යැ ක්ලේශරණ දුරුකරනුයෙන් ‘රණඤ්ජහ’ යැ අප්‍රමාණ වූ ශරීරවර්‍ණ ගුණවර්‍ණ ඇතියෙන් ‘අපරිමාණවණ්ණ’ යැ පමණ නොකළහෙන වර්‍ණ ඇතියෙන් ‘අප්පමෙය්‍යවණ්ණ’ යැ සඞ්ඛ්‍යා නොකළහෙන වර්‍ණ ඇතියෙන් ‘අසඞ්ඛෙය්‍යවණ්ණ’ යැ ‘ආභඞ්කර’යැ ‘පභඞ්කර’ යැ ‘ධම්මේ භාසපජ්ජෝතකර’ යී ද ‘බුද්ධා භගවන්තො’ යී ද බුද්ධානු ස්මෘතියට තෙල වේවචන යි.
තවද ධම්මානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: ‘භාග්‍යවතුන් විසින් ධර්‍මය ‘ස්වාක්ඛාත’ යැ සිය සතන්හි රාගාදිය දුරුකිරීමෙන් තමා මැ දැක්කයුතු නුයි ‘සන්‍දිට්ඨික’ යැ ඵලදානය සඳහා කල් නොඉක්මේ නුයි ‘අකාලික’ යැ ‘එව බලව’යි කියනුවට සුදුසු නුයි ‘ඒහිපස්සික’ යැ තම සතන්හි පමුණුවාලීමට නිසි නුයි ‘ඕපනයික’ යැ විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දතයුතු නුයි ‘පව්චත්ත වේදිතබ්බ’ යැ. ඒ දහම ඊට පැමිණ මානමදාදිය නිම්මද වේ නුයි ‘මදනිම්මදන’ යැ කාමපිපාසාදිය අපගම වේ නුයි ‘පිපාසවිනය’යැ කාමාලයාදිය නැසේ නුයි ‘ආලයසමුග්ඝාත’ යැ කර්‍මාදි තුන්වට සිදේ නුයි ‘වට්ටුපච්ඡේද’ යැ ‘සුඤ්ඤත’ යැ ‘අතිදුල්ලභ’ යැ ‘තණ්හක්ඛය’ යැ ‘විරාග’ යැ ‘නිරෝධ’ යැ ‘නිබ්බාන’යි.
2. කිසි ප්‍රත්‍යයෙකින් නො කරනලද නුයි ‘අසඞ්ඛත’ යැ අන්ත(විනාශ) නැත් නුයි ‘අනන්ත’ යැ ආස්‍රවයනට අරමුණු නොවේ නුයි ‘අනාසව’ යැ අවිපරීතස්වභාව හෙයින් ‘සච්ච’ යැ පරතීර බැවින් ‘පාර’ යැ නිපුණඥානවිෂය හෙයින් ද සූක්‍ෂම හෙයින් ද ‘නිපුණ’ යැ අනුපචිත ඥානසම්භාර ඇතියෙන් විසින් නොදැක්කහේ නුයි ‘සුදුද්දස’ යැ ජාතිජරායෙන් අනුපද්‍රැත හෙයින් ‘අජජ්ජර’ යැ ස්ථිර බැවින් ‘ධුව’ යැ ජරාමරණයෙන් නොබිදේ නුයි ‘අපලෝකිත’ යැ මසැසිනුදු දිවැසිනුදු නොදැක්කහේ නුයි ‘අනිදස්සන’යැ රාගාදි ප්‍රපඤ්ච නැතියෙන් ‘නිප්පපඤ්ච’ යැ ක්ලේශාභිසංස්කාරයන්ගේ ව්‍යුපශමයට කාරණා බැවින් ‘සාන්ත’ යි.
3. අමෘතයට හේතුබැවිනුදු භඞ්ග නැතියෙනුදු ‘අමත’ යැ උත්තමාර්‍ත්‍ථයෙන් ‘පණීත’ යැ වර්‍තදුඃඛ නැතියෙන් ‘සිව’ යැ සතර යෝගයෙන් අනුපද්‍රව බැවින් ‘ඛේම’ යැ තෘෂ්ණාක්‍ෂය වේ නුයි ‘තණ්හක්ඛය’ යැ කාලාන්තරයෙහි දැක්කයුතු හෙයින් ‘අච්ඡරිය’ යැ එහෙයින් ම ‘අබ්භූත’ යැ අනන්තරායබවට හේතුවනුයෙන් ‘අනීතික’ යැ අනන්තරායස්වභාවට හේතුවන හෙයින් ‘අනීතිකධම්ම’ යැයි මේ නිවන සුගතයන් විසින් දෙසන ලදි.
4. නූපදනා සැහැවි ඇතියෙන් ‘අජාත’ යැ එහෙයින් ම ‘අභූත’ යැ උපද්‍රව නැති බැවින් ‘අනුපද්දව’ යැ ප්‍රත්‍යයෙකින් නොකරනලද නුයි ‘අකත’ යැ ශෝක නැත් නුයි ‘අසෝක’ යැ නැවත ශෝකහේතු විගමයෙන් ‘විසෝක’ යැ කිසිවකු විසින් පීඩිත නොවන බැවින් ‘අනුපසග්ග’ යැ (එසේම) ‘අනුපසග්ගධම්ම’ යැ යි ද තෙල නිවන සුගතයන් විසින් දෙසන ලදි.
5. ගැඹුරු නුවණට ගෝචර හෙයින් ‘ගම්භීර’ යැ සම්‍යක් ප්‍රතිපත් නැතිව දක්නට නොහැකි වන බැවින් ‘දුප්පස්ස’ යැ සියලු ලොව උත්තරණය කොට සිටියේ නුයි ‘උත්තර’ යැ තෙල දහමට උත්තරයෙක් නැත් නුයි ‘අනුත්තර’ යැ සදෘශයක්හු නැතියෙන් ‘අසම’ යැ ප්‍රතිභාගයකු නැතියෙන් ‘අප්පටිසම’ යැ උත්තමාර්‍ත්‍ථයෙන් ‘ජෙට්ඨ’ යැ ප්‍රශස්‍යතම නුයි ‘සෙට්ඨ’ යයි ද කියනු ලැබේ.
6. සසරදුකින් පීඩිතයන් විසින් නිලීන කළයුතු නුයි ‘ලෙන’ යැ සසරදුකින් රක්නාහෙයින් ‘තාණ’ යැ රණාභාවයෙන් ‘අරණ’ යැ අඞ්ගණාභාවයෙන් ‘අනඞ්ගණ’ යැ නිදොස් බැවින් ‘අකාව’ යැ රාගාදි මලාපගමයෙන් තෙල ‘විමල’ යි ද කියනු ලැබේ. සතර ඕඝයෙන් වතුරු නොගන්නා හෙයින් ‘දීප’ යැ ව්‍යුපශම සුඛතායෙන් ‘සුඛ’ යැ පමණ නොකළහේ නුයි ‘අප්පමාණ’ යැ සසරසයුරෙහි නොගැලෙනුයෙන් ‘පතිට්ඨා’ යැ රාගාදි කිඤ්චනාභාවයෙන් ‘අකිඤ්චන’ යැ තෘෂ්ණාදි ප්‍රපඤ්චාභාවයෙන් ‘අප්පපඤ්ච’ යයි ද වදාරන ලද්දේ යි.
