මහණෙනි, චක්‍ෂුස යථාභූත වැ දන්මින් දක්මින් රූපයන් යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුර් විඥානය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුසෙහි නො ඇලෙයි. රූපයන්හි නො ඇලෙයි. චක්‍ෂුර්විඥානයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්සයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.
අසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනව දක්මින් වාස කරණ ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය ඇති කරන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්. හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.
එබඳු වූවහුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහුගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, ඒ ව්‍යායාමය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ස්මෘතිය ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, ඒ සමාධිය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඒ මහණහුගේ කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වේ. මෙසේ ඒ මහණහට මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.
මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඒ මහණහට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්චේන්‍ද්‍රියෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද භාවනායෙන් පිරීමට යෙත්.
ඔහුට ශමථය ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ පවත්නාහ. හෙතෙම යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් දුරු කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් වඩයි, යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙත් ද යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට පිළිතුරු කියයුතු වෙයි. ඒ මෙසේ යැ. රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙත්.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද යත්: ශමථය ද විදර්‍ශනාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: විද්‍යාව ද විමුක්තිය ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත්.
මහණෙනි, ශ්‍රෝත්‍රය යථාභූත කොට දන්මින් දක්මින් ... මහණෙනි, ඝ්‍රාණය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, ජිහ්වාව යථාභූත වැ දන්මින් දක්මින් …මහණෙනි, කය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, මනස යථාභූත වැ දන්මින් දක්මින් ධර්‍මයන් යථාභූත වැ දන්මින් දක්මින් මනෝවිඥානය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් මනසෙහි නො ඇලෙයි. ධර්‍මයන්හි නො ඇලෙයි, මනෝවිඥානයෙහි නො ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි නො ඇලෙයි. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.
අසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනවානුදර්ශී වැ වෙසෙන ඔහුට මතුයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවික වූ නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරණ තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්, හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.
එබඳු මහණහු ගේ යම් දෘෂ්ටියක් ඇද්ද, එය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහු ගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, එය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, එය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඔහුට කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහුට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.
මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඔහුට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සතර ඍද්ධිපාදයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද වැඩීමෙන් පිරීමට යෙත්.
ඔහුට ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ වැඩෙති. හේ යම් ධර්‍ම කෙනෙක් ප්‍රඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රහීණ කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් භාවනා කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් සාක්‍ෂාත් කෙරේ.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙති යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට කියැයුතු යැ. ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ යැ. වේදනෝපාදානස්කන්‍ධ යැ. සංඥෝපාදානස්කන්‍ධ යැ. සංස්කාරෝපාදානස්කන්‍ධ යැ. විඥානෝපාදානස්කන්‍ධයි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙති.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙති යත්: ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.
මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙති යත්: විද්‍යා ද විමුක්ති ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාෂඩායතනික සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළෝ.
සත් වැනි මහාසළායතනික සූත්‍ර යි.
3. 5. 8.
නගරවින්‍දෙය්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහාභික්‍ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් කොසොල්රට නගරවින්‍ද නම් බමුණුගමට වැඩිසේක. නගරවින්‍දයෙහි වැසි බමුණු ගැහැවියෝ මේ ඇසූහ: ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාභික්‍ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් නගරවින්‍දයට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කල්‍යාණ කීර්තිශබ්දය උස් වැ නැඟිණ: ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්‍හත් වූහ. සම්‍යක්සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස්චරණයෙන් සමන්‍විතයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවි මිනිස්නට ශාස්තෘ වූහ. බුද්ධයහ. භාග්‍යවත්හ’ යි. ඒ භාග්‍යවත්හු සදේවක සමාරක සබ්‍රහ්මක වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව ඇති දෙවිමිනිසුන් සහිත මේ ලෝකය තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ ධර්‍මය දෙසන සේක. පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කරන සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම මනා මැ නු’ යි.
