ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ධර්‍මය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගත වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් සුප්‍රතිකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධගාමීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. වැඳීම හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්‍ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දීම යන මෙයිනැ’ යි.
ආනන්‍දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්‍ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත්: අර්‍හත් තථාගත සම්‍යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්‍ෂිණා යැ. ප්‍රත්‍යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්‍ෂිණා යැ. අර්‍හත් තථාගතශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්‍ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්‍ෂිණා යි.
ආනන්‍දය, ඒ දානයන් කෙරෙහි තිරිසන්ගියහු කෙරෙහි දන් දී සියක් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන දුශ්ශීලයා කෙරෙහි දන් දී දහස් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන සිල්වත්හු කෙරෙහි දන් දී සියදහස් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තවුසා කෙරෙහි දන් දී කෙළලක්‍ෂයක් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දී අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවන්හු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිහට කෙරෙහි කවර කථා යැ? අනගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? අනගැමි හට කෙරෙහි කවර කථා යැ? රහත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? තථාගතශ්‍රාවක වූ රහත්හු කෙරෙහි කෙරෙහි කවර කථා යැ? ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ? තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ?
ආනන්‍දය, මේ සංඝගත දක්‍ෂිණාවෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්: බුද්ධප්‍රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්‍ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු ද භික්‍ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්‍ෂිණා යැ.
ආනන්‍දය, අනාගතකාලයෙහි ගෝත්‍රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්‍දය, මම එකල්හිත් සංඝගත දක්‍ෂිණාව අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති’ යි කියමි. ආනන්‍දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්‍ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
ආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත්: ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොටත් ප්‍රතිග්‍රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණා කවර යත්: ආනන්‍දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්‍මයෝ වෙති. ආනන්‍දය, මෙසෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙයි. ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙති. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්‍ම වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත.
ආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද සිල්වත් වෙයි, කලණදහම් වෙයි. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතරදෙන වෙති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ තෙල ගාථා ද වදාළෝ:
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණා ව දායකයා කෙරෙන් පිරිසිදු වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණාව පිළිගාවා කෙරෙන් විශුද්ධ වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දානය මහත්ඵල යයි නො කියමි.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල යයි ඇතැයි කියමි.
වීතරාග වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් වීතරාගයන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය ආමිසදානයන් අතුරෙන් අග්‍ර වේ යයි.
දොළොස් වැනි දක්ඛිණාවිභඞ්ග සූත්‍ර යි.
සතර වැනි විභඞ්ග වර්‍ග යි.
එහි උද්දානය:
භද්දේකරත්ත, ආනන්දභද්දේකරත්ත, කච්චානභද්දේකරත්ත, ලොමසකඞ්ගියභද්දේකරත්ත සූත්‍රයෝ යැ, චූළකම්මවිභඞ්ග, මහාකම්මවිභඞ්ග, සළයතනවිභඞ්ග, උද්දේසවිභඞ්ග, ධාතුවිභඞ්ග, සච්චවිභඞ්ග සූත්‍රය හා දක්‍ෂිණාවිභඞ්ගසූත්‍රය ද වේ.
5. සළායතන වර්‍ගය
3. 5. 1.
අනාථපිණ්ඩිකොවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි අනේපිඬුගැහැවි හටගත් ආබාධ ඇති වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ වෙයි. ඉක්බිති අනේපිඬුගැහැවි එක්තරා පුරුෂයෙක් ඇමතී. එව එම්බාපුරුෂය, තෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳු. ‘වහන්ස, අනේපිඬුගැහැවි හටගත් ආබාධ ඇති වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳී’ යයි. යළි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹැ මාගේ බසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසඟළ හිසින් වඳු. ‘වහන්ස, අනේපිඬු ගැහැවි ... වඳී’ යයි. මෙසේත් සැලකර. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬු සිටුහුගේ නිවෙස්න කරා අනුකම්පා පිණිස එළැඹෙනසේක්ව’යි.
