Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 5701-5800 න් 6387

සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ. අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ. සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ. එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යනු දතයුත්තේ යැ. ආර්‍ය්‍ය තෙමේ යම් සීවටනක් සෙවුනේ වේ ද, ආර්‍ය්‍ය තෙමේ යම් සීවටනක් සෙවුනේ ශාස්තෘ වී ගණානුශාසනාවට නිසි වේ ද, ඒ තුන් සීවටන්හු දතයුත්තාහ. හේ ‘ආචාර ශික්‍ෂණ කරන යොග්ගාචාරීන් අතුරින් අනුත්තර වූ “පුරුෂදම්‍යසාරථි” යයි කියනු ලැබේ, යනු දතයුත්තේ යැ. ෂඩායතනවිභාගයාගේ මේ උද්දේස යි.
‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: චක්‍ෂුරායතන යැ, ශ්‍රෝත්‍රායතන යැ, ඝ්‍රාණායතන යැ, ජිහ්වායතන යැ, කායායතන යැ, මනායතන යි. ‘සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියනලද යැ යත්: රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ධර්‍මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිව්හාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘සවැදෑරුම් ස්පර්‍ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: චක්‍ෂුස්සංස්පර්‍ශ යැ, ශ්‍රෝත්‍රසංස්පර්‍ශ යැ, ඝ්‍රාණරසංස්පර්‍ශ යැ, ජිව්හාසංස්පර්‍ශ යැ, කායසංස්පර්‍ශ යැ, මනඃසංස්පර්‍ශ යි. ‘සවැදෑරුම් ස්පර්‍ශකයයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ඇසින් සෞමනස්‍යයට ප්‍රත්‍ය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. දෞර්‍මනස්‍යයට ප්‍රත්‍යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. උපේක්‍ෂාවට ප්‍රත්‍යය වූ රූප දැක රූපෝපවිචාර කෙරෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා … ඝ්‍රාණයෙන් ගන්‍ධාඝ්‍රාණ කොට … ජිහ්වායෙන් රස ආස්වාදය කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට … සිතින් සෞමනස්‍යයට ප්‍රත්‍යය වූ ධර්‍ම දැන ධර්මොපවිචාර කෙරෙයි. දෞර්‍මනස්‍යයට ප්‍රත්‍යය වූ ධර්‍ම දැන ධර්මොපවිචාර කෙරෙයි. උපේක්‍ෂාවට ප්‍රත්‍යය වූ ධර්‍ම දැන ධර්මොපවිචාර කෙරේ. මෙසේ මොහු ෂට් සෞමනස්‍යෝපචාරයෝ යැ ෂඩ් දෞර්‍මනස්‍යෝපචාරයෝ යැ, ෂඩ් උපේක්ෂෝපචාරයෝ යි. ‘අටළොස් මනෝපවිචාරයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් යම් බසෙක් කියනලද ද, තෙල පිණිස කියන ලදී.
‘සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: ගෙහනිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙනෙක, ගෙහනිඃශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙනෙක, ගෙහනිඃශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක, නිෂ්කාමතා නිඃශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක.
එහි ගෙහනිඃශ්‍රීත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ ලෝකාමිෂ ප්‍රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥේය රූපප්‍රතිලාභය ප්‍රතිලාභවශයෙන් දක්නහුට හෝ ප්‍රතිලබ්ධ බැවින් අතීත වූ නිරුද්ධ වූ ප්‍රකෘති විජහනයෙන් විපරිණාම වූ පෙර ලැබූ විරූ රූපයක් හෝ දක්නහුට සෞමනස්‍යය උපදනේ ය, මෙබඳු යම් සෞමනස්‍යයෙක් ඇද්ද මේ ගෘහශ්‍රිත සෞමනස්‍ය යයි කියනු ලැබේ. ශ්‍රෝත්‍ර විඥේය ශබ්දප්‍රතිලාභය … ඝ්‍රාණවිඥේය ගන්‍ධප්‍රතිලාභ … ජිව්හාවිඥේය රසප්‍රතිලාභ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ තෘෂ්ණා ප්‍රතිසංයුක්ත වූ මනෝවිඥේය ධර්‍මප්‍රතිලාභ වශයෙන් දක්නහුට හෝ අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ පෙර ලදවිරූ හෝ ධර්‍මයක් සිහි කරන්නහුට සෞමනස්‍යය උපදනේ ය. මෙබඳු යම් සෞමනස්‍යයෙක් ඇද්ද මේ ගෘහශ්‍රිත සෞමනස්‍ය යැයි කියනු ලැබේ. මොහු සවැදෑරුම් ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ යි.
එහි විදර්‍ශනා නිඃශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර වූ මැ රූපයෝ ඇද්ද ‘දැනුදු එහැම රූපයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය විදර්‍ශනා ප්‍රඥායෙන් දක්නහුට සෞමනස්‍යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්‍යයෙක් වේ ද මෙය ‘විදර්‍ශනාශ්‍රිත සෞමනස්‍ය’ යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ … ගන්‍ධයන්ගේ මැ … ස්පර්ෂ්ටව්‍යයන්ගේ මැ … ධර්‍මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධ ලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර ද වූ මැ ධර්‍මයෝ ඇද්ද, දැනුදු රූපයෝ ඇද්ද, ‘එහැම ධර්‍මයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නහුට සෞමනස්‍යය උපදනේ යැ. මෙබඳු වූ යම් සෞමනස්‍යයෙක් වේ ද මේ විදර්‍ශනාශ්‍රිත ‘සෞමනස්‍ය’ යැයි කියනු ලැබේ. මොහු සදෙන ‘විදර්‍ශනාශ්‍රිත සෞමනස්‍යයෝ’ වෙති.
එහි ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන කවරහ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනෝරම වූ තෘෂ්ණාප්‍රතිසංයුක්ත වූ චක්‍ෂුර්විඥේය රූපයන්ගේ අප්‍රතිලාභ අප්‍රතිලාභ වශයෙන් දක්නහුට හෝ පෙර අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ නොලදවිරූ රූපයක් සිහි කරන්නහුට හෝ දෞර්‍මනස්‍ය උපදනේ යැ. මෙබඳු වූ යම් දෞර්‍මනස්‍යයෙක් වේ ද මෙය ‘ගෘහශ්‍රිත දෞර්‍මනස්‍ය’ යයි කියනු ලැබේ. ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයන්ගේ … ඝ්‍රාණවිඥේය ගන්‍ධයන්ගේ ජිව්හාවිඥේය රසයන්ගේ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ තෘෂ්ණාසංශ්‍රිත වූ මනෝවිඥේය ධර්‍මයන්ගේ අප්‍රතිලාභ හෝ අප්‍රතිලාභ වශයෙන් දක්නහුට අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ පෙර නොලදවිරූ ධර්‍මයක් හෝ දක්නහුට දොම්නස් උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද මෙය ‘ගෘහශ්‍රිත වූ දොම්නසැ’ යි කියනු ලැබේ. මොහු සදෙන ගෘහශ්‍රිත වූ දොම්නස්හු වෙති.
