මහණෙනි, එහි අතුරිත වූවහුගේ යම් භාෂිතයෙක් නො දුක් වූයේ ද තෙල දහම අනුපඝාත, අනුපායාස, අපරිදාහ වූයේ සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්‍ම වේ.
මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙකුත් ලෝකව්‍යවහාරයෙහි අතිධාවනයෙකුත් දුක් සහිත වේ ද, තෙල දහම සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.
මහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙක් ලෝකව්‍යවහාරයෙහි අනතිධාවනයෙක් ඇද්ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්‍ම නම් වේ යයි.
මහණෙනි, එහෙයින් මෙහි ලා සරණධර්‍මයත් දැනගනුම්හ, අරණධර්‍මයත් දැනගනුම්හ. සරණධර්‍මයත් දැන අරණධර්‍මයත් දැන අරණප්‍රතිපදායෙහි පිළිපදුම්හ’ යි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු. තවද මහණෙනි, සුභූති කුලපුත්‍ර අරණ ප්‍රතිපදාවට පිළිපන්නේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ අරණවිභඞ්ගය වදාළසේක. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යයි.
නව වැනි අරණවිභඞ්ග සූත්‍ර යි.
3. 4. 10.
ධාතුවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධදනවියෙහි සැරිසරනසේක් රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගව කුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්‍ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහි වසම්හ’යි.
වහන්ස, මට නො බර වෙයි, වැළි එකෙක් ඇත, මෙහි කැල මැ වාසෝපගත වූ පැවිද්දෙක් ඇත. ඉදින් හේ අනුදන්නේ වී නම් වහන්ස, යථාසුඛ විහරණ කළ මැනැවැ’ යි.
එසමයෙහි පුක්කුසාති නම් කුලපුත් බුදුන් උදෙසා සැදැහැයෙන් ගෙන් නික්ම සසුන් වන්නේ වෙයි. හේ ඒ කුම්භකාරාවෙසනයෙහි කැල මැ වාසෝපගත වෙයි. එසඳ බුදුහු පුක්කුසාති කුලපුතු කරා වැඩිසේක, වැඩ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ: ඉදින් මහණ, තොපට නො බර වී නම් එක් රැයක් සිප්හලෙහි වසම්හ’යි. ඇවැත්නි, කුම්භකාරාවෙසනය සම්බාධ රහිත යැ. ආයුෂ්මත් යථාසුඛයෙන් වසන්නේ මැනැවැ.
එසඳ භාග්‍යවතුන් වහන්සේ කුඹල්සිප්හල් වැද එකත්පසෙක තණඇතිරිය පනවා පලක් අවුළුවා උපරිම කය ඍජු කොට තබා පරිමුඛ කොට සිහි එළවා වැඩ හුන්හු. එසඳ බුදුහු රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූසේක. ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් හු ද රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූහ. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. මේ කුලපුත් ප්‍රසාද එළවනසුලු ඉරියවු කෙරෙයි, මම පුළුවුස්නෙම් මැනැවැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ. මහණ තෝ කවරක්හු උදෙසා පැවිදි වූයෙහි? තාගේ ශාස්තෘ කවරෙක හො? කවරක්හුගේ දහම් තෝ රුස්ව? යි.
ඇවැත්නි, සැහැකුලෙන් නික්ම පැවිදි වූ සැහැකුලපුත් මහණගොයුම් ඇත. ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් උස්ව නැඟිණි: “මෙකරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’ යි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මට ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘයහ. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් රුස්මි යි.
මහණ, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල කොහි වෙසෙත්දැ? යි.
ඇවැත්නි, උතුරු දනවියෙහි ශ්‍රාවස්ති නම් නගරයෙක් ඇත. එහි ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල්හි වාස කරන සේකැ’ යි.
මහණ, තොප විසින් ඒ භාග්‍යවත්හු දුටුවිරූහු ද? යළි දැක හඳුනන්නහු දැ? යි.
ඇවැත්නි, මා විසින් ඒ භාග්‍යවත්හු නුදුටුවිරූහ. මම් දැක ද නො හඳුනමි’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: ‘මේ කුලපුත් මා උදෙසා පැවිදි වූයේ වන, මම් ඕහට දහම් දෙසම් නම් මැනැවැ’ යි. ඉක්බිති බුදුහු ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් ඇමැතූසේක: ‘මහණ, තොපට දහම් දෙසන්නෙමි, ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ.
මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධිෂ්ඨානයෝ යි.) උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත’ යයි කියනු ලැබේ. (අර්‍හත්ඵලප්‍රඥා ප්‍රතිවේධය පිණිස) සමාධිවිදර්‍ශනා ප්‍රඥායෙහි අප්‍රමත්ත වන්නේ යැ. වාක්සත්‍යය රක්නේ යැ. ක්ලේශපරිත්‍යාගය වඩන්නේය. ඒ මහණ ක්ලේශෝපශමය මැ හික්මෙන්නේ යයි. ෂඩ්ධාතුවිභඞ්ගයාගේ මේ උද්දේශ යැ.
‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල සඳහා කියනලදි.
‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද. තෙල කුමක් සඳහා කියනලද ද යත්: චක්ඛු සම්ඵස්සායතන යැ සෝතසම්ඵස්සායතන යැ ඝානසම්ඵස්සායතන යැ ජිව්හාසම්ඵස්සායතන යැ කායසම්ඵස්සායතන යැ මනෝසම්ඵස්සායතන යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇසින් රූ දැක සොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය විචාර කෙරෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස ස්පර්‍ශ කොට ... සිතින් දහම් දැන සොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම විචාර කෙරෙයි. මෙසේ සෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, දෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, උපෙක්ඛුපවිචාරයෝ සදෙනෙක. ‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: ප්‍රඥාධිෂ්ඨාන යැ සත්‍යාධිෂ්ඨාන යැ ත්‍යාගාධිෂ්ඨාන යැ උපශමාධිෂ්ඨාන යි. ‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදි.
‘ප්‍රඥායෙහි නො පමා වන්නේ යැ, සත්‍යය රක්නේ යැ, ත්‍යාගය වඩනේ යැ, හේ ශාන්තිය මැ හික්මෙන්නේ යැ’ යි මෙසේ තෙල බසෙක් කියනලද, තෙල බස් කුමක් පිණිස කියනලද යැ යත්: මහණ, කෙසේ ප්‍රඥාව පමා නො කරන්නේ වේ ද: මහණ, මේ ධාතුහු සදෙනෙකි: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි.
මහණ, පෘථිවිධාතු කවර? පෘථිවිධාතු ආධ්‍යාත්මික වැ ඇත බාහිර වැ ඇත. මහණ, ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර? ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්නක් වූ යමක් ඇද්ද, හේ මෙසේ යැ: කේශයෝ යැ රෝමයෝ යැ නඛයෝ යැ දන්තයෝ යැ ත්‍වක් යැ මාංශ යැ නහර යැ අස්ථිහු යැ අස්ථිමජ්ජා යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ ක්ලෝම යැ ප්ලීහ යැ පුප්ඵුස යැ අන්ත යැ අන්තගුණ යැ නො පැසුණු අහර යැ මල යැ, යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ යම් කිසි උපාදින්නකයෙක් ඇද්ද, මහණ, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් ඇද්ද, යම් බාහ්‍ය වූ පෘථිවි ධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙව්මි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල පෘථිවිධාතුව ඇති සැටි විදර්‍ශනාප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට විදසුන් නුවණින් දැක පෘථිවිධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. පෘථිවිධාතුයෙහි සිත නො අලවයි.
මහණ, අබ්ධාතු කවරැ? අධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇත. බාහ්‍ය අබ්ධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික අබ්ධාතු කවරැ? අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් අබ්ගතයෙක් කර්‍මසමුත්‍ථානයෙක් ඇද්ද, හේ මෙසේ යැ: පිත යැ සෙම යැ සැරව යැ ලෙහෙ යැ සෝදිය යැ මේද තෙලැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ සුලුදිය යි. යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම්කිසි ආපයෙක් අබ්ගතයෙක් උපාදින්නකයෙක් ඇද්ද මහණ, මේ ‘ආධ්‍යාත්මික අබ්ධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද බාහ්‍ය වූ යම් අබ්ධාතුවකුත් ඇද්ද, තෙල අබ්ධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
මහණ, තෙජොධාතු කවරැ? අධ්‍යාත්මික වූ තේජෝධාතුයෙක් ඇත. බාහිර වූ තේජෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික තෙජොධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි තේජෝගත වූ උපාදින්නක වූ යම් ආධ්‍යාත්මික තේජසෙක් වේ ද, ඒ කෙසේ යැ: යම් තේජසෙකින් තැවේ ද යම් තේජසකින් දිරා ද යම් තේජසකින් දැවේ ද යම් තේජසෙකින් බිදි පී කෑ ලෙවි දැය මොනොවට පැසීමට යේ ද, මෙයින් බැහැර යම්කිසි ද වූ තමා කෙරෙහි පිහිටි තේජොගත වූ උපාදින්නක වූ යම් අධ්‍යාත්මික තේජසෙක් වේ ද මහණ, මේ ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් ඇද්ද යම් බාහිර තේජෝධාතුයෙක් ඇද්ද, තෙල තෙජොධාතු මැ යැ. එය ‘තෙල මා ගැත්තේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක තේජෝධාතුයෙහි කලකිරෙයි. තේජෝධාතුයෙහි සිත නො අලවයි.