තෙල ධම්මානුස්සතියට වේවචන යි.
තවද සඞ්ඝානුස්සතියෙහි මෙසේ වදාරන ලදි: සම්‍යක්ප්‍රතිපත්හි මොනොවට පිළිපන් හෙයින් ‘සුපටිපන්න’ යැ මැදුම්පිළිවෙත්හි පිළිපන් හෙයින් ‘උජුපටිපන්න’ යැ ඤාය සංඛ්‍යාත නිවනට පිළිපන් හෙයින් ‘ඤායපටිපන්න’ යැ සාමීචීකර්‍මාර්‍භව පිළිපන් හෙයින් ‘සාමීචීපටිපන්න’ යැ අෂ්ට පුරුෂ පුද්ගල වූ යම් සතර පුරුෂයුගල කෙනෙක් වෙත් ද භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවක සඞ්ඝ දුරසිට අවුත් පිදීමට සුදුසු නුයි ‘ආහුනෙය්‍ය’ යැ අමුතුසත්කාරයට සුදුසු නුයි ‘පාහුනෙය්‍ය’ යැ දක්‍ෂිණාර්‍හ නුයි ‘දක්‍ෂිණෙය්‍ය’ යැ අඤ්ජලිකර්‍මාර්හ නුයි ‘අඤ්ජලිකරණීය’ යැ ලොවට ‘අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත’ යැ. ‘සීලසම්පන්න’ යැ ‘සමාධිසම්පන්න’ යැ ‘පඤ්ඤාසම්පන්න’ යැ ‘විමුත්තිසම්පන්න’ යැ ‘විමුත්තිඤාණදස්සනසම්පන්න’ යැ සාරගුණ යෝගයෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘සාර’ යැ සත්ත්‍වයන් කෙරෙහි ‘මණ්ඩ’ යැ ගුණ විසින් මැ උද්ධරණය කටයුතු නුයි සත්ත්‍වයන් කෙරෙහි ‘උද්ධාර’ යැ අචල ගුණ ඇතියෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘එසිකා’ යැ ගුණසෝභාසුරභිභාවයෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘පසූන’ යැ (සුවඳ කුසුමයෙකැයි සේයි.) දෙවියන් විසිනිදු මිනිසුන් විසිනිදු ‘පූජ්‍ය’යැයි. තෙල සඞ්ඝානුස්සතියට වේවචන යි.
තවද සීලානුස්සති නිද්දේසයෙහි මෙසේ වදාරන ලදි : ඒ ශීලයෝ නොකඩ බැවින් ‘අඛණ්ඩ’ යැ නොසිදුරු බැවින් ‘අච්ඡිද්ද’ යැ නො කබර බැවින් ‘අසබල’ යැ අතරතුරෙහි නොබිදුණු හෙයින් කල්මාෂ නොවූයෙන් ‘අකම්මාස’ යැ නිර්දෝෂ හෙයින් ‘අරිය’ යැ බුද්ධාදි ආර්‍ය්‍යයනට කාන්ත හෙයින් ‘අරියකන්ත’ යැ තෘෂ්ණාදාසව්‍යතායෙන් මිදුණු ‘භුජිස්ස’ යැ බුද්ධාදී විඥයන් විසින් ප්‍රශස්ත හෙයින් ‘විඤ්ඤූප්පසත්‍ථ’ යැ තෘෂ්ණාදෘෂ්ටීන් පරාමර්‍ශ නොකළහෙයින් ‘අපරාමට්ඨ’ යැ උපචාරසමාධි ආදිය පිණිස පවත්නාහෙයින් ‘සමාධිසංවත්තනික’ යැ. ගුණයන් කෙරෙහි උත්තමාඞ්ග වූ ප්‍රඥාව හොබවනුයෙන් සීලය ‘අලංකාර’ ද වෙයි. සියලු දුර්භගතා ඉක්මවන අටින් සීලය ‘නිධාන’ ද වෙයි. අක්‍ෂණවේධී බැවින් සීලය ‘සිප්ප’ ද වෙයි. සීමා නොඉක්මවන අටින් සීලය ‘වෙලා’ ද වෙයි, දිළිඳුබව නසන අටින් සීලය ‘ධඤ්ඤ’ ද වෙයි. ශමථ විදර්‍ශනාදිධර්‍ම අවලෝකන කරනබැවින් සීලය ‘ආදාස’ ද වෙයි, අභිඥාචක්‍ෂුසින් ලොව බලනඅටින් සීලය ‘පාසාද’ ද වෙයි, අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇති සීලය ‘සබ්බභූමානුපරිවත්ති’ ද වේ යයි. තෙල සීලානුස්සතියට වේවචන යි.
යළිදු චාගානුස්සතියෙහි මෙසේ වදාරන ලදි : “යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ගිහිගෙයි වෙසේ ද එකල විසුළ ත්‍යාග ඇතියෙන් ‘මුත්තාචාග’ යැ දන්දීමෙන් දෙවූ අත්ඇතියෙන් ‘පයතපාණි’ යැ වොස්සග්ග (දාන) යෙහි ඇලුණෙන් ‘වොස්සග්ගරත’ යැ යදනට නිසි වූයෙන් ‘යාචයෝග’ යැ දීමෙහි සංවිභාගයෙහි ඇලුණෙන් ‘දානසංවිභාගරත’ වේ යැයි. චාගානුස්සතියට තෙල වේවචන යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ “වෙවචනානි බහූනි” යනාදිය.
වේවචනහාරය යොදනලද්දේ යි.
3. 1. 11.
පඤ්ඤත්තිහාරවිභඞ්ගය
එහි පඤ්ඤත්තිහාරය කවර යැ: ‘ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යනාදි නිද්දේසගාථා යැ, ප්‍රකෘතිකථායෙන් (භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවිකධර්‍මකථායෙන්) යම් දේශනාවක් ඇද්ද මේ (වෛනෙයසන්තානයෙහි යථාභිප්‍රේතාර්‍ත්‍ථ නික්‍ෂේප කෙරෙයි - තබා නුයි) ‘නික්ඛෙපපඤ්ඤත්ති’ නම. යළි ප්‍රකෘතිකථායෙන් කරන දේශනා කවර: චතුස්සත්‍යයෝ යි. “ඉදං දුක්ඛං”යි බුදුහු මෙසේ වදාළහ. (අතීතාදි අනේක භේදභින්න වූ රූපාරූපධර්‍මයන් ප්‍රභේද නොකොට පීළනාදි අර්‍ත්‍ථසාමාන්‍යයෙන් එක්රැස් කොට ගැනීමට කාරණ වූ) ‘දුක්ඛං’ යන මේ ප්‍රඥප්තියෙක, එය පඤ්චස්කන්‍ධයන්ගේ ෂඩ්ධාතුන්ගේ අටළොස් ධාතුන්ගේ දොළොස් ආයතනයන්ගේ දස ඉන්‍ද්‍රියයන්ගේ නික්‍ෂේපප්‍රඥප්ති යි.