එහි විදර්‍ශනාශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙර තුබූ රූපයෝ ඇද්ද, දැනුදු වූ රූපයෝ ඇද්ද, එහැම රූපයෝ ‘අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමධර්‍මයහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක අනුත්තර විමෝක්‍ෂයෙහි ස්පෘහා එළවයි. ආර්‍ය්‍යයෝ දැන් යම් ආයතනයකට පැමිණ විහරණ කෙරෙත් ද, මම කවර දිනෙක නම් ඒ ආයතනයට පැමිණ වාස කෙරෙම් ද කියා යි. මෙසේ අනුත්තර විමෝක්‍ෂයෙහි ස්පෘහා එළවන්නහුට ස්පෘහා හේතුයෙන් දොම්නස් උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද, මෙය විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ… ගන්‍ධයන්ගේ මැ… රසයන්ගේ මැ… ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ… ධර්‍මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන පෙරත් දැනුත් ධර්‍ම කෙනෙක් ඇද්ද එහැම ධර්‍මයෝ ‘අනිත්‍යයහ දුඃඛයහ ප්‍රකෘති විජහනස්වභාව ඇතියහ’ය යි මෙසේ තෙල ඇති සැටිය විදර්‍ශනාප්‍රඥායෙන් දැක අනුත්තර විමෝක්‍ෂයෙහි කැමැත්ත එළවයි. ආර්‍ය්‍යයෝ දැන් මේ ආයතනයකට එළඹ විහාර කෙරෙත් ද මම කවර දිනෙක නම් ඒ ආයතන උපයාගෙන වාස කෙරෙම්දෝ’ කියා යි. මෙසේ අනුත්තර විමෝක්‍ෂයෙහි ස්පෘහා උපයන්නහුට ස්පෘහාහේතුයෙන් දොම්නස උපදනේ යැ. මෙබඳු යම් දොම්නසෙක් වේ ද මේ ‘විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස’ යයි කියනු ලැබේ. මොහු සදෙන විදර්‍ශනාශ්‍රිත වූ දොම්නස්හු වෙති.
එහි ගෘහශ්‍රිත (කාමගුණනිඃශ්‍රිත) උපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැන් බාල වූ මුඪ වූ බොහෝ කෙලෙස් දනවන ක්ලේශාවධි නො දිනූ ආයතිවිපාක නො දිනූ ආදීනව නො දක්නා අශ්‍රැතවත් පෘථග්ජනහට උපේක්‍ෂා උපදී. මෙබඳු යම් උපේක්‍ෂාවක් ඇද්ද, ඒ උපේක්‍ෂාව රූපය නො ඉක්ම පවතී. එහෙයින් ඒ උපේක්‍ෂාව ‘ගෘහශ්‍රිත’ යයි කියනු ලැබේ. කනින් හඬක් අසා… නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට… දිවින් රසක් විඳ… කයින් පැහැසියක් පැහැස… සිතින් දහමක් දැන බාල වූ මුඪ වූ බොහෝ කෙලෙස් දනවන කෙලෙස්හිම් නො දිනූ ආයතිවිපාක නො දිනූ ආදීනව නො දක්නා ඇසූපිරූතැන් නැති පුහුදුන් පුඟුල්හට උපේක්‍ෂා උපදී. මෙබඳු යම් උපේක්‍ෂාවක් ඇද්ද, ඒ උපේක්‍ෂාව දහම් නො ඉක්ම පවතී. එයින් ඒ උපේක්‍ෂා ‘ගෘහශ්‍රිත’ යයි කියනු ලැබේ. මොහු සදෙන ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ වෙති.
එහි විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: රූපයන්ගේ මැ විපරිණාම විරාග ලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන ‘පෙරත් රූප කෙනෙක් වූහු ද, දැනුත් රූප කෙනෙක් ඇද්ද, එහැම රූපයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව ඇතියහ’ යි මෙසේ තෙල ඇතිසැටිය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට උපේක්‍ෂා උපදී. මෙබඳු යම් උපේක්‍ෂාවක් ඇද්ද, හෝ රූපය ඉක්ම පවතී. එයින් ඒ උපේක්‍ෂාව ‘විදර්‍ශනාශ්‍රිත’ යයි කියනු ලැබේ. ශබ්දයන්ගේ මැ… ගන්‍ධයන්ගේ මැ… රසයන්ගේ මැ… ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ… ධර්‍මයන්ගේ මැ විපරිණාම විරාග නිරෝධ ලක්‍ෂණ වූ අනිත්‍යාකාරය දැන් පෙරත් ධර්‍ම කෙනෙක් වූහු ද, දැනුත් ධර්‍ම කෙනෙක් ඇද්ද, එහැම ධර්‍මයෝ ‘අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාව ඇතියහ’ යි මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට උපේක්‍ෂා උපදී. මෙබඳු යම් උපේක්‍ෂාවක් ඇද්ද, හෝ ධර්‍මාලම්බනය ඉක්ම පවතී. එයින් ඒ උපේක්‍ෂාව ‘විදර්‍ශනාශ්‍රිත’ යයි කියනු ලැබේ. මොහු සදෙන විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ’ යි. සතිස් සත්ත්‍වපදයෝ දතයුත්තාහ’ යි මෙසේ යමක් කියන ලද ද, තෙල මේ සඳහා කියනලදී.
එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යි යළි මෙසේ තෙල කියන ලදි. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා උන් ඇසුරුකොට යම් ගෘහශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව. උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි, මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් ගෘහශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව, මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි, මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව, මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් නිසා යම් විදර්‍ශනාශ්‍රිත දොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ. මහණෙනි, එහි යම් විදර්‍ශනාශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙනෙක් ඇද්ද, උන් නිසා උන් ලබා යම් විදර්‍ශනාශ්‍රිත සොම්නස්හු සදෙනෙක් ඇද්ද, උන් හැරපියව, උන් ඉක්මව. මෙසේ තුලුන්ගේ ප්‍රහාණ වෙයි. මෙසේ තුලුන්ගේ සමතික්‍රමණ වේ.
මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත වූ නානාත්‍ව (නානාප්‍රකාර) උපේක්‍ෂාවක් අත. ඒකාලම්බන නිඃශ්‍රිත වූ ඒකත්‍ව උපේක්‍ෂාවක් ඇත. මහණෙනි, නානාලම්බන නිඃශ්‍රිත නානාත්‍වඋපේක්‍ෂා කවර යත්: මහණෙනි, රූපාලම්බනයන්හි උපේක්‍ෂා ඇත. ශබ්ද ලම්බනයන්හි උපේක්‍ෂා ඇත. ගන්‍ධාලම්බනයන්හි උපේක්‍ෂා ඇත. රසාලම්බනයන්හි උපේක්‍ෂා ඇත. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්හි උපේක්‍ෂා ඇත. මහණෙනි, මේ නානාලම්බන නිඃශ්‍රිත නානාත්‍වඋපේක්‍ෂා යි.
