Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 801-900 න් 6387

වනපත්‍ථ සූත්‍රය සත්වැනි යි.
1. 2. 8.
මධුපිණ්ඩික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිම්බුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළැකුණු සේක් දිවා විහරණය පිණිස මහාවනයට එළඹි සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මුල දිවාවිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩපාණී සැහැරජරද ජඞ්ඝාවිහරණය පිණිස (කෙණ්ඩා විඩා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. තුස්නට නිසි සිහි කරණට නිසි කථා කොට නිමවා දඬුහිස එල්බ ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
“ශ්‍රමණ තෙමේ කිබඳු දිටුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?” යි.
“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද කොට නො සිටී ද, යම් කරුණින් කාමයෙන් විසංයුක්ත කොට විහරණ කරණ විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති, කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ (ක්ලේශයෝ) ලැග නො හොවිත් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව නෙරැනළවා (වෙන්ව පෙණෙන සේ) රැළි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන දඬිය හයාගෙන බැස ගියේ ය.
2. එක්බිති, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිසලණින් නැගී සිටි සේක් න්‍යග්‍රෝධාරාමයට වැඩි සේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසියෙමි. කිම්බුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කෙම් දිවාවිහරණය පිණිස මහාවනයට එළඹියෙමි. මහාවනයට වැද තරුණ බෙලිගසක් මුල දිවාවිහරණයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපානී ශාක්‍යරජ ද ජඞ්ඝාවිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (හුන්) මා වෙත එළඹියේ ය. එළඹ මා සමග සතුටු වීය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්බ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපානී ශාක්‍ය මට තෙල සැළ කෙළේ ය: “ශ්‍රමණ තෙමේ කෙබඳු දෘෂ්ටි ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?”යි.
3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලෝකයෙහි කිසිවකුත් හා විවාද කොට නො සිටී ද, යම් කරුණෙකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විචිකිච්ඡා රහිත වූ සිඳලූ කුකුස් ඇත්තා වූ කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති ඒ බමුණා වෙත ක්ලේශයෝ ලැග නො විහිත් ද, ඇවැත, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි”යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපානී ශාක්‍ය හිස සලා දිව නෙරා නළවා රැළි තුනක් ඇති නළල්රැල්ල නළලෙහි නංවා සෝලු දණ්ඩ සනාගෙන (තල්ලුයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.
4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක්, ලෝකයෙහි කිසිවකුත් හා විරුද්ධවාද නො කොට සිටින සේක් ද, වහන්ස, කෙසේ නම් කාමයෙන් වෙන් ව වාසය කරන කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලූ කුකුස් ඇති කුදු මහත් භාවයෙහි පහ වූ තෘෂ්ණා ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ ලැග නො හොවිත් දැ?” යි.
5. මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙකරුණෙහි (මම ය මාගේ ය යි) සතුටු වියයුත්තෙක් කිවයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
6. එක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගී වැඩි නො බෝ වෙලායෙහි ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසෙක් වී: “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන් ගේ කෙළවර. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවරය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ’ ය යි මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා අසුනෙන් නැගී විහාරයට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේ දැ?” යි.
7. යළි ඒ භික්‍ෂූන්ට මේ අදහස වී: “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුත් සම්භාවිත ය. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට සමර්‍ත්‍ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මෙහි අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි”
8. ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට මෙය කීහු: ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා වෙත පවතිද්ද. ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් (මම ය මාගේ යැයි) කියයුත්තෙක් ගිලගත යුත්තෙක් නැති නම්, මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය… මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ නො බෝ වේලෙහි මේ අදහස විය: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිත් ද … මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර විසින් බෙදා දක්වන්නේ දැ යි. ඇවැත් කාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. යම් හෙයකින් අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ මෙය විභාග කෙරේවා යි.
9. ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර සොයන හර සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නො වැටී සිටුනා හර ඇති මහරුකෙක මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හරය සෙවිය යුතු කොට සලකන්නේ ද, ආයුෂ්මත්නට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අර්‍ත්‍ථය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතියේ ය. ඇවැත්නි, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්‍මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්‍ම) වර්‍තක ය, ප්‍රවර්‍තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්‍ත්‍ථය ගෙණ දෙන්නේ)ය, අමුර්තදාතෘ ය, ධර්‍මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්‍ත්‍ථය පිළිවිසින්නහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරව යි.
10. ඇවැත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්‍මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්‍ම) වර්‍තක ය, ප්‍රවර්‍තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්‍ත්‍ථය ගෙණ දෙන්නේ) ය, අමුර්තදාතෘ ය, ධර්‍මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් එයට මෙකල් ම විය. යම් සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරන්නමු.
තවද ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ බර නො කොට අර්‍ත්‍ථ විභාග කෙරේවා යි.
11. එසේ නම් ඇවැත්නි, අසව මොනවට මෙනෙහි කරව කියන්නෙමි යි. ඇවැත්නි, එසේ යැයි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට පිළිවදන් දුන්හු. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිද්ද … මෙහි ඒ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය මම මෙසේ විස්තර විසින් දනිමි:
12. ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්‍කණය කෙරෙයි. යමක් විතර්‍කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්‍ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්‍තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ඇවැත්නි, කණ ද ශබ්දයන් ද නිසා ශොත්‍රවිඥානය උපදී … ඇවැත්නි, නැහැය ද ගඳ ද නිසා ඝ්‍රාණවිඥානය උපදී … ඇවැත්නි, දිව ද රසයන් ද නිසා ජිව්හාවිඥානය උපදී … ඇවැත්නි, කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී … ඇවැත්නි, සිත ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්‍කණය කෙරෙයි. යමක් විතර්‍කණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනෝධර්‍මාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ අතීතානාගතවර්‍තමාන වූ සිතින් දතයුතු වූ ධර්‍මයන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.
13. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්‍ෂුර්විඥානය ඇති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්‍කයැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්‍ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්‍කයැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
14. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සෝතවිඤ්ඤාණය ඇති කල්හි … නැහැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝානවිඤ්ඤාණය ඇති කල්හි … දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිව්හාවිඤ්ඤාණය ඇති කල්හි … කය ඇති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය ඇති කල්හි කායවිඤ්ඤාණය ඇති කල්හි … සිත ඇති කල්හි ධර්‍මය ඇති කල්හි මනෝවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්‍ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්‍ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
15. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්‍ෂුර්විඥානය නැති කල්හි ස්පර්‍ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් නැති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැයි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතර්‍ක යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්‍ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
16. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි සෝතවිඤ්ඤාණය නැති කල්හි … නැහැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාන විඤ්ඤාණය නැති කල්හි … දිව නැති කල්හි රසය නැති කල්හි ජිව්හාවිඤ්ඤාණය නැති කල්හි … කය නැති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි … සිත නැති කල්හි ධර්‍ම නැති කල්හි මනෝවිඤ්ඤාණය නැති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැයි පැනවීමක් නැති කල්හි විතර්‍ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්‍ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
17. ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මේ කරුණෙහි (ද්වාදශායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කියා යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්‍දනාදිය නැති බව ම) රාගානුසයයන්ගේ කෙළවර ය … මේ ද්වාදශායතනයන්හි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනන්ස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය මෙසේ දනිමි. ආයුෂ්මත්නි, තෙපි කැමතියව්හු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්‍ත්‍ථය පුළුවුස්ව. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරනසේක් නම් එය එසේ ධරව යි.
18. එක්බිති, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගේ දේශනාව අභිමුඛව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්හට තෙල සැළ කළහ:
19. “වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයාහට පවතිත් ද, ඉදින් මෙහි සතුටුවිය යුත්තෙක් කිය යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය … මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක් ද, වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලායෙකින් ඒ අපට මේ අදහස වී: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියායුත්තෙක් ගිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර ය. මෙහි ම මේ ලාමක වූ අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කවරෙක් බෙදා දක්වන්නේ දැ” යි.
20. “වහන්ස, ඒ අපට මේ අදහස වී ය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘහු විසිනුදු වර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම්, එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් මැනැවැ” යි.
21. “එක්බිති, වහන්ස, අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත් එළඹියම්හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්‍ත්‍ථය පිළිවිසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් විසින් මේ ආකාරයෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන ලද්දේ ය.”
22. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ පණ්ඩිතය. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අර්‍ත්‍ථය පිළිවිසුවහු නම් මහාකාත්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්‍ත්‍ථය මේ ම ය. එසේ ම දරව.
23. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රස නො ඉසිය යුත් මීපිඬුවක් (බදහත්වටක්) ලබා ද, හෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආස්වාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රසයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්‍මදේශනාවගෙ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුබව ලබන්නේ ම ය සිතේ පැහැදී ම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය ය කිනම් ඇත්තේ ද? ආනන්‍දය, එසේ නම් තෝ මෙහි ලා මේ ධර්‍මදේශනාව මධුපිණ්ඩිකපර්‍ය්‍යාය යැ යි දරව යි වදාළ සේක.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවැ යි සතුටින් පිළිගත්තේයි.
මධුපිණ්ඩිකසූත්‍රය අටවැනි යි.
1. 2. 9.
ද්වේධා විතක්ක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, බුදුවීමට පෙර ම බුදු නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතර්‍කයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙම් නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතර්‍කයකුත් යම් මේ ව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ විහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයකුත් යම් මේ අව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ අවිහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙළෙමි.
3. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතර්‍ක උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතර්‍ක උපන්නේ ය. ඒ කාමවිතර්‍ක තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ”යි. මහණෙනි, තමහට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපන් කාමවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
4. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්‍යාපාදවිතර්‍කය උපදී ... විහිංසාවිතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: ‘මට මේ විහිංසා විතර්‍ක උපන්නේ ය. ඒ විහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවති යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම් උපනුපන් විහිංසාවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
5. මහණෙනි, මහණ තෙමේ යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, නැවත නැවත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැඹුරුබව වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතර්‍කය ම බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය දුරු කෙරෙයි. කාමවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්‍යාපාද විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්‍යාපාදවිතර්‍කය දුරු කෙරෙයි. ව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්‍යාපාද විතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතර්‍කය බහුල කොට නැවැත නැවැත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතර්‍කය දුරු කෙරෙයි. විහිංසාවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතර්‍කය පිණිස නැමේ.
6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හක (හානි) වූ සරාකල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේ ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඬුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඇටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යෑමෙන් අවුරා සිටිනේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හේතු කොට ගෙන වධයක් හෝ බන්‍ධනයක් හෝ ධනහානියක් හෝ ගර්‍හාවක් හෝ දක්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්‍මයන්ගේ දෝෂය ලාමකබව කෙලෙසීම ද කුශල ධර්‍මයන් පිළිබඳ නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද විශුද්ධිපක්‍ෂය ද දිටිමි.