“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය (ගෙහසිත සොම්නස) ඇද්ද තෘෂ්ණා ඇද්ද, ඒ තෘෂ්ණායෙහි ප්‍රතිසන්‍ධිජනක විඥානය පිහිටියේ වැඩුණේ වෙයි, යම් ත්‍රෛභූමක වර්‍තයෙහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේත් වේ ද, ඒ ත්‍රෛභූමක වර්‍තයෙහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, ඒ නාමරූපයෙහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද එහි මත්තෙහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එහි ස්කන්‍ධන්ගේ අභිනිර්‍වෘතිලක්‍ෂණ ජාතිය හා පරිපාක - භේදලක්‍ෂණ ජරාමරණ ඇත. යම් තැනෙක මතුයෙහි ජාතිජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝක සහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.
ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද, එහි පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, එතැන්හි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇද්ද, එතැන්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එතැන්හි මතු ජාති ජරා මරණ ඇත. යම් තැනෙක මත්තෙහි ජාති ජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝකසහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.” මේ දේශනාව දුක්ඛසත්‍යයාගේ ද සමුදයසත්‍යයාගේ ද පභව (සමුට්ඨාන) ප්‍රඥප්ති යි. (විපාකවට්ටයාගේ ද සංස්කාරයන්ගේ ද තෘෂ්ණාප්‍රත්‍යයභාවය දැක්වූ හෙයිනි.)
“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය නැද්ද නන්‍දිය නැද්ද තෘෂ්ණා නැද්ද එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනක ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ ද නොවැඩුණේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනක නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැද්ද එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි ආයති පුනර්‍භවයාගේ අභිනිර්‍වෘතියෙක් නැත. යම් තැනක මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නැද්ද, එහි මතුයෙහි ජාති ජරා මරණ නැත. යම් තැනක මතු ජාති ජරා මරණ නැද්ද, මහණෙනි, එය ශෝක රහිත යැ දරථ රහිත යැ උපාසය රහිත යැයි කියමි. ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැද්ද නන්‍දි නැද්ද තෘෂ්ණා නැද්ද, එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනෙක විඥානය නොපිහිටියේ නොවැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය නැද්ද, එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැද්ද, එහි මතු ජාති ජරා මරණ නැත. යම් තැනෙක මතු ජාති ජරා මරණ නැද්ද, එතැන අශෝක යැ දරථ රහිත යැ අනුපාසාස යැයි කියමි”. මේ දේශනාව දුඃඛසත්‍යයාගේ පරිඥාප්‍රඥප්ති යැ, සමුදය සත්‍යයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ, මාර්‍ගසත්‍යයාගේ භාවනාප්‍රඥප්ති යැ, නිරෝධසත්‍යයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.
“මහණෙනි, අප්‍රමත්ත වූයේ ප්‍රඥාවත්ව ස්මෘති ඇතියේ සමාධිය වඩව, මහණෙනි, (උපාචාර අපර්‍ණා සමාධියෙන්) සමාහිත වු මහණ යථාස්වභාවයෙන් දැනගනී, කුමක් යථාභූත ව දැනගනී ද යත්: චක්‍ෂුස අනිත්‍ය යයි යථාභූතව දැනගනී. රූපයෝ අනිත්‍යයහ යි යථාභූතව දැනගනී, චක්‍ෂුර්විඥානය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී නම් එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජීහ්වාව ... කායය ... මනස අනිත්‍ය යයි යථාභූතව දැනගනී, ආලම්බන ධර්‍මයෝ අනිත්‍ය වූහ’ යි යථාභූතව දැනගනී, මනෝවිඤ්ඤාණය අනිත්‍ය යයි යථාභූතව දැන ගනී, මනෝසම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී ද එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී.” මේ දේශනාව මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුඃඛයාගේ පරිඥා ප්‍රඥප්ති යැ සමුදයාගේ ප්‍රහාණ ප්‍රඥප්ති යැ නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.
“රාධය, රූපය විසුරුව විධමන කරව විධ්වංසන කරව ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව. තෘෂ්ණාක්‍ෂය වීමෙන් දුඃඛක්‍ෂය වෙයි. දුක්ඛක්‍ෂය වීමෙන් නිර්‍වාණය වෙයි. වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාරයන් ... විඤ්ඤාණය විකිරණ විධමන විධ්වංසන කරව, ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව, තෘෂ්ණාව ක්‍ෂය වීමෙන් දුක් ක්‍ෂය වෙයි. දුක් ක්‍ෂයවීමෙන් නිර්‍වාණය වේ.” මේ දේශනාව නිරෝධ සත්‍යයාගේ රෝධ සංඛ්‍යාත තෘෂ්ණානිරෝධය පැනවීම යැ ආස්වාදයාගේ නිබ්බිදා ප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඤ්ඤාපඤ්ඤත්ති යැ සමුදයාගේ පහානපඤ්ඤත්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ නිරෝධයාගේ සච්ඡිකිරියා පඤ්ඤත්ති යි.
“හේ (තෘෂ්ණාව තබා ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධය) ‘මේ දුක’ යි ඇති සැටියෙන් දැනගනී. ‘මේ (තෘෂ්ණාව) දුක්ඛ සමුදය යැ’ යි ඇති සැටි දැන ගනී. ‘මේ (නිවන) දුක්ඛ නිරෝධ යැයි යථාභූතව දැනගනී, මේ (අරි අටඟිමග) දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැයි යථාභූතව දැන ගනී.” මෙය චතුස්සත්‍යයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ දර්‍ශන භූමි (ස්‍රෝතාපත්ති මාර්‍ගයාගේ) නික්‍ෂේප ප්‍රඥප්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ සෝතාපත්ති ඵලයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.
හේ, “මොහු ආස්‍රවයෝ ය’ යි තත්වූ පරිදි දැන ගනී, ‘මේ ආස්‍රව සමුදය’ යි යථාභූතව දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධය’ යි යථාභූතව දැනගනී, ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි යථාභූතව දැනගනී, මේ ආස්‍රවයෝ නිරවශේෂව නිරුද්ධ වෙතී යථාභූතව දැනගනී” මේ ආස්‍රවක්‍ෂයඥානයාගේ උත්පාදප්‍රඥප්ති යැ, අනුත්පාදඥානයාගේ ස්ථාන ප්‍රඥප්ති යැ, මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ සමුදයයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ විරියින්‍ද්‍රියයාගේ ආරම්භ ප්‍රඥප්ති යැ ක්ලේශආසාටිකා (ඉහඳ) වන්ගේ නීහරණ ප්‍රඥප්ති යැ භාවනාභුමිය පිළිබඳ නික්‍ෂේප ප්‍රඥප්ති යැ ලාමක අකුශල ධර්‍මයන්ගේ අභිඝාත (නැසීම) ප්‍රඥප්ති යි.