මහණෙනි, ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්‍වඋපේක්‍ෂා කවර යත්: මහණෙනි, ආකාසානඤ්චායතන නිඃශ්‍රිත වූ උපේක්‍ෂා ඇත. විඤ්ඤාණඤ්චායතන නිඃශ්‍රිත වූ උපේක්‍ෂා ඇත. ආකිඤ්ඤායතන නිඃශ්‍රිත වූ උපේක්‍ෂා ඇත. නේවසඤ්ඤානාසඤ්ඤායතන නිඃශ්‍රිත වූ උපේක්‍ෂා ඇත. මහණෙනි, මේ ඒකාලම්බනනිඃශ්‍රිත වූ ඒකත්‍ව උපේක්‍ෂා යි. මහණෙනි, එහි ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්‍ව වූ යම් උපේක්‍ෂාවක් ඇද්ද, එය නිසා එයට පැමිණ නානාලම්බනනිඃශ්‍රිත නානාත්‍ව වූ යම් උපේක්‍ෂාවක් ඇද්ද, එය දුරලව, එය ඉක්මව. මෙසේ තෙල උපේක්‍ෂාවගේ ප්‍රහාණ වෙයි. මෙසේ තෙල උපේක්‍ෂාවගේ සමතික්‍රමණ වේ. මහණෙනි, (තම්මයතා නම් වූ තෘෂ්ණාව මැඩලන ව්‍යුත්‍ථානගාමිනීවිදර්‍ශනා සංඛ්‍යාත) අතම්මයතාව නිසා අතම්මයතාවට පැමිණ ඒකාලම්බනනිඃශ්‍රිත ඒකත්‍ව වූ යම් උපේක්‍ෂාවක් ඇද්ද, එය දුරු කරව, එය ඉක්මව. මෙසේ තෙල උපේක්‍ෂාවගේ ප්‍රහාණ වෙයි. මෙසේ තෙල උපේක්‍ෂාවගේ සමතික්‍රමණ වේ. එහි ‘මෙය නිසා මෙය දුරු කරව’ යි මෙසේ යමක් කියනලද ද, තෙල මෙය සඳහා කියන ලදී.
‘යම් සීවටනයක් ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ සෙවුනාහු වෙත් ද, යම් සීවටනයක් ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනයට නිසි වෙත් ද, එබඳු සීවටන්හු තුන් දෙනෙකි’ යි මෙසෙයින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා නිසා සව්වනට දහම් දෙසති: ‘මේ තොපට හිත පිණිස යැ, මේ තොපට සුව පිණිස යැ, කියා යි’. ඔබගේ බස සව්වෝ අදහා අසනු නො කැමැති වෙති. කන් නතු නො කෙරෙති. දැනගන්නට සිත් නො එළවති. ශාස්තෘන්ගේ අනුසසුන් ඉක්මවා වැටෙත්. මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ සතුටු වූවාහු නො වෙති. සතුටු සිතැති බව නො දන්වති. ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ (ප්‍රතිඝ අවස්‍රවයෙන්) අනවස්‍රැත වැ වාස කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනයක් සෙවුනාහු වෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනයක් සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනයට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ පළමු වැනි සීවටන යි.
තවද මහණෙනි, ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා සඳහා ශ්‍රාවකයනට දහම් දෙසති: මේ තොපට හිත පිණිස යැ. මේ තොපට සුව පිණිස යැ’ යි. ඔබගේ අනුශාසනාව කිසි ශ්‍රාවක කෙනෙක් නො අසනු කැමැති වෙති, කන් නතු නො කෙරෙති. දැනගන්නට සිත් නො එළවති. ශාස්තෘන්ගේ අනුශාසනාව ඉක්මවා වැටෙත්. කිසි ශ්‍රාවක කෙනෙක් අසනු කැමැති වෙති. කන් නතු කෙරෙති. දැනගන්නට සිත් එළවති. ශාස්තෘශාසනය ඉක්මවා නො වැටෙත්. මහණෙනි, එහි ලා තථාගතයන් වහන්සේ සතුටු වූවාහු නො වෙති. සතුටු සිතැති බව නො ද දන්වති. නො සතුටු වූවාහු නො ද වෙති. නො සතුටු සිතැති බව නො ද දන්වති. සතුටු සිතැති බව ද නො සතුටු සිතැති බව ද යන එදෙක වර්‍ජනය කොට උන් වහන්සේ උපේක්‍ෂක වැ ස්මෘතිමත් වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ වාස කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සෙවුනාහු වෙත් ද ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සෙවුනාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ දෙවන සීවටන යයි කියනු ලැබේ.
තවද මහණෙනි, ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති: ‘මේ තොපට හිත පිණිස යැ. මේ තොපට සුව පිණිස යැ’ යි. ඔබගේ බස සව්වෝ අසනු කැමැති වෙති. කන් නතු කෙරෙති. දැනගන්නට සිත එළවති. ශාස්තෘශාසනය ඉක්මවා නො ද වැටෙත්. මහණෙනි, එහිලා තථාගතයන් වහන්සේ සතුටු සිත් ඇත්තාහු වෙති. සතුටු සිත් ඇති බව ද දන්වති. අනවස්‍රැත වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ වාස ද කෙරෙත්. මහණෙනි, ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කෙරෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කරන්නාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, මේ ඒ තෙවන සීවටන යයි කියනු ලැබේ.
‘ආර්‍ය්‍ය වූ සම්‍යක්සම්බුධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කෙරෙත් ද, ආර්‍ය්‍ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් සීවටනක් සේවනය කරන්නාහු අනුශාසක වැ ගණානුශාසනා කරන්නට නිසි වැ වාස කෙරෙත් ද, ඒ සීවටන්හු තුන් දෙනෙකි’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල සඳහා කියන ලදී.
හේ යොග්ගාචාරීන් අතුරින් ‘අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි යයි කියනු ලැබෙති’ යි. මෙසෙයින් යම් බසෙක් කියලද ද, තෙල බස කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, හස්තිදමකයා විසින් නහඹු ඇත මෙහෙයන ලදුයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ එක් මැ දිගකට දුවයි. මහණෙනි, අශ්වදමකයා විසින් නහඹු අසු දමිත වූයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ එක් මැ දිගකට දුවයි. මහණෙනි, ගෝදමකයා විසින් නහඹු ගොන් මෙහෙයනලදුයේ පෙරදිග හෝ පැළදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග එක් මැ දිගකට දුවයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් පුරුෂදම්‍යයා සාරිත වූයේ අෂ්ටදිශාවට දුවයි. රූපී වැ රූපයන් දක්නේ යැ. මේ පළමු දිග යි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති වැ බැහැර රූපයන් දක්නේ යැ. මේ දෙවන දිග යි. ශුභ මැ යයි අධිමුක්ත වෙයි. මේ තෙවන දිග යි. හැමසේ රූපසංඥා සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතන උපයා වාස කෙරෙයි. මේ සතර වන දිග යි. හැම සේ ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන උපයා වාස කෙරෙයි. මේ පස් වන දිග යි. හැම සේ විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිදු නැති’ යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වාස කෙරෙයි. මේ සවන දිග යි. හැම සේ ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපයා වාස කෙරෙයි. මේ සත් වන දිග යි. හැම සේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධය උපයා වාස කෙරෙයි. මේ අට වැනි දිග යි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ විසින් පුරුෂදම්‍යයා මෙහෙයන ලදුයේ මේ අටදිගුන් කරා දිවෙයි. ‘ඔහු යොග්ගාචාරීන් අතුරින් අනුත්තරපුරුෂදම්‍යසරථී යයි කියනු ලැබෙති’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදී.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
සත් වැනි සළායතනවිභඞ්ග සූත්‍ර යි.