7. මහණෙනි, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: මට මේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපන්නේ ය. ඒ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් සඳහා පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දාවල මුළුල්ලෙහි ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්තවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානයෙහි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටු වමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)
8. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නාවූ ඒ මට අව්‍යාපාද විතර්‍කය උපදී ... අවිහිංසා විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි. මට අවිහිංසා විතර්‍කය උපන්නේ ය. ඒ අවිහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නොවූවෙකි. නිවන් පිණිස පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහි දු නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දහවල මුළුල්ලෙහි දු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතු කොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්ත වූ කල්හි සිත නොසන්හුන් වන්නේ ය. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සියසතන්හි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටුවමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නොසන්හුන් වේවා යි. (සිතීමෙනි.)
9. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, ඒ ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වේ. මහණෙනි, මහණ තෙමේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් කාමවිතර්‍කය දුරු කෙරෙයි. නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයට නැමෙයි. මහණෙනි, මහණ තෙමේ අව්‍යාපාද විතර්‍කය නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් ව්‍යාපාද විතර්‍කය දුරු කෙරෙයි. අව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අව්‍යාපාද විතර්‍කයට නැමෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ අවිහිංසා විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, විහිංසා විතර්‍කය දුරු කෙරෙයි. අවිහිංසා විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අවිහිංසා විතර්‍කයට නැමෙයි. මහණෙනි, යම් සේ ග්‍රීෂ්මඍතුවෙහි පශ්චිම මාසයෙහි සියලු ශෂ්‍යයන් ගමෙහි රැස් කළ කල්හි ගෝපොල්ලෙක් ගවයන් රක්නේ ද, රුක්මුලට ගියාවූ හෝ එලිමහනට ගියාවූ හෝ ඔහු විසින් ‘මොහු ගෙරිහු ය’ යි සිහි කිරීම් පමණෙක් ම වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ‘මොහු ශමථවිදර්‍ශනා ධර්‍මයෝ’ ය යි සිහිකිරීම් පමණෙක් ම වී ය.
10. මහණෙනි, මා විසින් (සිවුරඟින් යුත්) වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. (එබැවින්) එය නො සැඟුනේ වී. සිහිය එළඹ සිටියා ය (එබැවින්ම එය මුළා නොවූ ය. කය සන්සිඳුණේ ය. (එබැවින් ම) පහවූ දැවිලි ඇත්තේ වීය. සිත මැනැවින් පිහිටුවන ලදී. (එබැවින් ම) එකඟ විය. මහණෙනි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම දනවන සිත්හි එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු වීමෙන් මැදහත්ව ම වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනා නුවණ ඇත්තෙම් කයින් සුවය ද වින්දෙහි. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේ ය’ යි යම් ධ්‍යානයක් වර්‍ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. සුවය ද දුරු කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පෙර ම සොම්නස් දොම්නසුන්ගේ වැනසීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
11. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, ප්‍රභාස්වර කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, භාවනා කර්‍මයට සුදුසු කල්හි, ස්ථිති ප්‍රාප්ත කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. එනම් - ජාති එකක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති සයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාත සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද - “අසුවල් තැන උපනිමි. මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් විඳින්නෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් ච්‍යුතව අසුවල් තැන උපනිමි. එහිදී ද මෙනම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් වින්දෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. එ මම ඉන් ච්‍යුතව මෙහි උපන්නෙම් වෙමැ”යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පළමුයම්හි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමාදව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.
12. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනා කර්‍මයට සුදුසු කල්හි ස්ථිති ප්‍රාප්තකල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම ඉතා පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - මැරෙන උපදින උසස් පහත් මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි:
“මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. ආර්‍ය්‍යෝපවාද කරන්නෝ ය. මිසදිටුවෝ ය. මිසදිටුකම් සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වන විවසව පතිතවන නරකයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තයෝ ය. වාක්සුචරිතයෙන් යුක්තයෝ ය. මනඃසුචරිතයෙන් යුක්තයෝ ය. ආර්‍ය්‍යෝපවාද නොකරන්නෝ ය. සම්දිටුවෝ ය. සම්දිටුකම් සමාදන් වූ වෝය. ඔහු කාබුන් මරණින් මතු සුගතිනම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන්නෝය.” මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - උපදින මැරෙන උසස් පහත් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ මැදුම්යම්හි මේ දෙවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිතැතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.
13. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනාකර්‍මයට සුදුසු කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවයන් ක්‍ෂය කරන ඥානය පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම මේ දුකය යි තතුලෙස දතිමි. මේ දුක් හට ගැනීමේ හේතුයැ යි තතුලෙස දතිමි. මේ දුක් නැති කිරීම ය යි තතුලෙස දතිමි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙත යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයහ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයන්ගේ සමුදය යැයි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධ යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ යි තතුලෙස දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදිණ යි නුවණ විය. ‘උපත නැති විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු කිස කරන ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අනෙකෙක් නැතැ’ යි දතිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ වේ නම් එසේ ය.