“මහණෙනි, ‘මේ දුඃඛසත්‍යය’ යි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මවිෂයෙහි නුවණැස උපන, සත්‍යඥාන උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. මහණෙනි, ‘මේ දුක්ඛසමුදය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, සත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ චතුස්සත්‍යයන්ගේ දේශනාප්‍රඥප්ති යැ ශ්‍රැතමයි ප්‍රඥාවගේ නික්‍ෂේප ප්‍රඥප්ති යැ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයාගේ සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තනප්‍රඥප්ති යි.
“තවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය දතයුතු (ඉක්මැවියයුතු) යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහාණය කළයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වැඩියයුත්තීය යයි පෙර නො ඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ චින්තාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤින්‍ද්‍රියයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.
තවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය මා විසින් පරිඥාත යැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහීණ යැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් පසක්කරන ලදැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වඩන ලදැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යැ භාවනාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤාතාවී ඉන්‍ද්‍රියයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තන ප්‍රඥප්ති යි.
1. බුද්ධමුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචරකර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භවසංස්කාරය දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා විසින් අධ්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අපර්‍ණාසමාධීන් සමාහිතව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්මසම්භව වූ සියලු ක්ලේශජාතය බිඳලූහ’ යි.
(මේ දේශනායෙහි) ‘තුලං’ යනු සංස්කාරධාතු යැ ‘අතුලං’ යනු නිර්‍වාණධාතු යැ ‘තුලමතුලං ච සම්භවං’ යනු සියලු ධර්‍මයන්ගේ අභිඥාප්‍රඥප්ති යැ ධර්‍මප්‍රතිසම්භිදාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ ‘භවසඞ්ඛාරමවස්සජි මුනි’ යනු සමුදයයාගේ පරිත්‍යාගප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ ‘අජ්ඣත්තරතො සමාහිතො’ යනු කායගතාසතියගේ භාවනාප්‍රඥප්ති යැ චිත්තේකග්ගතාවගේ ස්ථිතිප්‍රඥප්ති යැ ‘අභිදා කවවමීවත්තසම්භවං’ යනු (ආයුසංස්කාරය හැරීම් වශයෙන්) චිත්තයාගේ අභිනිබ්බිදා (අභිනීහරණ) ප්‍රඥප්ති යැ සර්‍වඥභාවයාගේ ග්‍රහණප්‍රඥප්ති යැ අවිද්‍යාණ්ඩකෝෂයන්ගේ ප්‍රදාලනාප්‍රඥප්ති යි. එයින් වදාළහ, බුදුහු: “තුලමතුලං ච සම්භවං” යී.
2. ආරබ්ධවිදර්‍ශක වූ යමෙක් සියලු ත්‍රෛභූමක දුඃඛය දුටුයේ ද යම් හේතුවකින් දුක උපදී නම් ඒ කාරණා වූ තෘෂ්ණාවත් දකී ද ඒ පටිපන්නක පුරුෂ සවස්තුක වු ක්ලේශකාමයන්හි කවර කරුණෙකින් නැමේ ද (නො නැමේ මැයැ.) යම් හෙයෙකින් මෙලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එහෙයින්) බන්‍ධනයෙකැයි දැන ස්මෘතිමත් වූයේ ඒ කාමයන්ගේ විනය පිණිස ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
‘යො දුක්ඛං’ යනු දුඃඛසත්‍යයාගේ වෙවචන ප්‍රඥප්ති ද පරිඤ්ඤා ප්‍රඥප්ති ද වෙයි, ‘යතෝ නිදානං’ යනු සමුදයසත්‍යයාගේ ප්‍රභවප්‍රඥප්ති ද ප්‍රහාණප්‍රඥප්ති ද වෙයි, ‘අද්දක්ඛි’ යනු ඥානචක්‍ෂුස්හුගේ වෙවචනප්‍රඥප්ති ද ප්‍රතිවේධප්‍රඥප්ති ද වෙයි, ‘කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය’ යනු කාමතෘෂ්ණාවගේ වෙවචනප්‍රඥප්ති ද අභිනිවේශප්‍රඥප්ති ද වෙයි ‘කාමා හි ලෝකේ සඞ්ගොති ඤත්‍වා’ යනු කාමයන් පසමිතුරු හෙයින් දර්‍ශනය පැනවීම යැ ඒ එසේ මැය - කාමයෝ අඞ්ගාරකර්ෂුවකට බඳු උපමා ඇතියහ, මස් වැදැල්ලකට බඳු උපමා ඇතියහ, දිලිසෙන ගින්නක් බන්දහ, ප්‍රපාතයකට හා උරගුන්ට බඳු උපමා ඇතියහ, ‘තෙසං සතිමා’ යනු ප්‍රහාණයාගේ අපචයපඤ්ඤත්ති ද කායගතා සතියගේ නික්ඛෙපපඤ්ඤත්ති ද මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති ද වෙයි. ‘විනයාය සික්ඛෙ’ යනු රාගවිනයාගේ දෝසවිනයාගේ මෝහවිනයාගේ ප්‍රතිවේධප්‍රඥප්ති යැ ‘ජන්තු’ යනු යෝගීහුගේ වෙවචනප්‍රඥප්ති යැ ඒ එසේ මැය - යම් කලෙක යෝගාවචර ‘කාමයෝ සඞ්ගයෙකැ’ යි දැන ගනී ද එකළ හේ කාමයන්ගේ අනුත්පාදය පිණිස කුශල ධර්‍මයන් උපදවයි, හේ නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස වෑයම් කරයි, මේ නොපත් මාර්‍ගඵලයන්ගේ ප්‍රාප්තිය පිණිස වායාමපඤ්ඤත්ති යැ, අල්පමාත්‍රගුණයෙන් සතුටු නොවීම පිළිබඳ නික්ඛෙපපඤ්ඤත්ති යැ, එහි ඒ යෝගාවචර උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස
වෑයම් කෙරෙයි යන මෙය භාවනාව පිළිබඳ අප්පමාද පඤ්ඤත්ති යැ විරියින්‍ද්‍රියයාගේ නික්ඛෙපපඤ්ඤත්ති යැ කුශලධර්‍මයන්ගේ ආරක්ඛ පඤ්ඤත්ති යැ අධිචිත්තශික්‍ෂාව පිළිබඳ ර්‍ඨතිපඤ්ඤත්ති යි. එයින් වදාළහ බුදුහු; “යො දුක්ඛමද්දික්ඛි යතෝ නිදානං” යි.
3. මේ ලෝවැසිතෙම අවිද්‍යාහේතුක සංයෝජනයන්ගේ බැඳුණේ (විපරිතා ධ්‍යාශය ඇතියේ මායා සාඨෙය්‍ය දෙකින් වැසුණුපියවි ඇතියේ) භව්‍යස්වරූපයක් මෙන් දක්නාලැබෙයි, ක්ලේශ අභිසංස්කාරෝපධීන් විසින් බැඳුණු බාලතෙමේ සම්මොහතමසින් පරිවෘත වූයේ (පණ්ඩිතනයට) නිශ්ශ්‍රීකයකු මෙන් වැටැහෙයි, නුවණැසින් දක්නහුට ගතයුතු කිසිවක් නැති’ යි.