මහණ, වායෝධාතු කවරැ? අධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇත. බාහිර වායෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික වායෝධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි වායෝගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් වේ ද, ඒ කෙසේ යැ? උද්ධඞ්ගම වාතයෝ යැ අධෝගමවාතයෝ යැ කුච්ඡිසයවාතයෝ යැ කොට්ඨසය වාතයෝ යැ අඞ්ගමඞ්ගානුසාරී වාතයෝ යැ ආශ්වාස ප්‍රශ්වාස යි. මෙසේ තමා කෙරෙහ්හි වූ වායෝගත වූ උපාදින්න වූ තදන්‍ය යම්කිසි වාතයෙක් ඇද්ද, මහණ, මේ ‘ආධ්‍යාත්මිකවායෝධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද තෙල වායෝධාතු මැ වෙයි. ඒ ‘තෙල මා ගැති නො වෙයි. මම තෙලෙ නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යැ. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන වායෝධාතුයෙහි කලකිරෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
මහණ, ආකාසධාතු කවරැ? අධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇත. බාහිර ආකාසධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික ආකාසධාතු කවරැ? තමා කෙරෙහි වූ ආකාසගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික ආකාසයෙක් වේ ද, ඒ කෙසේ යැ? කන්සිදුරැ නැහැසිදුරැ මුවදොරැ යම් ආකාසයෙකින් බිදි පී කෑ ලෙවි දැය ගිලගනී ද, යම් අහසෙක බිදි පී කෑ ලෙවි දැය සිටුනේ වේ ද, යම් අහසෙකින් බිදි පී කෑ ලෙවි දෑ අධෝභාගයෙන් නික්මේ ද, තමා කෙරෙහි වූ ආකසගත වූ ඝර්‍ෂණ රහිත වූ අඝගත වූ විවර වූ විවරගත වූ මස්ලෙහෙයින් නො පහළ උපාදින්න වූ යම් තදන්‍ය කිසිදු ආකාසයෙක් වේ ද, මහණ, මේ ‘ආධ්‍යාත්මික ආකාසධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇද්ද යම් බාහිර ආකාසධාතුයෙක් ඇද්ද, තෙල ආකාසධාතු මැ යැ. එය ‘තෙල මා ගැති නො වෙයි. මම තෙල නො වෙමි, තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන ආකාසධාතුයෙහි කලකිරෙයි. ආකාසධාතුයෙහි සිත නො අලවයි.
ඉක්බිති අපර වූ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ විඥානය මැ ඉතිරි වෙයි. ඒ විඥානයෙන් කුමක් දනී ද? ‘සුඛ’ යයි ද දනී. ‘දුඃඛ’ යයි ද දනී. ‘අදුඃඛ අසුඛ’ යයි ද දනී. මහණ, සුඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි දනී. ඒ සුඛවේදනීය ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනායෙක් ඇද්ද, සුඛවේදනීය ස්පර්‍ශය නිසා උපන් සුඛවේදනායෙක් ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.
මහණ, දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා දුඃඛ දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’ යි නුවණින් දනී. එ මැ දුඃඛ දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් දුඃඛවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි ඒ සන්හිඳේ යයි නුවණින් දනී.
මහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපේක්‍ෂා වේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ උපේක්‍ෂාවේදනා විඳිමි’ යි නුවණින් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂා වේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් උපේක්‍ෂාවේදනා ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.