ඉක්බිති නගරවින්‍දයෙහි වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට පිණිපා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් නගරවින්‍දයෙහි වැසි බමුණුගැහැවියනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
ඉදින් ගැහැවියෙනි, අන්තොටු පිරිවැජියෝ තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ගැහැවියෙනි, කෙබඳු පියවි ඇති මහණ බමුණෝ සත්කාර නො කටයුත්තාහු ද ගරුකාර නො කට යුත්තාහු ද බුහුමන් නො කටයුත්තාහු ද නො පිදියයුත්තාහු දැ? යි”, ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරන්නහු යැ: ‘යම් මහණබමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිත් ඇති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු චක්‍ෂුර්විඥේය රූපයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ, තමා තුළ නො සන්හුන් සිතැතියම්හ. කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යාවක් නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා මැ වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙත්.
යම් ඒ මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙහි … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය වූ රසයෙහි ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය වූ ධර්‍මයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිතැති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු මනෝවිඥේය වූ ධර්‍මයෙහි නො පැහූ රාග ඇතියම්හ. නො පැහූ ද්වේෂ ඇතියම්හ. නො පැහූ මෝහ ඇතියම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වියහෙයි. එයින් ඒ භවත් මහණබමුණෝ සත්කාර නො කළයුතු වෙති, ගරුකාර නො කළ යුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙති’ යි. මෙසේ පුළුවුස්නාලද ගැහැවි වූ තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියවු.
ඉදින් ගැහැවියෙනි, අන් තොටු පිරිවැජියෝ ‘ගැහැවියෙනි, කෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙත් ද ගරුකාර්‍හ වෙත් ද මානනාර්‍හ වෙත් ද පූජනාර්‍හ වෙත් දැ?’ යි. තොප මෙසේ පුළුවුස්නාහු නම් ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව. යම් මහණ බමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෙහි පැහූ රාග ඇති වෙත් ද පැහූ ද්වේෂ ඇති වෙත් ද පැහූ මෝහ ඇති වෙත් ද තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. ඒ කවර හෙයින යත්: අපි වනාහි චක්‍ෂුර් විඥේය රූපාලම්බනයෙහි නො පැහූ රාග ඇතියම්හ, නො පැහූ ද්වේෂ ඇතියම්හ, නො පැහූ මෝහ ඇතියම්හ, තමා තුළ නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද විය හෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෙහි ... ජිහ්වාවිඥේය රසාලම්බනයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි වීතරාග වෙත් ද වීතද්වේෂ වෙත් ද වීතමෝහ වෙත් ද, තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද, කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද, මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්, ඒ කවර හෙයින යත්: අපි වනාහි මනෝවිඥේය ධර්‍මයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්’ යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව.
ගැහැවියෙනි, ඉදින් තොප අතින් අන්තොටු පිරිවැජියෝ මෙසේ විචාරත් ද, (කෙසේද යත්: ) ‘යම් හෙයෙකින් ඇවැත්නි, තෙපි ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති, රාගවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතමෝහ හෝ වෙති, මෝහවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති’ යි මෙසේ කියවු ද, ඒ ආයුෂ්මතුන්ගේ තාදෘශාකාරයෝ කවරහ, අන්‍වයයෝ කවරහ’ කියා යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව: ‘එසේ මැ යැ. ඒ ආයුෂ්මත්හු අරණ්‍ය වානප්‍රස්ථ ප්‍රාන්ත ශයනාසනයන් සෙවිති. එහි යම් බඳු රූපයන් දැක දැක සිත් අලවත් ද, එවන් චක්‍ෂුර්විඥේය වූ රූපායතනයෝ නැත. එහි යම් බඳු ශබ්දයන් අස අසා සිත් අලවත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ නැත. එහි යම්බඳු ගන්‍ධයන් අඝ්‍රාණ කොට කොට සිත් අලවත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ නැත. එහි යම්බඳු රසයන් ආස්වාද කොට කොට සිත් අලවත් ද, එබඳු ජිහ්වාවිඥේය රසයෝ නැත. එහි යම්බඳු ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්‍ශ කොට කොට සිත් අලවත් ද, එබඳු වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ නැත. ආයුෂ්මත්නි, අපි යම් හෙයෙකින් මෙසේ කියමෝද (කෙසේද යැ යත්: ) ‘ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති. රාගවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතමෝහ හෝ වෙති, මෝහ විනය පිණිස පිළිපන්නාහු හෝ වෙති’ යි. ඇවැත්නි, මොහු අප ගත් ආකාරයෝ වෙති. මොහු අන්‍වයෝ වෙත්. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව යි.
