Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 601-700 න් 6387

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් නාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තේය.
මහාසීහනාද සූත්‍රය දෙවැනියි.
1. 2. 3.
මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනා සමඟ ධර්‍මදේශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයෝග කවරේ ද? නානාකාරණය කුමක් ද?
3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නෙමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු.
ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනාව සමග ධර්‍මදේශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයෝගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.
5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.
6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමෝපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.
7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුළං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘ඒකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය’යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හේතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භෝගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භෝගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගෝපනය කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.
10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරයා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරිය සමඟ විවාද කරයි. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හේතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජෝතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජෝතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති.
ඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම් ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳුවති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හේතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.
16. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද, තතු සේ නොදනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් විදසුන් විසින් පිරිසිඳ දන්නාහු ය. යම්සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් පිරිසිඳ දන්නාහු ය. යම් සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.
17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්‍ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.
18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්‍ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රෝගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මේද රූපයන්ගේ ආදීනවය යි.
19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රෝගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.
20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ... අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්වන් පැහැ ඇට ඇති ... අවුරුදු ගණන් ඉක්ම ගියාවූ රැස් වූ ඇට ඇති ... කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
24. මහණෙනි, රූපයන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ඡන්‍දරාග විනයයෙක් යම් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයන්ගේ නිස්සරණය යි.
25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.
26. මහණෙනි, වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වේදනාවක් ම විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.
27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්‍ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්‍ක රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රහාණියෙන් ද දුඃඛප්‍රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වේදනාව විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.
28. මහණෙනි, වේදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වේදනාව අනිත්‍ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වේදනාවන්ගේ ආදීනව ය යි.
29. මහණෙනි, වේදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වේදනාවන්හි යම් ඡන්‍දරාග විනයයෙක් වේ ද, ඡන්‍දරාග ප්‍රහාණියෙක් වේ ද, මෙය වේදනාවන්ගේ නිස්සරණය යි.
30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත්‍රය තෙවැනි යි.
1. 2. 4.
චුළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.
2. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු විසින් දෙසූ දහම මෙසේ මම දීර්‍ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වේෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මෝහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වේෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මෝහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්‍දේහ සහිත සිත) යි.
3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වේෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලෝභද්වේෂමෝහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලෝභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලෝභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.
4. මහානාමය, ඉදින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලේශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සෝවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)
5. මහානාමය, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)
6. මහානාමය, මාර්‍ගසම්බෝධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබෝධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.
7. මහානාමය, යම්කලෙක් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහූපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුල යැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයින් ප්‍රඥායෙන් දක්නා ලදුයේ වී ද, මම ද කාමයන් විනාමැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම කෙළෙම් වෙම් ද, එ වරා ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙළෙම් වෙම් ද, එකල මම “කාමයෙහි අනාවර්තීයෙමි”යි පිළින කෙළෙමි.
8. මහානාමය, කාමයන්ගේ ආස්වාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමෝපසංහෘත වූ සිත්රඳනට නිසි වූ චක්‍ෂුර් විඥේය රූපායතනයෝ ය ... ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ ය ... ජිහ්වාවිඥේය රසායතනයෝ ය, ඉෂ්ටාරම්මණවූ මනාපවූ ප්‍රියරූපවූ කාමෝපසංහෘතවූ, රජනීයවූ, කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ ය. මහානාමය, මොහු පඤ්චකාමගුණයෝ යි. මහානාමය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආස්වාද නම් වෙයි.
9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවැ කුලපුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩගණනායෙන් වේව යි, කෘෂිකර්‍මයෙන් වේව යි, වෙණෙදාමෙන් වේව යි, ගෝරක්‍ෂායෙන් වේව යි, අවි වටනින් වේව යි, රාජපුරුෂකර්‍මයෙන් වේව යි, ශීතයට පුරෂ්කෘත වැ (ශීතයට පෙරට වැ) උෂ්ණයට පුරෂ්කෘත වැ මැසි මදුරු වාසුළඟසපු යන මුන්ගේ දළපහසින් ගැටෙමින් සාපවසින් මියමින් යම්මැ ශිල්පයෙකින් දිවිවැටුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබඳ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇති වෙයි.