‘මෝහසම්බන්‍ධනෝ ලෝකෝ’ යනු විපල්ලාසයන්ගේ දේශනාපඤ්ඤත්ති යැ ‘හබ්බරූපෝච දිස්සති’ යනු ලෝකයාගේ විපරීතපඤ්ඤත්ති යැ ‘උපධිසම්බන්‍ධනෝ බාලො’ යනු ලාමක ඉච්ඡාවචරයන්ගේ ප්‍රභවප්‍රඥප්ති යැ පරියුට්ඨානයන්ගේ කෘත්‍ය ප්‍රඥප්ති යැ ක්ලේශයන්ගේ බලවපඤ්ඤත්ති යැ සංස්කාරයන්ගේ විරූහනාපඤ්ඤත්ති යැ, ‘තමසා පරිවාරිතො’ යනු අවිද්‍යාන්‍ධරකාරයාගේ දේශනාප්‍රඥප්ති යැ වෙවචනප්‍රඥප්ති ද වෙයි, ‘අස්සරී විය ඛායති’ යනු දිව්‍යචක්‍ෂුස්හුගේ දර්‍ශනප්‍රඥප්ති යැ ප්‍රඥාවක්‍ෂුස්හුගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ‘පස්සතෝ නත්‍ථි කිඤ්චනං’ යනු සත්ත්‍වයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ, රාගය කිඤ්චන යැ දෝසය කිඤ්චන යැ මෝහය කිඤ්චන යි. එයින් වදාළහ බුදුහු “මෝහසම්බන්‍ධනෝ ලෝකෝ” යි.
“මහණෙනි (හේතුප්‍රත්‍යයසමවායෙන්) නූපන් (හේතු රහිත වැ තෙමේ මැ) නො පහළ වූ (හේතු ප්‍රත්‍යයෙන්) නො කරනලද ප්‍රත්‍යයෙන් අසංස්කෘත වූ නිර්‍වාණධාතුව පරමාර්‍ත්‍ථවශයෙන් ඇත. මහණෙනි, අජාත අභූත අකත අසඞ්ඛත වූ ඒ නිර්‍වාණධාතුව ඉදින් නො වී නම්, මේ ලෝකයෙහි හේතුප්‍රත්‍යයෙන් උපන් හටගත් කරනලද සියලු සඞ්ඛතධර්‍මයාගේ නිස්සරණයෙක් නො පැනෙන්නේය, තව ද මහණෙනි, යම් හෙයකින් අජාත අභූත අකත අසඞ්ඛත වූ නිර්‍වාණධාතුව ඇද්ද, එහෙයින් ජාත වූ භූත වූ කෘතවූ හේතුප්‍රත්‍යයන් විසින් සමවායෙන් කරනලද ධර්‍මජාතයාගේ නිස්සරණය පැනේ” යයි වදාළසේක.
‘නො චේතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ දේශනාපඤ්ඤත්ති ද වෙවචනපඤ්ඤත්ති ද වෙයි, ‘න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ’ යනු සඞ්ඛතයාගේ වෙවචනපඤ්ඤත්ති ද උපනයනපඤ්ඤත්ති ද වෙයි, ‘යස්මා ච ඛො භික්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ වෙවචනපඤ්ඤත්ති ද ජෝතනාපඤ්ඤත්ති (ප්‍රතිඥා කළ අර්‍ත්‍ථසිද්ධිය ප්‍රකාශ කිරීම) ද වෙයි, ‘තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති’ යනු මේ නිර්‍වාණයාගේ වෙවචන පඤ්ඤත්ති ද, මාර්‍ගයාගේ නෛර්‍ය්‍යාණිකප්‍රඥප්ති ද, සංසාරයෙන් නික්මයෑම පැනවීම ද වේ. එයින් වදාළහ, බුදුහු: “නො වෙතං භික්ඛවෙ අභවිස්ස” යනාදිය.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යි.
පඤ්ඤත්තිහාරය යොදනලද්දේ යි.
3. 1. 12.
ඕතරණහාරවිභඞ්ගය
එහි ඕතරණහාරය කවරෙ යැ: “යො ච පටිච්චුප්පාදො” යනාදි නිද්දේසගාථා යැ.
1. උඩ රූපාරූපධාතුවයෙහි ද යට, කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂවිමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ මම් වෙමි’ නො දක්නා සුලු වූයේ මෙසේ සේඛාසේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවුනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යයි.
‘උද්ධං’ යනු රූපධාතුව ද අරූපධාතුව ද යන දෙක යැ, ‘අධෝ’ යනු කාමධාතු යැ, ‘සබ්බධි විප්පමුත්තො’ යනු ත්‍රෛධාතුක ලෝකයෙහි මේ (විරාගතා සංඛ්‍යාත) අශෛක්‍ෂ ඵලවිමුක්ති යැ, ඒ අශෛක්‍ෂවිමුක්තියෙහි යෙදුණු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ (අශෛක්‍ෂවිමුක්තියෙන් නිර්ධාරණ කළ) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් (සූත්‍රසංවර්‍ණනාවට) අවතරණ (බැසගැනීම) යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ‘විද්‍යා’ නම් වෙයි, මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙති. මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මේ පටිච්චසමුප්පාදයෙන් සූත්‍රවර්‍ණනාවට බැසගැනීම යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ශීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන ත්‍රිවිධ ස්කන්‍ධයෙන් සංගෘහීත වූවාහු ය, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළුවු අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍ර වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එය ධර්‍මායතන පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් (සූත්‍රවර්‍ණනාවට) අවතරණ යි.
‘අයමහමස්මීති අනානුපස්සී’ යනු මේ සත්කායදෘෂ්ටිහුගේ සමුද්ඝාත යැ, ඒ ශෛක්‍ෂ ඵලවිමුක්ති යි. ඒ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් සූත්‍රවර්‍ණනාවට අවතරණ යි. ඒ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ මාර්‍ගඥාන විද්‍යා යැ, විද්‍යොත්පාදය ප්‍රත්‍යය කොටගෙන අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. (මෙසේ සියලු මැ පටිච්චසමුප්පාදය වෙයි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එ මැ විද්‍යාව ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එ මැ විද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න යැ, යම් සංස්කාර කෙනෙක් අනාස්‍රව වූවාහු නො ද භවාඞ්ග වෙත් ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. ශෛක්‍ෂවිමුක්තියෙන් ද අශෛක්‍ෂවිමුක්තියෙන් ද කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යි. එයින් වදාළහ, බුදුහු: “උද්ධං අධෝ” යනාදිය.
“තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නිශ්‍රිත වූවහුට විෂ්පන්‍දන (පොපියනු) වෙයි, නිශ්‍රය රහිත වු ක්‍ෂීණාස්‍රව හට චලිත (විෂ්පන්‍දිත) යෙක් නැති. චලිතය නැති කල්හි කාය චිත්තදරථයන්ගේ සන්හිඳීම වෙයි, පස්සද්ධිය ඇති කල්හි රූපාදි ආලම්බනයෙහි නැමීම නොවෙයි, නතිය නැති කල්හි පටිසන්‍ධි විසින් ආගමනය ද චුති විසින් ගමනය ද නොවෙයි. ආගති ගති නැති කල්හි ච්‍යුති උපප්‍රාප්ති නොවෙයි. චුති උපපාත නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභයලෝකයෙහි මැ නොවැයි, මෙය මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි.