‘එසේ යැ වහන්සැ’ යි ඒ පුරුෂ අනේපිඬුසිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, අනේපිඬුගැහැවි ආබාධික වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ වෙයි, හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳී’ යයි. යළි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් අභිවාදන කොට එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කී: ‘වහන්ස, අනේපිඬුගැහැවි ආබාධික වැ දුඃඛිත වැ දැඩි ගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසඟළ හිසින් වඳියි. මෙසේත් කියයි: ‘වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස අනේපිඬුසිටුහුගේ නිවෙස්න කරා එළැඹෙනසේක්ව’යි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො බැණ ඉවසූසේක. ඉක්බිති, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන පසුවැ යන ආයුෂ්මත් අනඳ තෙරුන් සමග අනේපිඬුසිටුහුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬුගැහැවියනට තෙල වදාළහ. කිම ගැහැවිය, තොපට සැහිය හෙයි ද, කිම යැපියහෙයි ද, කිම තොපගේ දුක් වේදනාවෝ තනු වෙත් ද, නො වැඩෙත් ද, තනුභාවයෙන් පැනේ ද, වැඩීම නො පැනේ දැ’යි.
ශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය නො හැක්ක, යැපිය නො හැක්ක, මාගේ දුඃඛ වේදනාවෝ දැඩි වූවාහු, බලවත් වෙති, තුනී නො වෙත්, වැඩීමේ අවසානය පැනෙයි, බැසීමේ අවසානය නො පැනෙයි.
ශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු සැතෙකින් මුදුන පෙළා ද එසෙයින් මැ ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මුදුන පෙළති. ශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය නො හැක්ක, යැපිය නො හැක්ක. මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනෙයි.
ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් වරපටබැඳුමෙකින් හිස්වෙළුම් දෙන්නේ ද එසෙයින් මැ ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මාගේ හිස සිඳිති. ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, මට සිහිය නො හැක්ක, යැපිය නො හැක්ක, මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනේ යයි.
ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ දක්‍ෂ වූ ගෝඝාතකයෙක් වේවයි ගෝඝාතක අතවැසියෙක් වේවයි තියුණු වූ ගෙරින් කපන සැතෙකින් කුස සිඳින්නේ ද, එසෙයින් මැ ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මාගේ කුස සිඳිති. ස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, මට සිහිය නො හැක්ක, මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනේ යයි.
ස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් පුරුෂයකු වෙන වෙන අත්ලාගෙන අඟුරුවළෙක්හි තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද, එසෙයින් මැ ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ මාගේ ශරීරදාහය වෙයි. ස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සැ, මට සිහිය නො හැක්ක, යැපිය නො හැක්ක.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු යැ, චක්‍ෂුස තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුර්නිඃශ්‍රිත නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ශ්‍රෝතය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ශ්‍රෝතනිඃශ්‍රිත ද නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ඝ්‍රාණය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ඝ්‍රාණනිඃශ්‍රිත ද නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... මාගේ විඥාන ජිහ්වා නිඃශ්‍රිත නො වේ යයි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... කය තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... මනස තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය.
ගැහැවිය, එහෙයින් ... රූපය තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... ශබ්ද තෘෂ්ණාදීන් නො ගන්මි ... ගන්‍ධය තෘෂ්ණාදීන් නො ගන්මි ... රසය තෘෂ්ණාදීන් නො ගන්මි ... ස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ධර්‍මය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ධර්‍මනිඃශ්‍රිත නො ද වේ’ යයි තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ මැ හික්මියයුතු යැ: ‘චක්‍ෂුර්විඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුරවිඥානනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු යැ: ශ්‍රෝතවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... ජිහ්වාවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... කායවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... මනෝවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනෝවිඥානනිඃශ්‍රිත ද නො වේ’ යයි ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘චක්‍ෂුඃසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුඃසංස්පර්‍ශනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ශ්‍රෝත්‍රසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ජිහ්වාසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... කායසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... මනඃසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනඃසංස්පර්‍ශනිඃශ්‍රිත නො වේ’ යයි ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු යි.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපන් වේදනානිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... කායසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... මනඃසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනඃසංස්පර්‍ශයෙන් උපන් වේදනානිඃශ්‍රිත ද නො වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘පෘථිවිධාතු තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය පෘථිවිධාතුනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... හික්මියයුතු ය: අබ්ධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... තෙජොධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... වායෝධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... ආකාශධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... විඥානධාතු තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය විඥානධාතුනිඃශ්‍රිත නො වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
එහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘රූපය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය රූප නිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ‘වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද විඥානනිඃශ්‍රිත වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘ආකාසානඤ්චායතනය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද ආකාසානඤ්චායතනනිඃශ්‍රිත වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘විඤ්ඤාණඤ්චායතනය ... ආකිඤ්චඤ්ඤායතනය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නේවසඤ්ඤානාසඤ්ඤායතනනිඃශ්‍රිත වූයේ නො ද වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
එහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘මෙලොව තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද මෙලොව ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු. එහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘පරලොව තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද පරලොව ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
එහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ලැබූ සිතින් විමසූ ‘යම් රූපායතනයෙක් ඇද්ද, ශබ්දායතනයෙක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයෙක් ඇද්ද, ධම්මායතනයෙක් ඇද්ද, එ ද තෘෂ්ණාදි විසින් නොගන්මි. මාගේ විඥානය ඒ රූපාදිය නො ද ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යයි.