14. මහණෙනි, මහවනයෙහි වනලැහැබෙක යම්බඳු මහත් නොගැඹුරු කුඩා දියවිලෙක් වේ ද, මහත් මුවරැළෙක් එය ඇසුරු කොට වසන්නේ ය. ඒ මුවරැළට අවැඩ කැමැති අහිත කැමැති භය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙතෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මගෙක් වන්නේ ද, ඒ මග වසන්නේ ය. නොමග විවෘත කරන්නේ ය. සේ මුවකු සිටුවන්නේ ය. සේ මුවදෙනක සිටුවන්නේ ය.
මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ පසුකලෙක අනයව්‍යසනයට තනුත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මහත් මුවරැළට ම වැඩ කැමැති හිත කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙ තෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි යම් මාර්‍ගයෙක් වන්නේ ද, ඒ මග විවෘත කරන්නේ ය. නොමග වසන්නේ ය. සේ මුවා නසන්නේ ය. සේ මුවදෙන නසන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ තෙමේ පසු කලෙක වැඩීමට පැතිරීමට මහත්බවට පැමිණෙන්නේ ය.
15. මහණෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දී ය. මෙහි මේ අදහස වේ: මහණෙනි, “මහන්තං නිත්තං පල්ලං” යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, “මහාමිගසඞ්ඝෝ” යන මෙය සත්ත්‍වයනට නමෙකි. මහණෙනි, “පුරිසො අනත්‍ථකාමේ අහිතකාමෝ අයෝගක්ඛේමකාමෝ” යන මෙය පාපී වූ මාරයාට නමෙකි. “කුම්මග්ගො” යන මෙය මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසංකල්පය මිථ්‍යාවචනය මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධියැ යි අටඟින් යුක්ත වූ මිථ්‍යාමාර්‍ගයට නමෙකි. මහණෙනි, “ඔකචරො” යන මෙය නන්‍දිරාගයට නමෙකි. මහණෙනි, ‘ඔකචාරිකා’ යන මෙය අවිද්‍යාවට නමෙකි. මහණෙනි, “පුරිසො අත්‍ථකාමෝ යොගක්ඛෙමකාමො” යන මෙය තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමෙකි. මහණෙනි, “ඛේමො මග්ගෝ සොවත්‍ථිකො පීතිගමනීයො” යන මෙය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්පය සම්‍යග්වචනය සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය යැයි අටඟින් යුක්ත වූ ආර්‍ය්‍යයමාර්‍ගයට නමෙකි.
16. මහණෙනි, මෙසේ මා විසින් නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මාර්‍ගය විවෘත කරන ලද්දේ ය. නොමඟ වසන ලද්දේ ය. සේ මුවා නසන ලද්දේ ය. සේ මුවදෙන නසන ලද්දේ ය. මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, තෙල වෘක්‍ෂමූලයෝ ය, තෙල ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. නාමක් පමාවවු. පසුව නාමක් විපිළිසරවවු මේ තොපට අපගේ අනුශාසනා යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
ද්වේධාවිතක්ක සූත්‍රය නවවැනි යි.
1. 2. 10.
විතක්කසණ්ඨාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු වහන්ස, යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
2. මහණෙනි, අධිචිත්තයෙහි (විදර්‍ශනාපාදක අෂ්ටසමාපත්ති චිත්තයෙහි) යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කළයුතුය. කවර පසෙක් ද යත්:
3. මහණෙනි, මේ ශාසනයෙහි යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මහණහුට ලෝභභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගතවූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්තවූ නිමිත්තෙක් මෙනෙහි කළ යුතුය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සිය සතන්හි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් ඇණයකින් මහා ඇණයකට ගසන්නේ ද, (ගසමින් පුවරුවෙන්) බැහැර කරන්නේ ද, (අතින්) ඇද දමන්නේ ද, මහණෙනි, එසේ ම යම් අරමුණකට පැමිණ යම් අරමුණක්මෙනෙහි කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහ සහගත් වූත් ලාමක අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙක් මෙනෙහි කළයුතු ය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔව්හු ප්‍රහීණ වෙත්. විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (1)
4. මහණෙනි, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ දුඃඛ විපාකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පිරික්සිය යුතුයි. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
මහණෙනි, යම් සේ තරුණ වූ සැරසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුණු සප්කුණකින් හෝ බලුකුණකින් හෝ මිනිස්කුණකින් හෝ හටගත් දුක් ඇත්තේ වන්නේ ද, ලජ්ජිත වන්නේ ද හටගත් පිළිකුල් ඇත්තේ වන්නේ ද, මහණෙනි, ඒ පරිද්දෙන්ම ඒ නිමිත්තයෙන් ද අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ තර්‍කයෝ දුඃඛවිපකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කොට බැලිය යුතුය. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් යම් ලාමක වූ අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (2)
5. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ විතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ අකුශල විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් ඇතුළත ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධි ගත වෙයි. මහණෙනි, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් හමුවට පැමිණි රූපයන් නො දකිනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ ඇස් පියා ගන්නේ හෝ වේ ද, අන් දෙසක් බලන්නේ හෝ වේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනැවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (3)
6. මහණෙනි, ඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ මුලස්ථානය මෙනෙහි කළයුතුයි. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් වහා යන්නේ ද, “කුමක් නිසා මම වහා යෙම් ද, මම සෙමෙන් යෙම් නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම සෙමෙන් යන්නේය. “කුමක් නිසා මම සෙමෙන් යෙම් ද, මම සිටින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ සිටින්නේය. “කුමක් නිසා මම සිටියෙම් ද, මම හිඳින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හිඳින්නේය. “කුමක් නිසා මම හුන්නෙම් ද, මම හොවින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හොවින්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමෙ ඉතා දැඩි ඉරියවු දුරු කොට ඉතා සියුම් ඉරියවු පවත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඒ මහණ හට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කළයුතුය. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (4)
7. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් (යට) දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නාවූ වෙසෙසින් තවන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් ඉතා දුබල වූ පුරුෂයකු හිස හෝ ගෙන කඳ හෝ ගෙන වෙසෙසින් නිගන්නේ ද, වෙසෙසින් පෙළන්නේ ද, වෙසෙසින් තවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. වෙසෙසින් තැවිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුගේ ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් නම් ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (5)
8. මහණෙනි, යම් තැනෙක පටන් යම් අරමුණක් ගෙන යම් අරමුණක් මෙනෙහි කරන මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ද, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
ඒ විතර්‍කයන්ගේ ද දෝෂය පරීක්‍ෂා කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
ඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
ඒ විතර්‍කයන්ගේ ද විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
යට දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා ගෙණ කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
මහණෙනි, මේ මහණ තෙමේ විතර්‍කවාරමාර්‍ගයන්හි පුරුදු කරනලද වශීභාවය ඇත්තේ යයි ද, යම් විතර්‍කයක් කැමති වන්නේ නම් ඒ විතර්‍කය විතකන්නේ යයි ද, යම් විතර්‍කයක් නොකැමති වන්නේ නම් ඒ විතර්‍කය නො විතකන්නේ යයි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජන උපුටා හළේ යයි ද, මැනැවින් මානය දුරු කිරීමෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
විතක්කසණ්ඨාන සූත්‍රය දසවැනි යි.
