Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 6201-6300 න් 6387

වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? ශ්‍රෝත්‍රය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
මනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි. ...
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්‍ය වෙති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි, මනඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී ද, එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
වහන්ස, දුක් වෙයි.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
රාහුලය, මෙසේ නුවණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශ හේතුයෙන් උපන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. ශ්‍රෝතයෙහි කලකිරෙයි. ... ශබ්දයෙහි කලකිරෙයි. ... ඝ්‍රාණයෙහි කලකිරෙයි. ... ගන්‍ධයෙහි කලකිරෙයි. ... ජිහ්වායෙහි කලකිරෙයි, රසයෙහි කලකිරෙයි. ... කායයෙහි කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයෙහි කලකිරෙයි. ... මනසෙහි කලකිරෙයි, ධර්‍මයන්හි කලකිරෙයි, මනොවිඥානයෙහි කලකිරෙයි, මනඃස්පර්‍ශයෙහි කලකිරෙයි. මනඃස්පර්‍ශ හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. නිර්වේදයට පැමිණියේ නො ඇලෙයි. විරාගයෙන් විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත යැ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය උපදී: ‘ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැසැ නිමවනලද. මඟකරණී කරනලද. මේ ආත්මභාවය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’ යි දැනගනී.
භාග්‍යවතුන් වහන්සේ මේ රාහුලෝවාදය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය පිළිගත්හ.
තවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි ආයුෂ්මත් රහල් තෙරණුවන්ගේ සිත උපාදානය නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. ඒ නොයෙක් දේවතා දහසුන්ට ද කෙලෙස් රජස් රහිත වූ කෙලෙස් මල රහිත වූ දහම් ඇස පහළ වී: ‘යම්කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරෝධස්වභාව ඇතැ’ යි කියා යි.
පස් වැනි චූළරාහුලෝවාද සූත්‍ර යි.
3. 5. 6.
ඡ ඡක්ක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල ඡඡක්ක දේශනා වදාළහ:
මහණෙනි, තොපට ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ ධර්‍මයක් දෙසමි. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කරමි. ඒ කිමෙක යත්: ‘ඡඡක්ක’ ධර්‍ම යි. ඒ අසව, මොනවට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’ යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු.
සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි.
‘සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහයි’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: චක්‍ෂුරායතන යැ ශ්‍රෝතායතන යැ ඝ්‍රාණායතන යැ ජිහ්වායතන යැ කායායතන යැ මනායතන යි. ‘සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය, තෙල ආයතන පිණිස කියනලදි. මේ පළමු වන ෂට්ක යි.
‘සවැදෑරුම් බාහිරායතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: රූපායතන යැ ශබ්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ස්ප්‍රෂ්ටව්‍යායතන යැ ධර්‍මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ආයතන පිණිස කියනලදි. මේ දෙවන ෂට්ක යි.
‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල කාය පිණිස කියන ලදි. මේ තුන් වන ෂට්ක යි.
‘සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ‘සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ස්පර්‍ශ පිණිස කියනලදි. මේ සතර වන ෂට්ක යි.
‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. ... නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. ... දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. ‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල වේදනා පිණිස කියනලදි. මේ පස් වන ෂට්ක යි.
‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. ශ්‍රෝත්‍රය ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. ... ඝ්‍රාණය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. ... ජිහ්වාව ද නිසා රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... මනස ද නිසා ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. ‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල සඳහා කියනලදි. මේ සවන ෂට්ක යි.
‘චක්‍ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා ද එය නො යෙදෙයි. චක්‍ෂුස්හුගේ උත්පාදය ද විනාශය ද පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නිරුද්ධ වන්නේත් වේ ය’යි ඔහුට මෙසේ (ලබ්ධි) ආයේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි.
‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ඒ නො යෙදෙයි. රූපායතනයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙනුයේත් වේ ය’යි ඔහුට මෙසේ ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපායතනය අනාත්ම වෙයි.
‘චක්‍ෂුර්විඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ ය’යි ඔහුට මෙසේ ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුර්විඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම යැ. රූපායතනය අනාත්ම යැ. චක්‍ෂුර්විඥානය අනාත්මයි.
