ඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් තා දිවියෙන් තොර කෙරෙත් නම් පුණ්ණය, එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් දිවියෙන් තොර කෙරෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් කයිනුදු දිවියෙනුදු පෙළෙන්නාහු ලජ්ජා කරන්නාහු පිළිකුල් කරන්නාහු ශස්ත්‍රහාරකයකු සොයන්නාහු ඇත. මා විසින් නො සොයනලද මැ ඒ ශස්ත්‍රහාරකයා ලැබිණැ’ යි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
මැනැව මැනැව පුණ්ණය, මේ දම උපසම දෙකින් සමන්‍වාගත වැ සුනාපරන්ත දනවියෙහි වාස කරන්නට තෝ හැක්කෙහි පුණ්ණය, යි. දැන් එයට කල් දන පුණ්ණය, යි වදාළෝ.
එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන් සුනාපරන්ත දනවු කරා සැරිසරා ගියහ. පිළිවෙළින් සැරිසරන්නාහු සුනාපරන්ත ජනපදය කරා ගියෝ. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සුනාපරන්ත දනවියෙහි වාස කෙරෙති.
එකල ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ අතුරුවසෙහි පන්සියක් පමණ උපාසකයන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ පන්සියක් පමණ උපාසිකාවන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ ත්‍රිවිද්‍යා පසක් කොළෝ. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ පසු කලෙක පිරිනිවියහ. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්ත අවවාදයෙන් ඔවා දෙනලද යම් පුණ්ණ නම් කුලපුත්‍රයෙක් වී ද, හේ කලුරිය කෙළේ. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි.
මහණෙනි, පුණු කුලපුත් පණ්ඩිත වෙයි. ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ ය. ධර්‍ම හේතුයෙන් මා නොවෙහෙසී. මහණෙනි, පුණ්ණ කුලපුත් පිනිවියේ යැ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.
තුන් වැනි පුණ්ණෝවාද සූත්‍ර යි.
3. 5. 4.
නන්‍දකොවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කෙරෙති. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ පන්සියක් පමණ මෙහෙණන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටි ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ඕවා දෙනසේක්වා, වහන්ස භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට අනුශාසනා කරනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ධර්‍ම කථා කරන සේක්වා’ යි.
එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙති. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට, වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැති වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමැතූසේක: ‘ආනන්‍දය, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට අද කවරහුගේ වාරය වේ දැ?’ යි.
වහන්ස, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නන්‍දක තෙරණුවනට වාරය වෙයි. වහන්ස, මේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැතියහ.
එසඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් ඇමතූසේක: ‘නන්‍දකය, මෙහෙණනට ඔවා දෙව. නන්‍දකය, මෙහෙණනට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, තෝ මෙහෙණනට ධර්‍මකථා කරව’ යි.
‘වහන්ස, එසේ යැ’ යි ඒ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු තමහට දෙවැන්නකු ඇති වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ මෙහෙණහු දුර දී මැ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් එනුවන් දුටහ. දැක අසුන් පැන්වූහු. පා දෝනා දිය එළවූහු. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ පාද ප්‍රක්‍ෂාලනා කොළෝ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල කීහ: බුහුනැණියෙනි, පිළිවිස කරන කථායෙක් ඇත. එහි දී වටහා දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියයුතු වෙයි. වටහා නො දන්නවුන් විසින් ‘නො දනුම්හ’ යි කියයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහි දී මම් මැ පිළිවිස්ස යුතුයෙම් වෙමි. (කෙසේ යැ?) ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ යි.
වහන්ස, ඇපි මෙතෙකිනුදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. අභිරද්ධයම්හ. යම් හෙයෙකින් ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවෝ අප පවරත් ද, එහෙයිනි.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
මනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල කරුණ පළමු මැ අප විසින් ඇති තතු සම්‍යක් ප්‍රඥායෙන්, මොනොවට දක්නා ලදි: ‘මෙ කරුණිනුදු මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ’ කියා ය.
මැනව මැනව බුහුනැණියෙනි. බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් මෙසේ වේ මැ යි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
වහන්ස, අනිත්‍යයහ.