දෙවෙනි සීහනාද වර්‍ගය යි.
ඒ වර්‍ගයාගේ උද්දානය:
චූළමහාමිගපොපමනාදා දුක්ඛදුවෙ’පි සහත්තනුමානා ඛීලපථා මධු ද්වෙධ විතක්කා පඤ්චනිමිත්තකථෙස දුතීයො
චූළමහා, ‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා; මිගපඋපමනාදා, මෘගාධිපනාදෝපම නාද ඇති සූත්‍රයෝයැ හෙවත් – චූළසීහනාද මහාසීහනාද සූත්‍රයෝ දෙදෙනයැ; සහත්තනුමානා, (ආත්මප්‍රත්‍යවෙක්‍ෂා හා අනුමාන මාර්‍ග වදහළ) අත්තානුමාන සූත්‍රය සහගත කොට ඇති; දුවෙ දුක්ඛා අපි, (‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා) දුක්ඛ සූත්‍රයෝ දෙදෙන ය හෙවත් – චූළදුක්ඛක්ඛන්‍ධ මහාදුක්ඛක්ඛන්‍ධ යන උභය සූත්‍රයෝ යැ; ඛීලපථා, (‘ඛීල’ ශබ්ද හා ‘පත්ථ’ ශබ්ද හා පරපද කොට සිටුනා) චෙතොඛීල වනපත්ථ සූත්‍රයෝ යැ; මධු ද්වෙධවිතක්කා, මධුපිණ්ඩික ද්වෙධාවිතක්කා සූත්‍රයෝ යැ; පඤ්චනිමිත්තකථා, (“අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා පඤ්ව නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි” යනාදීන් වදාළ) පඤ්චනිමිත්තකථා සූත්‍ර යැ හෙවත් – විතක්කසණ්ඨාන සූත්‍ර යැ යන මොහු නිමියහ එසො දුතියො, තෙල දෙවන වගයි. (“නාමෛකදෙශග්‍රහණෙ නාමග්‍රහණං ස්‍යාත්” යනු න්‍යාය වන හෙයින් ‘ඛීලපත්ථ මධු’ ආදීන් කී නාමෛකදේශයෙන් තත් තත් සූත්‍ර සඞ්ග්‍රහ කොට ගන්නේ යැ; ‘ඛීලපත්ථා’ කියුව මනා තැනැ ‘ඛී’ යන දීර්‍ඝය හා ‘පථා’ යන විසංයෝගය ගාථාබන්ධ සඳහා වෙයි){*}
3. ඕපම්ම වර්‍ගය
1. 3. 1.
කකචූපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ ත්‍රිවිධ වෙලා ඉක්ම සිට මෙහෙණන් හා සංසටට්ඨ වැ (මුසුව) විහරණ කෙරෙති. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇති වැ වාසය කරති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු නො සතුටු වූවාහු අධිකරණ ද කෙරෙති. ඉදින් යම්කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන මහණහුගේ අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරති. මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.
2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක් හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ වේලා ඉක්මවා මෙහෙණන් හා මිශ්‍ර වූවාහු වාසය කෙරෙති. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇතිවැ වෙසෙති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් ඉදිරියෙහි ඒ මෙහෙණන් අගුණ කියා ද, එයින් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු අසතුටු වූවාහු නඩු ද පවරති. ඉදින් යම් කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නොසතුටු වූවාහු නඩු ද කියත්. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.”
