වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇති වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි සමනුපස්සනාවට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි මැ යැ.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
කය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
මනස නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ ...
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් ‘තෙල මම වෙමි, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි ගෙන එය සමනුපස්සනාව කරන්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො වේ මැ ය. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල අප විසින් පළමු වැ යථා භූත වැ සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මෙකරුණෙනුදු ආධ්‍යාත්මික ෂඩායතන අනිත්‍ය ය හ’ යි කියා යි.
මැනවැ මැනැවැ බුහුනැණියෙනි, තෙල යථා භූතය සම්‍යක් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල සිත් මෙසේ වේ මැයි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්‍යය හ.
යමෙක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නොනිසි වේ මැ යැ,
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව, ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
රසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
යමෙක් අනිත්‍ය වේ නම්, එය දුක් හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නොනිසි වේ යැ, ඒ කවර හෙයිනයත්: වහන්ස, තෙල අප විසින් යථාභූතව පළමු වැ සම්‍යග් ඥානයෙන්, මොනොවට දක්නා ලදී. මේ හේතුයෙනුදු බාහිර ෂඩායතනයෙන් අනිත්‍යය හ’යි කියා යි.
මැනැවැ මැනැවැ බුහුනැණියෙනි, මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යග් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර් විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැයැ.
ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යය ...
ඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යය ...
ජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යය ...
කායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යය ...
මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යය.
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුක් යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යි.
ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අප විසින් ‘මෙසේත් මේ ෂඩ්විඥානකායෝ අනිත්‍යයහ’ යි තෙල තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද ද එහෙයිනි.
මැනවැ මැනැවැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවක හට තෙල මෙසේ මැ වෙයි බුහුනැණියෙනි’ යි.
යම් පරිදි බුහුනැණියෙනි, දැල්වෙන තෙල්පහනෙහි තෙලුදු අනිත්‍ය යැ, විපරිණාම ධර්‍ම යැ. වැටි දු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එලිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යි. බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් මේ දැල්වෙන තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. වැටිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එහි යම් ආභායෙක් ඇද්ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම යැ යි. බුහුනැණියෙනි, (මෙසේ) කියන හේ මනා කොට කියන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි. ඊට හේතු කවරෙ යත්: වහන්ස, යම් හෙයෙකින් දැල්වෙන මේ තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, වැටිදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, පහන්සිළුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ එහි එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
එපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් ‘මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ අනිත්‍යයහ. ෂට් ආධ්‍යාත්මික ආයතනයන් නිසා යම් සුවයක් වේව යි දුකක් වේවයි උපේක්‍ෂාවක් වේවයි විඳීම් ද එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම’ ය. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ. එ කවර හෙයින? වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද එහෙයිනි.
මැනැව මැනැව බුහුනැණියෙනි, මෙසේ මැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනා ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල වෙයි.
යම්සේ බුහුනැණියෙනි, සාරවත් වූ මුල් බැස සිටුනා මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කොළ අතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කොළඅතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. එහි යම් ඡායාවක් ඇද්ද එය නිත්‍ය ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හේ මනා කොට කියන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ, ඊට හේතු කවරෙ යැ? වහන්ස, යම් හෙයෙකින් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාසත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, එහි ඡායාව කැලමැ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
එසෙයින් මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියන්නේ ද: මේ සවැදෑරුම් බාහ්‍යායතන යෝ අනිත්‍ය විපරිණාමධර්‍මයෝ යැ, ෂඩ් බාහිරායතනයන් නිසා යම් සුවයක් වේවයි, දුකක් වේවයි, උපේක්‍ෂාවක් වේවයි විඳුනේ ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනාකොට කියන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව ඇති වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව ඇති ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද, එහෙයිනි.
මැනැව මැනැව බුහුනැණියෙනි, තෙල බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකහට එසේ මැ වෙයි.