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
රසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
ධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍යයහ ...
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් තෙල යථාභූතය පළමු වැ සම්‍යක් ප්‍රඥායෙන්, මොනවට දක්නා ලදි: ‘මෙ හේතුයෙනුදු මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍යයහ’යි කියා යි.
මැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
ඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
ජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
කායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ ...
මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
වහන්ස, දුඃඛ යැ.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් පළමු ව තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදි: ‘මේ හේතුයෙනුදු මේ සවැදෑරුම් විඥානකායයෝ අනිත්‍යයහ’ කියා යි.
මැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යි.
බුහුනැණියෙනි, යම් පරිදි දැල්වෙන තෙල් පහනක්හුගේ තෙල ද අනිත්‍ය වේ ද පෙරැළෙන සැහැවි ඇති වේ ද, වැටි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම වේ ද, එලි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් ‘මේ දැල්වෙන තෙල් පහනෙහි තෙල ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, සිළු ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, මේ ප්‍රදීපයාගේ යම් එළියෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, ඒ බණන්නා මැනැවක් බෙණේ දැ? යි.
වහන්ස, තෙල මැනැවෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: මේ දැල්වෙන තෛල ප්‍රදීපයාගේ තෙල ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම යැ, කැල මැ තෙල ප්‍රදීපයාගේ එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
එපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් ‘මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ. අධ්‍යාත්මික ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳුනේ නම් ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?
වහන්ස, තෙල බිණීම මනා නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: නන් නන් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයාගේ තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙති, එහෙයිනි.
මැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යැ.
බුහුනැණියෙනි, යම්සේ මුල් බැස සිටි සාරවත් මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාස ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මුල් බැසසිටි සාරවත් මේ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි අතුකොළ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි ද මේ වෘක්‍ෂයාගේ යම් සෙවණෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා ද, බුහුනැණියෙනි, බණන හේ මොනොවට බෙණේ දැ යි.
වහන්ස, තෙල මනා බිණීමෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, මුල් බැස සිටුනා සාරවත් වූ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, අතු කොළ දෑ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ මේ වෘක්‍ෂයාගේ සෙවණ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
එපරිදි මැ බුහුනැණි යෙනි, යමෙක් ‘මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍ය විපරිණාම ධර්‍මයහ. බාහිර ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ නම් එය නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ බණන්නේ නම්, බුහුනැණියෙනි, මෙසේ බණන හේ මනා කොට බෙණේ’ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ, ඒ කවර හෙයින යත්: තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත්, එහෙයිනි.
මැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වේ මැ යි.
යම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතැවැසියෙක් හෝ ගවදෙනක නසා තියුණු ගෙරි කපන කැත්තෙන් ගවදෙන වෙන් කොට කපන්නේ වේ ද, අතර මාංශකාය නො පෙළා බාහිර චර්‍මකාය නො පෙළා යම් යම් එහි අතුරු විලිමස් අතුරු නහර අතුරු බන්‍ධන ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් සිඳුනේ වේ ද බිඳ කපන්නේ වේ ද වෙසෙසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් සිඳ හාත්පසින් කපා හාත්පසින් මොනොවට කපා මෙසේ බාහිර සම්කය ගලවාගෙන ඒ සමින් මැ ඒ දෙන වසා මෙසේ කියන්නේ වේ ද මේ සමින් මැ තුබූ සැටි මැ ගෙන ‘සංයුක්ත’ යයි. බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?
වහන්ස, තෙල නො වන්නේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, දක්‍ෂ වූ මේ ගෝඝාතක වේවයි ගවඝාතක අතැවැසි වේවයි දෙනක මරා තියුණු ගෙරි කපන කැත්තෙන් අතර මස්කය නො පෙළා බැහැර සම්කය නො පෙළා එහි යම් යම් අතුරු විලිමස් අතුරු නහර අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් මොනොවට වෙන් කරනුයේ මොනොවට කපනුයේ මොනොවට හාත්පස කපනුයේ මොනොවට වෙන් කොට කපනුයේ වේ ද, මොනොවට වෙන් කොට, මොනොවට කපා, මොනොවට වෙන් කොට කපා, බැහැර සම්කය උපුටා ගෙන ඒ සමින් මැ ඒ දෙන වසා ‘මේ සමින් මැ මේ දෙන තුබූ සැටි මැ සංයුක්ත වැ ඇතැ’ යි හෝ මෙසේ කියන්නේ නමුදු වැලි ඒ දෙන ඒ සමින් විසංයුක්ත මැ වේද, එහෙයිනි.