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, තෝ මෙහි එව. මාගේ වචනයෙන් ‘ඇවැත, ඵග්ගුනය, ශාස්තෘන්වහන්සේ ඔබ අමතනසේකැ’ යි මොලියඵග්ගුන භික්‍ෂුහු අමතව. ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මොලියඵග්ගුන ආයුෂ්මත්හු වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරහුට මෙය කී ය: ඇවැත්, ඵග්ගුනය, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි කියා යි. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙමේ ‘එසේය, ඇවැත්නි’යි ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මොලියඵග්ගුන භික්‍ෂුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
4. ඵග්ගුනය, තෝ භික්‍ෂුණීන් සමග වෙලා ඉක්මවා වෙසෙහි යනු සැබෑ ද? ඵග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති ව වාසය කෙරෙහි ල: කිසි මහණෙක් තා හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් තෝ කිපියෙහි නො සතුටු වූයෙහි නඩු ද කියහි. ඉදින් කිසි මහණෙක් ඒ මෙහෙණන්ගේ හමුවෙහි තාගේ නුගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරත්. ඵගග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති වැ වෙසෙහි ද?” ‘එසේය, වහන්ස.’ ඵග්ගුනය, තෝ ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන කුලපුත්‍ර නො වෙහි ද? ‘වහන්ස, එසේය.’
5. “ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන තට වෙලා ඉක්මවා මෙහෙණන් හා තෝ හැනුණක්ව වසන්නෙහි යන යමක් වේ ද, එය නො නිසිය. එහෙයින් ඵග්ගුනය, ඉදින් කිසිවෙක් තා ඉදිරියෙහි ඒ මෙහෙණන්ගේ නුගුණ කියා ද, ඵග්ගුනය, එහි දී තෝ පඤ්‍චකාමගුණශ්‍රිත වූ යම් තෘෂ්ණාද්වේෂ ඡන්‍දයෝ වෙත් ද, ගෘහාශ්‍රිත විතර්‍කයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, ඒ නුගුණ කීමෙහි ලා තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත (රාගාදීන්) පෙරළුණේ නො වන්නේ ම ය. (මම) ලාමක වචන නො ද කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
6. ඵග්ගුනය, එහෙයින් මෙහි තා ඉදිරියෙහි කිසිවෙක් ඒ මෙහෙණන් ට ඉදින් අතින් පහර දෙන්නේ ද, කැටින් පහර දෙන්නේ ද, මුගුරින් පහර දෙන්නේ ද, සැතින් පහර දෙන්නේ ද, ඵග්ගුනය, ඒ පහර දීමෙහි ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත නො පෙරළුණේ වන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සහගත සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
7. ඵග්ගුනය, එහෙයින් මෙහි යම් කිසිවෙක් තා ඉදිරියෙහි දී තාගේ වුවත් නුගුණය කියන්නේ නම්, ඵග්ගුනය, එහි දී ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ ඇත් ද, යම් ගෙහසිත විතකකයෝ ඇත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇති ව මෛත්‍රි සිත් ඇතිව ද්වේෂ සිත් නැති ව වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
8. ඵග්ගුනය, එහෙයින් මෙහි තට වුවත් ඉදින් කිසිවෙක් අතින් පහර දේ ද, කැටින් පහර දේ ද, මුගුරින් පහර දේ ද, සැතින් පහර දේ ද, ඵග්ගුනය, එහි දී ද යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, තෝ ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචනයක් ද ප්‍රකාශ නො කරන්නෙමි. හිතානුකම්පිව මෙත්සිත් ඇතිව ද්වේෂසිත් නැති ව වාසය කරන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, එක් කලෙක (ප්‍රථම බෝධියෙහි) භික්‍ෂූහු ඒකාන්තයෙන්ම මා සිත් ගත්හ. මහණෙනි, මම භික්‍ෂූන් ඇමතීමි: ‘මහණෙනි, මම පෙරවරු එක්වේලේ බොජුන් වළඳ කරමි. මහණෙනි, මම එක්වේලේ වැළඳීම කරන්නෙම් නිරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු බව ද ශරීරශක්තිය ද පහසු විහරණය ද දනිමි. මහණෙනි, එවු, තෙපි ද නිරෝගී බවත් නිදුක් බවත් සැහැල්ලු බවත් ශරීර ශක්තියත් පහසු පැවැත්මත් දනිවු.’ මහණෙනි, එකල භික්‍ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනා කළ යුතු නො වී ය. ඒ භික්‍ෂූන්ට මා විසින් කළයුතු සිහි ඉපිදවීම පමණක්ම වී ය.
10. මහණෙනි, යම් සේ සමබිමෙක සතර මංසන්දියෙක (සුවසේ ගත හැකි ලෙස) තබනලද කෙහිටි ඇති, හික්මුණු අසුන් යෙදූ, රියක් ගමනට යුතු වැ සිටියේ වේ ද, දමනය කටයුතු අශ්වයන් හික්මවීමෙහි දක්‍ෂ වූ අශ්වාචාර්‍ය්‍යයෙක් තෙල රථයට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙහිට ගෙන කැමැති ගමනක් සඳහා ඉදිරියට මෙහෙයන්නේ ය. ආපසු හෝ මෙහෙයන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් ඒ භික්‍ෂූන් කෙරෙහි ද අනුශාසනාව කටයුතු නො වී ය. කළයුතු අනුශාසනාව සිහි ඉපදවීම පමණක්ම වී ය. මහණෙනි, එහෙයින් මෙහි තෙපි ද අකුසල් දුරු කරවු. කුසල්දහම්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපි ද මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.