මහණ, යම් පරිදි උභය කාෂ්ටයන්ගේ ස්පර්‍ශසමවධානයෙන් හුණුසුම් හටගනී ද ගිනිත් නිපදවා ද ඒ උභයකාෂ්ටයන්ගේ මැ වෙන් වීමෙන් විසුරුවාලීමෙන් එයින් උපන් යම් උණුසුමෙක් වේ නම් ඒ නිරුද්ධ වේ ද ඒ සන්හිඳේ ද, මහණ, එපරිදි මැ සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි ප්‍රකාරයෙන් දනී. සුඛ වේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද, සුඛ වේදනාවට කරුණු වූ පහස නිසා උපන් සුඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යි ඒ සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
මහණ, දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. දුඃඛවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා උපන් දුඃඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
මහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපේක්‍ෂාවේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපන් උපේක්‍ෂාවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. මහණ යම් පරිදි දක්‍ෂ වූ ස්වර්‍ණකාරයෙක් වේවයි ස්වර්‍ණකාර අන්තේවාසිකයෙක් වේවයි කෝවයක් බඳනේ වේ ද කෝවය බැඳ කෝවාමුව ආලිම්පනය කෙරේ ද කෝවාමුව ආලිම්පන කොට අඬුවෙන් රන් ගෙන කෝවාමුවෙහි බහනේ වේ ද, ඒ රන කලින් කල පිඹිනේ වේ ද කලින්කල කින් ඉස්නේ වේ ද කලින් කල උපේක්‍ෂා කෙරේ ද ඒ රන මල පිඹහළ මොනොවට පිඹහළ නිඃශේෂයෙන් පිඹහළ නෙරාගත් නෙරැලූ කසට ඇති මෘදු වූත් කර්‍මණ්‍ය වූත් ප්‍රභාස්වර වූත් රනෙක් වෙයි. යම් යම් පිලන්ධනවිකෘතියක් පිණිස කැමැති වේ ද හිණුදම් පිණිස වේවයි කුණ්ඩලාභරණ පිණිස වේවයි ග්‍රීවාහරණ පිණිස වේවයි රන් මල්දම් පිණිස වේවයි ඔහුගේ ඒ අර්‍ත්‍ථය ද සිදු කෙරෙයි.
මහණ, එපරිදි මැ ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. හේ මෙසේ දනී: ඉදින් මම මෙසේ පරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍ම වූ චිත්තය ද වඩන්නෙම් නම් මෙසේ මාගේ මේ උපේක්‍ෂාව එය ඇසිරි කළා එය උපාදාන විසින් ගත්තී දීර්‍ඝකාලයක් සිටුනී යැ. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දීර්‍ඝකාලයක් සිටුනී යැ. මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ. ඉදින් මම මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ කියා යි.
හේ මෙසේ දනී: ‘ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි කියා යි. හේ එය අභිසංස්කරණ නො කෙරෙයි. භවය පිණිස වේවයි. විභවය පිණිස වේවයි. අභිසඤ්චේතනා නො කෙරෙයි. හේ අභිසංස්කරණ නො කරන්නේ අභිසඤ්චේතනා නො කරන්නේ භවය පිණිස හෝ විභවය පිණිස හෝ ලෝකයෙහි කිසිදු උපාදාන වශයෙන් නොගනී. උපාදාන වශයෙන් නො ගන්නේ තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරෙයි. තණ්හා පරිතස්සනා නො කරනුයේ තමා තුළ මැ පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වී. බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා අනි කිසෙක් නැති’යි දනී.
ඉදින් හේ සුඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ‘බැසගෙන සිටුනට නො නිසි ය’යි දනී. ‘තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දන කරනට නො නිසි යැ’යි දනී. ඉදින් දුඃඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගෙන සිටුනට නො නිසි ය’යි දනී. තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දනයට නො නිසි යැ’යි දනී. ඉදින් උපේක්‍ෂා වේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගන්නට නො නිසි යැ’යි දනී. අභිනන්‍දනාර්‍හ නො වෙති’ යි දනී.
ඉදින් හේ සුඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ සුඛවේදනා නො විඳි. ඉදින් හේ දුඃඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ දුඃඛවේදනා නො විඳී. ඉදින් හේ උපේක්‍ෂාවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ උපේක්‍ෂා වේදනා නො විඳී. හේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජීවිතපර්‍ය්‍යාදානයෙන් මතු මෙලොව මැ අනභිනන්‍දිත වූ සියලු වේදනාවෝ මේ ආයතනයන්හි මැ සන්හිඳෙති’යි දනී.
මහණ, යම් පරිදි තෙල් ද නිසා වැටි ද නිසා තෙල්පහන් දිලියේ ද ඒ තෛලයාගේ ද වැටියගේ ද ක්‍ෂය වැ යෑමෙන් අනෙකක්හුගේ නො ගැනීමෙන් අනාහාර වැ නිවියේ ද, මහණ, එපරිදි මැ කායපර්‍ය්‍යන්තික වේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජිවිතක්‍ෂයෙන් මතු මේ ආයතනයන්හි මැ අනභිනන්‍දන සියලු වේදනාවෝ සන්හිඳෙති’ යි දනී. එහෙයින් මෙසේ සමන්‍වාගත මහණ මේ පරම ප්‍රඥාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වූයේ නම් වෙයි. මහණ, මේ පරම ආර්‍ය්‍යප්‍රඥාව යි. කිමෙක යත්: සර්‍වදුඃඛක්‍ෂයෙහි ඥානය යි.