මෙසේ වදාළ කල්හි නගරවින්‍ද වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෝතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දෙයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දෙයක් හෝ විවර කරන්නේ වේ ද, මං මුළා වූවක්හට හෝ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි භවත් ගෞතමයන් වහන්සේ විසින් දහම් පැවැසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයන් කොට ධරත්ව යි.
අටවැනි නගරවින්‍දෙය්‍ය සූත්‍ර යි.
3. 5. 9.
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැඟීසිටියාහු භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල වදාළසේක:
ශාරිපුත්‍රය, තොපගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ, සිවිපැහැ පරිශුද්ධ යැ, පර්‍ය්‍යවදාත යි. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි කවර විහරණයෙකින් යුක්ත වැ බහුල කොට වාස කරවු දැ? යි.
‘වහන්ස, මෙකල්හි මම් ශුන්‍යතාවිහරණයෙන් යුක්ත වැ බහුල කොට වෙසෙමි’ යි.
සාධු සාධු ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි මහාපුරුෂවිහරණයෙන් බහුල කොට වාස කරවු. ශාරිපුත්‍රය, යම් ශුන්‍යතායෙක් ඇද්ද, තෙල මහාපුරුෂවිහරණයෙක. ශාරිපුත්‍රය, එහෙයින් මෙහිලා ඉදින් මහණ මෙකල්හි ශුන්‍යතාවිහරණයෙන් බහුල කොට වසන්නෙමි’ යි කැමැති වේ නම් ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: ‘මම් යම් මගෙකින් ගමින් පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬුවායෙන් පෙරළා ආයෙම් ද, එහි මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශයෙක් වේවයි ඇත්තේ දෝ හො’යි.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දනී ද ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි ඇතැ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
තවද ශාරිපුත්‍රය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ නැතැ’ යි මෙසේ දනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයෙහි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, අනෙකෙකි: මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු සිඟා ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය රසයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ ඇද්ද? යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ: ‘යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥෙය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් වේවයි ඇතැ’ යි මෙසේ දනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් මඟෙකින් මම ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිත පිළිබඳ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි නැතැ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු යි.
තවද ශාරිපුත්‍රය, අනෙකක් කියමි. මහණහු විසින් ‘මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූවාහු දැ’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චකාමගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ පඤ්චනීවරණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ (මාගේ සන්තානයෙහි) පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු දැ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපරිඥාතයහ’ යි මෙසේ දැනගනීද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පරිඥානය පිණිස වෑයම් කටයුතුයැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලදහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
ඉදින් ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් සතර සතිපට්ඨානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් වාස කටයුතු.
තවද අනෙකෙකි: ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘සතර සම්‍යක් ප්‍රධානයෝ මා විසින් අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයන් වැඩීම පිණිස වෑයම් කළ යුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසියයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ, මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු දෝහෝ’ යි ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චේන්‍ද්‍රියෝ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් පඤ්චබලයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චබලයෝ භාවනාව පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සප්තබෝධ්‍යඞ්ගයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුතු වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනාලද දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිතයයි’ මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩනාලද’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ශමථය ද විදර්‍ශනාව ද වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද නො ව වඩනලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ශමථවිදර්‍ශනා දෙක වඩනු පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද වඩනාලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහරණ කළයුතු යැ.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් විද්‍යාව හා විමුක්තියගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහාර කළයුතු යැ.