මෙසේ වදාළ කල්හි අනේපිඬු ගැහැවි හැඬී, කඳුළු හෙළී. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට තෙල වදාළහ: ගැහැවිය, තෙපි (අරමුණෙහි) ඇලෙව, ගැලෙව යි.
වහන්ස ආනන්‍ද තෙරණුවෙනි, මම් අරමුණෙහි නො ඇලෙමි, නො ද ගැලෙමි. වැලි එකෙක් ඇති, මා විසින් දීර්‍ඝරාත්‍රයෙහි ශාස්තෲන් වහන්සේ පර්‍ය්‍යුපාසිතයහ. මනෝභාවනීය භික්‍ෂූහු ද පර්‍ය්‍යුපාසිත වූහු. මා විසින් මෙබඳු වූ ධර්‍මකථාවක් නො ද ඇසූවිරූ යයි.
ගැහැවිය, හෙළපිළිහඳනා ගිහිගේ වැසියනට මෙබඳු ධර්‍මකථා නො වැටහෙයි. ගැහැවිය,පැවිද්දනට මෙබඳු ධර්‍මකථා වැටහේ යයි.
එසේ වී නම් ස්වාමීනි, ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, හෙළපිළී හඳනා ගිහිගේ වැසියනට මෙබඳු ධර්‍මකථා වැටහේවා. ස්වාමීනි, ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අල්පරජස්ක ස්වභාව ඇති කුලපුත්‍රයෝ ඇත්තාහු මැ යැ. ධර්‍මය අශ්‍රවණතායෙන් (ඔහු) පිරිහෙති. දහම් අවබෝධ කරන්නාහු ඇත්තාහ’ යි.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද අනේපිඬු ගැහැවියනට මේ අවවාදයෙන් ඔවා දී හුනස්නෙන් නැඟී නික්ම ගියාහ.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද නික්මගිය නොබෝ කාලයෙහි අනේපිඬු ගැහැවි කාබුන් මරණින් මතුයෙහි තුසීපුර උපන.
ඉක්බිති අනේපිඬු දෙව්පිත් මධ්‍යමරාත්‍රියෙහි මනා සිරුරු පැහැ ඇති වැ සියලු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ සිටගත. එකත්පස් වැ සිටි අනේපිඬු දෙව්පිත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:
භික්‍ෂුසංඝයා විසින් නිති සෙවුනා ලද, ධර්‍මරාජයන් වහන්සේ විසින් වාස කළ මේ ජේතවනය මට ප්‍රීති උපදවනු වෙයි.
මාර්‍ගචේතනා සංඛ්‍යාත කර්‍මය ද මාර්‍ගප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද සමාධිපාක්‍ෂික ධර්‍මය ද සිල්වත්හුගේ ජීවිතය ද උතුම් වෙයි. තෙල කර්‍මාදිය හේතු කොට ගෙන සත්ත්‍වයෝ විශුද්ධ වෙති. ගෝත්‍රයෙන් වේවයි ධනයෙන් වේවයි ශුද්ධ නො වෙත්.