ඔහුගේ ඒ අර්‍හත්ඵලවිමුක්තිය පරමාර්‍ත්‍ථසත්‍ය වූ නිවනෙහි සිටියා (කෙලෙසුන් විසින්) අකෝප්‍ය වෙයි. මහණ, යමක් නැසෙන පියවි ඇද්ද එය විතථ වෙයි. නො නැසෙන පියවි ඇති යම් නිවනෙක් ඇද්ද, එය සත්‍ය වෙයි. එහෙයින් මෙසේ එයින් සමන්‍වාගත මහණ මේ පරමාර්‍ත්‍ථසත්‍යාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් නො නැසෙන ස්වභාව වූ නිවනෙක් ඇද්ද තෙල පරම වූ ආර්‍ය්‍යසත්‍ය යි.
පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහු විසින් මැ සම්පූර්‍ණ කරනලද ගන්නාලද ස්කන්‍ධාදි උපධීහු වෙත් ද ඔවුහු ඔහුට ප්‍රහීණ වූවාහු වෙති. උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත්. එහෙයින් මෙයින් සමන්‍වාගත මහණ මේ උත්තම වූ ත්‍යාගාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් ඇද්ද තෙල උත්තම වූ ආර්‍ය්‍යත්‍යාගයවෙයි. පෙර පෘථග්ජන වූ අවිද්‍යායෙන් යුත් අභිධ්‍යායෙක් ඡන්‍දයෙක් බලවත් රාගයෙක් වේ ද, ඔහුට ඒ රාගය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා පියවි ඇත්තේ වෙයි.
පෙර අවිද්‍යායෙන් යුත් ඔහුට මැ ආඝාතයයෙක් ව්‍යාපාදයෙක් සම්ප්‍රදොෂයෙක් වේ ද ඔහුට ඒ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ අනුඅභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි.
පෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහුට මැ යම් අවිද්‍යායෙක් සම්මොහයෙක් සම්ප්‍රදොෂයෙක් වී ද, ඔහුට ඒ සම්මෝහ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තා එහෙයින් මේ උපශමයෙන් සමන්‍විත වූ මහණ මේ උත්තම වූ උපශමාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වෙයි. මහණ, තෙල උත්තමවූ ආර්‍ය්‍ය උපශමය වෙයි, යම් රාගද්වේෂමෝහයන්ගේ උපශමයෙක් ඇද්ද එයයි.
‘විදර්‍ශනාප්‍රඥායෙහි නො පමා වන්නේ යැ වාක්සත්‍යය රක්නේ යැ, ක්ලේශත්‍යාගය වඩනේ යැ, හේ නිර්‍වාණ ශාන්තිය මැ හික්මෙන්නේ යයි මෙසේ යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියනලදි.
යම් අධිෂ්ඨානයෙකැ පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද, උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපශාන්ත යැ යි කියනු ලැබෙයි යන් තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: මහණ (මම් නිත්‍ය) වෙමි’ යන් තෙල දෘෂටිකල්පනයෙකි. ‘මේ මම් වෙමි’ යන තෙල තණ්හා මඤ්ඤිතයෙකි. ‘(මම්) අනායෙහි වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අනායෙහි නො වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘රූපවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි ‘අරූපී වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘සංඥාවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අසංඥ වෙමි’ යන තෙල දෘෂ්ටි කල්පනයෙකි. ‘නෛවසංඥනාසංඥවෙමි’ යන තෙල දෘෂ්ටිකල්පනයෙකි. මහණ, මඤ්ඤිතය රෝගයෙක. මඤ්ඤිතය ගණ්ඩයෙක. මඤ්ඤිතය ශල්‍යයෙක. මහණ, මඤ්ඤිතයන්ගේ මැ, ඉක්මවාලීමෙන් ක්‍ෂීණාස්‍රව මුනි ‘ශාන්ත යැ’ යි කියනු ලැබේ. තවද මහණ, ක්‍ෂීණාස්‍රව මුනි ශාන්ත වූයේ නූපදී, නො දිරයි, නො මියෙයි, කෙලෙසුන් විසින් අකෝප්‍ය වෙයි. නො වෙහෙසෙයි. මහණ, යම් කරුණෙකින් උපදනේ ද, එකරුණ ඔහුට නැත. නූපදනේ කිම දිරන්නේ ද, නො දිරනුයේ කිම මියන්නේ ද, නො මියනුයේ කිම (කෙලෙසුන් විසින්) කෝප්‍ය වේ ද, අකෝප්‍ය වනුයේ කුමක් හෙයින් වෙහෙසේ ද? යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත යැ’ යි කියනුලැබේ යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියනලදි. මහණ, තෙපි මා විසින් සැකෙවින් ප්‍රකාශ කළ මේ ෂඩ්ධාතුවිභඞ්ගය ධරව යි.