‘චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය පැමිණියේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපයෝ අනාත්ම වෙයි. චක්‍ෂුර්විඥානය අනාත්ම වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්මයි.
‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. වේදනාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපයෝ අනාත්ම වෙයි. චක්‍ෂුර්විඥානය අනාත්ම වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්ම වෙයි. වේදනාව අනාත්මයි.
‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. තෘෂ්ණාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය පැමිණියේ වෙයි. ‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම යැ. රූපයෝ අනාත්මයෝ යැ. චක්‍ෂුර්විඥානය අනාත්ම යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්ම යැ. වේදනාව අනාත්ම යැ. තෘෂ්ණාව අනාත්ම යි.
‘ශ්‍රෝතය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... ඝ්‍රාණය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... ජිහ්වාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... කාය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... මනස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනස්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. වැලි යමෙක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘මනස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්මයි.
‘ධර්‍මයෝ ආත්මයහ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. ධර්‍මයන්ගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘ධර්‍මයෝ ආත්මයහ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ ධර්‍මයෝ අනාත්මයෝ යි.
‘මනෝවිඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනෝවිඥානයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘මනෝවිඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යි.
‘මනස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. මනෝසම්ඵස්සයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘මනෝසම්ඵස්සය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යි.
‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. වේදනාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යැ, වේදනා අනාත්ම යි.
‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්මයහ, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යැ, වේදනා අනාත්ම යැ, තෘෂ්ණාව අනාත්ම යි.
මහණෙනි, මේ වැළිත් සත්කායසමුදයගාමිනී ප්‍රතිපත් වෙයි: චක්‍ෂුස ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් දකී. රූපයන් ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී. චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. චක්‍ෂුස්සංස්පර්‍ශය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. වේදනාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. ශ්‍රෝතය ‘තෙල මාගේ යැ’ ... ඝ්‍රාණය ‘තෙල මාගේ යැ’ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ’ ... කය ‘තෙල මාගේ යැ’ ... මනස ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී. ධර්‍මයන් ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. වේදනාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී.
මහණෙනි, මේ සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් වෙයි: චක්‍ෂුස ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී. රූපයන් ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී. චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. චක්‍ෂුස්සංස්පර්‍ශය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. වේදනාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. ශ්‍රෝතය ‘තෙල මාගේ නො වෙයි’ ... ඝ්‍රාණය ‘තෙල මාගේ නො වෙයි’ ... ජිහ්වාව ‘තෙල මාගේ නො වෙයි’ ... කය ‘තෙල මාගේ නො වෙයි’ ... මනස ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී.
ධර්‍මයන් ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. මනෝවිඥානය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. මනෝසම්ඵස්සය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. වේදනාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී.
මහණෙනි, චක්‍ෂුසත් රූපත් නිසා චක්‍ෂුර්විඥානය උපදී. (චක්‍ෂු, රූප, විඥාන යන) තිදෙනාගේ සඞ්ගතිය ඵස්ස වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුඃඛ වූ හෝ උපේක්‍ෂා වූ හෝ වේදනාව උපදී. හේ සුඛවේදනායෙන් පහස්නාලදුයේ සතුටු වෙයි. සතුටුබස් කියයි. බැසගෙන සිටී. ඔහුගේ සන්තානයෙහි රාගානුසය අප්‍රහීණ වැ සිටී. දුඃඛ වේදනායෙන් පහස්නාලදුයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, පරිවේදනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. ඔහුගේ සන්තානයෙහි ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී. උපේක්‍ෂාවේදනායෙන් පහස්නාලදුයේ ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී. ඔහුගේ සන්තානයෙහි අවිද්‍යානුශය අප්‍රහීණ වැ සිටී. මහණෙනි, ඒකාන්තයෙන් හෙතෙම සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය විනෝදනය නො කොට අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය නො කොට අවිද්‍යාව ප්‍රහීණ නො කොට මාර්‍ගඥානවිද්‍යාව නූපදවා ඉහාත්මයෙහි මැ වට්ටදුක්ඛය කෙළවර කරන්නේ ය යන තෙල කරුණ නො වේ.