ශාරිපුත්‍රය, අතීතකාලයෙහි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතශුද්ධි කළාහු ද , එ හැම මෙසෙයින් ම පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාත පරිශෝධනා කළාහු යැ. ශාරිපුත්‍රය, අනාගතකාලයෙහි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, ඒ හැම මෙසෙයින් මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. ශාරිපුත්‍රය, මෙ වත්මනුයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, එ හැම මෙපෙරිදි මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. එකරුණින් ශාරිපුත්‍රය, තොප මෙසේ හික්මෙන්නේ යැ: ‘පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කරම්හ’ යි. ශාරිපුත්‍රය, මෙසේ තොප හික්මෙන්නේ මැනැව.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළෝ.
නව වැනි පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර යි.
3. 5. 10.
ඉන්‍ද්‍රියභාවනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නම් නිගමයෙහි මුඛෙලු වනයෙහි වාසය කරනසේක. එසමයෙහි පාරාශරිය ඇතැවැසි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව නිමාව එකත්පස් වැ හිණ. එකත්පස් වැ හුන් පාරාශරිය ඇතැවැසි උත්තරමාණවකහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
‘උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.
‘භවත් ගෞතමයන් වහන්ස, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා’ යයි.
උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට කිසෙයින් ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.
භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනා දෙසා’ යයි.
උත්තරය, මෙසේ කල්හි පාරාශරිය බමුණුහුගේ බස් පරිදි අන්‍ධ තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. බධිර තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. උත්තරය, යම් හෙයෙකින් අන්‍ධ තෙම ඇසින් රූ නො දකී ද බධිර තෙම කනින් ශබ්ද නො අසා ද එහෙයිනි.
මෙසේ වදාළ කල්හි පාරාශරිය අතැවැසි උත්තර මාණවක තුෂ්ණීම්භූත වූයේ මකු වූයේ බැහූ කඳට ඇතියේ අධෝමුඛ වූයේ සිතිවිලි සිතමින් වැටහීම් රහිත වැ හින.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාශරිය අතැවැසි උත්තරමාණවක තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු හෙළු කඳට ඇතියහු අධෝමුඛ වූවහු සිතිවිලි සිතනුවහු වැටහීම් රහිත වූවහු දැන ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: ‘ආනන්‍දය, පාරාශරිය බ්‍රාහ්මණ අන් පරිදි සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසයි. ආනන්‍දය, අන් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ’ යයි.
භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යවිනයෙහි යම් අනුත්තර ඉන්‍ද්‍රිය භාවනාවක් දෙසනසේක් ද, මේ ඊට කලැ. සුගතයන් වහන්ස, මේ ඊට කලැ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වදන් අසා ධරන්නාහ’ යි.
එසේ වී නම් ආනන්‍දය, මනා කොට අසව. මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
ආනන්‍දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්‍ද්‍රියභාවනා වෙයි යත්: ආනන්‍දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්‍ෂුර්විඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
තවද ආනන්‍දය, මහණහට කනින් ශබ්ද අසා මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත ය, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින් මැ අසුර ගසන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද , විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ශ්‍රෝත්‍රවිඥේය ශබ්ද විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
තවද ආනන්‍දය, මහණහට ඝ්‍රාණයෙන් ගන්‍ධාඝ්‍රාණය කොට මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටියි. යම්සේ ආනන්‍දය, මඳක් නැඹුරු කල පියුම්පතෙහි දියබිඳුහු පෙරළෙත් ද, පිහිටා නො සිටිත් ද, එසෙයින් මැ ආනන්‍දය, යම්කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍ය විනයෙහි ඝ්‍රාණවිඥේය ගන්‍ධ විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යයි කියනු ලැබේ.