3. 4. 8.
උද්දේසවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි’යි භික්‍ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල උද්දේසවිභඞ්ගය වදාළ සේක.
මහණෙනි, තොපට උද්දේස හා විභඞ්ග හා දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව. කියමි’යි වදාළහ.
එසේ යැ වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. බුදුහු තෙල වදාළහ:
යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහට බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචර අධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කරන්නේ ද එපරිද්දෙන් මහණ තුලනා කරන්නේ යැ. මහණෙනි, බාහිර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණාපරිතස්සනා නො කරන්නාහට මත්තෙහි ජාතිජරාමරණ හා සෙසු දුක්ඛසමුදයාගේ සම්භවයෙක් නො වේ යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි ඒ වහන්දෑට තෙල සිත විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක. යම් යම් පරිද්දෙකින් විමසනුවහට බාහිර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, බාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි නො විසුරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මතුයෙහි ජාතිජරාමරණයාගේ ද අවශේෂ දුඃඛයාගේ ද සම්භවයෙක් නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්‍ත්‍ථ විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්‍ත්‍ථය කවරෙක් විභාග කරන්නේ දෝහෝ’යි.
ඉක්බිති ඒ වහන්දෑට තෙල සිත විය: මේ ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නොකළ මේ උද්දේසයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහකසයින් තෙරණුවන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් අතින් තෙල අර්‍ත්‍ථය පුළුවුස්නමෝ නම් මැනැවැ’යි. ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරුන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහකසයින් තෙරුන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු:
ඇවැත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කොට විහාරයට පිවිසියහ. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරනුවහට බාහිර ආලම්බනයෙහි අවික්‍ෂිප්ත වැ නො විසිරැ විඥානය ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි අවිඍෂ්ට කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නොසැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ හා ශේෂ දුඃඛ සමුදයාගේ සම්භවය නො වේ යයි. ආයුෂ්මත් කසයින් තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කාලයෙහි ඒ අපට තෙල සිත විය:
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරන ඔහුට වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණාපරිතස්සනායෙන් නො සැලේ ද, ඒ ඒ පරිද්දෙන් මහණ තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහ්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි නො විසිරැ සිටි කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට නිකාන්ති වශයෙන් තණ්හා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාති ජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ ද සම්භවය නො වේ යයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝ හො’ යි.
ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒ අපට තෙල සිත විය: ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් කාත්‍යායන තෙරණුවන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් යෙහෙකැ’ යි කියායි, ආයුෂ්මත් මහා කාත්‍යායනයෝ (එය) විභාග කෙරෙත්ව’යි.
ඇවැත්නි, යම් පරිදි හරයෙන් ප්‍රයෝජන ඇති හරය සොයන පුරුෂයෙක් හර පර්‍ය්‍යෙෂණ කරනුයේ ස්ථිර වැ සිටි සාරවත් වූ මහත් වෘක්‍ෂයක්හුගේ මුල ඉක්මවා මැ කඳ ඉක්මවා මැ පලාසයෙහි හර සෙවියයුතු කොට සිතා නම් මෙකරුණ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප අතින් පිළිවිස්සයුතු කොට සිතව, ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි දතයුතු ඥේයධර්‍මය නුවණින් දනිති, දැක්කයුතු දැය නුවණැසින් දකිති, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, ධර්‍මය පවසනුවහ, නන් අයුරින් පවසනුවහ, අර්‍ත්‍ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ. ධර්‍මස්වාමීහ, තථාගතයහ. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ මැ තෙල අර්‍ත්‍ථය පුළුවුස්නවු නම්, මෙයට එ මැ කල්වෙයි. යම් පරිදි අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනසේක් නම් එසෙයින් එය ධරන්නහු යයි.
ඇවැත්නි, කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුතු නුවණින් දන්නාහ, දැක්කයුතු නුවණැසින් දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, ධර්‍මය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, වක්තෘ වූහ, ප්‍රවකෘත් වූහ, අර්‍ත්‍ථය එළවා දක්වනුවහ, අමා දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගතයහ. යම් කරුණෙකින් තෙල අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නමෝ නම් යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේට අප ප්‍රකාශ කරනසේක් ද, එසෙයින් එය ධරන්නමෝ නම් මෙයට එ මැ කල් වෙයි. එතෙකුදුවත් ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්වා’ යි.
එසේ වී නම් ඇවැත්නි, අසව. මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
‘එසේ යැ ඇවැත්නි’යි ඒ වහන්දෑ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිදි තුලනා කරන ඒ මහණහුගේ බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද, මහණ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වත් මැ නො විසිරෙත් මැ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටත් මැ උපාදාන වශයෙන් නො හෙන පරිතස්සනා නො කරන ඒ මහණහට මතුයෙහි ජාතිජරා මරණ හා දුඃඛසුමුදය සම්භවය නො වේ’යි. යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කරනලද මේ උද්දේසයාගේ මෙසේ විස්තර අර්‍ත්‍ථ අවබෝධ කොට දන්මි.
ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය වික්‍ෂිප්ත වූයේ විසිරගියේ යැ’යි කියනු ලැබේ ද: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක රූ නිමිති අනුව ගිය විඥානය වේ ද රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ රූපනිමිත්තාස්වාදයෙන් වෙලීගිය රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්‍ෂිප්ත යැ’යි විසුරුණේ යැ’යි කියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ අඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට … මනසින් ධර්‍මය දැන ධර්‍මනිමිත්ත අනුව ගිය විඥානය වේ ද ධර්‍මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූ ධර්‍මනිමිත්තාස්වාදයෙන් වෙළුණු ධර්‍මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූ බැහැර අරමුණෙහි වැටුණු විඥානය වික්‍ෂිප්ත යැ’යි විසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි වූ විඥානය වික්‍ෂිප්ත යැ විසිරිණැ’යි කියනු ලැබේ.
ඇවැත්නි, කෙසේ නම් ‘බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසිරිණැ’ යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණක්හට ඇසින් රූ දැක විඥානය රූපනිමිත්ත අනුව යන්නේ නො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද රූපනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද, රූපනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසුරිණැ’යි කියනු ලැබේ. කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ අඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට ... සිතින් දහම් දැන විඥානය ධර්‍මනිමිත්ත අනුව යන්නේ නො වේ ද ධර්‍මනිමිත්තාස්වාදයෙන් ග්‍රථිත වූයේ නො වේ ද ධර්‍මනිමිත්තාස්වාදයෙන් වෙළුණේ නො වේ ද ධර්‍මනිමිත්තාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ නො වේ ද බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසිරිණැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසිරිණැ යි කියනු ලැබේ.