‘නිස්සිතස්ස චලිතං’ යනු නිස්සය නම්: තණ්හානිස්සය ද දිට්ඨිනිස්සය දැ’ යි ද්විවිධ යැ, එහි රූපාදියෙහි ඇලුණහුගේ යම් තෘෂ්ණාචේතනාවක් ඇද්ද මේ තෘෂ්ණානිශ්‍රය (අභිනිවේශය) යැ, අරමුණෙහි මූඪවූවහුගේ යම් චේතනාවක් ඇද්ද මේ දෘෂ්ටිනිශ්‍රය යැ, චේතනා වූ කලි සංස්කාරයෝ යි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. (මෙසේ සියලු පටිච්චසමුප්පාදය යි) මේ පටිච්චසමුප්පාදයෙන් (සූත්‍රවර්‍ණනාවට) බැසගැනීම යි. එහි අනුරක්තයාගේ යම් වේදනාවක් ඇද්ද මේ සුඛවේදනා යැ, සම්මූඪ වූවහුගේ යම් වේදනාවක් ඇද්ද මේ අදුක්ඛමසුඛවෙදනා යැ, මේ වේදනාවෝ වේදනාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගේ අවතරණයි. එහි සුඛවේදනාව සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය දැයි ඉන්‍ද්‍රිය දෙකෙකි. අදුක්ඛමසුඛවේදනාව උපෙක්ඛින්‍ද්‍රිය යැ, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. ඒ ඉන්‍ද්‍රියයෝ මැ සාස්‍රව වූ හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි ඇතුළු වූවාහුය, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණයයි. ඒ ධර්‍මධාතුව ස්‍රාසව හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ. මේ ආයතනයන් ගෙන් අවතරණ යි.
‘අනිස්සිතස්ස චලිතං නත්‍ථි’ යනු සමථවශයෙන් හෝ තෘෂ්ණායෙන් අනිශ්‍රිත වූයේ විදර්‍ශනාවශයෙන් හෝ දෘෂ්ටියෙන් අනිශ්‍රිත වූයේ වෙයි. යම් විදර්‍ශනාවක් ඇද්ද මේ විද්‍යා යැ, විද්‍යොත්පාදයෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියලු පටිච්චසමුප්පාදය වෙයි) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. ඒ විදර්‍ශනාව මැ ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. ඒ විදර්‍ශනාව මැ විරියින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද යන ඉන්‍ද්‍රිය දෙක වෙයි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ විදර්‍ශනාව අනාස්‍රව වු නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
‘පස්සද්ධියා සති’ යනු කායිකපස්සද්ධිය ද චේතසිකපස්සද්ධිය දැයි පස්සද්ධි දෙවැදෑරුම් වෙයි, කරජකය ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ කායිකපස්සද්ධිය යැ, සිත ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ චෙතසිකපස්සද්ධි යි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය ලබයි, සුව ඇතියහුගේ සිත සමාධියට පැමිණෙයි, සමාහිත වූයේ යථාභූතව (තතුසේ) දැනගනී, යථාභූතව දන්නේ (සංස්කාරයන්හි) උකටලි වෙයි, උකටලිවනුයේ නොඇලෙයි, විරාගයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, විමුක්ත කල්හි ‘මිදිණැ’ යි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි, ජාතිය ක්‍ෂය වූයැ, බඹසර වැස නිමවනලද, සිවුමග කරණී කරන ලද, මාර්‍ගකෘත්‍යය පිණිස හෝ ක්ලේශක්‍ෂය පිණිස අන් කටයුත්තෙක් නැති’ යි දැනගනී, ඒ ක්‍ෂීණාස්‍රව රූපවිෂයෙහි නො නැමෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මවිෂයෙහි නො නැමෙයි. රාගය ක්‍ෂය කළ හෙයින් ද්වේෂය ක්‍ෂය කළ හෙයින් මෝහය ක්‍ෂය කළ හෙයිනි. යම් රූපූපාදානයකුත් හේතු කොටගෙන භවයෙහි සිටින්නාවු චුතිපටිසන්‍ධි විසින් හැසිරෙන්නාවූ සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ රූපූපාදනය
ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරුද්ධ වීමෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් රූපසඞ්ඛය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වු ක්‍ෂීණාස්‍රව පුද්ගල (ආත්මයත් ලෝකයත් ශාශ්වත ව) ඇතැයි ද (තෘෂ්ණා දෘෂ්ටිඋපය විසින්) නො ගනී, නැතැයි (අශාශ්වත යයි) ද නො ගනී, (ඒකත්‍යශාශ්වත විසින්) ඇත්තේත් නැත්තේත් වේ යයි ද නො ගනී, (අමරාවික්‍ෂේප විසින්) නො මැ ඇත්තේත් නැති නොවුයේත් වේ යයි ද නො ගනී, වැලි ක්ලේශාභාවයෙන් ගැඹුරු වූයේ අප්‍රමේය වූයේ අසඞ්ඛය වූයේ පිරිනිවියේ යැ මැ සඞ්ඛ්‍යාවට යෙයි. රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය වූ හෙයිනි.
යම් වේදනාවක් හේතු කොට ... යම් සංඥාවක් හේතු කොට ... යම් සංස්කාරයන් හේතු කොට ... යම් විඥානයෙක් හේතු කොට භවයෙහි සිටින්නාවූ ද හැසිරෙන්නාවූ ද සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම්, ඒ විඥානයාගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරැලීමෙන් විඥානක්‍ෂය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පුද්ගල (ආත්මයක් ලෝකයත් තෘෂ්ණා දෘෂ්ටින්) ඇතැයි ද නො ගනී, නැතැයි ද නො ගනී, ඇතැයි නැතැයි ද නො ගනී, නො මැ ඇත නැත්තේත් නේ වේ යයි ද නො ගනී. වැලි ගම්භීර වූයේ අප්‍රමේය වූයේ අසඞ්ඛ්‍ය වූයේ පිරිනිවියේ මැ යයි සංඛ්‍යාවට යේ.