එසඳ පුක්කුසාති කුලපුත් මාගේ ශාස්තෘන් වහන්සේ වැඩිසේක, මාගේ සුගතයන් වහන්සේ වැඩිසේක, මාගේ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ’ යි හුනස්නෙන් නැඟී සිවුර එකස් කොට ගෙන බුදුන්ගේ දෙපාමුල හිසින් වැටී සිට වැදහෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, වරද මා මැඩගත. බාලභාවය වූ සැටියෙනි, මූඪභාවය වූ සැටියෙනි, අකුශලභාවය වූ සැටියෙනි, මම භාග්‍යවතුන් වහන්සේ ‘ආවුසො වාදයෙන්’ බිණියයුතු කොට සිතීම් ද, එහෙයිනි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ වරද වරද විසින් පිළිගන්නාසේක්වා, ආයතිසංවරය පිණිස යයි.
මහණ, බාලයකු මැඩගන්නා සෙයින් මූඪයකු මැඩගන්නා සෙයින් අදක්‍ෂයකු මැඩගන්නා සෙයින් ඒකාන්තයෙන් වරද තා මැඩගත, යම් හෙයෙකින් තෝ මා ‘ආවුසෝවාදයෙන්’ බිණියයුතු කොට සිතුයෙහි ද, එහෙයිනි. මහණ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධරමානුකූල කොට ප්‍රතික්‍රියා කෙරෙහි ද, අපි තාගේ ඒ ක්‍රියා පිළිගනුම්හ. මහණ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මය නො ඉක්ම පිළියම් කෙරේ ද, ආයතිසංවරයට පැමිණේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධියෙක් මැ යැ.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදාව ලබම්වා!
මහණ, තාගේ පාසිවුරු පරිපූර්‍ණ වැ ඇද්ද?
වහන්ස, මාගේ පාසිවුරු පරිපූර්‍ණ නො වෙ.
මහණ, තථාගතවරු නො පිරිපුන් පාසිවුරු ඇතියහු උපසපන් නො කෙරෙති.
එසඳ පුක්කුසාති කුලපුත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට පාත්‍රචීවර පර්‍ය්‍යෙෂණයට බැස ගියේ.
ඉක්බිති පාසිවුරු පිරිසෙයුම් කරන පුක්කුසාති කුලපුත්හු භ්‍රාන්ත වූ දෙනක් දිවියෙන් තොර කළා.
එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: වහන්ස, පුක්කුසාති නම් යම් කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්ත අවවාදයෙකින් ඔවා දෙනලද ද, හේ කාලක්‍රියා කෙළේ, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ? යි.
මහණෙනි, පුක්කුසාති කුලපුත් පණ්ඩිත යැ, ධර්‍මානුධර්‍ම අවබෝධ කෙළේ යැ. ධර්‍මහේතුයෙන් මා නො පෙළී. මහණෙනි, පුක්කුසාති කුලපුත් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ ඒ බඹලොවින් වටාලා නො එනසුලු වැ එහි මැ පිරිනිවන්පානේ යයි.
භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.
දස වැනි ධාතුවිභඞ්ග සූත්‍ර යි.
3. 4. 11.
සච්චවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩ වාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වනලද, එ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන් පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභාගය පළට කිරීම යි. කවර සතර දෙනකුන්ගෙන් යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, බමුණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය ප්‍රකට කිරීම යි.
මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන සේවනය කරව. මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන භජනය කරව, ඒ භික්‍ෂූහු දෙදෙන පණ්‍ඩිතයහ, සබ්‍රහ්මචාරීනට අනුග්‍රාහකයෝ යි. මහණෙනි, ශාරීපුත්‍රයෝ විජාතමාතෘ සදෘශයහ. මහණෙනි, මෞද්ගල්‍යායනයෝ පෝෂක උපමාතෘ සදෘශයහ. මහණෙනි, ශාරිපුත්‍රයෝ සෝවන්පෙළෙහි විනයන කෙරෙති, මෞද්ගල්‍යායනයෝ උත්තමාර්‍ත්‍ථ වූ අර්‍හත්‍වයෙහි පිහිටුවති. මහණෙනි, ශාරීපුත්‍රයෝ චතුරාර්‍ය්‍යසත්‍යයන් විස්තර විසින් පවසන්නට පනවන්නට පිහිටුවන්නට විවරණ කරන්නට විභාග කරන්නට ප්‍රකට කරන්නට ප්‍රභූ වෙති’ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. සුගතයන් වහන්සේ මේ වදාරා හුනස්නෙන් නැඟී විහාරයට වැඩියෝ.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල සච්චවිභඞග සුතත් වදාළෝ.
ඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. ඒ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණය යි. කවර සතර දෙනකුන්ගේ යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උක්තානීකරණය යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි.
ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.
ඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව නිකායයෙහි යම් (අපරිපූර්‍ණායතන වශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්‍ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජ වශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසේදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, ජරා කවර: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක්, කැඩුණු බවෙක්, පලිත ඇති බවෙක්, ඇඟ රැලි වැටුණු බවෙක්, ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, ඇවැත්නි, මේ ‘ජරා’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් වචනාකාරයෙක් බිදිමෙක් අතුරුදහනෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් ශරීරයාගේ නික්‍ෂේපයෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ උපචේඡදයෙක් වේ ද, ඇවැත්නි, මේ ‘මරණ’ යයි කියනුලැබේ.
ඇවැත්නි, ‘ශෝක’ කවරෙ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරනලද්දහුගේ යම් ශෝකයෙක් ශොචනායෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් අභ්‍යන්තර පරිශොකයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ශෝක’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, පරිදේව කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරන ලද්දහුගේ නම්ගොත් දක්වමින් හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම් කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම්ගොත් කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වේ ද ඇවැත්නි, මේ ‘පරිදේව’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, දුඃඛ කවරෙ යැ යත්: ඇවැත්නි, යම් කායික දුඃඛයෙක් කායික අමධුරයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් දුකෙක් නො මිහිරෙක් වේදනායෙක් වේ ද, ඇවැත්නි, මේ ‘දුඃඛ’ යයි කියනුලැබේ.
ඇවැත්නි, දෞර්‍මනස්‍ය කවරෙ යැ යත්: ඇවැත්නි, යම් චෛතසික දුඃඛයෙක් චෛතසික අමධුරයෙක් මනෝසම්ඵස්සයෙන් හටගත් දුඃඛවේදනායෙක් අමධුර වේදනා යෙක් ඇද්ද? ඇවැත්නි, මේ දෞර්‍මනස්‍ය යයි කියනු ලැබේ.
ඇවැත්නි, ‘උපායාස’ කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතර අන්‍යතර වූ දුඃඛධර්‍මයෙකින් පහළහුගේ යම් ආයාසයෙක් උපායාසයෙක් ආයාසාකාරයෙක් උපායාසාකාරයෙක් ඇද්ද, ඇවැත්නි, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
ඇවැත්නි, ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු කවරෙ යැ යත්: ඇවැත්නි, ජාතිස්වභාව ඇති සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ජාතිස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැනු ! උත්පත්තිය අප වෙත නො ඒ නම් මනා මැනු ! කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ යනු වෙයි. ඇවැත්නි, ජරාස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, මරණ ස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍යස්වභාව ඇති සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය ස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැ නු ! ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍යස්වභාව-උපායාසයෝ අප කරා නො පැමිණෙත් නම් මනා මැ නු කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු නම් වෙයි.
ඇවැත්නි, සංක්‍ෂේපයෙන් දුඃඛ වූ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කවරහ යත්, හේ මෙසේ යැ, රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මොහු සැකෙවින් දුඃඛ වූ පඤ්චොපාදානස්කන්‍ධයහ’යි කියනු ලැබෙත්. ඇවැත්නි,මේ ‘දුඃඛාර්‍ය්‍යසත්‍යය’ යයි කියනු ලැබේ
ඇවැත්නි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් තෘෂ්ණායෙක් ඇද්ද, ඒ කෙසේද යැ යත්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඇවැත්නි, මෙ දුඃඛසමුදය-ආර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
ඇවැත්නි, දුඃඛනිරෝධ-ආර්‍ය්‍යසත්‍යය කවරේ යැ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂවිරාග නිරෝධයෙක් ත්‍යාගයෙක් නෙරැපීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් ඇද්ද ඇවැත්නි, මේ දුඃඛනිරෝධ-ආර්‍ය්‍යසත්‍යය යි කියනුලැබේ.
ඇවැත්නි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා-ආර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: මේ අරීඅටහිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප සම්‍යග්වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යක්ආජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.
ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි කවර යත්: ඇවැත්නි, යම්, දුඃඛයෙහි ඥානයෙක් දුඃඛසමුදයෙහි ඥානයෙක් දුඃඛනිරෝධයෙහි ඥානයෙක් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් ඇද්ද, ඇවැත්නි, මේ සම්‍යග්දෘෂ්ටි යයි කියනුලැබේ.
ඇවැත්නි, සම්‍යක්සංකල්ප කවරෙ යැ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසාසංකල්ප යි. ඇවැත්නි, මේ සම්‍යක්සංකල්ප යයි කියනු ලැබේ.