ඇවැත්නි, කෙසේ නම් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය අනුව යන විඥානය වෙයි. විවේකජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූ විවේකජ ප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණු විවේකජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වෙයි. සිත ගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ’යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිතෙහි පැහැදීම් ඇති චිත්තෛකාග්‍රතා ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය සමාධිජ ප්‍රීතිසුඛය අනුව යන්නේ වේ. සමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ සමාධිජ ප්‍රීතිසුඛාස්වාදයෙන් වෙළුණේ සමාධිජ ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂක වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ වාස කෙරෙයි. සුඛය ද කයින් විඳියි . ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇති’යි යම් ධ්‍යානයක් කියත් ද ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට විඥානය උපේක්‍ෂා සුඛය අනුව යන්නේ වෙයි. උපේක්‍ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ උපේක්‍ෂා සුඛාස්වාදයෙන් වෙළුණේ උපේක්‍ෂා සුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි පිහිටියේ යැ යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට අදුඃඛාසුඛවේදනා අනුව යන විඥානය වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත වූයේ අදුඃඛාසුඛාස්වාදයෙන් වෙළුණේ අදුඃඛාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ගෝචරාධ්‍යාත්මයෙහි සිත පිහිටියේ යැ’යි කියනු ලැබේ.
ඇවැත්නි, කිසෙයින් ‘ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහට විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහට සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය අනුව යන විඥානය නො වෙයි. සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාදයෙන් නො වෙළුණේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීය ධ්‍යානය උපයා වාස කෙරෙයි. ඔහුට උපේක්‍ෂා සුඛය අනුව යන විඥානය නො වෙයි. උපේක්‍ෂා සුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ උපේක්‍ෂා සුඛාස්වාදයෙන් නො වෙළුණේ උපේක්‍ෂාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’ යි කියනු ලැබේ.
තවද ඇවැත්නි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි. ඕහට අදුඃඛාසුඛය අනුව යන විඥානය නො වෙයි. අදුඃඛාසුඛාස්වාදයෙන් ග්‍රථිත නො වූයේ අදුඃඛාසුඛාස්වාදයෙන් නො වෙළුණේ අදුඃඛාසුඛාස්වාද සංයෝජනයෙන් සංයුක්ත නො වූයේ වෙයි. ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ගෝචරාධ්‍යාත්මයෙහි සිත නො පිහිටියේ යැ’යි කියනු ලැබේ.
ඇවැත්නි, කිසෙයින් උපාදානය නො කොට පරිතස්සනා වෙයි යත්: ඇවැත්නි, මෙලො වැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම හෙයින් විපර්‍ය්‍යාසයෙන් දකියි. තමා රූපවත් කොට ද දකියි. තමා කෙරෙහි රූපය ද රූපය කෙරෙහි තමා ද දකියි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි. අන්‍යථාත්‍ව ඇති වෙයි. ඔහුට රූපවිපරිණාම අන්‍යථාභාව හේතුයෙන් රූපවිපරිණාම අනුව වැටෙන විඥාන වෙයි. ඔහුගේ රූපවිපරිණාමානු පරිවර්‍තනයෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්‍මසමුත්පාදයෝ කුසල් සිත ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇතියේ ද වෙයි, උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා කෙරෙයි. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් විපර්‍ය්‍යාස වශයෙන් දකියි. ආත්මය විඥානවත් කොට ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකියි. ඔහුගේ ඒ විඥාන පෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුයෙන් විඥානවිපරිණාමය අනුව වැටෙන විඥාන වෙයි. ඔහුගේ විඥානවිපරිණාමානු පරිවර්‍තනයෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්‍මසමුත්පාදයෝ සිත ක්‍ෂය කොට සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද වෙයි. දුක් ඇතියේ ද වෙයි. ස්පෘහා ඇත්තේ ද වෙයි. නො ගෙනත් පරිතස්සනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනුපාදා පරිතස්සනා වෙයි.
ඇවැත්නි, කෙසේ නම් ‘අනුපාදා අපරිතස්සනා වේ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ කෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මය පිළිබඳ කෝවිද වූ සත්පුරුෂ ධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම රූපය ආත්ම වශයෙන් ගෙන විපර්‍ය්‍යාස විසින් නො දක්නේ යැ. ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ. ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ. රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුට ඒ රූපය පෙරැළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට රූප විපරිණාම හා අන්‍යථාභාව හේතුවින් රූප විපරිණාමය අනුව වැටෙන විඥාන නො වෙයි. ඔහුට රූප විපරිණාමය අනුව වැටීමෙන් උපදනා පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්‍මසමුත්පාදයෝ සිත නො ගෙන සිටිත්. චිත්තපරියාදාන හේතුවින් උත්‍රාස ඇතියේ ද නො වෙයි. දුක් ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ ද නො වෙයි. උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා නො කෙරෙයි. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ යැ ... සංඥා ආත්ම වශයෙන් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම වශයෙන් නො දක්නේ යැ ... විඥාන ආත්ම වශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ. ආත්මයෙහි විඥානය ද නො දක්නේ යැ. විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. ඔහුගේ විඥානය පෙරළෙයි. අන්‍යථාභාව ඇති වෙයි. ඔහුට විඥානවිපරිණාම හා අන්‍යථාභාව හේතුවින් විඥාන විපරිණාමය අනුව යන විඥාන නො ද වෙයි. ඔහුට විඥාන විපරිණාමය අනුව වැටීමෙන් උපන් පරිතස්සනා සඞ්ඛ්‍යාත ධර්‍මසමුත්පාදයෝ සිත පැහැරගෙන නො සිටිත්. චිත්තපරියාදාන හේතුයෙන් උත්‍රාස ඇතියේ ද නො වෙයි. දුක් ඇතියේ ද නො වෙයි. ස්පෘහා ඇතියේ නො ද වෙයි. උපාදාන වශයෙන් නො ගෙන ද පරිතස්සනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් ‘අනුපාදා අපරිතස්සනා’ වෙයි.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් යම් උද්දේසයක් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී වැඩිසේක් ද මහණෙනි, යම් යම් පරිදි තුලනා කරන ඔහුගේ බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසුරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරේ ද, මහණ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. මහණෙනි, බැහැර අරමුණෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි නො විසිරුණු කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටි කල්හි උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නො කරන්නහුට ජාතිජරාමරණ දුඃඛයන්ගේ පහළවීම නො වේ යයි. ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කරන ලද මේ උද්දේසයාගේ විස්තර වශයෙන් මෙසේ අර්‍ත්‍ථ අවබෝධ කොට දන්මි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් බුදුන් කරා මැ එළැඹ තෙල කරුණ පුළුවුස්ව. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්සේ විභාග කොට වදාරනසේක් ද එසේ එය ධරව.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද ‘මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනා කරන ඒ මහණහුගේ බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ නො විසිරුණේ ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටියේ උපාදාන වශයෙන් නො ගෙන තෘෂ්ණා වශයෙන් පරිතස්සනාවට නො පැමිණේ ද මහණ තෙමේ ඒ ඒ පරිදි තුලනා කරන්නේ යැ. බාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත වත් මැ නො විසිරෙත් මැ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටත් මැ උපාදාන වශයෙන් නො ගෙන පරිතස්සනා නො කරන ඒ මහණහට මතුයෙහි ජාතිජරාමරණ හා දුඃඛසමුදය සම්භවය නො වේ’ යයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්මගිය නොබෝ කල්හි මැ අපට මේ සිත විය.