මහණෙනි, ශ්‍රෝතය ද නිසා ශබ්දයන් ද නිසා ශ්‍රොතවිඥාන උපදී. ... ඝ්‍රාණය ද නිසා ගන්‍ධයන් ද නිසා ... ජිහ්වාව ද රසයන් ද නිසා … කාය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා ... මනස ද ධර්‍මයන් ද නිසා මනෝවිඥාන උපදී. තිදෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ වේදනාව උපදී. හේ සුඛවේදනායෙන් පහස්නා ලදුයේ සතුටු වෙයි. තුටුවදන් බෙණෙයි. බැසගෙන සිටී. ඔහුට රාගානුශය අප්‍රහීණ වෙයි. දුඃඛවේදනායෙන් පහස්නාලදුයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. ඔහුට ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී. නො දුක් නො සුව වේදනායෙන් පහස්නාලදුයේ ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී. ඔහුට අවිද්‍යානුශය අප්‍රහීණ වැ සිටී. මහණෙනි, ඒකාන්තයෙන් හෙතෙම සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය බැහැර නො කොට අදුඃඛමසුඛ වේදනායෙන් අවිද්‍යානුශය සමූහනය නො කොට අවිද්‍යාව ප්‍රහීණ නො කොට විද්‍යාව නූපදවා ‘ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරන්නේ වෙයි’ යන තෙල කරුණ නො වන්නේ යැ.
මහණෙනි, ඇසත් රූපත් නිසා චක්‍ෂුර්විඥානය උපදී. ඒ චක්‍ෂුරාදි තිදෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛඅසුඛ වූ හෝ වේදනා උපදී. හේ සුඛවේදනායෙන් පහරන ලදුව අභිනන්‍දන නො කෙරෙයි, තෘෂ්ණා වශයෙන් ගෙන නො බෙණෙයි. ගැලගෙන නො සිටී. ඔහුගේ රාගානුශය අනුශය වශයෙන් නො සිටී. දුඃඛවේදනායෙන් පහරනලදුවැ ශෝක නො කෙරෙයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි, ළෙහි අත්පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණෙයි, ඔහුගේ ප්‍රතිඝානුශය අනුශය නො කෙරෙයි. උපේක්‍ෂාවේදනායෙන් පහරනලදුවැ ඒ වේදනාවගේ සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා ආදීනවය හා නිස්සරණය හා ඇති සැටි නුවණින් දනී. ඔහුගේ අවිද්‍යානුශය අනුශය නො කෙරෙයි. මහණෙනි, මෙසේ ඒ මහණ සුඛවේදනායෙහි රාගානුශය පියා දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය අනුශය දුරු කොට උපෙක්‍ෂාවේදනායෙහිලා අවිද්‍යානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපයා ‘ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරනු වෙයි’ යන මෙ කරුණ වෙයි.
මහණෙනි, ශ්‍රෝතය ද නිසා ශබ්දයනුදු නිසා ශ්‍රොතවිඥාන උපදී. ... මහණෙනි, ඝ්‍රාණය ද නිසා ගන්‍ධයනුදු නිසා ඝ්‍රාණවිඥාන උපදී. ... මහණෙනි, ජිහ්වාවද නිසා රසයනුදු නිසා ජිහ්වාවිඥාන උපදී. ... මහණෙනි, කය ද නිසා ස්ප්‍රෂ්ටව්‍යයනුදු නිසා කායවිඥාන උපදී. ... මහණෙනි, මනස ද නිසා ධර්‍මයනුදු නිසා මනෝවිඥාන උපදී. තුන්දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් සුඛ වූ හෝ දුඃඛ වූ හෝ උපේක්‍ෂා සහගත වූ හෝ වේදනා උපදී. හේ සුඛවේදනායෙන් පහරන ලදුවැ තෘෂ්ණා විසින් අභිනන්‍දන නො කෙරෙයි. තෘෂ්ණා විසින් නො බෙණෙයි. ගැලගෙන නො සිටී. ඔහුගේ රාගානුශය අනුශයන නො කෙරෙයි. හේ දුඃඛ වේදනායෙන් පහරන ලදු වැ … හේ උපේක්‍ෂාසහගත වේදනායෙන් පහළේ ඒ වේදනායෙහි ලා සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා ආදීනවය හා නිස්සරණය හා ඇති සැටි නුවණින් දනී. ඔහුගේ අවිද්‍යානුශය අනුශය නො කෙරෙයි. මහණෙනි, ඒ මහණ සුඛවේදනායෙහි ලා රාගානුශය පියා දුඃඛවේදනායෙහි ලා ප්‍රතිඝානුශය හැර උපේක්‍ෂාවේදනායෙහි ලා අවිද්‍යානුශය නසා අවිද්‍යාව පියා විද්‍යාව උපයා ‘මෙ වත්මනු බෙවෙහි මැ දුක් කෙළවර කරනු වෙති’ යි මෙ කරුණ වෙයි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්‍ෂුසෙහි කලකිරෙයි, රූපයෙහි කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි කලකිරෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි කලකිරෙයි. වේදනායෙහි කලකිරෙයි. තෘෂ්ණායෙහි කලකිරෙයි. ශ්‍රෝතයෙහි කලකිරෙයි. ශබ්දයෙහි කලකිරෙයි ... ජිහ්වායෙහි කලකිරෙයි. රසයෙහි කලකිරෙයි. ... කයෙහි කල කිරෙයි. ස්පර්‍ශයෙහි කලකිරෙයි. ... මනසෙහි කලකිරෙයි. ධර්‍මයෙහි කල කිරෙයි. මනෝවිඥානයෙහි කලකිරෙයි, මනඃසංස්පර්‍ශයෙහි කලකිරෙයි, වේදනායෙහි කලකිරෙයි, තෘෂ්ණායෙහි කලකිරෙයි. කලකිරෙනුයේ විරාගයට පැමිණෙයි. විරාගහේතුයෙන් මිදෙයි. මිදීයත් මැ ‘මිදිණැ’ යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, ‘මේ අර්‍හත්ත්‍වය පිණිස අන් කරණී නැති’ යි නුවණින් දනී.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ විභාගධර්‍මය බණත් මැ සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන්ගෙන් මිදිණි.
සවන ඡ ඡක්ක සූත්‍ර යි.
3. 5. 7.
මහාසළායතනික සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, තොපට මහාෂඩායතන පර්‍ය්‍යාය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි.
‘වහන්ස, එසේ යැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහු, භාග්‍යවතුන් වහන්සේ තෙල මහාෂඩායතනපර්‍ය්‍යාය වදාළෝ.
මහණෙනි, චක්‍ෂුස ඇති සැටි මාර්‍ගඥානයෙන් නො දන්මින් නො දක්මින් රූපයන් ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුර්විඥානය ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුස්සංස්පර්‍ශය ඇති සැටි නො දන්මින් නො දක්මින් සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුස්සංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුසෙහි සංරාග කෙරෙයි, රූපයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුර්විඥානයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශය සංරාග කෙරෙයි, සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එහිදු ඇලේ.
සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද දක්මින් විහරණ කරණ ඔහුගේ මතු පඤ්චඋපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දන කරන තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුගේ කායදරථයෝ ද වැඩෙති, චෛතසිකරථයෝ ද වැඩෙති. කායික සන්තාපයෝ ද වැඩෙති, චෛතසිකසන්තාපයෝ ද වැඩෙති. කායිකපරිදාහයෝ ද වැඩෙති. චෛතසිකයෝ ද වැඩෙත්. හෙ කායදුඃඛය විඳුනේ යැ.
මහණෙනි, ශ්‍රෝත්‍රය මාර්‍ගඥානයෙන් ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ඝ්‍රාණය ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ජිහ්වාව ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, කය ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, මනස ඇති සැටි නො දන්මින් නො දක්මින් ධර්‍මයන් යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝවිඥානය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත ව නො දන්මින් නො දක්මින් මනසෙහි රාග විසින් ඇලෙයි, ධර්‍මයන්හි ඇලෙයි, මනෝ විඥානයෙහි ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි ඇලෙයි, මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු රාග විසින් ඇලේ.
සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද වශයෙන් දක්මින් වෙසෙන ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දනා කරණ තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, මනෝද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද වැඩෙති, මනෝද්වාරික සන්තාපයෝ ද වැඩෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද වැඩෙති, මනෝද්වාරික පරිදාහයෝ ද වැඩෙත්. හෙ පඤ්චද්වාරික දුඃඛය ද මනෝද්වාරික දුඃඛය ද විඳී.