10. මහානාමය, ඉදින් මෙසෙයින් (ආජීවසමුත්‍ථාපක වීර්‍ය්‍යයෙන් උසා කරන, (පූර්‍වාපරවීර්‍ය්‍යය) ඝටනා කරන, ඵලනිෂ්පත්ති සඳහා පියෝ කරන, ඒ කුලපුත්හට ඒ භෝගයෝ පලදාවිසින් අභිනිෂ්පත්ති නො කෙරෙත් නම්, හෙ සොන්නේ ය. කළ කිරෙන්නේ ය. වලපන්නේ ය. ළමිඩියෙහි අත් පුනපුනා පැහැර හඬන්නේ ය. (විසංඥයකු සෙයින්) සම්මෝහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මා උසා සිස් වී. එකැතින් මා උසා අඵල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
11. මහානාමය, ඉදින් මෙසෙයින් උසා කරන, ඝටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ පලදා විසින් නිපදිත් නම්, හෙ ඒ භෝගයන්ගේ ආරක්‍ෂා කාරණ කොට ගෙන දුක් දොම්නස් වළඳ කෙරෙයි. කෙසේය යත්: “කිනම් උපායෙකින් මා අයත් භෝගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, ගිනි නො දවා ද, දිය උල්පවා නො වහා ද, අප්‍රියදායාදයෝ නො නෙරත් ද” කියා යි.
12. මෙසෙයින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උහුගේ ඒ භෝගයන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. ගිනි හෝ දවයි. දිය හෝ පා කෙරෙයි. අප්‍රිය දායාදයෝ හෝ නෙරත්. හෙ සොස්නේ ය, කළකිරෙන්නේ ය, වලප්නේ ය, ළමිඬියෙහි අත් පැහැර හඬන්නේ ය, සම්මෝහයට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙක් මට වී ද, එ ද අපට නැති වී” කියා යි. මහානාමය, මේද කාමයන්ගේ ආදීනවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
13. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුද්ධ වාද කෙරෙත් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුදු පුතු හා විවාද කෙරෙයි. පිත් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු දු සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බින්හැඹු හා විවාද කෙරෙයි. බින්හැඹු දු බෑයා හා විවාද කෙරෙයි. යහළු දු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුද්ධග්‍රහණ විරුද්ධවාදයට අවන්නාහු උනුන් අතිනුදු පහරත්. කැටිනුදු පහරත්. දඩියෙනු දු පහරත්. සැතිනුදු පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කාමයන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
14. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබමොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ, දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට පිවිසෙති. ඔහු එහි දි ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කමායන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් හේතු කොට ගෙන පවත්නේ ය.
15. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට කාමයන් මැ හේතු කොට, සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබ මොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කකියන ගොමිනු දු තෙමත් ශත දන්තයෙනුදු අවමර්දන කෙරෙත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙත්. මහානාමය, මෙ ද කාමයන්ගේ ආදීනවය වෙයි. සාංදෘෂ්ටික දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.
16. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට, උමඟ ද සිඳිත්. නිර්ලෝප (ගම්පැහැරිම්) කොට නෙරත්. ජීවග්‍රාහයෙන් ගෙනැ ධන නෙරිම් ද කෙරෙත්. මඟනැහිමෙහිදු සිටිත් පරඹුන් කරා ද යෙති. රජදරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙති: කටුමතිගායෙනු දු තළත්. වේවැලිනුදු තළත්. අත ද සිඳිත්. පය ද සිඳිත්. අත්පා ද සිඳිත්. කන ද සිඳිත්. නැහැය ද සිඳිත්. කන්නැහැ ද සිඳිත්. බිළඞ්ගථාලිකවධ ද කෙරෙත්. සඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත්. රාහුමුඛවධ ද කෙරෙත්. ජෝතිමාලිකවධ ද කෙරෙත්. හත්‍ථපජ්ජෝතිකවධ ද කෙරෙත්. ඵරකවත්තිකවධ ද කෙරෙත්. චීරකවාසිකවධ ද කෙරෙත්. එණෙය්‍යකවධ ද කෙරෙත්. බළිසමංසිකවධ ද කෙරෙත්. කහාපණක වධ ද කෙරෙත්. ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත්. පලිඝපරිවත්තිකවධ ද කෙරෙත්. පලාලපීඨකවධ ද කෙරෙත්. තප්තතෛලයෙනුදු තෙමත්. කීණබල්ලන් ලවා කවත්. දිවස් හුලැ හිඳුවත්. දඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද වැදගනිත්. මරණමාත්‍රදුඃඛයට ද යෙත්. මහානාමය, මේද කාමාදිනවය, සාන්දෘෂ්ටික දුඃඛස්කන්‍ධයෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිළිබැදි මැ හේතු ඇතියේ වෙයි.
17. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට කාමයන් කරණ කොට, කාමයන් මැ හේතුකොට, කයින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් පුරා, වචනයෙන් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා, කාබුන් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුනා නපුරුගතියක් වන විවසව වැ වැටෙන තැන් වන නිරයට එළඹෙත්. මහානාමය, මේ කාමාදිනවය සාම්පරායිකදුඃඛ ස්කන්‍ධයෙකි. කාමයන් ප්‍රත්‍යය කොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.
18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවේදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹියෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තීව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවේදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශේෂ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥානදර්‍ශනය එළඹ සිටුනේ ය කියා” යි.
හෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි.
19. මහානාමය, මෙසේ කීකල මම එ නුවටුනට තෙල කීයෙමි: ඇවැත්නි, නුවටුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවූමෝ නො වූම්හ”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුම්හ. ඇවැත්නි නුවටුනි, “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ. නොකළාවමෝ නො වූම්හ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්. ඇවැත්නි, නුවටුනි, “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරුණුකල දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, මෙසෙයින් තෙපි “පෙර වූවෝ මය, නුවූවෝ නො වූම්හ” යි නො දනුව. “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ, නොකළාවමෝ නො වූම්හ” යි නො දනුව. “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතු ය. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යැ යි නො දනුව. “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවටුනි, මෙසේ වත් මැ, ලෝකයෙහි රෞද්‍ර, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවටුන් කෙරෙහි පැවිදි වෙති.
20. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය (ලැබිය යුතු) නොවේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, සේනා ඇති, දැකුම්කලු අත් බැව් ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ.
21. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම් ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආයුෂ්මත් නුවටුන් විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියන ලද.
22. වැළිදු මම මැ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය යුතුයෙමි. කෙසේ ය: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.
23. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ ය. ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා මගධේශ්වර බිම්බිසාර සේනියරජ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, අප විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියනලද මැයි. වැළිත් තෙල තිබේවා. දැන් වේව යි අපි ආයුෂ්මත් ගොයුම්ගොතුවන් විචාරම්හ: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.
24. ඇවැත්නි, නුවටුනි, එකරුණින් තොප මැ එහිලා පුළුවුසුම්හ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්නි, ඒ කිමැ යි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සත් දවරැයක් නරතුරි සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ. ඇවැත්නි, ඒ කිමැයි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නො බෙණෙමින් දවරැය සයක් ... විහරණ කරන්නට හැකියේ ද?... දවරැය පසක් ... දවරැය සතරක් ... දවරැය තුනක් ... දවරැය දෙකක් ... එක් දවරැයක් ... නරතුර සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ.
25. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරැයක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරැය දෙකක් ... දවරැය තුනක් ... දවරැය සතරක් ... දවරැය පසක් ... දවරැය සයක් ... දවරැය සතක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, ඒ කිමැ යි සිතන්නාව? මෙසෙයින් වත් මැ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ යැ, මම් හෝ ය? මෙසෙයින් වත් මැ මගධේශ්වර බිම්බිසාර සේනියරජුට වඩා ආයුෂ්මත් ගොයුම්ගොතුවෝ අධික සුඛවිහරණ ඇතියහ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසුත වදාළහ. සතුටුසිත් ඇති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට පිළි ගත්තේ ය.
චූළදුක්ඛක්ඛන්‍ධසූත්‍රය සතරවැනි යි.
1. 2. 5.
අනුමාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්‍ෂූන් ඇමැතූහු. ඒ භික්‍ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්වච වූයේ දුර්‍වචභාවය කරන (මතු එන සොළොස්) ධර්‍මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.
2. ඇවැත්නි, දුර්‍වචභාවය කරන ධර්‍මයෝ කවරහ?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපේච්ඡ වූයේ, ලාමකඉච්ඡාවන්ගේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ ලමු ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (1)
3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා දක්නේ පරා හෙළා වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (2)
4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (3)
5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (4)
6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (5)
7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (6)
8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටුනේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට ප්‍රත්‍යනීක ව සිටී ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (7)
9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගටා ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (8)
10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට වටාලා චෝදනා කරයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (9)
11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (10)
12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (11)
13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (12)
14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (13)
15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (14)
16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (15)
17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ හරනට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (16)
ඇවැත්නි, මොහු (සොළස) දුර්‍වචභාවය කරන ධර්‍මයෝ යැ යි කියනු ලැබෙත්.
18. ඇවැත්නි, මහණ “මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වා”යි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්‍මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.
19. ඇවැත්නි, සුවචභාවය කරන ධර්‍මයෝ කවරහ?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
20. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
21. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
22. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
23. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
24. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නිකුත් නො කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නො විහිදනුයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
25. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටියි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටීද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
26. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටාද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
27. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.