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට මේ උද්දේසය සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක. “මහණෙනි, යම් යම් පරිද්දෙකින් තුලනය කරන ඔහුට වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත වූයේ අවිඍෂ්ට වූයේ ගෝචරාධ්‍යාත්මයෙහි නො පිහිටියේ උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලේ ද මහණ ඒ ඒ පරිද්දෙන් තුලනය කරන්නේ යැ. මහණෙනි, වාහය්‍යාලම්බනයෙහි විඥානය අවික්‍ෂිප්ත කල්හි නො විසිරු සිටි කල්හි ගෝචරාධ්‍යාත්මයෙහි නිකාන්ති වශයෙන් නො පිහිටි කල්හි උපාදානය නො කොට තෘෂ්ණා පරිතස්සනායෙන් නො සැලෙන්නහුට මත්තෙහි ජාතිජරාමරණයාගේ ද දුඃඛසමුදයාගේ ද සම්භවයෙක් නො වේ” යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර විසින් විභාග කරන්නේ දෝහෝ’ යි. වහන්ස, ඒ අපට තෙල සිත විය. මේ ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළැඹෙන්නමෝ නම් එළැඹ තෙල අර්‍ත්‍ථය ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුස්නමෝ නම් මැනැවැයි.
වහන්ස, ඉක්බිති ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් කරා එළැඹියම්හ. එළැඹ තෙල අර්‍ත්‍ථය ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් පුළුවුසුම්හ. වහන්ස, අපට ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරුන් විසින් මේ අයුරින් මේ පෙදෙන් මේ බ්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය විභාග කරන ලද්දේ යයි.
මහණෙනි, මහාකාත්‍යායන පණ්ඩිත යැ, මහණෙනි, මහාකාත්‍යායන මහාප්‍රාඥ යැ, ඉදින් මහණෙනි, තෙපි තෙල අර්‍ත්‍ථය මයිදු පුළුවුස්නහු නම් මම ද එය එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. යම්සේ මහාකාත්‍යායනයන් විසින් එය ප්‍රකාශ කරනලද ද තෙල උද්දේසයාගේ තෙලෙ මැ අර්‍ත්‍ථ වෙයි, එය එසේ මැ ධරන්නහු යයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.
අට වැනි උදේදසවිභඞ්ග සූත්‍ර යි.
3. 4. 9.
අරණවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් මහවෙහෙර වැඩ වාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල අරණවිභඞ්ගසූත්‍රය වදාළ සේක:
මහණෙනි, තොපට අරණවිභඞ්ගය දෙසමි. ඒ විභඞ්ගය අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල විභඞ්ගය වදාළසේක:
හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාම සුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථුයෙහි නො යෙදෙන්නේ යැ. “මහණෙනි, මෙකී ඒ උභයාන්තයන් නො ගෙන තථාගතයන් වහන්සේ විසින් නුවණැස කරන ඥානය කරන උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙන මධ්‍යමප්‍රතිපදා තොමෝ අවබෝධ කරනලදු. (කිසි පුඟුලකු) හුවාලීම ද දන්නේ යැ. හෙළාලීම ද දන්නේ යැ. හුවාලනුදු දැන හෙළාලනුදු දැන (ගෙහසිත වශයෙන් කිසිපුඟුලක්හු) නො මැ හුවන්නේ යැ නො හෙළන්නේ යැ. ස්වභාවය මැ කියන්නේ යැ. විනිශ්චිත සුඛය දන්නේ යැ. විනිශ්චිත සුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේයැ. නො හමුයෙහි අයුණු (පිසුනු) නො කියන්නේ යැ. හමියෙහි කිලිටිබස් නො බණන්නේ යැ. ත්‍වරිත නො වී බණන්නේ යැ. ත්‍වරිත වැ නො බණන්නේ යැ. ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ. ලෝක ප්‍රඥප්තිය නො ඉක්මවන්නේයැ. අරණවිභාගයාගේ මේ උද්දේස යි.
‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන (එහෙයින්) අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ. දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ අත්තකිලමථානු යෝගයෙහි නො යෙදෙන්නේ යැ’යි මෙසෙයින් තෙල බසෙක් කියනලද ද, මෙබස් කුමක් පිණිස කියනලද යැ යත්: ‘කාමෝපසංහිතසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් ඇද්ද, තෙල ධර්‍මය සදුඃඛ යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ. මිථ්‍යාප්‍රතිපත් වෙයි. කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තහුගේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් සෞමනස්‍යානුයෝගයක නො යෙදීමෙක් වේ ද තෙල දහම දුඃඛ රහිත යැ උපඝාත රහිත යැ උපායාස රහිත යැ පරිදාහ රහිත යැ සම්‍යක් ප්‍රතිපත්ති වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ උපඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ මිථ්‍යාප්‍රතිපත් වෙයි. දුඃඛ වූ අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙක නො යෙදීමෙක් ඇද්ද, තෙල දහම අදුඃඛ යැ අනුපඝාත යැ අනුපායාස යැ අපරිදාහ යැ සම්‍යක්ප්‍රතිපත්ති වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ කාමසුඛයෙහි නො යෙදෙන්නේ යැ’ දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ යම් අත්තකිලමථානුයෝගයෙහි නො යෙදෙන්නේ යැ’ යි මෙසෙයින් යම් බසෙක් කියන ලද ද මෙබස තෙල පිණිස කියනලදි.
තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් නුවණැස ඇති කරන නුවණ ඇති කරන ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සත්‍යාවබෝධය පිණිස වැටෙන මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරනලදැ’යි. මෙසේ තෙල බසෙක් වදාරනලද ද තෙල කුමක් සඳහා වදාරනලද යැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙමෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි. තෙල උභයාන්තයන්ට නො පැමිණ තථාගතයන් විසින් අභිසම්බුද්ධ වූ මධ්‍යමප්‍රතිපදාව නුවණැස ඇති කරන්නී යැ මාර්‍ගඥානය ඇති කරන්නී යැ ක්ලේශෝපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නී යැ යි. මෙසේ යමක් වදාරනලද ද මෙය තෙල සඳහා වදාරන ලදි.