එහෙයින් පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ සමාධිපාක්‍ෂික ධර්‍මය උපායයෙන් (නුවණින්) විමසන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි විශුද්ධ වෙයි.
ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ක්ලේශෝපශමයෙන් ද ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මැ ශ්‍රේෂ්ඨ වෙති. නිර්‍වාණපාරයට පැමිණි යම් මහණෙක් වේ ද හෙතෙම ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පරම කොට ඇති වන්නේ ය’යි.
අනේපිඬු දෙව්පිත් මේ කී ය: ශාස්තෲන් වහන්සේ අනුදත්සේක. ඉක්බිති අනේපිඬු දෙව්පිත් ශාස්තෲන් වහන්සේ මා කී වදන් අනුදත්හ’ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්මගිය මධ්‍යමරාත්‍රියෙහි මනා සිරුරු පැහැ ඇති වැ සියලු දෙව්රම බබුළුවා මා කරා එළඹ මා අභිවාදනය කොට එකත්පස් වැ සිටගත. මහණෙනි, එකත්පස් වැ සිටි ඒ දෙව්පිත් මට ගාථායෙන් කී:
මේ ජේතවනය ... තෙල මැ පරම කොට ඇති වන්නේ යැ’යි.
මහණෙනි, ඒ දේවපුත්‍ර මෙය කී: ‘මා කී වදන් ශාස්තෲන් වහන්සේ අනුදත්හ’ යි. මා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් වී යයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වහන්ස, හේ වනාහි ඒකාන්තයෙන් ඒ අනේපිඬු දෙව්පිත් වන්නේ ය. වහන්ස, අනේපිඬු ගැහැවි සැරියුත් තෙරණුවන් කෙරෙහි අතිශය පහන් වී යයි.
සාධු ! සාධු !! ආනන්‍දය, ආනන්‍දය යම් පමණ තර්‍කයෙන් දත යුතු ද තොප විසින් ඒ දන්නාලද්දේ ය. ආනන්‍දය, හේ අනේපිඬු දෙව්පිත. අනෙකෙක් නො වේ යයි.
ශාස්තෲන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොළෝ
පළමු වැනි අනාථපිණ්ඩිකොවාද සූත්‍ර යි.
3. 5. 2.
ඡන්නෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ආබාධික වැ දුඃඛිත වැ දැඩිගිලන් වූවාහු වෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි සමවතින් නැගීසිටියාහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් කරා එළඹ ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි චුන්‍දයෙනි, යම්හ ආයුෂ්මත් ඡන්නතෙරුන් කරා ගිලන් බව පුළුවුස්නමෝ එළඹෙම්හ. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ඡන්න තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ඡන්න තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු වූ සිහි කළයුතු වූ කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරණුවනට තෙල කීහ: කිම ඇවත් ඡන්නයෙනි, තොප විසින් සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම තොපගේ දුඃඛවේදනාවෝ බැසයෙත් ද? නැඟ නො යෙත් ද? බැසුම් පැනේ ද? නැඟුම් නො පැනේ දැ? යි.
ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සැහිය හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම පැනේ, බැස්ම නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු යහුලින් මුදුන මඩනේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, මාගේ මුදුන අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් පෙළත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබානින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිස අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් සිඳිති. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නොයෙත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
ඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වල පුරුෂයකු වෙන වෙන අත් ගෙන අඞ්ගාරකර්ෂුයෙක ලා තවත් ද, තර කොට තවත් ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ කයෙහි අධිමාත්‍ර දාහයෙක. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවා ලමි. ජීවිතය නො කැමැත්තෙමි.
ආයුෂ්මත් ඡන්න තෙමේ ශස්ත්‍රාහරණ නො කෙරේවා, ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි ආයුෂ්මත් ඡන්න තෙරුන් යැපෙන්නවුන් කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජනයෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජන සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය නැත් නම් මම ආයුෂ්මත් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නිසි උපස්ථායකයෙක් නො වේ නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන් උවටන් කෙරෙමි. ආයුෂ්මත් ඡන්න තෙරුන් ශස්ත්‍රාහරණ නො කෙරේවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි යැපෙන ආයුෂ්මත් ඡන්නයන් කැමැත්තම්හ’ යි.