‘ආගති’ යනු පරලොවින් මෙලොවට පැමිණීම යැ, ‘ගති’ යනු මෙලොවින් පුනර්‍භව සංඛ්‍යාත පරලොවට යෑම යැ, මෙලොවට පැමිණීම ද පරලොවට යෑම ද නො වෙත්. ‘නේවිධ’ යනු ෂඩ් ආධ්‍යාත්මික ආයතනයන්හි ‘න හුරං’ යනු ෂඩ්වහිරායතනයන්හි, ‘න උභයමන්තරෙන’ යනු ද්වාරප්‍රවෘත්ත වූ ඵස්සය සමග උපන් (විඤ්ඤාණ වේදනා සඤ්ඤා චේතනා විතක්ක විචාරාදි) ධර්‍මයන්හි ආත්මය නො දකී. ‘ඒසේවන්තෝ දුක්ඛස්ස’ යනු පටිච්චසමුප්පාද යැ, ඒ පටිච්චසමුප්පාදය ලෞකික ද ලෝකෝත්තර දැයි දෙවැදෑරුම් වෙයි. එහි ලෞකික පටිච්ච සමුප්පාදය: ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ යනු පටන් කොට ‘ජරාමරණ’ දක්වා වෙයි. ලෝකුත්තරපටිච්ච සමුප්පාදය: ‘සීලවතෝ අවිප්පටිසාරො ජායති’ යනු පටන් කොට ‘නාපරං ඉත්‍ථත්තායාති පජානාති’ යනු දක්වා වෙයි. එයින් වදාළහ, බුදුහු: “නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්‍ථි -පෙ- ඒසේවන්තෝ දුක්ඛස්ස” යී.
2. සත්ලොවැ යම් කිසි ශෝකයෝ හෝ පරිදේවයෝ හෝ වෙත් ද, අනේකප්‍රකාර වූ දුකකුත් වේ ද, ප්‍රිය වස්තුව නිසා තෙල ශෝකාදීහු උපදිති, ප්‍රිය වස්තු නැති කල්හි තෙල ශෝකාදීහු නො වෙත්.
3. යම් කෙනෙක්ට ලොවැ කිසි තැනෙක්හි ප්‍රිය වූවකු නැද්ද, එහෙයින් ඒ විගත ශෝක වූ රහත්හු සුව ඇත්තාහු වෙති, එකරුණෙන් නිශ්ශෝක වූ විරජ වූ නිවන ප්‍රාර්‍ත්‍ථනා කරනුයේ ලොවැ කිසි තැනෙක් හි (කිසි වස්තුවක්) ප්‍රිය නො කරන්නේ යි.
“යෙ කෙචි සෝකා පරිදේවිතා වා. දුක්ඛං ලෝකස්මිං අනෙකරූපං පියං පටිච්ච පභවන්ති එතෙ” යනු මේ දුක්ඛවේදනා යැ, “පියෙ අසන්තෙ න භවන්ති එතෙ” යනු මේ සුඛවේදනා යැ, මේ වේදනාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. යළි වේදනාප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි. (සියල්ල මෙසේ යි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එහි සුඛවේදනාව සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, දුක්ඛවේදනාව දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ ඉන්‍ද්‍රියයෝ සාස්‍රව වූ හවාඞ්ග වු යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්නයෝ යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව සාස්‍රව වූ හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
4. “තස්මා හි තෙ සුඛිනෝ විතසෝකා -පෙ- පියං න කයිරාථ කුහිං වි ලෝකේ” යනු
මේ තෘෂ්ණාප්‍රහාණ යි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි. (සියල්ල මෙසේ යි. ) මේ පටිච්චසමුප්පාදයෙන් සූත්‍රවර්‍ණනාවට බැසගැනීම යි. එ මැ තෘෂ්ණාප්‍රහාණය ශමථ යැ, ඒ ශමථය සතින්‍ද්‍රිය ද සමාධීන්‍ද්‍රිය දැයි’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ ශමථය සමාධිස්කන්‍ධ වෙයි. මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එ මැ ශමථය අනාස්‍ර වු නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෙහි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිත වෙති, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍ම ධාතුව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මයාතනයෙහි පර්‍ය්‍යාපන්න යැ. මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එයින් වදාළහ, බුදුහු: “යෙ කෙචිසොකා” යනාදිය.
5. වස්තුකාමය කැමැතිවන සත්ත්‍වහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි ඒ සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටුසිත් ඇතියේ වේ.
6. ඒ වස්තුකාමයන් කැමැතිවන උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ විෂපීත ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පීඩාවට පැමිණේ.
7. යමෙක් තමාගේ පාදය කෙරෙන් සර්‍පයාගේ හිස දුරුකරන්නා සේ වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ හෝ සමුච්ඡේද හෝ විසින් එහි ඡන්‍දරාග දුරැලීමෙන්) දුරුකෙරේ ද, හෙතෙම ලොවැ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවාලන්නේ’ යි.
එහි යම් ‘පීතිමන’ තායෙක් ඇද්ද මේ අනුනය යි. ‘සල්ලවිද්ධොව රුප්පති’ යී යමක් වදාළසේක් ද මේ ප්‍රතිඝ යි. අනුනය පටිඝ වැලිත් තෘෂ්ණාපක්‍ෂ යි. යළී තෘෂ්ණාවට රූපී දස ආයතනයෝ පදට්ඨාන යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එමැ දස රූපීආයතනයෝ නාමය හා සම්ප්‍රයුක්ත වූ රූපකාය වෙයි, ඒ දෙක නාමරූප යි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතනප්‍රත්‍යයෙන් ඵස්සය වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. (සියල්ල මෙසේ යි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එමැ නාමරූපය පඤ්ච ස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එමැ නාමරූපය අටළොස් ධාතූහු යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. එහි යම් රූපකායයෙක් ඇද්ද මොහු පඤ්ච රූපඉන්‍ද්‍රියයෝ යැ, යම් නාමකායයෙක් ඇද්ද මොහු පඤ්ච අරූපීඉන්‍ද්‍රියයෝ යැ, මොහු දස ඉන්‍ද්‍රියයෝ වෙති. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි.
එහි යමක් වදාළසේක් ද:
8. “යො කාමෙ පරිවජ්ජේති -පෙ- සතෝ සමතිවත්තති” යී.
මේ සඋපාදිසේසනිබ්බානධාතු යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. එමැ සඋපාදිසේසනිබ්බානධාතුව විද්‍යා යැ, විද්‍යොත්පාදයෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. (සියල්ල මෙසේ යි.) මේ ප්‍රතීත්‍යසමුත්පාදයෙන් අවතරණ යි. එමැ විද්‍යාව ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එමැ විද්‍යාව විරියින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි.
එමැ විද්‍යාව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෙහි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහීතයෝ යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එයින් වදාළහ, බුදුහු: “කාමං කාමයමානස්ස” යනාදිය.
මෙතෙකින් පටිච්චසමුප්පාද - ඉන්‍ද්‍රිය - ස්කන්‍ධ - ධාතු - ආයතනයෝ ඒ ඒ ධර්‍ම පදයෙහි සමෝසරණ - ඕතරණ වූවාහු වෙත්. මෙපරිද්දෙන් පටිච්චසමුප්පාද - ඉන්‍ද්‍රිය - ඛන්‍ධ - ධාතු - ආයතනයෝ නවාඞ්ගශාසනධර්‍මයෙහි අවතරණය කටයුත්තාහය. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “යො ච පටිච්චුප්පාදො” යනාදිය.
ඕතරණහාරය යොදන ලද්දේ යි.
3. 1. 13.