උස්සාදනය ද දන්නේ යැ අපසාදනය ද දන්නේ යැ උස්සාදනයත් දැන අපසාදනයත් දැන (ගෘහශ්‍රිත විසින් කිසි පුඟුලක්හු) හුවා නො දක්නේ යැ හෙළා නො දක්නේ යැ ස්වභාවධර්‍මය මැ කියන්නේ යයි. මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, හුවා දැක්වීමුදු හෙළාදැක්වීමුදු ස්වභාවධර්‍මය දෙසුමුදු කිසෙයින් වෙයි යත්:
‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණු කාමප්‍රතිසන්‍ධිසුඛ ඇත්තාහු ඇද්ද එහැම දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් කිසි කෙනකුන් හෙළා දක්නේ වෙයි. ‘හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණු කාමප්‍රතිසන්‍ධි සුඛයෙන් සුඛිත වූවෝ ඇද්ද එහැම අදුඃඛයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසේ කිසිවකුත් හුවන්නේ වෙයි.
‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක් ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි.
‘යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හෙළා දක්නේ වෙයි. ‘යම් කෙනෙකුන්ට විභවසංයෝජන ප්‍රහීණ වේ ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ කියනුයේ මෙසෙයින් ඇතැමකුන් හුවන්නේ වෙයි. මහණෙනි, මෙසේ උස්සාදන ද වෙයි, අපසාදන ද වෙයි, ධර්‍මදේශනා නො ද වෙයි.
මහණෙනි, කෙසේ උස්සාදන නො මැ වේ ද, අපසාදන නො වේ ද, ධර්‍මදේශනා වේ ද යත්: කාමප්‍රතිසන්‍ධියෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. ‘අනුයෝග සංඛ්‍යාත තෙල දහම දුඃඛ සහිත ය, උපඝාත සහිත ය, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ, මිථ්‍යා ප්‍රතිපත්ති’ යයි මෙසේ කියනුයේ දහම් මැ කියයි.
කාමප්‍රතිසන්‍ධිසුඛයෙන් සුඛිත වූ යම් කෙනෙක් හීන වූ ග්‍රාම්‍ය වූ පෝථුජ්ජනික වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ සෞමනස්‍යානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිතයහ, උපඝාත රහිතයහ, උපායාස රහිතයහ, පරිදාහ රහිතයහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. (ඒ සෞමනස්‍යානුයෝගයෙහි) නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක් ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේ ධර්‍මය මැ දෙසන්නේ වෙයි.
යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු ද එහැමදෙන දුඃඛ සහිතයහ, උපඝාත සහිතයහ, උපායාස සහිතයහ, පරිදාහ සහිතයහ මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. එහි අනුයෝගයෙක් ඇද්ද, තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යා ප්‍රතිපදා යැ’යි මෙසේ කියනුයේ ධර්‍මය මැ දෙසන්නේ වෙයි.
යම් කෙනෙක් දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ සංහිත වූ අත්තකිලමථානුයෝගයෙහි නො යෙදුණාහු ද එහැමදෙන දුඃඛ රහිත, උපඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත වූ මනාව පිළිපන්හු යයි මෙසේ නො කියයි. එහි අනනුයෝගය යන තෙල දහම දුක් නැත්තේ යැ, උපඝාත නැත්තේ යැ, උපායාස නැත්තේ යැ, පරිදාහ නැත්තේ යැ, මනා පිළිවෙතෙකි යි මෙසේ කියනුයේ දහම මැ දෙසන්නේ වෙයි.
යම් කෙනෙකුන්ට භවසංයෝජන අප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් ඇත්තෝ යැ, උපඝාත ඇත්තෝ යැ, උපායාස ඇත්තෝ යැ, පරිදාහ ඇත්තෝ යැ, මිථ්‍යාප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. භවසංයෝජනය අප්‍රහීණ වත් මැ භවය ද අප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්‍මය මැ දෙසන්නේ වේ.
යම් කෙනෙකුන්ට භවසංයෝජන ප්‍රහීණ වැ ඇද්ද, එහැමදෙන දුක් නැත්තාහ, උපඝාත නැත්තාහ, උපායාස නැත්තාහ, පරිදාහ නැත්තාහ, සම්‍යක්ප්‍රතිපන්නයහ’ යි මෙසේ නො කියයි. භවසංයෝජනය ප්‍රහීණ වත් මැ භවය ද ප්‍රහීණ වේ යයි මෙසේ කියනුයේ ධර්‍මය මැ දෙසන්නේ වෙයි. මහණෙනි, මෙසේ හුවාලීම් නො වෙයි, හෙළාලීම් නො වෙයි, දහම්දෙසුමුදු වෙයි.
‘හුවාලීමුදු දන්නේ යැ, හෙළාලීමුදු දන්නේ යැ, හුවාලීමුදු දැන හෙළාලීමුදු දැන නො හුවන්නේ යැ, නො හෙළන්නේ යැ, දහම් මැ දෙසන්නේ’ යයි යම් බසෙක් කියන ලද ද මෙය තෙල් බස් පිණිස කියන ලදි.
‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේ යයි මෙසේ තෙල බසෙක් කියනලද ද තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් අලවන චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝතවිඥේය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් අලවන කායවිඥේය ස්පර්ෂ්ටව්‍යයෝ යැ. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් නිසා යම් සුඛසෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ කාමසුඛය ‘මීඪසුඛ’ යයි ‘පෘථග්ජනසුඛ’ යයි කියනු ලැබේ. ආසේවන නො කළයුතු යැ, නො හැවියයුතු යැ, නො බිහිලි කළයුතු යැ මේ සුඛයෙන් බිය වියයුතු යැ යි කියමි.
මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසලදහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මේ නෛෂ්ක්‍රම්‍යසුඛ යයි කියනු ලැබේ. ප්‍රවිවේකසුඛ වූ උපශමසුඛ වූ සම්බෝධසුඛ වූ මේ නෛෂ්ක්‍රම්‍යසුඛය ආසේවන කළයුතු යැ, හැවියයුතු යැ, බිහිලි කළයුතු යි. තෙල සුඛයෙන් නො බානේ යැයි කියමි. ‘විනිශ්චිතසුඛය දන්නේ යැ, විනිශ්චිතසුඛය දැන අධ්‍යාත්මසුඛයෙහි යෙදෙන්නේ යැ’ යි, මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල බස් පිණිස කියන ලදි.
‘පිසුනුබස් නො බණන්නේ යැ, හමියෙහිදු කිළිටිබස් නො බණන්නේ යැ’ යි, මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා යම් රහෝවාදයක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්‍ත්‍ථ සංහිත යැ’ යි ඒකාන්තයෙන් දන්නේ ද ඒ රහෝවාදය නො කියන්නේ යැ. යම් රහෝවාදයෙකුත් භූත යැ තථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එ ද නො කියනු සඳහා හික්මෙන්නේ යැ, යළි යම් රහෝවාදයක් භූත යැ තථ්‍ය යැ, අර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒ රහෝවාදය කියනු සඳහා කල් දන්නේ වන්නේ යැ. මහණෙනි, යම් තැනෙක්හි හමුයෙහි කියන කිලිටි බසක් අභූත යැ, අතථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ’ යි එකැතින් දන්නේ ද ඒ කිලිටිබස හමුයෙහි නො බණන්නේ යැ, හමුයෙහි කියන යම් ඛීණවාදයෙකුත් භූත යැ, තථ්‍ය යැ, අනර්‍ත්‍ථසංහිත යැ යි දන්නේ ද එබස ද නො කියනු සඳහා හික්මෙන්නේ යැ, තවද හමුයෙහි කියන යම් කිලිටි බසක් භූත යැ තථ්‍ය යැ, අර්‍ත්‍ථසංහිත යැ’ යි දන්නේ ද එහිලා ඒ ක්‍ෂීණවාදය ප්‍රකාශ කරනු පිණිස කල් දන්නේ වන්නේ යැ. පිසුනුබස් නො බණන්නේ යැ, හමුයෙහි ගුණ තැන නො බණන්නේ යැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මේ තෙල බස් සඳහා කියනලදි.