යම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතක අතැවැසියෙක් වේවයි, ගවදෙනක නසා තියුණු වූ ගෙරිකපන සැතින් ඇතුළු මස්කය නො නසා බැහැරි සම්කය නො නසා එහි යම් යම් අතුරු විලිමසක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බන්‍ධන ඇද්ද ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට කපා අවට කපා මොනොවට හාත්පසින් කපා බැහැරි සම්කය සලා එ සමින් මැ ඒ ගවදෙන වසා මෙසේ කියා නම් ‘මේ ගවදෙන මේ සමින් එසේ මැ සංයුක්ත කරනලදැ’ යි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අසෝ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතැවැසියා හෝ ගවදෙනක නසා තියුණු ගෙරිකපනසැතින් අතර මස්කය නො නසා බැහැරි සම්කය නො නසා ගවදෙන කපන්නේ ද එහි යම් යම් අතුරු විලිමසෙක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට හාත්පස කපා, බැහැරි සම්කය සලා ඒ සමින් මැ ඒ ගවදෙන වසා හේ මෙසේ කියන්නේ නම් ‘මේ සමින් මේ ගවදෙන එසේ මැ සංයුක්ත කරන ලදැ’ යි. එතෙකුදු වත් ඒ ගවදෙන ඒ සමින් මැ විසංයුක්ත වී යයි.
බුහුනැණියෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමා එළවන ලදු. මෙහි මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, අතුරු මස්කය යැ යන තෙල ආධ්‍යාත්මික ආයතනයනට නමෙකි. බුහුනැණියෙනි, බැහැරි සම්කය යැ යන තෙල සවැදෑරුම් බාහ්‍යායතනයනට නමෙකි. බුහුනැණියෙනි, අතුරු විලිමසැ අතුරු නහර යැ, අතුරු බැඳුම යැ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, තියුණු, ගෙරිකපනසැත යැ යන තෙල ආර්‍ය්‍යඥානයට නමෙකි. යම් ආර්‍ය්‍යඥානයෙක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන සිඳී ද කපා ද මොනවට කපා ද හාත්පසින් කපා ද මොනවට හාත්පස කපා ද එය යි.
බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙසස්නෙහි මහණ විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය භවයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ගධර්‍ම කෙනකුන් භැවූ බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මේ භවයෙහි මැ තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ගධර්‍මයෝ සත්දෙනා වෙති.
ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණන් මේ අවවාදයෙන් ඔවා දී ‘බුහුනැණියෙනි, යන්නේ මැනැව යන්නට කලැ’ යි යැවී.
ඉක්බිති ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ සිටි ඒ මෙහෙණනට තෙල වදාළහ. මෙහෙණනි, ‘යව යන්නට කලැ’ යි.
එසඳ ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියෝ. එසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් බැස යන්නා හා මැ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, යම් පරිදි එදවස් පොහොය පුණුරැසියෙහි ‘චන්‍ද්‍රයා ඌන වේ ද හෝ චන්‍ද්‍රයා පූර්‍ණ වේ ද හෝ’ යි බොහෝ දෙනාට සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වේ ද වැළිත් චන්‍ද්‍රයා පූර්‍ණ මැ වේ යයි සිත් වේ ද, මහණෙනි, එපරිදි මැ ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ දහම් දෙස්නෙන් ගත් සිතැතියාහු ද පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු ද වෙති. මහණෙනි, ඒ පන්සියක් මෙහෙණන් ඇසුරින් හැමට සග මෙහෙණක් ඇද්ද හෝ අවිනිපාතධර්‍ම ඇති නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් මෙහෙණකැ’ යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.
සතර වැනි නන්‍දකොවාද සූත්‍ර යි.
3. 5. 5.
චූළරාහුලෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. රාහුලයන්ගේ විමුක්තිය මිහිකිරීමට හිත වූ ධර්‍මයෝ පැසී සිටියහ. මම රාහුලයන් මතු ආස්‍රවක්‍ෂයයෙහි ලා විනයන කෙරෙම් නම් මැනැවැයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙවැ පාසිවුරු ගෙන් සැවතට පිඬු පිණිස වැඩියෝ, සැවැත පිඬු පිණිස හැසිර පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක. රාහුලය, හිඳිනාකඩ ගනුව, දිවාවිහරණ සඳහා අන්‍ධවනය කරා යම්හ’ යි.
‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් රාහුල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හිඳිනාකඩ ගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස් ලුහුබැඳ ගියහ.
එසමයෙහි අනේක දේවතාසහස්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දාහු වෙති. ‘අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරණුවන් මතු ආස්‍රවක්‍ෂය ඥානයෙහි ලා විනයන කෙරෙති’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට බැසගෙන එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුල භද්‍රයන් බණවා තෙල වදාළසේක:
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි එය සමනුපස්සනා වශයෙන් ගන්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්‍යයහ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් ගන්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යි.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය වෙයි.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?