තවද ආනන්‍දය, මහණහට දිවින් රස විඳ මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, උපේක්‍ෂා පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් දිවග කෙලපිඬක් රැස් කොට නිදුකින් නඟන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටියි. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ජිහ්වාවිඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනු ලැබේ.
තවද ආනන්‍දය, මහණහට කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට උපන් ඒ මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් හැකුළූ බාහුව දිගු කරන්නේ හෝ වේද දිගු කළ බාහුව හකුළන්නේ හෝ වේද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනුලැබේ.
තවද ආනන්‍දය, මහණහට මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂායෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය, බලවත් පුරුෂයෙක් දවසක් මොනොවට තැවුණු යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළන්නේ ද ආනන්‍දය, ජලබින්‍දුන්ගේ වැටීම ලැසිවේ ද, වැළි එය වහා මැ ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි මනෝවිඥේය ධර්‍ම විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රිය භාවනා’ යි කියනු ලැබේ. ආනන්‍දය, මෙසේ ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ.
ආනන්‍දය, කිසෙයින් ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත්: ආනන්‍දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්‍දය, මෙසේ ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වේ.
ආනන්‍දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත්: ආනන්‍දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නෙමි’ යි කැමති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්‍ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්‍ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
තවද ආනන්‍දය, මහණහට කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හෙතෙම ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රති කූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහිත් අප්‍රතිකූලයෙහිත් අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහිත් ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලය ද අප්‍රතිකූලය ද යන දෙක දුරු කොට පියා උපේක්‍ෂක වූයෙම් ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්‍ෂක වූයේ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. මෙසෙයින් ආනන්‍දය, ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වේ.
ආනන්‍දය, මෙසේ මා විසින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා දෙසන ලදු. ශෛක්‍ෂප්‍රතිපදා ඇතියේ දෙසනලද, භාවිතෙන්‍ද්‍රිය වූ ආර්‍ය්‍ය තෙම දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු අනුකම්පා පිණිස යමක් කටයුතු ද, මා විසින් තොපට එය කරන ලද. ආනන්‍දය, තෙල වෘක්‍ෂමූල සෙනසුන් වෙයි. තෙල ශුන්‍යාගාරයෝ වෙති. ආනන්‍දය, ධ්‍යාන කරව. නහමක් ප්‍රමාද වව. පසු වැ නහමක් විපිළිසර ඇති වව’ යි. මේ තොපට අපගේ අනුසසුන් වේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියභාවනා සුත වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සතුටු වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදනා කොළෝ.
දස වැනි ඉන්‍ද්‍රියභාවනාසූත්‍ර යි.
පස් වැනි සළායතන වර්‍ග යි.
උපරිපණ්ණාසකය සමාප්ත යි.
ඒ වර්‍ගයාගේ උද්දානය:
අනාථපිණ්ඩිකොවාද යැ, ඡන්නෝවාද යැ පුණ්ණෝවාදය හා නන්‍දකරාහුලෝවාදයෝ යැ ඡඡක්කසූත්‍ර යැ මහාසළායතනසූත්‍ර යැ නගරවින්‍දෙය්‍යසූත්‍රය හා පිණ්ඩපාතසුද්ධිකසූත්‍ර යැ ඉන්‍ද්‍රිය භාවනාසුත්‍ර යැ යි පස්වැනි අවවාද වර්‍ගය වේ.
මේ වර්‍ගයන්ගේ උද්දානය:
දේවදහවර්‍ගය ද අනුපදවර්‍ගය ද සුඤ්ඤතවර්‍ගය ද විභඞ්ගවර්‍ගය ද සළායතන වර්‍ගය දැ’ යි උපරිපණ්ණාසකයෙහි සිටි වර්‍ගයෝ යි.
තුන් පනසෙකින් ප්‍රතිමණ්ඩිත වූ සියලු මධ්‍යමනිකාය සමාප්ත යි.