සෝධනහාරවිභඞ්ගය
එහි සෝධනහාරය කවරෙ යැ: “විස්සජ්ජිතම්හි පඤ්හෙ” යනාදි නිද්දේසගාථා යි. ආයුෂ්මත් අජිත පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්සි:
1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) ලෝවැසි තෙමේ කුමකින් වැසුණේ ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නො පැමිණේ ද? ඒ ලෝවැසිහට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරන දැ ද? ඒ ලෝවැසියාට මහත් භයහේතුව කුමක් දැ’ යි.
2. (අජිත’ යී බුදුහු මෙසේ වදාරති) ධර්‍මස්වභාව ප්‍රතිච්ඡාදනලක්‍ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසනලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ජාත්‍යාදි වට්ටදුක්ඛය ඒ ලෝවැසිහට මහත් භයහේතුව වේ යයි.
‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යන ප්‍රශ්නයෙහි ‘අවිජ්ජාය නිවුතො ලෝකෝ’ යි බුදුහු (අජිත තෙරුන් ප්‍රශ්නවශයෙන් අසන ලද) පදය (එහි අර්‍ත්‍ථය විසඳන හෙයින්) ශෝධනය කරන සේක, එහෙත් (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය නිමාවට නොගිය හෙයින්) ආරම්භය ශෝධනය නො කෙරෙති. ‘කෙනස්සු නප්පකාසති’ යන ප්‍රශ්නයෙහි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යී බුදුහු (තදර්‍ත්‍ථවිසර්‍ජනයෙන්) පදය ශෝධනය කෙරෙති, ඊප්සිතාර්‍ත්‍ථය නො නිමියෙන් නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන ප්‍රශ්නයෙහි ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යී පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිංසු තස්ස මහබ්භයං’ යන ප්‍රශ්නයෙහි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, (දැනගනුකැමැති අර්‍ත්‍ථය ප්‍රබෝධ කළ බැවින්) ආරම්භය ශුද්ධ වී, එයින් වදාළහ, බුදුහු: “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනාදිය.
3. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) තෘෂ්ණාදි ස්‍රෝතස්හු සියලු රූපාදි ආයතනයන්හි ගලාබසිති, ඒ ස්‍රෝතසුන්ගේ ආවරණය කිම? ආරක්‍ෂාව කවරැ’ යි සේයි, ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව, කවර දහමෙකින් තෘෂ්ණාදි ස්‍රෝතස්හු වසනු ලැබෙත් දැ? යි.
4. (අජිත’ යී බුදුහු වදාරති:) ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, විදර්‍ශනාසම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි, මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්. (සමුච්ඡේද කරනු ලැබෙතී සේයි.)
“සවන්ති සබ්බධි සෝතා සෝතානං කිං නිවාරණං” යන ප්‍රශ්නයෙහි ‘යානි සෝතානි ලෝකස්මිං සති තෙසං නිවාරණං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භය ශුද්ධ කෙරෙත්. ‘සෝතානං සංවර බ්‍රෑහි කෙන සෝතා පිථියරෙ’ යන ප්‍රශ්නයෙහි ‘සෝතානං සංවර බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ’ යි (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය අවබෝධ කරවනලද හෙයින්) ආරම්භය ශුද්ධ යි. එයින් වදාළහ බුදුහු: “යානි සෝතානි ලෝකස්මිං” යනාදිය.
5. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) නිදුකාණන් වහන්ස, මාර්‍ගප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූපය ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද? තෙල කරුණ මා විසින් පුළුවුස්නා ලද සේක් වදාළ මැනැවැ’ යි.
6. අජිතයැ තෙල (කත්‍ථේතං උපරුජ්ඣති’ යි) යම් ප්‍රශ්නයක් පුළුවුස්හි ද, එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙරපසු නො ව) ඒ විඥානනිරෝධයෙහි මැ තෙල නාමරූපය නිරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නොයෙයි.)
මේ ගාථාදේශනායෙන් ආරම්භ ශුද්ධ වී. එයින් වදාළහ, බුදුහු: “යමෙතං පඤ්හං අපුච්ඡි” යනාදිය. යම් ප්‍රශ්නවිසර්‍ජනයෙකැ දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වූයේ ද, ඒ ප්‍රශ්නය විසඳනලදුයේ වෙයි, වැළි යම් තැනෙක ආරම්භය අශුද්ධ වූයේ ද, තව ඒ ප්‍රශ්නය නො විසඳනලදුයේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහා කාත්‍යායනස්ථවීරයන් වහන්සේ: “විස්සජ්ජිතමහි පඤ්හෙ” යනාදිය.
සෝධනහාරය යොදන ලද්දේ යි.
3. 1. 14.
අධිට්ඨානහාරවිභඞ්ගය
එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “ඒකත්තතාය ධම්මා යෙ’පි ච වේමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
‘දුක්ඛ’ යනු ඒකත්‍ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්‍ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි.
‘දුක්ඛසමුදය’ යනු ඒකත්තතා (සාමාන්‍ය) යැ, ‘එහි දුක්ඛසමුදය කවරෙ යැ: පුනර්‍භවය ඇතිකරන නන්‍දිරාගය හා සහගත වූ ඒ ඒ භවයෙහි සිත් අලවන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මේ වේමත්තතා (විශේෂතා) යි.
‘දුක්ඛනිරෝධ’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධ කවරෙ යැ: ඒ ත්‍රිවිධ තෘෂ්ණාවගේ මැ යම් නිරවශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ වීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් අනාලයෙක් ඇද්ද එය යි. මේ වේමත්තතා යි.
‘දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධගාමිනී පටිපදා කවර: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වාචා යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ වේමත්තතා යි.
‘මග්ග’ යනු ඒකත්තතා යැ. ‘එහි මාර්‍ග කවරෙ යැ: නිරයගාමී (නිරයට යන) මාර්‍ග යැ තිරශ්චීනයෝනිගාමී මාර්‍ග යැ ප්‍රේත්‍යවිෂයගාමී මාර්‍ග යැ අසුරයෝනියට හිතවූ මාර්‍ග යැ ස්වර්‍ගගාමී මාර්‍ග යැ මනුෂ්‍යලෝකගාමී මාර්‍ග යැ නිර්‍වාණගාමී මාර්‍ග යි. මේ (මාර්‍ගයාගේ) විශේෂතා යි.
නිරෝධ යනු ඒකත්තතා යැ. එහි නිරෝධ කවරෙ යැ: අනිත්‍යාදි වශායෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රතිපක්‍ෂභාවනාවෙන් නිරෝධ යැ සංඛතධර්‍මයෙන්ගේ සරසනිරෝධ යැ හෙවත් ක්‍ෂණික නිරෝධ යැ අනුනයනිරෝධ යැ ප්‍රතිඝනිරෝධ යැ මානනිරෝධ යැ මක්ඛනිරෝධ යැ පලාස (යුගග්‍රාහ) නිරෝධ යැ ඊර්‍ෂ්‍යයානිරෝධ යැ මාත්සර්‍ය්‍යයනිරෝධ යැ සර්‍වක්ලේශයන්ගේ නිරෝධ යි. මේ නිරෝධයාගේ වේමත්තතා යි.