Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 701-800 න් 6387

28. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො පිළිසොයයි. කථාව බැහැර නො කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො වසා ද, කථාව බැහැර නො නෙරා ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
29. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැක්කේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැකි වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
30. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
31. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
32. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
33. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
34. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
ඇවැත්නි, මොහු (සොළස) සුවචභාවය කරන ධර්‍මයෝ යි කියනු ලැබෙත්.
35. ඇවැත්නි, මේ සොළොස් වැදෑරුම් ධර්‍මයෙහි ලා මහණහු විසින් තමා ම මෙසේ තුලනා කටයුතුයි: (සසඳා තීරණය කටයුතුයි: ) “යම් මේ පුද්ගලයෙක් පාපේච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වන්නෙමි. අමනාප වන්නෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නාවූ මහණහු විසින් “පාපේච්ඡා නැත්තෙම් ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වන්නෙමි”යි සිත ඉපිදවිය යුතු ය.
36. “යම් මේ පුද්ගලයෙක් වනාහි තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් තමා හුවා දක්නෙම් පරා හෙළා දක්නෙම් වන්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
37. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධයෙන් නො මඩනා ලද්දෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
38. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම් ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධය හේතු කොට බද්ධවෛර නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
39. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගැටෙනසුලු වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මම ද ක්‍රෝධ කරන සුල්ලෙම් වෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට නො ගැටෙන සුල්ලෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
40. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරනසුලු වූයෙම් ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නො නිකුත් කරමි” යි සිත ඉපදවිය යුතු ය.
41. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටී ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පටහැනි ව සිටින්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො පටහැනි ව සිටින්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.
42. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහා ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයා ගරහම් නම්, “මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො ගරහමි” යි සිත ඉපදවිය යුතු ය.
43. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයාට පෙරළා චෝදනා කරන්නෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පෙරළා චෝදනා නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
44. “යම් මේ පුද්ගලයෙක් වනාහි ද, චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසා ද, බැහැරට කථාව නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් නම්, බැහැරට කථාව නතු කරම් නම්, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි, බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
45. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැකි වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියමි” යි සිත ඉපදවිය යුතු ය.
46. “යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණ මකන්නේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ගුණ මකන්නෙම් යුගග්‍රාහ ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ගුණ නො මකන්නෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
47. “යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරු බැව් ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ඊර්‍ෂ්‍යා කරන්නෙම්, මසුරු බැව් ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ඊර්‍ෂ්‍යා නො කරන්නෙම්, නො මසුරු බැව් ඇත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
48. “යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් කෛරාටික වූයෙම් මායා ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “කෛරාටික නො වූයෙම්, මායා නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
49. “යම් මේ පුද්ගලයෙක් වනාහි තදබැව් ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “නො තදබැව් ඇත්තෙම් අධිකමාන නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
50. “යම් මේ පුද්ගලයෙක් වනාහි ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ, බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, බැහැර කිරීමට නො හැකි වූයෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැකි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
51. ඇවැත්නි, එහි ලා මහණහු විසින් “කිම, මම පාපේච්ඡා ඇත්තෙම් වෙම් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙම් දැ”යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම පාපේච්ඡා ඇත්තෙම් නො වෙමි. ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
52. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙම්” දැ යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
53. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙම්” දැයි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
54. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
55. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙන්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
56. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
57. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව නො සිටිමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
58. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා නො ගරහමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
59. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
60. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් ද, බැහැරට කථාව නතු කෙරෙම් ද කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසමි. බැහැරට කථාව නතු කෙරෙමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
61. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට හැක්කෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
62. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙමි”යි දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
63. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම් නො වෙමි. මසුරුබැව් ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
64. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටික වූයෙම්, මායා ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
65. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම නො තදබැව් ඇත්තෙම්, අධිකමාන නැත්තෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
66. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැක්කෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
67. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ නො පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
68. ඇවැත්නි, යම්සේ තරුණ වූ යොවුන් විය ඇති සැරසීම සැහැවි කොට ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු හාත්පසින් බබලන කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිති බලන්නේ ඉදින් එහි රජස් හෝ හටගත් තලකැලැල් ඈ දොසක් හෝ දකී ද, එම රජස් හෝ දොස් හෝ දුරුකිරීම පිණිස වෑයම් කෙරේ ද, ඉදින් එහි රජස් හෝ දොස් හෝ නො දකී නම්, “මට ඒකාන්තයෙන් ලාභයෙක, මාගේ මුව පිරිසිදු ය”යි එයින් ම සතුටු වේ ද, එසේ ම ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ නො පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් තමා තුළ දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් වනාහි මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
අනුමාන සූත්‍රය පස්වැනි යි.
1. 2. 6.