ඇවැත්නි, සම්‍යග්වචන කවරෙ යැ යත්: මුසාවායෙන් වැළකීම පිසුනුබසින් වැළකීම පරොස්බසින් වැළකීම පලපින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්-වචන යයි කියනු ලැබේ.
ඇවැත්නි, සම්‍යක්කර්‍මාන්ත කවරෙ යැ යත්: පණිවායෙන් වැළකීම අයිනාදනින් වැළකීම කාමයෙහි මිසහසිරින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්කර්‍මාන්ත යයි කියනුලැබේ.
ඇවැත්නි, සම්‍යක්-ආජීව කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මිථ්‍යා-ආජීව හැරපියා සම්‍යක්-ආජීවයෙන් ජීවිකා කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක්-ආජීව යයි කියනුලැබේ.
ඇවැත්නි, සම්‍යක්-ව්‍යායාම කවරෙ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කර්තුකම්‍යතා කුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙහි වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන් දුරු කරණු පිණිස කුශලච්ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස කුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුලභාවය පිණිස විපුල භාවය පිණිස වර්ධනය පිණිස පරිපූර්‍ණය පිණිස කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යග්ව්‍යායාම යයි කියනු ලැබේ.
ඇවැත්නි, සම්‍යක්ස්මෘතිය කවර යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය නුවණින් දක්නාසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ ස්මෘතිමත් වැ පඤ්චස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කෙරෙයි. වේදනා යෙහි ... චිත්තයෙහි … ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ ... අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරුකොට වාසය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් ස්මෘති යයි කියනු ලැබේ.
ඇවැත්නි, සම්‍යක්සමාධි කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම යෙන් සිය සතන්හි පැහැදීම කරන චිත්තයාගේ ඒකාග්‍රභාව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තුන් වන දැහැන් ... සිව් වන දැහැන් ... උපාය වාස කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනුලැබේ. ඇවැත්නි, මේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
ඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි දෙවියකු විසින් වේවයි මරහු විසින් වේවයි බඹහු විසින් වේවයි ලෝකයෙහි අන් කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තන නො කටහෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වනලදී. කිමෙක යත්: මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ විභාග කොට පැවැසීමෙක් වේ ද දෙසීමෙක් වේ ද පැනවීමෙක් වේ ද ස්ථාපනයෙක් වේ ද විවෘත කිරීමෙක් වේ ද බෙදාලීමෙක් වේ ද ප්‍රකට කිරීමෙක් වේ ද එය යි.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මේ සච්චවිභඞ්ගසූත්‍රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
එකොළොස් වැනි සච්චවිභඞ්ග සූත්‍ර යි.
3. 4. 12.
දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාස කරන සේක. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි අළුත් පිළී සඟළක් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෝ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ:
වහන්ස, මා සතු මේ අළුත් පිළීසඟළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් මැ නූල් කැට වියන ලද. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ පිළීසඟළ අනුකම්පා පිණිස පිළිගන්නාසේක්වා. මෙසේ කී කළ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. දෙවනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ. වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැව. දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. තුන්වනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැවැ යි. තුන්වනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළහ: ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි.” කියා යි.
මෙසේ වදාළ කල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවියගේ අළුත් පිළීසඟළ පිළිගන්නේ මැනැවැ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇතියහ, කුඩාමව වූහ, අත්පා වැඩූහ, පොෂණය කළහ, කිරි දුන්හු යයි. වැදූ මව කලුරිය කළ කල භාග්‍යවතුන් වහන්සේට කිරි පෙවූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය ට බොහෝ උපකාර ඇතියහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලදින් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි බුදුන් සරණ ගිය, දහම් සරණ ගියහ, සඟුන් සරණ ගියහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් පණිවායෙන් දුරු වූහ. අයිනාදනින් දුරු වූහ. කාමයෙහි මිසහසරින් දුරු වූහ. මුසවායෙන් දුරු වූහ. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් බුද්ධරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ධර්‍මරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, සඞ්ඝරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගතයහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදා සත්‍යයෙහි නිසැක වූහ. වහන්සේ, (මෙසේ) භාග්‍යවතුන් වහන්සේ ද ගෞතමගෝත්‍ර මහාප්‍රජාපතීදේවියට බොහෝ වහල් වූහ යි.
ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් උපකාර සඞ්ඛ්‍යාත මනා ප්‍රතික්‍රියා නො කටහැකි යයි කියමි. කිමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරීක්‍ෂාකාර යන මේ දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසවායෙන් දුරු වූයේ වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.