11. මහණෙනි, යම් සේ ගමක් හෝ නියම්ගමක් හෝ අසල මහත් සල්වනයක් වේ ද, හේ ද සල්පිලිළයෙන් වැසුණේ වේ ද, එයට වැඩ කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් වේ නම්, හෙතෙම වක් වු ඕජා ගලා බස්නා වූ යම් ඒ තරුණ ශාලයෂ්ටිහු වෙත් ද, ඔවුන් සැස බැහැර කරන්නේය. ඇතුළු සල්වනය මැනවින් ශුද්ධ වූවක් කරන්නේ ය. ඍජු ව මැනවින් වැඩුණු යම් ඒ තරුණ ශාලවෘක්‍ෂයෝ වෙත් නම්, ඔවුන් මැනැවින් පෝෂණය කරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ සල්වනය පසුකලෙක වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම තෙපිත් අකුසල් දුරු කරවු. කුශලධර්‍මයන්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපිත් මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.
12. මහණෙනි, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර ම වේදේහිකා නම ගෙහඹුවක් වූය. මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ මෙබඳු කලණ කීර්තිශබ්දයෙක් පැනනැගී. වේදේහිකා ගැහැවිදූ සුරත ය. වේදේහිකා ගැහැවිදූ යටත් පැවතුම් ඇත්තීය. වේදේහිකා ගැහැවිදූ ශාන්තය, කියා ය. මහණෙනි, වේදේහිකා ගැහැවිදූවට කාළී නම් දාසියක් වූ ය. දක්‍ෂය. අනලසය. මනා ව සංවිධාන කළ කටයුතු ඇත්තීය.
13. මහණෙනි, කාළී දාසියට - “මාගේ ආර්‍ය්‍යාව පිළිබඳව, වේදේහිකා ගැහැවිදූ සුරතභාවයෙන් යුක්ත ය. වේදේහිකා ගැහැවිදූ යටහත් පැවතුම් ඇත්තීය. වේදේහිකා ගැහැවිදූ උපශාන්ත ය’යි කලන කීර්ති ශබ්දයෙක් පැන නැගිණ. කිමෙක් දෝ, මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නො කෙරේද? නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ ද? එසේත් නැතහොත් යම හෙයකින් මවිසින් ම තෙල කර්‍මාන්තයෝ සුසංවිහිත ද (මැනැවින් කරන ලදහු ද) එහෙයින් මාගේ ආර්‍ය්‍යා තොමෝ තමා තුළ ඇත්තාම වූ ම කෝපය පහළ නො කෙරේ ද නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව විමසා බලන්නෙම් නම් ඉතා මැනැවැ”යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති කාළී දාසී තොමෝ දහවල් කොට නැගිට සිටියා ය. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගෘහිණි තොමෝ කාළී දාසියට මෙය කීවු ය: “එම්බල කාළිය, ආර්‍ය්‍යාවෙනි, කීම?’ එම්බල කෙල්ල, කිම, දහවල් කොට නින්දෙන් නැගිට්ටෙහි ද? ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත.’ එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් දහවල් කොට නැගි සිටියෙහිදැ” යි කිපියා නො සතුටු වූවා බැම බිඳුම් කළා ය. (මුහුණ හැකිළී ය.)
14. “මහණෙනි, එකල කාළී දාසියට මේ අදහස වී ය: “මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කරන්නී ය. නැත්තා වූ ම කෝපය පහළ නො කරන්නී නො වේ. යම් හෙයකින් මා විසින් ම තෙල කර්‍මාන්තයෝ මැනැවින් සංහිත ද ඒ නිසා ආර්‍ය්‍යා තොමෝ තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කෙරේ ද, නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව බොහෝ සේ විමසා බලන්නෙම් නම් යෙහෙක” කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය වඩාත් දහවල් කොට නින්දෙන් නැගී සිටියා ය.
15. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගැහැවිදු කාළී දාසියට මෙසේ කිවූ ය: එම්බල කෙල්ල, කාළිය, යි ‘කීම, ආර්‍ය්‍යාවෙනි’, ‘කෙල්ල, කුමක් නිසා ඉතා දහවල් කොට නැගී සිටිහි ද?’ ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත’. “එම්බල පවිටු දාසිය, කිසිවක් නැතිව දවල් කොට නැගිට්ටා ය”යි කිපියා නො සතුටු වූවා නො සතුටු වචන පහළ කළා ය. එකල කාළී දාසියට මේ අදහස ඇති වී ය: ‘මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කරන්නී ය. නැත්තා වූ කෝපය පහළ නො කරන්නී නො වෙයි. යම් හෙයකින් මා විසින්ම ඒ කර්‍මාන්තයෝ සුසංවිහිත ද ඒ නිසා ආර්‍ය්‍යාතොමෝ තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව තවත් බොහෝ කොට විමසා බලන්නෙම් නම් මැනැවැ’යි කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පෙරටත් වඩා දහවල් කොට නැගී සිටියා ය. ඉක්බිති වේදේහිකා ගැහැවිදු තොමෝ කාළී දාසියට මෙසේ කීවා ය: එම්බල කාළිය, ‘ආර්‍ය්‍යාවෙනි, කිම?’ ‘කෙල්ල, කුමක් නිසා පෙරටත් වඩා දහවල් කොට නැගිසිටියෙහි ද?’ ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත. ‘එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් පෙරටත් වඩා දවල් කොට නැගිසිටියෙහි දැ යි කිපියා නොසතුටු වූවා අගුලුඉද්ද ගෙන හිසට පහරක් දුන්නා ය. හිස පැළුවා ය. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පැළුණු හිසින් ද ගලන ලෙයින් ද යුතු ව අසල්වැසියනට අඬගා නුගුණ කිවු ය: ආර්‍ය්‍යයෙනි, සුරත ස්ත්‍රියගේ ක්‍රියාව බලව. යටහත් පැවතුම් අත්තියගේ ක්‍රියාව බලව. උපශාන්ත තැනැත්තියගේ ක්‍රියාව බලව. කෙසේ නම් එක ම දාසියට ‘දහවල් කොට නැගී සිටියා ය’යි කිපියා නොසතුටු වූවා අගුලු ඉද්ද ගෙන පහර දුන්නී ද, හිස බින්දා දැ’යි කියා යි.