බුහුනැණියෙනි, මා විසින් අර්‍ත්‍ථය හඟවනු සඳහා මේ උපමා කරනලදු. මේ මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, ‘අතුරු මස්කය යැ’ යන තෙල සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට නමි. බුහුනැණියෙනි, ‘බාහිර චර්‍මකාය යැ’ යන තෙල සවැදෑරුම් වාහ්‍යායතනයනට නමි. බුහුනැණියෙනි, ‘අතුරු විලිමස් යැ අතුරු නහර යැ අතුරු බන්‍ධන යැ’ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, ‘තියුණු ගෙරි කපන සැත යැ’ යන තෙල ආර්‍ය්‍යප්‍රඥාවට නමෙකි. යම් ආර්‍ය්‍යමාර්‍ගඥානයක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන මොනොවට සිඳී ද මොනොවට කපා ද මොනවට ප්‍රකාරයෙන් කපා ද මොනවට හාත්පසින් කපා ද එය යි.
බුහුනැණියෙනි, මේ බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙක් වෙති. යම් බෝධ්‍යඞ්ග කෙනකුන් වැඩු හෙයින් බහුල කළ හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද, කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බහුලීකෘත හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසේ ද එබඳුවූ මේ සප්තබෝධ්‍යඞ්ගයෝ යි.
ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණනට මේ අවවාදයෙන් ඔවා දී ‘යව බුහුනැණියෙනි, කලැ’ යි යවාලූහ.
එසඳ ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගී ආයුෂ්මත් නන්‍දක තෙරුන් වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ සිටියහ. එකත්පස් වැ සිටි ඒ භික්‍ෂුණීන්ට බුදුහු තෙල කරුණ වදාළහ: ‘යව මෙහෙණෙනි, කලැ’ යි.
එසඳ ඒ භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් නික්මගිය නොබෝ කාලයෙහි භික්‍ෂූන් ඇමැතූසේක: ‘මහණෙනි, යම් පිරිදි එදවස් තුදුස්වක් පොහොයෙහි බොහෝ ජනයාට සඳ ඌන වූයේ දෝහෝ සඳ පිරුණේ දෝහෝ’ යි සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වෙයි. වැළි චන්‍ද්‍ර ඌන වූයේ මැ යයි සිත් වෙයි. එසෙයින් මැ මහණෙනි, ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ ධර්‍මදේශනායෙන් සතුටුසිත් ඇත්තාහු ද වෙති. පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු නොද වෙති’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරුන් ඇමතූ සේක: එහෙයින් නන්‍දකය තෙපි සෙට ද ඒ මෙහෙණන් ඒ අවවාදයෙන් මැ අවවාද කරව’ යි. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතියෝ එකලා වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් දුරින් මැ එනුවන් දුටහ. දැක අස්නක් පැනවූහ. පාදෝනා පිණිස දිය ද එළවා තැබූහ. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැනවූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල වදාළහ: බුහුනැණියෙනි, ‘ප්‍රතිපෘච්ඡාකථායෙක් වෙයි. එහිලා අවබෝධ කොට දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියැයුතු වෙයි. අවබෝධ නො කරන්නවුන් විසින් ‘නො වටහම්හ’ යි කියැයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහිලා මා මැ පිළිවිසියයුතු වෙයි. ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ කියා යි.
වහන්ස, අපි මෙතෙකිනිදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. ඇලුණමෝ වම්හ. යම් හෙයෙකින් නන්‍දක තෙරණුවෝ අප පවරත් ද එහෙයිනි.
බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
වහන්ස, අනිත්‍ය යැ.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?