ඇවත් ශාරිපුත්‍රයෙනි, මට සත්ප්‍රායභෝජනයෝ නැත්තාහු නො වෙති. මට සත්ප්‍රායභෛෂජ්‍යයෝ නැත්තාහු නො වෙති. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු නො වෙත්. වැළිදු ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ, අමනාපගතීන් නො වෙයි. ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, අමනාපගති තබා මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යම් කරුණෙක් වේ ද, තෙල කරුණ ශ්‍රාවකයක්හට නිසි වෙයි. ඡන්න භික්‍ෂු අනුපදව්‍ය (අප්‍රතිසන්‍ධික) කොට ශස්ත්‍රාහරණ කෙරේ යයි මෙසේ ඇවත් සැරියුත් තෙරණුවෙනි, තෙල කරුණ ධරන්නේ මැනැව.
ඉදින් ආයුෂ්මත් ඡන්නයෝ ප්‍රශ්නව්‍යාකරණ සඳහා අවකාශකෙරෙත් නම් අපි ආයුෂ්මත් ඡන්නයන් අතින් කිසි දෙසක් පුළුවුසුම්හ. ඇවත් සැරියුත් තෙරණුවෙනි, පුළුවුස්නේ මැනැව, අසා දනුම්හ’ යි.
ඇවත් ඡන්නයෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මය’ යි නුවණින් දක්නෙහි ද? ඇවත් ඡන්නයෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් ඡන්නයෙනි, කාය කායවිඥාන ... ඇවත් ඡන්නයෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි. තෙලෙ මාගේ ආත්ම යයි නුවණින් දක්නෙහි දැ’ යි.
ඇවත් සැරියුත් තෙරණුවෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි. ඇවත් සැරියුත් තෙරණුවෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, කාය කායවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි.
ඇවත් ඡන්නයෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි කුමක් දැක කුමක් අවබෝධ කොට චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ යයි නුවණින් දක්නෙහි. ඇවත් ඡන්නයෙනි, ශ්‍රෝතයෙහි ශ්‍රෝතවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, ඝ්‍රාණයෙහි ඝ්‍රාණවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, කයෙහි කායවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, මනස්හි මනොවිඥානයෙහි මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි කුමක් අවබෝධ කොට මනස මනෝවිඥාන මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි නුවණින් දක්නෙහි?
ඇවත් සැරියුත් තෙරණුවෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි නිරෝධය දැක නිරෝධය අවබෝධ කොට චක්‍ෂු චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි. ඇවත් සැරියුත් තෙරණුවෙනි, ශ්‍රෝතයෙහි ශ්‍රෝතවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ඝ්‍රාණයෙහි ඝ්‍රාණවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, කයෙහි කායවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, මනස්හි මනොවිඥානයෙහි මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි නිරෝධය දැක, නිරෝධය අවබෝධ කොට මනස මනෝවිඥාන මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යයි නුවණින් දක්මි’ යි කී.
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරුන්ට තෙල කීහ: ‘ඇවත් ඡන්නයෙනි, ඒ මාරණාන්තික වේදනා ඇතියෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශිෂ්ටිය ද නිරතුරු සිහි කරන්නේ මැනැව. තෘෂ්ණාදීන් නිඃශ්‍රිතයාහට ක්ලේශකම්පනය වෙයි, අනිඃශ්‍රිතයා හට චලිතයෙක් නැත. චලිතය නැති කල්හි කෙලෙස් සන්හිඳුම් වෙයි. සන්හිඳුම් ඇතිවත් ම තෘෂ්ණා නො වෙයි. තෘෂ්ණා නැතිවත් ම (පිලිසඳ විසින්) ආගමන හා (ච්‍යුති විසින්) ගමන නො වෙයි. ආගති හා ගති නැති වත් ම ච්‍යුති උපපාත දෙක නො වෙයි. ච්‍යුති උපපාත දෙක නැති වත් ම මෙලොවැ හෝ නො වෙයි. පරලොවැ හෝ නො වෙයි. දෙලොව්හි මැ නො වෙයි. දුඃඛයාගේ තෙලෙ මැ කෙළවර වෙයි.
එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍දතෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට මේ අවවාදයෙන් අවවාදදී හුනස්නෙන් නැඟී වැඩියෝ. එසඳ ආයුෂ්මත් ඡන්න තෙරහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් වඩනා හා මැ ශාස්ත්‍රාහරණ කළෝ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. “වහන්ස, ආයුෂ්මත් ඡන්න තෙරුන් විසින් ශාස්ත්‍රාහරණ කරන ලද”, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ’ යි.
ශාරිපුත්‍රය, ඡන්න මහණහු විසින් තොප හමියෙහි මැ අනුපවද්‍යතා පවසන ලද නො? යි.
වහන්ස, පුබ්බජිර නම් වැදැගමක් ඇත. එහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ මිත්‍ර කුලයන් හා සුහද කුලයන් හා එළැඹිය යුතු කුලයෝ ද ඇත. ශාරිපුත්‍රය, ඡන්න මහණහුගේ තෙල මිත්‍රකුලයෝ ද සුහද කුලයෝ ද ‘උපවජ්ජ’ (එළැඹියැ යුතු) කුලයෝ ද වෙති. ශාරිපුත්‍රය, මම මෙතෙකින් සඋපවජ්ජහ’ යි නො කියමි. ශාරිපුත්‍රය, යමෙක් මේ කය හරණේ වේ ද, අන් කයකුදු ගන්නේ වේ ද, මම ඔහු සඋපවජ්ජහ’ යි කියමි. ඒ ඡන්න භික්‍ෂූහට නැත. (එහෙයින්) අනුපවජ්ජ වූ ඡන්න මහණ ශාස්ත්‍රාහරණ කෙළේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළෝ.
දෙවැනි ඡන්නෝවාද සූත්‍ර යි.
3. 5. 3.
පුණ්ණෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැංගාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ:
වහන්ස, ‘මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු සංක්‍ෂිප්ත අවවාදයෙකින් අවවාද කරනසේක්වා’ යි අයැදසිටුම්හ’යි.
‘එසේ වී නම් පුණ්ණය, අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ’ යි වදාළහ.
‘වහන්ස, එසේ යැ’ යි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවීමට නිසි චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ රූපායතන අභිනන්‍දන කෙරේ ද, සිතින් ගෙන තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටී ද, ඒ රූපායතන අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඒ මහණහට තෘෂ්ණාව උපදී. තෘෂ්ණා සමුදය හේතුයෙන් පුණ්ණය, දුඃඛසමුදය වේ යයි කියම්හ.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින්, මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන කෙරේ ද, තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටුනේ වේ ද, එය අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. තෘෂ්ණාසමුදය හේතුයෙන් දුඃඛසමුදය වේ යයි කියම්හ.
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනාර්‍හ වූ චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණෙ රූපායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා විසින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ රූපායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඒ මහණහට තෘෂ්ණා නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා හෙයින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඔහුගේ තෘෂ්ණා නිරුද්ධ වෙයි, තෘෂ්ණා නිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
පුණ්ණය, මා විසින් මේ සංක්‍ෂිප්ත වූ අවවාදයෙන් අවවාද කරන ලද තෝ කිනම් දනවියෙක වාස කෙරෙහි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් මම ඔවා දෙනලදිමි. සුනාපරන්ත නම් දනවියෙක් ඇත, එහි මම වාස කෙරෙමි.
පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු චණ්ඩයහ. පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු පරුෂයහ. පුණ්ණය, ඉදින් සුනාපරන්ත දනවුවැසි මිනිස්හු තට ආක්‍රෝශ කෙරෙත් නම්, නින්‍දා බස් බෙණෙ නම් පුණ්ණය, එහිලා තට කෙබඳු සිතෙක් වේ යැ?
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට ආක්‍රෝශ කෙරෙත් නම් නින්‍දා බෙණෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට අතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි, සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙතියි සැල කොළෝ.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු අතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය තට කෙසේ සිත් වේ යැ? යි.
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට අතින් පහර දෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට කැටින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තට කැටින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු මට කැටින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට දඬින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට සැතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය, තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් තියුණු සැතින් මා දිවියෙන් තොර නො කෙරෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.