ඉක්බිති මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ පසුකාලයෙක මෙවැනි අපකීර්තියෙක් උස් ව නැංගේ ය: වේදේහිකා ගැහැවිදු චණ්ඩ ය, වේදේහිකා ගැහැවිදු නොදැමු නැ, වේදේහිකා ගැහැවිදු නො සන්හුන්ය කියා යි.
16. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම් තාක් අමනාප වූ වචනපථයෝ ඔහු නො පහසත් ද, ඒ තාක් ඉතා සුරතභාවය ඇත්තේ වෙයි. ඉතා යටහත් වූයේ වෙයි. ඉතා සන්හුන් වූයේ වෙයි. මහණෙනි, යම් තැනෙක පටන් ගෙන අමනාප වූ වචනයෝ ඒ මහණහු පවසත් ද, ඒතාක් මහණතෙමේ සුරත ය යි දත යුතුය. නිහතමාන ය යි දත යුතු ය. ශාන්ත ය යි දත යුතු ය. මහණෙනි, යම් මහණෙක් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට සුවසේ අවවාද විසින් කිය හැකි වේ ද, සුවච බවට පැමිණේ ද, ඒ මහණ සුවච ය යි මම නො කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නේ සුවච නො වෙයි. සුවචබවට නො පැමිණෙයි. එහෙයිනි. මහණෙනි, යම් මහණෙක් ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය පුදන්නේ සුවච වේ ද, සුවච බවට පැමිණේ ද, මම ඔහු සුවචයෙකැයි කියමි. මහණෙනි, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු: ධර්‍මයට ම සත්කාර කරමින් ධර්‍මය ගරු කරමින් ධර්‍මය පුදමින් සුවච වන්නෙමු. සුවචබවට පැමිණෙන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
17. “මහණෙනි, කාලයෙන් වේව යි අකාලයෙන් වේවයි, විද්‍යාමාන වුවෙන් වේවයි අවිද්‍යාමාන වුවෙන් වේවයි, මොළොක් වුවෙන් වේවයි රළු වුවෙන් වේවයි, අර්‍ත්‍ථසහිත වුවෙන් වේවයි අනර්‍ත්‍ථ සහිත වුවෙන් වේවයි, මෛත්‍රී සිත් ඇති ව හෝ ද්වේෂසිත් ඇති ව හෝ යම්කිසි වචනයෙකින් අන්‍යයෝ තොපට කියන්නාහු නම්, ඒ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙති. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූවෙකින් හෝ විද්‍යාමාන නො වූවෙකින් හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ වැඩෙන් යුක්ත වූ හෝ අවැඩෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ කිපි සිත් ඇතිව කියන්නා හු ය. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතු ය: ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේය. ලාමක වචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇත්තමෝ වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙයි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත්සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති ලෝකය මහත් වූ මහත්බවට ගිය අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති මහද්ගත සිතින් පතුරුවා වසන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
18. මහණෙනි, යම් සේ පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් රැගෙන එන්නේ ද, හෙතෙම මම මේ මහපොළොව නොපොළොව කරන්නෙමි’යි මෙසේ කියන්නේ ය. හෙතෙම ඒ ඒ තැන් සාරන්නේ ය. ඒ ඒ තන්හි පස් විසුරුවන්නේ ය. ඒ ඒ තැන කෙළපියන්නේ ය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේ ය. ‘නොපොළොවක් වේවා, නොපොළොවක් වේව’යි කියා ය. මහණෙනි, ඒ කිමැ යි කල්පනා කරන්නහු ද? ඒ පුරුෂ තෙම මේ මහා පොළොව නොපොළොවක් කරන්නේ ය යි සිතන්නහු ද? ‘වහන්ස, එසේ නො සිතන්නෙමු.’ එය කවර හෙයින? ‘වහන්ස, මේ මහපොළොව ගැඹුරු ය. පමණ නො කට හැකිය. නොපොළොවක් කරන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂයා ක්ලාන්ත වන්නේය. වෙහෙසට පත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන් ම කාලයෙහි හෝ අකාලයෙහි හෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ මොළොක් වූ හෝ රළු වූ හෝ අර්‍ත්‍ථ සහිත වූ හෝ අනර්‍ත්‍ථ සහිත වූ හෝ යම් වචනපථයෙකින් කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇති ව හෝ කියන්නාහු නම්, එහි මේ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙත්: මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ හෝ අර්‍ත්‍ථ සහිත වූ හෝ හෝ අර්‍ත්‍ථ රහිත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇතිව කියන්නාහු ය. එහි දී තොප විසින් මෙසේ හික්මිය යුතු ය. ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති වැ මෙත්සිත් ඇති ව නොකිපී සිත් ඇත ව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු.’
මෙත් සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති මුළු ලොව විපුල වූ මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති නිදුක් වූ පොළොව හා සමාන වූ සිතින් පතුරුවා වසන්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.