‘ත්‍වරිත නො වැ බණන්නේ යැ, ත්‍වරිත වැ නො බණන්නේ යැ’ යි මෙසේ තෙල කියන ලද. තෙලබස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, එහිලා ත්‍වරමාන වැ බණන්නහුගේ කය ද ක්ලාන්ත වෙයි, සිත ද පෙළෙයි, ශබ්දය ද බිඳෙයි, ගෙල ද ගිලන් වෙයි. ත්‍වරමනයාගේ භාෂිතය අවිඍෂ්ට ද අවිඥේය ද වෙයි. අහනෙනි, එහිලා ත්‍වරිත නො වී බණන්නහුගේ කය ද නො වෙහෙසෙයි, සිත ද නො පෙළෙයි, හඬ ද නො බිඳෙයි, ගෙල ද නො ගිලන් වෙයි. ත්‍වරිත නො වූවහුගේ භාෂිතය විඍෂ්ට වූයේ විඥේය ද වෙයි. ‘අතුරිත ව බණන්නේ ය, තුරිත වැ නො බණන්නේ යැ’ යි යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියන ලදි.
ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ, ලෝක ප්‍රඥප්තිය නො ඉක්මවන්නේ යැ’ යි මෙසේ තෙල කියනලද තෙල බස් කුමක් සඳහා කියනලද යැ යත්: මහණෙනි, කිසෙයින් ජනපද නිරුක්තියෙහි අභිනිවේශත් වේ ද ලෝකව්‍යවහාරයාගේ ඉක්මීමත් වේ ද යත්: මහණෙනි, මෙහි එ මැ බඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්‍ථ’ යයි හඳුනති, ‘සරාව’ යයි හඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ ඒ බඳුන ඒ ඒ ජනවියෙහි යම් යම් සෙයෙකින් හඳුනත් ද ඒ ඒ පරිද්දෙන් දැඩි වැ පරාමර්‍ශ කොට අභිනිවේශ කොට ‘මෙ මැ සැබව, සෙස්ස සිසැ’ යි ව්‍යවහාර කෙරෙයි.
මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්‍යවහාරයාගේ ඉක්ම යෑමද වෙයි. තවද මහණෙනි, ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්‍යවහාරය නො ඉක්මවීම ද කිසෙයින් වෙයි යත්: මහණෙනි, මෙහි එ මැ බඳුන ඇතැම් ජනපදයෙක්හි ‘පාති’ යයි හඳුනති, ‘පත්ත’ යයි හඳුනති, ‘විත්‍ථ’ යයි හඳුනති, ‘සරාව’ යයි හඳුනති, ‘ධාරොප’ යයි හඳුනති, ‘පොණ’ යයි හඳුනති, ‘පිසීලව’ යයි හඳුනති. මෙසේ එ බඳුන ඒ ඒ ජනවියෙහි යම් යම් පරිද්දෙකින් හඳුනත් ද ‘මෙ ආයුෂ්මත්හු මෙ සඳහා ව්‍යවහාර කෙරෙති’ යි ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරෙයි. දැඩි කොට නො ගනී. මහණෙනි, මෙසෙයින් ජනපද නිරුක්තියෙහි අනභිනිවේශ ද ලෝකව්‍යවහාරය නො ඉක්මවීම ද වෙයි. ‘ජනපද නිරුක්තියෙහි අභිනිවේශ නො කරන්නේ යැ, ලෝකව්‍යවහාරය නො ඉක්මවන්නෙ යැ’ යි මෙසේ යමක් කියනලද ද තෙල මේ සඳහා කියන ලදී.
මහණෙනි, එහි කාමප්‍රතිසන්‍ධිසුඛයෙන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථකර වූ යම් සෞමනස්‍යානුයෝගයෙක් වේ ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම ක්ලේශරණ සහිත යැ.
මහණෙනි, එහි කාමප්‍රතිසන්‍ධීන් සුඛිත වූවහුගේ හීන වූ ග්‍රාමීණ වූ පුහුදුනන් කෙරෙහි වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථ නිඃශ්‍රිත වූ සෞමනස්‍යානුයෝගයෙහි නො යෙදීමෙක් ඇද්ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථාවහ වූ යම් අත්තකිලමථානුයෝගයෙක් වේ ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
මහණෙනි, එහි දුඃඛ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථාවහ වූ අත්තකිලමථානුයෝගයෙහි යම් නොයෙදීමෙක් වේ ද තෙල දහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
මහණෙනි, එහි නුවණැස කරන මාර්‍ගඥාන කරන යම් මධ්‍යමප්‍රතිපදායෙක් තථාගතයන් විසින් අවබෝධ කරනලද ද උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිවන් පිණිස පවත්නේ වේ ද තෙල දහම දුඃඛ රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ රහිත යැ.
මහණෙනි, එහි යම් උස්සාදනයෙක් අපයාදනායෙක් ඇද්ද, ධර්‍මදේශනායෙක් නැද්ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
මහණෙනි, එහි යම් උස්සාදනයෙක් නැද්ද අපයාදනායෙක් නැද්ද ධර්‍මදේශනායෙක් ඇද්ද තෙල දහම දුක් රහිත යැ, උපඝාත රහිත යැ, උපායාස රහිත යැ, පරිදාහ රහිත යැ, එයින් තෙල දහම කෙලෙස් රණ රහිත යැ.
මහණෙනි, එහි මීඪසුඛ වූ පෘථග්ජනසුඛ වූ අනාර්‍ය්‍යසුඛ වූ යම් කාමසුඛයෙක් ඇද්ද තෙල දහම දුඃඛ සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත යැ.
මහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බොධිසුඛයෙක් ඇද්ද (යම් හෙයෙකින්) තෙල දහම නො දුක් වූයේ පීඩා රහිත වූයේ උපායාස රහිත වූයේ පරිදාහ රහිත වූයේ සම්‍යක්ප්‍රතිපත් වී ද එහෙයින් තෙල දහම් කෙලෙස්රණ රහිත යැ.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් අභූත වූයේ අතථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත වූයේ ද තෙල දහම දුක් සහිත යැ, පීඩා සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත වෙයි.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත වූයේ තථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්‍ම වෙයි.
මහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්‍ම වෙයි.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් අභූත අතථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ, සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්‍ම වෙයි.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ යැ, සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.
මහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්‍ම වෙයි.
මහණෙනි, තුරිත වූවහුගේ යම් භාෂිතයෙක් දුක් සහිත වූයේ ද තෙල දහම සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.