චේතෝඛිල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසළහු පස්දෙන නො පහ වූහු ද, සිත පිළිබඳ බැඳුම්හු පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
3. ඔහුගේ නො පැහු සිත්කසළහු පස්දෙන කවරහු ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඒ මහණහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ පළමුවන සිත් කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
4. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මය කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි, නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මය කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
5. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
6. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ සතරවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
7. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ප්‍රීතිසෞමනස්‍ය විසින් නොගන්නාලද සිත් ඇතියේ, ගැටුණු සිත් ඇත්තේ, උපන් සිත්කණු ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පස්වන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
මොහුගේ සිත පිළිබඳ කසළහු පස්දෙනා ප්‍රහීණ නො වූවාහු වෙත්.
8. ඔහුගේ සිත පිළිබඳ නො සිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පළමුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
9. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර නිතර වැර කිරීම පිණිස කෙලෙස් දැවීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
10. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
11. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, හම්මනතාක් කුස් පුරා වළඳා සෙය්‍යසුඛයෙහි (ඇඳ පුටු පහසින් වන සැපයෙහි) පස්සසුඛයෙහි (පෙරළි පෙරළි හෝනාහට වන පාර්ශ්වසුඛයෙහි) මිද්ධසුඛයෙහි (නිදීමෙන් වන සැපයෙහි) යෙදුණේ වෙසෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යුක්තප්‍රයුක්ත ව වෙසේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
ඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස් දෙන නො සිඳුණාහු වෙති.
13. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරුඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
14. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, චිත්තවිනිබන්‍ධයෝ මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
15. ඔහුගේ කවර නම් සිත් කසළහු පස් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
16. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මයෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මයෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
17. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
18. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සතරවන සිත් කසළ ප්‍රහීණ වූයේ වෙයි.
19. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
ඔහුගේ මේ සිත්කසළහු පස් දෙන ප්‍රහීණ වූවාහු වෙත්.
20.ඔහුගේ කවර නම් චිත්තවිනිබන්‍ධයෝ පස් දෙනෙක් මොනවට සිඳුණාහු වෙත් ද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
21. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ දෙවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
22. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තුන්වන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
23. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, හම්මනතාක් කුස පුරා ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුනේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කුස පිරෙන සේ හම්මනතාක් ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුණේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.
24. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, එක්තරා දේව නිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.
ඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු වෙත්.
25. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත්කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
26. හෙ ඡන්‍දාධිපති සමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් (උතුම් වීර්‍ය්‍යයෙන්) යුක්ත වූ ඍද්ධි පාදය (ඍද්ධි උපාය) වඩයි. වීර්‍ය්‍යාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. උත්සාහය (හැම තන්හි කටයුතු වීර්‍ය්‍යය) පස්වැනි වෙයි.
27. මහණෙනි, මෙසේ වීර්‍ය්‍යය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ. මහණෙනි, යම්සේ කිකිළියකට බීජ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වේ ද, ඒ බීජයෝ කිකිළිය විසින් මොනවට මතුයෙහි හෝනා ලද්දාහු මොනවට උණුසුම් කිරීමෙන් හිදවන ලද්දාහු කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙත් ද, හුදෙක් ඒ කිකිළියට මාගේ කුකුළු පැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙබඳු ඉච්ඡායෙක් නො උපදනේ ය. එතෙකුදු වුවත් ඒ සියලු කුකුළුපැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නට නිසි වූවාහු ම වෙත්. මහණෙනි, එපරිද්දෙන් ම මෙසේ උත්සාහය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්හ.
චේතෝඛිල සූත්‍රය සවැනි යි.
1. 2. 7.
වනපත්‍ථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි, යි භික්‍ෂූන් ඇමැතූසේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, තොපට වනපත් දෙසුමක් දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව, කියමි යි වදාළ සේක. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ එක්තරා වනපත් සෙනසුනක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට පළමු නො එළඹ සිටි සිහිය වනපෙත් ඇසුරු කළ ද නො එළඹ සිටියි. පළමු එකඟ නො වූ ද සිත වනපෙත් ඇසුරු කළ ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
4. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො ද එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. “මම වනාහි මේ වනපත් ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි.
පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතුකොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙනබව නුවණින්) දැන ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
5. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදුවුවත්, මේ වනපත ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද, අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙ මි.” මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නිපැදෙනසෙ නුවණින්) දැන ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
6. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
“මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිමියෙනුදු ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
7. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නියම්ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නුවරක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා ජනවියක් ඇසිරි කොට වෙසෙයි...{*}
8. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. එක්තරා පුඟුලකු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් ද, ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මා හට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු දුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ නො පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල නො ලුහුබැඳිය යුත්තේ ය.
9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලක්හු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
“මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් සැපයෙත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙන් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙන බව නුවණින්) දැන පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල තෙමේ නො නුහුබැඳිය යුත්තේ ය.
10. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණේ. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය පිඬුවා හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... සෙනසුන් හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් මහණුවන් නිපැදෙන බව (නුවණින් දැන) ඒ පුද්ගල තෙමේ නුහුබැඳිය යුත්තේ යි. බැහැර නොයා යුතු යි.
11. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වු ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු ය. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිම් කොට ඒ පුද්ගල නුහුබැඳිය යුත්තේ යි. බැහැර කරනු ලබන්නහු විසිනුදු නො යායුතු යි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි සතුටින් පිළිගත්හ.